සමාජවාදී සමානතා පක්ෂය (සසප) ද නව සමසමාජ පක්ෂය (නසසප) සහ අනෙකුත් සියලු පැරනි රැඩිකල්වාදී සංවිධාන ද අතර පවතින්නේ පියවිය නොහැකි පන්ති අගාධයක් බව ජනාධිපතිවරනය තුලදී සනිටුහන් වී ඇත.
සසපය උද්ඝෝෂනයෙහි යෙදෙන්නේ සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත කම්කරු පන්තිය උගන්වා ගනු පිනිස සහ බලමුලු ගන්වා ගනු පිනිස ය.
මැතිවරනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනුවත් ජනරාල් සරත් ෆොන්සේකා දිනුවත් ඊලඟ ආන්ඩුව ජීවන තත්ත්වයන් මත බලගතු ප්‍රහාරයක් දියත් කරන බවට එය අනතුරු අඟවයි.
1977 දී පිහිටුවුනු තැන් පටන් ම, නසසපය යෙදී සිටින්නේ ධනේශ්වර පක්ෂ සමග උපාමාරු දැමීමෙහි ය. පාලක ප්‍රභූව පැහැදිලි ලෙස ම දකුනට මාරු වී ඇති තත්ත්වය තුල මෙම කූටෝපායන් මුලුමනින් ම අධම ස්වභාවයක් අත් කර ගෙන ඇත.
රාජපක්ෂට හෝ ෆොන්සේකාට (එල්ටීටීඊ සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය නිර්දය ලෙස කර ගෙන යාම සම්බන්ධයෙන් වගකිව යුත්තෝ මොවුහු ය) බලපෑම් දැමීමට යත්න දැරිය යුතු යැයි නසසපය දැන් යෝජනා කරයි.
ජනවාරි 17 වන දා ලක්බිම පුවත්පතෙහි සිය නිතිපතා තීරුව ලියමින් නසසප නායක ජනාධිපති අපේක්ෂක වික්‍රමබාහු කරුනාරත්න, පැහැදිලිවම සොයමින් සිටින්නේ, කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල තමන්ට හිමි ස්ථානයයි. “අඩු ගනනේ අපට ඡන්ද 100,000ක් වත් ලැබුනොත් මගේ ඉදිරිපත් වීම වැදගැම්මකට නැති එකක් නොවනවා ඇත. ලක්ෂයක සහායක් තිබෙන පුද්ගලයෙකු ලෙස මට සැලකීමට පාලක පන්තියට සිදු වනු ඇත. සහන දිනා ගැනීමට නම්, පීඩනය යෙදීමට අපට සිදු වේ. හොඳ ම දෙය වන්නේ එම කර්තව්‍යය සඳහා කෙනෙකු සූදානම් කිරීම යි.” අන් හැම අවස්ථාවාදියෙකු මෙන් ම කරුනාරත්න ද සිත යොමු කර ඇත්තේ සංඛ්‍යාවන් කෙරෙහි ය, දේශපාලන කූටෝපායන් හා ව්‍යාජ මිථ්‍යාවන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ය. නසසප නායකයා තුල කම්කරුවන් පිලිබඳ සැබෑ උත්සුකයක් තිබුනත් - සැබවින් ම ඔහු තුල එවැනි උත්සුකයක් නැත- රාජපක්ෂ හෝ ෆොන්සේකා සවන් දෙනු ඇත්තේ ඡන්ද 100,000ක් හෝ 200,000ක් ලද්දෙකුට ද, නැත් නම් ඡන්ද මිලියන දෙකක් ලද්දෙකුට ද? පිලිතුර නිසැක වූවකි. ධනේශ්වරයේ නියෝජිතයන් ක්‍රියා කරන්නේ ධනයෙන් ආඪ්‍ය වූ කුඩා ප්‍රභූවකගේ උත්සුකයන් වෙනුවෙනි. මැතිවරනය අවසන් වූ වහා ම, එම ව්‍යාපාරයේ දී දසලක්ෂ සංඛ්‍යාත ඡන්දදායකයන්ට තමන් දුන් පොරොන්දු ඉවත දමා මහා ව්‍යාපාරිකයන්ගේ න්‍යාය පත්‍රය ඔවුන් මත පැටවීමට ධනේශ්වරයේ නියෝජිතයන් යුහුසුලු වනු ඇත. පාලක පන්තියට පවතින්නේ, සිය අවශ්‍යතා කම්කරුවන් මත වඩාත් හොඳින් පැටවීමට හා කම්කරුවන් වෙතින් මතු වන ඕනෑ ම විරුද්ධත්වයක් වඩා හොඳින් මැඩ ලීමට සමත් වන්නේ කවුරුන් ද යන ගැටලුව පමනකි.
කරුනාරත්නගේ ඉන්ද්‍රජාලික සංඛ්‍යාවෙන් වශී වන්නන් ඓතිහාසික පාඩම් කිහිපයක් සිහිපත් කර ගත යුතු ය. 1980 දී, නිදහස් වෙලඳ පොල න්‍යාය පත්‍රය දියත් කිරීම අරඹද්දී, මහා වර්ජනය කුඩු පට්ටම් කරනු පිනිස රාජ්‍ය අංශයේ කම්කරුවන් 100,000ක් රැකියාවලින් නෙරපීමෙහි ලා ජනාධිපති ජේ.ආර්.
ජයවර්ධනට කිසිදු දෙගිඩියාවක් තිබුනේ නැත. 1989- 90 දී, රටේ දකුනෙහි පැන නැගි විරුද්ධත්වය මඩිනු පිනිස ආරක්ෂක හමුදා සහ ඝාතක කල්ලි මුදා හල එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව තරුනයන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කලේ ය. ඒ වන විටත් 60,000කට ආසන්න ජනතාවක් මරුමුවට පත්ව තිබිය දී රාජපක්ෂ, 2006 දී රට යලි යුද්ධයෙහි ගිල්වී ය. පසු ගිය මැයි මාසයෙහි එල්ටීටීඊය පරාජය වූපසුව, 300,000කට ආසන්න සිවිල් වැසියන් සංඛ්‍යාවක් වට ලා කොටු කල රාජපක්ෂ සහ ඔහුගේ හමුදාපති ජනරාල් ෆොන්සේකා, නීති විරෝධී ලෙස ඔවුන් රැඳවුම් කඳවුරුවල සිර කලහ.
සියදහස් ගනනකගේ මරන සම්බන්ධයෙන් වගකිව යුතු පාලක පන්තියේ නියෝජිතයෝ, තත්වය යෝග්‍ය ලෙස පවතින විට ප්‍රයෝජනයට ගනිමින් ද එසේ නොවන විට අත හැර දමමින් ද කරුනාරත්න බඳු සුලු ධනපතියන්ට සලකන්නේ අවඥා සහගතවය.
කරුනාරත්න බඳු දේශපාලනඥයන්ට අවශ්‍ය කරන්නේ එක ම එක දෙයකි: එනම්, සපුරා ම මූලධර්ම විරහිත ලෙස, සිය අලුත්ම දේශපාලන මිතුරන්ගේ අවශ්‍යතාවන් හා කම්කරුවන් මුලා කිරීම සඳහා ඔවුන් ඉදිරියේ ප්‍රමානවත් විශ්වසනීය භාවයක් පවත්වා ගෙන යාම ද අතර තුලනය වීමට තිබෙන හැකියාවත් පමනකි.
නසසපය කිසි දා මාක්ස්වාදී හෝ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් නො වී ය. 1977 දී එය පිහිටුවනු ලැබුනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග ධනේශ්වර සභාග ආන්ඩුවකට පිවිසෙමින් ලංකා සමසමාජ පක්ෂය සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම පාවා දී දශකයකටත් වැඩි කාලයකට පසුව එය සමග හට ගත් භේදයක ප්‍රතිඵලයක් වශයෙනි. ලසසපය ඇතුලත් වුනු දෙවන සභාග ආන්ඩුව 1971 දී සිංහල ගම්බද තරුන නැගිටීම මර්දනය කරන විට දීත් බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස තහවුරු කල සහ දෙමල ජනයාට එරෙහි වෙනස්කම් කිරීමේ පියවරයන් මාලාවක් හඳුන්වා දුන් වාර්ගික ව්‍යවස්ථාව පනවන විට දීත් කරුනාරත්න ලසසපය තුල ම රැඳුනේ ය. කරුනාරත්න සහ ඔහුගේ කල්ලිය ලසසපය අත හැර ගියේ දෙවන සභාග ආන්ඩු සමයේ දී එය කම්කරු පන්තිය තුල පුලුල් ලෙස අපකීර්තියට පත් වීමෙන් පසුව පමනකි. කෙසේ වුව ද නසසප, පන්ති සහයෝගිතාවාදී හා සභාගවාදී දේශපාලනයෙන් ද පාර්ලිමේන්තු ලෝලයෙන් ද කිසි දා බිඳී වෙන් වූයේ නො වේ.
දෙමල සුලුතරය ද එල්ටීටීඊ වැනි සන්නද්ධ කන්ඩායම් ද බලාත්කාරයෙන් මඩිනු පිනිස උතුරට සහ නැගෙනහිරට ඉන්දියානු “සාම සාධක” හමුදා පිවිසවූ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට නසසපය සහාය දුන්නේ ය. 1990 ගනන්වල මැද දී, සිංහල අන්තවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) කම්කරු පන්තියේ අවශ්‍යතාවන් ආරක්ෂා කරන ප්‍රගතිශීලී බලවේගයක් ය යන බියකරු මුසාව ප්‍රවර්ධනය කරමින් කරුනාරත්න එම පක්ෂය සමග සන්ධානයක් ඇති කර ගත්තේ ය.
2001 පටන්, “අඩු නපුර” ලෙස සලකා නසසපය එජාපයට සහාය දුන්නේ ය, යුද්ධය අවසන් කල හැක්කේ, අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහය ලද “සාම ක්‍රියාවලිය” ඔස්සේ එජාපය එල්ටීටීඊය සමග පවත්වා ගෙන ගිය සාම කතා තුලින් යයි කියා සිටිමින් ඒවාට අනුබල දුන්නේ ය. මෙම සියලු උපාමාරු අවසන් වූයේ වැඩ කරන ජනයාට ව්‍යසනය ගෙන එමිනි.
2009 මුල දී, රාජපක්ෂ තන්ත්‍රය එල්ටීටීඊයට එරෙහි යුද්ධය ද සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි මර්දනය ද තීව්‍ර කරද්දී “ ආන්ඩු බලයේ සිටිය දී මර්දනකාරී පියවරයන් ක්‍රියාවට නැංවීම පිලිබඳ දිගු ඉතිහාසයක් සහිත දක්ෂිනාංශික එජාපයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නෙකු ලෙස ඉස්මතු වීමට උදව් වෙමින්” නසසපය එජාපයේ “නිදහසේ වේදිකාවට” එක් විය. වාර්ගික සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා “එජාප නායක රනිල් වික්‍රමසිංහ කරන කැප වීමට” සිය “ගෞරවය” පල කිරීම සඳහා පසු ගිය පෙබරවාරියෙහි කරුනාරත්න එජාප රැලියක පෙනී සිටියේ ය.
වික්‍රමසිංහ “ප්‍රජාතන්ත්‍රවාදියෙකු” ලෙස වෙස් ගැන්වීමෙන්, කරුනාරත්න ද එක්සත් සමාජවාදී පක්ෂය (යූඑස්පී) තුල සිටින ඔහුගේ අවස්ථාවාදී සගයෝ ද “දෙමල සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීම සහ සිරගත කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ජනරාල්වරයා වන” ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදයේ වීරයෙකු ලෙස ඔසවා තැබීමෙහි ලා එජාපයට දැවැන්ත සහායක් පිරිනැමී ය.
“නිදහසේ වේදිකාව” සමග තමන් ඇති කර ගත් සම්බන්ධය අඛන්ඩව පවතින බවට යූඑස්පී තව මත් පාරම්බාන මුත්, දැනට මත් වැරහැලි වී ගොස් ඇති තම කීර්තිය මෙම සම්බන්ධය නිසා තව දුරටත් කෙලෙසී යන බව පලපුරුදු දේශපාලන සූදු අන්තුවෙකු වන කරුනාරත්නට හැඟි තිබුනි. ඔහු ඉන් දුරස් වී ගනිමින්, තමන් එම සන්ධානයට පිවිසීම සමහර විට “අත්වැරැද්දක්” විය හැකි යැයි ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ය.
එහෙත් මෙම ප්‍රකාශයෙන් නසසපයේ ගමන් මගෙහි කිසි යම් ම හෝ මූලික වෙනසක් ඇඟවෙතැයි කිසිවෙකු නො සැලකිය යුතු ය. ඒ වෙනුවට ඉන් මග පෑදුනේ, නසසපය ඇති කර ගත් අලුත් ම අවස්ථාවාදී සන්ධානයට ය. එනම් දෙමල ජාතික සන්ධානයෙන් (ටීඑන්ඒ) බෙදී ගිය නායකයෙකු වන එම්.කේ.
සිවාජිලිංගම් සමග එය ඇති කර ගත් සන්ධානයට ය.
දෙමල ධනේශ්වර පක්ෂවල මුසුවක් වන ටීඑන්ඒ මැයි මාසයේ දී එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජය වන තෙක් ම ක්‍රියා කලේ එහි පාර්ලිමේන්තු හොරනෑව ලෙස ය. එල්ටීටීඊය පරාජය වුනු තැන් පටන් ටීඑන්ඒ කොලඹ දේශපාලන සංස්ථාපිතයට යලි ගැලතී ගැනීමේ දැඩි උත්සාහයක යෙදී ගෙන සිටියේය.
ජනාධිපතිවරනයේ දී, එල්ටීටීඊ විනාශ කිරීමේ මිලිටරි සැලැස්ම සැකසූ ජනරාල් ෆොන්සේකාට සහාය දීමෙහි ලා ටීඑන්ඒට ස්වල්ප හෝ මනස්තාපයක් නො වී ය.ජනාධිපති අපේක්ෂකයන් වූ සිවාජිලිංගම් සහ කරුනාරත්න යන දෙදෙනා ම, යුදවාදීන් වන රාජපක්ෂ සහ ෆොන්සේකා කෙරෙහි විශේෂයෙන් ම දෙමල ඡන්දදායකයන් අතර පුලුල්ව පැතිර පවතින කලකිරීමෙන් සහ වෛරයෙන් වාසි ලැබීමට පැහැදිලිව ම බලාපොරොත්තු වූහ. සිවාජිලිංගම් සහ කරුනාරත්න යන දෙදෙනා ම ප්‍රයත්න දරමින් සිටියේ, දෙමල ජනයා සම්බන්ධයෙන් එතරම් ම ව්‍යසනකාරී උගුලක් බව සනාථ වූ “ස්වයං නිර්නය” පිලිබඳ ක්‍රියා මාර්ගය යලි පන ගැන්වීමට ය. සිවාජිලිංගම්ට වුවමනා වූයේ, සිංහල ජනාධිපතිවරයෙකු යටතේ සිටින සිංහල සහ දෙමල අගමැතිවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ෆෙඩරල්වාදයේ රූපාකාරයකට අනුබල දෙමින් ව්‍යවස්ථාව තුල තව දුරටත් වාර්ගික බෙදීම් තහවුරු කිරීමට ය.
පසු ගිය වසරේ ඉන්දියාවෙහි මහ මැතිවරනයේ දී හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයට (බීජේපී) සහාය දීමෙන් සිවාජිලිංගම්ගේ වර්ගවාදී දෘෂ්ටිය තව දුරටත් අවධාරනය වේ. කොන්ග්‍රස් පක්ෂය නිල වශයෙන් පැමිනිල්ලක් කල විට සිවාජිලිංගම් තමිල් නාඩු ප්‍රාන්ත මැතිවරන උද්ඝෝෂන කටයුතුවල කලමනාකරු ලෙස කටයුතු කරමින් සිටි බව ප්‍රතික්ෂේප කල මුත්, ඔහු “අපට සහාය දී” තිබෙන බව ද “ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉස්මතු කර දක්වා” තිබෙන බව ද බීජේපීය තහවුරු කලේ ය. සංවිධානාත්මක මුස්ලිම්විරෝධී ජන සංහාර සම්බන්ධයෙන් වගකිව යුතු බීජේපීයට සිවාජිලිංගම් සහාය දීම තියුනු අනතුරු ඇඟවීමකි: ඔහුගේ ඉදිරි දර්ශනය වන්නේ, ෆෙඩරල් ශ්‍රී ලංකාවක් තුල කොලඹ ආන්ඩුව තරම් ම කුරිරු ලෙස සිය සුලුතරයන් මර්දනය කරන දෙමල, හින්දු වාස භූමියක් අටවා ගැනීම යි.
දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ නාමයෙන් මෙම දක්ෂිනාංශික වර්ගවාදී දේශපාලනඥයාට කරුනාරත්න නිර්ලජ්ජිතව සහාය දෙයි. කෙසේ වුව ද, ඔහු “ප්‍රජාතන්ත්‍රවාදයට” දෙන සහාය මුලුමනින් ම රැඳී පවතින්නේ ධනවාදයේ සහ ධනේශ්වර දේශපාලනයේ රාමුව තුල ය. ප්‍රන්සයෙහි එන්පීඒ (නව ධනපති-විරෝධී පක්ෂය) වැනි නසසපයේ ජාත්‍යන්තර මිතුරන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ස්ටැලින්වාදීන් සමග උපාමාරු දැමීම වෙනුවෙන් සිය ව්‍යාජ ට්‍රොට්ස්කිවාදී මවා පෑම් සියල්ල නිල වශයෙන් අත හැර දමා ඇත්තාක් මෙන්, කරුනාරත්න ද ධනේශ්වර පක්ෂ සහ දේශපාලනඥයන් සමග ගැලතී ගැනීම සඳහා සිය සමාජවාදී පුරසාරම ඉවත ලමින් සිටියි.
ලක්බිම පුවත්පතෙහි ජනවාරි 3 දා ලියූ තීරුවේ කරුනාරත්න මෙසේ ලිවී ය: “මෙම ධනපති පාලනය යටතේ, වැඩ කරන ජනයාට විමුක්තිය තබා සිවිල් සාමාජය තුල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වත් දිනා ගත නොහැකි ය. ඒ අනුව අපට බල කෙරෙන්නේ, සමාජවාදය සඳහා සටන් වැදීම කෙසේ වෙතත් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් වැදීමටය” පැහැදිලි ලෙස ම ධනපති දේශපාලනඥයන්ට තමන් දෙන සහාය යුක්ති සහගත කරනු පිනිස කරුනාරත්න සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය අතර චීන මහා ප්‍රාකාරයක් තනයි. කෙසේ වුව ද, පසු ගිය 60 වසරක ශ්‍රී ලංකාවේ සමස්ත ඉතිහාසය ම පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය පෙරට ගෙන යා හැක්කේ සමාජවාදී පදනමක් මත පමනක් බව යි. පාලක පන්තියේ පක්ෂ, විශේෂයෙන් ම එජාපය සහ ශ්‍රීලනිපය, කම්කරු පන්තිය බෙදා ලීම සහ බලයේ එල්ලී සිටීම සඳහා හිතාමතා ම වාර්ගික දේශපාලනය වගාදිගා කලහ. ප්‍රතිඵලය වී ඇත්තේ, මර්දනය, සංවිධානාත්මක ජන සංහාර සහ පාදක වූ එක ද ගැටලුවක් වත් විසඳා නැති 26 වසරක විනාශකාරී යුද්ධය යි.
සිය පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) මෙන් ම සමාජවාදී සමානතා පක්ෂය ද පිහිටුවූ තැන් පටන් ම පදනම් වී ගෙන සිටින්නේ නොනවතින විප්ලව න්‍යායේ මූලධර්ම මත ය. එනම් ශ්‍රී ලාංකාවේ ද දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර පරිමානව සමාජවාදය සඳහා අරගලයේ අවියෝජනීය අංගයක් ලෙස කම්කරු පන්තිය, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කල හැකි එක ම සමාජ බලවේගය වන්නේය යන පදනම මත ය. 1968 දී විකොස පිහිටුවනු ලැබුනේ, නසසපය අනුබද්ධ වී ගෙන සිටින අවස්ථාවාදී “ජාත්‍යන්තරයෙන්” පෝෂනය කෙරුනු සහ දිරි ගැන්වුනු ලසසපයේ පාවා දීමට සෘජුව ම විරුද්ධව පිහිටා ගනිමිනි. එල්ටීටීඊයේ බෙදුම්වාදී ඉදිරි දර්ශනය ද ඇතුලු ජාතිභේදවාදයේ සහ වර්ගවාදයේ සියලු රූපාකාරයන්ට විරුද්ධව එය සටන් වැදී ඇත.
40 වසරකටත් වැඩි කාලයක් තිස්සේ, ක්ෂනිකව ජනප්‍රියත්වය වන්නේ ද නැද්ද යන්න නො තකා විකොස/සසපය කම්කරුවන්ට සත්‍යය පවසා ඇත, කම්කරු පන්තිය එකමුතු කිරීමටත් ඊට සිය ඓතිහාසික කර්තව්‍යයන් - බලය ගැනීම සහ ධනයෙන් ආඪ්‍ය වූ ප්‍රභූවක නො ව වැඩ කරන ජනයාගේ අවශ්‍යතා සපුරා ලන සමාජවාදී ක්‍රියා මාර්ගයක් ඔස්සේ සමාජය ඉහල සිට පහලට ප්‍රතිව්‍යුහගත කිරීම - මුන ගැස්වීමටත් උද්ඝෝෂනය කර ඇත. මැතිවරනයෙන් පසුව ඊලඟ ආන්ඩුව ජීවන තත්ත්වයන් මත සිය සෘජු ප්‍රහාරය දියත් කරන විට සිය අරගලය මෙහෙයවීම සඳහා කම්කරු පන්තියට නිශ්චිතව ම එවැනි පක්ෂයක් අවශ්‍ය වනු ඇත.4 නසසපය මෙන් සසපය පන්ති සම්මුතිවාදයේ, පාර්ලිමේන්තුවාදී උපාමාරුවල සහ වාම වාචාලකමේ පක්ෂයක් නො වේ. එය පදනම් වී ගෙන සිටින්නේ විද්‍යාත්මක ක්‍රියා මාර්ගයක් ද ධනේශ්වරයේ සහ එහි ක්ෂමාලාපකයන්ගේ සියලු කන්ඩායම්වලට එරෙහි සමහන් කල නොහැකි දේශපාලනික විරුද්ධත්වයක් ද මත ය. එලඹෙන පන්ති සටන්වලට සූදානම් වීම සඳහා සසප අපේක්ෂක විජේ ඩයස්ට ඡන්දය දෙන ලෙස ද අපගේ ක්‍රියා මාර්ගය සහ ඉදිරි දර්ශනය පරෙස්සමින් හදාරන ලෙස ද අපගේ පක්ෂ ක්‍රියාකාරීන් සමග එක් වන ලෙස ද අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලමු.
[මෙය 2010 ජනවාරි 26 වැනි දින Sri Lankan election: the NSSP’s electoral cretinism යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
