ජූලි 06 දින ලොවී ආයතනයේදී ඕස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාර්ඩ් සරනාගතයන් පිලිබඳ ආන්ඩුවේ ප්‍රතිපත්තිය නැවත සකස් කිරීම නිවේදනය කරමින් කල කථාවේදී, කම්කරු පක්ෂයේ අවුරුදු 120 ක ඉතිහාසය පුරාම එහි ප්‍රතිපත්ති හා මතවාදයේ කේන්ද්‍රීය මූලාශ්‍රය ලෙස පැවති විදේශිකයන් නුරුස්සන, ජාතිකවාදී හා වර්ගවාදී ධර්මතාවන්ගේ ගොහොරුව ගැඹුරින්ම ප්‍රයෝජනයට ගත්තාය.
ඇයගේ කථාව අනුව යමින් බොහෝ මාධ්‍යයන්ගේ අවධානය යොමු වූයේ ඊනියා “අනවසර සංක්‍රමන” පාලනය කිරීම සහ ඕස්ට්‍රේලියානු භූමියෙහි සරන සොයන අයගේ අයිතිවාසිකම් සඳහා කෙරෙන ඉල්ලීම් සලකා බැලීම වලැක්වීම පිනිස නැගෙනහිර ටිමෝරයේ “ප්‍රාදේශීය ක්‍රියාකාරී මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ඇය කල යෝජනාව කෙරෙහිය.
සිඩ්නි වලදී නිවේදනය කිරීමට පෙර නැගෙනහිර ටිමෝර් ආන්ඩුවට දැන්වීමට ගිලාර්ඩ් අසමත් වූ මෙම යෝජනාවෙන් හිටපු හොවාර්ඩ් ආන්ඩුවේ පැසිෆික් විසඳුම කෙරෙහි ලේබර් පක්ෂයේ වංචනික විරෝධය නිරාවරනය වී ඇත. හොවාර්ඩ්ගේ ප්‍රතිපත්තිය යටතේ සරනාගත රැකවල් ලාභීන්, ඔවුන්ගේ අයිතීන් සම්බන්ධයෙන් “කටයුතු කරන” තෙක් නාවුරු, පැපුවා නිව්ගිනියාහි මේනස් දිවයින වැනි දුරස්ථ හුදෙකලා රැඳවුම් කඳවුරු වල වසර පහ දක්වා සිරගත කරනු ලැබීය.
කෙසේ වුවද, ගිලාර්ඩ් ගේ කථාවේ ප්‍රතිගාමී හරය රැඳී පැවතුනේ ඊනියා “ඉන්දීය සාගර විසඳුම” යන එය පදනම්වූ පරිශ්‍රය තුල නොවේ.
ප්‍රතිපත්ති කථාවට පෙර දින කීපය තුල ගිලාර්ඩ් අවධාරනය කොට තිබුනේ ඇය විශේෂයෙන් සිඩ්නි හා මෙල්බර්න් බටහිර ප්‍රදේශවල “දේශසීමා ආරක්ෂාව” හා සරනාගතයන් පිලිබඳව ඇතිවී තිබෙන “ කනස්සල්ල” කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවය. මේ ප්‍රශ්නය සම්බන්ධ සියලු “දේශපාලන නිවැරදිකිරීම්” අතුගා දැමිය යුතුව ඇති බවය. අගමැතිනි ගිලාර්ඩ් සමග තමන් සම්පූර්න එකඟත්වය පල කරන බැව් ප්‍රකාශ කරමින් දක්ෂිනාංශික සංක්‍රමන විරෝධී ජාතික පක්ෂයේ හිටපු නායිකාව වූ පෝලින් හැන්සන් ක්ෂනිකව ඊට ප්‍රතිචාර දැක්වූවාය.
හොවාර්ඩ් මෙන්ම හැන්සන්ගේ වර්ගවාදය සහ සංක්‍රමනික විරෝධය “ප්‍රජාවගේ මතය” ප්‍රකාශ කරන බැව් අවධාරනය කල ගිලාර්ඩ් කියා සිටියේ හැන්සන්, දේශසීමා ආරක්ෂාව සහ සරනාගත ප්‍රශ්න සම්බන්ධයේන් “අවංක” ජාතික සංවාදයක් වෙනුවෙන් කටයුතු කරනු ලබන බවයි.
යථාර්තයේදී මෙම ප්‍රශ්නයට අවධානය යොමුකිරීමට වඩා ගිලාර්ඩ් උත්සාහ කරනුයේ දරුනුවන සමාජ ආර්ථික කොන්දේසි මගින් ආශ්‍රිත ප්‍රදේශයන්හි කම්කරු පන්තිය මත ඇතිකරනු ලැබ ඇති දිනෙන් දින ඉහල යන ආතති සහගත තත්ත්වය ප්‍රතිගාමී දිශානතියකින් පරාවර්තනය කරනු පිනිස සරනාගත විරෝධී හැගීම් අවුස්සාලීමය. ඇයගේ ඉලක්කය වනුයේ ඉහල යන විරැකියාව, කඳුගැහෙන ප්‍රවාහන ප්‍රශ්න, වැඩිවන නිවාස මිල, සමාජ පහසුකම්වල පවතින හිඟය හා විවිධාකාර වෙනත් ප්‍රශ්න මගින් ඇතිකරනු ලැබ ඇති කෝපය ආන්ඩුවෙන් ඉවතට හරවා සංක්‍රමනිකයන් සහ සරනාගතයන් වෙත යොමු කිරීමය.
ගිලාර්ඩ් සිය කථාව ආරම්භ කලේ සැබැවින්ම බෝට්ටු වලින් පැමිනෙන්නේ ප්‍රමානයෙන් ඉතා කුඩා සරනාගතයින් සංඛ්‍යාවක් බව පිලිගනිමිනි. සිවිල් අයිතිවාසිකම් පිලිබඳ නීතිඥයෙකු වන ජූලියන් බර්න්සයිඩි කල සඳහන, එනම් වත්මන් අනුපාතය අනුව ගතහොත් බෝට්ටු වලින් පැමිනෙන මිනිසුන්ගෙන් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය පිරීයාමට (මෙහි ඇතුල් කල හැක්කේ 100,000 ක් වැනි ප්‍රමානයකි.) වසර 20 ක් වත් ගතවනු ඇති යන්න ඉතා හොඳ කරුනක් බව ඇය කීවාය. බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට පැමිනෙන සරනාගතයන් ප්‍රමානය “ඉතාමත්ම සුලුය.” එහෙත් පසුව, සරනාගතයන්ට එරෙහි මහජන වෛරය නිර්මානය කොට එය අවුලුවාලීම කෙරෙහි2 යොමුවූ ඉතා ප්‍රවේශමෙන් ගොනු කල පනිවිඩ මාලාවක් ඇය නිකුත් කලාය.
පසුගිය සැප්තැම්බරයේ සිට අපේ වෙරල තීරයන්ට අනවසරයෙන් ඇතුල් වීමට උත්සාහ කල විදේශිකයන් 5,000 කට අධික ප්‍රමානයක් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය මගින් වලක්වා තිබේ යන්න සඳහන් කරමින් සිය කථාව පුරාම ගිලාර්ඩ් අනවසර සංක්‍රමනිකයන් සහ අනවසර මානව සංවිධාන වෙතට යොමුවිය. මෙම ප්‍රකාශයන්ගේ අදහස වූයේ බෝට්ටුවකින් හෝ වෙනත් මාර්ගයකින් සරන සොයා පැමිනීම අනීතික බවට මතවාදයක් නිර්මානය කිරීම හා ඔවුන් අපරාධකරුවන් ලෙස සැලකීම ය. සත්‍ය වශයෙන්ම ඕස්ට්‍රේලියාව ද පාර්ශ්වයක් වන ජාත්‍යන්තර සම්මුතිය අවධාරනය කර සිටිනුයේ සියලු මිනිසුන්ට මර්දනයෙන් සහ අනතුරින් බේරී පලා යාමේ අයිතිය ඇති බවත්, නිදහස් ප්‍රදේශයක් සොයා ගැනීමට ඔවුන්ට ඇති අයිතිය ඔවුන් පැමිනෙන රටේ රජය මගින් සුරක්ෂිත කල යුතු බවත්ය.
කලක් තිස්සේ පැවති නෛතික එකඟතාවයට එරෙහි ගිලාර්ඩ් ගේ ප්‍රහාරය, දක්ෂිනාංශික ගුවන් විදුලි නාලිකාවක් වන ෂොක් ජොක් සහ මාධ්‍ය විචාරකයන්ගේ මෙන්ම හැන්සන්ගේ අනුගාමිකයන්ගේ සරනාගතයන්ට වරප්‍රසාද ලැබෙන්නේය යන විවාදයන් ශක්තිමත් කිරීම කෙරෙහි එල්ල කල ඇඟවුම් මාලාවක් සමග එක්ව ගමන් කරයි.
ගිලාර්ඩ් අවධාරනය කලේ නීතියේ පාලනය “සරනාගතයන්ට ඉතා හොඳින් අදාල කරගත යුතු බවත්, කිසිවෙකුට අසාධාරන වාසි නොලැබිය යුතු අතර සංක්‍රමන නීතිරීති වලට තාර්කිකව අභියෝග කිරීමේ හැකියාව නොතිබිය යුතු” බවත් ය. කිසිදු සාක්ෂියකින් තොරව සඳහන් කල කරුනු මත කූට ලෙස නීතිය මගහැරයන සරනාගතයන් කෙරෙහි තවදුරටත් කෝපය දැල්වීමට ගිලාර්ඩ් දිගටම උත්සුක විය.
තමන් ද දැඩි අසීරුතාවන්ට මුහුන දී සිටිය දී “මහන්සි වී වැඩ කරන ඔස්ට්‍රේලියානුවන් මෙහි පදිංචි වීමට ඉඩලැබෙන සරනාගතයන්ට විශේෂ සැලකීම් නොකරන බව දැන සිටිය යුතු” යයි ඇය ප්‍රකාශ කලාය.
වේල්සයේ උපත ලද ගිලාර්ඩ් ඇයගේ සංක්‍රමනීය සම්භවය ද ඇද ගනිමින් සමාජයේ ඉතාමත් දුගී හා පහසුවෙන්ම ප්‍රහාරයට ලක්වන සාමාජිකයන්ට එරෙහිව ද්වේෂය දැල්වීමට තැත් කලාය. “සාධාරනව කටයුතු කිරීම” පිලිබඳ ඔස්ට්‍රේලියානු හැඟීමට හානි කල හැකි පරිදි “වෙනත් අයට විශේෂ වරප්‍රසාද සඳහා අභ්‍යන්තර මාර්ග සම්පාදනය කිරීමට තිබෙන ඉඩකඩ පිලිබඳ දුර්මුඛභාවයෙන් ඉවත්වීමට සිය ජීවිතය පුරාම මහන්සිවී වැඩ කල මගේ දෙමාපියන්ට ද නොහැකි විය.” සිය ප්‍රතිගාමී ප්‍රතිපත්තීන්හි පදනම ලෙස “ඕස්ට්‍රේලියානු සාධාරනත්වය” පිලිබඳ ගිලාර්ඩ්ගේ කටමැත දෙඩීම් වලට දීර්ඝ මෙන්ම අපකීර්තිමත් ඉතිහාසයක් තිබේ. ලේබර් පක්ෂ වේදිකාවේ මධ්‍යම කමිටුව දශක 60ක කාලයක් තිස්සේ නිර්මානය කල වර්ගවාදී සුදු ඕස්ට්‍රේලියානු ප්‍රතිපත්ති ගිනිය නොහෙන තරම් කම්කරු නායකයන් සහ වෘත්තීය සමිති නිලධරයන් විසින් හැමවිටම එය ඔස්ට්‍රේලියානු ජීවන පැවැත්මේ අඛන්ඩත්වය සහතික කරන්නේය යන හේතුව මත සාධාරනීකරනය කලේය. සත්‍ය වශයෙන්ම මෙය කම්කරු පන්තිය තමන්ගේම ජාතික රාජ්‍ය පද්ධතියකට සහ එමගින් ධනපති පාලක පන්තියකට යටත් කොට තබන මාර්ගයයි.
පශ්චාත් යුද කාල පරිච්ඡේදය තුල සිදුවූ විශාල ආර්ථික වෙනස්කම් හමුවේ - බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පරිහානිය සහ වර්ධනය වන ආසියානු ආර්ථික කලාපයට ඕස්ට්‍රේලියානු ධනවාදයේ සමීප ආර්ථික ඒකාග්‍රකරනය - 1960 දශකය මැද භාගය තුල ධවල ඕස්ට්‍රේලියාව පිලිබඳ ලේබර්වාදීන්ගේ සංකල්ප නිල වශයෙන් අත්හැර දැමුනි. එහෙත් එය පදනම් වූ ජාතිකවාදී සහ අන්තවාදී දෘෂ්ටිවාදය ඔවුහු රැකගත්හ.
හෝක් හා කීටිං ආන්ඩු යටතේ මෙම දෘෂ්ටිවාදය, ඕස්ට්‍රේලියානු ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම, සිය දහස් ගනනින් රැකියා විනාශ වීම, වෘත්තීය සමිති ප්‍රධාන සංගතයන්හි සහ ධනේශ්වර රාජ්‍යයේ විවෘත ඒජන්තයන් බවට පරිවර්තනය වීම සහ කම්කරු පන්තියේ සියලු ස්වාධීන සංවිධාන කුඩුපට්ටම් වී යාමට තුඩු දුන්, පවත්නා මිල සහ ආදායම් “සම්මුතීන්” සඳහා පදනම ලෙස 1980 දශකයේදී පෙනී සිටියේය.
ඕස්ට්‍රේලියානු ධනවාදය වඩාත් තරගකාරී කරමින් “ජාතික අභිලාෂයන්” මෙම සියලු පියවර තුල බහාලනු ලැබිනි.
දැන්, කප්පාදු පියවර හා කම්කරු පන්තියට එරෙහි තවදුර ප්‍රහාරයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීමට වෙනත් ලේබර් ආන්ඩුවක් පියවර ගනිමින් සිටියි. එය උත්සාහ කරනුයේ පසුගිය දශක තුන මුලුල්ලේ මෙම ප්‍රතිපත්ති තුලින් නිර්මිත සමාජ ආතතිය සහ වෛරය සරනාගතයන් සහ සංක්‍රමනිකයන්ට එරෙහිව පෙල ගැස්වීමටය.
කම්කරු පන්තියට මෙම ප්‍රහාරයන්ට එරෙහි සිය ආරක්ෂාව තහවුරු කරගතහැකි වනුයේ සරනාගත ප්‍රශ්නය මත නොව තමන්ගේම දේශපාලන ස්වාධීනතාවය වර්ධනය කරගන්නා තාක් දුරට පමනි.
දේශපාලනිකව සවිඥානික කම්කරුවන් සහ තරුනයන් ක්‍රියාකාරී ලෙස ලේබර් ආන්ඩුව සහ ලිබරල් පක්ෂය යන දෙකම විසින් වර්ධනය කරනු ලබන3 “දේශසීමා ආරක්ෂාව” පිලිබඳ ප්‍රතිගාමී ප්‍රතිකාරයට විරුද්ධ විය යුතුය. තවදුරටත් ඔවුන් කම්කරු පන්තියේ ස්වාධීන අභිලාෂයන් වෙනුවෙන් බර්න්සයිඩ් හා හරිත වැනි සරනාගතයන් සහ සරන සොයන්නන්ගේ අයිතිවාසිකම්වල ලිබරල් ආරක්ෂකයින් ලෙස පෙනී සිටින විවිධ කුඩා කන්ඩායම් වලින් කැඩී වෙන්විය යුතුය.
ගිලාර්ඩ්ගේ සහ ඇබොට් ගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන අතරම මෙම විවේචකයන්ට ඔවුන් සමග මූලික එකඟතාවයක් තිබේ. අවසාන විග්‍රහයේදී ඔවුන්, යම් ආකාරයක දේශ සීමා ආරක්ෂාවක් සහ සරනාගතයන් සහ සංක්‍රමනිකයන්ට අනිවාර්ය සීමා කිරීම් තිබිය යුතු බව පිලිගනී. වෙනත් වචනවලින් කිවහොත් ඔවුන්, 2001 මැතිවරන ව්‍යාපාරයේදී හොවාර්ඩ් ඉදිරිපත්කල කුප්‍රකට සටන් පාඨයක් වන “අපි මෙහි එන අය ගැන මෙන්ම ඔවුන් පැමිනීමෙන් ඇතිවන ප්‍රථිපල සම්බන්ධයෙන් තීරනයක් ගනිමු” යන්න සමග පරම වශයෙන් එකඟවේ. ඇත්තේ එය ක්‍රියාවේ යොදවන ආකාරය පිලිබඳ වෙනස පමනි.
සකල ප්‍රතිගාමීන් සහ ලිබරලුන් යන දෙපිරිසටම එරෙහිව ඔස්ට්‍රේලියානු කම්කරුවන් ලෝකයේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීම, ඕනෑම ප්‍රදේශයක ජීවත් වීම, සහ රැකියාවක නියුක්ත වීම යන තමන්ගේ මූලික අයිතීන් වෙනුවෙන් සටන් කල යුතුය.
මුදල් හදල් යහමින් ඇති අයට ලෝකයේ ඕනෑම ප්‍රදේශයකට නිදහසේ ගමන් කල හැකිය. කම්කරු පන්තිය ඊට අඩු කිසිවක් ඉල්ලා නොසිටිය යුතුය.
මෙම මූලධර්මය සඳහා සටන කම්කරු පන්තියේ ස්වාධීන අභිලාෂයන් වර්ධනය කරනු ඇත.
එය, සමාජ සහ ආර්ථික ප්‍රශ්න උග්‍ර වීමේ මූලය සංක්‍රමන නිසා හෝ වැඩිවන ජනගහනය නිසා හෝ ඊටත් අඩුවෙන් අදාල වන සරනාගතයන් හෝ සරන සොයන්නන් නිසා සිදුනොවන බව පෙන්වා දෙනු ඇත. ඒ වෙනුවට එය මුල්බැස ඇත්තේ ධනේශ්වර ආර්ථිකයේ ගෝලීය අර්බුදය සහ ලෝකයේ මිනිසුන් ලාභ පද්ධතියේ පාලනයට ගැටගැසී පැවතීම නිසාය යන අවබෝධය ගෙන එනු ඇත.. එබඳු අරගලයක්, මානව අවශ්‍යතා මූලික කරගත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සැලසුම්ගත ලෝක ආර්ථිකයක් සහිත ජාත්‍යන්තර පදනමක් මත සමාජයේ ආර්ථික ප්‍රතිසංවිධානය හරහා විනා දේශ සීමා ආරක්ෂා කිරීම මගින් විසඳිය නොහැකි බව ස්ථාපනය කරනු ඇත.
[මෙය 2010 ජූලි 09 වැනි දින Australian PM Gillard and the reactionary nostrum of “border protection” යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
