හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ භේදයේ පාඩම් උකහා ගැනීම

ජාත්‍යන්තර මූලෝපාය සහ ජාතික උපායන්: ජාතික විමුක්ති ව්‍යාපාර පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ ආකල්පයේ සිදු වූ වෙනස

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස) නව කාල පරිච්ඡේදයක් විවෘත කරමින්, කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) භ්‍රෂ්ඨයන් සමග සිදු වු 1985-86 භේදයෙන් පසුව මතු වූ දේශපාලන ප්‍රශ්න සමහරක් පරීක්ෂාවට ලක් කිරීමට මම කැමැත්තෙමි. කවිප විසින් මුලු‍මනින්ම පාහේ හුදකලාවට හා දේශපාලන ප්‍රහාරයන්ට ලක් කෙරුනු වසර ගනනාවකට පසුව, ජාත්‍යන්තර කමිටුව සමග ඇති කර ගැනුනු සිය සමීප සහයෝගය හරහා සිය දේශපාලන පිලිවෙත සහ කම්කරු පන්තිය තුල මැදිහත්වීම් ශක්තිමත් කරගැනීමට විකොසට හැකි විය. විකොසට සහ සමස්තයක් ලෙස ජාත්‍යන්තර කමිටුවට දැවැන්ත පහරක් වූ 1987 දී සිදු වූ කීර්ති බාලසූරිය සහෝදරයාගේ අකල් මරනයෙන් පසුව මෙය විශේෂයෙන් ම වැදගත් විය. එහි දී අත්පත් කර ගැනුනු දේශපාලන වර්ධනයන් කල් පසු වූ ධනවාදී වර්ධනයක් සහිත සෙසු රටවල -- ආසියාවේ හා ඉන් ඔබ්බෙහි -- කම්කරු පන්තිය සඳහා අතිමහත් අර්ථභාරයක් දරනු ඇතැයි මම විශ්වාස කරමි. මම, විශේෂයෙන් ම විවිධ ජාතික විමුක්ති ව්‍යාපාර පිලිබඳ අපගේ ආකල්පය පිලිබඳව අවධානය යොමු කරන්නෙමි. 

සෝෂලිස්ට් ලේබර් ලීගය (එස්එල්එල්)/කවිප නොනවතින විප්ලව න්‍යායෙන් ඉවත හැරීම සහ ජාතික විමුක්ති ව්‍යාපාර සහ මාඕවාදය පිලිබඳ දේශපාලනිකව සම්මුතිවාදී ආකල්පයක් දැරීම සහ පසු කලෙක ඒවා ඉදිරියේ බඩගෑම විකොස දේශපාලන වැඩකටයුතු මත සැලකිය යුතු බලපෑමක් ඇති කලේය. 

මයිකල් බන්ඩා, 1971 ඉන්දු-පකිස්ථාන යුද්ධයේ දී බංග්ලාදේශ විමුක්ති ව්‍යාපාරයට සහයෝගය දීමේ කඩතුරාව යටතේ, නැගෙනහිර පකිස්ථානයේ ඉන්දියානු හමුදා ආක්‍රමනයට “විවේචනාත්මක සහයෝගය” පුදමින්, ජාත්‍යන්තර කමිටුවේ නමින් ප්‍රකාශයක් පල කල විට, පසුගාමී රටවල ජාතික ධනේශ්වරයට එස්එල්එල් සංවිධානයේ යටත්වීම විකොස සමග තියුනු මතභේදවලට තුඩු දුනි. කීර්ති සහෝදරයාගේ නායකත්වය යටතේ, විකොස බන්ඩාගේ ප්‍රවිෂ්ටයට ප්‍රතිවිරෝධි ප්‍රකාශයක් සූදානම් කලේය. එය මෙසේ පැවසීය: 

නිර්ධන පන්තියේ කර්තව්‍යය වන්නේ, ධනේශ්වරයේ යුද වැදි කන්ඩායම් අතරින් එකකට හෝ අනෙකට සහාය දීම නොව පන්ති සතුරාගේ කඳවුරෙහි හටගෙන ඇති සෑම සියලු‍ ගැටුමක් ම තමන්ගේ ම බලය දිනාගැනීම සඳහා උපමහාද්වීපයේ වෙසෙන කෝටි සංඛ්‍යාත වැඩ කරන ජනතාවගේ සමාජ හා ජාතික ප්‍රාර්ථනයන් සන්තර්පනය කිරීමට සමත් වන එකම ක්‍රමය වන එකට බැඳීගත් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමේ ඉදිරිදර්ශනයෙන් යුතුව උපයෝගී කිරීම බව අපි අවධාරනාත්මකව ද නොපැකිලව ද ප්‍රකාශ කර සිටිමු. [1]

ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය පිලිබඳව දැනගත් විගසම, කීර්ති වහාම ජාත්‍යන්තර කමිටුවේ ලේකම් ක්ලිෆ් ස්ලෝටර්ට ලිපියක් ලියමින් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දැඩි විරුද්ධත්වය ගැන ඔහුට දැනුම් දුනි. 

අපට ඉන්දු-පකිස්ථාන යුද්ධයට විරුද්ධ නොවී බෙංගාලි ජනතාවගේ ස්වාධීනතා අරගලයට හෝ සිය කැමැත්තෙන් එක්සත් වූ සමාජවාදී ඉන්දියාවක් සඳහා හෝ සටන් කල නොහැක. පකිස්ථානය තුල හා ඉන්දියාව තුල මෙම යුද්ධයට විරුද්ධ නොවී ඉන්දියාවේ ජාතීන්ගේ ස්වයං තීරනය සහතික කල හැකි එකම මග වූ සමාජවාදී එක්සත් ඉන්දියාවක් ගැන කතා කිරීම විකාරයකි. [2]

කෙසේවෙතත්, ඔහුගේ සප්‍රතිපත්තික ජාත්‍යන්තරවාදය ප්‍රකාශයට පත් කරමින්, කීර්ති විකොස ප්‍රකාශය පල කිරීම අත්හිටුවා, ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය සමග විකොසට පවතින මතභේද පිලිබඳව ජාත්‍යන්තර කමිටුව තුල සාකච්ඡාවක් ඉල්ලා සිටියේය. 

ජාත්‍යන්තර කමිටු ප්‍රකාශනය ආරක්ෂා කිරීම අපහසු කටයුත්තක් බව නොකිවමනාය. එහෙත් ජාත්‍යන්තරය තුල පැහැදිලිකම සියල්ලට ම වඩා වැදගත් ය. මන්ද? ජාත්‍යන්තරය ගොඩනැගීමට සටන් නොකොට අපට ජාතික ශාඛාවන් ගොඩනැගිය නොහැකි හෙයිනි. [3]

එස්එල්එල් නායකත්වය එවන් සාකච්ඡාවක් හිතාමතාම වැලැක්වූ අතර සෙසු ශාඛාවන්ගෙන් විකොස ලිපිය සඟවාලීය.

එලෙසම, ආරම්භයේ පටන් ම, නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වූ, ජාතික ප්‍රශ්නය පිලිබඳ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සප්‍රතිපත්තික ආස්ථානය, එස්එල්එල්/කවිප වෙතින් එල්ල වූ අතිමහත් පීඩනයකට ලක් විය. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ගෙනයනු ලැබූ දෙමල විරෝධී වෙනස්කම් කිරීමේ පිලිවෙතට ද සියලු‍ම ආකාරයේ ජාතිකවාදයන්ට හා වර්ගවාදයන්ට ද එරෙහිව, සමාජවාදී ක්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් මත දිවයිනේ සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ පදනම මත, සටන් වැදීමේ ස්ථිරසාර වාර්තාවක් විකොස වර්ධනය කරගෙන තිබුනි. 

1970 ගනන් මුල දී, දිවයිනේ උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදා ඉවත් කිරීම සඳහා විකොස කැඳවුම් කලේය. 1972 ජූනි මස ප්‍රකාශයක් නිකුත් කරමින්, විකොස, “දෙමල ජාතියේ ස්වයං-නිර්න අයිතිය පිලිගන්නා” අතරම, “මෙම අයිතිය දිනා ගත හැක්කේ එම අයිතිය පිලිගන්නා හා සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා සිංහල හා දෙමල කම්කරුවන් බලමුලු‍ ගැන්වීමෙන් පමනක්” [4] බව ද අවධාරනය කලේය: මෙහි දී, විකොස වෙනම දෙමල රාජ්‍යයක් ඉල්ලා නොසිටි අතර ඒ වෙනුවට එවන් රාජ්‍යයක් සඳහා දෙමල ජනයාට ඇති අයිතිය ආරක්ෂා කලේය.

කෙසේවෙතත්, 1972 දී පැවති ජාත්‍යන්තර කමිටු රැස්වීමක දී, එස්එල්එල් නායකත්වය, විශේෂයෙන් ම බන්ඩා, විකොස ආස්ථානයට තරයේ විරුද්ධ වූයේ, දෙමල ජනයාගේ ස්වයං-නිර්න අයිතියට සහයෝගය දීම දිවයින කැබිලිති කිරීමේ අධිරාජ්‍යවාදී සැලසුම්වලට සහාය දීමක් ලෙස හංවඩු ගසමිනි. 1971 දී නැගෙනහිර පකිස්ථානයේ ඉන්දියානු මිලිටරි මැදිහත්වීමට ඔහු දුන් සහයෝගයේ දී මෙන්ම, බන්ඩාගේ ආස්ථානය පාදක වූයේ, 1947-48 දී අධිරාජ්‍යවාදය විසින් දකුනු ආසියාවේ ස්ථාපිත කරන ලද ඊනියා, ස්වාධීන, ජාතික රාජ්‍ය ආරක්ෂා කිරීම මතය. 

කෙසේවෙතත්, එස්එල්එල් නායකත්වයේ අත්දැකීම හා දේශපාලන අධිකාරිය පිලිගනිමින්, විකොස දෙමල ජනයාගේ ස්වයං-නිර්න අයිතිය ආරක්ෂා කිරීමේ සිය ආස්ථානය අකැමැත්තෙන් වුවත් ඉවත් කරගත්තේය. දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට සහ සමාජවාදී පිලිවෙත් මත සිංහල හා දෙමල කම්කරුවන්ගේ ඒකාබද්ධතාවය සඳහා සටන් වැදීමට විකොස අඛන්ඩව කැප වූ අතර, 1970 දශකයේ වැඩි කාලයක් තුල එහි සප්‍රතිපත්තික අරගලය, ස්වයං-නිර්න අයිතිය ආරක්ෂා කිරීමේ වැදගත් උපායික අවිය එස්එල්එල් නායකත්වය විසින් එයට අහිමි කිරීම මගින් අවහිර කරනු ලැබීය. 

එහෙත් 1979 දී, දෙමල ජාතික විමුක්ති අරගලය ජාත්‍යන්තර අර්ථභාරයක් අත්පත් කරගත් කල, කවිප නායකත්වය අංශක 180ක හැරීමක් ගෙන, සුලු‍ ධනේශ්වර දෙමල ජාතිකවාදී කන්ඩායම් අවිවේචනාත්මකව වැලඳගැනීමට පැනගත්තේය. අරාබි ධනේශ්වරය සමග එය ඇතිකරගත් අප්‍රතිපත්තික සබඳතා සමග ගැලපෙන පරිදි, කවිප දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමග සබඳතා ගොඩනගා ගත් අතර, එයට “සමාජවාදී” පැහැය තවරා, දෙමල ජාතිකවාදය හා එල්ටීටීඊය වැලඳගැනීමේ සිය පිලිවෙත විකොස මත ද පැටවීමට උත්සාහ කලේය. 

1983 දී, එය වෙලඳ පොල-ගැති පිලිවෙත්වලට හැරී ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, කොලඹ ආන්ඩුව ගැඹුරු අර්බුදයක ගිලීයාමේ තතු යටතේ, එය සිය දෙමල-විරෝධී ප්‍රකෝපකරනයන් දිවයින පුරා ජනඝාතක ව්‍යාපාරයක් බවට නාටකාකාර ලෙස උත්සන්න කල අතර, එමගින් සිය ගනනක් ජීවිත බිලිගැනුනි. සිංහල සහ දෙමල කම්කරුවන්ගේ ඒකාබද්ධතාව සඳහා කැඳවුම් කරමින්, මෙම මහා පරිමාන ප්‍රචන්ඩත්වයට විරුද්ධ වූ එකම සංවිධානය විකොසයි. විකොස ආරක්ෂා කිරීම කෙසේවෙතත්, විකොස සාමාජිකයන්ගේ ඉරනම පිලිබඳව සොයාබැලීමට වත් කවිප කිසිදු උනන්දුවක් නොදැක්වීය. විකොස වැනසී යන්නට ඇතැයි සිය පුවත්පත් මගින් උපකල්පනය කිරීමට කවිප හුදෙක් සීමා විය. මෙය, 2009 දී අවසන් වූ ශ්‍රී ලංකාවේ දිග්ගැසුනු සිවිල් යුද්ධයේ ආරම්භය විය. 

විකොස, දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේත් සමාජවාදී ක්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් සඳහා වූ අරගලයේ පදනම මත, සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික රේඛා කපාගෙන, දිවයිනේ කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේත් සිය ධෛර්ය සම්පන්න දේශපාලන අරගලය අඛන්ඩව ගෙන ගියේය. එහෙත් කවිප එල්ටීටීඊ සංවිධානයට දුන් අවිවේචනාත්මක සහයෝගය නිසා, එල්ටීටීඊය ඇතුලු‍ දෙමල බෙදුම්වාදී කන්ඩායම්වල දේශපාලනය පිලිබඳ මොන යම් හෝ බැරෑරුම් විශ්ලේෂනයක් කිරීමෙන් විකොස වලකාලනු ලැබුනි. 

ජාතික ප්‍රශ්නය ද එයට සම්බන්ධිතව ශ්‍රී ලංකා ශාඛාවේ දේශපාලන ඉදිරිදර්ශනයන් ද පිලිබඳ බැරෑරුම් විමර්ශනයක් ආරම්භ කිරීමට විකොසට සහ ජාත්‍යන්තර කමිටුවට හැකි වූයේ 1985-86 භේදයෙන් පසුව පමනි. 1971 දී එවකට නැගෙනහිර පකිස්ථානය තුල ඉන්දියානු මිලිටරි මැදිහත්වීම පිලිබඳ විකොස ලියවිලි 1987 මාර්තු Fourth International(ෆෝර්ත් ඉන්ටර්නැෂනල්) සඟරාවේ පල කෙරුනි. 

1987 ජුලි මස, ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස, ගැඹුරු අර්බුදයකට මුහුන දුන් තතු තුල, ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි සමග “ඉන්දු-ලංකා ගිවිසුම” අත්සන් කලේය. එම ගිවිසුම යටතේ, දෙමල සන්නද්ධ කන්ඩායම් නිරායුධ කිරීමත් ගිවිසුමට එරෙහි මොනයම් හෝ විරුද්ධත්වයක් මැඩීමත් පිනිස දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත්වලට ඉන්දියානු හමුදාව ගෙනඑනු ලදි. උතුරෙන් හා නැගෙනහිරෙන් නිදහස් කෙරුනු ශ්‍රී ලංකා හමුදා භටයෝ, කම්කරු පන්තිය සහ විශේෂයෙන් ම ගම්බද තරුනයන් වෙතින් නැගෙන වැඩෙන සමාජ විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා දකුනු ප්‍රදේශවල මුදා හැරුනි. 

සිංහල ස්වෝත්තමවාදී ආස්ථානයකින් ගිවිසුමට විරුද්ධව උද්ඝෝෂනයක් දියත් කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) සහ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) ද, එය දිවයිනට සාමය ගෙන එනු ඇති බවටත් එනයින් ජාතික ප්‍රශ්නය විසඳාලනු ඇති බවටත් කියාපාමින්, ජයවර්ධනගේ පියවර සමග පෙලගැසුනු ලංකා සමසමාජ පක්ෂයට (ලසසප), ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට (කොප) සහ පැබ්ලෝවාදී නව සමසමාජ පක්ෂයට (නසසප) ද එරෙහිව, කම්කරු පන්තික ජාත්‍යන්තරවාදයේ පදනම මත ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වූයේ විකොස පමනි. විකොස ගිවිසුමටත් ඉන්දියානු මිලිටරි මැදිහත්වීමටත් එරෙහිව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට සටන් වැදුනි. 

ජාතික ප්‍රශ්නය පිලිබඳ විකොස දේශපාලන පිලිවෙත වර්ධනය වූයේ, ජාත්‍යන්තර කමිටුව සමග පැවැති පුලු‍ල් සාකච්ඡා තුලිනි. එහි දී ජාතික උපායන් මත ජාත්‍යන්තර මූලෝපායේ ප්‍රමුඛ ආධිපත්‍යය නිවැරදිව තහවුරු කෙරුනි. 

1987 නොවැම්බරයේ දී, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ශ්‍රී ලංකාවේ තත්වය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කර්තව්‍යයෝ යන මැයෙන් විස්තීර්න ප්‍රකාශයක් පල කලේය. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත දැඩිව පදනම් වූ මෙම ප්‍රකාශය, දිවයිනේ දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සාක්ෂාත් කර ගත හැක්කේ, සමාජවාදයට සහයෝගය දෙන, සිංහල හා දෙමල වාර්ගික රේඛා හරහා කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් මගින් ම පමනකි යන්න තහවුරු කලේය. එය, ශ්‍රී ලංකා-දෙමල ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වූ කැඳවුම ප්‍රථම වතාවට මතු කලේය. 

ඉන්දු-ලංකා ගිවිසුම මගින් එලිදරව් කෙරී ඇති, ජාතික ධනේශ්වරයේ දුෂ්ඨ ස්වභාවය පෙන්වා දෙමින්, එම ලියවිල්ල මෙසේ ප්‍රකාශ කලේය:

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම ද ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පලාත් ඉන්දියානු හමුදා විසින් ආක්‍රමනය කරනු ලැබීම ද මේ සියවස තුල පසුගාමී රටවල ජාතික ධනේශ්වරයේ ද්‍රෝහී. ප්‍රතිගාමී ස්වභාවය පිලිබඳව පීඩිත ජනතාවන් දැනට මත් ලබා ඇති අප්‍රමාන ඛේදජනක අත්දැකීම් සම්භාරයට තවත් එකක් එකතු කරමින් ඔවුන්ට තවත් කටුක පාඩමක් සපයා දී ඇත.

... ඉන්දියාවේ ද ශ්‍රී ලංකාවේ ද ධනපති පන්තියට අනාගතයේ දී තම දෙරටේ ප්‍රගතිය උදෙසා මොන යම් මැ හෝ ප්‍රගතිශීලී කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ ය යන වංචාවේ නූල් පටක් හෝ ඉතිරිව තිබුනේ නම් දැන් ඒ සියල්ල ජයවර්ධනගේ හා ගාන්ධිගේ පිලිවෙත්වලින් සුනු විසුනු වී ගොස් තිබේ. [5]

අවශ්‍ය ඓතිහාසික පාඩම් උකහා ගනිමින්, ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය මෙසේ අවධාරනය කලේය:

අධිරාජ්‍යවාදයේ අනුමැතිය ලත් “ස්වාධීනත්වයේ” අර්ථය වූයේ අනිවාර්යයෙන් ම ප්‍රජාතන්ත්‍ර මූලධර්ම මාරක ලෙස උල්ලංඝනය කිරීම මත පදනම් කරනු ලැබූ අවජාතක රාජ්‍යයන් බිහි කිරීම ය. මෙම ක්‍රියා දාමයේ දී ජාතික ධනේශ්වර පන්තිය ක්‍රියා කොට ඇත්තේ පීඩිත ජනතාවගේ විමුක්තිදායකයා ලෙස නො ව අධිරාජ්‍යවාදී කොල්ලයේ කනිෂ්ඨ හවුල්කරුවා ලෙස ය. මෙම ක්‍රියාවලිය තුල දී නිර්මානය කරනු ලැබූ රාජ්‍ය වර්ගය නිෂ්පාදන බලවේගයන්ගේ ප්‍රගතිශීලී වර්ධනයක් ඇති කිරීමට අසමත් වූ කුනු වන ධනවාදයේ සිපිරි බිමක් මැ වී ය.[6]

ඉන්දියානු ධනේශ්වරයට එල්ටීටීඊයේ යටත් වීම මගින් සුලු‍ ධනේශ්වර ජාතිකවාදයේ බංකොලොත්භාවය එලිදරව් කෙරී ඇති ආකාරය ද එම ලියවිල්ල මෙසේ පැහැදිලි කලේය:

මුලු‍ මහත් ජනතාවන්ගේ ඉරනම පරදුවට තැබී ඇති මෙබඳු තත්වයක දී භාවාතීෂයත්වයට ඉඩ නැත. එල්ටීටීඊ සංවිධානය පත් වී ඇති දුෂ්කර තත්වය ද, එහි සටන්කරුවන්ගේ ඉරනම පිලිබඳව ද, අප දක්වන සානුකම්පික අවධානය තිබිය දී ම, අපි කිව යුත්ත නො වලහා කියමු: 1987 ජුලි 29 දා පටන් ජාතික සටන මුහුන පෑ බරපතල පසු බෑම්වලට ප්‍රධාන වගකීම පැවරෙන්නේ එල්ටීටීඊ සංවිධානයේ උර මතට ය. [7]

ප්‍රකාශය තව දුරටත් මෙසේ සඳහන් කලේය:

ස්වයං-නිර්නය සඳහා ජාතීන්ගේ අයිතිය සාක්ෂාත් කර ගත හැකි එක ම සමාජ බලවේගය නිර්ධන පන්තිය යි. එහෙත් නිර්ධන පන්තිය මෙය ඉටු කරන්නේ ජාතික ධනේශ්වරයේ වලිගයක් හැටියට නො ව, එහි සම්මුති විරහිත සතුරෙකු හැටියට ය. නිර්ධන පන්තිය ජාතීන්ගේ ස්වංය-නිර්නය අයිතිය සඳහා සටන් වදින්නේ තමන්ට ම ආවේනික වූ අවිවලිනි; තමන්ගේ ම ක්‍රියා මාර්ගය මත ය; ගමේ හා නගරයේ සියලු‍ පීඩිත ජනතාව තමන් පිටු පස බලමුලු‍ ගන්වා ගනිමිනි. ජාතික ස්වයං-නිර්නය අයිතිය තහවුරු කෙරෙනවා ඇත්තේ සිය ඒකාධිපතිත්වය පිහිටුවා ගෙන සියලු‍ ම පීඩිත ජනයාට ඔවුන්ගේ යුක්ති යුක්ත ප්‍රජාතන්ත්‍ර අයිතීන් සහතික කරන්නා වූ, කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙස ය. . . . දෙමල ඊලම් හා ශ්‍රී ලංකාව අතර එක්සත් සමාජවාදී රාජ්‍යයන්ගේ සමූහාන්ඩුවක් සඳහා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ක්‍රියා මාර්ගයේ සාරභූත අන්තර්ගතය මෙය යි. [8]

ඉන්දු-ලංකා ගිවිසුමට එල්ල වූ අනෙක් එකම විරුද්ධත්වය වූයේ, ආන්ඩුව රට කඩන බවට චෝදනා කරමින් තම වර්ජනවලට හා විරෝධතාවලට එක් වන ලෙස තුවක්කු තුඩෙන් කම්කරුවන්ට අන කරමින්, සිංහල ස්වෝත්තමවාදී ආස්ථානයකින් ජවිපෙ ගෙනගිය උද්ඝෝෂනයයි. 1988 අග වන විට, ජවිපෙ මැරයෝ පොදුවේ කම්කරු පන්තියටත් විශේෂයෙන් ම වෘත්තීය සාංගමිකයන්ට සහ ලසසප, කොප හා නසසප නායකයන්ට හා සාමාජිකයන්ටත්, එරෙහිව මිනීමරු ප්‍රහාර ගෙන ගියහ. ජවිපෙ ඝාතකයෝ විකොස සාමාජිකයන් තිදෙනෙකු මරා දැමූහ. කම්කරු පන්තියට එරෙහි ජවිපෙ මිනීමරු ෆැසිස්ට් ප්‍රහාර, කම්කරු පන්තියට එරෙහි එජාප ආන්ඩුවේ පොලිස්-මිලිටරි බලමුලු‍ ගැන්වීම් සමග අනුරූප විය. 

1988 අග දී, විකොස සහ ජාත්‍යන්තර කමිටුව, ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාරවලට සහ එජාප ආන්ඩුවේ මිලිටරි-පොලිස් මර්දනයට එරෙහිව සියලු‍ කම්කරු පන්තික පක්ෂවල සහ සංවිධානවල එක්සත් පෙරමුනක් සඳහා කැඳවුම් කරමින්, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු‍ ගැන්වීම ඉලක්ක කරගත්, අතිශයින් වැදගත් උපායික මූලිකත්වයක් වර්ධනය කලේය. ධනේශ්වර පාලනයට එරෙහිව එක්සත් ව්‍යාපාරයක් ලෙස, කම්කරු පන්තිය ස්වාධීනව බලු‍මුලු‍ ගැන්වීමටත් ධනපති පාලනය පෙරලා දමා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීමේ අරගලයක් තුල, දුගී ගොවිජනයා ඇතුලු‍ සියලු‍ පීඩිත මහජනයා කම්කරු පන්තිය වටා රැලි කරගැනීමටත් විකොස සටන් වැදුනි. 

ජවිපෙ සමාජ පදනම - දිවයිනේ දකුනේ ගොවි ජනයා සහ රැකියා විරහිත සිංහල තරුනයන් - පිලිබඳව විකොස දැරිය යුතු ආකල්පය සම්බන්ධ අගනා සාකච්ඡාවක් වර්ධනය විය. ගොවි ජනතාව සම්බන්ධයෙන් කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයේ ආකල්පය පැහැදිලි කිරීමෙහි ලා මෙය තීරනාත්මක විය. කොලඹ ආන්ඩුව ජවිපෙ ආධාරකරුවන් මහා පරිමානයෙන් ඝාතනය කිරීම කෙරෙහි උදාසීන ප්‍රවනතාවක්, විකොස ලියවිලි තුල, ජාත්‍යන්තර කමිටුව නිවැරදිව හඳුනා ගත්තේය. මෙම ඝාතන ගොවි ජනතාවට එරෙහිව පොදුවේ දියත් කෙරුනු ත්‍රස්ත ව්‍යාපාරයක් විය. මෙම ව්‍යායාමය තුල තරුනයන් 60,000ක් පමන ඝාතනය කරන ලදි. 

සාකච්ඡාව තුල දී, ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේය:

කම්කරු පන්ති ඒකාධිපතිත්වය, පෙරලා දමනු ලැබූ ධනේශ්වරයට එරෙහි අයෝමය මුෂ්ටියක් වන අතර එය පීඩිත ගොවි ජනයාට ආධාරයේ හස්තය දිගු කරනු ඇත. බෝල්ෂේවික්වරු 1917 ඔක්තෝබර් පිහිටුවන ලද පාලනතන්ත්‍රය දිලිඳු ගොවි ජනයාගේ ආධාරය මත පදනම් වූ කම්කරු පන්ති ඒකාධිපතිත්වය යැයි නිරතුරුවම විලක්ෂනය කලහ. කම්කරු පන්ති ඒකාධිපතිත්වය ධනේශ්වරය මත පාලනය පවත්වමින් එය මර්දනය කල අතර, එය පදනම් වී තිබුනේ නාගරික කම්කරුවන් ද ගම්බද ගොවීන් ද අතර සන්ධානයක් මත ය.

ප්‍රශ්නය තව දුරටත් පැහැදිලි කරමින්, ඔහු මෙසේ පැවසීය:

යට දැක්වෙන පිටුවල ඔබගේ ප්‍රකාශය කියන පරිදි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගම්බද ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන්නේ ගම්බද දුගී ගොවීන් කම්කරු පන්තිය දෙස ආකර්ෂනය කර ගැනීමට ය. එහෙත් කම්කරු පන්තියට “අනෙකුත් සියලු‍ම පන්තීන් මත” පාලනය පවත්වා ගැනීමට ඇත්තා වූ “ඓතිහාසික යුක්තිසහගතභාවය” අපි විසින් වගවර්නනා කිරීම ද ධනපති පන්තියට එරෙහිව ද ගම්බද පීඩිත ජනතාවට පක්ෂව ද කම්කරු පන්ති ඒකාධිපතිත්වය දරන්නා වූ අර්ථභාරය වෙන්කර විස්තර කිරීමට පසුබට වීම ද ඉහත කී කර්තව්‍යයට බාධාකාරී වනු ඇත. [9]

ජවිපෙ නායක විජේවීර ඝාතනය පිලිබඳ විකොස ප්‍රකාශයකට නෝර්ත් විරුද්ධත්වය පල කලේය. එම ප්‍රකාශය ජවිපෙ සමාජ පදනමට - ගොවි ජනතාවට හා ගම්බද තරුනයන්ට - එරෙහි වඩා පුලු‍ල් මර්දනය සැලකිල්ලට ගැනීමට අසමත්ව තිබුනි. 

අපේ කර්තව්‍යය වන්නේ විජේවීර පිලිබඳ සදාචාර විනිශ්චයක් සම්මත කිරීම නොවේ, මෙම ව්‍යාපාරයේ සමාජ පදනම වටහා ගැනීම ය. අපට විජේවීර කෙරෙහි සුලු‍ හෝ අනුකම්පාවක් නැත. ඔහුගේ මරනය ගැන අපි නොවැලපෙමු. එහෙත් ජවිපෙ පිලිබඳ ගැටලු‍ව ශ්‍රී ලංකාවේ හා පොදුවේ යටත් විජිත රටවල සංකීර්න සමාජ සම්බන්ධතාවල දෘෂ්ටි ආස්ථානයේ මිස අන් ලෙසකින් වටහා ගත නොහැකි බව තේරුම් ගත යුතු ය. [10]

ජවිපෙ සඳහා පදනම දමා තිබුනේ ලසසපයේ පාවාදීම සහ ගොවි ජනතාව සම්බන්ධයෙන් එහි නොතැකීම බව නෝර්ත් නිවැරදිව පෙන්වා දුන්නේය. විකොසට එම මාවතේම පල්ලං බැසිය නොහැකිය. 

1990 නොවැම්බර් 6-9 දිනවල ඩේවිඩ් නෝර්ත් සමග පැවැති විකොස මධ්‍යම කාරක සභාවේ නියෝජිත කන්ඩායමක සැසිවාරයක දී මෙම ප්‍රශ්නය තව දුරටත් සාකච්ඡා කරන ලදි. එම සාකච්ඡාව, ශ්‍රී ලංකාවේ දකුනේ සිදු වෙමින් පැවති ජනඝාතනයට එරෙහි ජාත්‍යන්තර උද්ඝෝෂනයකට තුඩු දුනි. 

ඉහත සාකච්ඡාවල දී අත්පත් කර ගැනුනු දේශපාලන හා න්‍යායික පැහැදිලි කිරීම් මත පාදකව, විකොස ප්‍රකාශයක් නිකුත් කල අතර එය, දකුනේ ගම්බද තරුනයන්ට එරෙහි රාජ්‍ය ඝාතන ව්‍යාපාරය ද උතුරේ දෙමල ජනයාට එරෙහි යලි ඇරඹූ යුද්ධය ද නතර කරනු පිනිස, ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස, මැදිහත් වන ලෙස කම්කරු පන්තියට කැඳවුම් කලේය. රාජ්‍ය ත්‍රස්තයට එරෙහිව ගම්බද ජනයා ආරක්ෂා කිරීම ධනේශ්වර පාලනය පෙරලා දමා ශ්‍රී ලංකා-ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක රූපාකාරයෙන් කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීමේ අරගලය සමග අත්‍යන්තයෙන් ම බැඳී පවතින බව ද එම ප්‍රකාශය පෙන්වා දුන්නේය. 

එය විකොස සහ ජාත්‍යන්තර කමිටුවේ සියලු‍ ශාඛා විසින් ගෙනයනු ලැබූ පුලු‍ල් උද්ඝෝෂනයක් සඳහා පදනම බවට පත්විය.

ශ්‍රී ලංකාව සහ පුලු‍ල් දකුනු ආසියානු කලාපය සඳහා විකොස ඉදිරිදර්ශනයන්ට සෘජුව සම්බන්ධිතව, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, 1990 ගනන් මුල දී, බෝල්කන් කලාපයේ, නැගෙනහිර යුරෝපයේ සහ පැවති සෝවියට් සංගමයේ බෙදුම්වාදී ව්‍යාපාර පැනනැගීම මත පාදකව, ජාතික ප්‍රශ්නය පිලිබඳ විවේචනාත්මක යලි-විමර්ශනයක් ආරම්භ කලේය. 

1993 ජූනි මස පැවති ජාත්‍යන්තර කමිටුවේ 13 වන පුන් සැසියේ දී, ජාත්‍යන්තර කමිටුව ජාතික ප්‍රශ්නය පිලිබඳ එහි ක්‍රියාමාර්ගයට සහ විශේෂයෙන් ම “ස්වයං-නිර්නය” සම්බන්ධයෙන් එහි ආකල්පයට සම්බන්ධිතව පුලු‍ල් සාකච්ඡාවන් පැවැත්වීය. 

ඩේවිඩ් නෝර්ත් මෙසේ සටහන් කලේය:

ස්වයං-නිර්නය පිලිබඳ ප්‍රශ්නය ද - පොදුවේ ජාතිකවාදය ද - පිලිබඳ ඓතිහාසික-භෞතිකවාදී ප්‍රවිෂ්ටය, කිසිදු සමාජ ප්‍රපංචයකට අධි-ඓතිහාසික හෝ අකාලික ගුනයක් ආරෝපනය කිරීම ප්‍රතික්ෂේප කරන අතර, තථ්‍ය වසයෙන් ගත්කල, “ජාතීන්ගේ ස්වයං-නිර්න අයිතිය සම්බන්ධයෙන් කාන්ඩ තුනක රටවල්” ලෙස සැඳහුම් කරමින් ඔහු කල සුවිශේෂී හා ඓතිහාසිකව-නිශ්චිත අර්ථදැක්වීම තුල ලෙනින් විසින් එම ප්‍රවිෂ්ටය මුලු‍මනින්ම ප්‍රදර්ශනය කර තිබේ. 

“ජාතීන්ගේ ස්වයං-නිර්න අයිතිය සම්බන්ධයෙන් කාන්ඩ තුනක රටවල්වලට” ඔහු සැඳහුම් කල, ජාතික ප්‍රශ්නය පිලිබඳ 1913-16 කාලයේ ඔහුගේ ලියවිලි තුල, ලෙනින් “ජාතීන්ගේ ස්වංය-නිර්න අයිතියට” සහයෝගය දුන් විට, ඔහු එසේ කලේ, වාර්ගික රේඛා කපාගෙන කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ සහ සාර්වාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය සඳහා පීඩිත ජාතීන්ගේ සහයෝගය රැලි කරගැනීමේ විධික්‍රමයක් ලෙස ය. ඔහුගේ ආස්ථානය සෑමවිටම, සමාජ හා ආර්ථික වර්ධනයේ සහ පන්ති අරගලයේ මට්ටම මත පාදකව කොන්දේසි සහිත විය. 1913 දී, රුසියානු අධිරාජ්‍යය, බෝල්කන් කලාපය සහ නැගෙනහිර යුරෝපය තුල ස්වයං-නිර්න අයිතියට ඔහු සහයෝගය දුන් විට, මෙම රටවල් තවමත් බොහෝ සෙයින් කෘෂිකාර්මිකව පැවති අතර ධනවාදයේ හා ජාතික ව්‍යාපාරයේ වර්ධනය ඒවායේ ආරම්භක අදියරයන්හි පැවතුනි. [11]

සිය වසකට වැඩි කාල පරිච්ඡේදයකට පසුව, මෙම සියලු‍ කලාපයන්, සමස්තයක් ලෙස ලෝකය මෙන්ම, දැවැන්ත වෙනස්වීම්වලට ලක්ව තිබේ.

තුන් වන කාන්ඩයේ - ආසියාවේ හා අප්‍රිකාවේ - රටවල් තුල කොන්දේසිවල සිදුව ඇති ප්‍රගාඪ වෙනස්කම් පෙන්වා දෙමින්, නෝර්ත් මෙසේ සඳහන් කලේය:

ලෙනින් මෙම කාන්ඩය අර්ථදැක්වූ කාලයේ පැවති තත්වයට සැබැවින්ම අනුරූප වන මොන යම් හෝ රටක් හෝ රටවල් කන්ඩායමක් අද පවතිනවාද? ප්‍රශ්නය මතු කිරීමම එයට පිලිතුරු දීමකි. 1913 හෝ 1914 ආසියාව හෝ අප්‍රිකාව පැහැදිලිවම බොහෝ සෙයින් පරිවර්තනයට ලක්ව ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව “නිදහස” ලබාගත් ජාතිකවාදී ව්‍යාපාර මොන යම් හෝ ප්‍රජාතන්ත්‍ර කර්තව්‍යයක් විසඳාලීමට නිහීන ලෙස අසමත්වීමේ ප්‍රතිඵලයක් ලෙස, විවිධාකාර ජනවාර්ගික, වාර්ගික මෙන්ම ආගමික රේඛා ඔස්සේ, එම කලාපවල, නව ව්‍යාපාර පැනනැගුනි. [12]

මෙම පොදු සන්තතියේ ප්‍රකාශනයක් වශයෙන් ඉන්දියාව නිදසුනක් ලෙස ගනිමින්, නෝර්ත් මෙසේ පැහැදිලි කලේය:

ඉන්දියාවේ ධනේශ්වර ජාතික ව්‍යාපෘතිය බිඳ විසිරීමේ ප්‍රතිඵලයක් ලෙස, එය වෙනත් ආකාරයකින් පැවසුව හොත්, නිසැකවම, ඉන්දියානු ධනේශ්වරය, සැබෑ ජාතික ඒකාබද්ධතාවය සාක්ෂාත් කරගැනීමට වත් ඉන්දියාව අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන් නිදහස් කර ගැනීමට වත් අසමත්වීම හේතු කොටගෙන, මෙම රාජ්‍යයේ මලකුන මත පදනම්ව, සියලු‍ම වර්ගයේ විඛන්ඩනශීලි සහ බෙදුම්වාදී ව්‍යාපාර යලි පැනනැගීම අපි අත්දකිමු. මෙම ව්‍යාපාර මොන යම් හෝ අර්ථයකින් වත්, සියවසේ ප්‍රථම භාගයේ පැවති විප්ලවවාදී ජාතිකවාදී ව්‍යාපාර ගුනාංගීකරනය කල සාර්වත්‍රික පරිශ්‍රමයන් කිසිදු අයුරකින් වත් දේහානුරූප කරන්නේ නැත.[13]

පැවති සෝවියට් සංගමය, නැගෙනහිර යුරෝපය හා බෝල්කන් කලාපය තුල, හිටපු ස්ටැලින්වාදී නිලධරයන්ගෙන් හා ධනපතියන්ගෙන් සමන්විත කුඩා කල්ලි, ධනවාදී පුනස්ථාපනයේ කොටසක් ලෙස තමතමන්ට භූමි ප්‍රදේශ බෙදා වෙන් කර ගැනීම පිනිස, විවිධාකාර වාර්ගික හා ජනවාර්ගික භේදයන් අවුලවමින් සිටිති.

මෙම නව ජාතිකවාදී බෙදුම්වාදී ව්‍යාපාර එකකට වත් අධිරාජ්‍ය-විරෝධී හෝ ඓතිහාසිකව ප්‍රගතිශීලී ස්වභාවයක් ඇත්තේ නැත. ඒ වෙනුවට, ඔවුහු, විදේශ බහු-ජාතික සංගත සඳහා ආරක්ෂිත පාරාදීසයන් ප්‍රදානය කරමින්, අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහය සහ ගෝලීය ප්‍රාග්ධනය සමග තනි තනි ගනුදෙනු හඹා යාමේ ක්‍රියාශීලිව යෙදී සිටිති. 

නෝර්ත් මෙසේ අදහස් දැක්වීය:

බහු-ජාතික නිෂ්පාදනයේ වර්ධනය, නිමක් නැති රාජ්‍යවලට හෝ නිමක් නැති කුඩා කන්ඩායම්වලට ඔවුන්ට මින් පෙර කිසිදා නොතිබූ අවස්ථාවන් ලබා දී ඇත. ආර්ථික වර්ධනයේ ක්‍රියාදාමය, ප්‍රාග්ධනයේ ජංගමශීලී ස්වභාවය, සමහර ජාතික කන්ඩායම්වලට - ඒ හෝ මේ ආකාරයේ ජනවාර්ගික කන්ඩායම්වලට, ඔවුන් ජාත්‍යන්තර ප්‍රාග්ධනය සමග සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න මත පදනම්ව, ඉතා කුඩා ප්‍රදේශයක් තුල පවා - ස්වාධීනත්වයේ පදනම මත සමහර නිශ්චිත වාසි අත්පත් කර ගැනීමේ හැකියාව ලබා දෙයි. කෙසේ වෙතත්, සිංගප්පූරුව, තායිවානය සහ හොංකො මේ පිලිබඳ ආදර්ශයන්ය. [14]

සාකච්ඡාව තුල දී, විකොස ප්‍රධාන ලේකම් විජේ ඩයස් මෙසේ පැවසීය:

විප්ලවවාදීන් ජාතික ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳ ප්‍රශ්නයට ප්‍රවිෂ්ට විය යුත්තේ, මාක්ස්වාදී ව්‍යාපාරය - ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය - සටන් වදින ලෝක සමාජවාදී ක්‍රියාමාර්ගයේ කොටසක් ලෙස ය. මෙම ප්‍රජාතන්ත්‍ර කර්තව්‍යයන් සාක්ෂාත් කරගත හැක්කේ සමාජවාදී විප්ලවයේ අතුරුඵලයක් ලෙස පමනකි යන්න අපි නිරතුරුවම අවධාරනය කොට ඇත්තෙමු. එබැවින්, ජාතික ප්‍රජාතන්ත්‍ර අයිතීන් සාක්ෂාත් කරගත හැක්කේ, ලෝක සමාජවාදී විප්ලවයේ අතුරුඵලයක් ලෙස පමනි. ජාතික ප්‍රජාතන්ත්‍ර අයිතීන් සාක්ෂාත් කරගැනීම පිනිස ජාතික මාවත් ඇත්තේ නැත. ජාතික විමුක්තියට ජාතික මාවත් නැත.[15]

ලෝක තත්වයේ සිදුව ඇති දැවැන්ත පරිවර්තනවල කොන්දේසි යටතේ, “ස්වයං-නිර්නය” පිලිබඳ සටන් පාඨය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුවේ ආකල්පයේ වෙනසක් සඳහා තර්ක කරමින් ඩේවිඩ් නෝර්ත් මෙසේ ප්‍රකාශ කලේය:

වාර්ගික, ජනවාර්ගික සහ ස්වෝත්තමවාදී ව්‍යාපාර ප්‍රජාතන්ත්‍ර වාග්පාඨ - ස්වයං-නිර්නයේ, ජාතික විමුක්තියේ සටන් පාඨය - පිටුපස හැංගෙන්නේ, අධිරාජ්‍යවාදය විසින් පුලු‍ල් මහජනතාව යලිත් වහල්භාවයට යටත් කිරීම සිය ආර්ථික අන්තර්ගතය වන පිලිවෙතක් ඔවුන් අනුයන අතර ය. ඔවුහු යොමු වී සිටින්නේ, පෙර ඓතිහාසික කාල පරිච්ඡේදයක දී මෙම පදය අවබෝධ කර ගැනුනු අර්ථයෙන් ගත් කල, ජාතික විමුක්තිය දෙසට නොව, කලින් මහජනතාව විසින් අත්පත් කරගැනුනු සීමිත ජයග්‍රහන පවා අතුගාදැමීම දෙසට ය. [16]

මෙම සාකච්ඡාවේ දී අත්පත් කරගැනුනු දේශපාලනික හා න්‍යායික පැහැදිලිකම හරහා, ජාත්‍යන්තර කමිටුව, මෙම නිගමනයට එලඹුනි. එනම්, කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ අරගලය උදෙසා, විවිධාකාර ජාතික බෙදුම්වාදී ව්‍යාපාරවල පැනනැගීම සහ වෙනම ධනේශ්වර රාජ්‍යයන් - එල්ටීටීඊය වැනි බොහෝ සංවිධාන සම්බන්ධයෙන් ගත් කල රාජ්‍ය කැබලිති - ඇටවීම යුක්තියුක්ත කරනු පිනිස “ස්වයං-නිර්න අයිතිය” ඔවුන් විසින් තොරොම්බල් කිරීම සම්බන්ධයෙන්, විවේචනාත්මක ආකල්පයක්, සතුරු ආකල්පයක් පවා, ගත යුතු බවයි. 

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙසේ පැහැදිලි කලේය:

මෙහි දී මතු වන කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ, පැරනි ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල බිඳවැටීමට කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න ය. විජිතහරනය තුලින් නිර්මානය කරනු ලැබූ රාජ්‍යවල කැබලිති මත පදනම් වන ආගමික සුවිශේෂතාවාදය උඩ ගොඩනැගුනු නව බෙදුම්වාදී ව්‍යාපාර තුලින් ද, මෙම රටවල ජනතාව තමන්ගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන්නේ? 

අපි එවන් ඉදිරිදර්ශනයක් සාකල්‍යයෙන්ම ප්‍රතික්ෂේප කරමු. එවන් රාජ්‍ය කැබැලිති ඉන්දියාවේ වේවා, වෙනත් කොයියම්ම ප්‍රදේශයක හෝ වේවා කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට ඉදිරි මාවතක් සපයන්නේ නැත. වරප්‍රසාදිත පන්තීන්ගේ තුනී ස්ථරයක් තමන්ගේ ම නිදහස් වෙලඳ කලාපයක් ගොඩනගාගෙන අන්තර් ජාතික ප්‍රාග්ධනය සමග තමන්ගේ ම ජාවාරම් සකසා ගත හොත් ඔවුන් සඳහා ලාභ උපයා දීමට වඩා වැඩි දෙයක් කල නො හැකි වනු ඇත. මහජනතාවටම මෙවන් සංසිද්ධියකින් ලබා ගත හැක්කේ නො නවතින ජනවාර්ගික ලේ වැගිරීම්වලින් හා උග්‍ර කෙරුනු සූරාකෑමෙන් පමනක් යුක්ත අනාගතයක් පමනි. [17]

විකොස, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ගෙනයනු ලැබූ දෙමල-විරෝධී වර්ගවාදී යුද්ධයට එරෙහි සිය සප්‍රතිපත්තික හා ධෛර්ය සම්පන්න විරුද්ධත්වය ද පීඩිත දෙමල මහජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ සිය පිලිවෙත ද අඛන්ඩව ඉදිරියට ගෙන ගියේ එල්ටීටීඊයේ බෙදුම්වාදී වැඩපිලිවෙලට විරුද්ධ වන අතර ය. පක්ෂය, ධනේශ්වර පාලනය පෙරලා දමා, ශ්‍රී ලංකා-ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කරනු පිනිස, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ කරනු පිනිස වෙහෙස නොබලා අඛන්ඩව සටන් වැද තිබේ. 

පාද සටහන්:

[1] “විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ප්‍රකාශය,” 1971 දෙසැම්බර් 8, 

[2] “ක්ලිෆ් ස්ලෝටර් වෙත විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ලිපිය,” 1971 දෙසැම්බර් 16, 

[3] එම.

[4] ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්, කම්කරු මාවත ප්‍රකාශන, 2012, 125 පි. 

[5] “ශ්‍රී ලංකාවේ තත්වය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කර්තව්‍ය යෝ,” හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය, 1987 නොවැම්බර් 19.

[6] එම.

[7] එම.

[8] එම.

[9] “ඩේවිඩ් නෝර්ත්ගෙන් විජේ ඩයස්ට ලියුමක්”, 1988 දෙසැම්බර් 27, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය 1982-1991, 45 පි.

[10] “විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කමිටු රැස්වීම,” 1990 මාර්තු 3-8, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය 1982-1991, 64 පි.

[11] “Perspectives and Tasks of the ICFI: The Permanent Revolution Today"˜ 13th Plenum of the ICFI Essen" June 1-7" 1993 (“හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන සහ කර්තව්‍යයෝ: නො නවතින විප්ලවය අද”, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ 13 වන පුන් සැසිය, එසෙන්, 1993 ජූනි 1-7).

[12] එම 2 පි. 

[13] එම 4 පි. 

[14] එම 18-19 පිටු.

[15] එම 11 පි. 

[16] එම 34 පි. 

[17] භූගෝලීයකරනය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය, කම්කරු මාවත ප්‍රකාශන, 1999 මැයි, 118 පි.