මියුනිච් ආරක්ෂක සමුලුවේදී එක්සත් ජනපදය, හුආවේ මුල්කරගෙන යුරෝපයට තර්ජනය කරයි

එක්සත් ජනපද-යුරෝපා සංගම් සබඳතා තියුනු ලෙස පිරිහීම මධ්‍යයේ වොෂින්ටනය, ධවල මන්දිර නිලධාරීන් සහ කොන්ග්‍රස් සාමාජිකයින්ගේ ද්වි පාර්ශවීය දූත මන්ඩලයක් මියුනිච් ආරක්ෂක සමුළුවට යවනු ලැබුවේ, චීන විදුලි තොරතුරු සමාගමක් වන හුආවේ සමඟ ගනුදෙනු නොකරන ලෙස යුරෝපීය රටවලට බලපෑම් හා තර්ජනය කිරීමට ය.

ධවල මන්දිරයේ චීන විරෝධී උද්ඝෝෂනයට සහය පල කරමින්, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, කථානායක නැන්සි පෙලෝසි සහ ජනාධිපතිට අසාර්ථකවූ දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ කටයුතු අවසන් කල මන්ත්‍රීමන්ඬල බුද්ධි කමිටුවේ සභාපති ඇඩම් ෂිෆ් එහි ගියහ.

නැන්සි පෙලෝසි 2020 පෙබරවාරි 16 වන ඉරිදා මියුනිච් ආරක්ෂක සමුලුවේදී එක්සත් ජනපද නියෝජිත කන්ඩායමේ සාමාජිකයන් සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වේ. [ඡායාරූප අනුග්‍රහය ඒපී / ජෙබ්ස්් මේයර්, AP Photo/Jens Meyer]

ජර්මනිය, ප්‍රන්සය සහ වඩාත් මෑතකදී එක්සත් රාජධානිය විසින් ඔවුන්ගේ තොරතුරු හුවමාරු ජාල වලින් හුආවේ ඉවත් නොකරන බවට කරන ලද නිවේදන වලින් පසුව මෙම සමුලුව පැවැත්වින.

හුආවේ විසින් සපයනු ලබන යටිතල පහසුකම් තුලින්, චීනයට ඇමරිකානු සහචරයින්ගේ සන්නිවේදන පිලිබඳ ඔත්තු බැලීමට ඉඩ සලසනු ඇතැයි එක්සත් ජනපදය තර්ක කරන අතර, බීජිනය ඒවා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, වොෂිංටනයට අවශ්‍යව ඇත්තේ, තමන්ගේම හොරෙන් සවන් දීමක් ඇති කිරීම සඳහා ගෝලීය සන්නිවේදන යටිතල පහසුකම් පාලනය කිරීමට බවය.

මියුනිච් ආරක්ෂක සමුලුවට දින කිහිපයකට පෙර, වොෂිංටන් පෝස්ට් වාර්තා කලේ, පසුගිය දශක පහක කාලය තුල එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ලොව පුරා ආන්ඩු වල සංකේතාත්මක සන්නිවේදනයන් පිලිබඳ ඔත්තු බලමින් සිටි බවයි. ඒ සඳහා ස්විට්සර්ලන්තයේ පිහිටුවා ඇති, සීඅයිඒහි රහසිගත අයිතිය සහිත, ගෝලීය ආරක්ෂක සමාගමක් යොදාගෙන තිබුනි.

හුආවේහි පස්වන පරම්පරාවේ(5ජී) තොරතුරු තාක්ෂනයෙහි යටිතල පහසුකම්, එහි යුරෝපීය ප්‍රතිවාදීන් වන නොකියා සහ එරික්සන්ට වඩා බෙහෙවින් දියුනු වන අතර හුආවේහි තාක්ෂනය භාවිතා නොකිරීමට තීරනය කරන ඕනෑම රටක් සැලකිය යුතු අවාසි වලට මුහුන දෙනු ඇත.

මෙම සන්දර්භය තුල පෙලෝසි, ගැටුම සදාචාරාත්මක ප්‍රශ්නයක් ලෙස දක්වන අතර, ආරවුල “තොරතුරු අධිවේගී මාර්ගය මත ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව අත්තනෝමතිකත්වය තෝරා ගැනීමකැයි” තර්ක කලාය.

එහෙත් ඇමරිකානු නිලධාරීන්ගේ තර්ජන, වාචාලකම් සහ හිස් පොරොන්දු වලට යුරෝපීය නියෝජිතයින්ගෙන් හොඳ පිලිගැනීමක් නොලැබුනි. චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ෆු යින් සහ පෙලෝසි අතර සිදුවූ අසාමාන්‍ය සාකච්ඡාවක දී මෙය එලියට පැමිනියේය. එක්සත් ජනපද සමාගම් චීනයේ දේශපාලන ක්‍රමය වෙනස් නොකර දශක ගනනාවක් තිස්සේ චීනයේ ක්‍රියාත්මක වී ඇති තත්වය හමුවේ, චීන සමාගමක් බටහිර “ප්‍රජාතන්ත්‍රවාදයට“ තර්ජනය කරන්නේ මන්දැයි ඔහු කථානායකගෙන් විමසීය.

“තනි අධි තාක්ෂනික සමාගමක් වන හුආවේට, තර්ජනය කල හැකි තරම් ප්‍රජාතන්ත්‍රවාදය බිඳෙනසුලු ක්‍රමයක් විය හැකි යයි ඔබ සිතනවා ද?”

පෙලෝසි විස්මයට පත් කරමින්, රාජ්‍ය තාන්ත්‍රිකයාගේ ප්‍රකාශයට මහත් අත්පොලසන් හඬක් පලවිය. “ ප්‍රශංසාවට ලක්වුන ඔබට කියන්නට ඉඩ දෙන්න, හුආවේ නිර්මානය කරන ලද්දේ ඇමරිකානු මුල පිරීම්වල ප්‍රතිලෝම තාක්ෂනයෙනි,” ඇය පැවසුවාය.

වෙනම කථාවකදී පෙලෝසි, “ගෙවීමට විශාල මිලක් තිබේ” යනුවෙන් තර්ජනය කලාය .

ජර්මනියේ එක්සත් ජනපද තානාපති රිචඞ් ග්‍රෙනෙල්11දා පෙන්වා දුන්නේ, ධවල මන්දිරය සිය යුරෝපීය සහචරයින් සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම අවසන් කිරීම ගැන සලකා බලන බවයි. ඔහු ට්විටර් සටහනක මෙසේ සඳහන් කලේය. ඒඑෆ්අයි ඔස්සේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ දැන් මට උපදෙස් දුන්නේ, අවිශ්වාස ජී5 වෙලෙන්දෙක් යොදාගැනීමට තින්දු කරන ඕනෑම ජාතියක්, ඉහලම මට්ටමේදී බුද්ධි තොරතුරු බෙදාහදා ගැනීමට අපට ඇති හැකියාව පලදු කරන බව පැහැදිලි කරදෙන ලෙසයි.“

හුආවේ සම්බන්ධයෙන් රටවල් ගත් තීරන තිබියදී වුවත් එවැනි පියවරක්, “අපගේ සමස්ත බුද්ධි හුවමාරුවේ කිසිදු ඛාදනයක් සිදු නොකරනු ඇත” යන ධවල මන්දිර උපදේශකගේ කලින් ප්‍රකාශය ආපසු හැරවීමක් සනිටුහන් වේ.

එක්සත් රාජධානිය පසුගිය මාසයේ අග භාගයේ දී තම විදුලි සංදේශ ජාලයෙන් හුආවේ තහනම් නොකරන බව නිවේදනය කිරීමෙන් පසුව ට්‍රම්ප්, බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමඟ දුරකථන ඇමතුමක දී “සමාව අයැද සිටි” බව වාර්තා වුව ද එක්සත් ජනපදයට සැලසුම් කල සංචාරයක් අවලංගු කරමින් ජොන්සන් ඊට ප්‍රතිචාර දැක්වීය.

වඩාත්ම පැහැදිලි තර්ජනය එල්ල කලේ ආරක්ෂක ලේකම් එස්පර් විසිනි. “අපි දැන් සිටින්නේ මහා බල තරඟයක යුගයක ය. අපගේ ප්‍රධාන අභියෝගකරුවන් වන්නේ චීනයෙ හා පසුව රුසියාව ය. අප පොඩි පොඩි ගැටුම් වලින් ඉවත් වී නැවත වරක් ඉහල මට්ටමක යුද්ධයකට සූදානම් විය යුතුය.”

5ජී තාක්ෂනය යුරෝපයට විකිනීම සඳහා චීනය විසින් ගෙන යන “අශෝභන මූලෝපාය” ගැන අවදියෙන් සිටින ලෙස එස්පර් එක්සත් ජනපදයේ සිය සගයන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු පැවසුවේ, “අපට තර්ජනය නොතේරෙනවා නම් සහ අපි ඒ ගැන කිසිවක් නොකරන්නේ නම්, දවස අවසානයේදී එය ඉතිහාසයේ වඩාත්ම සාර්ථක මිලිටරි සන්ධානය වන නේටෝව සමග සම්මුතියකට පැමිනිය හැකිය .”

පසුව ඔහු එක්සත් ජනපද ස්ථාවරය යලිත් කියා සිටියේ, “මට පෙන්ටගනයේ ප්‍රධාන කනස්සල්ල කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍යයි: මහජන චීන සමූහාණ්ඩුව.”

චීනය ගැටුමේ කේන්ද්‍රයේ පැවතුන ද සමුලුව, එක්සත් ජනපදය හා යුරෝපය අතර බෙදීම් රාශියකින් ඉරී ගොස් තිබුනි. පසුගිය සතියේ ධවල මන්දිරය, යුරෝපීය ගුවන් යානා සඳහා තීරුබදු ඉහලු නංවන බව නිවේදනය කලේ, බෝයිං හි ප්‍රතිවාදියා වන එයාර් බස් වෙත ප්‍රහාරයක් එල්ල කරමිනි.

මේ අතර, එක්සත් ජනපද බලශක්ති ලේකම් ඩෑන් බෘලෙට්, ජර්මනියට නෝර්ඩ්ස්ට්‍රීම්II නල මාර්ගය අත්හැර දැමීමට බල කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සාර්ථකත්වය ගැන සතුටු වූ අතර, එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් එය ඉදිකරමින් සිටි යුරෝපීය සමාගමට ඉවත් වීමට බල කෙරුන තත්වය තුල, රුසියාවට නල මාර්ගය ඉදිකිරීම අවසන් කල හැකිද යන්න පිලිබඳ සැක මතු විය. “එය ඉතා දිගු ප්‍රමාදයක් වනු ඇත, මන්ද රුසියාවට තාක්ෂනය නොමැති නිසා” යයි බෘව්ලෙට් පැවසීය.

තම පාර්ශවයෙන් ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, රුසියාව සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තිය තියුනු ලෙස විවේචනය කලේය. ඔහු පැවසුවේ එය ඕනෑවට වඩා ආක්‍රමනශීලී බවයි. ”එය ප්‍රතිපත්තියක් නොවේ, එය සම්පූර්නයෙන්ම අකාර්යක්ෂම පද්ධතියකි,” ඔහු පැවසීය.

මැක්‍රොන් තවදුරටත් පැවසුවේ, “දෙවන තේරීමක් තිබේ, මූලෝපායික සංවාදයක් ඉල්ලා සිටීමින් එය නැවත ආරම්භ කිරීම ය. මන්ද අද අපි වඩාත් අඩුවෙන් කතා කරන නිසා ගැටුම් වැඩි වන අතර ඒවා විසඳීමට අපට නොහැකි ය.”

නිල වාර්තාවේ අන්තර්ගත සමුලුවේ තේමාව වූයේ “බටහිර” අර්බුදයයි. එහි හැඳින්වීම නිගමනය කලේ “බටහිර සැබවින්ම බරපතල කරදරයක” ට මුහුනපා සිටින බවය. “බටහිර නියෝජනය කරන්නේ කුමක්ද යන්න පිලිබඳ පොදු අවබෝධයක් නොතිබුනි” යනුවෙන් වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් සිය කතාවේදී ප්‍රකාශ කලේ, “අපගේ සමීපතම මිතුරා වන ඇමරිකා එක්සත් ජනපදය, වර්තමාන පරිපාලනය යටතේම, ජාත්‍යන්තර ප්‍රජාවක් පිලිබඳ අදහස ප්‍රතික්ෂේප කරයි” යනුවෙනි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ කතාව මෙම යථාර්ථයට අශෝභන ප්‍රතිචාරයක් ලෙස කල අතර ඔහු ප්‍රකාශ කලේ, “එම ප්‍රකාශ යථාර්ථය පිලිබිඹු නොකරයි... අත්ලාන්තික් සාගර සන්ධානයේ මරනය බෙහෙවින් අතිශයෝක්තියට නංවා තිබෙන බව වාර්තා කිරීමට ලැබීම සතුටට කරුනකි. බටහිර ජය ගනිමින් සිටී. ”

පොම්පියෝගේ කතාව ගැන අදහස් දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත “බටහිර ජයගනිමින් සිටී” යන පොම්පියෝගේ සඳහන ඇති සිරස්තලයක් සහිත ලිපියක් පල කලේය. බටහිර එය මිල දී ගත්තේ නැත.”

Loading