එක්සත් ජනපදය තුල වැඩෙන පන්ති ගැටුම සහ සමාජවාදයේ පුනර්ජීවනය

මෙම ලිපිය 2020 පෙබරවාරි 13 දින ඉංග්‍රිසි භාෂාවෙන් පල විය.

ෆෙඩරල් කම්කරු සංඛ්‍යාලේඛන බියුරෝව (බීඑල්එස්) අඟහරුවාදා නිකුත් කල වාර්තාවකට අනුව, එක්සත් ජනපදයේ (එජ) කම්කරු පන්ති අරගල දශක ගනනාවක් සැලකා බැලූවිට ඉහලම මට්ටම්වල පවතී.

2019දී කම්කරුවන් 1,000ක් හෝ වැඩි ගනනක් සහභාගි වූ වැඩ වර්ජන 25ක් සිදු විය. මෙය දශක දෙකකට ආසන්න කාලයක් තුල සිදු වූ විශාලතම සංඛ්‍යාවයි. මෙම වැඩ වර්ජන වලින් 10ක් කම්කරුවන් 20,000ක් හෝ ඊට වැඩියෙන් සම්බන්ධ වූ , අවම වශයෙන් වැඩවර්ජන වල පරිමාව පිලිබඳ දත්ත ක්‍රමානුකූලව වාර්තා තැබීමට බීඑල්එස්ය පටන් ගත් 1993සිට,විශාලතම සංඛ්‍යාව විය.

වැඩ වර්ජනවලට සම්බන්ධ වන කම්කරුවන්ගේ සංඛ්‍යාව ද වැඩි වෙමින් පවතී. පසුගිය වසරේ ප්‍රධාන වැඩ වර්ජනවලට සහභාගි වූ කම්කරුවන් සංඛ්‍යාව 425,500වූ අතර එය 2018ට (485,000)වඩා මඳක් අඩුය. 2018 අගය පෙර වසරට වඩා ආසන්නව 20ගුනයකින් වැඩිය. 2018 සහ 2019ඒකාබද්ධව ගත් කල, වසර දෙකක කාලයක් තුල ප්‍රධාන වැඩ වර්ජනවලට සම්බන්ධ වූ විශාලතම කම්කරුවන් සංඛ්‍යාව, වසර 35ක කාලයකට පසුව දැකගත හැකිවේ.

පසුගිය වසර දෙක තුල ගුරුවරුන් බටහිර වර්ජිනියා, උතුරු කැරොලයිනා, කෙන්ටකි, ඔරිගන් සහ වෙනත් ප්‍රාන්තවල සහ ලොස් ඇන්ජලීස්, ඕක්ලන්ඩ් සහ චිකාගෝ වැනි ප්‍රධාන නගරවල විශාල වැඩ වර්ජනවල නිරත වී ඇත. නිශ්පාදන ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ නොසන්සුන්තාවය, දශක ගනනාවකින් පසුව සිදුවූ මෝටර් රථ කම්කරුවන්ගේ පලමු ජාතික වැඩ වර්ජනය ලෙස පසුගිය වසරෙ ජෙනරල් මෝටර්ස් කම්කරුවන් 46,000කගේ දින 40ක වැඩ වර්ජනයෙන් ප්‍රකාශ විය. එක්සත් ජනපදයේ ඊසානදිග පිහිටි ස්ටොප් ඇන්ඩ් ෂොප් වෙලඳසැල් කම්කරුවෝ 30,000කට අධික ප්‍රමානයක් පසුගිය වසරේදී වැඩ වර්ජන කලහ.

බොහෝ අවස්ථාවන්හිදී, මෙම වැඩ වර්ජන නිල වෘත්තීය සමිතිවලින් පිටත වර්ධනය වී ඇති අතර, සෑම අවස්ථාවකම මෙම ජාතිකවාදී හා ධනපති ගැති සංවිධාන සමග ගැටුනි.

එහි විධායකයින් අපරාධ විමර්ශනයකට ලක්ව සිටියදීත්, කම්කරුවන්ගේ වෘත්තීය සමිති සාමාජික ගාස්තුවලින් සොරකම් කිරීම සහ මෝටර් රථ සමාගම්වලින් අල්ලස් ලබා ගැනීම යන චෝදනාවන්ට ලක්ව සිටියදීත්, ජීඑම් වැඩ වර්ජනය නවත්වා දැමීමට එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියේ විධායකයෝ සමත් වූහ.

කම්කරුවන්ගේ වමට නැඹුරුවීම යටින් පවතින මූලික සාධකය වන්නේ පන්ති අරගලය තීව්‍ර වීමයි. බොහෝ ජනමත විමසීම් වලින් සමාජවාදය සඳහා පුලුල් ලෙස පදනම් වූ සහයෝගයක් සහ ධනවාදයට හා අසමානතාවයට,විශේෂයෙන් තරුන ජනයා අතරින් සතුරුකමද, ප්‍රකාශ වේ. 2020 මැතිවරනයේදී මෙම දේශපාලන රැඩිකලීකරනය එහි ආරම්භක හා තවමත් දේශපාලනික වශයෙන් සීමිත ප්‍රකාශනයක්, ඩිමොක්‍රැටිකයින්ගේ ප්‍රාථමික මැතිවරන ව්‍යාපාරයේ පලමු තරඟ දෙක, අයෝවා සහ නිව් හැම්ප්ෂයර් හි දී ජයගත් වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ගේ උද්ඝෝෂනයට සහය දැක්වීම මගින් ප්‍රකාශ විය.

සමාජවාදය කෙරෙහි පෙලඹීම පැනනගිනුයේ සමාජ අතෘප්තියෙන් හා වැඩ වර්ජන වලින් පමනක් නොව,ඇමරිකානු ධනවාදයේ දේශීය හා ජාත්‍යන්තර අර්බුදයේ සංකීර්න අන්තර්ක්‍රියාකාරිත්වයෙන් වේ.

සමාජවාදයේ වර්ධනය මැඩපැවැත්වීමට එක්සත් ජනපදයට මං සැලසූ ප්‍රධාන වෛෂයික සාධකය වූයේ ඇමරිකානු ධනවාදයේ ශක්තියයි. ජාතික ආදායමෙන් ප්‍රමානවත් කොටසක් ජීවන තත්වයන් ඉහල නැංවීමට යොමුවූ, නැගී එන ආර්ථික බලයක් ලෙස එක්සත් ජනපදයට පැවතිය හැකිතාක් කල්, ඇමරිකානු කම්කරුවන්ට සමාජවාදයේ අවශ්‍යතාවය ගැන ඒත්තු ගියේ නැත.

එසේ වුවත් , මෙම ඇමරිකානු “සුවිශේෂතාවාදය” සඳහාවූ වෛෂයික කොන්දේසි තරයේම ඛාදනය වී ඇත. පසුගිය 40වසර පුරා ඇමරිකානු ධනවාදයේ ප්‍රමුඛ ගෝලීය ආධිපත්‍යය වියැකී යාමට ප්‍රතිචාර දක්වමින්, ඇමරිකානු පාලක පන්තිය, කම්කරුවන් විසින් කටුක අරගල තුලින් ලබාගත් සෑම දෙයක්ම විනාශ කිරීමට ක්‍රමානුකූලව කටයුතු කරමින් සිට ඇත. කවදත් අර්ධ-මිථ්‍යාමය ස්වභාවයක් ගත් “අසීමිත අවස්ථාවන්ගෙන් යුත් දේශය” අඩු වැටුප්, නය සහ ආර්ථික අනාරක්ෂිතභාවයේ දේශය බවට පත්වී ඇත. "ඇමරිකානු සිහිනය" "ඇමරිකානු බියකරු සිහිනය"බවට පත් ව ඇත.

විශේෂයෙන් 2008 බිඳවැටීමෙන් පසු, ධනය සංකේන්ද්‍රනය වීම විශාල වශයෙන් පන්ති හා සමාජ බෙදීම් තීව්‍ර කර ඇත. එක්සත් ජනපදයේ ධනවත්ම පුද්ගලයින් 400දෙනා දැන් ජනගහනයෙන් පහල සියයට 64ට වඩා ධනයට හිමිකාරීත්වය දරන අතර 1930ගනන්වල මහා අවපාතයට පෙරාතු කාලයේ පටන් ඕනෑම කලකට වඩා සමාජ අසමානතාව වැඩි ය.

2008 බිඳවැටීමෙන් පසුව සමාජවාදී සමානතා පක්ෂය පුරෝකථනය කලේ: "සමාජයේ ආර්ථික සංවිධානයේ මූලධර්මාත්මක සහ විප්ලවීය වෙනසක් සඳහා සටන් කිරීමට හේතු ගනනාවක් ධනවාදයේ යතාර්ථය විසින් කම්කරුවන්ට සපයනු ඇත", යනුවෙනි. මෙය දැන් සිදුවෙමින් පවතී.

සමාජ නොසන්සුන්තාවයේ වර්ධනය සහ සමාජවාදය කෙරෙහි ඇති උනන්දුව පාලක පන්තිය සහ එහි දේශපාලන හා මාධ්‍ය හොරනෑවන් බියට හා කම්පනයට පත් කර තිබේ. ට්‍රම්ප් පාලනාධිකාරය උමතු කොමියුනිස්ට් විරෝධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. ට්‍රම්ප් “සමාජවාදය” සහ “රැඩිකල් වම” වියරුවෙන් සේ හෙලා දකී. දක්ෂිනාංශික ෆැසිස්ට්මය ව්යාපාරයක් ගොඩනැගීමට ඔහු දරන වෑයම යොමු කෙරී ඇත්තේ, අන් සියල්ලටමත් වඩා, මූල්‍ය කතිපයාධිකාරයේ ප්‍රතිපත්ති කෙරෙහි කම්කරු පන්තික සමාජ විරෝධයේ වර්ධනයට එරෙහිව ය.

ඩිමොක්‍රැටික් පක්ෂය සහ මාධ්‍ය, සමාජවාදයට දක්වන සහයෝගය අඩපන කිරීමට නිර්දය ලෙස කටයුතු කරයි. සැන්ඩර්ස්ගේ උද්ඝෝෂනයට ඩිමොක්‍රැටික් පක්ෂයේ අධිකාරවත් කල්ලි දක්වන සතුරුකම, සමාජ අසමානතාවයට හා සංගත ආඥාදායකත්වයට ඇති මහජන සතුරුකම, සීමිත ආකාරයකින් වුවද මතු කරන මැතිවරනයක් වැලැක්වීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය ප්‍රකාශ කරයි.

ජනප්‍රිය පක්ෂයක් ලෙස පෙනී සිටිමින් ඩිමොක්‍රැටිකයන්ගේ සමස්ත වැඩපිලිවෙලම පදනම් වී ඇත්තේ පන්ති විඥානය මර්දනය කිරීම මත ය. වාර්ගික හා ලිංගිකත්වයෙ දේශපාලන යාන්ත්‍රන තුලින් ඩිමොක්‍රැටිකයෝ සහ ඔවුන්ගේ අනුබද්ධ සංවිධාන කම්කරු පන්තිය බෙදීමට උත්සාහ කරති. පන්ති අරගලයේ වර්ධනයත් සමඟ මෙම උත්සාහයන් තීව්‍ර වේ.

කම්කරුවන් හා තරුනයින් අතර වමේ ව්‍යාපාරයේ ආසන්නතම ප්‍රතිලාභියා සැන්ඩර්ස් වුවද, ඔහු කෝපය හා විරුද්ධත්වය ධනේශ්වර දේශපාලනයේ සීමාවන්ගෙන් ඔබ්බට යාම වැලැක්වීම සඳහා ඒවා ඩිමොක්‍රැටික් පක්ෂයටම යොමු කිරීමට උත්සාහ කරයි.

පන්ති අරගලයේ වර්ධනය සහ කම්කරුවන්ගේ හා තරුනයින්ගේ රැඩිකලීකරනය අනිවාර්යයෙන්ම සැන්ඩර්ස් සහ ඔහුව ප්‍රවර්ධනය කරන ඇමරිකාවේ ප්‍රජාතන්ත්රවාදී සමාජවාදීන් වැනි අය සමඟ නොවැලැක්විය හැකි ලෙස ගැටුමට එලඹෙනු ඇත. ඔහුගේ වැඩපිලිවෙලට අනුව, සැන්ඩර්ස් උත්සාහ කරන්නේ -ධනවාදය යටතේ කල නොහැකි -සුලු සමාජ ප්‍රතිසංස්කරන සඳහා වන යෝජනා ආර්ථික ජාතිකවාදය සමඟ ඒකාබද්ධ කිරීමට ය; ඔහු ජූලියන් අසාන්ජ්ට සහ චෙල්සි මැනිංට එරෙහි හිංසනය පිලිබඳ නින්දිත ලෙස මුනිවත රකින අතර ඩිමොක්‍රැටික් පක්ෂයේ අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියට සහාය දෙයි.

පන්ති අරගලයේ වර්ධනය සහ කම්කරුවන්ගේ හා තරුනයින්ගේ දේශපාලන රැඩිකලීකරනය පවතින්නේ එහි ආරම්භක අවධියේය. එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව මිලියන සංඛ්‍යාත ජනතාවක් අසමානතාවයට, සූරාකෑමට, ආඥාදායකත්වයට හා යුද්ධයට එරෙහි වීමට මාවතක් සොයමින් සිටිති. ඔවුන් දේශපාලන අත්දැකීම් තුලින් ගමන් කරනු ඇත; ඔවුන් අවශ්‍ය කරන නිගමන කරා එලඹිය යුතුය.

මේ සමාන කොන්දේසි යටතේ, “අපි ඉවසිලිවන්තව පැහැදිලි කල යුතුයි” ලෙනින් වරක් ලිවීය. කම්කරුවන්ට තමන් කර ගෙන යන අරගලවල තර්කනය පිලිබඳ සවිඥානකත්වයක් කාවැද්දිය යුතුය. හිස් හා ව්‍යාජ පොරොන්දු දෙන අය කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීම ද, විවිධ දේශපාලන ප්‍රවනතාවන්ගේ කාර්යභාරය ද ඔවුන් තේරුම් ගත යුතුය. තමන්ගේම ශක්තිය හා ස්වාධීන ක්‍රියාමාර්ගයක හැකියාව පිලිබඳ විශ්වාසය තබා ගැනීමට ඔවුන් ව දිරිමත් කල යුතුය. පන්තිමය වශයෙන් දේශපාලනය විශ්ලේෂනය කිරීමටත්,වාර්ගික, ලිංගික හා ජාතික බෙදීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන සියලු උත්සාහයන් ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් පුහුනු කල යුතුය.

2020 ජනාධිපතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂ අපේක්ෂකයින් ලෙස නොරිස්සා සැන්ටා කෲස් සහ මම කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩනැගීමට සටන් කරන්නෙමු. සසප උද්ඝෝෂනය සමාජවාදය යනු කුමක්ද යන්නත්,එය සාක්ෂාත් කරගත හැකි ආකාරයත් පැහැදිලි කරනු ඇත. එය හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය මූර්තිමත් කර ඇති කම්කරු පන්තියේ ඉමහත් ඓතිහාසික අත්දැකීම් ලොව පුරා කම්කරුවන්ගේ වැඩෙන අරගල වෙත ගෙන එනු ඇත.

කම්කරු පන්තියේ වෛෂයික ව්‍යාපාරයේ ත් සමාජවාදී ව්‍යාපාරයේ මැදිහත්වීමේත් අන්තර්ඡේදනය ලෝක ධනවාදය අහෝසි කිරීමට සහ අසමානතාවය, සූරාකෑම සහ යුද්ධය අවසන් කිරීමට කොන්දේසි නිර්මානය කරනු ඇත.

සසප මැතිවරන ව්‍යාපාරයට සම්බන්ධ වීමට, socialism2020.org වෙත පිවිසෙන්න.

ජෝසප් කිෂෝර් - සසප ජාතික ලේකම් සහ එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක

Loading