කොරෝනා වෛරස වසංගතය: ගෝලීය ව්‍යසනයක්

චීනයේ වුහාන් නගරයෙන් පටන්ගත් 2019-එන්සීඕවී කොරෝනා වෛරසයේ තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව, මේ වන විට 43,000ට වඩා ඉහල නැගී ඇත. ඉන් සිදු වූ මරන සංඛ්‍යාව දැන් අවම වසයෙන් 1,013ක් වත් වන අතර, අවම වසයෙන් එක් රෝගියෙක් වත් සිටින රටවල් ගනන අවම වසයෙන් 25කි. තවත් රටවල් දුසිම් ගනනක් එක්කෝ උන හා නියුමෝනියා වැනි රෝග ලක්ෂනයන් සහිත රෝගීන් නිරීක්ෂනය කරමින් හෝ විය හැකි බෝවීම්වලට සූදානම් වෙමින් සිටී.

2002-2003 සමයේ පැතිරුනු දුස්සාධ්‍ය බරපතල ශ්වසන සහලක්ෂනයේ (සාස්) බෝවුනු සංඛ්‍යාව හා මරන සංඛ්‍යාව යන දෙක ම දැනට කොරෝනා වෛරසය විසින් ඉක්මවා ගොස් ඇත්තේ, චීනයේ හා ලෝකයේ අනෙකුත් ආන්ඩු විසින් පනවන ලද නිරෝධායන පියවරයන් නො තකා එකදිගට ම පැතිරෙමින් පවතිමිනි.

චීනය පුරා නගර ද විශේෂයෙන් ම නව කොරෝනා වෛරසයේ අපිකේන්ද්‍රය වන වුහාන් නගරය ද වෛරසය පැතිර යාම වැලැක්වීම පිනිස ආන්ඩුව ගන්නා උත්සාහයන් නිසා භාගික හෝ පූර්න වසයෙන් අගුලු දමා තිබේ. මිලියන ගනන් ජනයා නිවාසවලට සීමා වී ඇති අතර, චීනයේ ජනගහනය වැඩි ම ෂැංහයි නගරය ඇතුලු ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන සෑබෑ “පාලු නගර” බවට හරවා ඇත. බොහෝ විට එලිපහලියට පැමිනෙන්නෝ වන්නේ අධික ක්‍රියාකාරිත්වයෙන් වැහැරී ඇති රෝහල් වලින් ආධාර පතන හෝ වෛද්‍ය පහසුකම් ලබාදීම දැනට ම අතහැර දමා ඇති අය සඳහා ආහාර හා අනෙකුත් අවශ්‍යතා පතා පිරික්සන, රෝගය බෝවූවන්ගේ ඥාතීන් ය.

කොරෝනා වෛරස වසංගතය, එය බෝවූ දසදහස් ගනනකට හා නිරෝධායනය යටතේ පසුවන දස මිලියන ගනනකට ව්‍යසනයක් හා ඛේදවාචකයක් බවට පත්ව ඇත්තේ ලොව පුරා මහජනයා කම්පනයට පත්කරමිනි.

පෙබරවාරි 10දා, පසුගිය දින 14 තුල වුහාන් හෝ වෙනත් බරපතල ලෙස ආසාදනය වුනු ප්‍රදේශයක සිට පැමිනි ඕනෑම අයෙක් හඹා අල්ලා ගැනීම හා නිරෝධායනය කිරීම ඇතුලු ව පදිංචිකරුවන්ගේ හා වාහනවල ගමන් බිමන් මත බෙයිජිං හා ෂැංහයි විසින් නව පාලනයන් නිවේදනය කලේ ය. මෙම නගර දෙක ම භාගික හෝ පූර්න අගුලුලෑම් පනවා ඇති පලාත් 20කට අයත් අනෙකුත් නගර 80ක් සමග ඒකාබද්ධ වී ඇත්තේ අවම වසයෙන් මිලියන 103ක් ජනයා මත බලපෑම් ඇතිකරමිනි.

ඒ අතර ම විස්තීර්න නව චන්ද්‍ර වර්ෂ නිවාඩුවෙන් පසුව චීනය පුරා වැඩකිරීම පෙබරවාරි 10දා යලි ඇරඹුනි. ජනයා යලි වතාවක් ගමන් බිමන් අරඹන්නේ අත්‍යසාමාන්‍ය පරීක්ෂාවක් යටතේ ය. පොදු ප්‍රවාහන ස්ථාන, කාර්යාල, කර්මාන්තශාලා හා කාර්මික රථගාලවල දී ශරීර උෂ්නත්වය මැනීම සඳහා ආන්ඩුව විසින් අධෝරක්ත කැමරා සවි කර ඇත. ශල්‍ය මුඛ ආවරන නොමැති ව නිවාසවලින් පිටතට නො යා යුතු බවට පදිංචිකරුවන් උපදෙස් දී තිබේ. වුහාන් හා බෙයිජිං ඇතුලු බොහෝ නගරවල, ආසාදිත යයි සැක කෙරෙන ජනයා බලහත්කාරයෙන් රඳවා තබා ගන්නා නිරෝධායන කලාප අටවා තිබේ. නිරෝධායනය කඩකරන ජනයාට මරන දඬුවමට මුහුන පෑමට සිදුවිය හැකි බවට තර්ජන නිකුත් කරනු ලැබ ඇත.

හුබෙයි පලාතේ වුහාන් නගරයේ හා අනෙකුත් තැන්වල අත්යවශ්‍ය සැපයීම් අවසන් වෙමින් පවතින බවට උත්සුකයන් පල වේ. මේ දක්වා, චීන ආන්ඩුව හුබෙයි පලාත වෙත 17,000ක වෛද්‍ය කාර්ය මන්ඩලයක් හා ටොන් 3,000කට වැඩි සැපයුම් යවා තිබීම වෛද්‍යවරුන් හා හෙදියන් මුහුන දෙන පීඩනය යම් තරමකින් අඩුකර ඇතත් රෝහල් ඇඳන් තවමත් ප්‍රමානවත් තරම් සපයා නැත. එහෙත්, තහවුරු කරන ලද සිද්ධි 45ක් ඇති සිංගප්පූරුව වැනි ස්ථාන නරක ම අවස්ථාවල දී පමනක් රෝහල්ගත වීම සලකා බලමින් සිටී. “අපි සෑම සිද්ධියක දී ම රෝහල්ගත කර වෙන වෙන ම ප්‍රතිකාර කරන්නේ නම්, අපේ රෝහල් පිරී ඉතිරී යනු ඇත” යි සිංගප්පූරු අගමැති ලී සියෙන් සොංගොං පෙබරවාරි 8දා පිලිගත්තේ ය.

ලීගේ අදහස් පලවූයේ වෛරසය නිල වසයෙන් දැන සිටිනවාට වඩා පලල් ව පැතිර තිබිය හැකි බවට වාර්තා පලවෙද්දී ය. “හසුකරගනු ලැබෙමින් පවතින්නේ චීනයේ සමස්ත ආසාදනයන්ගෙන් සියයට 10ක් හෝ අඩුවෙන් සහ අනෙක් රටවල හතරෙන් පංගුවක් පමනි” යි ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ ආසාදිත රෝග විශේෂඥයෙක් වන නීල් ෆර්ගසන් පෙබරවාරි 9දා ලිවී ය. චීන ශ්වසන විශේෂඥ ෂොං නැන්ෂාන් විසින් පලකරනු ලබන පුවත්පතක් නව කොරෝනා වෛරසයේ ආසාදනය වන කාලය දැනට පිලිගන්නා පරිදි දින 14ක් නො ව, දින 24ක් දක්වා වන බවට පෙබරවාරි 10දා න්‍යායක් ඉදිරිපත් කලේ ය. චීනයේ හෙනාන් පලාතේ රෝගියෙකු දින 17ක් රෝග ලක්ෂන නො පෙන්වා සිටීමෙන් පසුව ආසාදිත යයි රෝග නීර්නය කල විට මෙම ආස්ථානයට වැඩි බරක් එක් විය.

චීනය තුල නිරෝධායන පියවරයන් පනවන ලද තැන් පටන් ලෝකයේ ජනයාගෙන් සහෝදරත්වය පිටාර ගලා ඇත. බලපෑමට ලක්වූ ප්‍රදේශවලට මුදල් හා සැපයුම් යැවීම සඳහා ගෝ ෆන්ඩ් මී හා ඒ හා සමාන පිටු දහස් ගනනක් ආරම්භ කරනු ලැබ තිබේ. වෛද්‍යවරු හා වෛද්‍ය වෘත්තිකයෝ 2019-එන්සීඕවී සඳහා ප්‍රතිකාරකයක් සොයාගැනීමට බහුවිධ උත්සාහයන් අරඹා ඇත්තේ, දැනට ආසාදිත අයට රැකවරනය දීම හා සුව කිරීම සඳහා වැඩකරන අතරතුර ය. ඒ අතර ම, නිරෝධායන කලාපවල සිර වී ඇති දස මිලියන ගනනක් දෙනා, තමන් ම හැකිතාක් හුදකලා වීම ඇතුලු ආසාදනය පැතිරීම සීමා කිරීමට ඔවුන්ට හැකි සෑම දෙයක් ම කර ඇත්තේ, ඔවුන්ගේ හාම්පුත්තු ආපසු වැඩට එන ලෙස අනවා පවා තිබිය දී ය.

වැඩෙන ජාතික සතුරුකම්වල කොන්දේසි යටතේ ජාත්‍යන්තර ව කම්කරුවන් හා තරුනයන් වෙතින් චීනය වෙත පලවන සහානුමතිය වඩා අර්ථභාරී ය. “අපි අපගේ සැපයුම් ආපසු ගෙන ගෙදර යා යුතු වෙමු. චීන වෛරසයට ජීටී (රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් පුවත්පත) හා කොමියුනිස්ට් පක්ෂයේ ඉතිරි කොටස් විනාශ කරගෙන යාමට ඉඩ දෙමු” යි ආවරන අරමුදල් (හෙජ් ෆන්ඩ්) කලමනාකාර කයිල් බෑස් පෙබරවාරි 9දා ඔහුගේ ට්විටර් ගිනුමේ තැබූ දුෂ්ට සටහනක ලියා තැබී ය.

කොරෝනා වෛරසය පැතිර යාම ආර්ථික තරඟකරුවෙකු ලෙස චීනයට වලකපා, එක්සත් ජනපදයේ පදනම් වන සමාගම්වලට “ඒවායේ සැපයුම් ජාලය විමර්ශනය කරන විට සලකා බැලීමට තවත් දෙයක් දෙනු ඇත” යි ද “එය උතුරු ඇමරිකාව වෙත පෙරලා රැකියා පැමිනීම වේගවත් කිරීමට උදවු වනු ඇත” යි ද එක්සත් ජනපද වානිජ ලේකම් විල්බර් රොස් ජයග්‍රාහී ලෙස පැවසීමෙන් යන්තම් සතියකට මඳක් වැඩි කලකට පසු බෑස්ගේ අදහස් පැමිනියේ ය. වානිජ දෙපාර්තමේන්තුවත් මෙසේ සඳහන් කලේ ය: “එහි ජනතාවට හා ලෝකයේ අනෙකුත් රටවලට සැබෑ අන්තරායන් වසං කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් සමග ව්‍යාපාර කිරීමේ දී ඇතිවන ආනිසංස සලකා බැලීම ද වැදගත් ය.”

කොරෝනා වෛරසයට එක්සත් ජනපද ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ, 1960 ගනන්වලින් පසුව පලමු වරට එහි ම පුරවැසියන්ට නිරෝධායනයට බලකරමින් මෑත දී චීනයේ සිටි විදෙස් ජාතිකයන් රටට ඇතුල් වීම තහනම් කිරීම යි. එහි පුරවැසියන් එක්සත් ජනපදයට පෙරලා පැමිනීමේ දී ඩොලර් 1,000ක ගුවන් ගාස්තුවක් ද ඉල්ලා ඇති එය, පුරවැසියන්ට අවශ්‍ය කරන ඕනෑම ප්‍රතිකාරයකට හා මිලිටරි කඳවුරු තුල ඔවුන්ගේ අනිවාර්ය නිවාස යන දෙකට ම ගාස්තු අයකරන බව වාර්තා වේ.

ජාත්‍යන්තර ව පල වී ඇති ප්‍රතිචාරයන් ද එම විෂඝෝර රේඛා ඔස්සේ වැටී ඇත. ආසියාව පුරා ව්‍යාපාරයන් චීන පුරවැසියන් පිලි නො ගන්නා බව ප්‍රකාශ කරන සංඥා පුවරු සවිකොට ඇත්තේ, අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා විදෙස් රටවල ජීවත් වන චීන ජාතිකයන්ට තමන් කොරියානුවන් හෝ ජානමය “ආසියානුවන්” බව විස්තර කිරීමට බලකරමිනි. මිදී ඒමට උත්සාහ දරන චීනයේ ජීවත් වන ඕස්ට්‍රේලියානු පුරවැසියන් ව, ඊනියා “නීති-විරෝධී” සරනාගතයන් බන්ධනාගාරගත කිරීම සඳහා ඉන්දියන් සාගරයේ දුරස්ථ ව පිහිටුවා ඇති ක්‍රිස්මස් අයිලන්ඩ් වෙත යවනු ලැබ ඇත. කොරෝනා වෛරසය “ආසන්න තර්ජනයක්” බ්‍රිතාන්‍යය පෙබරවාරි 10දා ප්‍රකාශයට පත්කලේ, ආසාදිත වී ඇතැයි සැක කරනු ලබන ඕනෑම අයෙකු රඳවා ගැනීමට හා නිරෝධායනය කිරීමට ආන්ඩුවට ඉඩ ලබා දෙමිනි.

කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි සැක කරන අට දෙනෙකු හා තහවුරු කල රෝගීන් එක් අයෙකු වත් නැති බ්‍රසීලයේ දක්ෂිනාංශික ආන්ඩුව දැනට මත් මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නිවේදනය කර තිබේ. චීනයේ සිට පෙරලා එවන ලද 34 දෙනෙකු බ්‍රසීල ආන්ඩුව විසින් ගුවන් හමුදා කඳවුරක හුදකලාවේ තබා ඇති අතර, ඔවුන් ඊලඟ දින 15හි එහි රැඳී සිටිනු ඇත. ඔවුන්ට කිරීමට අවසර දී ඇති සුලු දේවල් කිහිපයෙන් එකක් වන්නේ කඳවුරේ මිලිටරි සංගීත කන්ඩායම සජීවි ව වාදනය කිරීම නැරඹීමයි.

ප්‍රතිකාරකයක් සොයාගැනීමට දරන උත්සාහයන්ගෙන් ලාබ ගරාගැනීමට ඖෂධ සමාගම් දැනට මත් උත්සාහ දරන්නේ, එන්නතක් වර්ධනය කිරීමට ඔවුන්ගේ ම කන්ඩායම් යොදවා ඇති බව නිවේදනය කිරීමෙන් පසුව සමහර කොටස් සියයට 110කින් තරම් ඉහල යද්දී ය. ඔවුන් පොර වැදී සිටින්නේ මානවයන් ආරක්ෂා කිරීමට නො ව, ගෝලීය සෞඛ්‍යාරක්ෂන වෙලඳපොලේ ඩොලර් ට්‍රිලියන 5.84න් විශාලතම පංගුව ඩැහැගැනීමට ය.

ජාත්‍යන්තර ව සාමාන්‍ය මහජනයාගේ හා පාලක ප්‍රභූන්ගේ පරස්පර විරෝධී ප්‍රතිචාරයන්, ගෝලීය වසංගතයන් හුදෙක් ඇති වූ පසු වැලැක්වීමට පමනක් නො ව, ඇති වීමට පෙර වලක්වා අවසන් කිරීමට අවශ්‍ය වන්නේ කවර වර්ගයේ සමාජ පද්ධතියක් ද යන ප්‍රශ්නය ඉස්මත්තට දමයි. එක්සත් ජනපදය හා චීනය සෑම වසරක ම ඔවුන්ගේ ආරක්ෂක අයවැය මත ඩොලර් බිලියන සිය ගනන් වියදම් කරන්නේ, සුදුසු පරිදි අරමුදල් සැපයුව හොත් කොරෝනා වෛරසය හා අනෙකුත් පැතිරී යාම් නැවැත්වීමට හැකියාව ඇති වෛද්‍ය හා විද්‍යාත්මක ආයතන සඳහා වෙන්කෙරෙන නිරන්තරයෙන් අඩුවන අරමුදල් වුව අකමැත්තෙන් වියදම් කරද්දී ය.

ලොව පුරා කම්කරුවන් හා තරුනයන් අවබෝධ කරගෙන ඇති පරිදි වසංගත රෝග වෙත දක්වන ප්‍රතිචාරය ජාතික දේශසීමා හරහා විස්තීර්න කල යුතු ය. සදා වර්ධනය වන සමාජ අසමානතාව, වේගවත් වන දේශගුන වෙනස හා යුද්ධයේ උත්සන්න වූ තර්ජනය ඇතුලු සෑම සමාජ ප්‍රශ්නයක දී ම මෙන්ම කොරෝනා වෛරස වසංගතය යනු ජාත්‍යන්තර විසඳුමක් අවශ්‍ය කරන ගෝලීය ගැටලුවකි. ඒ අතර ම, එවන් රෝගයන් පැතිර යාමට එරෙහි සටන, මියගියවුන්ගෙන් හා මිය යමින් සිටින්නන්ගෙන් ලාබ ලැබිය හැකි විට පමනක් එන්නත් සොයාගැනීමට ක්‍රියාකරන සංගත හා කොටස් හිමියන්ගේ අත්අඩංගුවට පත්වීමට ඉඩ නො දිය යුතු ය.

කොරෝනා වෛරස වසංගතයට දක්වා ඇති ප්‍රතිචාරය අතිමූලික මානව අවශ්‍යතා සමග ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියේ නො පෑහීම හෙලිදරවු කොට ඇත. ජාතික බෙදීම් හා භූ-දේශපාලනික බලය සඳහා වන පොර වැදීම මගින් ධාවනය කරනු ලබන ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය, ආසාදිත රෝග වල සිට ආන්තික කාලගුනය හා දේශගුන වෙනස දක්වා වන මානව වර්ගයා මුහුන දෙන තර්ජනයන්ට කිසිදු ක්‍රමානුකූල හෝ සැලසුම්ගත ප්‍රතිචාරයක් දැක්වීමට අසමත් ය.

එම නිසා නව කොරෝනා වෛරසය පැතිර යාමෙන් කැලඹීමට පත්වී ඇති අය කම්කරු පන්තිය වෙත හැරීම තීරනාත්මක ය. වසංගතයේ බලපෑමෙන් පීඩා විඳ ඇත්තේ කම්කරු පන්තිය යි. තමන් ව වෛෂයික ව හා වඩ වඩා ජාත්‍යන්තර පන්තියක් ලෙස අර්ථ දක්වමින් සිටින්නේ කම්කරු පන්තිය යි. සමාජවාදය තුල සිය සමාජ අවශ්‍යතා; එනම්, ධනවාදය පෙරලා දැමීම, නිෂ්පාදන මාධ්‍යයන්හි පුද්ගලික අයිතිය අහෝසි කිරීම හා සෑම මිනිසෙකුට ම ඉහල ජීවන තත්ත්වයන් හා සෞඛ්‍යාරක්ෂනය ඇතුලු මානව අවශ්‍යතා තෘප්තිමත් කිරීම මත පදනම් වන ආර්ථික පද්ධතියක් ස්ථාපිත කිරමේ වුවමනාව ඇත්තේ කම්කරු පන්තියට යි.

වසංගත, ගෝලීය උෂ්නත්වය, රැකියා විනාශ කිරීම, සමාජ අසමානතාව, ප්‍රජාතන්ත්රවාදී අයිතීන් මත ප්‍රහාර හා ලෝක යුද්ධයේ තර්ජනය යන අපේ යුගයේ මහා සමාජ ගැටලු විසඳීමට අවශ්ය විද්‍යාව, තාක්ෂනය හා නිෂ්පාදන ධාරිතාව දැන් පවතී. ඒ අතර ම, ලෝක ආර්ථිකයේ තාර්කික හා සම්බන්ධීකෘත ප්‍රජාතන්ත්රවාදී සැලසුම්කරනයට ලෝකයේ ජනගහනයට ඉහල ජීවන තත්ත්වයන් හා ගුනාත්මක ජීවිතයක් සම්පාදනය කල හැකි ය. ලෝක සමාජවාදී විප්ලවයේ විධික්‍රමය හරහා මෙම අරමුන කරා ලඟා විය හැකි එකම සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.

Loading