ඉදිරිදර්ශන

ඩිමොක්‍රැටිකයන්ගේ දෝෂාභියෝග පරාජයෙන් පසු ට්‍රම්ප් ශක්තිමත් ව ඉස්මතු වේ

මෙම ලිපිය 2020 පෙබරවාරි 6 දා ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

බලය අයුතු ලෙස භාවිතා කිරීම (52-48න්ද) සහ කොන්ග්‍රස් මන්ඩලයට බාධා කිරීම (53-47න්ද) යන වැඩිඡන්ද වලින්, එම චෝදනා ලබා සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒවායින් නිදහස් කිරීමට බදාදා එක්සත් ජනපද (එජ) සෙනෙට් සභාව ඡන්දයග ප්‍රකාශ කලේය.

ඩිමොක්‍රැටිකයින් විසින් පසුගිය ශරත් ඍතුවේ ආරම්භ කල දෝෂාභියෝග ක්‍රියාවලිය බොහෝ දුරට පක්ෂ අනුගමනය කරමින් දුන් ඡන්දය විසින් අවසන් කෙරින.

ප්‍රතිඵලය වන්නේ ට්‍රම්ප්ව ශක්තිමත් කිරීම පමනක් සිදුකල ඩිමොක්‍රැටික් පක්ෂය සඳහා මහත් දේශපාලන පරාජයකි.

උප ජනාධිපති මයික් පෙන්ස් සහ කථානායිකා නැන්සි පෙලෝසි බලාගෙන සිටිද්දි ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් 2020 පෙබරවාරි 4 වෙනි අඟහරුවාදා වොෂිංටන් හි කැපිටල් හිල් හි පිහිටි සභා ගර්භයේදී කොන්ග්රසයේ ඒකාබද්ධ සැසියකට සිය රාජ්ය තත්ව දේශනය පවත්වයි.

ම්ප් අද දහවල් ජාතිය ඇමතීමක් සැලසුම් කර තිබේ. ඔහු ට්විටර් පනිවුඩයේ සඳහන් කර ඇති පරිදි, “දෝෂාභියෝග ප්‍රෝඩාව පිලිබඳ අපේ රටේ ජයග්‍රහනය ගැන සාකච්ඡා කිරීම” සිදුවනු ඇත. බදාදා පස්වරුවේ ට්‍රම්ප් ටයිම් සඟරාවේ කවරයක රූපයක් නැවත ට්විටර් මගින් යැවීය: ට්‍රම්ප් 2024, ට්‍රම්ප් 2028, ට්‍රම්ප් 2032 … ට්‍රම්ප් 4 EVA (ට්‍රම්ප් සදහටම). මෙය ව්‍යවස්ථානුකූලව නියම කෙරී ඇති සීමාවන් ඉක්මවා ධුරයේ සිටින බවට ඔහු පෙර කල තර්ජනයේ පුනරුච්ඡාරනයකි.

එහි ප්‍රතිඵලය පිලිබඳ සැකයක් නොතිබූ අවසාන ඡන්ද විමසීමට දිනකට පෙර, ඩිමොක්‍රැටිකයෝ ට්‍රම්ප්ට තම රාජ්‍ය තත්ව දේශනය ඉදිරිපත් කිරීම සඳහා කොන්ග්‍රස් වේදිකාව ලබා දුන්හ. ට්‍රම්ප් තම දේශපාලන විරුද්ධවාදීන් හෙලා දැකීමට, “සමාජවාදයට” අපහාස කිරීමට සහ දක්ෂිනාංශික යෝජනා රාශියක දල සැලසුම් ගෙනහැර දැක්වීමට එම අවස්ථාව යොදා ගත්තේය.

ට්‍රම්ප් තම නිදොස් වීම ඔහුගේ ප්‍රජාතන්ත්ර විරෝධී හා ආධිපත්‍යධාරී ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා යොදා ගනු ඇත. සෙනෙට් දෝෂාභියෝග නඩු විභාගයේදී ට්‍රම්ප් ආරක්ෂා කිරීම සදහා ඇලන් ඩර්ෂොයිවිට්ස් ඉදිරිපත් කල තර්කයේ වැදගත්කම අඟහරුවාදා වොෂිංටන් පෝස්ට් පුවත්පතට ලියමින් ජොනතන් ටර්ලි පෙන්වා දුන්නේය. “බලය අයුතු ලෙස භාවිතා කිරීම” හෝ “කොන්ග්‍රසයට බාධා කිරීම” යන චෝදනා දෙකම දෝෂාභියෝග කල හැකි වරද නොවන බැව් ඩර්ෂොයිවිට්ස්ගේ ප්‍රකාශය, ට්‍රම්ප්ගේ විත්තිවාචකයේ කේන්ද්‍රීය අක්ෂය බවට පත්විය.

“ජනාධිපතිගේ විත්තිවාචකය එනයින් මෙම අන්තවාදී හා ඇඟ කිලිපොලන තර්කයට නොසෙල්විය හැකි ලෙස බැඳුනි,” ටර්ලි ලිවීය, දැන් එම තර්කය සෙනෙට් සභාව විසින් අනුමත කරනු ලැබ ඇත.

දෝෂාභියෝග ක්‍රියාවලිය අවසන් වන විට ට්රම්ප්ව අනුමත කිරීමේ අනුපාතය (approval ratings) පසුගිය ශරත් සමයේ සියයට 39 සිට මේවන විට සියයට 49 දක්වා ඉහල ගොස් ඇති බව පෙන්වන ගැලප් මත විමසීමක් උපුටා දක්වමින් ඩේවිඩ් වොන් ඩ්රේලි විසින් පෝස්ට් පුවත්පතේ තවත් අදහස් දැක්වීමක ලියූ පරිදි - “මෙය මෙතෙක් ඔහුගේ ජනාධිපති ධුරයේ පැවති ඉහලම මට්ටම සහ බරක් ඔබාමා නැවත තේරී පත්වීමේ වසරේ පෙබරවාරි මස මුලදී ඔහුට තිබුනි යයි කියාපානු හැකි මට්ටමට වඩා අවම වශයෙන් ලකුනු තුනකින් ඉහල ය.

එම මත විමසුම ම උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් කර්තෘ මන්ඩලය උදම් ඇනුවේ ඩිමොක්‍රැටිකයෝ “ඔහුට [ට්‍රම්ප්ට] දෙවන වාරයත් (ජනාධිපති කමේ ) ජයග්‍රහනය කිරීමට දෝෂාභියෝග කිරීම මගින් උදව් කර ඇති” බවයි.

මෙම ප්‍රතිඵලය ට්‍රම්ප්ට එරෙහි ඩිමොක්‍රැටිකයින්ගේ උද්ඝෝෂනයට යොදාගත් විධික්‍රම වල සහ පන්ති අවශ්‍යතාවන්ගේ නිෂ්පාදිතයකි. ඩිමොක්‍රැටිකයන්ගේ මූලෝපායේ එක් නියත අංගයක් තිබුනි නම්, එය ට්‍රම්ප් පාලනාධිකාරය කෙරෙහි මහජන වෛරය යටපත් කිරීමට හා ඩිමොක්‍රැටිකයන්ගේ විරුද්ධත්වය වමට නොව දකුනට යොමු කිරීමට වග බලා ගැනීමයි.

මීට වසර තුනකට පෙර ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තියෙන් වහා ඉක්බිතිව, ඔහු ගේ, සංක්‍රමනිකයින්ට එරෙහි ප්‍රහාර, සරනාගතයින්ට එරෙහි ජාතිවාදී ප්‍රතිපත්ති, පාලනාධිකාරයේ ඉහල පෙලේ තනතුරු සඳහා ෆැසිස්ට්වාදීන් පත් කිරීම, සංගත ගැති ප්‍රතිපත්ති සහ බදු කප්පාදුව, මිලිටරිමය තර්ජන සහ සමාජ වැඩසටහන් වලට එල්ල කෙරුනු ප්‍රහාරවලට එරෙහිව විරෝධතාවන් සිදු කෙරින. ඔහුගේ පදවි ප්‍රාප්තියට පසු දින මිලියනයකට අධික ජනකායක් සහභාගීවූ එජ ඉතිහාසයේ විශාලතමවූ තනි දින විරෝධතා දිනයක් රටපුරා පැවැත්වුනි.

ඩිමොක්‍රැටිකයෝ ට්‍රම්ප්ට එරෙහි උද්ඝෝෂනය විශේෂයෙන් විදේශ ප්‍රතිපත්තියේ කාරනා කෙරෙහි පමනක් යොමු කරමින්, මේ සෑම කාරනයක් සම්බන්ධයෙන්ම පැවැති මහජන විරෝධය මැඩපැවැත්වීම සහ පීලි පැන්න වීම සිදු කලහ. විශේෂයෙන් ම, රුසියාවට එරෙහි අරගලය ප්‍රමානවත් ජවයකින් යුතුව ට්‍රම්ප් අනුගමනය නොකරන බවට මිලිටරි හා බුද්ධි අංශවල ප්‍රමුඛ කන්ඩායම් තුල තිබෙන උත්සුකයන් මත ඔවුහු තම විරෝධය කේන්ද්‍ර කලහ.

මැතිවරනයට පෙරදී ම පවා, ට්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරය, එජයේ “ප්‍රජාතන්ත්රවාදය අඩපන කිරීමට” සහ “භේද වැපිරීමට”, ක්‍රෙම්ලිනය සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යොමු කල දැවැන්ත කුමන්ත්‍රනයක කේන්ද්‍රස්ථානය බවට කථිකාවක් ගෙතීමට ඩිමොක්‍රැටිකයෝ පටන් ගත්හ.

රුසියාවට එරෙහි උද්ඝෝෂනය, 1950 ගනන්වල මැකාර්තිවාදී කෝපභරිත හඬ තැලීම් හා ජෝන් බර්ච් සමාජයේ ප්‍රති-කොමියුනිස්ට් කුමන්ත්රන භීතිකාවන් වැපිරීම් හා පමනක් සැසඳිය හැකි උමතු මානයන් අත්පත් කර ගත්තේය. සංගත සහ ධනවතුන් විසින් ජනාධිපතිවරන උද්ඝෝෂන සඳහා වියදම් කල බිලියන ගනන්වලින් ඉතා සුලු පංගුවක් වන රුසියාව විසින් සමාජ මාධ්‍ය වෙලඳ දැන්වීම් සඳහා ඩොලර් ලක්ෂ ගනනක් වියදම් කල බවට සනාථ නොකල චෝදනා, ඇමරිකාවට එරෙහි “රුසියානු කුමන්ත්‍රනයක්” පිලිබඳ උද්වේගකාරී චෝදනා බවට ඩිමොක්‍රැටිකයෝ පත් කලහ. ට්‍රම්ප් මෙම කුමන්ත්‍රනයේ පුටින්ගේ රූකඩය ලෙස සේවය කල බවට ඔවුහු චෝදනා නැගූහ.

මෙම ක්‍රියාවලිය පුරාම ඩිමොක්‍රැටිකයන්ගේ ට්‍රම්ප් සමඟ සම්බන්ධතාවයට භින්නෝන්මාදී ස්වභාවයක් තිබුනි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතාවන්ට බලපාන විදේශ ප්‍රතිපත්තිමය කාරනා සම්බන්ධයෙන් ඔවුන් පාලනාධිකාරය සමග කටුක ලෙස විරුද්ධ වූවද, පාලක පන්තියේ පන්ති ප්‍රතිපත්තියේ ඔවුන් එකඟ වන මූලිකාංග පිලිබඳ ව, විශේෂයෙන්ම මූල්‍ය කතිපයාධිකාරය පොහොසත් කිරීම දිගටම සිදු කරනා සමාජ හා ආර්ථික ප්‍රතිපත්ති සදහා, ඔහු සමග ක්‍රියා කිරීමට එදත් අදත් උද්යෝගිමත්ය.

මෙය ආරම්භ වූයේ ට්‍රම්ප් තෝරා ගැන්මෙන් වහාම, “අපේ කෙරුනු- ජනාධිපතිගේ සාර්ථක බව සහතික කරන පරිවර්තනයකට පහසුකම් සැලසීම” “අංක එකේ ප්‍රමුඛතාවය” බව ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශ කිරීමත් සමඟ ය. මැතිවරනය “එකම කන්ඩායමක්” තුල දෙකට බෙදී පවත්වන තරගයක්යන ප්‍රකාශය ඔබාමාඊට ඈඳුවේය. ඉන්ඉක්බිතිව,සංගත සඳහා බදු කප්පාදුව සම්මත කරගැනීම සහතික කර ගැනීම, සංක්‍රමනිකයින්ට එරෙහි ප්‍රහාර, වාර්තාගත මිලිටරි අයවැය සහ වෙනිසියුලාව, චීනය සහ තවත් රටවලට එරෙහි ඔහුගේ ආක්‍රමනශීලී ක්‍රියාමාර්ග ආදිය සඳහා ඩිමොක්‍රැටිකයෝ ට්‍රම්ප් සමඟ සහයෝගයෙන් කටයුතු කලහ.

ට්‍රම්ප්ට එරෙහි මොනයම්ම හෝ මහජන ව්‍යාපාරයකට භීතියෙන් හා විරුද්ධත්වයෙන් ඩිමොක්‍රැටිකයෝ ධවල මන්දිරය සමඟ ඔවුන්ගේ ගැටුම, බුද්ධි අංශ සහ රාජ්‍යය තුල අතෘප්තියට පත් කන්ඩායම් හවුල් කරගැනීමේ තිරය පිටුපස උපාමාරු දැමීම් සමග, මාලිගා බලකොල්ලයක ක්‍රමවේදයන් භාවිතා කරමින් හඹා යාමට උත්සාහ කලහ.

(“වයාජ ප්‍රවෘත්ති” වලට එරෙහිව සටන් කිරීමේ නාමයෙන්) භාෂනයේ නිදහස මැඩපැවැත්වීම සඳහාත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ හෙලිදරව් කිරීම නිසා විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් හිංසාවට පත්කිරීම නීත්‍යානුකූල කිරීම සඳහාත් වූ ඔවුන්ගේ ඉල්ලීම් බලකර සිටීම සඳහා රුසියාවට එරෙහි උද්ඝෝෂනය, ඩිමොක්‍රැටිකයෝ භාවිතා කලහ.

හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ රොබට් මුලර්ගේ නායකත්වයෙන් යුත් රුසියානු “මැදිහත්වීම” පිලිබඳ විමර්ශනය අසාර්ථක වීමෙන් පසුව ඩිමොක්‍රැටිකයෝ දෝෂාභියෝග උද්ඝෝෂනය දියත් කලේ ඔවුන්ගේ මෙහෙයුම දිගටම කරගෙන යාම සඳහා ය. -බලය අයථා පරිහරනය කිරීමේ චෝදනාවේ පදනම වන- “හිලව්ව සඳහා ගනුදෙනුවක” නිරත වූයේ යැයි ට්‍රම්ප්ට එරෙහිව කියාපාන චෝදනා ව, නැගෙනහිර යුක්රේනයේ රුසියානු පිටුබලය ලත් හමුදා සමඟ මිලිටරි ගැටුමක නිරත යුක්රේන ආන්ඩුවට මිලිටරි ආධාර ලබා දීම තාවකාලිකව අත්හිටුවීම සමඟ සම්බන්ධව වේ.

රාජ්‍යය තුල ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් භාවිතා කරන ක්‍රම තීරනය වනු ලබන්නේ ඔවුන් පෙලඹවන සමාජ හා දේශපාලන උත්සුකතාවන් විසින් ය. ඩිමොක්‍රැටික් පක්ෂය යනු, වාර්ගික හා ලිංගික අනන්‍යතා දේශපාලනය තුලින් ඔවුන්ගේ උත්සුකයන් හඹායන ඉහල මධ්යම පන්තියේ වරප්‍රසාදිත කොටස් හා පෙලගැසුනු, වෝල් වීදියේ සහ මිලිටරි හා බුද්ධි අංශවල පක්ෂයකි.

ඩිමොක්‍රැටිකයන්ගේ මාලිගා කුමන්ත්‍රනය අන්තපරාජයකින් අවසන් වී තිබේ. දැන් වර්ධනය කල යුත්තේ ට්‍රම්ප්ට එරෙහි සමාජවාදී ව්‍යාපාරයයි. ඩිමොක්‍රැටික් පක්ෂය තුල ඔහුගේ ප්‍රතිගාමී හා බියගුලු විරුද්ධවාදීන්ට එරෙහිව ට්‍රම්ප් ජය ගැනීම එක් කරුනකි. පන්ති අරගලයේ වර්ධනය හා පොර බැදීම හාත්පසින් තවත් එකකි.

සමාජවාදී සමානතා පක්ෂය සිය ජනාධිපතිවරන උද්ඝෝෂනය දියත් කලේ කම්කරු පන්තිය තුල විප්ලවවාදී සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම සඳහා ය. පසුගිය වසර දෙක තුල එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව මහජන අරගල පුපුරා ගොස් ඇත. ට්‍රම්ප් පරිපාලනය හෙලීමට, අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීමට, ආඥාදායකත්වය හා ෆැසිස්ට්වාදය දෙසට ධාවනය නැවැත්වීමට සහ ධනේශ්වර සූරාකෑමට හා අසමානතාවයට තිත තැබිය හැකි සමාජ බලය මෙයයි.

කම්කරු පන්තියේ ව්‍යාපාරය සඳහා සවිඥානික සමාජවාදී, විප්ලවවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් හා ඉදිරිදර්ශනයක් මග පෙන්වීය යුතුය. 2020 මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂයට සහයෝගය දෙන ලෙසත්, සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ සමඟ බැඳීමට තීරනය කරන ලෙසත් අපි සියලු කම්කරුවන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

සසප මැතිවරන ව්‍යාපාරය පිලිබඳ වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා socialism2020.org වෙත පිවිසෙන්න.

ජෝසප් කිෂෝර් - එජ ජනාධිපති අපේක්ෂක සමාජවාදී සමානතා පක්ෂය

Loading