1930 ගනන්වල අවතාරය

අනතුරු ඇඟවීමේ සීනුව හඬවනු! දේශපාලන කුමන්ත්‍රනය සහ ජර්මානු ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය

මෙම ලිපිය 2020 පෙබරවාරි 14 දා ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

ආන්ඩුකාරයෙකු තෝරා ගැනීමේදී අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ෆෙඩරල් තුරින්ගියා ප්‍රාන්තයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (සීඩීයූ) සහ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එෆ්ඩීපී) පසුගිය සතියේ ගත් තීරනය, ජර්මානු දේශපාලනයේ කුනුවූ  තත්වය හෙලි කරයි. තුන්වන රයිකය කඩාවැටීමෙන් වසර හැත්තෑ පහකට පසු පාලක ප්‍රභූව විසින්, හිට්ලර් හා අමු නාසිවාදයේ ක්ෂමාලාපකයින්ගේ නායකත්වයෙන් යුත් පක්ෂයක් නීත්‍යානුකූල දේශපාලන හවුල්කරුවෙකු ලෙස පිලිගෙන තිබේ.

පසුගිය දශකය තුල ජර්මානු දේශපාලන දක්ෂිනාංශයේ නැගීම, ජාත්‍යන්තර මාධ්‍ය අවම වශයෙන් වසං කල කථා අතර වේ. තුරින්ගියා හි සිදුවීම් වලින් ඉක්බිතිව, සැලකිය යුතු දේශපාලන බලවේගයක් ලෙස ජර්මානු ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය නොසලකා හැරිය නොහැකි බව නිව්යෝක් ටයිම්ස් පවා හඳුනාගෙන තිබේ. පෙබරවාරි 7 වන දින එහි සංස්කරනයේ ලිපියක ටයිම්ස් මෙසේ ලිවීය:

සමහර විට, පෘතුවි පෘෂ්ඨයට පහලින් ඇති දේ හෙලි කිරීමට භූමිකම්පාවක් අවශ්‍ය වේ.

නැගෙනහිර ජර්මානු තුරින්ගියා ප්‍රාන්තයේ මේ සතිය තුල පැවති ප්‍රා‍දේශීය මැතිවරනය පෙන්නුම් කරන්නේ, ජර්මනියේ දේශපාලන සංස්ථාපිතය මධ්‍යයේ ඇති විනාශකාරී තත්වයයි. එසේම එය, පවත්වාගෙන යන බව කියා සිටින ෆැසිස්ට් විරෝධී සම්මුතියෙන් රට දැන් කොතරම් නම් දුරස්තවී සිටිනවාද යන්න පෙන්වයි.

නාසීන් විසින් අහෝසි කරන තෙක්, කෙටි කලක් පැවති, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ජර්මනියේ පලමු අත්දැකීම වන වයිමර් සමූහාන්ඩුව, වර්තමාන ජර්මනියේ ජනප්‍රිය යොමුවක් බවට පත්ව ඇත.

සීඩීයූ සහ එෆ්ඩීපී,  ඒඑෆ්ඩී සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, “නාසි යුගයේ අවසානයෙහි සිට ජර්මානු දේශපාලනය තුල ක්‍රියාත්මක වෙමින් තිබූ තහනම බිඳීමක් බව ටයිම්ස් පිලිගත්තේය. දෙවන ලෝක යුද්ධයෙන් පසු අන්ත දක්ෂිනාංශික පක්ෂයක ඡන්ද මත රැඳී තෝරාගත් පලමු ඉහල පෙලේ ජර්මානු දේශපාලනඥයා බවට එෆ්ඩීපී හි කෙමරිච් මහතා පත්විය. ”

සීඩීයූ සහ එෆ්ඩීපී ඒඑෆ්ඩී සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ගත් තීරනය ගැන ටයිම්ස් දිගටම පවසන්නේ,   තුරින්ගියා හිදී ඒඑෆ්ඩී, කලාපීය පාර්ලිමේන්තුවේ දෙවන ශක්තිමත්ම පක්ෂය පමනක් නොව, වෙනත් ඕනෑම ප්‍රාන්තයකට වඩා අන්තවාදී ද වන තතු තුල මෙය විශේෂයෙන් කනස්සල්ල දනවයි. එහි ඒඑෆ්ඩී හි ලොක්කා වන බජර්න් හොක්, පක්ෂය තුල “ඩර් ෆ්ලෙගල්”  වින්ග් ලෙස හැඳින්වෙන දැඩි මතධාරී ව්‍යාපාරයක නායකයා වේ . 2018 පොතක ඔහු “ජනගහනය ආදේශ කිරීම තුලින් ජාතිය මරනයට පත්වීම” ගැන අනතුරු ඇඟවීය. ඔහු නීත්‍යානුකූලව ෆැසිස්ට්වාදියෙකු ලෙස හැඳින්විය හැකි බවට පසුගිය වසරේ අධිකරනය තීන්දු කලේය.

ටයිම්ස් සමාප්ත කලේ:

අන්ත දක්ෂිනාංශයට මෙම සතිය කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කරදී තිබේ. ඒඑෆ්ඩී නායකයින් දිගු කලක් තිස්සේ අනාවැකි පලකර ඇති හා බලාපොරොත්තු තබා තිබුනේ, මාධ්‍යමික හා කොන්සවේටිව් පක්ෂ අතර සංකලනයක් ගැනය. බදාදා අලු‍තින් තේරී පත් වූ තුරින්ගියා ආන්ඩුකාරවරයාට සුබ පැතීමට අත දෙද්දී එච් ඕකේ මහතා සිනාසුනේය. ඇඩොල්ෆ් හිට්ලර් එවකට ජර්මනියේ ජනාධිපති පෝල් වොන් හින්ඩන්බර්ග්ට සුබ පතමින් 1933 දී පලවූ ප්‍රසිද්ධ ජායාරූපයක් මෙම දර්ශනය මඟින් බොහෝ ජර්මානුවන්ට මතක් කර දුන්නේය.

2020 දී ජර්මනිය 1933 දී ජර්මනිය නොවේ. එහෙත් මෑත වසරවල ජර්මානු දේශපාලනය කලකිරවන ආකාරයට වෙනස් වී තිබේ. මාධ්‍යමිකවාදීන් සහ අන්ත දක්ෂිනාංශිකයන් සංක්‍රමනය පිලිබඳව එක අදහසක් බෙදා ගනී. වමේ පොදු සතුරෙකු ලෙස ඔවුන් දකින දේ  බෙදා ගනී. දැන්, දශක ගනනාවකට පසු පලමු වතාවට ඔවුන් ආන්ඩුකාරවරයකු පවා බෙදා ගනී.

ජර්මනියේ බරපතල නව-නාසි පුනර්ජීවනයක් පැවතීම පිලිබඳව මීට පෙර මාධ්‍යවල කිසිවක් කියවා හෝ අසා නැති ටයිම්ස් පාඨකයින්, තුරින්ගියා හි සිදුවීම් හදිසි හා අනපේක්ෂිත වර්ධනයක් යැයි විශ්වාස කිරීමට හැකිය.

මෙය ප්‍රශ්නයෙන් බොහෝ දුරස්තය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද ලිපි ගනනාවකින් ප්‍රකාශයට පත් කරන ලද සොසියාලිස්ටිෂ් ග්ලීචයිට්ස්පාර්ටෙයි (එස්ජීපී) හි ජර්මානු ට්‍රොට්ස්කිවාදීන්ගේ නිරන්තර අනතුරු ඇඟවීම්, මෙම සිදුවීම් මඟින් සනාථ කරයි. හිට්ලර්වාදයේ වර්ධනයට විශාල කාර්යභාරයක් ඉටු කල  තුරින්ජියාවේ දේශපාලන උපාමාරු, ජර්මානු දේශපාලන සංස්ථාපිතයේ සියලු‍ම ප්‍රධාන පක්ෂ සම්බන්ධ කර ගත් දේශපාලන කුමන්ත්‍රනයක ප්‍රතිපලයකි. එය වසර පහකට වැඩි කාලයක් තිස්සේ දිග හැරෙමින්, නව නාසි දේශපාලන ව්‍යාපාරයක වර්ධනය  ධෛර්යමත් කර,  නීත්‍යානුකූල කිරීමට ක්‍රියාකාරීවී තිබේ.

ඒඑෆ්ඩී හි නැගීම පැහැදිලි කිරීමේදී “කුමන්ත්‍රනය” යන වචනය භාවිතා කිරීම මුලු‍මනින්ම ගැලපේ. 1920 සහ 1930 ගනන්වල ඒඑෆ්ඩී සහ නාසීන් අතර ඇති ප්‍රධාන වෙනස නම්, මෙම නූතන ෆැසිස්ට් සංවිධානය මහජන ව්‍යාපාරයක් මත පදනම් නොවීමයි. 2013 ආරම්භයේදී සීඩීයූ හා එෆ්ඩීපී සමග ඇති වූ භේදයකින් පැනනැඟු‍නු ඒඑෆ්ඩී, සිය සාමාජිකයින් විශාල ප්‍රමානයක් සෘජුවම බඳවාගෙන ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රනයෙනි. සියල්ලටත් වඩා මිලිටරිය, අධිකරනය සහ පොලීසිය තුලිනි. ඔවුන්ගේ කාර්ය මන්ඩලයේ වැඩි දෙනෙක් මීට පෙර වෙනත් සංස්ථාපිත පක්ෂයක සාමාජිකයෝ වූහ. උදාහරනයක් වශයෙන්:

වෙර්මාච්ට් විසින් උත්කර්ෂයට නංවන හිට්ලර් සහ නාසීන්, හුදෙක් “වසර 1,000 කට වැඩි කාලයක් සාර්ථකව පැවති ජර්මානු ඉතිහාසයේ කුරුලු‍ ජරාවක්” ලෙස විස්තර කරන ඒඑෆ්ඩී ගෞරව සභාපති ඇලෙක්සැන්ඩර් ගෝලන්ඞ්, වසර 40 ක් පුරා ඉහල මට්ටමේ සීඩීයූ ක්‍රියාකාරිකයෙකු විය.

යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ ඒඑෆ්ඩී නියෝජිතයෙකු වන ගයිඩෝ රීල්, අයිජී බීසීඊ කාර්මික වෘත්තීය සමිතියේ සාමාජිකයෙකු වන අතර, 2016 දී එෆ්ඩීයට සම්බන්ධ වීමට පෙර වසර 26 ක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එස්පීඩී) සාමාජිකයෙකු විය.

ටැම්පා හි මැක්ඩිල් ගුවන් හමුදා කඳවුරේ එක්සත් ජනපද මධ්‍යම අනදෙන සහ මිත්‍ර සන්ධාන බලකායේ ද ලිස්බන්හි  නේටෝ මූලස්ථානයේ ද සේවය කල හිටපු හමුදා නිලධාරියෙකි, ඒඑෆ්ඩීයේ බර්ලින් හි සභාපති ජෝර්ජ් පැස්ඩර්ස්කි.

ඒඑෆ්ඩීයේ නැගීම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරන පාලක පන්තිය, එක් මූලික ගැටලු‍වකට මුහුන දී තිබේ. එනම්  ජනගහනයෙන් අති බහුතරය විසින් ෆැසිස්ට්වාදීන්ට වෛර කරනු ලැබීමයි.

සියයට 12.6 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් 2017 සැප්තැම්බර් මාසයේ දී ඒඑෆ්ඩීය බුන්ඩෙස්ටැග් (ෆෙඩරල් පාර්ලිමේන්තුවට) ඇතුලු‍ වූ විට රට පුරා ස්වයංසිද්ධව මහජන විරෝධතා පැනනැඟු‍නි. ඒඑෆ්ඩීය කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කල, 2018 සැප්තැම්බරයේ චෙම්නිට්ස් හි පැවති ෆැසිස්ට් කෝලාහලයෙන් පසුව, සිය දහස් ගනනක් වීදි පෙලපාලි පැවැත්වූහ. 2018 ඔක්තෝබර් 13 වන දින බර්ලිනයේ පමනක් මිලියනයක ජනතාවක් උද්ඝෝෂන වලට සම්බන්ධ වූහ. පසුගිය ඔක්තෝබර් මාසයේදී හැලේ සිනගෝගයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සහ මෑතක පැවති තුරින්ජියා ප්‍රාන්ත පාලක මන්ඬලයට කෙමරිච් පත්වීමෙන් පසුව ජාතිවාදයට හා ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයට එරෙහිව ස්වයංසිද්ධ මහජන විරෝධතා ද පැනනැඟු‍නි.

දැවැන්ත මහජන සතුරුකම හමුවේ, ඒඑෆ්ඩී බලගතු තනතුරුවලට ඔසවා තැබීම රඳා පවතුනේ, ප්‍රධාන පක්ෂවල අනුග්‍රහය මතය. ඒඑෆ්ඩී හි බලපෑම ඉහල නැංවීමේ තීරනාත්මක යාන්ත්‍රනය වන්නේ, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මහා සන්ධාන ෆෙඩරල් ආන්ඩුවයි.

2017 මැතිවරනයෙන් පසු, බුන්ඩෙස්ටැග් හි සියලු‍ම පක්ෂ නව ආන්ඩුවක් සඳහා රාමුවක් සකස් කිරීමට, වැසූ දොරවල් පිටුපස මාස හයකට වඩා වැඩි කාලයක් ගත කලහ. මෙම ක්‍රියාවලියේදී, විශේෂයෙන් ජර්මනිය නැවත මිලිටරීකරනය, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට දැවැන්ත ප්‍රහාර එල්ල කිරීම සහ ඒඑෆ්ඩී සමඟ ක්‍රමානුකූලව සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් දුරදිග යන ගිවිසුම් ඇති විය.

2017 නොවැම්බර් මස අවසානයේදී ෆෙඩරල් ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්, එවකට ඒඑෆ්ඩී කොචයර්වරුන් වන ඇලෙක්සැන්ඩර් ගෝලන්ඞ් සහ ඇලිස් වයිඩෙල්ට ඔහුගේ නිල නිවස වන බෙලීව් මාලිගාවේ පැවති ඒකාබද්ධ රැස්වීමකට ආරාධනා කලේය. රැස්වීම ෆෙඩරල් පුවත්පත් කාර්යාලයේ පින්තූර වලින් ලේඛනගත කර ඇත. 2018 මාර්තු මාසයේදී මහා සන්ධානය බලයට පත්වන විට, එය අන්ත දක්ෂිනාංශයේ ප්‍රතිපත්තිවලින් විශාල කොටසක් අනුගමනය කල අතර ඒඑෆ්ඩී දේශපාලන ක්‍රමයට වේගයෙන් ඒකාබද්ධ කලේය.

මෙම ක්‍රියාවලියේදී එස්පීඩී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේය. සීඩීයූ සමඟ ඒකාබද්ධව පාලනය කිරීමට එස්පීඩී ගත් තීරනයෙහි ප්‍රතිපලයක් ලෙස ඒඑෆ්ඩීයට සියලු‍ ඡන්දදායකයින්ගෙන් අටෙන් එකකගේ සහයෝගය සහිතව නිල විරුද්ධ පක්ෂය බවට පත්වීමට හැකි විය. මෙය ඒඑෆ්ඩී හි පාර්ලිමේන්තු හා මාධ්‍ය ප්‍රචාරය බෙහෙවින් වැඩි කලේය. සෑම බුන්ඩෙස්ටැග් සැසියක ආරම්භයේදීම සහ ප්‍රමුඛ වේලාවේදී මාධ්‍ය තුල සිය ෆැසිස්ට් අපිරිසිදුකම පතුරුවා හැරීමට ගෝලන්ඞ් සහ සමාගමට හැකි වී තිබේ. කුප්‍රකට දක්ෂිනාංශික අන්තවාදීන් එස්පීඩීයේ සහාය ඇතිව වැදගත් පාර්ලිමේන්තු කමිටුවල ඉහලට ඔසවා ඇත.

වර්ෆසුන්ග්ස්චුට්ස් විසින් චෝදනා කරනු ලබන      “වාමාංශික අන්තවාදීන්ගේ” ගොදුරු බවට පත් ඒඑෆ්ඩී සහ “වින්ග්” ගැන ඔහු සානුකම්පිතව සඳහන් කරනු ලැබේ. හමුදාව, පොලීසිය සහ රහස් ඔත්තු සේවා කරා දක්ෂිනාංශික ත්‍රස්ත ජාලයන් විහිදී ඇති බව ප්‍රසිද්ධ වාර්තාවකි. ඔවුන් දස දහස් ගනනකගේ ඉලක්කගත  මරන ලැයිස්තු පවත්වාගෙන යයි. ප්‍රවීන සීඩීයූ දේශපාලනඥ වෝල්ටර් එල් ඇබ්කේ 2019 ජුනි 2 වන දින ඝාතනය කිරීමෙන් පසුව පවා ජර්මානු ආන්ඩුව විසින් ඔවුන්ගේ වැඩකටයුතු බොහෝ දුරට නොසලකා හරිනු ලැබේ. ඒඑෆ්ඩී විවේචනය කිරීම නිසා ලු‍බ්කේ ඝාතනය කරනු ලැබූ බවට බොහෝ දෙනා සැක කරති. සති කිහිපයක් ඇතුලත ඉහල පෙලේ දේශපාලනඥයාගේ ඝාතනය පිලිබඳ වාර්තා මාධ්‍ය විසින් ඉවත් කරන ලදී.

එස්පීඩීයේ කබායෙහි එල්ලී සිටින දේශපාලනිකව කොන්දක් නැති වාමාංශික පක්ෂය (ඩයි ලින්කේ)      තුරින්ගියා හි වර්ධනයන්ට ප්‍රතිචාර දක්වන්නේ,  බියගුලු‍ ලෙස තවත් දකුනට මාරුවීමෙනි. එය සීඩීයූවට ආයාචනා කිරීම පමනක් නොව,  ඒඑෆ්ඩීය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ඔවුන් අඟවා ඇත.

ඒඑෆ්ඩී හි නැගීම හා ජර්මනිය තුල නව-ෆැසිස්ට් දේශපාලනය හිතාමතාම නීත්‍යානුකූල කිරීම තුල තවත් තීරනාත්මක අංගයක් තිබේ. මිලිටරිවාදයේ හා අත්තනෝමතිකත්වයේ පුනර්ජීවනයට ජනතාව තුල ඇති ප්‍රතිරෝධය ජය ගැනීම සඳහා, දරුනු මාක්ස් විරෝධය, නාසි අපරාධ සුලු‍ කොට තැකීම සහ හිට්ලර් පුනරුත්ථාපනය කිරීම මත පදනම් වූ නව ඓතිහාසික ආඛ්‍යානයක් නිර්මානය කිරීමට ජර්මානු විද්වතුන් විසින් උත්සාහ දරනු ලබයි.

හම්බෝල්ට් විශ්ව විද්‍යාලයෙන් ඔහුට ලැබුනු සහයෝගයත් සමඟ බාබෙරොව්ස්කි  වඩාත් කැපී පෙනෙන දේශපාලන චරිතයක් බවට පත්ව ඇත. තුන්වන රයිකයේ කඩාවැටීමේ හැත්තෑපස් වැනි සංවත්සරය නිමිතිකරගත් ප්‍රසිද්ධ රැස්වීමකදී ඔහු ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිතය.  ඉහල මට්ටමේ දේශපාලන සහයෝගය ඇතිව ඔහු, කොමියුනිස්ට් විරෝධී  ගෝරනාඬුවක් කිරීම පිනිස මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනු ඇත.

මෙම ද්‍රෝහී ක්‍රියාවලියේ කේන්ද්‍රීය කාර්යභාරය ඉටු කර ඇත්තේ බර්ලිනයේ හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ පරිපාලනය විසිනි. එහි නැගෙනහිර යුරෝපීය අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය ජොර්ග් බබෙරොව්ස්කි සඳහා එය නොමඳ ආයතනික සහයෝගය ලබා දී ඇත. “හිට්ලර් කුරිරු නැත” අවුෂ්විට්ස් යන වධකාගාර සහ යුදෙව්වන් සමූහ වශයෙන් ඝාතනය කිරීම ගැන කිසිවක් දැන ගැනීමට නායකයාට (ෆියුරර්) අවශ්‍ය නොවීය.

එස්පීඩී හි හිටපු ක්‍රියාකාරිකයෙකු වන විශ්ව විද්‍යාලයේ සභාපති සබින් කුන්ස්ට් ප්‍රකාශ කර ඇත්තේ, බාබෙරොව්ස්කි විවේචනය කිරීම “පිලිගත නොහැකි” බවයි. නාසි ආධාරකරුවෙකු ලෙස හැසිරෙන බාබෙරොව්ස්කි විශ්ව විද්‍යාලයේ වාමාංශික සිසුවෙකුට ශාරීරිකව පහර දුන් පසු, එය වීඩියෝවකට ගෙන යූ ටියුබ් තුල 20,000 වතාවකට වඩා නරඹා (වීඩියෝව බලන්න) තිබියදීත් බබෙරොව්ස්කි විවේචනය කිරීමට අවසර දීම කන්ස්ට් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. 

ජර්මනියේ දේශපාලන තත්වය යුරෝපීය, ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවධානය ඉල්ලා සිටී. ඉතිහාසයේ ආලෝකයෙන් බලන කල, ජර්මනියේ නව නාසිවාදයේ පුනර්ජීවනය කෙරෙහි උදාසීන ආකල්පයක් ගත නොහැකිය.

කෙසේ වෙතත්, අද පවතින තත්වය සහ 1930 ගනන්වල තත්වය අතර මූලික හා ගැඹුරු වෙනසක් තිබේ. ෆැසිස්ට්වාදය කිසිසේත් ජර්මනියේ මහජන ව්‍යාපාරයක් නොවේ. ජර්මානු කම්කරුවන්, සිසුන්, කලාකරුවන් සහ බුද්ධිමතුන් අතර නාසි අතීතය සහ එහි අපරාධ සුලු‍ කොට තකන සියල්ලන් කෙරෙහි දැඩි වෛරයක් පවතී. ජර්මනිය පුරා, නාසීන්ගේ අපරාධ සිහිපත් කරන සහ ඊට ගොදුරුවූ මිලියන සංඛ්‍යාත පිරිසකගේ මතකයට ගරු කරන ස්මාරක ඇත. තුන්වන රයිකයේ භීෂනය ජර්මානු ජනතාවගේ සාමූහික විඥානය තුලට ගැඹුරින් කාවැදී ඇත.

ඒ අතරම, මාක්ස්වාදයේ බුද්ධිමය හා දේශපාලන සම්ප්‍රදායන් රටේ සංස්කෘතිය තුල ගැඹුරින් මුල් බැස ඇත. ඒවා තුරන් කිරීම සඳහා නිල පක්ෂ, දූෂිත මාධ්‍ය සහ ශාස්ත්‍රාලිකයින් කොතරම් උත්සාහ කල ද ඒවා නොතකා එසේ පවතියි. ෆ්‍රෙඞ්රික් එංගල්ස්ගේ උපත සිදුවු 1820 නොවැම්බරය පිලිබඳ ද්විවාර්ෂික සැමරුම ජර්මනිය පුරා උනුසුම් ලෙස පවත්වනු ඇති බවට කෙනෙකුට සහතික විය හැකිය.

එහෙත්, 1933 දී නාසීන්ගේ ජයග්‍රහනයට තුඩු දුන් දේශපාලන ක්‍රියාවලියට විරුද්ධව මහජන සහයෝගය නොලැබීම තරම්ම, කැපී පෙනෙන හා භයානක සමානකමක් දැන් ද පවතින බව  අවධාරනය කල යුතුය. අන්ත දක්ෂිනාංශය ශක්තිමත් කිරීම සඳහා දේශපාලන සංස්ථාපිතය තුල කුමන්ත්‍රනකාරී කටයුතු වලට ඉඩ සැලසෙන්නේ එමඟිනි. තුරිංගියා හි සිදුවීම් මගින් මෙම ක්‍රියාවලිය සහ එහි ප්‍රතිගාමී ප්‍රතිවිපාක හෙලිදරව් වී තිබේ.

ඒඑෆ්ඩීයේ වර්ධනයට හා ජර්මනියේ සහ ජාත්‍යන්තරව ෆැසිස්ට්වාදය හා මිලිටරිවාදය කරා යලි හැරීමට එරෙහිව නිරන්තරයෙන් සටන් කරන එකම පක්ෂය වන්නේ සොසාලිස්ටිස් ග්ලීචයිට්ස්පාර්ටෙයි ය. එහි අනතුරු ඇඟවීම් සනාථ වී ඇත. එස්.ජී.පී. නායක ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රයෙර් ඒඑෆ්ඩී හි නැගීමට පාදක වූ දේශපාලන කුමන්ත්‍රනය පිලිබඳ ඔහුගේ අගනා හෙලිදරව්වෙන් ලියා ඇති පරිදි:

නාසිවාදය යුක්ති සහගත කිරීම සහ සමාජවාදී වමට එරෙහිව සටන් කිරීම යන ඒඑෆ්ඩී යේ  මූලික පිලිවෙත් දෙකට අනුකූලත්වය දැක්වීම, සන්ධානයේ අවි ගබඩාවේ අත්‍යවශ්‍ය අංගයකි. 2018 දී ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකීමේ කාර්යාලය [වර්ෆසුන්ග්ස්චුට්ස්] ලෙස හැඳින්වෙන ජර්මනියේ රහස් ඔත්තු සේවය විසින් ආන්ඩුවේ අනුමැතිය සහිතව ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව එස්.ජී.පීය, සම්මුති විරහිතව ඒඑෆ්ඩීයට විරුද්ධ වීමත්, මිලිටරිවාදය සහ ධනේශ්වර විරෝධී සමාජවාදී වැඩපිලිවෙලක් වෙනුවෙන් පෙනී සිටීමත් මත “නිරීක්ෂනයට යටත් සංවිධානයක්“ ලෙස නම්කර තිබුනි.

හිට්ලර්ගේ එස්ඒ (ස්ටාර්ම් ටෘපර්ස්) වැනි මහජන පදනමක් හෝ සටන් සූදානමක් සහිත ඒකක ඒඑෆ්ඩීය සතුව නැත.  එහි සාමාජිකයින් බඳවාගනු ලැබුවේ යන එනමං නැති යුද ප්‍රවීනයන්, සුලු‍ ධනේශ්වරයේ සමාජීය වශයෙන් විනාශ වූ සාමාජිකයන් සහ බලාපොරොත්තු සුන්වූ රැකියා විරහිත කම්කරුවන් අතරින්ය. ඒඑෆ්ඩී හි ශක්තිය මතුව ඇත්තේ,  දේශපාලන පක්ෂ, මාධ්‍ය, ආන්ඩුව සහ රාජ්‍ය යාන්ත්‍රනයෙන් ඊට ලැබෙන සහයෝගය මත පමනි.

ලොව පුරා දැකගත හැකිවූ ආකාරයටම ජර්මනියේ ද දේශපාලන රැඩිකලීකරන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතී. මහජනතාව කම්පනයට පත් කල තුරින්ජියා හි සිදුවීම් මෙම ක්‍රියාවලිය වේගවත් කරනු ඇත. එහෙත් එහි කාලෝචිත හා දේශපාලනික වශයෙන් සවිඥානික වර්ධනය සඳහා ජර්මානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස සොසාලිස්ටිස් ග්ලීචයිට්ස්පාර්ටෙයි සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම අවශ්‍ය වේ.

ඩේවිඩ් නෝර්ත් සහ ජොහැනස් ස්ටර්න්

Loading