පිටුවහල් කිරීමේ නඩු විභාගයට පෙරාතුව ජූලියන් අසාන්ජ් සඳහා වැඩෙන සහයෝගය

මෙම ලිපිය 2020 පෙබරවාරි 20 දා ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට පිටුවහල් කිරීම සම්බන්ධව  ලන සඳුදා බ්‍රිතාන්‍ය අධිකරන නඩු විභාගයට  ආසන්න වෙද්දී, දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා දුරදිග යන ඇඟවුම් සහිත බරපතල අසාධාරනයක් සිදුවෙමින් පවතින බවට වර්ධනය වන පිලිගැනීමක් තිබේ.

තීරනාත්මක කාරනය වන්නේ අසාන්ජ් පිටුවහල් කිරීම  ඇහිරීම  සහ ඔහුගේ පූර්න නිදහස ලබා ගැනීම සඳහා සටන් වදින කම්කරු පන්තියේ මහජන දේශපාලන ව්‍යාපාරයක් බවට මෙම අප්‍රකාශිත හැඟීම පරිවර්තනය කිරීමයි.

පරදුවට තැබී ඇතිදේ තීරනාත්මකය.

යුද අපරාධ හෙලිදරව් කිරීම නිසා විකිලීක්ස් ප්‍රකාශකයා එක්සත් ජනපද (එජ) බන්ධනාගාරයකට පිටත් කර යැවීමට ගන්නා උත්සාහය දශක ගනනාවක් තුල මාධ්‍ය නිදහසට එල්ල කෙරුනු දරුනුතම ප්‍රහාරයයි. නීතිඥ ජෙනිෆර් රොබින්සන් සහ විකිලීක්ස් හි ප්‍රධාන කර්තෘ ක්‍රිස්ටින් හැෆ්සන් වැනි අසාන්ජ්ගේ නීතිඥයින් සහ සගයන් අනතුරු අඟවා ඇත්තේ මෙසේය: අසාන්ජ් එජ ට පිටුවහල් කරනු ලැබුවහොත්, ඇමරිකානු ආන්ඩුවේ උදහසට ලක්වන ඕනෑම මාධ්‍යවේදියෙකු, ප්‍රකාශකයෙකු හෝ ක්‍රියාකාරිකයෙකු ද එම තත්වයට පත් කල හැකි වනු ඇත. 

උද්ඝෝෂකයෙකු 2020 පෙබරවාරි 19 වන දින ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරනයෙන් පිටත බැනරයක් ප්‍රදර්ශනය කරයි [Credit: AP Photo/Kirsty Wigglesworth]

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරී නිල්ස් මෙල්සර් විසින් තක්සේරු කරන ලද පරිදි, ඔහු නම් පසුපස හඹායන ආන්ඩු විසින් දැනටමත් අසාන්ජ් ව, මානසික වධහිංසනයට ලක්කර තිබේ. ඔහුගේ ඉතිරි ජීවිත කාලය පුරාම එජ බන්ධනාගාරයක අඳුරුතම මුලු‍ වල ත්‍රස්තවාදියෙකු ලෙස සැලකිල්ලට ලක්වීමෙ ඉරනමට  ඔහු දැන් මුහුන දී සිටී. 

ඊයේ පැවති පරිපාලන නඩු විභාගයකදී විකිලීක්ස් නිර්මාතෘවරයා කෘශවී වැහැරුනු ස්වරූපයෙන් පෙනී සිටිමින් ඔහුගේ උපන් දිනය බිඳුනු ස්වරයෙන් කියවීය. ඔහුගේ නීතිඥයින් සංඥා කලේ  පූර්න නඩු විභාගය තුලදී , දේශපාලන චෝදනා හේතු කොටගෙන බ්‍රිතාන්‍යයෙන් එක්සත් ජනපදයට පිටුවහල් කිරීම තහනම් බව දක්වන  බවත්, ඔහු දේශපාලන සරනාගතයෙක් ලෙස ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයේ සිටිද්දී  ඇමරිකානු බුද්ධි අංශ විසින්  ඔහුව ඔත්තු බැලීමට ලක් කිරීම ඇතුලු‍ව  අසාන්ජ්ට සිදුවී ඇති අසංඛ්‍ය අපයෝජනයන් විස්තර කරන බවත්ය.

පිටුවහල් කිරීමේ උත්සාහය  නීත්‍යානුකූල බවින් තොර සංදර්ශන නඩු විභාගයක් ලෙස පැවැත්වෙන බවට, සාක්ෂි  මගින් දැනටමත් හංවඩුව තබා ඇත.

කෙසේ වෙතත්, සංගත පුවත්පත් නියෝජිතයින් බොහෝ දුරට මෙම කරුනු කෙරෙහි උදාසීන ය. ඒ වෙනුවට, ඔවුන් අවධානය යොමු කර ඇත්තේ එජ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2017 අගභාගයේදී හිටපු රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික ඩෙනා රොරාබැකර් හරහා අසාන්ජ්ට සමාව ලබා දීමට සූදානම්ව සිටි බවට විත්තියේ සාක්ෂිකරුවෙකු සාක්ෂි දෙනු ඇති බවට කරන ලද හෙලිදරව්ව කෙරෙහි ය. 

කියා පාන පරිදි, ට්‍රම්ප්ගේ  මෙම යෝජනාව,  2016 මැතිවරනයේදී “රුසියානු මැදිහත්වීම” හේතුවෙන් ට්‍රම්ප් තේරී පත් වූ බවට කරන ප්‍රකාශ නිෂ්ප්‍රභා කරන සාක්ෂි සැපයීම සඳහා හිලව්වක් ලෙස කරන ලද්දක් විය.  

ඩිමොක්‍රටික් පක්ෂය සමග පෙලගැසී ඇති මාධ්‍ය දැනටමත් උමතුවෙන් ප්‍රතිචාර දක්වා ඇත්තේ, ට්‍රම්ප්, රුසියාව සහ විකී ලීක්ස් අතර සහසම්බන්ධයක් පිලිබඳ තමන්ගේ  අපකීර්තිමත් “රෂියා ගෙට්” කුමන්ත්‍රන න්‍යායන්, මෙම වාර්තා කෙරෙන  සමාව දීම මගින් සනාථ කෙරෙන බවයි. යථාර්ථය නම්, 2017 අගෝස්තු මාසයේදීම රොරාබැකර් සහ අසාන්ජ් අතර  සාකච්ඡා- ගනුදෙනු පිලිබඳ  වාර්තා ප්‍රසිද්ධියේ පලවූ බවයි.

එපමනක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කමිටුවේ (ඩීඑන්සී) අතිමහත් දූෂනය තහවුරු කරන ඩීඑන්සී හි ඊමේල් පනිවිඩ විකිලීක්ස් විසින් 2016 දී ප්‍රකාශයට පත්කිරීම සදහා රුසියානු මැදිහත්වීමක් ප්‍රතික්ෂේප කිරීමට අසාන්ජ්ට කිසිදු පෙලඹවීමක් අවශ්‍ය නොවීය. ඔහු අවස්ථා කිහිපයකදීම කියා සිටියේ ඊමේල් වල මූලාශ්‍රය රුසියාව නොවන බවයි. ඔහුගේ සමීප සහකාර ක්‍රේග් මරේ පැවසුවේ ඒවා ලබා දී ඇත්තේ ඩී.එන්.සී.ය විසින් බවයි. එමෙන්ම සාකච්ඡාවල අන්තර්ගතය කුමක් වුවත්, අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීමට හා සිරගත කිරීමට දැන් ගැනෙන උත්සාහයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ට්‍රම්ප් පාලනාධිකාරයයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ අසාන්ජ්ට එරෙහි අපහාස කිරීම් සහ ඔහුව හුදෙකලා කිරීමට ජාත්‍යන්තරව පාලක ප්‍රභූවන් දැරූ දීර්ඝ උත්සාහයන් බිඳ වැටෙමින් තිබේ.

ජර්මනියේ දී, ප්‍රමුඛ පුවත්පත්, කලාකරුවන් සහ විශ්‍රාමික දේශපාලනඥයන් විසින් අසාන්ජ්ගේ හිංසනය හෙලා දැකීම මගින් ද,  ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඇන්ඩෲ විකී සහ ජෝර්ජ් ක්‍රිස්ටෙන්සන්  මේ සතියේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ අසාන්ජ් බැලීමට ගොස් ඕස්ට්‍රේලියානු ආන්ඩුව එහි පුරවැසියෙකු ලෙස ඔහුව ආරක්ෂා කරන ලෙස බලකරමින් ඉල්ලා සිටීම සඳහා ගත් තීරනය මගින් ද, මෙය ප්‍රකාශවේ. 

මෙම මූලාරම්භයන් නිසැකවම පහලින් ලැබෙන පුලු‍ල් සහයෝගය සඳහා වූ ප්‍රතිචාරයකි. අසාන්ජ් කෙරෙහි පුලු‍ල් මහජන අනුකම්පාව වනාහි පන්ති අරගලයේ නැගීම හා අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ පිපිරීමක් මධ්‍යයේ වාම, යුද විරෝධී හා සමාජවාදී ස්ථාවරයන් වෙත වැඩි වැඩියෙන් ආකර්ෂනය වන කම්කරුවන්ගේ හා තරුනයින්ගේ දේශපාලන රැඩිකලීකරනයේ එක් ප්‍රකාශනයකි.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ අසාන්ජ් නිදහස් කිරීමේ සටන ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්නයි. ලොකුම වරද (එමෙන්ම අසාන්ජ් පිටුවහල් කිරීම සහතික කිරීමේ ස්ථිරම මාර්ගය වනු ඇත්තේ) බ්‍රිතාන්‍යයේ හෝ වෙනත් තැනක, ධනවාදී රාජ්‍යයේ කිනම් හෝ අංගයක්,  විකිලීක්ස් නිර්මාතෘගේ නිදහස සුරක්ෂිත කරනු ඇතැයි යන මිත්‍යාවන් තබා ගැනීමයි.

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින්, අසාන්ජ් ආරක්ෂා කරන්නන් ඔහුගේ දුක්ඛිත තත්වයට වගකිව යුතු දේශපාලන සංස්ථාපිතයම පිටුපස  ගාල් කර යැවීමෙ ප්‍රයත්නයන්හි පෙරමුනෙහි ම  සිටී.

ලේබර් පක්ෂ නායකයා, ඔහුගේ සගයන් මෙන්ම, ස්වීඩනයේ ව්‍යාජ ලිංගික විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් අසාන්ජ් වැරදිකරු කිරීමේ  උත්සාහය ප්‍රවර්ධනය කලේය. කෝබින් ඉන්පසුව බ්‍රිතාන්‍යයේ දේශපාලන සිරකරුවෙකු වූ අසාන්ජ් ගැන පසුගිය වසරේ මහ මැතිවරනයද ඇතුලත් දස මසක් පුරා නිහඬව සිටියේය. විනිවිද පෙනෙන පරමාර්ථය වූයේ අසාන්ජ් පිටුවහල් කිරීමට එරෙහි විශේෂයෙන් ලේබර් පක්ෂයේ සාමාජිකයන් අතර විරුද්ධත්වය මැඩපැවැත්වීමයි.

සෑම අවස්ථාවකදීම තම පක්ෂයේ දක්ෂිනාංශයට යටත් වී, මැතිවරනයෙන් පරාජයට පත්වූ කෝබින් දැන් ප්‍රකාශ කර ඇත්තේ එජ අසාන්ජ්ට හිංසා පීඩා කිරීමට තමන් විරුද්ධ බවයි. ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සති කිහිපයකට මත්තෙන් කරනා මෙම ප්‍රකාශය අරමුනු කර ඇත්තේ ලේබර් පක්ෂය පුනරුත්ථාපනය කිරීම සහ පාර්ලිමේන්තු සංස්ථාව පිටුපස අසාන්ජ්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් වන කෝපය අවමංගත කිරීම ය.

කොන්සර්වේටිව් අගමැති බොරිස් ජොන්සන් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමේ සටන සඳහා මෑතදී පිල් මාරු කල අයෙකු ලෙස ඉදිරිපත් කිරීමට මේ සතියේ කෝබින් දැරූ උත්සාහය මගින් මෙය පෙන්නුම් කෙරිනි.

ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සංස්ථාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කෝබින් පැවසුවේ, පාර්ලිමේන්තුවේදී තමන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින්, බ්‍රිතාන්‍යය සහ එජ අතර පිටුවහල් කිරීමේ ගිවිසුමේ “අසමතුලිත” බව ජොන්සන් විසින් “පිලිගෙන” ඇති බවයි. කෝබින් ප්‍රකාශ කලේ මෙය ආන්ඩුව පැත්තෙන්       “විශාල වෙනසක්” බවයි.

කෝබින් අනතුරුව ප්‍රකාශ කලේ ජොන්සන්, “ජූලියන් අසාන්ජ් කලාක් මෙන් විවෘතව සත්‍යය පවසන කෙනෙකු එජ ට පිටුවහල් කිරීමට මුහුන නොපෑ යුතු බවට වන මූලධර්මයක් මෙහි ඇති බව වටහා ගත් බව මට පෙනුනු” බවයි.

ජොන්සන් අන්ත දක්ෂිනාංශික චරිතයකි. ඔහුගේ වැඩපිලිවෙල වන්නේ බ්‍රිතාන්‍ය ජාතිකවාදය, හමුදාව ගොඩනැගීම, කම්කරු පන්තියේ සමාජ අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාරය සහ පොලිස් රාජ්‍ය මර්දනයයි. පසුගිය වසරේ බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරීන් විසින් අසාන්ජ්ව ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටතට ඇද දැමූ විට ඔහු උදම් අනමින් සතුටු  විය.

කෝබින් මෙම අදහස් දැක්වූයේ ජොන්සන්, සුප්‍රජනක විද්‍යාව නැතහොත් ව්‍යාජ- විද්‍යාව (කිසියම් ජන ගහනයක් සඳහා උචිත යයි සැලකෙන ආවේනික ගුන වර්ධනය කිරීම පිලිබඳ විද්‍යාව-උදා: නාසි ජර්මනියේ බඳු)  පිලිබඳ විවෘත උපදේශකයින් ඇතුලු‍ ෆැසිස්ට්වාදීමය උපදේශකයින් තමා වටා පිරිවරාගෙන සිටින බව අනාවරනය වීමත් සමග ය.

ජොන්සන් වෙත සදාචාරාත්මක ආයාචනයක් සඳහා කෝබින් කල කැඳවීම අසාන්ජ්ට හිංසා පීඩා කිරීමට එරෙහි විරෝධය හානිකර නොවන මාවත් ඔස්සේ හරවා යැවීමේ උත්සාහයකි. සියලු‍ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මෙන්ම අසාන්ජ්ගේ ආරක්ෂාව ද කම්කරු පන්තියේ මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලයෙන් වෙන් කල නොහැකිය.

වෙනත් වචන වලින් කිවහොත්, අසාන්ජ් නිදහස් කිරීමේ ව්‍යාපාරය කම්කරු පන්තියේ සියලු‍ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලයේ ප්‍රධාන අංගයකි.

මහා විනාශකාරී නව ගැටුම් සඳහා ප්‍රධාන බලවතුන් සූදානම් වීම මධ්‍යයේ, මෙම අරගලය, මිලිටරිවාදය සහ යුද්ධය අවසන් කිරීමේ සටනින් වෙන් කල නොහැකිය. මෙය, මහජන සමාජ විරෝධය මැඩපැවැත්වීම පිනිස වෙන කවරදාටත් වඩා අඥාදායක ක්‍රියාමාර්ගයන් වෙත යොමුවන  ආන්ඩු විසින් අන්තර්ජාලය වාරනය කිරීම වැලැක්වීමේ අරගලයේ කොටසකි.

ප්‍රන්සය, ලෙබනනය සහ චිලියේ සිට බ්‍රිතාන්‍යය, එජ හා ඕස්ට්‍රේලියාව දක්වා ප්‍රධාන පන්ති සටන්වලට පිවිසෙන මිලියන සංඛ්‍යාත කම්කරුවෝ, අසාන්ජ්, ධෛර්ය සම්පන්න තොරතුරු හෙලිකරන්නී චෙල්සි මැනිං සහ සියලු‍ම පන්ති යුද සිරකරුවන් ආරක්ෂා කිරීමේ දායකත්වය වෙති.

අසාන්ජ්ගේ ආරක්ෂාව සඳහා කම්කරු පන්තිය බලමුලු‍ ගැන්වීමේ අරගලයේ කොටසක් ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂ, මේ සති අන්තයේ සිඩ්නි සහ මෙල්බර්න් හි පෙලපාලි සහ ඉරිදා ලන්ඩනයේ ප්‍රසිද්ධ රැස්වීමක් ද ඇතුලු‍ව ඉදිරි සති කිහිපය තුල ආරම්භකත්වයන් මාලාවක් දියත් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියලු‍ දෙනාගෙන් සහභාගි වන ලෙස ඉල්ලා සිටිමු.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

කතුවරයා නිර්දේශ කරයි:

ජූලියන් අසාන්ජ්ට එරෙහි ජාත්‍යන්තර දඩයම [2020 ජනවාරි 14]