වැඩවේගවත් කිරීම යටතේ විශ්ව විද්‍යාල තුල "අකාර්යක්ෂම" සේවකයන් දඩයම් කිරීම අරඹයි

උපරිම ශ්‍රම සූරාකෑම එල්ලකර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ධනපති ආන්ඩුවලට පනවා ඇති විධානයන් මත, රාජ්‍ය ආයතනයන් හි සිදු කෙරෙන වැඩ වේගවත් කිරීම යටතේ, විශ්ව විද්‍යාල තුල “අකාර්යක්ෂම” සේවකයන් දඩයම් කිරීම අරඹා ඇත. 

මොරටුව විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු, ගයාන් පීරිස් සහ ඩී. රෝහිත යන අනධ්‍යන කම්කරුවන් දෙදෙනාට එරෙහිව ක්‍රියාත්මක වන දඩයම ඒ අතරින් කැපී පෙනෙයි. විද්‍යාගාර සහායකයෙකු වන පීරිස් ට එරෙහිව විනය පරීක්ෂනයක් ද, ගබඩා භාරකරුවෙකු වන රෝහිතට එරෙහිව විගනනයක් ද ක්‍රියාත්මක වෙයි.  

පීරිස්

අධික ලෙස වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම, සේවා කාලය තුල අදාල අංශයේ රැඳී නොසිටීම, එසේ රැඳී නොසිට වෙනත් ස්ථානවල සේවකයන් සමගින් කතා බහ  කරමින් සිටීම,  සහ අකාර්යක්ෂම බව ඇතුලු චෝදනා දහයක් යටතේ පීරිස්ගෙන් නිදහසට කරුනු විමසා තිබේ. ඔහුට එල්ල කෙරෙන චෝදනා  විශ්වවිද්‍යාල ආයතන  සංග්‍රහයේ 22 පරිච්ඡේදයේ උප වගන්ති වන අවංකභාවය නොමැතිකම සහ අනිසි හැසිරීම යටතට ගැනෙන වැරදි වේ.

පීරිස්, එක්සත් ජාතික පක්ෂයට අයත් ජාතික සේවක සංගමයේ මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ සභාපතිවරයා ය. ඔහු, අනධ්‍යන සේවක වෘත්තීය සමිති කීපයක් ඒකාබද්ධ කොට තනා ඇති මධ්‍යම කමිටුවේ සම සභාපති ධුරය ද දරයි. 

පීරිස් පවසන්නේ වැටුප් රහිත නිවාඩු සම්බන්ධයෙන් ඔහුට දඬුවම් පමුනුවා ඇති බවයි. එමෙන්ම 2015 සැප්තැම්බර් මස සිට මේ දක්වා වැටුප් රහිත නිවාඩු ලබාගෙන නොමැත. 

පීරිස් ට එල්ල කරන චෝදනා රැකියාව අහිමි කිරීමට තරම් බරපතල ඒවාය. ඔහුට  2016 වසරේදී  මෙවැනිම චෝදනා එල්ල කෙරුනු බවත්, යලි යලිත් එම චෝදනාම එල්ල කරමින් විනය පරීක්ෂන පැවැත්වෙන නිසා අධික ලෙස මුදල් වියදම් වන නීති උපදෙස් පැතීමට  සිදු වී තිබේ.  

රාජකාරි වේලාවේ දී වෙනත් ස්ථානවල සේවකයන් සමඟ කතා කරමින් සිටීම වැනි චෝදනා හිතාමතාම ගොතා ඇති බවත්, වෘත්තීය සමිති නායකයෙකු ලෙස සේවකයන් සමඟ සාකච්ඡා කිරීමට තමාට අයිතියක් ඇතිබවත් ඔහු පැවසීය. 

ජාතික සේවක සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ තවත් නායකයෙකු වන රෝහිත මුහුන දී සිටින තත්වය ද ඒ හා සමානය. පසුගිය වසරේ පෙබරවාරි මස සිට මේ දක්වා, ඔහුට එරෙහිව ගබඩා පරීක්ෂන හතරක් පවත්වා තිබේ. ඉන්පසුව ඔහු ගබඩාවෙන් ඉවත්කර නඩත්තු කාර්යාලයට අනුයුක්ත කර තිබේ. 

රෝහිත

මේ පිලිබඳව අදහස් දක්වමින්  රෝහිත පැවසුවේ පසුගිය කාලය පුරාම ගබඩාවේ වැඩ අධික වූ බවයි. ඔහුට එම වැඩ කටයුතු කිරීමට සිදුව ඇත්තේ සහායකයෙකු සමගිනි. අතපසුවන ලිපි ලේඛන කටයුතු ඉටුකරගැනීමට ඔහුට අතිකාල ලබා දී නැත. කිසිම ලිඛිත දැනුම්දීමකින් තොරව පසුගිය වසරකට ආසන්න කාලයක් මෙම  විගනන කටයුතු සිදුකොට ඇත්තේ  ඔහු ගබඩාවෙන් ඉවත් කර තබමිනි. එමෙන්ම පුද්ගලයන් කිහිප දෙනෙකු විවිධ ස්ථානවල බඩු ගනන් ගැනීම නිසා  ඔහුට සියලු  ගනන් ගැනීම්  නිවැරදිව නිරීක්ෂනය කර ගැනීමට නොහැකිවී ඇත. එම නිසාම එම විගනනයන්හි විශ්වසනීයභාවය පිලිබඳව සැකයක්  පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රෝහිතට විරුද්ධව තවම චෝදනා ගොනු කොට නැතත්, පීරිස්ට එල්ලව ඇති අනිසි හැසිරීම සහ අවංකභාවය නොමැතිවීම යන චෝදනා ඔහුටද එල්ල විය හැක. 

පර්සි

මීට පෙර ද විශ්ව විද්‍යාලයේ උප කුලපති නිල නිවස  භාරකරු වූ ආර්.එච්.පර්සි ට විරුද්ධව ද සමාන චෝදනා එල්ල කෙරිනි. ඉන්පසුව ඔහු සහ ඔහුගේ පවුල ඔවුන් ජීවත් වූ නිල නිවසින් එලියට ඇද දමන ලදී. තමන්ට දඬු ගැසීමට අවශ්‍ය සේවකයන්ට විරුද්ධව  අර්ධ සත්‍ය කරුනු හා අසත්‍ය කරුනු චෝදනා ලෙස ඉදිරිපත් කරමින් ඔවුන් රුදුරු ලෙස දඬු ගැසීම පිලිබඳව මොරටුව විශ්ව විද්‍යාලයේ පරිපාලනය කුප්‍රකට ය. 

පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සමයේ, වැටුප් ඉල්ලීම් මත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් අතරින් නිරන්තරව මතුවූ අරගලයන්, ආන්ඩුවේ මැති-ඇමතිවරුන්ගේ සාකච්ඡා සහ පොරොන්දු වලට යට කරමින්, එම අරගල පාවා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පීරිස් ට සහ රෝහිතට ඇත්තේ ද්‍රෝහී වාර්තාවකි. ආන්ඩුව සහ විශ්ව විද්‍යාල පරිපාලනය, මර්දනය නව ඉහලකට වර්ධනය කිරීම සඳහා පෙරට පැන ඇත්තේ එම පාවාදීම් වලින් අත ශක්තිමත් කර ගනිමිනි.

කෙසේ නමුත්, පීරිස් ගේ සහ රෝහිතගේ රැකියාවට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කොට ඇති ප්‍රහාරය පරාජය කිරීමට, මොරටුව විශ්ව විද්‍යාලයේ සියලු අනධ්‍යන සේවකයන් ඇතුලු කම්කරු පන්තිය පෙරට පැමිනිය යුතුය. ධනපති ආන්ඩුවල සෘජු ඒජන්තයන් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධාරීන් දෛදෙනෙකුට එරෙහිවමත් මෙවන් දඩයමක් දියත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ, සමස්ත කම්කරු පන්තියට එරෙහිව එල්ල කිරීමට සූදානම් වන මර්දනයේ පරිමාවයි.

සේවකයන් දඩයම් කිරීම මගින් අනිකුත් සේවකයන් බිය වද්දා අවනත කර වැඩ වේගවත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට කෙටීම මෙම මර්දනයේ මූලික අරමුනයි. 

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් පසුගිය වසර අවසානයේ කොන්ත්‍රාත් පදනමේ රාජ්‍ය සේවකයන් 15,000 ක් සේවයෙන් පහ කෙරුනු අතර, එයට විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් සිය ගනනක් ද අයත් විය. ඉන් ඇතිවූ සේවක හිඟය මකා ගැනීමට, අනෙකුත් සේවකයන්ගේ කරමත හැකි තරම් බර පැටවීමට පාලකයෝ අරමුනු කරගෙන සිටිති. ස්ථිර සේවකයන් ගේ වැඩ වේගවත් කිරීම සඳහා මර්දනකාරී වාතාවරනයක් අවශ්‍ය ය. ආන්ඩුව සහ පරිපාලනය සූදානම් කරමින් සිටින්නේ එයයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ම දත්ත මගින් පෙන්නුම් කරනුයේ, 1996 සිට 2017  වන විට සේවක සංඛ්‍යාව සියයට 26 කින් කින් පමන අඩු වී ඇති නමුත් ශිෂ්‍ය සංඛ්‍යාව සියයට දෙසිය පනහකින් පමන ඉහල ගොස් ඇති බවයි. මොරටුව විශ්වවිද්‍යාලය ඇතුලු විශ්වවිද්‍යාල පාලකයන්  මුහුන දී සිටින වැඩ වේගවත් කිරීමේ පියවර සඳහා ගාමකය සැපයෙන්නේ මෙම තත්වය මගිනි.  

රාජපක්ෂ ආන්ඩුව ගනන් බලමින් සිටින්නේ, ලඟ එන පාර්ලිමේන්තු මැතිවරනයෙන් ජයගෙන, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමට ය. අධ්‍යාපනය සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ සිදු කෙරෙන දැවැන්ත කප්පාදු ඉන් ප්‍රමුඛ ය. පසුගිය ආන්ඩු සමයේ සිට මෙම ප්‍රහාරයන්ට එරෙහිව වේගයෙන් වැඩෙමින් පවතින කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල ලෙයින් මැඩීමට අවශ්‍ය ආඥාදායක පාලනයකට ගෝඨාභය රාජපක්ෂ වේගයෙන් මාරු වෙමින් සිටී. 

එහි අත්‍යන්ත කොටසක් ලෙස සිදු කෙරෙන මිලිටරීකරනය යටතේ විශ්ව විද්‍යාල තුල දැනට පවත්වාගෙන යන ඔත්තු ජාලයන් වඩාත් තර කිරීම, සටන්කාමී කම්කරුවන් සහ ශිෂ්‍යයන් දඩයම් කිරීම එල්ල කර ගත් සීසීටීවී කැමරා පද්ධති සවි කිරීම දැනටමත් ආරම්භ කොට ඇත.

කෙසේ නමුත්, පීරිස්ට සහ රෝහිතට එල්ලවන දඩයමේ දී අනෙකුත් වෘත්තීය සමිති ඒ පිලිබඳව මුනිවත රකිමින්, පාලකයන්ගේ මර්දන ප්‍රහාරයන්ට තම පූර්න සහයෝගය ප්‍රකාශ කරමින් සිටිති. මේ පිලිබඳව ජනවාරි 28 වැනි දින කල විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ අසන්ත ද මෙල් දැක්වූයේ නරුම ප්‍රතිචාරයකි. ධනපති පරිපාලන රෙගුලාසි සාධාරනීකරනය කරමින් ඔහු මෙසේ පැවසීය: “ඕනෑම සේවකයෙකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන්න පුලුවන් ඔහුට තියෙන්නෙ නිදහසට කරුනු ඉදිරිපත් කරල නිදහස් වෙන එක වරදක් නැතුව දඬුවම් කරන එක වැරදියි.”  

පසුදින එය ඌන පූරනය කරමින් ද මෙල් කියා සිටියේ  තමා “ගබඩාවට මාරු කල විට එක වෘත්තිය සමිතියක් වත් කතා නොකල බව” යි. පීරිස්ට එල්ලවී ඇති දඩයමට විරුද්ධව  ඩි මෙල් හෝ ඔහුගේ සමිතිය ඇඟිල්ලක් වත් නොඔසවන බව ඉතා පැහැදිලි ය. 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ මොරටුව ශාඛාවේ ලේකම් රෝහිත හේරත්ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, පීරිස්ගෙන් විස්තර සඳහන් ලියුමක් ඉල්ලා ඇති බවත් ඉන්පසුව පරිපාලනය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ය.  

පරිපාලනය සමග කරන සාකච්ඡාවන් මගින් මෙතුවක් කල් සිදු කෙරුනේ මර්දනය සඳහා අවශ්‍ය කාලය සහ වාතාවරනය සම්පාදනය කිරීමයි.

මර්දනය එල්ල වී ඇත්තේ හුදෙක් අනධ්‍යයන සේවකයන් ට පමනක් නොවේ. රාත්‍රී දහයට විශ්වවිද්‍යාල වසා දැමීමේ නියෝගය නිසා ම අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන යෑමට නොහැකිවීමෙන් ශිෂ්‍යයෝ බරපතල ලෙස පීඩා විඳිති. එමෙන්ම එක් වාරයක අධ්‍යයන කාල සීමාව සති අටේ සිට සති හය දක්වා කප්පාදු කර තිබේ. මෙම මර්දනයට සහ කප්පාදුවට විරුද්ධව සටන්කිරීමේ උවමනාව ශිෂ්‍යයන් දිගටම පෙන්වා තිබේ. 

එහෙත් වෘත්තීය සමිති මෙන්ම, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය හා මහා ශිෂ්‍ය සංගමය,  පාලකයන් සමග කරන සාකච්චා මගින් ප්‍රශ්න විසඳා ගතහැකිය යන මිත්‍යාවට ශිෂ්‍යයන් කොටුකරගෙන සිටි.

සාකච්චාවෙන් ප්‍රශ්න විසඳීම කෙසේ වෙතත් මෙම වසර තුල මොරටුව විශ්ව විද්‍යාලය තුල මර්දනය වඩාත් උග්‍ර වනු ඇති බවට උපකුලපති කපිල පෙරේරා මෙම වසර මුලදී නව අවරුදු සුභාශිංසන ඉදිරිපත් කරමින් සේවකයන් ඉදිරියේ පැවැත්වූ කතාවෙන් ප්‍රකාශ වෙයි: “අවාසනාවකට ඉතාමත් සුලුතරයක් අපේ මනස සහ අපේ කායික ශක්තිය වෙනත් අතවල් වලට යොමු කිරීමට සැරසුනාට, අපි ඒ ගැන කිසිම තැකීමක් නොකර ජ්‍යෙෂ්ඨ කලමනාකාරිත්වය පසුගිය වසර දෙකේ කටයුතු කලා වගේ මේ වසරේත් කටයුතු කරනවා.” 

පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය ලෝක පරිමානව මුහුන දී ඇති අර්බුදයෙන් ජනිත වන මෙම ප්‍රහාරයන්, වෘත්තීය සමිති හා ශිෂ්‍ය සමිති, ආන්ඩු සහ පරිපාලනයන් සමග කරන නිෂ්ඵල සාකච්ඡා මගින් පරාජය කල නොහැක. ධනපති ආන්ඩු වලට සහ ධනපති ක්‍රමයට එරෙහිව දේශපාලනිකව සටන් කරන නව සංවිධාන රූපයන් ලෙස කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට විශ්ව විද්‍යාල කම්කරුවන් පෙරට පැමිනිය යුතුය. එම කමිටු වටා ශිෂ්‍යයන්, දෙමාපියන් සහ අවශේෂ කම්කරුවන් බලමුලු ගන්වා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. 

Loading