ඉදිරිදර්ශන

සමාගම් සමූහ දොට්ට දැමීම් නිවේදනය කිරීමත් සමඟ වෙලඳපොල ඉහල යයි

මෙම ලිපිය 2020 පෙබරවාරි 19 දින ඉංග්‍රීසි බසින් පලවිය.

වෝල් වීදියේ විසින් නායකත්වය දෙනු ලබන, පෘථිවිය වටා ඇති කොටස් වෙලඳපොල දිනපතා ඩොලර් බිලියන ගනන්වලින් ඉහල ධනවතුන්ගේ ධනය වැඩි කරමින් වාර්තාගත මුදුන්වලට  නගිද්දී, ලෝක ආර්ථිකයේ වර්ධනය 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු එහි අවම මට්ටම් කරා පහත වැටෙමින් තිබේ. නැවත වතාවක්, කම්කරු පන්තිය ගෙවීමට සූදානම් කෙරෙන්නේ,  ප්‍රධාන රැකියා කප්පාදු නිවේදන කිරීම සමගිනි.

ප්‍රධාන ධනේශ්වර ආර්ථිකයන්ගෙන් ලැබෙන ආර්ථික දත්ත පෙන්වා දෙන්නේ වේගවත් වෙමින් තිබෙන පසුබෑමකි. ලෝකයේ විශාලතම ආර්ථිකය වන එක්සත් ජනපදයේ වර්ධනය සියයට 2 කට වඩා වැඩි වන්නේ යන්තමිනි. ඉතිහාසයේ විශාලතම උත්පාතය පිලිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  ප්‍රකාශයන් නො තකා, මෙය  පශ්චාත් යුද සමයේ ඕනෑම “ප්‍රකෘති වීමක්” සම්බන්ධයෙන් ගත් විට අඩුම අගය යි.

ලප්ලේස්හි වසා දමන ලද බායු වානේ සමූහයට අයත් කම්හල. ලුසියානා වානේ කම්හල අනපේක්ෂිත ලෙස සේවකයන් 376ක් දොට්ට දැමූ අතර නොවැම්බරයේ දී කම්හල වසා දමනු ඇතැයි පවසයි. [Credit: AP Photo/Gerald Herbert]

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය 2019 දී වසර 30 ක් තුල එහි අඩුම වර්ධන වේගය අත්වින්ඳේ ය. කොරෝනා වෛරසය පුපුරා යාම හේතුවෙන් ආර්ථිකයේ විශාල ප්‍රදේශ තවමත් අගුලු දමා ඇත්තේ, පලමු කාර්තුවේ වර්ධනය පිලිබඳ ඇස්තමේන්තු, සමහර අවස්ථාවන් හි දී බින්දුවට කපා දැමීම සමගිනි.

ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වන ජපානය තමන් 2019 සිව්වන කාර්තුවේදී වාර්ෂිකව සියයට 6.3 ක අනුපාතයකින් හැකිලුනු බව නිවේදනය කරමින් තිගැස්මක් නිකුත්   කර තිබේ. මෙය ප්‍රධාන වශයෙන් විකුනුම් බදු ඉහල යාමේ ප්‍රතිඵලයක් වුව ද, පහර අපේක්ෂා කෙරුනාට වඩා විශාල වන අතර කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් පසුබෑම දිගටම පැවතීමට නියමිත ය.

ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය වන ජර්මනියේ වර්ධනය සමතලා වී ඇත්තේ, පසුගිය වසරේ සිව්වන කාර්තුවේදී සියයට 0.1 ක වර්ධනයක් පමනක් පෙන්නූ යුරෝ කලාපයේ සෙසු රටවල් ද ඇද ගෙන යමින්, එය අවපාතයකට අවතීර්න විය හැකි බවට වන පුරෝකතන සමගිනි.

ලෝකයේ ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන දකුනු කොරියාවේ දී, ආන්ඩුව “හදිසි” පියවර ගැනීමට ඉල්ලා තිබෙන්නේ, චීනයේ සහ ජපානයේ පසුබෑම හේතුවෙනි. ලෝකයේ 12 වන විශාලතම ආර්ථිකය වන ඕස්ට්‍රේලියාව, අවපාතයකින් තොර තම වසර 28 ක පාලන කාලය අවසන් කිරීමට සූදානම් බව පෙනේ.

සිදු වෙමින් පවතින ක්‍රියාවලියේ පන්ති තර්කනය පැහැදිලිව පෙන්වන්නේ හිස් අස්වැසිල්ලකි. ලෝක මහබැංකුවලින් ඩොලර් ට්‍රිලියන ගනනක් ලබා දීමෙන් හා තව තවත් ගලා ඒම පිලිබඳ  පොරොන්දුවලින් පනගන්වන ලද කොටස් වෙලඳපොලවල නැගීම නිසා මූල්‍ය ප්‍රභූන්ගේ ධනය වැඩි කිරීමත් සමග කම්කරු පන්තිය එම බර දරා ගැනීමට සූදානම් කෙරෙමින් තිබේ.

නිෂ්පාදන කර්මාන්තය හරහා, විශේෂයෙන් ම මෝටර්රථ නිෂ්පාදනයේ රැකියා කප්පාදුව පුලුල් වෙමින් පවතී. සෑම සතියක් ම නව නිවේදන ගෙන එයි. පසුගිය සතියේ ප්‍රන්ස මෝටර් රථ නිෂ්පාදක රෙනෝල්ට් සමාගම විසින් රැකියා කප්පාදුව ඇතුලත් කිරීම සඳහා ඩොලර් බිලියන 2.2 ක පිරිවැය අඩු කිරීමේ වැඩසටහනක් එලිදක්වන ලදී. පසුගිය මාසයේදී ෆොක්ස්වැගන් ජර්මනිය තුල පමනක් රැකියා 20,000 ක් කප්පාදු කිරීම නිවේදනය කලේය.

නවතම ඇස්තමේන්තු අනුව, 2020 දී ගෝලීය මෝටර් රථ කර්මාන්තයේ රැකියා 100,000 ක් පමන තුරන් කෙරෙනු ඇත. මෙය පසුගිය වසරේ ලොව පුරා මෝටර්රථ ආශ්‍රිත කර්මාන්තවල රැකියා 500,000ට වඩා කප්පාදු කිරීමට අමතරවය. ඉන්දියාවේ, එරට වාහන අමතර කොටස් කර්මාන්ත රැකියා මිලියන 5 කින් මිලියනයක් තරම්  සංඛ්‍යාවක් අවදානමට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීම් තිබේ.

මෙම ලෝක ව්‍යාප්ත රැකියා සංහාරය ක්‍රියාවලීන් දෙකකින් මෙහෙයවනු ලැබේ: අඩු වර්ධනයක් සහ ඉල්ලුම පහත වැටීම හේතුවෙන් කාර් සඳහා වෙලඳපල පහත වැටීම, ලොව පුරා වැටුප් එකතැන පල්වීම සහ තාක්ෂනයේ විශාල වෙනස්කම්ද  අඩු නැතිව මීට බලපායි. නව කොන්දේසි යටතේ තරඟකාරීව සිටීමට උත්සාහ කිරීම සඳහා සමාගම් පිරිවැය අඩු කරමින් විදුලි කාර් හා ඉබේ ධාවනය වන වාහනවල අනාගතයක් සඳහා සූදානම් වෙමින් සිටී.

කාල් මාක්ස් මීට වසර 170 කට පෙර මෙම ක්‍රියාවලියේ සාරභූත තර්කනය ඉදිරිපත් කලේ ය. ධනපතීන්ගේ කාර්මික යුද්ධයට, “ශ්‍රම හමුදාව මුදා හැරීමට වඩා බඳවා ගැනීමෙන් සටන් ජය ගැනීම අඩු බවට සුවිශේෂත්වය ඇත්තේ” ජනරාල්වරුන් “බොහෝ ශ්‍රම සොල්දාදුවන් අස් කල හැක්කේ කාට ද යන්න පිලිබඳව එකිනෙකා සමග තරග වැදීමත්”සමගය.

මෙම ක්‍රියාවලිය මෝටර්රථ නිෂ්පාදනයට පමනක් සීමා නො වී ආර්ථිකයේ සෑම අංශයක ම ව්‍යාප්ත වෙමින් පවතී.

මේ සතියේ ලන්ඩන් නුවර පිහිටි හොංකොං ෂැංහයි බැංකු සංස්ථාව (එච්එස්බීසී) කියා සිටියේ ඉදිරි වසර තුල දී සිය ශ්‍රම බලකාය 35,000 කින් අඩු කරනු ඇත්තේ, එහි ප්‍රධාන විධායක නොයෙල් ක්වින් හැඳුන් වූ ගෝලීය බැංකුවේ වසර 155 ක “ගැඹුරු ප්‍රතිව්‍යුහගත කිරීමේ”  කොටසක් ලෙස ය. ඔහුගේ කලමනාකරන කන්ඩායම මෙය “වේගයෙන් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටි,” 

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක කොටසක් ලෙස රැකියා 18,000 ක් කප්පාදු කිරීමට ජර්මනියේ ඩොයිෂ් බැංකුව පසුගිය වසරේ ගත් තීරනයෙන් පසුව එච්එස්බීසී නිවේදනය නිකුත් විය.

සිල්ලර කර්මාන්තය ද ඒ අයුරින් විනාශයට පත්වෙමින් තිබේ. එක්සත් ජනපදයේ සහ ලොව පුරා ඊනියා බ්‍රික් ඇන්ඩ් මෝටර් ලෙස හැඳින්වෙන  සිල්ලර වෙලඳසැල් දස දහස් ගනනක් වසා දමා ඇත්තේ, වඩ වඩා රැකියා කප්පාදු කිරීම් සමගිනි.

මෙම සතියේ වොෂිංටන් පෝස්ට් වාර්තා කලේ ඇමසන් සමඟ තරඟ කිරීමට එක්සත් ජනපද සිල්ලර දැවැන්තයා වන වෝල්මාර්ට් මාර්ගගත(ඔන්ලයින්) විකුනුම් සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රතිව්‍යුහගත කිරීමක කොටසක් ලෙස රැකියා කපා හැරීමට සැලසුම් කර ඇති බව යි. සංගත ලෝකයේ කුරිරු භාෂාවෙන්, එය පැවසුවේ  “සමාගමේ වෙනත් තනතුරක් සඳහා තෝරාගෙන නොමැති ඕනෑම ක්‍රියාකාරී සහකරුවෙකු” වෙනුවෙන් ගබඩා කලමනාකරුවන් “සම්මත අවසන් කිරීමේ ක්‍රියා පටිපාටි” අනුගමනය කල යුතු බව  යි. මෙම ආඥාව, සමහර විට දශක ගනනාවක සේවාවක් සහිත, දහස් ගනනක් කම්කරුවන්ට බලපානු ඇත.

කම්කරු පන්තිය මුහුන දෙන තත්වය හා සමාජයේ මුදුන්වල ධන සමුච්චයනය අතර ඇති වෙනස නිදර්ශනය කෙරෙන්නේ, විදුලි මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා හි හිමිකරු වන එලොන් මස්ක්ගේ හිස බමවන පොහොසත්කම මගිනි.

මේ මාසයේ ටෙස්ලා හි කොටස් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් හේතුවෙන්, මස්ක්ගේ ශුද්ධ වටිනාකම එක් දිනක් තුල ඩොලර් බිලියන 4.5 කින් ඉහල ගොස් වේගයෙන් වර්ධනය වන ගෝලීය ප්‍රකෝටිපතියා බවට පත්විය. සති හයක් වැනි කෙටි කාලයක් තුල ඔහුගේ ධනය මේ වසරේ මේ දක්වා සෑම දිනකම ඩොලර් බිලියන 13.9 කින්, එනම් ඩොලර් මිලියන 316 කින් ඉහල ගොස් තිබේ. ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස ඇමසන් බිලියනපති ජෙෆ් බෙසොස් ව අභිබවා යාමට මස්ක්ට හැකි බවට අනාවැකි පවා තිබේ.

කම්කරු පන්තියේ රැකියා හා කොන්දේසි විනාශ කිරීම කොල්ලකාරී මූල්‍ය කතිපයාධිකාරයක් අතේ ධනය සමුච්චයනය වීම අවාසනාවන්ත හෝ අහම්බ ප්‍රතිඵලයක් නො වේ. එහි හේතු කාරක සම්බන්ධතාවක් ඇත.

ප්‍රභූ පැලැන්තිය තම ධනය උපයා ගන්නා ප්‍රධාන සංගතවල කොටස් මිල රඳා පවතින්නේ මූල්‍ය වෙලඳපොලවල්,  ඒවායේ ශ්‍රම බලකාය කපා හැරීමෙන් හා ඉතිරි කම්කරුවන්ගේ සූරාකෑම තීව්‍ර කිරීමෙන් පිරිවැය අඩු කිරීමට ඒවා සමත් වී ඇති බවට  මූල්‍ය වෙලෙඳපොල තීන්දු කරන තාක් දුරකට ය. කොටස් වෙලඳපොල හා සමස්ත මූල්‍ය පද්ධතියම ක්‍රියාත්මක වන්නේ ධනය ඇද ගනීම සඳහා ආයතනගත කෙරුනු  යාන්ත්‍රනයක් ලෙස ය.

කෘතිම බුද්ධියේ දියුනුවත්, අන්තර්ජාලය හරහා එය භාවිතා කිරීමත් සමඟ ඒකාබද්ධ, තාක්ෂනයේ අතිමහත් වර්ධනයන්, නිෂ්පාදන ඵලදායිතාව ඉහල දමන අතර මහාජන සමූහයන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වයන් ඔසවා තැබීමේ හැකියාව ඇත. ඒ වෙනුවට ධනේශ්වර ලාභ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඔස්සේ ඒවා යොදා ගැනෙමින් තිබෙන්නේ සමාජීය වශයෙන් නිපදවන ධනය ඉතා සුලුතරයකගේ අතෙහි සංකේන්ද්‍රනය කිරීම සඳහා  ය.

පැලස්තර දැමීමේ ප්‍රතිසංස්කරන හෝ තාවකාලික විසඳුම් මගින් දිනෙන් දින නරක අතට හැරෙන මෙම සමාජ රෝගයට ප්‍රතිකාර කල නො හැක. එය එහි මූලයේ දී ම පොරබැදිය යුතු අතර ඉහල හා අත්‍යාවශ්‍ය සමාජ ආර්ථික පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් අරගලය ඔස්සේ ජය ගත යුතු ය. එය ජාත්‍යන්තර සමාජවාදය යි, එහි දී ලෝක නිෂ්පාදකයින්ගේ ශ්‍රමය විසින් නිර්මානය කරන ලද නිෂ්පාදන  බලවේග පොදුවේ හිමිවන්නේ ද ප්‍රයෝජනයට ගනු ලබන්නේ ද සියල්ලන්ගේ යහපත වෙනුවෙනි.

Loading