කොරෝනා වෛරසය වාරික උන රෝගයට වඩා 20 ගුනයකින් මාරාන්තිකය

මෙම ලිපිය අද දින ඉංග්‍රීසියෙන් පල විය

ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්ලිව්එච්ඕ) 3දා නිවේදනය කලේ, කෝවිඩ්-19 වාර්තා වූ රෝගීන්ගේ මරන අනුපාතය සියයට 3.4 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි. වෛරසයේ තහවුරු වූ ආසාදනයන් මඟින් හටගෙන ඇති වත්මන් මරන සංඛ්‍යාවේ අනුපාතය පදනම් කරගෙන එය ගනන් බලා ඇති අතර, නිවේදනය කරන විට එම සංඛ්‍යා පිලිවෙලින් 3,254 සහ 95,184 ක් විය.

එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරන මධ්‍යස්ථාන (සීඩීසී) හි දත්ත වලට අනුව, කොරෝනා වෛරසය, වාරික උන රෝගයට වඩා 20 ගුනයකින් මාරාන්තිකය. 

මෙම සංඛ්‍යාව, ලෝක සෞඛ්‍ය සංවිධානය මරන අනුපාතය ගැන කලින් ගනන් බලන ලද සියයට 2 ට වඩා ඉහල අගයක් ගනී. චීනයෙන් පිටත රටවල් 83 කට සහ භූමි ප්‍රදේශවලට කොරොනා වෛරසය පැතිරීම එයින් පිලිබිඹු කෙරේ. නව සිද්ධීන් හා නව මරන තහවුරු කර ඇති අතර, මරන අනුපාතය පෙබරවාරි 25 සිට සාපේක්ෂ වශයෙන් නියතව පවතී. වර්තමාන මරන අනුපාතය ඉදිරි දිනවලදී ද එසේ පවතින්නේද නැතහොත් වෙනස් වේද යන්න පැහැදිලි නැත.

කෝවිඩ්-19  පැතිරීමට බොහෝ හේතු අතරින් එකක් නම්,  ආසාදනයේ රෝග ලක්ෂන පෙන්නුම් කරන විට පවා කම්කරුවන්ට අසනීප නිවාඩු ගත  නොහැකි වීමයි. ක්ෂනික ආහාර දාමයට එරෙහිව නිව් යෝර්ක් නගරයේ චිපොට්ල් කම්කරුවෝ ඊයේ විරෝධතාවක් පැවැත්වූහ. අසනීපව සිටියදී සමාගම විසින්, කම්කරුවන්ට වැඩ කරන ලෙස බල කිරීම නවත්වන ලෙස ඔවුහු කියා සිටියහ. විශේෂයෙන් ප්‍රාන්තය තුල කොරෝනා ව‍ෛරසය පැතිරීම හේතුවෙන්. කලමනාකාරිත්වයේ නියෝග නොතකා රෝගය යථා තත්ත්වයට පත්වන තෙක් හා බෝවීම වැලැක්වීම සඳහා නිවසේ රැඳී සිටි කම්කරුවන්ට එරෙහිව සමාගම විසින් කරනු ලබන පලිගැනීම ගැන කරුනු ද ඔවුන් හෙලි කලේය.

විශේෂයෙන් එය නිදහසේ බෙදා හරිනු නොලබන්නේ නම්, එන්නතක් මඟින් රෝගයේ බලපෑම අඩු කරයි ද යන ප්‍රශ්න ද මතු වේ. වෛරසයට එරෙහිව එන්නතක් නිපදවූ පසු එය සැමට ලබා ගත හැකි බවට සහතික වන ලෙස පසුගිය සතියේ පැවති කොන්ග්‍රස් විභාගයකදී පැවසූ විට,  ඖෂධ සමාගමක හිටපු විධායක නිලධාරියෙකු වූ එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් එය ප්‍රතික්ෂේප කලේය. “එය දැරිය හැකි මිලකට ලබා දීමට කටයුතු කරන බව සහතික කිරීමට අපට අවශ්‍යය, නමුත් අපට එම මිල පාලනය කල නොහැක්කේ  ආයෝජනය කිරීමට අපට පෞද්ගලික අංශය අවශ්‍ය වන බැවිනි. මිල පාලනයක් අපව එතැනට ගෙන එන්නේ නැත. ”

කොරෝනා වෛරසය පැතිරීම නොනැවතී සිදුවන බැවින්, රෝගයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය වෛද්‍ය සැපයුම් අවසන් වීමේ හැකියාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා සැලකිලිමත් වන බව වාර්තා වේ. සංවිධානය විසින් මාර්තු 3 වන දින නිකුත් කරන ලද ප්‍රකාශයකින් , “සැපයුම් වේගයෙන් ක්ෂය වෙමින් පවතින” බවත්, වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන ලෝකයේ සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් සඳහා ඉල්ලීම් සපුරාලීමට නම් වෛද්‍ය කර්මාන්තය නිෂ්පාදනය සියයට 40 කින් වැඩි ‍කල යුතු බවත්  සඳහන් කරයි.

රෝග කාරකය පැතිරීම පාලන කරන තුරු, වෛද්‍ය මුහුනු ආවරන මිලියන 89 ක්, පරීක්ෂන අත්වැසුම් මිලියන 76 ක්, කබා මිලියන 30 ක්, ඇස් වසා පලඳින ගොගල්ස් මිලියන 1.6 ක් සහ අත් සනීපාරක්ෂක ලීටර් මිලියන 2.9 ක් දල වශයෙන් ලෝකයට අවශ්‍ය වේ. කබායක මිල දෙගුන වූ පසු, ශ්වසන යන්ත‍්‍ර තුන් ගුනයකින් වැඩි වූ අතර ශල්‍ය  මුහුනු ආවරන මිල හය ගුනයකින් වැඩි විය. මේ තතු තුල, ඩබ්ලිව්එච්ඕව, “සෞඛ්‍ය සේවාවන් තුල, බුද්ධිමත් හා සුදුසු පරිදි පුද්ගල ආරෂක්න මෙවලම් යොදාගැනීමත්, සැපයුම් ජාලයන් දැඩි ලෙස කලමනාකරනය කිරීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේ ය.

වැඩි මරන අනුපාතයක් ඇති  හෝ කොරෝනා වෛරස් රෝගීන් වැඩිවෙමින් පවතින ප්‍රදේශවල මෙම හිඟය විශේෂයෙන් භයානක ය. චීනයේ අලුතෙන් ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව ඊයේ 119 ක් දක්වා අඩුවී ඇති අතර දකුනු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ පිලිවෙලින් 435, 587 සහ 586 ක් වාර්තා වී තිබේ. එම රටවල 3, 28 සහ 15 වශයෙන්  මරන වාර්තා වී ඇත.

සති දෙකක පුර්ව නිරීක්ෂන කාලය ගැන සලකන කල,  දැනටමත් එම රටවල විශාල සංඛ්‍යාවකට  කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට කනස්සල්ල පල කෙරේ. 

 දැනට එක්සත් ජනපදයේ වාර්තා වී ඇති ප්‍රමානයට වඩා වෛරසය බෙහෙවින් ව්‍යාප්ත වී ඇති බවට ද කනස්සල්ලක් පවතී. අද වන විට, දන්නා රෝගීන් 154 න් 11 ක්ම මිගොස් තිබේ. සාමාන්‍ය මරන අනුපාතය සියයට 3.4 ක් ය යන්න සත්‍ය යැයි උපකල්පනය කරමින්, තහවුරු කරන ලද මරන 11 මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඇත්ත වශයෙන්ම රට තුල වෛරස් රෝගීන් 324 ක් සිටින බවත්, ඉන් 170 ක්ම වාර්තා වී නොමැති බවත්ය.

කොවිඩ්-19 ආසාදනය මඟ හැරීමට බොහෝ හේතු තිබුන ද වඩාත්ම කැපී පෙනෙන කාරනය නම්, ඇමරිකානුවන්ට වෛද්‍යවරයකු හමුවීමට අති විශාල වියදමක් දැරීමට සිදුව තිබීමයි. වෛරසය සඳහා පරීක්ෂාවට ලක් කල එක් අයෙකුගේ පිරිවැය ඩොලර් 3,200 ක් තරම් ඉහල අගයක් ගනී.

එපමනක් නොව අර්බුදයට, ෆෙඩරල්, ප්‍රාන්ත සහ පලාත් පාලන ආන්ඩුවල ප්‍රතිචාරය දුර්වල මට්ටමක පවතින අතර අසංවිධානාත්මක ය. රට පුරා පිහිටි රෝහල් සඳහා මහා පරිමානයෙන් පරීක්ෂන කට්ටල ලබා දීමට සීඩීසීයට නොහැකි වී තිබේ. ඉතාලියේ 23,345 ක්, දකුනු කොරියාවේ 109,591 ක් සහ චීනයේ මිලියන දස දහස් ගනනක් පරීක්ෂන හා සසඳන විට මේ වන තුරුම එක්සත් ජනපදයේ සිදු කර ඇත්තේ කොවිඩ්-19 පරීක්ෂන 472 ක් පමනකි. සීඩීසී අවධාරනය කරන්නේ, එක්සත් ජනපදයේ රෝහල් සහ රසායනාගාර ලෝක සෞඛ්‍ය සංවිධානයට වඩා පරීක්ෂන ක්‍රියා පටිපාටි සහ උපකරන භාවිතා කරන බවයි. මෙය එක්සත් ජනපදයේ වෛද්‍ය වෘත්තිකයින්ට වෛරසය හඳුනා ගැනීමට සහ රෝගීන් ද තමන් ද ආරක්ෂා කර ගැනීමට ඇති හැකියාව අඩපන කර ඇත.

එක්සත් ජනපද සමාජ මාධ්‍යවල විවරන වලට සමානව, ට්විටර් පරිහරනය කරන මැට් ස්ටොලර් මෙසේ ලිවීය: “ඊආර් වෛද්‍යවරයා සමඟ කතා කල අවස්ථාවේ ඔහු පවසන්නේ, තමාට දකින්ට ලැබුන රෝගීන්ට ඇත්තේ කොරෝනා වෛරස් රෝගය බව සියයට 99 ක් ඔහුට විශ්වාසය. උන නැතත්, මෑත ගමන්, ගුවන් තොටුපලවල වැඩ. පරීක්ෂා කිරීමට අවසර නැත. ස්ථිර රෝග විනිශ්චයක් ලබා ගැනීමට, විවේක ගැනීමට කාලය ලබාගත නොහැකි නිසා රෝගීන් නැවත සේවයට පැමිනේ. අනෙක් ඊආර් දොස්තර වරු ද එකම දේ දකිනවා. ”

පැතිරීමට අමතරව, එය විවිධ වර්ග කරා වැඩීගොස් ඇති බවට දැන් සාක්ෂි තිබේ. ජාතික විද්‍යා සමාලෝචනයේ 3දා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙලි වූනේ, වුහාන් හි වෛරසයේ උප කුලකයක්, අඩු ආක්‍රමනශීලී එස්-කෝව් සිට වඩාත් සම්ප්‍රේෂනය විය හැකි  හා මාරාන්තික එල්-කෝව් දක්වා පරිනාමය වී ඇති නමුත් හුබෙයි පලාතේ නිරෝධායනය මගින් එල්-කෝව් පැතිරීම බොහෝ දුරට සීමා කර ඇති බවයි. 

මෙය සුලු සැනසීමකි. වරක් සිදුවන විපර්යාසයක් නැවත සිදුවිය හැකිය. ලොව පුරා කොරොනා වෛරසය පැතිරීම සැලකිල්ලට ගත් විට, වඩාත් ආක්‍රමනශීලී හා මාරාන්තික අනුවාදයකට සිය දහස් ගනනක් ඝාතනය කිරීමට හා ලක්ෂ ගනනක් ආසාදනය කිරීමට හැකියාවක් ඇත.

රෝගය පාලනය කිරීමට, රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සහ ජීවිත බේරා ගැනීම සඳහා නම්, මෙම වෛරසයට එරෙහිව ලෝකයේ සම්පත් වහාම බලමුලු ගැන්විය යුතුය.

Loading