යුද අපරාධ චෝදනාවන්ගෙන් ලංකාවේ හමුදාව බේරාගැනීමේ කප්පිත්තා තමා බව ජවිපෙ කියයි

ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සමඅනුග්‍රහයෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (යූඑන්එච්ආර්සී) තුල, 2015 මාර්තු මස සම්මත කෙරුනු, ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිලිබඳ යෝජනාවෙන්, සිය සම අනුග්‍රහය ඉවත් කරගන්නා බව ශ්‍රී ලංකා රජය පසුගිය දා එම කොමිසමට දැනුම් දුනි.

මෙයට ආසන්නතම හේතුව වූයේ, ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුලුවීම තහනම් කරමින් ඇමරිකා එක්සත් ජනපද රජය විසින් නිකුත් කරන ලද නියෝගය යි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව ගෙනගිය යුද්ධයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකා හමුදා විසින් සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් හමුදාපති සිල්වා ට එරෙහිව එල්ල වී ඇති බරපතල චෝදනා හේතුවෙන් එම නියෝගය නිකුත් කල බව ඇමරිකාව පවසයි.

සම අනුග්‍රාහක යෝජනාවෙන් තම ආන්ඩුව ඉවත් වන බව ප්‍රකාශ කරමින් අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 19 වන දා ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කලේය. "ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නොයෙකුත් පාර්ශව එල්ල කල සියලු පදනම් විරහිත චෝදනා, එජාප-දෙමල ජාතික සන්ධාන-ජවිපෙ යහපාලන හවුල පිලිගෙන ඇතැ" යි එම නිවේදනයේ සඳහන් වෙයි.

මෙයට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් ද සිල්වා, පෙබරවාරි 27 වන දා, මාධ්‍යයට ප්‍රකාශ කලේ, "2009 යුද්ධය අවසන් වූ අවස්ථාවේ එක්සත් ජාතින්ගේ මහලේකම් බෑන් කි මූන්ට ආරාධනා කර ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කිරීමෙන් මහින්ද රාජපක්ෂ රජය මීට (යූඑන්එච්ආර්සී යෝජනාවට) මුල පිරූ" බවයි.  

2009 දී රාජපක්ෂ ආන්ඩුව බෑන් කී මූන් සමග අත්සන් කල එම යෝජනාවට ද, 2015 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, එක්සත් ජනපදය සමග සම අනුග්‍රහයෙන් යූඑන්එච්ආර්සී ය තුල සම්මත කල යෝජනාවට ද, ජවිපෙ විරුද්ධ වූ බැව්, ද සිල්වා පැවසීය.  "2015 සමඅනුග්‍රහ යෝජනාවට ජවිපෙ විරුද්ධ වෙද්දී එය අගයමින් කතා කල පිරිස් වත්මන් ආන්ඩුවේ ඇමැතිවරු" යැයි ද සිල්වා තවදුරටත් පැවසීය.

යුද අපරාධ චෝදනාවෙන් මිලිටරිය බේරා ගැනීමේ "දේශප්‍රේමී" තරගයේ දී එහි කප්පිත්තා තමා බව පෙන්වීමට ජවිපෙ සැම විටම යත්න දරයි. තමාට හිමි "දේශප්‍රේමී ධජය" රාජපක්ෂ කඳවුර විසින් ලෙලවීම හේතුවෙන්, ඉදිරි මැතිවරනයේදී තමාට වන අවාසිය ගැන කනස්සලු වෙමින්, ද සිල්වා මෙසේ පවසයි: "ජිනීවා යෝජනාවේ සමදායකත්වයෙන් ඉවත්වීම දේශපාලන රංගනයක් පමනයි.  එහි අරමුන ඉදිරි මහමැතිවරනයේදී නැවතත් දේශප්‍රේමය කුලුගැන්වීම යි."

ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය තම පන්ති පාලනය ගෙනයාම සඳහා උපතේ සිට යොදාගත්තේ, සිංහල සහ දෙමල කතා කරන කම්කරු පන්තිය "බෙදා වෙන්කොට පාලනය කිරීමේ" ක්‍රමවේදය යි. සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය මත පාදක වූ කොලඹ පාලක පන්තිය, දෙමල කතා කරන සුලු ජන වර්ගයන්ට එරෙහිව ගෙනගිය රුදුරු වාර්ගික කෙනහිලිකම්, 1983 දී ආරම්භ කෙරුනු  වර්ගවාදී යුද්ධයෙන් කුලු ගැන්වින.

එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව ආරම්භ කල එම යුද්ධය, අනුප්‍රාප්තික ආන්ඩු මගින් ඉදිරියට ගෙන ගියහ. 2005 දී බලයට පැමිනි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, කෙටි සටන් විරාමය නිමවා, 2006 දී යලි යුද්ධය ආරම්භ කලේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ සේනාධිනායකයා ලෙස ද, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක අමාත්‍යංශ‍යේ ලේකම්වරයා ලෙස ද, එම ලේවැකි යුද්ධයට නායකත්වය දුන්හ.

2009 දී එල්ටීටීඊ ය පරාජය කිරීමෙන් නිමාවූ යුද්ධයේ අවසන් භාගයේදී, 40,000 කට අධික සිවිල් ජනයා මරා දැමුනු අතර දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් මිලටරියෙන් පාලනය වන කඳවුරු තුල බලහත්කාරයෙන් ගාල් කෙරුනි.

මෙම සියලු යුද අපරාධ වලට මහින්ද රාජපක්ෂ තන්ත්‍රය ද, යුද්ධයේ ප්‍රධාන කසකරුවෙකු වූ ජවිපෙ ද වගකිව යුතුය. යුද්ධයේ අවසාන භාගයේදී, රාජ්‍ය හමුදාවන්හි ප්‍ර‍හාර හමුවේ දිවි ගලවා ගැනීම සඳහා පලායන මහජනතාව අතර එල්ටීටීඊ සාමාජිකයන් සිටින බව පවසමින් රාජ්‍ය හමුදා සිවිල් වැසියනට පහර දුන්හ. 

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලයන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ, බරඅවි භාවිතා කිරීම නතර කරන බවට රාජපක්ෂ තන්ත්‍රය ප්‍රකාශ කලේය. එම ප්‍ර‍කාශයේ ව්‍යාජභාවය දැනදැනම, වහාම බරඅවි යොදා ගනිමින් එම ප්‍රහාරය ඉදිරියටම ගෙනයන ලෙස ඉල්ලා ජවිපෙ උද්ඝෝෂනය කලේය.   

එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්, යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරනුයේ, එකී අපරාධයන්හි සහ මානව හිමිකම් කඩවීම්වල වින්දිතයන් බවට පත් වූ දසදහස් සංඛ්‍යාත මහජනතාව සම්බන්ධ කවර හෝ උත්සුකයකින් නොවේ. ශ්‍රී ලංකාවට එරෙහි එක්සත් ජනපද චෝදනා සහ යෝජනා වනාහි, චීනය වෙතට වන කවර හෝ නැඹුරුවකින් ශ්‍රී ලංකාව වලකා, චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපායික කක්ෂයට එය මුලුමනින්ම අන්තර්ග්‍රහනය කර ගැනීමේ පීඩක මාධ්‍යයන් ය. 

රාජපක්ෂ කඳවුර සහ ජවිපෙ මෙය හොඳින්ම දනී. නමුත්, දෙපාර්ශ්වයම එය හිතාමතා වසන් කරන්නේ අධිරාජ්‍යවාදයට එරෙහි කවර හෝ අරගලයකට ඔවුන් නුසූදානම් බැවිනි. හීන් කෙඳිරියකට සමාන ඔවුනගේ "අධිරාජ්‍ය විරෝධය" හිසේ සිට දෙපතුල දක්වා ව්‍යාජය. සැබැවින්ම, ධනේශ්වර සංවර්ධනය කල්පමාවූ රටක පාලක පන්තියක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය එවන් අරගලයකට ඓතිහාසිකවම අශක්‍ය ය. 

මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන පොදුජන පෙරමුන, ශ්‍රී ලංකාවේ ධනවාදයේ ප්‍රධාන කුලුනු දෙකෙන් එකක්ව පැවති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳී ආ සංවිධානයකි.

1960 ගනන් වලදී ජවිපෙ පිහිටුවන ලද්දේ, මාඕවාදය, ගුවේරාවාදය සහ සිංහල ස්වෝත්තමවාදය මිශ්‍ර කෙරුනු රැඩිකල් දෘෂ්ටිවාදයකින් දිවයිනේ දකුනේ ගම්බද දුගී තරුන තරුනියන්ට ආයාචනා කිරීමෙනි. මෙලෙස සුලුධනේශ්වර ජාතිකවාදී රැඩිකල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ ජවිපෙ, ජාත්‍යන්තරව පැවති එවන් අනෙකුත් ව්‍යාපාර මෙන්ම, නිශ්පාදනයේ ගෝලීයකරන සන්තතිය තුල තම වාම-රැඩිකල් වෙස් මුහුනු ගලවා දමා, ධනේශ්වර සංස්ථාපිතයට ඒකාග්‍ර වූයේ අධිරාජ්‍යවාදයේ සුවච කීකරු ආවතේවකරුවන් බවට පරිවර්තනය වෙමිනි.

ජවිපෙ, පසුගිය වසර කීපයක සිට, යුද්ධයෙන් ව්‍යසනයට පත් දෙමල පීඩිත මහජනතාව වෙනුවෙන් දයානුකම්පාවක් පෙන්වන්නට පටන්ගෙන තිබුනි. විශේෂයෙන්ම, ඊනියා විද්වතුන් සහ කලාකරුවන් සහභාගි කර ගනිමින් ජවිපෙ ගොඩනගා ගත් ජාතික ජන බලවේගය දෙමල ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් තැන තැන කෙඳිරි ගාන්නට විය. 

නමුත් දෙමල පීඩිත ජනයා ඉවබව නොමැතිව ඝාතනය කල යුද අපරාධකරුවන් ආරක්ෂා කිරීමට ජවිපෙ විවෘතවම ගෙනඇති ආස්ථානය මගින්, දෙමල ජනයා වෙනුවෙන් නිපන් ව්‍යාජ  දයානුකම්පාව යටපත්ව, ජවිපෙ සම්භවය තුලම නිදන්ව ඇති සිංහල ස්වෝත්තමවාදී ප්‍ර‍තිගාමිත්වය ඉස්මත්තට පැමින ඇත. එමෙන්ම, ඉහත දයානුකම්පාව, දෙමල ජනතාවගේ ඡන්ද කොල්ලකෑමේ කඩතුරාවක් බව ද මනාව පැහැදිලි වෙයි. 

ජවිපෙ හි ව්‍යාජ අධිරාජ්‍යවාද-විරෝධයේ ඓතිහාසික වාර්තාව ඊට දෙවෙනි නොවේ.

2005 දී ඇමරිකා එක්සත් ජනපදය කල ආරාධනයක් පිලිගත් ජවිපෙ කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට බඩ ගෑවේය. දකුනු ආසියාව පිලිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටිනා රොකා සමග පැවති එම සංකච්ඡාවට සහභාගි වූයේ එවකට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවේ ඇමතිකම් දරා සිටි ජවිපෙ නායකයන්ගෙන් කෙනෙකු වූ විජිත හේරත් ය. කොලඹ "ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවට" එකතුවන ලෙස එල්ටීටීඊ ය ට පීඩනය යොදන ලෙස ඔවුහු එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියහ.

එහිදී අමරසිංහගේ අත්සනින් රොකාට භාරදුන් ලිපියක, ජවිපෙ නිර්ලජ්ජිත ලෙස ඉල්ලා තිබුනේ, "කෲර පාලනයට එරෙහි යුද්ධයට", එනම් එල්ටීටීඊයට එරෙහි යුද්ධයට, එක්සත් ජනපදයේ සහාය සුරක්ෂිත කරන ලෙසයි.

2004 සුනාමි ව්‍යසනයේදී එක්සත් ජනපද නාවික හමුදා භටයින් ශ්‍රී ලංකාවට පැමින කල "මානුෂීය ප්‍රයත්නයන්ට" ජවිපෙ කෘතවේදී වන බවද එම ලිපියේ සඳහන් කර තිබුනේ, එම එක්සත් ජනපද මැදිහත්වීමේ යටි අරමුන මුලුමනින්ම වසන් කරමිනි. යුද සහ වෙලඳ කටයුතු සඳහා වැදගත් මූලෝපායික භූමියක් වන ශ්‍රී ලංකාව තුල ද, සමස්තයක් ලෙස දකුනු ආසියාව තුල ද තම මිලිටරි ආධිපත්‍යය තහවුරුකර ගැනීම එහි යටි අරමුනයි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට ජවිපෙ ලබාදුන් වැදගත්ම අනුග්‍රහය වනුයේ, 2015 දී ශ්‍රී ලංකාව තුල සිදු කෙරුනු තන්ත්‍ර මාරුවට දුන් විවෘත සහ පූර්න සහයෝගය යි. යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ චෝදනා හරහා තමා විසින් යොදන පීඩනය තිබියදීම, රාජපක්ෂ චීනය වෙතට දක්වන නැඹුරුව තවදුරටත් නොඉවසූ වොෂින්ටනය, රාජපක්ෂ ඉවත්කර තමාට හිත පක්ෂපාතී තන්ත්‍රයක් ගෙනඒමට තීන්දු කලේය. සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය බලයට පැමිනියේ ඒ සඳහා වොෂින්ටනය මැදිහත් වී කරන ලද මෙහෙයුමකිනි.  

2015 සිට ගතවූ පස් වසර තුල, චීනය යුදමය සහ ආර්ථික වශයෙන් වටලෑමේ එක්සත් ජනපද මූලෝපායට ශ්‍රී ලංකාව වඩාත් වේගයෙන් ඒකාග්‍ර කෙරුනි. එක්සත් ජනපදයට තම යුද කටයුතු සඳහා බාධාවකින් කොරව ශ්‍රී ලංකා භූමිය, ගුවන් තොටුපොලවල් සහ වරායන් යොදා ගැනීමට ඉඩ සලසමින්, එරට සහ ශ්‍රී ලංකාව අතර 2007 දී වසර දහයක් සඳහා අත්සන් කෙරුනු අත්පත්කර ගැනීමේ සහ හරස් සේවාවන්ගේ ගිවිසුම (ඇක්සා) 2017 දී කාල වකවානුවක් නොමැතිව දීර්ඝ කෙරුනි. 

මීට අමතරව, සිරිසේන-වික්‍ර‍මසිංහ ආන්ඩුවේ අවසාන කාල පරිච්ඡේදයේදී, එක්සත් ජනපදයේ මූලෝපායික වැඩකටයුතු  වඩාත් පහසු සහ තර කෙරෙන, හමුදා තත්ව ගිවිසුම (සෝෆා) සහ සහස්‍රක අභියෝග සහයෝගිතා ගිවිසුම (එම්සීසී) යන ගිවිසුම් සඳහා ද සියල්ල සූදානම් කෙරී පැවතුනි. 

නමුත්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය, "දේශප්‍රේමය" සහ ව්‍යාජ අධිරාජ්‍යවාද විරෝධයක් කලතාගත් ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල සෝෆා සහ එම්සීසී යනු "රට පාවාදෙන" ගිවිසුම් ලෙස විවේචනය කෙරුනි. 

2019 නොවැම්බර් ජනාධිපතිවරනය ජය ගනිමින් රාජපක්ෂ පිහිටුවන ලද නව ආන්ඩුව ඉහත ගිවිසුම් දෙක සම්බන්ධයෙන් කරන ලද කල් මැරීම් ට්‍ර‍ම්ප් තන්ත්‍රයේ කනස්සල්ලට හේතු විය. හමුදාපති, ද සිල්වා ට එරෙහිව පනවන ලද සංචාරක තහනම වනාහි, එක්සත් ජනපදය හා චීනය අතර තුලනය වීමට  කොලඹ ආන්ඩුව දරන කවර හෝ උත්සාහයක් වොෂින්ටනය නො ඉවසන බවට හා ඔහුට එරෙහි යුද අපරාධ චෝදනා පාවිච්චි කරන බවට ජනාධිපති රාජපක්ෂට කල අනතුරු ඇඟවීමකි.  

කෙසේ නමුත්, ඇමරිකාව සහ චීනය අතර ඇවිලෙන යුද ගිනිමැලයේ කේන්ද්‍රයට ශ්‍රී ලංකාව ඇද ගැනීම සඳහා වොෂින්ටනය 2015 දී සිදුකල තන්ත්‍ර මාරුවට ජවිපෙ ලබාදුන් සහායෙන්, එහි අධිරාජ්‍යවාද-විරෝධී පූච්චානම් වල ව්‍යාජභාවය ගැඹුරින්ම අනාවරනය විය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන වත්මන් තන්ත්‍රයේ අධිරාජ්‍යවාද-විරෝධයේ ව්‍යාජභාවය ඊට අඩු නොවේ. වොෂින්ටනය සමග එක්ව වැඩ කිරීමේ කැමැත්ත රාජපක්ෂ දෙබෑයන් විසින් නැවත නැවතත් පෙන්වා ඇත. 

නමුත් දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින රාජපක්ෂ තන්ත්‍රයට, කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට රුදුරුම ප්‍රහාරයන් එල්ල කිරීමට වෛෂයිකව බලකෙරී පවතී. එම ප්‍රහාරයන්ට එරෙහිව වේගයෙන් වැඩෙන පංති අරගල මාලාව මැඩීම සඳහා ආඥාදායකත්වයක් වෙතට වේගයෙන් පරිවර්තනයවීම හැර වෙනත් විකල්පයක්  රාජපක්ෂ තන්ත්‍රයට නොමැත. සමස්ත සමාජයම මිලිටරීකරනය කරමින් ගෝඨාභය රාජපක්ෂ සැරසෙන්නේ එයටයි.

මේ සඳහා මිලිටරියේ විශ්වාසය සහ සහයෝගය දිනා ගැනීම රාජපක්ෂ තන්ත්‍රයට අත්‍යවශ්‍ය වෙයි. යුද අපරාධ චෝදනා ලැබ සිටින හමුදාපතිගේ සිට මිලිටරියේ අපරාධකරුවන් රැකීමට ආන්ඩුව ඉදිරිපත්ව සිටින්නේ එබැවිනි.

"ජාතියේ ආරක්ෂකයන්" ලෙස යුද අපරාධකාරී මිලිටරිය ඔසවමින්, හමුදාපති  ශවේන්ද්‍ර සිල්වා ට වොෂින්ටනයෙන් පනවා ඇති තහනම එල්ටීටීඊ යේ ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ, නැතහොත් "දෙමල ඩයස්පෝරාවේ" බලපෑමක් ලෙසට හුවා දක්වමින් දෙමල විරෝධී උද්ඝෝෂනයක් ආන්ඩුව පෙරට දමා ඇත. 

පසුගිය ජනාධිපතිවරනයේදී ගෙනගිය දෙමල සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය පරයා යන, අන්ත ප්‍රතිගාමී උද්ඝෝෂනයක්, අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරනය එල්ල කර ගනිමින් ආන්ඩුව දියත් කර ඇත. ජවිපෙ උරන වී සිටින්නේ, රාජපක්ෂ දෙබෑයන් විසින්  සිංහල ස්වෝත්තමවාදය සහ "දේශප්‍රේමය" යන අන්ත ප්‍ර‍තිගාමී දෘෂ්ඨිවාදයන්, තම පක්ෂය පරයා යන අයුරින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙනි.

Loading