සැන්ඩර්ස්ගේ සුපිරි අඟහරුවාදා පරාජයේ දේශපාලන පාඩම්

මෙම ලිපිය 2020 මාර්තු 5 දින ඉංග්‍රීසියෙන් පල විය.

සුපිරි අඟහරුවාදා [ඇමරිකාවේ වැඩිම ප්‍රාන්ත ගනනක් ප්‍රාථමික ඡන්දය ප්‍රකාශ කරන දිනය]ඡන්දය ප්‍රකාශ කල ප්‍රාන්ත 14 න් 10 ක්ම හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන් ජයග්‍රහනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බර්නි සැන්ඩර්ස්ගේ මැතිවරන උද්ඝෝෂනය අත්විඳි දැවැන්ත පසුබෑම තුල, සමාජවාදී දේශපාලනයේ මෙවලමක් බවට ධනවාදී ඩිමොක්‍රටික් පක්ෂය පරිවර්තනය කල හැකිය යැයි විශ්වාස කිරීමට පොලඹවන ලද සියලු දෙනාට කටුක හා නොවැලැක්විය හැකි පාඩම් අන්තර්ගත වෙයි. සැන්ඩර්ස්ගේ උද්ඝෝෂනයේ සහ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයේ (ඩීඑස්ඒ) සහ අනෙකුත් ව්‍යාජ වාම සංවිධානවල සිටින ඔහුගේ ආධාරකරුවන්ගේ අතිමූලික පදනම වූ මෙම අවස්ථාවාදී උපායමාර්ගයේ බංකොලොත්භාවය මූලික ඡන්ද ප්‍රතිඵල මගින් මුලුමනින්ම හෙලිදරව් වී තිබේ.

සුපිරි අඟහරුවාදා දක්වා ගෙවුනු සතියේ දී, සැන්ඩර්ස් විසින් සමාජවාදය සඳහා මෙල්ල කර ගත හැකි යැයි කියා පෑ එම පක්ෂයම ඩිමොක්‍රටික් පක්ෂයේ දූෂිත දේශපාලනඥයකු ලෙස දශක හතරකට වඩා වැඩි කාලයක් පුරා සිය වෘත්තියෙහි යෙදී සිටින අර්ධ වයස්ගත හිටපු උප ජනාධිපතිවරයාගේ දක්ෂිනාංශික උද්ඝෝෂනය නැවත පන ගැන්වීම සඳහා එහි පක්ෂ යාන්ත්‍රනය බලමුලු ගන්වා ගත්තේය.

ඩිමොක්‍රටික් පක්ෂය යනු ලෝකයේ පැරනිතම ධනපති දේශපාලන පක්ෂයයි. එහි පැවැත්ම 1828 දක්වා දිවෙන අතර, එහි දීර්ඝ ඉතිහාසය තුල, වාචාලකමේත් හා වංචාවේත් නිපුන සංයෝජනය තුලින් අසමානතාවයට එරෙහි මහජන විරෝධය අපසරනය කිරීමේ කලාව ප්‍රගුන කර තිබේ.

හිටපු ටෙක්සාස් ජනරජයේ බෙටෝ ඕ'රෝර්ක් 2020 මාර්තු 2 වන සඳුදා ඩලස් හි පැවති මැතිවරන ප්‍රචාරක රැලියකදී ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන් අනුමත කරයි. (AP Photo/Richard W. Rodriguez)

මෙම පක්ෂය වනාහි ඇන්ඩෲ ජැක්සන්ගේ (ඇමරිකාවේ හත් වන ජනාධිපති, ඔහු කලින් හමුදා සෙබලෙකි)පක්ෂය වන අතර එය ස්වදේශික ඇමරිකානුවන් බලහත්කාරයෙන් ඉවත් කිරීම, දකුනු දිග ප්‍රාන්ත වෙන්වීම(ඇමරිකාවේ වහල් ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව දකුනු දිග ප්‍රාන්ත එක්සත් ජනපදයෙන් ඉවත්වීම), ජිම් ක්‍රෝ නීතී ඇති කිරීම (කලු ජාතිකයින් වාර්ගිකව අසමානව සැලකූ නීති පද්ධතියක්), චීන  ජාතිකයින් බැහැර කිරීම, පාමර් වැටලීම් (විදේශ සම්භවයක් සහිත කම්කරුවන් සහ රැඩිකලුන් දහස් ගනනක් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීම) සහ හිරෝෂිමා සහ නාගසාකි පරමානුක විනාශය සිදු කල පක්ෂයයි. 

ඩිමොක්‍රටික් පක්ෂය වනාහි සමාජ ව්‍යාපාරයන්ගේ සොහොන් බිමයි. එය විලියම් ජෙනිංග්ස් මගින් ජනප්‍රියවාදී ව්‍යාපාරය නිරායුධ කොට, ෆ්‍රෑන්ක්ලින් ඩිලානෝ රුස්වෙල්ට්, මහජන පෙරමුන සහ ඇමරිකන් ෆෙඩරේෂන් ඔෆ් ලේබර් [නම් වෘත්තීය සමිති නිලධරය]මගින්  1930 ගනන්වල කාර්මික කම්කරු කැරැල්ලේ ගෙල සිරකලේය. එය අසමානතාවය සහ වියට්නාමයේ යුද්ධ වලට එරෙහි විරෝධතාවයන් වලට එරෙහි විරෝධතාවයන් නිරායුධ කොට ගත්වූ අවුරුදු 40 තුල දකින්නට ලැබුනු සියලු අපේක්ෂකතාවයන්ට වඩා දක්ශිනාංශික වූ අපේක්ෂකයෙක් තෝරා ගැනීමට “වාම” ජනාධිපති අපේක්ෂක ව්‍යායාමයන් යොදාගත්තේය. මෙය 2016 දී යලිත් කරනු ලැබුවේ සෑන්ඩර්ස් තමාට පක්ෂව සිටි මිලියන 13ක ඡන්ද දායකයින්ට අන්තිමේදී හිලරි ක්ලින්ටන්ට ඡන්දය දෙන ලෙස කියා සිටීමෙනි. 2020 දීද යලිත් වරක් සිදුවෙමින් තිබෙන්නේ මෙයයි.

සුපිරි අඟහරුවාදා හි දෙවන පාඩම නම්, දශක ගනනාවක් පුරාම ව්‍යාජ වම විසින් සක්‍රීයව ප්‍රවර්ධනය කරන ලද වාර්ගික දේශපාලනය දුරදිග යන දක්ෂිනාංශික ප්‍රතිවිපාක ගෙන දී ඇති බවයි. පසුගිය සතියේ සැන්ඩර්ස්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය භාවිතා කල ප්‍රධාන අවිය වූයේ වර්ගයයි.

ජෝ බිඩෙන් “කලු ඇමරිකාවේ” අව්‍යාජ හඬ නියෝජනය කරන බව ප්‍රකාශ කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය අප්‍රිකානු-ඇමරිකානු ධනේශ්වරයේ හා සුලු ධනේශ්වරයේ දූෂිත නියෝජිතයින් බලමුලු ගැන්වීය. ජේම්ස් ක්ලිබර්න් සිට අල් ෂාප්ටන් දක්වා අප්‍රිකානු-ඇමරිකානු දේශපාලනඥයයින්ගේ යාඥාවන් පැහැදිලිවම කියා සිටියේ වාර්ගික සහයෝගීතාවය මිස පන්තිය මූලික නොවන බවය.

සමාජ අතෘප්තියට උපාමාරු දැමීමට සහ තමන්ගේම ප්‍රතිගාමී අරමුනු පිටුපස පන්ති දුක්ගැනවිලි මැඩපැවැත්වීම සඳහා වර්ගය භාවිතා කිරීමේදී ඩිමොක්‍රටික් පක්ෂය හොඳින් ක්‍රියාත්මක වේ. සමකාලීන ඩිමොක්‍රටික් පක්ෂය මීට වසර පනහකට පමන පෙර වාර්ගික වෙන් කර තැබීම අධීක්ෂනය කල හරියටම එම ප්‍රාන්තවලම අප්‍රිකානු-ඇමරිකානුවන්ගේ ආරක්ෂකයෙකු ලෙස බිඩෙන් පිම්බීම උත්ප්‍රාසයකි. බිඩෙන් පසුගිය වසරේදී බෙදුම්වාදී සෙනෙට් සභිකයන් වන ජේම්ස් ඊස්ට්ලන්ඩ් සහ හර්මන් තල්මඩ්ජ් දේශපාලන “ආවාරශීලීභාවයේ” උදාහරන ලෙස පැසසුමට ලක් කිරීමත්, පසුගිය සියවස් කාර්තුවේදී ලක්ෂ සංඛ්‍යාත කලු ජාතිකයන් සිරගත කල “අපරාධ මත දැඩි” නීතිවලට සහාය දීමට වගකිව යුතු වීමත් දෙගුනයක් උත්ප්‍රාසජනකය. 

සාමාන්‍ය පල්ලි යන්නන්ගේ ඉහල අනුපාතයක් සහිත ප්‍රදේශවල ආධිපත්‍යය පතුරමින් දකුනේ  වයස්ගත අප්‍රිකානු-ඇමරිකානුවන් අතර අතිවිශාල ජයග්‍රහනයක් බිඩෙන් ලබා ගත්තේය. උතුරු කැරොලිනාවේ, ඡන්දදායකයින්ගෙන් සියයට 10 ක් වයස අවුරුදු 60 ට වැඩි කලු ඡන්දදායකයින් වූ අතර, බිඩෙන් ඔවුන්ගෙන් සියයට 66 ක් ද සැන්ඩර්ස් සියයට 11 ක් ද දිනා ගත්හ. කෙසේ වෙතත්, දකුනේ  තරුන කලු ඡන්දදායකයින්, ඔවුන්ගේ දෙමව්පියන්ට සහ ආච්චිලා සීයලාට වඩා බෙහෙවින් අඩු ගතානුගතිකයින් වන අතර, 2016 ට සාපේක්ෂව ජාතික වශයෙන් තරුන ඡන්දය ප්‍රකාශ කිරීම අඩු වුවද සැන්ඩර්ස්ට සහයෝගය දැක්වීමට වැඩි කැමැත්තක් දැක්වූහ.

සියලු සුපිරි අඟහරුවාදා ප්‍රාන්ත අතර, “වාර්ගික සබඳතා” වඩාත්ම වැදගත් කාරනය යැයි පැවසූ ඡන්දදායකයින් අතර බිඩෙන් වඩාත්ම සුදුස්සා ලෙස සැන්ඩර්ස්ගේ 22ට එරෙහිව සියයට 48 ක් ලබා ගනිමින් ජය ගති. “සමාජ අසමානතාවය” උපුටා දක්වන ඡන්දදායකයින් අතර සැන්ඩර්ස් ආධිපත්‍යය දැරූ අතර බිඩෙන්ගේ සියයට 28 අභිබවා 35 ලබාගෙන ඉදිරියෙන් සිටියේය.

ධනවත් කාන්තා ඡන්දදායකයින් අතර ද එවැනිම සංසිද්ධියක් ඇති වූ අතර එය දක්ෂිනාංශික ස්ත්‍රීවාදයේ බලපෑම පෙන්නුම් කරයි. දකුනෙන් පිටත, සැන්ඩර්ස් විශ්ව විද්‍යාල උපාධි ලබා ඇති සුදු ජාතික කාන්තාවන්ගේ අවම මට්ටමේ සහයෝගය ලබා ගත් අතර, එය මැසචුසෙට්ස් හි මෙම ජන විකාශනයෙන් සියයට 20 ක් ද, කැලිෆෝනියාවේ සියයට 25 ක් ද සහ මිනසෝටා හි සියයට 18 ක් ද ලබා ගත්තේය.

අනන්‍යතා දේශපාලනය සමඟ සමාජවාදී අරගලය ඒකාබද්ධ කිරීමේ නොහැකියාව ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙයි. පලමුවැන්න බෙදීම හා වරප්‍රසාදය සඳහා වන අරගලය මත පදනම් වේ. වර්ග, ජනවාර්ග හා පසුබිම් හරහා ලෝකයේ කම්කරු පන්තිය එක්සත් කිරීමේ සටනේ දෙවැන්න මුල් බැස තිබේ.

අඟහරුවාදා පැවති මැතිවරනයෙන් තෙවන පාඩම නම්, සැන්ඩර්ස්ගේ ඩිමොක්‍රටික් පක්ෂය දේශපාලනය 2016 ට සාපේක්ෂව 2020 දී තරුන ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවීමක් ඇති කල බවයි. මෙයින් පෙනී යන්නේ තරුන ඡන්දදායකයින් බලමුලු ගැන්වීමේ සැන්ඩර්ස්ගේ ස්වයං ප්‍රකාශිත හැකියාවට පටහැනිව, ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත් කිරීමට යන වැඩපිලිවෙලට වඩා වඩා රැඩිකල් විසඳුම් බොහෝ තරුන තරුනියන් බොහෝ දුරට සොයමින් සිටින බවයි..

ජූලි මාසයේ ඩිමොක්‍රටික් සමුලුවට මාස තුනහමාරක් ඉතිරිව තිබේ. 2020 මැතිවරනයේදී සැන්ඩර්ස්ට කාර්යභාරයක් ඇති බව පාලක පන්තිය තීරනය කරන අවස්ථාව විය හැකිය.

නමුත් මෙම වාක්‍යයන් කියවන විටත්, නොවෙම්බර් මස [මැතිවරනයේදී] තමන්ට ඉහලින්ම සේවය කල හැක්කේ කෙසේද යන්න සැන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂය සමඟ දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව පාඨකයන්ට සහතික කරගත හැකිය. අඟහරුවාදා පැවති මැතිවරනයෙන් පසු සැන්ඩර්ස් බිඩෙන් සම්බන්ධයෙන් බරපතල විවේචන අත්හිටුවා ඇති අතර ඊයේ ඔහු දක්ෂිනාංශික ඔබාමා පාලනාධිකාරිය ප්‍රශංසා කරමින් දැන්වීම් පල කිරීමට පටන් ගත්තේය.

සැන්ඩර්ස්ගේ කැලිෆෝනියාවේ උද්ඝෝෂනයේ සම සභාපති රෝ ඛන්නා නිවේදනය කලේ  සැන්ඩර්ස් “දේශපාලන විප්ලවය” සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි. සැන්ඩර්ස් “පැරනි  ඡන්දදායකයින්ට සහ ප්‍රධාන ධාරාවේ ඩිමොක්‍රටිකයින්ට වැඩියෙන් ආමන්ත්‍රනය කරනු ඇතැයි” ඛන්නා පැවසූ බව පොලිටිකෝ වාර්තා කලේය. ඕනෑම දක්ෂිනාංශික අපේක්ෂකයෙකු නාමයෝජනා දිනාගත් විට ඔහුට සහාය දෙන බවට සැන්ඩර්ස් දැනටමත් ප්‍රතිඥා දී තිබේ. 2016 දී මෙන් මෙය සැන්ඩර්ස්ගේ ආධාරකරුවන්ගේ කඳුලු වලින් පමනක් අවසන් වනු ඇත.

සමාජවාදී සමානාතා පක්ෂය (සසප) ජෝසප් කිෂෝර් සහ නොරිස්සා සැන්ටා කෲස් ජනාධිපති සහ උප-ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කර ඇත. අපගේ මැදිහත්වීම පදනම් වී ඇත්තේ ධනේශ්වර පක්ෂ විසින් ඇමරිකාවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ ගෙල සිරකර සිටීම බිඳ දැමීමේ සටන මතය.

සුපර් අඟහරුවාදා අත්දැකීම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂනය ප්‍රබල ලෙස සනාථ කර තිබේ. 2019 පෙබරවාරි 20 වන දින “බර්නි සැන්ඩර්ස් 2020 ජනාධිපතිවරන ව්‍යාපාරය ප්‍රකාශයට පත් කරයි” යන මාතෘකාව යටතේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය.

ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනි පුද්ගලයින් සමඟ සැන්ඩර්ස් විසින් ප්‍රවර්ධනය කරනු ලබන මූලික වංචාව නම් ඩිමොක්‍රටික් පක්ෂය වමට තල්ලු කර ප්‍රගතිශීලී වෙනසක් සඳහා බලවේගයක් කල හැකි බවයි. මෙම දේශපාලන ප්‍රබන්ධය විග්‍රහ කරමින් ජැකොබින් කතුවරයා සහ ප්‍රමුඛ ඇමරිකානු  ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (ඩීඑස්ඒ) සාමාජික භාස්කර් සුන්කාරා අඟහරුවාදා ගාඩියන් පුවත්පත සඳහා තීරු ලිපියක ප්‍රකාශ කලේ  “සැන්ඩර්ස් 2016 දී විප්ලවයක් ආරම්භ කලේ ය. 2020 දී ඔහුට එය අවසන් කල හැකිය ...” යනුවෙනි.

නිසි ක්‍රියාදාමය සහ නිර්දෝෂීභාවය වැනි මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට වල කපන අතර කම්කරු පන්තිය බෙදීමට සේවය කරන #මීටූ ව්‍යාපාරයේ දඩයම මගින් ඩිමොක්‍රටිකයෝ අනන්‍යතා දේශපාලනය නිර්දය ලෙස ප්‍රවර්ධනය කර ඇත. ආර්ථික අසමානතාවයට එරෙහි සැන්ඩර්ස්ගේ හුදු ඇසුර, 2016 දී මෙන්, ඉහල මධ්‍යම පන්තික වරප්‍රසාදිත කොටස් වෝල් වීදිය සහ හමුදාව පිටුපස බලමුලු ගැන්වීම සඳහා යොමු කරන දක්ෂිනාං ශික ව්‍යාපාරයක පදනම බවට වාර්ගිකයත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගික දේශපාලනය පත්කිරීමට අදහස් කරන ඔහුගේම පක්ෂයෙන් තරවටු කරනු ලැබ තිබේ.

අඟහරුවාදා සිදුවීම් මෙම විශ්ලේෂනය සනාථ කරයි.

ඩිමොක්‍රටික් පක්ෂයෙන් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කරන එකම අපේක්ෂකයින් වන්නේ කිෂෝර් සහ සැන්ටා කෲස් පමනි. දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගල කිරීමෙන් සහ සමස්ත ධනවාදී ක්‍රමයට එරෙහි ජාත්‍යන්තර අරගලයට පිවිසීමෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ දම්වැලෙන් අත්මිදීම මගින් පමනක්  ඔවුන්ගේ දැවැන්ත සමාජ බලය මුදා හල හැකි බව කම්කරු පන්තිය ඒත්තු ගැන්වීමේ සහ කම්කරුවන් හා තරුනයින් අධ්‍යාපන ගත කිරීමේ සටන සසප උද්ඝෝෂනය මෙහෙයවයි. අපගේ පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අපගේ උද්ඝෝෂනය අනුගමනය කර ක්‍රියාකාරී විය යුතු අතර ස්වාධීන සමාජවාදී දේශපාලනය සඳහා වන අරගලය ලෝක පරිමානව කම්කරු පන්තිය තුලට ගෙන යන ලෙසයි.

Loading