හමුදා ප්‍රකාශක ආගමනික කම්කරුවන්ට තර්ජනය කරයි

කොරෝනා ආසාදිත රෝගීන් බහුල වශයෙන් හමුවන ඉතාලිය, ඉරානය සහ දකුනු කොරියාව ආදී රට වලින් ශ්‍රී ලංකාවට පැමිනෙන ගුවන් මගීන්, කටුනායක ගුවන් තොටුපලේ රඳවාගෙන පසුව කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීම මේ දිනවල සිදු වෙමින් පවතී. 

මාර්තු 10 වන දා, කටුනායක ගුවන්තොටුපලේ එලෙස රඳවා තැබූ පිරිසක්, ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් වන, නිසි වාතාශ්‍ර‍ය, පිරිසිදු ආහාර සහ ප්‍ර‍මානවත් වැසිකිලි සම්පාදනය නොකිරීමට එරෙහිව විරෝධතාවයක නිරත වූහ.

මෙයට ප්‍ර‍තිචාර දක්වමින් යුද හමුදා ප්‍ර‍කාශක බ්‍රි‍ගේඩියර් චන්දන වික්‍ර‍මසිංහ, මාර්තු 12 දා මාධ්‍යයට පැවසුවේ, “කොරෝනා වෛරසයේ බලපෑමට හසුව ඇති රටවල සිට පැමිනෙන්නන් ශ්‍රී ලංකාවේ කොරෝනා නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය නොදෙන්නේ නම් ඔවුනට එම රට වලට ම ආපසු යාහැකි” බවයි. 

රටේ මිලියන 21 ක් වූ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම හා ජාතික ආරක්ෂාවේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත පැවරී ඇති බවත් මෙවැනි අවස්ථාවක රජයේ   නිරෝධායන  ක්‍රියාවලියට සහාය  නොදක්වන පිරිසට  එරෙහිව කටයුතු කිරීමට  නීතිමය ප්‍රතිපාදන ඇති බවත් ඔහු පැවසීය.

මානව සංහතියට ඉමහත් ව්‍යසනයක් අත්කර දියහැකි රෝගයක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කොට ඇති මෙම ආසාදනය හමුවේ, සෑම කෙනෙකුටම රෝග පරීක්ෂාවට සහ නිරෝධායනයට ප්‍රවේශය සැපයෙන පරිදි පහසුකම් සම්පාදනය කිරීම සඳහා බිලියන සංඛ්‍යාත මුදල් වෙන්කල යුතුව ඇත. ඒ වෙනුවට, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් ගෙනයන එදාවේල පිරිමසා ගැනීමේ “නිරෝධායන ක්‍රියා මාර්ගයට” එරෙහිව මතු වෙමින් පවත්නා මහජන විරෝධතාවන් රුදුරු ලෙස මැඩීම සඳහා මිලිටරිය සහ නව නීති යොදා ගැනීමට නියමිත බව ඉහත තර්ජනයෙන් බලගතු ලෙස සනාථ කෙරෙයි.

ඊට අවශ්‍ය පසුබිම තනාදීම සඳහා ධනපති මාධ්‍යකරුවෝ වහා වැඩට බැස සිටිති. “කොරෝනා යක්ෂයා ගෙයි දොරකඩ... අප සූදානම් ද?” යන හිසින් යුත් මාර්තු 12 වන දා දිවයින කතුවැකිය මෙසේ පවසයි: "එසේම, මේ මොහොතේ හරිදේ හරි විදිහට කිරීම සඳහා රජය කෙලින් තීන්දු ගත යුතුය. නීති අවශ්‍යය. ඒවා ක‍්‍රියාත්මක විය යුතුව ද ඇත."

කටුනායක ගුවන් තොටුපලේ පැවති විරෝධතාවයේ අන්තර්ගතය මුලුමනින්ම විකෘති කරන මාර්තු 12 වන දා දිනමින කතුවැකිය මෙසේ පවසයි: “දකුනු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිනි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල වායුසමීකරනය කල කාමර ඉල්ලා විරෝධතාවක් පෑහ.” 

මූලික පහසුකම් ඉල්ලා උද්ඝෝෂනය කල මෙම කම්කරුවන්ට එරෙහිව මහජන විරෝධයක් නිර්මානය කිරීමට සහ මිලිටරියේ මැදිහත්වීම සාධාරනීකරනය කිරීමට මේ ධනපති අටුවාකරුවෝ ගල්පැලෙන බොරු ගොතති. 

2004 දී 40,000 කට පමන මරු කැඳවමින් සිදුවූ සුනාමි ව්‍යසනයේදී මෙන්ම, මෙවන් වසංගත රෝග ව්‍යසනයකදී එයට මුහුනදීම සඳහා කවර හෝ පූර්ව සූදානමක් රජයට නොමැත. පසුගිය දශක කීපය පුරා අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් සෞඛ්‍ය සේවය තුල සිදුකල දැවැන්ත කප්පාදු හේතුවෙන් පැවති සීමිත පහසුකම් පවා විනාශ කෙරී ඇත.

ප්‍ර‍ධානතම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වන කොලඹ අයිඩීඑච් රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මන්ඩලය පවසන්නේ, රෝගය වැලැඳීමෙන් වැලකීම සඳහා අවශ්‍ය මූලික ආරක්ෂක ඇඳුම් කට්ටල පවා ඔවුනට නොමැති බවයි. නිරෝධායන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කොට ඇති හමුදා කඳවුරු වල ඇඳන් හැර නිරෝධායනයට අවශ්‍ය පහසුකම් ඉතා සීමිතය.

මෙම තතු තුල, ආන්ඩුව විසින් රෝගය පැතිරයාම වැලැක්වීම සඳහා කවර හෝ විශේෂ මුදල් වෙන් කිරීමක් මෙතෙක් සිදුකොට නොමැත.  

මෙය සාධාරනීකරනය කරමින් දිනමින කතුවැකිය මෙසේ පවසයි: “ශ්‍රී ලංකාවේ රජය මෙබඳු ආපදා තත්ත්වයකට මුහුන දෙන්නේ ආර්ථික අපහසුකම් සහිත ව හිටිහැටියේ ය. ඒ අනුව සම්පත් සැපයීමේ අඩුපාඩු තිබෙන්නට පුලුවන. ආපදා අවස්ථාවක දී උපරිම පහසුව අපේක්ෂා කිරීම වැරැදි ය. රටේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා බලවත් පරිශ්‍රමයක යෙදී සිටිති. එය කාගේත් අගය කිරීමට ලක්විය යුතුය. ඔවුන්ගේ කැපවීම විශිෂ්ටය.” 

ලොවපුරා අනෙකුත් පාලක පන්තීන් මෙන්ම ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය එල්ල කරන ප්‍රහාරයන් ‍හමුවේ කම්කරු-පීඩිත මහජනතාව නොකඩවා අරගලයට ඇදෙමින් සිටිති. එය ජාත්‍යන්තරව සීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍ර‍වනතාවයකි. මෙම අරගල තලා දැමීම සඳහා ඒ ඒ රටවල පාලක පන්තීහු මිලිටරිය මත වඩවඩාත් වාරු වෙමින් සිටිති. 

රාජපක්ෂ ආන්ඩුව බලයට පැමිනි දින පටන් රජයේ ප්‍ර‍ධාන ආයතනයන්හි මුල්පුටු වලට හිටපු හමුදා නිලධාරීන් පත්කර ගනිමින් සහ සිවිල් වැඩකටයුතු වලට වඩවඩාත් හමුදාව යොදා ගනිමින් සමස්ත සමාජයම මිලිටරීකරනයේ යෙදෙමින් සිටී. කොරෝනා නිරෝධායනය ද මූලිකවම පවරා ඇත්තේ මිලිටරියටයි. එහි සැබෑ උත්සුකය, මාර්තු 12 වන දා, ද අයිලන්ඩ් කතුවැකියෙන් එලිමහනට පනී.

කතුවැකිය මෙසේ කියයි: “කොරෝනා වෛරසයට සමාජ-දේශපාලනික නැගිටීම් ඇති කිරීමේ සහ අරාජිකත්වය මුදා හැරීමේ හැකියාව ඇත. සමහර ඉතාලි බන්ධනාගාරවල කැරලි ඇති වී ඇති අතර රැඳවියන් දුසිමකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තා වේ. අගුලු දමා ඇති නගරවල වීදි කෝලාහල ඇතිවීමේ හැකියාවන් බැහැර කල නොහැකිය.”

කොරෝනා වෛරසය මෙලෙස පැතිරගියහොත් ඉදිරි කාලය තුල මිලියන හැටක ජනකායකට ජිවිත අහිමි වෙතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරදැක ඇත. එපමනක් නොව, එම රෝගය පැතිරයාම හේතුවෙන් මුලුමහත් පෘථිවි ගෝලීය සමාජයම වෙලාගත් සමාජ-ආර්ථික ව්‍යසනයක් වර්ධනය වෙමින් පවතී. නිශ්පාදනය සහ වෙලඳාම ජාත්‍යන්තර පරිමානව හැකිලෙන අතර ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට රැකියා අහිමි වෙමින් පවතී.

ලෝක කොටස් වෙලඳපොල ක්ෂනික කඩා වැටීමකට ලක්ව ඇත. මාර්තු 10 වන දා, ඩව් ජෝන්ස් දර්ශකය සියයට 7.79 කින් පහත වැටුනු අතර, කොටස් වෙලඳපොල මිනිත්තු 15 කට ක්‍රියා විරහිත විය. ශ්‍රී ලංකාව එහි ව්‍යතිරේකයක් නොවේ. ඊයේ දිනයේ, මාර්තු 11 වන දා, ශ්‍රී ලංකාවේ කොටස් වෙලඳපොල සියයට 5 කින් කඩා වැටීම හේතුවෙන් එහි වැඩකටයුතු මිනිත්තු 30 කට ඇනහිටි බව වාර්තා විය. 

සැපයුම් දාමයන් ද ඇතුලුව, වසංගතයෙන් තර්ජනයට ලක්ව ඇති ආර්ථික ක්‍රියාකාරකම්වල දැවැන්ත හැකිලීමකින්, කොටස් වෙලඳපොලට ගැලවීගත නොහැකි බව මෙම බිඳවැටීම මගින් පුරෝකථනය කර ඇත.

මෙම සියලු කරුනු වලින් අනාවරනය වන්නේ, ලාභය මත පදනම් වූ ධනපති ක්‍ර‍මය පද්ධතියක් ලෙස බිඳවැටෙමින් පවතින බව සහ එවන් පද්ධතියකට මනුෂ්‍ය වර්ගයා මුහුන දෙන කවර හෝ සමාජ-ආර්ථික ප්‍ර‍ශ්නයක් විසඳාලිය නොහැකි බවයි. 

එම ප්‍ර‍ශ්න හමුවේ කැරලිකාරී වන කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල මිලිටරිය යොදා තලා දැමීම ලොවපුරා ධනපති පාලකයන්ගේ පිලිවෙත බවට පත්ව ඇත. ඉතාලිය, දකුනු කොරියාව ආදී රටවල මෙන්ම, ශ්‍රී ලංකාවේ පාලකයන් කොරෝනා වසංගතය මර්දනය කිරීමේ කර්තව්‍යය මූලික වශයෙන් මිලිටරියට භාර දී ඇත්තේ එබැවිනි.

මෙම තතු තුල කම්කරු පන්තියට පසෙකට වී බලා සිටිය නොහැක. ධනේශ්වර පද්ධතිය පෙරලා දමා, මානව අවශ්‍යතා සපුරාලන අයුරින් සමස්ත සමාජ-ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කර ගැනීමට, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමට පෙරට පැමිනිය යුතුය.

එම සටනේ කොටසක් ලෙස, තම ක්‍රියාකාරකම් සම්බන්ධීකරනය කිරීමට, සාමූහික ශක්තිය බලමුලු ගැන්වීමට, රෝගී වූවන්ට සමාජ සහයෝගය ලැබෙන බව සහතික වන අයුරින් සේවා ස්ථාන සහ අසල්වැසි කමිටු පිහිටුවීමට කම්කරුවන් විසින් ආරම්භකත්වය ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

Loading