ඉදිරිදර්ශන

කොරෝනා වෛරස් වසංගතය සහ ධනවාදයේ අසාර්ථකත්වය

මෙම ලිපිය 2020 මාර්තු 10 දා ඉංග්‍රීසි බසින් පලකෙරිනි.

වෙලඳපොලවල් තුල කොටස් විකුනා දැමීමක් මගින් ගෝලීය කොරෝනා වෛරස් වසංගතයේ ගම්‍යයන් ප්‍රකාශයට පත්වීම ඇරඹෙද්දී, මාර්තු 9දා ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඉතිහාසයේ ගැඹුරු ම කොටස් කඩාවැටීම අත්වින්දේ ය.

ඩව් දර්ශකය සියයට 7.79කින් හෙවත් කොටස් 2,013කින් ඇදවැටුනි. කඩාවැටීම කොතරම් ක්ෂනික වී ද යත්, වසර 23ක් තුල ප්‍රථම වතාවට එය වෙලඳපොල ජාලය විසන්ධි කර දැමුවේ මිනිත්තු 15කට වෙලඳාම නවත්වමිනි. බලශක්ති කොටස් ඇඟ කිලිපොලා යන සියයට 20කින් ද මූල්‍ය කොටස් සියයට 11කින් ද ඇදවැටුනේ, සුරක්ෂාව පතා පෙර නුවූ විරූ යුහුසුලුවක් මධ්‍යයේ එක්සත් ජනපද රාජ්‍ය නය පොලී අනුපාතික වාර්තාගත පහල අගයකට වැටෙද්දී ය.

කොටස් විකුනා දැමීම සිදු වූයේ, විශේෂයෙන් ම එරට ආන්ඩුව විසින් රට පුරා අනිවාර්ය නිරෝධායනයක් නිවේදනය කෙරුනු ඉතාලියේ සිද්ධීන් ඇතුලු ව ගෝලීය කොරෝනා වෛරස වසංගතයේ මරන සංඛ්‍යාව ඉහල යද්දී ය.

සති අන්තය පුරා වඩ වඩා පැහැදිලි වූයේ, ඉතාලිය, ජර්මනිය, ප්‍රන්සය, ස්පාඤ්ඤය හා එක්සත් ජනපදය තුල ආසාදන වාර්තා වීම් අඛන්ඩව සහ වැඩෙන සීඝ්‍රතාවයකින් ඉහල යාම මධ්‍යයේ, වසංගතයේ ගෝලීය පැතිර යාම නැවැත්වීමට ආන්ඩු අසමර්ථ ව තිබුනු බව යි.

පොලිස් නිලධාරීන් හා සොල්දාදුවන් ඉතාලියේ මිලාන් නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් පිට ව යන මගීන් පරීක්ෂාවට ලක් කරමින්, 2020 මාර්තු 9. (ක්ලෝඩියෝ ෆර්ලාන්/ ඒපී හරහා ලාප්‍රෙස)

සමාජය දැනට මත් අනතුරට ලක් වී ඇති යටතේ එය මත යෝධ බලපෑමක් ඇති කරන, එහෙත් කොහි සිට පැමිනියේදැයි නො දන්නා සිද්ධියක් විස්තර කිරීම සඳහා ආර්ථික විද්‍යාවේ ශබ්ද කෝෂයට මෑත අවුරුදුවල දී “කලු හංසයා” යන [අනපේක්ෂිතව ඇතිවූ ව්‍යසනකාරී තත්වයක් යන අරුත දෙන]යෙදුම ඇතුලත් වී තිබේ.

කොටස් විකුනා දැමීම ඉතා ම ආසන්න හේතුව වන්නේ, වසංගතය හා එහි බලපෑම අරබයා රජයන කැලඹීම හා අවිනිශ්චිතතාව යි. එහෙත් කොටස් විකිනීමේ පරිමානය, එක්සත් ජනපදයේත් ජාත්‍යන්තර වත් ආර්ථික කොන්දේසිවල ප්‍රගාඪ බිඳෙන සුලු ගතිය පිලිබඳ සාක්ෂි දරයි. 2008 මූල්‍ය අර්බුදයේ සිට වසර දොලහක් ගෙවී යන තැන ලෝක මූල්‍ය පද්ධතිය පවතින්නේ විනාශකාරී බිඳවැටීමක් අද්දර ය.

2008 මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර වසයෙන් ධනේශ්වර පද්ධතිය ස්ථායී කරගැනීම සඳහා යොදාගත් විධික්‍රමයන් ම විශාල වත්කම් බුබුලක් හා නව අර්බුදයකට කොන්දේසි නිර්මානය කෙරුනි. සෑම සුවිසාල මූල්‍ය ආයතනයක් ම බංකොලොත්භාවයට පැමිනවූ මූල්‍ය භීතියට ප්‍රතිචාර වසයෙන්, බුෂ් හා ඔබාමා පරිපාලනයන් බැංකුවල ශේෂ පත්‍රයන්ට ඩොලර් බිලියන සිය ගනනක් මාරු කලේ ය. ඉන්පසු එලඹියේ “ප්‍රමානාත්මක ලිහිල් කිරීම්” හරහා ඩොලර් ට්‍රිලියන 4කට අධික ප්‍රමානයක් පොම්ප කිරීම හා වසර ගනනාවක් පුරා ශූන්‍ය පොලී අනුපාත පවත්වාගෙන යාමයි.

මූල්‍ය වෙලඳපොලවල සෑම පහත බැසීමකට ම තව තව අරමුදල් පොම්ප කිරීම මගින් මහ බැංකු විසින් ප්‍රතික්‍රියා කර ඇත. අර්ථභාරී ලෙස, කොටස් වටිනාකම්වල මූලික ලුහුටා යාමකට ෆෙඩරල් රිසර්ව් බැංකුව පොලී අනුපාත තවත් සියයට බාගයකින් කපාහරිමින් ප්‍රතිචාර දැක්වූයේ හරියට ම පසුගිය සතියේ ය.

රාජ්‍ය අරමුදල් දශකයක් තිස්සේ මූල්‍ය වෙලඳපොලවලට මුහු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඩව් දර්ශකයේ තක්සේරුව හතරගුනයක් වී තිබේ.

සමාජ ධනය මූල්‍ය කතිපයාධිකාරය වෙත ඉහල අතට යලි බෙදාහැරීම සඳහා යාන්ත්‍රනය වී ඇත්තේ මෙම ක්‍රියාවලිය යි. එහෙත්, දීර්ඝ කාලයක් තිස්සේ සඟවනු ලැබෙමින් තිබෙන දෙය -වෙලඳපොල තක්සේරු කිරීම් හා සැබෑ නිෂ්පාදනය අතර පවතින ස්පර්ශීය සබඳතාව- මෙම අර්බුදය විසින් හෙලිදරවු කරනු ලැබෙමින් පවතී.

සැපයුම් දාමයන් බිඳවැටීම ඇතුලු ව වසංගතය විසින් තර්ජනය කරන්නා වූ ආර්ථික ක්‍රියාකාරීත්වයේ යෝධ හැකිලීමකින් කොටස් වෙලඳපොලට පරිවරනය විය නො හැකි තත්ත්වයක් කොටස් විකුනා දැමීම මගින් පුරෝකථනය කලේ ය.

වෙලඳපොලවල් පතුලටම වැටී හෝ ඒ ආසන්න ව පවතීදැයි කිසිවෙක් නො දනී. සාමාන්‍ය ආර්ථික නිමැවුම කෙරෙහි හදිසි සෞඛ්‍ය තත්ත්වයේ බලපෑම නීර්නය කිරීමට නො හැකි තත්ත්වයක් තුල සාධාරන ගනන් බැලීමක් කල හැක්කේ කෙසේ ද? සමස්ත නිෂ්පාදන හා බෙදාහැරීමේ සේවාවන් වසා දැමීමට බලකෙරෙද්දී සිදුවන්නේ කුමක් ද? එවන් තත්ත්වයක් ඇමේසන් හෝ අනෙකුත් ප්‍රධාන සංගතයන් විසින් “ජයගන්නේ” කෙසේ ද?

වෙලඳපොලෙහි දෛනික භ්‍රමනයන් [එහි සෑම ඉහල නැග්මක්ම යථා තත්වයට පත්වීම සංඥාවක් ලෙස ප්‍රකාශයට පත්කරනු ඇතිවා නිසැකය] කවරක් වුවත් සමාජ අර්බුදය තීව්‍ර වෙමින් තිබේ

මාර්තු 9දා සිදු වූ කොටස් විකුනා දැමීමේ මූලික හේතු ගෝලීය වසංගතයට වඩා ගැඹුරු වන අතර, රෝගයේ බලපෑම දැනට මත් සුවිශාලය. විය හැකි නරකම දෙය කුමක්දැයි සිතාබලන්නේ නම්, මානව ජීවිත පැත්තෙන් සිදුවන විපාක නිසැකවම විනාශකාරී වනු ඇතැයි අවබෝධ කර ගත හැකිය.

එක්සත් ජනපදය ද අනෙක් සෑම සංවර්ධිත රටක් ද රෝගයට දක්වා ඇති ප්‍රතිචාරය තුල දිස්වන්නේ ව්‍යාකූලත්වය, සම්බන්ධීකරනයක් නැති කම හා සහමුලින්ම සූදානමක් නැති කමයි.

ලෝකයේ ධනවත් ම, තාක්ෂනික ව හා විද්‍යාත්මක ව වඩාත් ම දියුනු රට වන එක්සත් ජනපදය - සිලිකන් නිම්නය [නම් අධි තාක්ෂනික කලාපය] හා ලෝකයේ වඩාත් බුහුමනට පත් විශ්ව විද්‍යාල පිහිටා තිබෙන්නේ මෙහි ය-වසංගතය කලමනාකරනය කිරීමට උදව් දෙන අතිශයින් ම කුඩා පන්නයේ පරීක්ෂන කිරීමට පවා අසමත් ය.

රට පුරා රෝගීන් හා වෛද්‍යවරුන් නො ඉවසිල්ලෙන් පරීක්ෂන සඳහා මගක් සොයන නමුත් රාජ්‍ය නිලධාරීහු එය ප්‍රතික්ෂේප කරමින් සිටිති. බටහිර වෙරලේ හෙදියන් පිලිබඳ ව මෑත දී කල සමීක්ෂනයකින් හෙලි වූයේ, කොරෝනා අසාදිත රෝගීන් හුදකලා කොට ප්‍රතිකාර කිරීමට බොහෝ රෝහල් සතුව පැහැදිලි සැලසුමක් නො තිබුනු බවයි. රෝගය පැතිර යාම වැලැක්වීමට අවශ්‍ය අතිශය මූලික සනීපාරක්ෂක නිෂ්පාදනයන් නොමැති වැඩපොලවල් පිලිබඳ ව වාර්තා වන අතර සංක්‍රමනික කම්කරුවන් හා ගුවන් සේවිකාවන්ට වැඩකරන අතරතුර ආරක්ෂක උපකරන පැලඳීමට ඉඩ ලැබෙන්නේ නැත.

වියවුල කොතෙක් ද යත්, කොරෝනා වෛරස රෝගියෙකු සමග ස්පර්ශ වීමෙන් පසු ට්‍රම්ප්ගේ අලුතින් පත්කරන ලද මාන්ඩලික ප්‍රධානියාද නිරෝධායනයට ගොස් ඇති අතර, ආසාදිතයෙකු සමග සමුලුවකට සහභාගි වූ ජනාධිපතිවරයා ද පරීක්ෂාවට බඳුන් වී ඇත්ද යන්නට පිලිතුරු දීමට ධවල මන්දිරය අසමත් ය.

ආසාදිතයන් සංඛ්‍යාව වර්තමාන රේට්ටුවෙන් අඛන්ඩ ව ඉහල ගියහොත් එය ක්ෂනික ව දැනට තිබෙන රෝහල් ඇඳන් ප්‍රමානය ඉක්මවා ගොස්, රෝගයේ මාරාන්තික භාවය ද ක්ෂනික ව ඉහල යාමට හේතු වනු ඇතැයි විශේෂඥයන් අනතුරු අඟවා ඇත.

මේ සා විශාල අර්බුදයන් විඥානයේ ප්‍රගාඪ වෙනස්කම් ජනනය කරයි. “සමාජීය නායයාම්වල යුගයන් වන විප්ලවවාදී යුගයන්, සමාජයේ සමස්ත ඇතුලාන්තය පිටතට හරවයි” යි ලියොන් ට්‍රොට්ස්කි ලිවී ය. සමාජය දැන් සාක්ෂි දරමින් සිටින්නේ, පන්තියක, පාලන ක්‍රමයක හා සමස්ත සමාජ පර්යායක අසාර්ථකත්වය ගැන යි.

මෙම කොරෝනා වසංගතය, මහා සමාජ ප්‍රශ්නවලට ගැඹුරින් ආමන්ත්‍රනය කිරීමට ඇමරිකානු සමාජයට පවතින නො හැකියාව හෙලිදරවු කෙරුනු මාරියා හා හාවි යන සුලිකුනාටුවල සිට කැලිෆෝනියාවේ ලැව්ගිනි සහ බෝයිං 737 මැක්ස් [නම් සිය ගනනකට මරු කැඳවූ දෝෂ සහිත ගුවන් යානා] අඩංගු කරගත් ව්‍යසනයන් මාලාවක කැපී පෙනන එක පමනි. 

පසුගිය දශකය ගත්කල, ආර්ථික හා දේශපාලනික ජීවිතය සමස්තයක් ලෙස දිශාගත කරනු ලැබ ඇත්තේ ධනය පහල සිට ඉහලට අනුකම්පා විරහිත ලෙස යලි බෙදාහැරීමට යි. එහෙත්, වසංගතයන්ගේ සිට දේශගුන වෙනස දක්වා සියලු මහා සමාජ ගැටලු විසඳීමට නම් මූල්‍ය සම්පත් සමාජ අවශ්‍යතාවට ආමන්ත්‍රනය කිරීම දෙසට දිශාගත කිරීම අවශ්‍ය කරයි.

ප්‍රධාන පෙලේ අර්බුදයකින් අනතුරු ව සමාජය මුලුමනින් ම වෙනස් වී පෙනෙයි. ජීවන ක්‍රම, සමාජ අන්තර්ක්‍රියාවල රූප හා ආන්ඩුවල රූප වෙනස් වේ.

මෑතක දී ඇමරිකානු විප්ලවයේ උරුමය පිලිබඳ පෘථුල වසයෙන් සාකච්ඡා කෙරී ඇත්තේ, එයට මඩගැසීමට හා එතුල නිරූපිත ප්‍රජාතන්ත්‍රීය අභිලාෂයන්ට අපවාද නැගීමට පාලක පන්තිය හැකි සෑම දෙයක් ම කරද්දී ය.

නමුත් එම දේශය පිහිටවූ  [මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම ප්‍රකාශිත] ලියවිල්ල ආරම්භ වන්නේ මෙම සදාකාලික වාග්පාඨයෙන් බව මතකයට ගැනීම වටිනේ ය: “මානව සිද්ධීන්වල ගමන් මාවතේ දී...ඕනෑම ආකාරයක ආන්ඩුවක් මෙම අන්තයන් හි දී විනාශකාරී බවට පත්වන විට, එය වෙනස් කිරීම හෝ අහෝසි කිරීම ජනතාවගේ අයිතිය යි.”

අප දැන් ජීවත් වෙමින් සිටින්නේ, පූර්වයෙන් ආධිපත්‍යය දැරූ සමාජ හා දේශපාලන සබඳතා වෙනස් කිරීමක් ඉල්ලා සිටින සිද්ධියක් මධ්‍යයේ ය.

මෙම අර්බුදයේ ප්‍රතිඵලය කවරක් වුවත්, යම් නිශ්චිත දේවල් දැනට මත් පැහැදිලි වී තිබේ. නවීන සමාජය සියලු ගැටලු ඉදිරිපත් කරන්නේ මහජනතාවන්ට බලපාන ගෝලීය ගැටලු ලෙස ය. ජාතික රාජ්‍යයන් හා ධනය පෞද්ගලික ව සමුච්චය කරගැනීමේ මූලධර්මය මත පදනම් වන්නා වූ සමාජ පර්යායක රාමුව ඇතුලත සමාජය මුහුන දෙන මහා ඓතිහාසික අභියෝගයන් විසඳනු ලැබිය නො හැක. 

එලඹෙන කාලපරිච්ඡේදය තුල අර්බුදය කෙලෙසින් දිගහැරුන ද එය දැනටමත් බලගතු ගෝලීය පනිවුඩයක් දී ඇත: ධනවාදය භංග විය යුතුය. සමාජය විද්‍යාත්මක හා තාර්කික පදනමක් මත සංවිධානය කරනු ලැබිය යුතු ය. වෙනත් වචනවලින් කියතොත්, මෙම අර්බුදය සමාජය සමාජවාදී ව පරිවර්තනය කිරීමේ හදිසි අවශ්‍යතාව ඉස්මතු කර ඇත.

Loading