ශ්‍රී ලංකාව: සුප්‍රකට ජනමාධ්‍යවේදියා සහ කාටූන් ශිල්පියා ජූලියන් අසාන්ජ්ගේ නිදහස් සඳහා කැඳවුම් කරති

මෙම ලිපිය 2020 මාර්තු 5 දා ඉංග්‍රීසි බසින් පලකෙරිනි.

සිරගත කර සිටින, විකිලීක්ස් වෙබ් අඩවියෙ ආරම්භක ජූලියන් අසාන්ජ් ආරක්ෂා කරමින් හා ඔහුගේ නිදහස සඳහා වන උද්ඝෝෂනය අනුමත කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජනමාධ්‍යවේදී ගිහාන් ඩි චිකේරා සහ තරුන කාටූන් ශිල්පී සජිත් බන්ඩාර මාර්තු මස පලමු සතියේ ලෝක සමාජවාදි වෙබ් අඩවිය (ලෝසවෙඅ) වෙත ප්‍රකාශ නිකුත් කල හ.

විසකුරු  ඇමරිකානු නීතියක් වන “ඔත්තු බැලීම (වැලකීමෙ) පනත” යටතේ වසර 175ක සිර දඬුවමකට ලක් කිරීමේ හැකියාවට අසාන්ජ් ලක්කර ඇති එක්සත් ජනපදය වෙත බ්‍රිතාන්‍යයෙන් උදර්පනය කිරීමේ උත්සාහය ඔවුන් හෙලාදුටුවේ ය. ඔවුන්මෙ ප්‍රකාශ නිකුත්  කලේ ප්‍රදර්ශනාත්මක හොරනඩුවක් ලෙස පමනක් විස්තර කල හැකි පෙබරවාරි 25දා බ්‍රිතාන්‍යයෙද් ආරම්භ වූ උදර්පන නඩු විභාගය අරඹී යන්තම් සතියකට පසුවය.

වසර පහලොවකට වැඩි කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ වැඩිම සංස්කරනයක් සහිත පුවත්පතක් වන ඩේලි මිරර් පත්‍රයේ වැඩකර ඇති චිකේරා සුප්‍රකට ජනමාධ්‍යවේදියෙක් හා කාටූන් ශිල්පියෙකි. 2012 වසරේ හොඳ ම කාටූන් ශිල්පියාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු සිංහල වේදිකා නාට්‍ය හා චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායක වී ඇත.

සජිත් බන්ඩාර මිරර් පත්‍රයට වසර කිහිපයක් කාටූන් සම්පාදනය කර තිබේ.

අපි ඔවුන්ගේ ප්‍රකාශ පහත පලකරන්නෙමු.

                                                   ***

ගිහාන් ඩි චිකේරා: ජූලියන් අසාන්ජ් යනු තමන්ගේ රැකියාව කිරීම නිසා දේශපාලනික චෝදනාවන්ට ලක් වන සම්මානලාභී ජනමාධ්‍යවේදියෙකි.

එක්සත් ජනපද මිලිටරියේ හෙලිකොප්ටර් යානයක් විසින් බැග්ඩෑඩ් නගරයේ දී සිවිල් වැසියන්ට හා ජනමාධ්‍යවේදීන්ට බෝම්බ හෙලන වීඩියෝ පටයක් ඇතුලු එක්සත් ජනපද යුද අපරාධ ඔහු විසින් විකිලීක්ස් වෙබ් අඩවිය හරහා හෙලිදරවු කර ඇත.

එහෙත් මෙම අපරාධ සිදුකල තැනැත්තන් නිදැල්ලේ සිටිය දී, අසාන්ජ් ව අනවරත පීඩාවන්ට බඳුන් කරනු ලැබේ. වසර 175ක උපරිම සිරදඬුවමක් නියම කල හැකි ඔත්තු බැලීමේ චෝදනා යටතේ එක්සත් ජනපදයට උදර්පනය කරනු ලැබීමේ තර්ජනයට ඔහු දැන් මුහුන දෙයි.

එක්සත් ජනපදය පලමු ලෝක යුද්ධයට අවතීර්න වීමෙන් ඉක්බිති ව 1917 දී කෙටුම්පත් කරන ලද ඔත්තු බැලීමේ පනත, බොහෝ රැඩිකල් හා ප්‍රගතිශීලී කම්කරු පන්තික නායකයන්ට විරුද්ධ ව යොදාගනු ලැබ ඇත. ඔවුන් අතරට ලෝක ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයිඩබ්ලිව්ඩබ්ලිව් -ඉන්ටර්නැෂනල් වර්කර්ස් ඔෆ් ද වර්ල්ඩ්) බිල් හේවුඩ්, සමාජවාදී පක්ෂයේ ඉයුජින් වී. ඩෙබ්ස්, කම්කරු ක්‍රියාකාරිකයෙක් වූ රැල්ෆ් චැප්ලින් සහ දේශපාලන ක්‍රියාධර හා ලේඛිකා එමා ගෝල්ඩ්මාන් අයත් වෙති. අසාන්ජ් මෙන් ම මෙම නායකයන් ද ආඥාදායකත්වයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉලක්ක කරනු ලැබිනි. ශතවර්ෂයකට පසුව අසාන්ජ් ද ඒ හා සමාන හිරිහැරයකට මුහුන දෙයි.

දකුනු ආසියාවේ ජනමාධ්‍යවේදීන් ද අනවරත පීඩනයට මුහුන පා ඇත. ශ්‍රී ලංකාව ගත්කල, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය හා ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් කිරීම වැනි ඉහල පෙලේ සිද්ධි පිලිබඳ විමර්ශන ඇනහිට තිබේ. ඒ අතර ම, කාෂ්මීරය අන්තර්ජාලය වසාදැමීමක් හා මාධ්‍ය ඇනහිටුවීමක් අත්දැක ඇත. මේ හුදෙක් ගිනිය නො හැකි සිද්ධිවලින් උදාහරන දෙකක් පමනි.

මෙම තතු යටතේ, අසාන්ජ්ට සහයෝගය දක්වන වැඩෙන ගෝලීය ව්‍යාපාරය හඬ ඉස්මතු කරමින් තිබීම දැකීමට ලැබීම දිරිගන්වනසුලු ය. අසාන්ජ්ට චෝදනා නැගීම හෙලාදකින මෙම හඬවල් සමග එක්වන මම, වහා ම ඔහු නිදහස් කරන ලෙස කැඳවුම් කරමි. ඔහුට ද සෑමතැනක ම ජනමාධ්‍යවේදීන්ට ද ඔවුන්ගේ කටයුතු බාධාවකින් තොර ව කරගෙන යාමට නිදහස තිබිය යුතු ය.

සජිත් බන්ඩාර

සජිත් බන්ඩාර:ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ කඩතුරාව යටතේ කරගෙන ගොස් ඇති අධිරාජ්‍යවාදී යුද අපරාධ පිලිබඳ සත්‍යය හෙලිදරවු කිරීම නිසා, එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් විසින් විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් ආසන්ජ් අසාධාරන ලෙස සිරගත කිරීම මම තරයේ හෙලාදකිමි.

ඔහු ව ආරක්ෂා කරමින් විමුක්ත කරගැනීම පිනිස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය ගෙන යන ක්‍රියාමාර්ගයට මම මගේ සම්පූර්න සහයෝගය පලකරමි.

නිර්භීත ලෙස සත්‍යය හෙලිදරවු කිරීම නිසා අසාන්ජ් සිරගත කිරීම, ධනවාදය යටතේ මෑත දී මාධ්‍ය නිදහසට එල්ල කරන පහරකි.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අසාන්ජ්ගේ ක්‍රියාවන්ට සහයෝගය දෙමින් හා ඒවා ආරක්ෂා කරමින්, ලෝක කම්කරු පන්තිය සමග එක්ව, කම්කරු පන්තියේ සියලු සමාජීය හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සඳහා අපි සටන් වදින්නෙමු.

Loading