ජෛව විවිධත්වයේ විනාශකාරී ඛාදනයට එරෙහි එක්සත් ජාතීන්ගේ නවතම සැලැස්ම -තව තවත් හිස් නිසරු කියමන්

‍මෙම ලිපිය 2020 මාර්තු 1 දා ඉංග්‍රීසි බසින් පලකෙරිනි.

වලක්වනු නොලැබුවහොත්, පෘථිවිගෝලය මානව සංහතියේ වාසයට නුසුදුසු තැනක් බවට පත්කරන්නා වූ හයවන මහා පරිමාන වඳ වීයාමේ තර්ජනයට දැන් ග්‍රහලෝකය මුහුන දෙයි. එහෙත්, විවිධාකාර ස්වාභාවික ක්රියාවලීන් විසින් ඇති කරන ලද මින් පෙර සිදු වූ වඳ වී යාම් පහෙන් වෙනස් ව, අද දිනයේ තර්ජනයක් ව පවතින ව්යසනය, මානවයා විසින් සිදුකරන ලද දේශගුනික විපර්යාස හා ධනේශ්වර පද්ධතියේ අතාර්කිකත්වය මගින් ජනනය කරන ලද දේශගුන විපර්යාසයන් සහ අනෙකුත් වර්ගවල පාරිසරික විනාශයන් හේතුවෙන් පැනනංවා තිබෙන අතර, අපට නැවැත්විය හැකි සීමාව ඇතුලත පවතී.

එලඹෙන දශක කිහිපය පුරා ආසන්න වසයෙන් පැලෑටි හා සත්ත්ව විශේෂ මිලියනයක් පමන වඳ වී යාමේ තර්ජනයට මුහුන පාන බව, ජෛව-විවිධත්වය හා පාරිසරික පද්ධති සේවා පිලිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර්-රාජ්‍ය විද්‍යා-ප්‍රතිපත්ති ප්‍රකාශනය (අයිපීබීඊඑස්) පසුගිය වසරේ තක්සේරු කලේ ය. දැනටමත්, ජීවී විශේෂයන් වඳ වී යාමේ ගෝලීය ශීඝ්‍රතාව, පසුගිය වසර මිලියන 10හි සාමාන්‍ය අගයට වඩා අවම වසයෙන් දහස් ගුනයකින් වත් ඉහල ය.

දේශගුනික විපර්යාස විසින් ජනනය කරන ලද ඕස්ට්‍රේලියාවේ මෙන් ම ඉන්දුනීසියාවේ, පෘතුගාලයේ, කැලිෆෝනියාවේ හා ආක්ටික්හි විනාශකාරී ලැව්ගිනි ඇතුලු මෑතකාලීන ආන්තික කාලගුනික සිද්ධි ප්‍රදර්ශනය කරන්නේ, මානවයා ගැන සඳහන් නො කල ද ශාඛ හා සත්ත්වයන්ගේ සමස්ත ප්‍රජාවන් බරපතල අන්තරායකට මුහුන පා සිටින බව ය. මෙවර ලැව් ගිනි සමයේදී මේ දක්වා ඕස්ට්‍රේලියාවේ සත්ත්වයන් බිලියනයකට අධික සංඛ්‍යාවක් මියගොස්, තවත් බොහෝ සත්ත්වයන් තුවාල ලැබ හෝ ආහාර හා ජලය නොමැති කමින් පීඩා විඳින බව ඇස්තමේන්තු තුලින් පෙන්වා දෙයි.

කාර්මීකරන කාලසීමාවේ දී, පෘථිවියේ ඉඩම්වලින් සියයට 75ක් ද සාගර පාරිසරික පද්ධතිවලින් සියයට 66ක් ද මානව ක්‍රියාකාරීත්වය විසින් වෙනස් කරනු ලැබ ඇත. පසුගිය වසර 250 පුරා ශාඛ විශේෂ 600ක් පමන වඳ වී යාමට තල්ලු කර ඇතැයි තක්සේරු කෙරේ.

ජීවවිද්‍යාත්මක විවිධත්වය පිලිබඳ සම්මුතියේ කෘත්‍යාධිකාරී කන්ඩායම විසින්, 2020ට පසු ගෝලීය ජෛව-විවිධත්ව රාමුවේ ආරම්භක ලේඛනය යන නමින් පෙබරවාරි 24දා චීනයේ කුන්මිංහි දී පවත්වන පස්දින සමුලුව සඳහා සූදානම් කරන ලද ලේඛනයක්, එලඹෙන අර්බුදයට ආමන්ත්‍රනය කිරීම සඳහා යෝජිත සැලසුමක ආරම්භක වාර්තාවක් ලෙස ඉදිරිපත් කරයි. වඳ වී යාමේ තර්ජනයට මුහුන පා සිටින ශාඛ හා සත්ත්ව විශේෂයන්ට ජීවත් විය හැකි ප්‍රදේශ සම්පාදනය කිරීමට  ග්‍රහලෝකයෙන්  ආසන්න වසයෙන් තුනෙන් පංගුවක් සුරක්ෂිත නො කලොත් සහ දූෂනය අඩකින් කපා නො හැරිය හොත් මහා පරිමාන වඳ වී යාම නො වැලැක්විය හැකි බවට එය අනතුරු අඟවයි.

මෙම අර්බුදය වැලැක්වීමට “ආර්ථික, සමාජීය, දේශපාලනික හා තාක්ෂනික සාධකවල පරිවර්තනීය වෙනස්කම්” අවශ්‍ය බව යෝජිත සැලසුම අවධාරනය කරයි. “මානව යහපත හා සෞඛ්‍ය සම්පන්න ග්‍රහලොවක් සඳහා ජෛව-විවිධත්වය හා එමගින් සම්පාදනය කරන ප්‍රතිලාභ මූලික වේ” යැයි ප්‍රකාශ කිරීම දක්වා එය ඉදිරියට යයි. එහෙත්, “දැනට පවතින උත්සාහයන් නො තකා, ලොව පුරා ජෛව-විවිධත්වය ඛාදනය වෙමින් පවතින අතර, සාමාන්‍ය පරිදි කටයුතු කරන සිදුවීම් යටතේ මෙම ඛාදනය අඛන්ඩ ව පවතී හෝ වඩාත් ගැඹුරු විය හැකි බව ප්‍රක්ෂේපනය කරනු ලැබේ.” ඊලඟ දශකය පුරා ජෛව-විවිධත්වය ස්ථාවර කිරීමේ හා ශතවර්ෂය මැද වන විට පාරිසරික පද්ධතිවලට ප්‍රකෘතිමත් වීමට ඉඩදීමේ අරමුන සහිත ව, මෙම අර්බුදය පරාජය කිරීම සඳහා අවශ්‍ය “අභිමතාර්ථ හා ඉලක්ක” වර්ධනය සැලැස්මෙන් ඉලක්ක කෙරේ.

සැලසුම ඉලක්ක 20ක් හඳුනාගනී. ඒවා අතර:

· පලිබෝධ නාශක, ප්ලාස්ටික් අපද්‍රව්‍ය හා අධික පෝෂක ද්‍රව්‍ය හේතුවෙන් දූෂනය අවම වසයෙන් සියයට 50කින් කපාහැරීම

· අවම වසයෙන් සියයට 10ක් වත් “දැඩි ආරක්ෂාව” යටතට පත්කරමින්, 2030 වන විට අවම වසයෙන් ඉඩම්වලින් සියයට 30ක් වත් ආවරනය කරමින් ජෛව-විවිධත්වය වැදගත් වන අඩවිවලට ආරක්ෂිත තත්ත්වය සම්පාදනය කිරීම

· තිරසර කෘෂිකර්මාන්තය දිරිමත් කිරීම

ආදිය අඩංගු වේ.

පසුගිය දශක කිහිපය පුරා, දේශගුනික විපර්යාසයේ හා මානවයන් විසින් ජනිත කරන අනෙකුත් පාරිසරික විනාශයන්ගේ බලපෑම් වඩ වඩා පාරදෘෂ්‍ය වී ඇති හා විද්‍යාත්මක ප්‍රජාව අතර තහවුරු වුනු කරුනක් වෙද්දී, ගෝලීය පාරිසරික විනාශයක් වැලැක්වීමට අවශ්‍ය “පරිවර්තනීය වෙනස්කම්වලට” සමීප වන කිසිවක් කිරීම කෙරෙහි පවතින අත්‍යන්ත නො හැකියාව ධනපති ක්‍රමය විසින් ප්‍රදර්ශනය කර තිබේ. දැන් යෝජනා කරනු ලබන සැලසුමට සමාන සැලසුමක් -2011-2020 ජෛව-විවිධත්වය සඳහා වන මූලෝපායික සැලසුම- 2010 දී ජපානයේ පැවති සමුලුවක දී සූත්‍රගත කර තිබුනි. අනාවැකි පල කල හැකි ලෙස ම එහි අරමුනු කරා ලඟා නො වූ අතර, සදා ඉහල යන ශීඝ්‍රතාවකින් කොන්දේසි දිගට ම ඛාදනය වේ.

තත්ත්වය භයානක ය. ප්‍රමානවත්, ලෝක පරිමාන, සම්බන්ධීකෘත ක්‍රියාවකින් තොර ව ගෙවී යන සෑම වසරක් ම පෘථිවිය ආපසු හැරවිය නො හැකි විනාශය කරා සමීප කරයි. විද්‍යාඥායින් අනතුරු අඟවා ඇත්තේ නිශ්චිත අවස්ථාවකදී ගෝලීය උෂ්නතවය “අවසන් ලක්ෂ්‍යයක්” කරා ලඟා වනු ඇති බවයි.ඉන් පසුව පාරිසරික ඛාදනය එය විසින් ම යලි ක්‍රියාත්මක වෙමින්, උෂ්නත්වය වැඩි කිරීමට හේතුවන චක්‍රයක් ක්‍රියාත්මක වී පරිසරය ස්ථාවර කිරීම පිනිස අනාගතයේ ගනු ලබන උත්සාහයන් අසීරු හෝ කල නො හැක්කක් බවට පත්කෙරෙනු ඇත. වැඩිකල් යන්නට මත්තෙන් මෙම අවසන් ලක්ෂ්‍යය කරා ලඟා වනු ඇත.

පසුගිය වසරේ නේචර් සඟරාවේ (23 ජනවාරි 2019) ලකල ජාත්‍යන්තර විද්‍යාඥයන් කන්ඩායමක් විසින් සිදුකල අධ්‍යයනයකින් ප්‍රක්ෂේපනය කරන්නේ, 2060 වන විට මානවයා විසින් නිෂ්පාදනය කරන කාබන් ඩයොක්සයිඩ් උරාගැනීමට ග්‍රහලෝකයට පවතින හැකියාව ඛාදනය වීම ඇරඹෙනු ඇති බවයි. දැනට ම ක්‍රියාත්මක පාරිසරික බලපෑම් සංකීර්න කරමින් එය ගෝලීය උෂ්නත්වයේ වේගය විශාල ලෙස ඉහල දමනු ඇත.

එක්සත් ජාතීන්ගේ ජීවවිද්‍යාත්මක විවිධත්වය පිලිබඳ සම්මුතියේ වැඩබලන විධායක ලේකම් එලිසබෙත් මාරුමා රෙමා කියූ පරිදි, 2020 තවත් “සම්මේලනවල වසරක්” නො විය යුතු ය. එහෙත් එය එවන් වසරක් විය හැකි ය. 2020ට පසු ගෝලීය ජෛව-විවිධත්ව රාමුවේ ආරම්භක ලේඛනය ප්‍රමානවත් නැතැයි ඇය විසින් විවේචනය කර තිබේ. “2050 වන විට පාරිසරික පද්ධති නඩත්තු කරගනිමින්, සෞඛ්‍ය සම්පන්න ග්‍රහලෝකයක් සුනිත්‍ය කරගනිමින් හා සියලු ජනයාට අත්‍යවශ්‍ය ප්‍රතිලාභ ලබාදෙමින් ජෛව-විවිධත්වය අගය කොට සලකමින්, සුරක්ෂා කරමින්, පුනස්ථාපනය කොට ඥානාන්විත ව යොදාගනු ඇත” යන්න එහි “දැක්ම” යි. එය, යථාර්ථයේ දී ක්‍රියාත්මක කිරීමට හෝ බලාත්මක කිරීමට යාන්ත්‍රනයක් නොමැති තවත් හිස් වචන සමූහයක් පමනි.

ඉතා මෑත දී අවසන් වූ ඩාවෝස් ලෝක ආර්ථික සමුලුවේ දී, ලෝකය මුහුන දෙන තෙවන වඩාත් ම අන්තරායකාරී දෙය ලෙස ලැයිස්තුගත කරන ලද්දේ ජෛව-විවිධත්වයට හානි වීම යි. යලිත් අපේක්ෂා කල පරිදි ම කතාකිරීම හැර වෙන දෙයක් නො වී ය. “කොටස්කරුවන්ගේ වටිනාකම උපරිම කිරීමේ” ධාවනය අන් සියලු උත්සුකයන් අභිබවා යයි.

මානව පැවැත්ම රඳා පවතින්නේ, සජීවී හා අජීවී සංරචක අතර සංකීර්න, ගතික  අන්තර්ක්‍රියාවක නිෂ්පාදිතය වන හුස්ම ගත හැකි වාතය, පානය කල හැකි ජලය හා ප්‍රමානවත් ආහාර සැපයුම වැනි “පාරිසරික පද්ධති සේවා” මත යි. අනාවැකි පලකල හැකි අනාගතයක් තුල මේවා විස්ථාපනය කරනු ලැබිය නො හැක. එක් උදාහරනයක් දෙතොත්, මානවයන් රඳා සිටින කෘෂිකාර්මික බෝගවලින් සැලකිය යුතු සංඛ්‍යාවක්, ප්‍රමුඛ වසයෙන් කෘමීන් හා කුරුල්ලන් ඇතුලු සත්ත්වයන් විසින් පරාගනය කරනු ලැබේ.

මානවයන් විසින් පරිභෝජනය කරන ප්‍රධාන ගෝලීය බෝග 115න් 87ක් ම යම් ප්‍රමානයකට සත්ත්ව පරාගනය මත රැඳී තිබේ. කුරුලු විශේෂ 2,000ක් හා වන මිමැසි විශේෂ 20,000ක් මෙම පරාගධානිකයන්ට අයත් වන අතර, එම විශේෂ බෝග පැතිරී යාමට මූලික වේ. නිරන්තරයෙන්, පැලෑටිය හා පරාගධානිකයා අතර සබඳතාවන් සුවිශේෂී ය. මෙම සංවේදී පද්ධතිය භයානක අන්තරායක පවතී.

1970 පටන් සෑම කුරුල්ලන් හතර දෙනෙකුගෙන් ම එක් කුරුල්ලෙක් -එනම්, බිලියන 3ක්- එක්සත් ජනපදය හා කැනඩාව විසින් අහිමි කරගත් බව කෝනෙල් විශ්ව විද්යාලය මෑත දී කල අධ්‍යයනයක් මගින් සොයාගත්තේ ය. දේශගුන වෙනස හේතුවෙන් ඕඩියුබන් සමාජය අධ්‍යයනයක් කල කුරුලු වර්ග 604න් 389ක් උතුරු ඇමරිකාවට අහිමි විය හැකි බව එම සමාජය වාර්තා කලේ ය. ඕඩියුබන් සමාජයට අනුව උෂ්නත්ව නැග්ම සෙන්ටිග්‍රේඩ්අංශක 1.5 කට සීමා කිරීම මගින් කුරුලු විශේෂ 148ක් ආරක්ෂා කරගත හැකි ය. 2016 දී පලකල එක්සත් ජාතීන්ගේ වාර්තාවක්, මීමැස්සන් හා සමනලුන් විශේෂවලින් අවම වසයෙන් සියයට 9ක් අනතුරුදායක තත්ත්වයේ සිටිතියි තක්සේරු කලේ ය.

පෙර නුවූ විරූ පරිමානයකින් හා බහුලත්වයකින් යුතු ව දැන් අත්දකින්නට ලැබෙන, බරපතල ක්‍රියාමාර්ගයක් නො ගත හොත් එලඹෙන අවුරුදුවල දී වඩාත් නරක අතට හැරීමට නියමිත, නියං, ලැව්ගිනි, ගංවතුර හා දේශගුනය මගින් ජනනය කරන අනෙකුත් විනාශයන් විසින් සංකීර්න පරිසර පද්ධති මත ඇති කරන ඍනාත්මක බලපෑම්, අදාල ආසන්නතම සිද්ධිය අවසන් වූ පසු ඒමට ශාඛවලට හා සත්ත්වයන්ට යථා තත්වයට පැමිනීම වඩ වඩා දුෂ්කර කරයි. ජීවී විශේෂයන් වඳ වී යාමේ බලපෑම, ජීව විද්‍යාත්මක ප්‍රජාවක සරල විවිධත්වයේ අඩුවීමට වඩා බොහෝ දුර ගමන් කරයි. ඕනෑම දී ඇති පරිසර පද්ධතියක් තුල විශේෂයන් අතර අතිසංකීර්න හා ගතික අන්තර්-ක්‍රියා ජාලය සහස්‍ර ගනනක් පුරා පරිනාමය වී ඇත. වැඩිවන ජීවී විශේෂ සංඛ්‍යාවන් අහිමි වී යද්දී, සමස්ත පද්ධතියේ බිඳී යාමේ හැකියාව ඉහල යන්නේ, අවසානයේ ආපසු හැරවිය නො හැකි බිඳ වැටීමක ලක්ෂ්‍යය කරා ලඟා වෙමිනි. සරල ව පවසතොත්, පුටුවකින් එක් කකුලක් ඉවත් කරන්න, එයට තවමත් ඍජු ව සිටිය හැකි වන්නට පුලුවන. කකුල් දෙකක් ඉවත් කරන්න, එය ඇදවැටෙනු ඇත.

ගැටලුව වන්නේ මෙම අර්බුදය වැලැක්වීමට මානවයා සතුව උපක්‍රම නැති කම නො වේ. ලෝකයේ මහජනයා තත්ත්වය පිලිබඳ ව නො දැන සිටීම ද නො වේ. ඕස්ට්‍රේලියාවේ දැනට පවතින ලැව්ගිනි, දේශපාලන සංස්ථාපිතයට විරුද්ධ ව මහජන කෝපය ජනනය කර තිබෙන්නේ, එවිසින්, විශේෂයෙන් ම ෆොසිල ඉන්ධන කර්මාන්තය ඇතුලු මහ ව්‍යාපාරවල අභිවෘද්ධිය තකා දේශගුන විපර්යාස නො තකා හැරීම නිසාය.එක්සත් ජනපදය ගත් කල, යේල් විශ්ව විද්‍යාලය විසින් මෑත දී කල පර්යේෂනයකින් සොයා ගැනුනේ, මත විමසනු ලැබූවන්ගෙන් බහුතරය දේශගුන වෙනස ගැන “උත්සුක වන බව” හෝ එයින් “තැති ගැන්වී” ඇති බවයි. සංඛ්‍යා ලේඛන තුලින් වාර්තා කෙරෙන්නේ එම තැති ගැන්වීම් පසුගිය වසර පහ තුල තෙගුන වී ඇති බවයි.

දේශගුන වෙනසේ හා පාරිසරික දූෂනයේ හේතු දශක ගනනාවක් තිස්සේ මිනිසා දැන සිටියේය. 1988 පටන් ලෝකයේ හරිතාගාර වායු විමෝචනයන්ගෙන් සියයට 70කට වඩා උපද්දා ඇත්තේ සමාගම් 100ක් විසින් පමනි. සාගරයන් තුල ප්ලාස්ටික් දූෂනයෙන් බහුතරය සඳහා වගකිව යුතු වන්නේ සංගත 20ක් පමනි.

ව්‍යසනය අනිවාර්ය නැත. ඒවා යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය තාක්ෂනික, ආර්ථික හා සමාජීය යාන්ත්‍රනයන් පවතී. නව උපකරන අනවරත ව වර්ධනය කරනු ලැබෙමින් තිබේ. මිලිටරිය වෙනුවෙන් හා ධනපති ප්‍රභූවේ නින්දිත ධනවත්වීම උදෙසා නාස්ති කරනු ලැබෙමින් තිබෙන මහ පරිමාන සම්පත්, ෆොසිල ඉන්ධන පුනර්ජනනීය බලශක්තිය මගින් විස්ථාපනය කිරීම හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරනය කල හැකි ඇසුරුම් ද්‍රව්‍ය මගින් විස්ථාපනය කිරීම වැනි හදිසි කර්තව්‍යයන් සහ තවත් එවැනි දේ වෙනුවෙන් යොමු කල හැකිය. එහෙත්, ලෝක ආර්ථිකය එකිනෙකා සමග තරඟ කරන සංගත හා ජාතික රාජ්‍යවලට බෙදී යමින්, ඔවුන්ගේ ම ක්ෂනික පුද්ගලික අවශ්‍යතා මත පමනක් සම්පූර්නයෙන් ම මෙහෙයැවෙන ජනගහනයේ තුනී සුලුතරයක් විසින් පාලනය කරනු ලබන තාක් කල්, පාරිසරික ව්‍යසනයක් කරා ඇදී යන වර්තමාන විනාශකාරී ගමන් මාවතට අර්ථවත් වෙනසක් නො තිබෙනු ඇත.

Loading