මිලිටරිය බලමුලුගන්වමින් හා මූල්‍ය ප්‍රභූවට ආධාර දෙමින් ශ්‍රී ලංකාවේ ආන්ඩුව කොරෝනා වෛරසයට ප්‍රතිචාර දක්වයි

මෙම ලිපිය 2020 මාර්තු 18 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යද්දී, නිසි පහසුකම් නැතිකම හා රැකියා සහ ජීවන තත්වයන් මත ඇතිවන බලපෑම කෙරෙහි මහජනයා අතර කනස්සල්ල වැඩෙමින් පවතී. 

මාර්තු 16දා සවස ආන්ඩුවේ බලධාරීන් නිවේදනය කලේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 43ක් හඳුනාගෙන තිබුනු බව යි. තවත් 212ක් පමන රෝහල් කිහිපයක අධීක්ෂනය යටතේ තබා ඇති අතර, 4,000කට වැඩි දෙනෙක් නිරෝධායනය යටතේ පසුවෙති.

ශ්‍රී ලංකාව දැන් පාර්ශ්වීය වසයෙන් වසා දමන ලද තත්ත්වයකට මුහුන දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, සෞඛ්‍ය හා පරිපාලන සේවා හැර රාජ්‍ය අංශයේ අනෙකුත් සේවාවන්ට මාර්තු 16දා පටන් මේ සතියේ දින හතරක් නිවාඩු දී ඇත. එම තීන්දුව ක්‍රියාවට දමන ලෙස ආන්ඩුව පුද්ගලික අංශයේ ව්‍යාපාරවලින් ද ඉල්ලා සිටියේ ය. සියලු අධ්‍යාපන ආයතන ද මාසයකට වැඩි කලක් වසා තැබෙනු ඇත.

රට තුලට එන සියලු ගුවන් ගමන්වලට මාර්තු 17දා තහනමක් පනවන ලද්දේ, යුරෝපීය රටවල් 13කින් හා දකුනු කොරියාව ඇතුලු සමහර ආසියානු රටවලින් එන ගුවන් ගමන් අවලංගු කිරීමට කලින් ගත් තීන්දුව පලල් කරමිනි. කෙටි-දුර දුම්රිය සේවා 80ක් පමන නවත්වනු ලැබ ඇති අතර, කොලඹ මහ නගර සභාව මාර්තු 17දා උද්‍යාන, සායන, ක්‍රීඩා පිට්ටනි හා පුස්තකාල සති දෙකකට වසා දැමුවේ ය. 

නිරෝධායන මධ්‍යස්ථාන අධීක්ෂනය කිරීම සඳහා ආන්ඩුව මිලිටරිය බලමුලුගැන්වීමේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී තීන්දුවක් ගෙන තිබේ. ජනාධිපති රාජපක්ෂ කොවිඩ්-19 (කොරෝනා) පැතිර යාම වැලැක්වීම සඳහා "ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය" මාර්තු 17දා ස්ථාපනය කලේ  ය. එය පවතින්නේ වෛද්‍ය විශේෂඥයන් යටතේ නො ව, යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යටතේ ය. “සාමාන්‍ය මහජනයාට සේවය සැපයීම සඳහා සෞඛ්‍යාරක්ෂනය හා අනෙකුත් සේවාවන් ඉතා හොඳින් සූදානම් ව තබන බව තහවුරු කිරීමට නිවාරක හා කලමනාකරනීය පියවරයන් ගැනීම මෙමගින් සම්බන්ධීකරනය කරනු ඇත” යි ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් කියා සිටියේ ය.

ගුවන් තොටුපොලවල්, දුම්රිය, බස් රථ සනීපාරක්ෂනය කරන්නා වූ හා ක්ෂනික නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනය කරන්නා වූ සෞඛ්‍ය කම්කරුවන්ගේ හා සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ ඡායාරූප ඇතුලු ප්‍රචාරන ද්‍රව්‍ය  ආන්ඩුව මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එහෙත් නිරෝධායනය යටතේ පසුවන ජනයා සොයාගැනීම පැවරී ඇති අය වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, තාපජ පරිලෝකන ඇතුලු අත්‍යවශ්‍ය උපකරන හිඟයක් පවතින බවටත් තත්වය පාලනය කරගැනීම අසීරු බවටත් පැමිනිලි කොට ඇත.

අනුප්‍රාප්තික ආන්ඩු විසින් කිසිසේත් ම ප්‍රමානවත් නොවන අයවැය ප්‍රතිපාදන වෙන්කිරීමේ ප්‍රතිපලයක් ලෙස ගරාවැටී තිබෙන නිදහස් සෞඛ්‍ය පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට අරමුදල් වැඩියෙන් වෙන් කරන බවට නම් රාජපක්ෂ ආන්ඩුව කිසිදු නිවේදනයක් කර නැත. ඒ වෙනුවට ආන්ඩුව යුහුසුලු වී ඇත්තේ මහ ව්‍යාපාරිකයට හා ජාත්‍යන්තර ආයෝජකයන්ට පිටුබලය දීමට යි.

“වර්ධනය වෙමින් පවතින තත්ත්වයෙන් පැන නගින ඕනෑම බලපෑමකට මුහුනදීමට අවශ්‍ය ද්‍රවශීලතාව මූල්‍ය වෙලඳපොලට සම්පාදනය කරන බවට සහතික” වන ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුව මාර්තු 16දා නිකුත් කලේ ය. එම ප්‍රකාශය නිකුත් කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ සියලු කොටස් මිල දර්ශකය වසර අටකට පසු 4,874 අගයක් දක්වා අංක 145කින් ඇදවැටීමෙන් අනතුරු ව ය. කොලඹ කුඩා කොටස් වෙලඳපොල මේ සතියේ මුල් දින දෙකෙහි වසා තැබුනි.

තැන්පතු පොලී අනුපාතය පදනම් ලක්ෂ්‍ය 25කින් සියයට 6.25ට ද ව්‍යවස්ථාපිත රක්ෂන අනුපාතය පදනම් ලක්ෂ්‍ය 100කින් සියයට 4ට ද මහ බැංකුව විසින් කපාහැරියේ කොටස් වෙලඳපොල මූල්‍ය සම්පාදකයන්ට නය ලබාගැනීම පහසු කිරීමට යි.

මහ බැංකුවේ අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මෙසේ අනතුරු ඇඟවී ය: “වසංගතයේ පැතිර යාම හේතුවෙන් විවිධ මාවත් හරහා 2020 වසරේ දේශීය ආර්ථික ක්‍රියාකාරීත්වයට දිගට ම බලපෑම් එල්ල වී ඇති බව වඩ වඩා පැහැදිලි වෙමින් තිබෙනවා.”

ගෝලීය ආර්ථිකයේ වර්ධනය 2020 දී අඩුවනු ඇතැයි අපේක්ෂා කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් එය අවපාතයක් දෙසට ගමන් කරමින් තිබෙන බව  පවසයි. නය කන්දක ගිලී තිබෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම අර්බුදයේ ගොදුරක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ “ආර්ථිකයට බරපතල පහරක් එල්ල වී තිබෙනවා. සංචාරක කර්මාන්තය ඉන් විශේෂ යි. මේ තත්ත්වය අපේ අපනයනයන්ට අවාසිදායක ලෙස බලපානවා” යි මාර්තු 15දා පැවති දකුනු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (සාක්) නායකයන්ගේ වීඩියෝ සමුලුවක් අමතමින් රාජපක්ෂ කීවේ ය.

සාක් රැස්වීම ඇමතූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනතාව “කලබල නො වී” තත්ත්වයට මුහුන දීමට “සූදානම් විය යුතුයි" යනුවෙන් අවවාද කලේය. ඒ අතර ම වසංගතයට එරෙහි ව සටන් කිරීම පිනිස සාක් රටවලට ඩොලර් මිලියන 10ක සොච්චමක් දෙන බව ඔහු නිවේදනය කලේ ය. අනෙක් සාක් නායකයන්ගේ ආකල්පය ද ඊට වෙනස් නො වී ය. කොරෝනා වෛරසය සමග සටන් කිරීමට කිසිදු අලුතින් අරමුදල්  සම්පාදනය කිරීමට ඔවුන්ගෙන් කිසිවෙක් ඉදිරිපත් නොවූහ. 

වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන මූල්‍යමය හානි ඩොලර් බිලියන 9.1ත් 18.2ත් අතර හෙවත් දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 10-20 අතර වනු ඇති බව පෙන්නුම් කල භාන්ඩාගාරයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකුගේ විශ්ලේෂනයක් සන්ඩේ ටයිම්ස් පත්‍රය උපුටා දැක්වීය..

ඇඟලුම්, රබර් නිෂ්පාදන, තේ, කුලු බඩු හා මාලු යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන, යුරෝපා සංගමය, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වෙත යවනු ලබන අතර, එම රටවල් සියල්ලට වසංගතය දරුනු ලෙස බලපා ඇත. තේවලින් ලැබෙන ආදායමේ අඩුවීම ඇඟ කිලිපොලා යන මට්ටමකින් ඩොලර් මිලියන 520ක් වනු ඇතැයි තක්සේරු කෙරෙද්දී, ඇඟලුම් පහල යාම් ඩොලර් මිලියන 10ක් වෙතැයි පුරෝකථනය කරනු ලැබේ. ආරම්භක තක්සේරු කිරීම්වලට අනුව, වසරේ දෙවන කාර්තුව වන විට අපනයනයන්ගේ සමස්ත වැටීම ඩොලර් මිලියන 750ක් වීම නො වැලැක්විය හැකි ය.

ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදයේ ප්‍රධාන ලේකම් ටියුලි කුරේ සඳහන් කලේ මින් වඩාත් ම බලපෑමට ලක් වනු ඇත්තේ සුලු හා මධ්‍යම පරිමාන ඇඟලුම් අපනයනකරුවන් බව යි. “වැටුප් හා බෝනස් ගෙවීම ගැටලුවක් බවට පත් වන අතර, අප්‍රේල් මාසයේ එන අලුත් අවුරුදු නිවාඩුව නිසා අර්බුදය වඩාත් දරුනු වනු ඇත” යි ඔහු කීවේ ය. කර්මාන්තයට අවශ්‍ය බැංකු නය ලබාගැනීම සඳහා කුරේ ආන්ඩුවෙන් උපකාර ඉල්ලා සිටියේ ය.

පසුගිය වසරේ ඩොලර් බිලියන 6.7ක් වූ විදේශීය ගත කම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රේෂන මේ වසරේ දී වසංගතය නිසා ඩොලර් බිලියන 4 දක්වා ඇදවැටෙනු ඇතැයි  භාන්ඩාගාරය තක්සේරු කර තිබේ.

ශ්‍රී ලංකාවෙන් ගිය සංක්‍රමනික කම්කරුවන් දහස් ගනනක් ඉතාලියේ හා දකුනු කොරියාවේ සේවය කරන අතර, එම රටවල් දෙක දරුනු ම බලපෑමට ලක්වූ රටවල් අතරට අයත් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශීය ප්‍රේෂන කලාපය වන මැද පෙරදිග ද දරුනු ලෙස බලපෑමට ලක්ව තිබේ.

මේ වසරේ සංචාරක ආදායම් ඩොලර් බිලියන 1.5ක් හෙවත් 2018 වසරේ එම අංශයේ ඉපයීම්වලට සන්සන්දනාත්මක ව සියයට 30කින් ඇදවැටෙනු ඇතැයි තාවකාලික භාන්ඩාගාර තක්සේරු කිරීම් පෙන්වා දෙයි. “පැමිනීමෙන් පසු වීසා” ලබාදීම අවලංගු කිරීම සහ දකුනු කොරියාව, ඉරානය, කටාර් හා බහරේන් මත ද යුරෝපීය රටවල් 13ක් මත ද සංචාරක තහනම් පැනවීම දැනට මත් කර්මාන්තය මත බරපතල බලපෑමක් ඇතිකරමින් තිබේ.

මේ දක්වා වසංගතයේ ප්‍රධාන ගොදුරු වන්නේ සංචාරක ක්ෂේත්‍රයේ කම්කරුවන් ය. කොන්ත්‍රාත් හා තාවකාලික කම්කරුවන් රැකියාවන් අහිමි වීමට මුහුන දෙන අතර, ස්ථීර සේවකයෝ ඔවුන්ගේ ආදායම් තියුනු ලෙස අඩුවීමට මුහුන දෙති. “අපේ ප්‍රධාන උත්සුකය වන්නේ ස්ථීර කාර්ය මන්ඩලවලට වැටුප් ගෙවන්නේ කෙසේ ද යන්නයයි" සංචාරක හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත කීවේ ය.

සෞඛ්‍ය පහසුකම් හා රැකියා සුරක්ෂිතතාව නැති කම සමගින් එලඹෙන වැටුප් කප්පාදු නිසා බරපතල සමාජ අරගල පුපුරා යනු ඇතැයි මාධ්‍ය හා පාලක කව තුල භීතිය මතුවෙමින් තිබේ.

“කෝවිඩ්-19 නිසා සමාජ-දේශපාලනික පිපිරීම් මෙන් ම (ශ්‍රී ලංකාව තුල) අරාජිකත්වයක් මුදාහැරීමේ හැකියාව පවතිනවා” යයි දි අයිලන්ඩ් පත්‍රය මාර්තු 12 කතුවැකිය අනතුරු ඇඟවී ය.ඉතාලියේ බන්ධනාගාරවල මෑත කැරලි ගැන සඳහන් කල එය අත්‍යවශ්‍ය භාන්ඩවල හිඟයන් නිසා “වැසූ නගරවල වීදි සටන් ඇතිවීම නො තකා හල නොහැකි කරුනකි” යි සඳහන් කලේය.

Loading