කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී නොතැකීම සහ විපක්ෂයේ නරුම ප්‍රතිචාරය

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ උදාසීනත්වය සහ සාපරාධී නොතැකීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුල කොරෝනා වසංගතයේ පරිමාව සහ බලපෑම තීව්‍ර වෙමින් පවතී. ඊයේ වන විට රට තුල ආසාදිතයන්ගේ සංඛ්‍යාව 77 ඉක්මවූ බව නිල වාර්තාවන් පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වෛරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ද ඇතුලු අග්නිදිග ආසියානු රටවල්, වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීමට දැනට වඩා “දැඩි ක්‍රියා මාර්ග ඉතා ඉක්මනින් ගතයුතු” බවයි. 

නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම්කොට ඇති රජයේ රෝහල් වල සහ හමුදා කඳවුරු තුල ඇති පහසුකම් කිසිසේත්ම ප්‍රමානවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාර්තු 13 වනදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේය. 

අතිවිශාල කාලයක් අහිමිව ඇතත් හදිසි සහ ක්‍රමවත් ප්‍රතිචාර මගින් වසංගතයේ බලපෑම හා ප්‍රමානය පාලනය කල හැකිය. එය කල හැක්කේ වෛරසය පැතිරීම හැකි ඉක්මනින් පාලනය කිරීමෙන් සහ  රෝගීන් ලෙස හඳුනාගත් සියලු දෙනාට හදිසි සහ නිසි ප්‍රතිකාර නොමිලේ ලබා දීමට පියවර ගැනීමෙනි. කවර හෝ බාධාවකින් තොරව,  කොරෝනා පරීක්ෂාව සඳහා ප්‍රවේශවීමේ හැකියාව සම්පාදනය කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වෙයි. 

මේ සියලු කටයුතු සඳහා ආන්ඩුව විසින් අතිමහත් ධන ස්කන්ධයක් වහාම යෙදවියයුතු වෙයි. නමුත් රාජපක්ෂ ආන්ඩුවේ භාවිතාව මගින් නැවත නැවතත් ප්‍රකාශයට පත් වන්නේ එවන් දැවැන්ත කාර්යයකට    ප්‍රමානවත් මූල්‍ය ප්‍රතිපාදනයකට එය කිසිසේත්ම නුසූදානම් බවයි. 

මාර්තු 19 දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ, ඊට පෙරදින පැවති කැබිනටි මන්ඩල රැස්වීමේදී කොරෝනා වසංගතය මැඩීම සඳහා ආන්ඩුව රුපියල් මිලියන 500 ක් පමනක් වෙන්කල බවයි. අභිමුඛව ඇති දැවැන්ත අභියෝගයට අලගු තැබීමටවත් මෙවන් සොච්චමක්  ප්‍රමානවත් නොවේ. 

ලක්ෂ සංඛ්‍යාත මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් සාපරාධී ලෙස නොතකා සිටින ආන්ඩුව, වසංගතයෙන් මූල්‍ය ප්‍රභූවට වන හානිය පිලිබඳව දැඩි උත්සුකයක් දක්වයි. මූල්‍ය සමපේක්ෂකයන්ට නය ලබා ගැනීම පහසුවන සේ ආන්ඩුව, තැන්පතු පොලී අනුපාතය සියයට 6.25 ට ද, ව්‍යවස්ථාපිත රක්ෂන අනුපාතය සියයට 4 ට ද කපාහැරියේ ය. 

වසංගතය සම්බන්ධයෙන් ධනපති විපක්ෂයන්ගේ ප්‍රතිචාරය ආන්ඩුවේ ප්‍රතිචාරයට වෙනස් නොවේ. විපතටපත් මහජනතාව කෙරෙහි ව්‍යාජ ලෙස සානුකම්පී වන ඔවුහු ව්‍යසනය මැඩපැවැත්වීම සඳහා කවර හෝ සංයුක්ත වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකරති. 

වසංගතය කෙරෙහි ආන්ඩුවේ ප්‍රතිචාරය විපක්ෂ විසින් යම් දුරකට හෝ විවේචනය කරන්නේ ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය ගසාකමින් නුදුරේදී පැවැත්වීමට නියමිත මහමැතිවරනයේදී ඡන්ද ගරාගැනීමේ අරමුනෙන් හැර මහජනතාව කෙරෙහි ඇති උත්සුකයෙන් නොවන බව ඔවුනගේ ඉතිහාසය පෙන්වා දෙයි. 

මෙවන් වසංගත ව්‍යසනයකදී කෙසේ වෙතත්, සාමාන්‍ය කාලයකදී පවා කම්කරු-පීඩිත මහජනතාවට අවශ්‍ය අවම පහසුකම් හෝ සම්පාදනය කිරීමට නොහැකි වනසේ, මහජන සෞඛ්‍ය සේවය කප්පාදු කොට විනාශ කිරීම සම්බන්ධයෙන් ඔවුන් සියල්ලන්ම වගකිව යුතුය.

මහජන සෞඛ්‍යයට, මහජන අධ්‍යාපනයට සහ වෙනත් මහජන සේවාවන්ට යෙදවිය හැකිව තිබූ බිලියන සංඛ්‍යාත මුදල් වර්ගවාදී යුද්ධයට යෙදවීමේ සහ එම යුද්ධය මගින් සමස්ත සමාජය තුල මිලිටරියේ අධිකාරිත්වය පිහිටුවීමේ ප්‍රතිගාමී ක්‍රියාදාමයට, එම පක්ෂ සියල්ලම සම්මාදම්වූයේ අනුප්‍රාප්තික ආන්ඩුවල සෘජු හෝ වක්‍ර කොටස්කරුවන් ලෙසිනි.  

දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින රාජපක්ෂ ආන්ඩුවට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනවා ඇති කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීම සහ එම ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරුවන්, 

ගොවීන් සහ තරුනයන් රුදුරු ලෙස තලා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැත. ජනාධිපති රාජපක්ෂ බලයට පත්වී ගතවූ මාස කීපය තුල සමස්ත සමාජයම මිලිටරීකරනය කරමින් ආඥාදායක පාලනයක් දෙසට වේගයෙන් ගමන් කරමින් සිටින්නේ එබැවිනි. 

වසංගතය කෙරෙහි ආන්ඩුවේ සාපරාධී නොතැකීමට එරෙහිව වැඩෙන මහජන කෝපය, ගතවූ මාස කීපය තුල වැඩී ආ පන්ති අරගල රැල්ල සමග එක්වීමෙන් සමාජ ස්ඵෝටනයක් සිදු වෙතැයි ආන්ඩුව ගනන් බලයි. වසංගතය ආශ්‍රිත රාජ්‍ය මෙහෙයුම් සියල්ලේම අධිකාරිත්වය මිලිටරියට පැවරීමට ආන්ඩුව පියවර ගත්තේ එවන් ස්ඵෝටනයක් රුදුරු ලෙස තලා දැමීමේ අරමුනෙනි. 

මේ සම්බන්ධයෙන් ආන්ඩුව පමනක් නොව සමස්ත පාලක පන්තියම බියපත්ව සිටී. විශේෂයෙන්ම, පසුගිය ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වේගයෙන් වර්ධනය වූ පන්ති අරගල මාලාව මගින් නිර්මානය කෙරුනු බලගතු අර්බුදයෙන් එම තන්ත්‍රය දෙකඩ වූ අයුරු පිලිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සංවේදීය. 

වසංගතයේ “බලපෑම අවම කර ගත හැකි” ක්‍රම පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ එබැවිනි. 

මේ අතර, එජාපයෙන් භේද වූ ජාතික සමගි ජන බලවේගයේ (ජාසබ) නායක සජිත් ප්‍රේමදාස, මාර්තු 15 වන දා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් “නිහඬව සිටීම රජයේ බරපතල වැරැද්දක්” බව සහ වසංගතය මැඩීම සඳහා “සහයෝගය ලබා දීමට” තමන් සූදානම් බවයි.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මාර්තු 18 වන දා කැඳවූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජවිපෙ ද ඇතුලු  “සියලුදෙනා එකතුකරගත් පොදු වැඩපිලිවෙලක්” ක්‍රියාත්මක කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. 

“වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා සියලු පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින” බවත් ඒ සඳහා “පූර්න සහයෝගය”ලබාදෙන බවත් දෙමල ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පසුගිය දා මාධ්‍යයට පැවසීය. 

ධනපති පන්ති පාලනයට සහ ධනපති රාජ්‍යයට, කම්කරු-පීඩිත මහජනතාවගෙන් තීරනාත්මක අභියෝග එල්ල වන සෑම අවස්ථාවකම එම අභියෝගයන්ට මුහුනදීම සඳහා ධනපති පාලක පන්ති කොටස් එක්ව ඇති බව ජාතික සහ ජාත්‍යන්තර ඉතිහාසය සාක්ෂි දරයි. 

“සර්වපාක්ෂික” සමුලුවල සහ “සියලුදෙනා එකතුකරගත් පොදු වැඩපිලිවෙලවල්” හි අරමුන වනුයේ ධනපති පන්තියේ එවන් ඒකාබද්ධතාවයක් තුලින් කම්කරු-පීඩිත මහජනතාවට දැවැන්තම  ප්‍රහාරයක් එල්ල කිරීම හැර අන් කිසිවක් නොවේ. විපක්ෂයේ කවර හෝ කන්ඩායමක් ආන්ඩුවේ මිලිටරීකරන ක්‍රියාදාමය සම්බන්ධයෙන් සුලු විරුද්ධත්වයක් හෝ නොදක්වන්නේ එබැවිනි. 

ආන්ඩුව මෙන්ම විපක්ෂයන්ද උත්සුක වනුයේ මහජනතාව සම්බන්ධයෙන් නොව, ධනපති රාජ්‍යය මුහුන දී සිටින අර්බුදය සම්බන්ධයෙනි. බැංකු වලින් නය ලබාගත් පුද්ගලයින්ට නය සහන සීමාවක් ලබා දීමෙන් බැංකු මුහුනදෙන “අර්බුදය” සමහන් කිරීම සඳහා භාන්ඩාගාරයෙන් යම් මූල්‍ය ආධාරයක් බැංකු වලට සැපයිය යුතු බව ජවිපෙ ප්‍රධාන ලේකම් ඉහත මාධ්‍ය හමුවෙිදී පැවසීය. 

නමුත්, මිලියන සංඛ්‍යාත කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත කෙරෙහි සෘජුව බලපාන වසංගතය මැඩපැවැත්වීම සඳහා, භාන්ඩාගාරයෙන් දැවැන්ත පරිමානව මුදල් වෙන්කලයුතු බවට ජවිපෙ කිසි විටෙකත් යෝජනා නොකරයි. 

මෙම ධනපති පක්ෂ වලට එරෙහි බව කියාපාන ව්‍යාජ-වාම පක්ෂ මීට වෙනස් නැත. නිරෝධායනයට අවශ්‍ය සියලු පහසුකම් සපයන ලෙස ඉල්ලා “ආන්ඩුවට බල කල යුතු” බව, මාර්තු 16 දා පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.  

තමා මුහුන දී සිටින ඓතිහාසික අර්බුදය හේතුවෙන් කම්කරු-පීඩිත මහජනතාවගේ සියලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උදුරා ගනිමින් සිටින ධනපති ආන්ඩු වලට කන්නලව් කිරීමෙන් තමා මුහුන දෙන දුෂ්කර ජීවන සහ සේවා කොන්දේසි වලින් ද, කොරෝනා වසංගතය වැනි ව්‍යසනකාරී තත්වයන්ගෙන් ද, මිදිය හැකි වෙතැයි යන මිත්‍යාව පෙසප ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ නිරතුරුව වපුරති. 

කම්කරු පන්තියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් මගින් හැර ධනපති ආන්ඩු විසින් එල්ල කරන ප්‍රහාරයන් පරාජය කල නොහැක. ඒ සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙයි. 

මෙවර පාර්ලිමේන්තු මැතිවරනයට තරග වදින සමාජවාදී සමානතා පක්ෂයේ මැතිවරන ප්‍රකාශයේ සඳහන් වන පරිදි, “විනාශකාරී න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක අන්තරායට, වැඩෙන සමාජ අසමානතාවයට, පාරිසරික ව්‍යසනයන්ට සහ වෛරස් වසංගතය වැනි සෞඛ්‍ය ව්‍යසනයන්ට සහ ඒකාධිපතිත්වයට සහ ෆැසිස්ට්වාදයට මානව වර්ගයා මුහුන දී සිටීි. මේ සියල්ල ධනවාදය විසින් නිර්මානය කරන ලද ගෝලීය ගැටලු වන අතර ඒවාට ගෝලීය සමාජවාදී විසඳුම් අවශ්‍ය වේ”.

Loading