ඉදිරිදර්ශන

වසංගතයට එක්සත් ජනපද ධනවාදයේ ප්‍රතිචාරය: සෞඛ්‍ය රැකවරනය සඳහා කිසිවක් නැති නමුත් වෝල් වීදියට අසීමිත මුදල්

මෙම ලිපිය 2020 මාර්තු 16 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

සති අන්තයේ දී කොරෝනා වෛරස් වසංගතය ලෝක ජනගහනය සිසාරා අඛන්ඩව ඉහල  ගිය අතර ඉතාලියේ හා එක්සත් ජනපදයේ රෝගීන් සංඛ්‍යාව දෙගුනයක් වී, රටවල් 146 ක ආසාදන වාර්තා විය.

ඉරිදා ඉතාලිය විසින් නව රෝගීන් 3,590කු සහ නව මරන 175ක් නිවේදනය කල  අතර එක්සත් ජනපදයට නව රෝගීන් 834කු සහ නව මරන 12ක් එකතු විය. ලොව පුරා රෝගීන් සංඛ්‍යාව 170,000 ඉක්මවා ගියේ, 6,500 කට වැඩි පිරිසක් මිය යාම සමගිනි.

සති අන්තයේ දී, අසාත්මිකතා හා බෝවන රෝග පිලිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනි ෆෝසි අනතුරු ඇඟවූයේ එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් වසංගතයෙන් මියයාමට “හැකි” බව යි.

එක්සත් ජනපදයේ හා ලොව පුරා පෙර නො වූ විරූ පරිමානයේ ව්‍යසනයක් දිග හැරෙමින් තිබේ. අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට ආන්ඩු අසමත් වීමෙන්  වටිනා කාලය හා ජීවිත නැති භංග කෙරෙයි.

2020 මාර්තු 3 වන අඟහරුවාදා හොංකොං හි දේශීය බැංකුවකින් පිටත හොංකොං කොටස් දර්ශකය පෙන්වන විද්‍යුත් පුවරුවක් පසුකරමින් මිනිසුන් ගමන් කරයි. (AP ඡායාරූපය / කිං චියුන්ග්)

යුරෝපය හා ඇමරිකාව පුරා පනිවුඩය එක හා සමාන ය: රෝගීහූ රෝහල්වලින් හරවා යවනු ලැබේ. වසංගතය බැරෑරුම් ලෙස පාලනය කල  හැකි එකම ක්‍රමය වන වෛරසය සඳහා වන පරීක්ෂාව ඉල්ලන බොහෝ දෙනෙකුට එය ලබා ගත නො හැකි අතර, එක්සත් ජනපදයේ සිදු කර ඇත්තේ පරීක්ෂන 15,000 කට වඩා අඩු ප්‍රමානයකි.

රට පුරා සීඝ්‍රයෙන් පැතිරෙන සමාජ මාධ්‍ය ප්‍රකාශ සඳහන් කරන ආකාරයට, කොරෝනා වෛරස් පරීක්ෂාව සඳහා ආයාචනා කරන වෛද්‍යවරුන් හා රෝගීන් 22 දෙනෙකුට, ඔවුන් රෝගයට ගොදුරු වී ඇති බව තහවුරු වී ඇති කිසිවෙකු සමඟ සම්බන්ධ වී නැති නිසා ඔවුන්ව පරීක්ෂා කල  නො හැකි බව පවසා ඇත.

මාරාන්තික රෝගයට ගොදුරු වීම ගැන කනස්සල්ලෙන් ඔබ්බට, එක්සත් ජනපදයේ පවුල් මිලියන ගනනක් රට පුරා පාසල් වැසීම සමග තම දරුවන් රැක ගන්නේ කෙසේ ද, එසේ ම  ගබඩා රාක්ක හිස් කර තිබිය දී තම පවුල් පෝෂනය කරන්නේ කෙසේද යන්න ගැන කනස්සල්ලට පත්ව සිටිති.

වසංගතය උත්සන්න වෙද්දී, සති අන්තයේ සිදු වූ වර්ධනයන් දෙකක් අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ දී ධනේශ්වර පන්තියේ සැබෑ ප්‍රමුඛතාවය පැහැදිලි කලේ ය.

සිකුරාදා, කථානායිකා නැන්සි පෙලෝසි ව්‍යාජ ලෙස කියා සිටියේ, “සති දෙකක වැටුප් සහිත ලෙඩ නිවාඩු හා වෛරසයෙන් පීඩාවට පත් වූවන්ට වැටුප් සහිත වෛද්‍ය නිවාඩු ආරක්ෂා කරන” නීති සම්පාදනය කිරීම සඳහා කොංග්‍රසය නැත්නම් නියෝජිතයන් ඡන්දය දී ඇති බව යි.

ඇත්ත වශයෙන්ම, සුලු පනත් කෙටුම්පත කම්කරුවන්ගෙන් සියයට 80 ක් සඳහා කිසිවක් නොකරන අතර, විශාල සේවා යෝජකයින් මෙන් ම දුෂ්කරතා කියා සිටින කුඩා සමාගම්  නිදහස් කෙරේ. කොංග්‍රස් සාමාජිකයින් තර්ක කලේ වැටුප් සහිත අසනීප නිවාඩු අනුමත කිරීම රෝගී සේවකයින්ට නිවසේ රැඳී සිටීමට දිරිගැන්වීමක් වනු ඇති බව යි. නිශ්චිතව ම වැඩසටහනේ අරමුන එය යි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රෝගී ව වැඩට ගොස් තම සගයින් අනතුරේ හෙලීම හෝ තම පවුල්වලට කුසගින්නෙන් සිටීමට බල කිරීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට කම්කරුවන්ට බල කෙරෙනු ඇත.

මාරාන්තික වසංගතයෙන් තර්ජනයට ලක් වූ කම්කරුවන් වෙනුවෙන් කිසිවක් නොකරනු ඇත. එහෙත් බැංකුවලට ඇප ලබා දීම හා කොටස් වටිනාකම් ඉහල  නැංවීම සම්බන්ධයෙන් ගත් විට, ආන්ඩුව බලමුලු ගැන්වීමට කැමති සම්පත් වලට සීමාවක් නොමැත.

ෆෙඩරල් මහබැංකුව පොලී අනුපාත බිංදුවට අඩු කර ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා ප්‍රකාශ කලේ ය. “වෝල් වීදියේ විශාල පිරිසක් සතුටින් ඉන්න බව මම හිතනවා. මට හරිම සන්තෝසයි” ට්‍රම්ප් පැවසී ය.

මුල සිටම, සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය වෙනුවෙන් කතා කල  ට්‍රම්ප් ආන්ඩුව, වසංගතය මහජන සෞඛ්‍ය අර්බුදයක් ලෙස නොව මූල්‍ය කතිපයාධිකාරයේ ධනයට තර්ජනයක් ලෙස දකින බව පැහැදිලි කලේ ය.

ඒ සඳහා ධවල මන්දිරය හා ෆෙඩරල් මහබැංකුව වෝල් වීදියට ඵලදායී ලෙස අසීමිත අරමුදල් ලබා දී ඇති අතර, ඇත්ත වශයෙන්ම රෝගයට එරෙහිව සටන් කිරීමට හෝ රෝගාතුර වූ කම්කරුවන් සඳහා සම්පත් සැපයීමට කිසිවක් නො කරයි.

පොලී අනුපාත කප්පාදු කිරීමට අමතර ව, එය පෙර පැවති අනුපාත කපා හැරීමට වඩා වේගයෙන් පූර්න ප්‍රතිශතයක් ලෙස, ෆෙඩරල් මහබැංකුව සිය ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන නැවත ආරම්භ කරන බව නිවේදනය කලේ, අතිරේක ඩොලර් ට්‍රිලියන භාගයක් මූල්‍ය වෙලඳපොල ට පොම්ප කරමිනි.

මෙම පියවර මෙම මස මුල දී සියයට 0.5 ක අනුපාත කප්පාදුවකින් පසුව සිදු වූ අතර එය දින 10 කට පසුව බ්‍රහස්පතින්දා මූල්‍ය වෙලඳපොලවලට ඩොලර් ට්‍රිලියන 1.5 ක අතිරේක මුදල් සම්භාරයක් කා වැද්දුවේ ය, මෙය 2008 දී යෝජනා කරන ලද මුල් බැංකු ඇපයට වඩා දෙගුනයකින් වැඩි ය.

වෝල් වීදියට දුන් පනිවිඩය පැහැදිලි ය: ධවල මන්දිරය හා ෆෙඩරල් මහබැංකුව කොටස් වටිනාකම් ඉහල  නැංවීමට අවශ්‍ය ඕනෑම දෙයක් කරනු ඇත. පිරිවැය කුමක් වුවත්, ආයෝජකයින්ට සියල්ල සැපයෙනු ඇත.

සුපුරුදු පරිදි ට්‍රම්ප් ඉරිදා ලොව පුරා ජීවිත අහිමිවූ 700 දෙනා ගැන කිසිදු අනුකම්පාවක් ප්‍රකාශ කලේ නො කලේ ය. ඔහු රෝගයෙන් පීඩා විඳින්නන්ට හෝ ආදරනීයයන් අහිමි වූවන්ට සංවේගය ප්‍රකාශ නො කල  අතර, හිස් වූ ගබඩා රාක්කවල අවශ්‍ය දෑ සොයා ගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරන අයට “විවේකීව” සිටන්නැ යි පැවසී ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිකුරාදා තර්ක කල  පරිදි, වසංගතයට ප්‍රතිචාර වශයෙන් පාලක පන්තීහු “ද්වේෂ සහගත නොසලකා හැරීමේ” ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරති:

මතුපිටින්, මෙම ප්‍රතිචාරය අවුල් සහගත, අසංවිධිත හා ගැලවිජ්ජා බව පෙනේ. මේ සියල්ල සත්‍ය ය. නමුත් මෙම ව්‍යාකූලතාවෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් මතුවන අතර එය දුෂ්ට නො සලකා හැරීම ලෙස අර්ථ දැක්විය හැකිය. එනම්, ආන්ඩු ඔවුන්ගේ ප්‍රතිචාරය අවම කිරීමට, වෛරසය පැතිරීම කෙරෙහි උදාසීන ආකල්පයක් අනුගමනය කිරීමට හිතාමතා තීරනයක් ගනිමින් සිටී.

සති අන්තයේ දී බ්‍රිතාන්‍ය ආන්ඩුව මෙම අප්‍රකාශිත ප්‍රතිපත්තිය පැහැදිලි කලේ,  ජොන්සන් ආන්ඩුවේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් මෙසේ ප්‍රකාශ කිරීමත් සමගිනි: ‘ඒකට ගොදුරුවන සෑම කෙනෙක්ම නවත්වන්න බෑ, ඒවාගේම  ඒක සුදුසු නෑ.”

මෙය පෙල ගැසෙන්නේ වඩ වඩා මිනිසුන් ආසාදනය වීමට දිරිදෙන ගනනින් ඉහල යන මාධ්‍ය ප්‍රකාශ සමගිනි. බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් තීරු රචක ජෙරමි වෝනර්, “වයස්ගත පිරිස් වැඩියෙන් තෝරාගෙන ඉවත්කිරීමෙන්, කොවිඩ් - 19 දීර්ඝකාලීන ව සුලු වශයෙන් ප්‍රයෝජනවත් විය හැකි යැයි ඔප්පු කිරීමට ඉඩ ඇත”යි කල ප්‍රකාශය ඉන් එකකි.

ඉරිදා, හාවඩ් වසංගත රෝග විද්‍යා මහාචාර්යවරයකු වන විලියම් හනේගේ බ්‍රිතාන්‍ය රජයේ ප්‍රතිපත්තිය උච්චාරනය කරමින් මෙසේ අදහස් දැක්වීය: “ඔබේ නිවස ගිනිගෙන තියෙනවා, ඔබට ආරක්ෂාව ලබාදේයැයි ඔබ විශ්වාස කල  අය එය නිවා දැමීමට උත්සාහ කරන්නේ නෑ.”

වසංගතය විසින් අවුලුවන ලද මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගත් කල, ආන්ඩුව පෙර නොවූ විරූ හා දැවැන්ත මැදිහත්වීමක් සිදු කරමින් සිටින්නේ, සමාජයේ සියලු ධනය ධනේශ්වර පන්තියේ පාලනය යටතේ තබමිනි.

ඉරිදා වර්ධනයන් පැහැදිලි කරන්නේ වර්තමාන අර්බුදයට කම්කරුවන් දේශපාලනික ව මැදිහත් වීමේ හදිසි අවශ්‍යතාව යි. කොටස් වෙලඳපොල හා බැංකු මුක්කු ගසා ඉස්සීමට  පොම්ප කෙරෙමින් තිබෙන ඩොලර් ට්‍රිලියන ගනන් පරීක්ෂන හා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පෙර නො වූ විරූ ආයෝජන සඳහා යෙද විය යුතු යැයි කම්කරු පන්තිය ඉල්ලා සිටිය යුතු ය. රෝහල් ඉදිකිරීම, ශ්වසන යන්ත්‍ර මිලදී ගැනීම හා වෛද්‍ය කම්කරුවන් හා ඔවුන්ගේ කාර්ය මන්ඩල  සඳහා ආරක්ෂිත පරිසරයක් ලබා දීම සඳහා අවශ්‍ය සම්පත් කඩිනමින් වෙන් කල  යුතු ය.

වසංගතය මිලියන ගනනක කම්කරුවන් හා තරුනයින්ගේ ඇස් ඉදිරියේ හෙලිදරව් කරමින් සිටින්නේ ධනවාදය යනු, අතිවිශාල බහුතරකගේ වියදමින් සුලුතරය පොහොසත් කිරීම එකම අරමුන කර ගත් පද්ධතියක් ලෙස ය.

 වසංගතය පිලිබඳ සාකච්ඡාව මුල් තැනක් ගත්, බර්නි සෑන්ඩර්ස් හා ජෝ බිඩෙන් අතර ඉරිදා පැවති ඩෙමොක්‍රටික් පක්ෂ විවාදයේ දී, රෝගය අවබෝධ කර ගැනීමට තීරනාත්මක වන “ධනවාදය” හා “සමාජවාදය” යන වචන දෙක මින් කිසිවෙකු වත් පැවසුවේ නැත.

කාරනය වන්නේ වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා බැරෑරුම් උත්සාහයක් සඳහා වන ඉල්ලීම ධනේශ්වර පද්ධතිය අවසන් කිරීම  හා සමාජවාදී පදනමක් මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමේ අරගලයෙන් වෙන් කල  නො හැකි බව යි.

Loading