වසංගතය නිසා ජීවනෝපායන් අහිමිවූ දිලිඳු ජනයා කුසගින්නට ඇද වැටෙයි

කොලඹ ඇතුලු නාගරාසන්න ප්‍රදේශවල හා ග්‍රාමීයව එදාවේල පිරිමසා ගැනීම සඳහා කූලී වැඩවල යෙදෙන දහස් සංඛ්‍යාත දුගී ජනයා,  වසංගතය හේතුවෙන් කවර හෝ ජීවනෝපායක් සොයා ගත නොහැකිව කුසගින්නට ලක්ව සිටිති.  

පීඩාවට පත් එම ජනතාවගේ සැබෑ තත්වය පිලිබඳව ධනපති මාධ්‍ය තුල කිසිවක් පල නොවන තරම් ය. ඒ වෙනුවට පොලිස් භටයන් විසින් සුනඛයන්ට ආහාර ලබාදීමේ “ඉතා සංවේදී දසුන්” රූපවාහිනීි නාලිකා තුල විකාශය වේ. 

මාධ්‍යයන්හි ප්‍රධාන කර්තව්‍යයව පවතින්නේ, වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කිරීම සාහසික ලෙස නොකතා සිටින ආන්ඩුව සහ එම නොතැකීමට එරෙහිව වැඩෙන මහජන විරෝධය තලා දැමීමේ අරමුනෙන් ඊනියා වසංගත මර්දන මෙහෙයුමේ මුදුනත පිහිටුවා ඇති මිලිටරිය, මහජනතාව ගේ එකම “ගැලවුම්කරුවන්” ලෙස පින්තාරු කිරීමයි.

දුගී නිවාස සිය ගනනක් පිහිටි මට්ටක්කුලියේ සමිට්පුරයෙහි ජනයා තමන්ට දින දෙකකින් ආහාරයට ගැනීමට කිසිවක් නො ලැබීමට විරුද්ධත්වය දක්වන කෙටි පුවතක් පසුගිය 22 වන ඉරිදා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශය වූයේ මෙම තතු තුලය. 

“අපි කූලී වැඩක් කරගෙන ජීවත් වෙන්නේ. දවස් දෙකක් තිස්සේ කන්න නැතුවයි ඉන්නේ” එක් මැදිවියේ මවක් ප්‍රකාශ කලා ය. “කන්න දෙන්න, කන්න සල්ලි දෙන්න” කියා තවත් වයසක කාන්තාවක් හඬා වැලපුනා ය. “අපිට කන්න බොන්නත් නෑ. කොහෙටවත් යන්නත් බෑ” යයි තවත් මැදි වියේ කාන්තාවක් කියා සිටියා ය. ප්‍රදේශවාසීන්ගේ හා නාවික හමුදාවේ සහායෙන් ඔවුනට ආහාර ගෙනවිත් දුන් බව වාර්තා කල එම ප්‍රවෘත්තිය යන්තම් මිනිත්තු දෙකකට සීමා විය. 

රෝගය බහුලව ව්‍යාප්ත වන්නේ නාගරික දුප්පත් ජනයා බහුලව වෙසෙන බස්නාහිර පලාතේ කොලඹ, ගම්පහ හා කලුතර දිස්ත්‍රික්ක තුලයි. එම දිස්ත්‍රික්ක අවදානම් කලාප ලෙස නම් කර තිබේ. නිවාස ඝනත්වයෙන් ඉතා අධික වූ දුගී ජනයා වාසය කරන ප්‍රදේශ ආශ්‍රිතව ආසාදිත පුද්ගලයන් කිසිවෙකු හෝ හමු වී නැති නමුත් එසේ වුවහොත් එහි බලපෑම විනාශකාරී වනු ඇත. 

රටතුල බලපවත්වන ඇඳිරිනීති තත්වය මෙම අවදානම් කලාප තුල තව සති ගනනක් දීර්ඝ කිරීමට සිදුවනු ඇත. ජීවනෝපායන් අහිමිවීමෙන් සාගින්නට පත්ව ඇති ලක්ෂ සංඛ්‍යාත දිලිඳු ජනයා රැක ගැනීම සඳහා කවර හෝ වැඩපිලිවෙලක් රාජපක්ෂ ආන්ඩුව විසින් සම්පාදනය කොට නොමැති තතු යටතේ, ඔවුනගේ දරු පවුල් සාගතයකට ලක් වීමේ දැඩි අවදානමක් පවති. මට්ටක්කුලිය සමිට්පුර ජනයාගෙන් ප්‍රකාශයට පත් වන්නේ එහි පෙර ඇඟවුමකි. 

සෑම කෙනෙකුටම නොමිලේ රෝග පරීක්ෂාවට අවශ්‍ය පහසුකම්,   සෞඛ්‍ය කාර්ය මන්ඩලවලට ගුනාත්මක සහ ප්‍රමානවත් ආරක්ෂක මෙවලම් ලබා දීමට සහ ඉහල ධාරිතාවයකින් යුත් දැඩි සත්කාර ඒකකයන් සහිත නව රෝහල් ඉදි කිරීම අත්‍යවශ්‍ය ය. එම වැඩපිලිවෙලට සමගාමීව රැකීි රක්ෂා අහිමිවන ජනයාගේ ජීවන තත්වයන් සුරක්ෂිත කල යුතුය.

මේ සඳහා රුපියල් බිලියන ගනනින් වෙන් කල යුතු ය. නමුත් ඇමරිකා එක්සත් ජනපදයෙ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී පාලක පන්තීන්ගේ සිට ශ්‍රී ලංකාව දක්වා ලොව පුරා ධනපති පාලක පන්ති කියා සිටින්නේ ඒ සඳහා මුදල් නොමැති බවයි. එහෙත් ව්‍යසනයෙන් අර්බුදයට පත්වන මහා සමාගම් හා බැංකු රැක ගැනීම සඳහා ට්‍රිලියන ගනනින් මුදල් පොම්ප කිරීමට මෙම පාලක පන්තීහු කවර හෝ පැකිලීමක් නොදක්වති.

පසුගිය 18 දා කොරෝනා වෛරසය නිසා සිදුවන පාඩුව පියවා ගැනීම පිනිස දැවැන්ත මූල්‍ය සහන ඉල්ලා සිටිමින් සහ කම්කරු පන්තියේ සමාජ අයිතීන් කප්පාදු කිරීමේ සහ ශ්‍රම සූරාකෑම උග්‍ර කිරීමේ නව වැඩපිලිවෙලක් යෝජනා කරමින්, ලංකාවේ ඒකාබද්ධ වානිජ මන්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ. ඊට    ප්‍රතිචාර ලෙස මහා සමාගම්වලට හා මූල්‍ය ආයතනවලට සහන රැසක් ම රාජපක්ෂ විසින් ලබා දී තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) නාගරික දිලිඳු ජනයා ජීවත් වන කොලඹ සමිට්පුර, ඇපල්වත්ත, කජීමාවත්ත සහ සාලමුල්ල මහල් නිවාසවල ජනයා දුරකථනයෙන් අමතමින් ඔවුන් මේ වන විට මුහුන දී සිටින දුෂ්කරතාවයන් සහ ඊට ආන්ඩුවේ ප්‍රතිචාරය පිලිබඳව විමසා බැලීය. 

කොලඹ කජීමාවත්තේ ත්‍රිරෝද රථ රියදුරෙක් ප්‍රකාශ කලේ එම වත්තේ බහුතරයක් වැඩිහිටියන් එක් වේලකින් දවසේ කුස පුරවා ගන්නා බවයි. “අපිට ආන්ඩුවෙන් කියලා කිසිම දෙයක් ලැබුනේ නෑ. අසනීප වෙච්ච වැඩිහිටියෝ ඉන්නවා හරියට ආහාර හා ප්‍රතිකාර නැතිව. සමාජවාදී සමානතා පක්ෂය (සසප) අපිට නිතර කියපු දෙයක් තමයි ලෝක යුද්ධයේ අන්තරාය. දැන් ඒවගේම ලෝක ව්‍යසනයකට අපි මූනදීලා තියෙනවා. ඉන්දියාව සති දෙකක් වහලා. මම හිතනවා හරිම කනගාටුදායක දේවල් වෙයි කියලා. මිනිස්සු බඩගින්නේ මැරෙයි” යයි ඔහු පැවසීය.

සාලමුල්ලේ තවත් ත්‍රිරෝද රථ රියදුරෙක් ප්‍රකාශ කලේ තමා ඊයේ රත්තරන් බඩු උකස් කරන මිනිසුන්ගේ දිගු පෝලිම් දුටු නමුත් තමාට උකස් කිරීමට කිසිදු දෙයක් නොමැති බවයි. “අපිට කවුරුත් දැන් නයට දෙන්නෙත් නෑ නය ගෙවන්න බැරි නිසා. ආන්ඩුව කියනවා ඇඳිරි නීතිය දාලා වෛරසය අඩු කරන්න පුලුවන් කියලා. නමුත් අපිට වෙලා තියෙන්නේ බඩගින්නේ ඉඳලා මැරෙන්න. කඩවල බඩු තියෙනවා කියල ආන්ඩුව කියනවා. නමුත් පැය දෙකක් පෝලිමේ ඉඳලා ඇතුලට ගියාම කඩේ පිටි නෑ සීනි නෑ. පෙට්‍රල් ගන්න පැය දෙකක් පෝලිමේ සිටියා. මට ඊයේ දවසේ කීයක්වත් හොයා ගන්න බැරි වුනා” යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.   

දිලිඳු ජනයාගේ විරුද්ධත්වය වර්ධනය වන තත්වය හමුවේ ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනනතාවගේ නිවෙස්වලට “සහන මල්ලක්” දෙන බව ආන්ඩුව ප්‍රකාශ කලේය. 

බෙදා හල “සහන මල්ල” පිලිබඳව කම්කරුවෙක් මෙසේ පැවසීය: “අද හමුදාවෙන් ඇවිල්ලා පාර්සල් වගයක් දුන්නා රුපියල් 1000 කට. ඒකේ තිබුනේ රුපියල් 1350 ක් වටිනා බඩුලු. හාල් කිලෝ 5 යි. ලූනු 500 යි. සීනි 500 යි. පොල් තෙල් භාගයයි. අල 500 යි. සැමන් ටින් එකක් වගේ දේවල් ඊට ඇතුලත් වුනා. අඩුගානේ මේ බඩු ටිකට රුපියල් 500 ක් ගත්තා නම් සාධාරනයි. ගොඩ දෙනෙක් ඉන්නේ තේ එකක්වත් බොන්න සල්ලි නැති මිනිස්සු”.   

දින කිහිපයක ඇඳිරි නීතිය අතරතුර අත්‍යවශ්‍ය භාන්ඩ මිල දී ගැනීම සඳහා ලබා දෙන පැය කිහිපයක විරාමය අතරතුර පවා දිවිගැට ගසාගැනීම සඳහා වෙහෙසෙන පුද්ගලයන්ගේ සිත් කම්පා කරවන සුලු ඡායාරූප සහ වීඩියෝ පට මුහුන පොත තුල සංසරනය වෙමින් පවතී. 

ඉන් එකක දැක්වෙන්නේ කුඩා ලමුන්ගේ පොත් විකුනන අයෙකුගේ දර්ශනයකි. මෙවන් ව්‍යසනකාරී වේලාවක පොත් විකුනාගත නොහැකි බව දැන දැනත් ඔහු සුපුරුදු වෙලඳාමේ යෙදෙන්නේ කවර හෝ පිහිටක් බලාපොරොත්තුවෙනි. තවත් වීඩියෝවක “බෑග් මහනවා, කුඩ මහනවා” යයි හඬනගන මැදිවියේ පුද්ගලයෙකුගේ දර්ශනයකි. 

ආන්ඩුවේ වාර්තාවලට අනුව ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 54 ක් තාවකාලික රැකියාවල නිරතව සිටී.  ඩේලි නිව්ස් පුවත්පතේ 2019 ජනවාරි 4 වාර්තාවකට අනුව රට තුල ධනවත්ම සියයට 20 රටේ මුලු කුටුම්භ ආදායමෙන් අඩකට වඩා භුක්ති විඳින අතර දුප්පත්ම සියයට 20 ට ලැබෙන්නේ සියයට 5 ක් පමනි. පහලම සියයට දහයේ තත්වය වඩාත් නරක ය. එහි ගෘහ ආදායමේ කොටස සියයට 1.8 ක් හෝ ඊට අඩු ය. 

මෙම දිලිඳු ජන කොටස්වලට වතුකම්කරුවන් මෙන්ම ඇඟලුම් අපනයන වෙලඳ කලාප ආශ්‍රිතව මිනිස්බල සමාගම් යටතේ සේවය කරන අනියම් කම්කරුවන් ද අයත් වේ. කොරෝනා වෛරසය  ව්‍යාප්තිය පැවතියත් “ආරක්ෂක පියවර ගනිමින්” අපනයන කර්මාන්ත පවත්වා ගෙන යන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහා සමාගම්වලට නිවේදනය කර තිබේ. 

කෙසේ නමුත් රෝග ව්‍යාප්තියේ වර්ධනය හා ජාත්‍යන්තර අපනයනවලට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් බොහොමයක් කර්මාන්ත තවමත් වැඩ අරඹා නැත.‍

මේ වන විට වාර්තා වන්නේ දෛනික වැටුප් නොලැබීමෙන්, වෙනත් කුලී රැකියාවක නිරතවීමට නොහැකිවීමෙන් හා ගමනාගමන කටයුතු ඇන හිටීමෙන් 150,000 ක් පමන වතු කම්කරු ජනයා ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවලට මුහුන දී සිටින බවයි. 

කටුනායක, බියගම වැනි නිදහස් වෙලඳ කලාප වල රැකියාවල නිරත කම්කරුවන් ද තම බෝඩින් ගාස්තු ගෙවා ගැනීමේ හා ආහාර සම්පාදනය කර ගැනීමේ ගැටලුවලට මුහුන දී සිටින බව වාර්තා වේ. 

Loading