සති අන්තයේ යුරෝපය පුරා කොරෝනා වෛරසයෙන් 2,600 කට වඩා මිය යති

මෙම ලිපිය 2020 මාර්තු 23 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

මෙම සති අන්තයේ යුරෝපය පුරා කොරෝනා  වසංගතය පැතිර යමින් 2,600 කට වැඩි සංඛ්‍යාවකට මරු කැඳවීය. ඉන් බහුතරය ඉතාලියේ ය. ස්පාඤ්ඤය, ප්‍රන්සය, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ජර්මනිය පසු පසින් පැමිනියේය. සති අන්තයේ මුලු මරන සංඛ්‍යාව වසංගතය ආරම්භ වූ චීනයේ මාස තුනක මරන සංඛ්‍යාව ඉක්මවීය .

ඉරිදා පමනක් මරන 1,287 ක් සහ නව රෝගීන් 17,303 ක් වාර්තා වී ඇති අතර වසංගතයෙන් වාර්තාගත මරන සංඛ්‍යාවක් ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රන්සය තුල සිදුව තිබේ. සමස්තයක් ලෙස මහාද්වීපයේ රෝගීන් 168,803 ක් සහ මරන 8,785 ක් විය.

යුරෝපයේ වසංගතයෙන් මියගිය සංඛ්‍යාව චීනයේ  මෙන් දෙගුනයකටත් වඩා වැඩි වී ඇති අතර,  රෝගීන් 81,054 ක් සහ මරන 3,261 ක් වාර්තා වී තිබේ. ලොව පුරා, කොරෝනා  වෛරස් රෝගීන් 335,377 ක් සහ මරන 14,611 ක් වාර්තා වී තිබේ.

කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රන්ස සොල්දාදුවන් නැගෙනහිර ප්‍රන්සයේ මල්හවුස් හි ඉදිකරන ලද හමුදා ක්ෂේත්‍ර රෝහල තුල සාකච්ඡා කරයි. (AP ඡායාරූපය / ජීන්-ෆ්‍රැන්කොයිස් බඩියාස්)

තුන්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන ඉරානය තුල අවම වශයෙන් මරන 1,685 ක් ඇතුලුව රෝගීන් 21,638 ක් වාර්තා වී ඇති අතර එක්සත් ජනපදයේ රෝගීන් සංඛ්‍යාව 32,000 කට වඩා ඉහල ගොස් ඇති අතර 400 ක් මියගොස් තිබේ. අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රෝගීන් සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් ද දක්නට ලැබේ.

ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රන්සය පුරාම ද  ජර්මනියේ විශාල ප්‍රදේශයන් ද අගුලු දමා වසා ඇතත්, වසංගතය යුරෝපය පුරා නොනවත්වා ව්‍යාප්ත වෙමින් ඇත. ආන්ඩු සති ගනනක් තිස්සේ  පහසුකම් ලබා දීම ප්‍රතික්ෂේප කර හෝ ඇත්ත වශයෙන්ම වසංගතය නැවැත්වීමට බරපතල උත්සාහයක් ගෙන නොතිබුනි. ඒ, ආසාදනය වූවන් හෝ ආසාදිතයන් සමඟ සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනා පරීක්ෂා කිරීම, පැවති සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය කිරීම සමඟ අගුලු දැමීම් ඒකාබද්ධ කිරීමෙන්  රෝගය බෝවීම වැලැක්වීමේ ක්‍රම යොදා නොගැනීමෙනි.

යුරෝපයේ දැන් දරුනුම තත්වයකට මුහුනපා ඇති ඉතාලියේ සමස්ත රෝගීන් 59138 හා මරන 5476 විය. නව ආසාදිතයින් 6557 හා   මරන 793 සෙනසුරාදා වාර්තාවූ  අතර ඉරිදා තවත් 5.560 සහ  මරන 651 වාර්තා විය. “අප සඳහා අත්‍යවශ්‍ය භාන්ඬ හා සේවා  නිෂ්පාදනය නොකරන  සියලුම කර්මාන්තශාලා දින නියමයක් නොමැතිව වසා දමන“ බව  අගමැති ගුසෙප් කොන්ටේ සෙනසුරාදා ප්‍රකාශ කලේය . "දැඩි ලෙසම බැට කෑ කලාපය  වූ ලොම්බාර්ඩිහි නිලධාරීන් කිසිවෙකුට සිය නිවෙස් වලින් පිටවීම තහනම් කර ඇත. හුස්ම අල්ලමින් දඟලන බරපතල රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරීගොස් තිබේ. 

රුසියානු හමුදා ආධාර ලැබී ඇති අතර කියුබානු වෛද්‍යවරුන් කන්ඩායමක් ඉතාලියට පැමින තිබේ. එහෙත් යුරෝපා සංගමය (ඊයූ) තම සාමාජිකයෙක් වන  විනාශයට පත් රටට ආධාර සැපයීම තවමත් ප්‍රතික්ෂේප කරයි. ඉතාලියට චීනයෙන් ලැබුන මුහුනු ආවරන 680,000 ක් චෙක් ජනරජය විසින් සොරකම් කිරීම සම්බන්ධයෙන් මෙම සති අන්තයේ රාජ්‍ය තාන්ත්‍රික සිදුවීමක් වාර්තා වූ අතර, කිසිවක් සොරකම් කර නොමැති බව එරට ආන්ඩුව මුලින් පැවසීය. කෙසේ වෙතත් චෙක් ආන්ඩුව දැන් මුහුනු ආවරන සහ ශ්වසන යන්ත‍්‍ර ඉතාලියට යවමින් සිටියි.

 ආසාදිත හා මරන සංඛ්‍යාවේ සුලු අඩුවීමක් ඉරිදා ඇතිව තිබෙන බව ඉතාලි සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දුන්නේය. එසේම නව රෝගීන්ගෙන් සියයට 30.4 ක් පමනක්, දැඩි ලෙස පීඩාවට පත් පලාත වන ලොම්බාර්ඩි හි වාර්තා වී තිබීමෙන්, බෝවීම මන්දගාමී විය හැකි බව පැවසේ. වෛරසයේ ආයුකාලය ලෙස තක්සේරු කර ඇත්තේ සාමාන්‍යයෙන් දින තුනේ සිට හත දක්වා වන අතර එය 14 දක්වා ඉහල යා හැකිය. රෝගය තවදුරටත් පැතිරීම වැලැක්වීම සඳහා රඳවා ගැනීමේ නියෝග සතියකට පෙර සිට ක්‍රියාත්මක වුවත්, ඒ වන විට වෛරසය ආසාදනය වී රැඳවුම් භාරයේ සිටින බොහෝ දෙනෙකු දැනටමත් රෝග ලක්ෂන පෙන්වීමට පටන් ගෙන තිබේ.

කෙසේ වෙතත්, අනවශ්‍ය බලාපොරොත්තු ඇතිකර නොගන්නා ලෙස නිලධාරීන් අනතුරු ඇඟවීය. “ඉදිරි දිනවලදී ඇතිවන අලුත් වර්ධනයන් සියලු දෙනාටම දරා ගත හැකි යැයි මම බලාපොරොත්තු වෙමි. එහෙත් ඔබේ ආරක්ෂාව අඩු නොකරන්න, ” ඉතාලි සිවිල් ආරක්ෂක සේවා ප්‍රධානී ඇන්ජලෝ බෝරෙලි පැවසීය.

ස්පාඤ්ඤයේ සෙනසුරාදා නව රෝගීන් 3,925 ක් සහ  මරන 288 ක් ද ඉරිදා නව රෝගීන් 3,107 ක් සහ  මරන 375 ක් වාර්තා වී ඇති අතර, මුලු රෝගීන් 28,603 ක් සහ මරන 1,756 ක් වාර්තා වී තිබේ. රෝගාතුර වූ අයගෙන් එක් අයෙක් වන්නේ කාගෙත් සිත් දිනාගත් ඔපෙරා ගායක ප්ලැසිඩෝ ඩොමින්ගෝය. ඔහු දක්ෂිනාංශික #මී ටූ ව්‍යාපාරයේ ඉලක්කයකි. එපමනක් නොව, තහවුරු කරන ලද රෝගීන්ගෙන් සියයට 12 ක් (3,475) වෛද්‍යවරුන්, හෙදියන් හෝ සෞඛ්‍ය කාර්ය මන්ඩලය වන අතර, මැඩ්රිඩ් වැනි ප්‍රධාන ප්‍රදේශ දැනටමත් රෝගීන්ගෙන්  ගහන වන අතර සෞඛ්‍ය පද්ධතිය විනාශයට මුහුනදී ඇත.

 ස්පාඤ්ඤයේ අගමැති පේද්‍රෝ සැන්චෙස් සෙනසුරාදා අනතුරු ඇඟවූයේ “ නරකම තත්වය ඉදිරියට"  යනුවෙනි. වසංගතය පිලිබඳව ඔහු කටයුතු කල ආකාරය  ගැන මුට්ටි හා පියන්වලට ගසමින් ජනතාව විරෝධය පලකරද්දී සැන්චෙස්,  වැඩි ජනතාවක් සඳහා කොරෝනා පිලිබඳ පරීක්ෂන සංවිධානය කරන බවට ප්‍රතිඥා දුන්නේ ය. සැන්චෙස් ආන්ඩුව අවම වශයෙන් අප්‍රේල් 11 දා වන තෙක් ස්පාඤ්ඤය තුල අනතුරු ඇඟවීම් සහ අගුලු දැමීමේ තත්වය දීර්ඝ කර තිබේ .

පලමු වෛද්‍යවරයා කොරෝනා වෛරස් රෝගයෙන් කොම්පිග්නේ හිදී මියගිය ප්‍රන්සයේ, මුලු රෝගීන් සංඛ්‍යාව 16,018 ක් දක්වා ඉහල ගොස් ඇති අතර, මරන 674 ක් සිදුව ඇත.  ඉරිදා පමනක් 112 ක් මිය ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ද කියා සිටියේ ප්‍රන්සයේ සත්‍ය රෝගීන් සංඛ්‍යාව 30,000 සිට 90,000 දක්වා වන බවට තමන් විශ්වාස කරන බව යි. කෙසේ වෙතත්, රෝගය අන් අයට පැතිරීමට පෙර සියලු රෝගීන් හඳුනාගෙන හුදෙකලා කිරීම සඳහා මහා පරිමාන පරීක්ෂන සිදු කරන ලෙස සෞඛ්‍ය වෘත්තිකයින් කරන ඉල්ලීම් ඔහු නිර්දය ලෙස නොසලකා හැරියේය. ඒ වෙනුවට වරන් පැවසුවේ, ප්‍රන්සය “හුදෙකලා කිරීමේ නියෝග ඉවත් කල පසු ” එනම්, අවිනිශ්චිත අනාගතයේ යම් අවස්ථාවක දී, පරීක්ෂන වැඩි කරන බවයි .

ජර්මනියේ රෝගීන් 2,488 කින් වැඩිවී මුලු සංඛ්‍යාව 24,852 ක් දක්වා ඉහල ගොස් ඇත.  අගුලු දැමීම මුලු රටටම බලපාන පරිදි පැනවීම පිලිබඳව නිලධාරීන් සලකා බලමින් සිටින බව වාර්තා වේ. රැඳවුම් මහලු  නිවාසවල කොරෝනා ආසාදන පිලිබඳ භීතිය හමුවේ, එක් තැනක මහලු පදිංචිකරුවන් නවයක් මියගොස් නිවාසයේ වැඩකරන අය ද ඇතුලු තිස් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත. වූර්ස්බර්ග් නගරයේ 166 දෙනෙක් රෝගී වී ඇත. දැන් ස්වයං හුදකලාවේ සිටින අය අතර, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ද සිටී. ඇය වෛරසය සඳහා ධනාත්මක බව  පරීක්‍ෂන වලින් තහවුරුවූ වෛද්‍යවරයකු හමුව ඇත.

ඉරිදා වන විට බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් 665 ක් රෝගාතුරව ඇති අතර, මුලු මරන සංඛ්‍යාව 281 ක් සහ රෝගීන් 5,683 කි. බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසයෙන් මියගිය පලමු යෞවනයාගේ වයස අවුරුදු 18 කි.

වසංගතයට එරෙහිව ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව දැඩි විවේචන එල්ල විය. ඔහුගේ විද්‍යාත්මක උපදේශක පැට්‍රික් වැලන්ස්, බ්‍රිතාන්‍යයන්ට මෙම රෝගය වැලැක්වීම “යෝග්‍ය නොවේ” යයි ද ඔවුන්ට එයට මුහුනදීමේ ප්‍රතිශක්තිකරනය ලැබීම එයින් වැලකී යනු ඇතැයි ද ප්‍රකාශ කිරීමෙන් පසුව. ඔහුගේ අන්ත දක්ෂිනාංශික උපදේශක ඩොමිනික් කමිංස් , “මහලු අයට මැරෙන්න ඉඩ හරින්න” යයි පැවසූ බවට සන්ඩේ ටයිම්ස්හි පලවූ වාර්තාවක් ප්‍රතික්ෂේප කිරීමට ජොන්සන්ට සිදුවිය. 

 ජාත්‍යන්තරව ගැඹුරු පන්ති බෙදීම් වසංගතය මඟින් වේගයෙන් ඉදිරියට ගෙන එයි. වෙන කවරදාකටත් වඩා ධනවත් වීමට ඔවුන්ට හැකි තාක් කල්, රෝගය  පැතිර යාමට ඉඩ හැරීමට මූල්‍ය වංශාධිපතිත්වය අධිෂ්ඨාන කරගෙන සිටී. වසංගතය මඟින් කොටස් වෙලඳපොලවලට සහ සුපිරි ධනවතුන්ට බැට දීමට පටන් ගත් දා පටන් ඔවුන්ට ඇප දීමේ ක්‍රියාවලියක් ආරම්භවූ අතර,  යුරෝපා මහ බැංකුව ඒ සඳහා යුරෝ බිලියන 750 ක් මුද්‍රනය කර ඇත. ඔවුන් වෙනුවෙන් දිගටම ලාභ උපයා දීම සඳහා වැඩකරන ලෙස කම්කරුවන්ට උපදෙස් දෙන යුරෝපය පුරා සියලු රටවල්, සංගත සඳහා යුරෝ බිලියන සිය ගනනක් මූල්‍ය ඇපකර ලබා දෙයි. 

කෙසේ වෙතත්, මෙම මාරාන්තික වසංගතය ගැන පාලක පැලැන්තිය දරන වගකීම් විරහිත ආකල්පය පිලිබඳව, සෞඛ්‍ය සේවකයන් හා කාර්මික කම්කරුවන් අතර කෝපය දැල්වෙමින් ඇත.  පසුගිය සතියේ වැඩ වර්ජන සහ ප්‍රන්සයේ ඇමසොන් කම්කරුවන්ගේ වැඩ වර්ජන  තර්ජන වලින් පසුව සමාගම අත්‍යවශ්‍ය නොවන භාන්ඩ ඉතාලියට නැව්ගත කිරීම නවතා දමා ඇත.

ඉතාලියේ ක්ෂනික වැඩ වර්ජන රැල්ලකින් පසු ඉතාලියට මූලික රැඳවුම් නියෝග නිකුත් කිරීමට බල කෙරුනු අතර, දශක ගනනාවක් තිස්සේ සෞඛ්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය ප්‍රතිපාදන කප්පාදු කර රෝහල් විනාශයට හැර ඇති යුරෝපා සංගමයේ කප්පාදු ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කර ඇත. 

ස්පාඤ්ඤයේ රෝහල් සැපයුම් ගැනුම්කරු, මුහුනු ආවරන හා හදිසි ශ්වසන යන්ත්‍ර මිලට ගැනීමට අසමත් වීම පිලිබඳව සැන්චේස්ගේ ස්පාඤ්ඤ සමාජවාදී පක්ෂ-පොඩිමොස් ආන්ඩුව විවේචනය කරමින් එල් එස්පැනෝල් වෙත අදහස් දැක්වීය.  “ඔහු අවශ්‍ය වෙලාවේදී ඒවා මිලට ගත්තේ නැත, එය නින්දිතය”  ඔහු පැවසීය. “ඒ වෙනුවට ඔවුහු, බාස්ක්  සහ ගැලීසියා ප්‍රාන්තවල  පලාත් පාලන මැතිවරනය ගැන විවාද කරමින් සිටියහ. නැතහොත් ලිංගික නිදහස පිලිබඳ මොන්ටෙරෝ නීතිය, පාලක සභාගය තුල ගැටුම් ඇති කරයි ද යන්න ගැන.  කොරෝනා වෛරසය ඒ සියල්ලටම වඩා ඉහලට එන්නේ මොන මෝඩකමක් නිසා ද! එය කාලය නාස්තියකි! ”

ප්‍රන්සයේ වෛද්‍යවරුන් 600 කන්ඩායමක්,  අගමැති එඩුවාඩ් පිලිප් සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය  ඇග්නස් බූසින් වසංගතය පිලිබඳව කටයුතු කල ආකාරය ගැන චෝදනා කරමින්, ඔවුන්ට එරෙහිව සමූහාන්ඩු අධිකරනය හමුවේ නඩු පවරා ඇත. පිලිප් සහ බුසින්  “පුද්ගලයන්ගේ ආරක්ෂාවට අනතුරක් ” වීමට එරෙහිව “ස්වේච්ඡාවෙන් පියවර ගැනීමෙන් වැලකී සිටි ” බවට ඔවුහු චෝදනා කරති . ජනවාරියේ සිට වසංගතයේ අනතුර ගැන පිලිප්ට අනතුරු අඟවා තිබුන බව බූසින් පිලිගැනීමෙන් පසුව මෙම කන්ඩායම, පිලිප් ගැන අපරාධ පරීක්ෂනයක් පවත්වන ලෙසත්, ඔහුගේ පරිගනක අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා සිටී.

වැඩෙන පන්ති ගැටුම් මධ්‍යයේ,  වසංගතයට එරෙහිව සටන් කිරීමට තිබෙන සමාජ සම්පත් අවභාවිතා කිරීම ගැන කම්කරුවන් රජය  හා බැංකු සමඟ ගැටෙන විට, වෘත්තීය සමිති නිලධරය සහ එහි ව්‍යාජ වාම දේශපාලන සගයන්ගේ සහාය ඇතිව පාලක ප්‍රභූව, විරුද්ධත්වය මැඩලීමට පියවර ගනිමින් සිටී. බැංකුවලට සහ සුපිරි ධනවතුන්ට සන්තෝෂම් ලබා දීමේ අවශ්‍යතාවෙන් පෙලෙන ඔවුන්, වැටුප් හා මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වලට පහර දීමට සූදානම් වන අතර ආඥාදායක පාලන ක්‍රම කරා වේගයෙන් ගමන් කරයි.

පෘතුගාලයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුව, 1974 දී ෆැසිස්ට් සලාසාර් ආඥාදායකත්වයේ බිඳවැටීමෙන් පසු ප්‍රථම වතාවට, වැඩ වර්ජනය කිරීමේ ව්‍යවස්ථාමය අයිතිය අත්හිටුවන, හදිසි නීතිය මාර්තු 18 වන දින ප්‍රකාශ කිරීමත් සමඟ ස්පාඤ්ඤය, අනතුරු ඇඟවීමේ තත්වය බලාත්මක කිරීම සඳහා නිවස් වලට හමුදාව යෙදවීය. ප්‍රන්සයේ නව හදිසි නීතිය යටතේ වසංගතය පවතින කාලය තුල ව්‍යාපාරවලට, නිවාඩු සතිය  කපාහැරීමට සහ වැඩ සතියේ දිග මත පනවා තිබෙන සීමා ඉවත් කිරීමට  ඉඩ සලසන පනතක් සම්මත කලේය.  වෛරසය අර්බුදය අවසන් වූ පසුවත් මෙය ක්‍රියාත්මක කල හැකිය. මෙම පියවරයන් ගනු ලැබුනේ ව්‍යාපාරිකයින් හා වෘත්තීය සමිති අතර සාකච්ඡා මගිනි.

ජර්මනියේදී අයි.ජී. මෙටල් සංගමය සිකුරාදා, කොරෝනා  වෛරස් අර්බුදය භාවිතා කරමින්, සේවා යෝජකයන් සමඟ සාකච්ඡා අතහැර, වැටුප් වැඩිවීමක් නොමැතිවම ගිවිසුම් ඇතිකර ගත්තේය.  ව්‍යාපාරික කටයුතු ආරක්ෂා කිරීම සඳහා මෙය අවශ්‍ය යැයි කියමින්. වමේ පක්ෂයේ නිලධාරියෙකු වන ඩියට්මාර් බාර්ට්ස්, මර්කල්ගේ ප්‍රතිපත්තිවලට ප්‍රශංසා කරමින් ට්වීටර් සටහනක් යොදා ඇත්තේ, “ජාතියට, ජනතාවට සහ ආර්ථිකයට හානි නොකිරීමට සහයෝගිතාව ඉල්ලා සිටින සියලු ක්‍රියාමාර්ගයන්ට වාම පක්ෂය සහාය දෙනු ඇත” යනුවෙනි.

යුරෝපා සංගමයේ වසර ගනනාවක කප්පාදුවෙන් හා පොලිස් රාජ්‍ය මර්දනයෙන් පසුව, කම්කරුවන්ගේ සෞඛ්‍ය, ජීවනෝපායන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මෙම කුනු වූ සංස්ථාපිතය බිඳ දමන සමාජ විප්ලවයක් ඉල්ලා සිටී. පැතිර යන වසංගතය හමුවේ, යහපත් වැටුප් ලබා ගැනීම සහ සැමට නොමිලේ හා යහපත් වෛද්‍ය ආවරනයක් ලබා ගැනීම සඳහා වන අරගලය, ජාත්‍යන්තර දේශපාලන අරගලයකි. මේ සඳහා කම්කරු පන්තිය යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව, ක්‍රියාකාරී කමිටුවල සංවිධානය කිරීම අවශ්‍ය වේ. ඒවා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව හා දේශපාලන බලය කම්කරු පන්තියට පැවරීමේ අරගලය ඉදිරියට ගෙනයනු ඇත. 

Loading