ඉදිරිදර්ශන

කොරෝනා වෛරස් වසංගතයට මහ ව්‍යාපාරිකයේ පනිවුඩය: ජීවිත නොව ලාබ රැකදෙනු

මෙම ලිපිය 2020 මාර්තු 24 දින ඉංග්‍රීසි බසින් පල කෙරිනි.

කොරෝනා වෛරස් වසංගතය ලොව පුරා අනවරත ව පැතිර යද්දී හා එක්සත් ජනපදයෙන් වාර්තා වන සිද්ධි ගනන අන් කිසිදු රටකට වඩා වැඩි අනුපාතයකින් ඉහල යද්දී, ඇමරිකානු පාලක පන්තියෙන් නිශ්චිත පිලිවෙතක් ඉස්මතු වේ: “ප්‍රතිකර්මය රෝගයට වඩා නරක ය.” වෙනත් වචනවලින් කියතොත්, සංගත ලාබ අවශ්‍යතා වෙනුවෙන් මිලියන ගනන් කම්කරුවන්ගේ ජීවිත කැප කල යුතු ය.

“ප්‍රතිකාරයට ගැටලුවටත් වඩා නරක් වන්නට ඉඩ දිය නො හැකි ය” යි මාර්තු 22දා සවස ට්‍රම්ප් ට්විටර් පනිවුඩයක සඳහන් කලේ ය. “[සතියකට පෙර පටන්ගත්] දින 15 කාල සීමාව  අවසානයේ දී යා යුත්තේ කවර මාවතේදැයි අපි තීන්දු කරමු.”

මාර්තු 23දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී, ඇමරිකානු ව්‍යාපාර “මාස ගනනක් තුල නො ව, සති ගනනක් තුල” යලි විවෘත කිරීම තමන්ට අවශ්‍ය බව ට්‍රම්ප් කීවේ ය. “...නිශ්චිත අවස්ථාවක දී අප වැඩ පටන්ගෙන ඉදිරියට යා යුතු යි. මෙම සමාගම් අහිමි කරගැනීම අපට අවශ්‍ය නැහැ...”

දැනට මත් එක්සත් ජනපදය තුල සෞඛ්‍යාරක්ෂන පද්ධති යටපත් කරමින් තිබෙන වසංගතයේ බරපතලකම ගනනකට නොගෙන දැක්වූ ට්‍රම්ප් මෙසේ කීවේ ය: “අපි මුහුන දී තිබෙන්නේ අතිශයින් ම ක්‍රියාකාරී කාලසීමාවකටත් වඩා ක්‍රියාකාරී උන රෝග සමයකට...මෝටර් රථ අනතුරු දෙස බලන්න, ඒවා අපි කතාකරන කිසිදු අගයකට වඩා ඉහල යි. එහෙම උනා කියල මෝටර් රථ ධාවනය කරන්න එපා කියල අපි කාටවත් කියන්නෙ නැහැ. ඒ නිසා අපේ රට විවෘත වන ආකාරයට අපි කටයුතු කල යුතු යි.”

මිලියන ගනන් ජනයා මිය යන්නේ නම් එය එසේ වුනා වේ. එය ව්‍යාපාර කිරීමේ පිරිවැය යි. එසේ ප්‍රකාශ කරන්නේ සංගත හා මූල්‍ය කතිපයාධිකාරය යි. “රෝගය පිලිබඳ අඩු අන්තරායක් සහිත අය ඉතා ඉක්මනින් ආපසු වැඩට පැමිනීම” අවශ්‍ය බව ගෝල්ඩ්මන් සැක්ස්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලොයිඩ් බ්ලෑන්ක්ෆීන් ට්විටර් පනිවුඩයක ලිවී ය.

ෆෝඩ් සමාගමේ මිසෝරිහි පිහිටි ක්ලේකොමෝ කන්සාස් නගර එකලස් කම්හලේ නව ඇලුමිනියම් වාත්තු කරන ලද ෆෝඩ් එෆ්-150 ට්‍රක් රථයක් මතට එන්ජිම අපේක්ෂාවෙන් වාහන රාමුව සූදානම් කරන මෝටර් රථ කම්කරුවෙක් (ඒපී ඡායාරූපය/ චාලී රීඩල්)

මෙම ප්‍රකාශ නිකුත් කරන ලද්දේ, එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් මූල්‍ය වෙලඳපොලවල් වෙත අසීමිත මුදල් ප්‍රමානයන් පොම්ප කිරීම නො තකා, 2016 දී ට්‍රම්ප්ගේ තේරී පත්වීමෙන් මෙපිට අඩුතම මට්ටම්වලට වෝල් වීදිය මාර්තු 23දා තවදුර ඇදවැටෙද්දී ය.

වෝල් වීදියට මුක්කුව ගැසීම පිනිස ව්‍යාපාරික මෙහෙයුම් මත සීමාවන් ක්ෂනික ව ඉවත් කරන ලෙස පාලක පන්තිය විසින් ගනු ලබන තීරන, වසංගත විද්‍යාඥයන්ගේ හා වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් නො තකා හරී. “එම සීමාවන් ලිහිල් කිරීම මගින්, මහජන සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවන පරිදි, වෛරසය හේතුවෙන් සිදුවන මරන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි විය හැකි වුවත්, ට්‍රම්ප්, වෝල් වීදිය හා බොහෝ ගතානුගතික ආර්ථික විද්‍යාඥයන් ආන්ඩුව ගියදුර වැඩිදැයි ප්‍රශ්න කිරීම අරඹා ඇතැ” යි මාර්තු 23දා රාත්‍රීයේ පලකල ලිපියක නිව් යෝක් ටයිම්ස් ලිවී ය.

“ආපසු වැඩට යනු” යන උද්ඝෝෂනයට නායකත්වය දෙන්නන් අතර, ඩිමොක්‍රටික් පක්ෂයේ හොරනෑව වන නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ ම කතුවැකි පිටුව සිටින බව සඳහන් කිරීමට ටයිම්ස් අසමත් විය. “ආර්ථික වර්ධනයේ” නාමයෙන් මහජනයාට මිය යාමට ඉඩදීම කමක් නැතැයි ගෙන යන තර්කනය වඩාත් ම විවෘත ව පැමිනියේ ටයිම්ස්හි ප්‍රමුඛ තීරුලිපි රචකයෙක් වන තෝමස් ෆ්‍රීඩ්මාන් වෙතිනි.

සඳුදා පලකල තීරුලිපියක ෆ්‍රීඩ්මාන් මෙසේ අසයි: “අපේ ව්‍යාපාර බොහොමයක් වසා දමා මිලියන ගනනක් දොට්ට වැටීම ඇරඹෙද්දී, සමහර විශේෂඥයෝ මෙසේ අසන්නට පටන් ගති: ‘පොඩ්ඩක් ඉන්න! අපි මේ අපට ම පාත් කරගන්න හෙන ගෙඩිය කුමක් ද? අපේ ආර්ථිකයට? අපේ ඊලඟ පරම්පරාවට? කුඩා කාලයකට වුවත්- රෝගයටත් වඩා නරක ප්‍රතිකාරය මේක ද?’”

ෆ්‍රීඩ්මාන්ගේ තීරුලිපිය එක් පචයක් උඩ තවත් පචයක් ගොඩගසයි.

පච අංක 1: රෝගය මැඩලීම කල නො හැක

වසංගතය මැඩලීමේ උත්සාහයන් ආන්ඩු විසින් අත්හල යුතු යයි ෆ්‍රීඩ්මාන් තර්ක කරයි. “මේ අවධිය වන විට, බොහෝ ඇමරිකානුවන් කොරෝනා වෛරසයට ගොදුරු වීමට නියමිත ය හෝ දැනට මත් වැලඳී ඇතැයි යන කරුන වසාගැනීමට විදියක් නැත.දැන් පෙරහැර ගිහින් ඉවරයි” යැයි ඔහු ලියයි. “ජනගහනය පුරා රෝගය මැඩලීමේ අවස්ථාව අපි අහිමි කරගත්තෙමු” යි ප්‍රකාශ කරන ඔහුගේ සම-චින්තක ලේඛක ඩේවිඩ් එල්. කැට්ස්ගෙන් උපුටා දැක්වීම කරා ඔහු ඉදිරියට යයි.

ආසාදිත රෝග පිලිබඳ ගෝලීය ව පිලිගත් අධිකාරිය වන ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්ලිව්එච්ඕ), කෝවිඩ්-19 “මැඩලීමේ” උත්සාහයන් අත්හැර දැමීම අයෝග්‍ය හා පිලිගත නො හැකි බව පැහැදිලිවම කියයි. “රටවල් මැඩලීමේ සිට බලපෑම ලිහිල් කිරීම දක්වා මාරු විය යුතු ය යන අදහස වැරදි හා අනතුරුදායක වේ” යි සංවිධානයේ අධ්‍යක්ෂ-ජනරාල් ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගෙබ්‍රෙයෙසුස් කීවේ ය.

කෝවිඩ්-19හි මරන අනුපාතය රටින් රටට වෙනස් ය. ජනගහනයෙන් අතිමහත් වැඩි කොටසක් පරීක්ෂාවට බඳුන් කර ඇති හා වසංගතයට ප්‍රතිකාර කිරීමේ දී අවශ්‍ය සම්පත් බොහෝ සෙයින් ගෙනැවිත් ඇති කොරියාවේ මරන අනුපාතය සියයට 1.2කි. සෞඛ්‍යාරක්ෂන පද්ධතිය පරයා රෝගය මතු වී ඇති ඉතාලියේ මරන අනුපාතය සියයට 9.4ක් වන අතර එය දෛනික ව ඉහල යයි.

වියහැකි ප්‍රතිඵලයන්ගේ මෙම පරාසය මත පදනම් ව, ජනගහනයෙන් බහුතරයට කෝවිඩ්-19 ආසාදනය වීමට ඉඩ ලබාදෙන ලෙස ෆ්‍රීඩ්මාන් කරන යෝජනාව, අවසන් වනු ඇත්තේ ජීවිත මිලියනයත් මිලියන 18ත් අතර ගනනක් බිලිගනිමිනි.

පච අංක 2: සමාජ දුරස්ථකරනය ජීවිත බේරා නො ගනී

ස්පර්ශ වූවන් සොයාගැනීම, හුදකලාකරනය හා නිරෝධායනය හරහා වසංගතය මැඩලීමේ උත්සාහයන්ට එරෙහි ව පමනක් නො ව, “ආර්ථිකය” ආරක්ෂා කරගැනීමේ නාමයෙන් සමාජ දුරස්ථකරන පියවරයන් අවසන් කරන ලෙස ද ඉල්ලමින් ෆ්‍රීඩ්මාන් වඩාත් සාවද්‍ය පියවරකට පැන ගනී.

“ආන්ඩුකාරවරු හා නගරාධිපතිවරු අවිනිශ්චිත කාලයකට සෑම දෙනා ම නිවසට යැවීම මගින් රෝගයට පහසුවෙන් ම ගොදුරු විය හැකි අය ආසාදනය වීම ඇත්ත වසයෙන්ම ඉහල යන්නට ඉඩ ඇති” බවට ෆ්‍රීඩ්මාන් තර්ක කරයි.

මෙය වනාහි, රෝහල් පිරී ඉතිරී යාමෙන් වලක්වා ජීවිත ආරක්ෂා කිරීම සඳහා සමාජ දුරස්ථකරනය අනුමත කර ඇති ඩබ්ලිව්එච්ඕ මාර්ගෝපදේශයන්ට මුලුමනින් ම නො ගැලපෙන තවත් ව්‍යාජ හා තහවුරු නො කල ප්‍රකාශයකි.

පච අංක 3: ජීවිත රැකගැනීම “ආර්ථිකය විනාශ කරනු” ඇත

“හැකිතාක් හදිසියෙන් යුතු ව, අප අපගෙන් ම අසාගත යුත්තේ, හැකිතාක් වැඩි ඇමරිකානුවන් සංඛ්‍යාවකට හැකි ඉක්මනින් ආපසු සුරක්ෂිත ව වැඩට යාමේ හැකියාව අපට වැඩි කල හැකි ද යන්න යි...පහත මා කතා කල එක් විශේෂඥයෙක් විශ්වාස කරන්නේ සති කිහිපයක් ඇතුලත එය සිදු විය හැකි බව යි.”

එම “විශේෂඥයා” වන්නේ රසැති සම්පූර්න ආහාර වේලක්: විද්‍යාත්මක ව සනාථ කල සැලසුම සමගින් රාත්තල් ගනනක් හා අඟල් ගනනක් අඩු කරගැනීමට ඔබගේ ස්නායු අග්‍ර භාවිතා කරන්න ඇතුලු කෘති පලකර ඇති වෛද්‍ය ඩේවිඩ් එල්. කැට්ස් ය. වෛද්‍ය වෘත්තිය “සාක්ෂි පිලිබඳ වඩා වෙනස් වන සංකල්පයක්” වැලඳ ගත යුතු යයි ප්‍රකාශ කරමින් හෝමියෝපති ශාස්ත්‍රයේ ව්‍යාජ විද්‍යාව හා “ශක්තිය වඩවන වෛද්‍ය ශාස්ත්‍රය” කැට්ස් විසින් ඉදිරියට දමා ඇත. “ව්‍යාජ විද්‍යාව විද්‍යාව සමගත්, අර්ථ රහිත දෙය අර්ථවත් දෙය සමත් ගොඩ වෙදකම සැබෑ වෛද්‍ය ශාස්ත්‍රය සමගත් ‘ඒකාග්‍ර කිරීමට’ උත්සාහ දැරීම ගැන කැට්ස් විශේෂඥත්වයක් දරතියි ශල්‍ය පටකවේදී ඩේවිඩ් ගෝස්කි තර්ක කර තිබේ.

මීට කලින් ටයිම්ස්හි තීරුලිපියක් පලකල කැට්ස් “සමාජයේ බහුතරය සාමාන්‍ය ජීවිතය කරා ආපසු ඒම හා ආර්ථිකයේ විශාල අංශ බිඳවැටීමෙන් වැලැක්වීම” සඳහා තර්ක කලේ ය. “සෞඛ්‍ය සම්පන්න ලමුන්ට පෙරලා පාසල් යා හැකි අතර සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන්ට පෙරලා ඔවුන්ගේ රැකියාවලට යා හැක. රංගශාලා හා අවන්හල් යලි විවෘත කල හැකි” යැයි ඔහු පැවසීය.

කැට්ස් උපුටා දක්වන ෆ්‍රීඩ්මාන් “උන රෝගය සමගින් මෙන් ම, අතිමහත් බහුතරයක් දින ගනනාවක් ඇතුලත ප්‍රකෘතිමත් වී, කුඩා සංඛ්‍යාවකට රෝහල්ගත වීම අවශ්‍ය වී වඩාත් ම ගොදුරුවනසුලු කුඩා සංඛ්‍යාවක් ඛේදනීය ලෙස මිය යනු ඇත” යි තර්ක කරයි.

යථාර්ථයේ දී, සමාජයේ ක්‍රියාකාරීත්වය සඳහා ආර්ථික ක්‍රියාකාරීත්වය අඛන්ඩ ව පවත්වාගත හැක්කේ යටිතල පහසුකම් මත යෝධ ආයෝජනයක් සිදුකරමින් ආරක්ෂාකාරී කොන්දේසි යටතේ ය. වසංගතය මැඩලීම සඳහා අවශ්‍ය කාලසීමාවකට සියලු අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වසාදමනු ලැබිය හැක. එහෙත් ඒ සඳහා ආන්ඩුවේ සියලු ක්‍රියාකාරකම් නීර්නය කරන මූලධර්මය -ධනවතුන්ගේ ලාබ අවශ්‍යතා- සියලු සලකා බැලීම්වලින් ඉවත් කල යුතු වෙයි.

ඉදිරිපෙල වසංගත විද්‍යාඥයෝ කැට්ස් හා ෆ්‍රීඩ්මාන්ගේ ප්‍රකාශ හෙලාදැක ඇත. “ගෝලීය ප්‍රජාව කෝවිඩ්-19යෙන් ආරක්ෂා වීමට ඕනෑවට වඩා මහන්සි වෙනවා” යැයි කැට්ස් කර ඇති ප්‍රකාශය, ස්ටීවන් එච්. වර්මුන්ඩ්, ග්‍රෙග් ගොන්සාල්වේස්, බෙකා ලෙවී හා සාද් ඕමර් යන යේල් විශ්ව විද්‍යාලයේ වසංගත විද්‍යාඥයන් හතරදෙනාගේ කන්ඩායම විසින් ටයිම්ස් වෙත යවන ලිපියක් තුල විවේචනයට බඳුන් කලේ ඔහු(ෆ්‍රීඩ්මාන්) “වසංගතයට තමන්ගේ ගමන යන්න දෙන්නයි ඔහු කැමති” යැයි කියමිනි.

නිව් යෝක් ටයිම්ස් තීරුලිපි කර්තෘ ජිම් දාඕ හෝ කතුවැකි පිටුවේ කර්තෘ ජේම්ස් බෙනට් යන දෙදෙනාගෙන් කවරෙක් වත් “මෙම වගකීම් විරහිත කුනු කන්දල් පලකිරීමට පෙර ආසාදිත රෝග වසංගත විද්‍යාඥයෙක් සමග කතා කිරීමට” හිතුවේ වත් නැතැයි ට්විටර් පනිවුඩයක් පලකල යේල් විශ්ව විද්‍යාලයේ වසංගත විද්‍යා සහකාර මහාචාර්ය ගොන්සාල්වේස් ඊටත් වඩා ඍජුව ප්‍රතිචාර දැක්වීය.

“සාක්ෂි පදනම් නො වන, විශ්ලේෂනයක් රහිත නැවැත්වීමේ තිතක් තැබීම සඳහා පච කතන්දර මල්ලක් සමගින් මහජන සෞඛ්‍ය ප්‍රයත්නයන්වලට වලකැපිමට” කැට්ස් හා ෆ්‍රීඩ්මාන්ගේ ලිපි සූදානම් වන බව ඔහු ලිවී ය.

ඔහු දිගට ම මෙසේ ලිවී ය: “ධවලමන්දිරයේ වසංගතය සඳහා දැක්විය යුතු ප්‍රතිචාරය අවුල් කරදැමූ සැබෑ ඩොනල්ඩ් ට්‍රම්ප් සිටිද්දී, ජනාධිපතිවරයා කරන්නේ කුමක්දැයි යන්නට වඩා තරමක් දන්නා හා ඔහු මෙන් ම තමන්ගේ හිතේ පහලවන දේවල් කීමට මනාප ඉහල මධ්‍යම-පන්තික මිනිස්සු නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ සිටිති. වෛද්‍ය ඩේවිඩ් කැට්ස්, ටොම් ෆ්‍රීඩ්මාන්. ජිම් දා ඕ සහ ජේ බෙනට්, ඔබ ඔබ සම්බන්ධයෙන් ම ලජ්ජා විය යුතු ය.”

ලොව සෙලවූ වසංගතයක් මධ්‍යයේ හිතා මතා ම ව්‍යාජ විද්‍යාව ඉදිරියට දමමින් සිටින නිව් යෝක් ටයිම්ස් පත්‍රය ජීවිත අනතුරේ හෙලයි. මෙම ක්‍රියාවන් සතුව නිශ්චිත සමාජ අන්තර්ගතයක් තිබේ. ට්‍රම්ප් මෙන් ටයිම්ස් පත්‍රයේ ද මූලික උත්සුකය වන්නේ කවර හෝ වියදමක් දරා ව්‍යාපාර යලි විවෘත කොට කොටස් වෙලඳපොලට වටිනාකම් පොම්ප කිරීම යි. එහි අර්ථය වන්නේ අනාරක්ෂිත කොන්දේසි යටතේ ඩාදිය හෙලීමට බලකෙරෙන කම්කරුවන් “ඛේදනීය ලෙස මිය යයි නම්” එය එසේ වුනා වේ යන්න යි.

මෙම ක්‍රියාවලියට යටින් දිවෙන තර්කයක් තිබේ.එනම්, මූල්‍ය පද්ධතියට යෝධ පරිමානයෙන් නය එන්නත් කිරීමට, කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම උකහාගෙන සහයෝගය දැක්විය යුතුය යන්නයි.

අත්‍යවශ්‍ය නිරෝධායන නතර කිරීමෙන්, මිනිසුන් නැවත සාප්පු වෙත පැමිනවීමට හා අවන්හල් වෙත යැවීමට එතරම් බල කිරීමක් නොකරයි. එහෙත් වැඩ නො කර සිටීම තනි පුද්ගල තීරනයක් ලෙස සලකනු ඇත්තේ, අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩකිරීම ප්‍රතික්ෂේප කරන කම්කරුවන් විරැකියා රක්ෂනය ලැබීමට නුසුදුස්සන් බවට පත්කරමිනි.

ආරම්භයේ පටන් ම, පාලක පන්තිය මෙම වසංගතය දැකගෙන ඇත්තේ, මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස නො ව, ලාබ ජනනය කිරීමට වන විභව බාධකයක් ලෙස ය. එහි කුදුමහත් උත්සුකය වී පවත්නේ එහි පදනමට අර්බුදය කෙසේ බලපාවි ද යන්න යි. ආන්ඩුවෙන් යෝධ ඇපකරයක් සුරක්ෂිත කරගෙන සිටින පාලක පන්තියට දැන් අවශ්‍ය වන්නේ ව්‍යාපාර සාමාන්‍ය තත්ත්වයට පෙරලා එන තහවුරු කරගැනීම යි.

සමාජීය ව ක්‍රියාවට දමන ලද මේ ආකාරයේ මිනීමැරීමකට, ආබාධිත පුද්ගලයන් යනු ඉවත් කර දැමිය යුතු “නොගැලපෙන”ප්‍රධානතම පිරිසකැයි නාසීන් ඉදිරිපත් කල තර්කනයට අසමාන නො වන නිශ්චිත ෆැසිස්ට්වාදී ස්වභාවයක් තිබේ. ඇමරිකානු ධනවාදය මුහුන දෙමින් සිටින විශාලතම අර්බුදය මධ්‍යයේ, පාලක පන්තිය තමන් හුදෙක් පරපෝෂිත බව පමනක් නො ව මනුෂ්‍ය ඝාතක බව ද හෙලිදරවු කරයි.

මෙම පිලිවෙත ඉස්මතු වන්නේ ලාබ පද්ධතිය මත අත තබන කිසිදු පියවරක් ගත නො හැකි ය යන අනභියෝගී උපකල්පනයෙනි. ජීවිත මිලියන ගනනකට තර්ජනය කරන ගෝලීය වසංගතයක් මධ්‍යයේ පවා, ලෝකයේ ආන්ඩු හා ඒවායේ මාධ්‍ය පක්කලියන්ගේ ප්‍රමුඛතාව වන්නේ, පාලක පන්තියේ ධනය හා සංගත-මූල්‍ය ප්‍රභුවේ අවශ්‍යතා කවර පිරිවැයක් හෝ දරා ආරක්ෂා කිරීම යි. 

සමාජයේ සියලු ආර්ථික සම්පත් දැන් බලමුලුගැන්විය යුත්තේ, වෝල් වීදිය ගලවාගැනීමට නො ව, වසංගතයට එරෙහි ව සටන් වැදීමට යි. අවශ්‍ය නම් බලහත්කාරය යොදාගෙන හෝ, ආපසු වැඩට ඒම මගින් කම්කරුවන් ඔවුන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවිත කැපකල යුතු යයි පාලක පන්තිය කරන ඇනවීම්, යෝධ විරුද්ධත්වයක් ජනනය කරනු ඇත. 

වෝල් වීදියේ, මාධ්‍යවල හා ට්‍රම්ප් පරිපාලනයේ ඇනවීම්වලට එරෙහි මහජන විරුද්ධත්වය වර්ධනය කිරීම, වසංගතයට එරෙහි සටනත්, කම්කරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ පිලිවෙත් ක්‍රියාවට දැමිමත්, ඒ සමග ම ධනවාදයට එරෙහි සටනක් ය යන්න මත පදනම් කල යුතු ය.

Loading