ඉන්දියානු අගමැතිගේ කොරෝනා වෛරස් අගුලු දැමීම මිලියන ගනනක් ජනතාව සමාජ උපද්‍රවයකට ඇද දැමීමේ තර්ජනයක් මතු කරයි

මෙම ලිපිය මාර්තු 26 වනදා ඉංග්‍රීසි බසින් පලකෙරින.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියා මාර්ග ගැනීම රෝගයේ ගෝලීය ව්‍යාප්තිය වැලැක්වීමට තීරනාත්මක යයි අනතුරු අඟවා දිනකට පසු, අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තු 24 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රට පුරා සති තුනක අගුලු ලෑමක් ප්‍රකාශයට පත් කලේ ය.

ඉන්දියාවේ දැවැන්ත ජනගහනය ගැන සඳහන් කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වැඩසටහන් අධ්‍යක්ෂක මයික් රයන් මාර්තු 23 වැනි දා මෙලෙස සඳහන් කලේ ය: “මේ ගෝලීය වසංගතයේ අනාගතය තීරනය වනු ඇත්තේ ජන ඝනත්වය අධික රටවලට කුමක් වනු ඇති ද යන්න මතයි. ඉන්දියාව මහජන සෞඛ්‍ය මට්ටම සහ සමාජ මට්ටම ගැන දැඩි ක්‍රියාමාර්ග ගැනීම රෝගය පාලනය කිරීම සහ යටපත් කිරීම සම්බන්ධයෙන් වැදගත් ය.”

ප්‍රථම කොවිඩ් ආසාදිත රෝගියා වාර්තා වීමෙන් පසු, සූදානම් වීමට නාස්ති නොකල යුතු ව තිබූ මාස දෙකකට පසු ය, මෝදිගේ අගුලු ලෑම ක්‍රියාත්මක වූයේ. දැනට නිල වශයෙන් වාර්තා වී ඇත්තේ කොවිඩ් අසාදිතයන් 606ක් සහ මරන 12ක් වුවත්, එරට බිලියන 1.3ක ජනගහනයෙන් කී දෙනෙක් අසාදිත දැයි පැහැදිලි නැත්තේ යන්තම් 20 000ක් දෙනා පමනක් පරීක්ෂාවට ලක් වී ඇති නිසා ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෛද්‍ය විශේෂඥයන් ගනනාවක් ම මතු ව එන අන්තරාය ගැන අනතුරු ඇඟවූහ. මෝදි සහ වගකිව යුතු ඉන්දියානු ආයතන රට තුල රෝගය පැතිර යාමක් නැතැයි යන පදනමෙහි පිහිටා “කලබල නොවී සිටීම” තම අරමුන යයි දිගින් දිගට ම ප්රකාශ කලහ. මෝදි විසින් ජාතික මට්ටමේ අගුලු ලෑමක් පැනවීමේ හිදිසි ප්රතිචාරය දැන් පෙන්නුම් කරන්නේ තත්ත්වය කොපමන උග්ර අතට හැරී තිබිය හැකි ද යන්නයි.

ඉන්දියාවේ එකොනොමික් ටයිම්ස් මාර්තු 23 වැනි දා වාර්තා කලේ පෙබරවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය සේවා උපකරන නිෂ්පාදනය ඝාතීය ව ඉහල යන ගෝලීය ඉල්ලුමකට සරිලන පරිදි සියයට හතලිහකින් ඉහල නංවන්නැයි කල ඉල්ලීමට කර්මාන්ත ක්ෂේත්‍රය සහ ආන්ඩු ඇහුම්කන් නුදුන් බවයි. “ආන්ඩුව කිසිම දෙයක් පෙර දකින්න සමත් වුනේ නෑ” යයි ටයිම්ස් අදහස් දැක් වූයේ, “ආන්ඩුව අන්තිම මොහොතේ තක්කු මුක්කු වීම ප්‍රමානවත් නොවේ යන්න කර්මාන්තයේ විශේෂඥයන්ගේ හැඟීමයි” යනුවෙන් එයට එකතු කරමිනි.

ඉන්දියාවේ ආරක්ෂිත ආවරන නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සන්ජීව් රෙහාන් “පෙබරවාරි 7 තරම් කලින් අපි ආන්ඩුවෙන් ලාභ නොතකා වැඩ කරන්නැයි ඉල්ලා සිටියත් එයට ඇහුම්කන් දුන්නේ නෑ. ස්ථර තුනක මුහුනු ආවරනයක් නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක මිල රුපියල් 250 සිට  3 000 දක්වා ඉහල ගිහින්. ඉලාස්ටික් මොන ගානක් ගෙවලවත් ගන්න නෑ. අපි හදන දේවත් හදා ගන්න බැරි අර්බුදයකට දැන් අපි පත් වෙලා ඉන්නේ. … අපි දිගින් දිගට ම ආරක්ෂිත උපකරන තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාව මතු කලත් එය නොසලකා හැරුනා” යයි ප්‍රකාශ කලේ ය. 

මෝදි තමන්ගේ කතාවේ දී, දිගින් දිගට ම අවධාරනය කලේ ආසාදනය පැතිරීම නතර කිරීමට සමාජ දුරස්ථතකරනය අත්‍යවශ්‍ය බවයි. “අප ඉදිරියේ ඇති එක ම මාවත එයයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ “කොරෝනා වෛරසයෙන් ගැලවීමට අන් ක්‍රමයක් හෝ මාවතක් නැත” යැයි සඳහන් කරමිනි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමේ දී සමාජ දුරස්ථකරනය වැදගත් අංගයක් වුවත්, මෝදි එය හුවා දැක්වූයේ “එක ම” පියවර වශයෙනි. ජාත්‍යන්තර අත්දැකීම රෝගය ආසාදිතයන් හඳුනා ගැනීමට විශාල පරිමාන පරීක්ෂා කිරීම් සමග ක්‍රමානුකූල ව රෝගියා හා සම්බන්ධ වූ අය හඳුනා ගැනීම සහ වේගවත් හුදකලාකිරීම් සහ ඔවුන් ද පරීක්ෂාවට ලක් කිරීම ආදිය අත්‍යවශ්‍ය බව ඔප්පු කර ඇත. හුදකලා කල නොහැකි කම්කරුවන්, විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ කම්කරුවන්ට ප්‍රමානවත් ආරක්ෂක ඇඳුම් සම්පාදනය ද එයට නොඅඩු අත්‍යවශ්‍යතාවයකින් යුතු ය.

මෝදි ඉන්දියානු ජනගහනයට “දොට්ට නොබසින්නැයි” කියන අතරේ, මිලියන ගනන් කම්කරුවන් පීඩිතයන් අගුලු ලෑමෙන් අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීම ඇතුලු මුහුන දෙන දැවැන්ත දුෂ්කරතා විසඳා ගන්නේ කෙසේ දැයි දක්වන පැහැදිලි වැඩසටහනක් සඳහන් කලේ නැත.

මාර්තු 25 බීබීසී වාර්තාවක් “ලෝක කම්කරු සංවිධානයට අනුව, අඩු ම තරමේ ඉන්දියානු ශ්‍රම බලකායෙන් සියයට 90ක්වත් අවිධිමත් අංශයේ මුරකරුවන්, පවිත්‍රතා කම්කරුවන්, වීදි වෙලෙන්දන්, කසල එකතු කරන කම්කරුවන් සහ ගෘහ සේවකයන් වශයෙන් වැඩ කරති.” යන කාරනය අවධානයට මතු කලේ ය.

2019 දී, මිලියන් 520ක් පමන වූ මෙම කම්කරුවන්ගෙන් යුත් විශාල ජනගහන පංගුව පඩියකට හිමිකම් නොකියන බැවින් සති තුනක අගුලු ලෑමේ කාලසීමාව තුල තම දෛනික වැටුප අහිමි වීමට මුහුන දීමට සිදු වෙයි.

උත්තර ප්‍රදේශයේ බන්ඩා දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කම්කරුවකු වන රමේෂ් කුමාර් බීබීසීයට මෙසේ පැවසී ය: “අපිට කුලී වැඩ දෙන්න කිසිම කෙනෙක් නැති වේවි. ඒත් අපි තවම වැඩ හොයනවා. … මම දවසකට රුපියල් 600ක් හම්බු කරනවා. ඒකෙන් මම පස් දෙනෙක්ව ජීවත් කරවනවා. තව දවස් කීපයකින් අපේ කෑම ඉවර වෙයි. කොරෝනා වෛරසයේ අවදානම ගැන මම දන්නවා; ඒත් මට මගේ ලමයි බඩගින්නේ ඉන්නවා බලා ගෙන ඉන්න බෑ.”

පදික වෙලෙන්දෙකු වන මොහොමඩ් සබීර් මිලියන ගනනක් මුහුන දෙන සමාජ ව්‍යසනය අවස්ථාවෝචිත ලෙස බීබීසීයට කැටි කොට ඉදිරිපත් කලේ මෙසේ ය: “මට මොනවා කරන්න ද කියලා හිතාගන්න බෑ. කොරෝනා වෛරසයට කලින් සාගින්න විසින් අපි වගේ අසරනයන්ව මරා දාවි ය කියන එකයි මට බය.”

එන සති කීපයේ දී, මිලියන දෙකකටත් වඩා රැකියා නැති කරමින් ආපන ශාලා තුනෙන් එකකට වඩා වැසී යා හැකි බවට වාර්තා පෙන්වා දෙයි. මේ ප්‍රදේශයේ සමස්ථ රථවාහන කර්මාන්ත අංශය ඇනහිට ඇත්තේ ඒවායේ මිලියන ගනනක් කම්කරුවන්ගේ ජීවනෝපාය මාර්ගයන් ද අහිමි කරවමිනි.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන්නත්, වෛද්‍ය පහසුකම් පද්ධතිය ශක්තිමත් කරන්නත්” යයි මෝදි රුපියල් බිලියන 150ක (ඇමරිකන් ඩොලර් 1.9) ප්‍රතිපාදනයක් නිවේදනය කලේ ලොකු දෙයක් හැටියට ය. ඒමට නියමිත අන්තරායේ දිග පලල ගැන සිතන විට, මෙය සාගරයෙන් ගත් දිය දෝතක් තරම් සොච්චමකි. එය පෙන්වන්නේ පාලක පන්තියට මිනිස් ජීවිත ගැන ඇති නොතකා හැරීමත් අසංවේදී බවත් ය.

හරියට ම සති කීපයකට මත්තෙන්, මෝදි ආන්ඩුව ආරක්ෂක අයවැයට ඇමරිකන් ඩොලර් බිලියන 66ක් වෙන් කලේ ය. එය වෛරසය සමග සටන් කිරීමට වෙන් කල මුදල් ප්‍රමානය මෙන් 30 ගුනයකටත් වඩා අධික ය. පෙරවාරි 24-25 දිනවල දී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්දියානු සංචාරය අතරතුර දී මෝදි ඇමරිකාවෙන් මිල දී ගැනීමට එකඟ වූ මිලිටරි හෙලිකොප්ටර් සඳහා වැය කිරීමට යන මුදලටත් වඩා කොරෝනා වෛරසය මැඩීමට වෙන් කල මුදල කුඩා ය.

එක් කොරෝනා වෛරස් පරීක්ෂන කට්ටලයක් සඳහා ආන්ඩුවට රුපියල් 5 000ක් වැය වෙයි. මෙම ඩොලර් බිලියන 1.9 පරීක්ෂන සඳහා ම වැය කලා යයි සිතුවොත්, එය ප්‍රමානවත් වන්නේ බිලියන 1.3ක ජනගහනයකින් මිලියන 29ක් දෙනා පරීක්ෂනවලට ලක් කිරීමට පමනි ය.

කෙසේ නමුත්, මෝදිගේ ඩොලර් බිලියන 1.9ක ප්‍රදානය හුදෙක් පරීක්ෂන සඳහා ම පමනක් නොවෙයි. ඔහු පම්පෝරි ගසන ආකාරයට ලක්ෂයක් දෙනාට දැඩි සත්කාර ඒකක ඇඳන් 2.3ක් ඇති දරුනු හිඟයන්ගෙන් පීඩා විඳින සෞඛ්‍ය පද්ධතිය ද දියුනු කිරීම සඳහා ය. ලක්ෂයකට දැඩි සත්කාර ඒකකවල ඇඳන් 4.6ක් ඇති ඉරානයේ කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් ඒවා පිරී ඉතිරී ගොස් තිබීම ඉදිරි කාලය තුල ඉන්දියාවේ වර්ධනය විය හැකි දරුනු තත්ත්වය පැහැදිලි ව ම පෙන්නුම් කරන්නකි.

2019 දී, ඉන්දියානු වෛද්‍ය සංගමය හදිසි සත්කාර විශේෂඥයන්ගේ දස දහස් ගනනක හිඟය පෙන්වා දුන්නේ ය. ඒ අතරේ ම, වෛද්‍යවරුන්ගේ සහ රෝහල් ඇඳන්වල බහුතරය ඇත්තේ පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් තුල ය. කම්කරුවන් සහ ග්‍රාමීය පීඩිතයන් ඇතුලු ජනගහනයේ අතිවිශාල බහුතරයකට මේ වියදම් දැරිය නොහැකි ය.

Loading