බංග්ලාදේශය: කොවිඩ්-19 අර්බුදය මධ්‍යයේ ඇඟලුම් කම්කරුවෝ ආරක්ෂාව උදෙසා වැඩ වර්ජනය කරති

මෙම ලිපිය අප්‍රේල් 01 දා ඉංග්‍රීසි බසින් පලවිය.

කෝවිඩ්-19 දිගින් දිගටම රට පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී නිෂ්පාදනය පවත්වා ගෙන යන ලෙස හාම්පුතුන්ගේ ඉල්ලීම්වලට විරෝධය දක්වමින් බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවෝ පසුගිය මාසයේ අගභාගයේදී වැඩ වැරූහ.

ඩකා හි ටුරාග් ප්‍රදේශයේ අයිඑෆ්එල් කම්හලේ ඇඟලුම් කම්කරුවෝ සෙනසුරාදා තම කම්හලෙන් පිටත උද්ඝෝෂනය කල අතර පසුව එම කම්හල වසා දමා සියලු හිඟ මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටිමින් පාගමනක යෙදුනහ.

ගාසිපූර්හි සෆා ස්වේටර් සහ ජාහින් ටෙක්ස්ටයිල්, මිර්පූර් හි සිරාජ් ගාමන්ට්ස් සහ අෂුලියා හි මොහමඩ්පූර් හි කර්මාන්තශාලා ඇතුලු ඇඟලුම් කම්කරුවෝ දහස් ගනනක් ද එම ගැටලුවලට විරෝධය පල කලහ. මෙම පෙලපාලි වනාහි ජීවිත තර්ජනාත්මක අවදානම් හමුවේ ඔවුන් දිගටම වැඩ කරන ලෙස සේවා යෝජකයන් විසින් කෙරුනු ඉල්ලීම්වලට එරෙහිව ලොව පුරා වැඩෙන කම්කරු පන්තියේ විරෝධයේ රැල්ලක කොටසකි.

වෛද්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් අනුව යමින් බංග්ලාදේශ ආන්ඩුව මාර්තු 23 වන දින රටපුරා වැඩකටයුතු නතර කිරීමක් හෝ නිල නොවන අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කලේය. මාර්තු 26 සිට අප්‍රේල් 4 දක්වා කාලය තුල සියලුම ආන්ඩුවේ හා පෞද්ගලික කාර්යාල වසා තබන බව එය පසුව ප්‍රකාශ කලේය.

රෝහල්, ආහාර වෙලඳපොල, උපයෝගිතා සේවා සපයන්නන් සහ පිරිසිදු කරන්නන් වැනි හදිසි සේවා සපයන්නන් දිගටම වැඩ කල යුතුය. බැංකු සීමිත කාලයකට විවෘතව පවතින නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වන ආහාර, තෙල් හා ‍ඖෂධ හැරුනු විට සියලුම පොදු ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක නොවන අතර සියලුම අධ්‍යාපන ආයතන වසා දැමී ඇත.   

වසංගත රෝග, රෝග පාලන හා පර්යේෂන ආයතනයට අනුව, පුද්ගලයින් 48 දෙනෙකුට කෝවිඩ්-19 වැලඳී ඇති බව සනාථ කෙරී ඇති අතර, මියගිය පස් දෙනෙකුද, සුවය ලැබූ 15 දෙනෙකුද සහ වෛද්‍ය නිරීක්ෂන යටතේ 28 දෙනෙක් ද වෙති. මහා පරිමාන පරීක්ෂනයක් සිදුකෙරී නොමැති කොන්දේසි යටතේත් - මාර්තු 29 වන විට පුද්ගලයින් 1,185 ක් පමනක් පරීක්ෂාවට ලක් කර ඇති අතර - ප්‍රජාවන් අතර පැතිර යාම දැනටමත් ආරම්භ වී ඇති කොන්දේසි යටතේ මෙම සංඛ්‍යාවන් විශ්වාසනීය නොවේ.

දැනට බංග්ලාදේශ් ගාමන්ට් මැනුෆැක්චරස් ඇන්ඩ් එක්සපෝටර්ස් (බීජීඑම්ඊඒ) සාමාජිකයින්ට අයත් කර්මාන්තශාලා වලින් සියයට 80 ක් සහ බංග්ලාදේශ් මැනුෆැක්චරස් ඇන්ඩ් එක්සපෝටර්ස් සංගමයේ (බී.කේ.එම්.ඊ.ඒ) සාමාජිකයින්ට අයත් කර්මාන්තශාලා වලින් සියයට 60 ක් වසා දමනු ලැබ ඇත

කෙසේ වෙතත්, මාර්තු 29 වන දින ඇඟලුම් කම්හල් 299 ක් ඇතුලුව කර්මාන්තශාලා 985 ක් විවෘතව පැවතුනි. බීජීඑම්ඊඒ ප්‍රකාශක මොන්සූර් අහමඩ් මාධ්‍යයට පැවසුවේ වෛද්‍යවරුන් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරන  නිෂ්පාදනය කිරීම සඳහා සමහර කර්මාන්තශාලා තවමත් ක්‍රියාත්මක වන බවයි.

නිල නොවන අගුලු දැමීමට පෙර, කම්කරුවන්ගේ සහ සේවකයන්ගේ එක්සත් පෙරමුන සහ කම්කරු අයිති ව්‍යාපාරය ආදී ඇඟලුම් වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වැඩ කරන සමාගම් රාශියක් නිෂ්පාදන පවත්වා ගෙන ගියහ.

බංග්ලාදේශ කම්හල් කම්කරුවන්ගේ කෝපය වැඩිවෙමින් පවතින්නේ තමන්ට කම්හල් තුල හෝ රැකියාවට සහ පිටතට යාමේදී “සමාජ දුරස්ථභාවය”ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙනි. චිතගොං එක්ස්පෝට් ප්‍රොසෙසින්ග් සෝන්හි ඇඟලුම් සේවිකාවක් වන ෂේහානා අක්තර් ඩේලි ස්ටාර්ට මෙසේ පැවසුවාය: “මගේ දෛනික ගමනාගමනයේදී කිසියම් ආසාදිත පුද්ගලයෙකු විසින් මා ස්පර්ශ කරනු ඇත්ද නැද්ද යන්න මට ඇත්තෙන්ම බියක් දැනේ.”

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඇනවුම් පහත වැටීම හේතුවෙන් රැකියා අහිමිවීමේ තර්ජනයට මුහුන දෙන බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල් 4,000 ක පමන සේවයේ නියුතු මිලියන පහකට ආසන්න, ප්‍රධාන වශයෙන් කාන්තාවන් ඇතුලුව, කම්කරුවන් සිටිති. දැවැන්ත ගෝලීය සිල්ලර වෙලෙන්දන් වන වෝල්-මාට්, එච් ඇන්ඩ් එම්, සී ඇන්ඩ් ඒ, මාර්ක් ඇන්ඩ් ස්පෙන්සර්, එස්ප්‍රිට්, ජීඒපී සහ ලී ඇන්ඩ් ෆන්ග්, මෙම සූරාකෑමට ලක්වූ කම්කරුවන්ගෙන් විශාල ලාභයක් ලබන අතර කම්කරුවන්ට මසකට ඩොලර් 95 ක් හෝ ඊට අඩු වැටුපක් ලැබේ.

බීජීඑම්ඊඒ ට අනුව ඇඟලුම් කර්මාන්තශාලාවලට ඩොලර් බිලියන 1.8 ක ඇනවුම් අත්හිටුවමින් තවත් ඩොලර් බිලියන 1.4 ක් අවලංගු කරනු ලැබ ඇති අතර, මෙමගින් මිලියන දෙකක කම්කරුවන්ගේ රැකියා තර්ජනයට ලක්වී ඇත. පසුගිය මූල්‍ය වර්ෂය තුල ඇඟලුම් කර්මාන්තය අපනයන ඉපැයීම් සඳහා සියයට 84.21 ක දායකත්වයක් ලබා දීමත් සමඟ මෙය බංග්ලාදේශ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරයි.

අගමැතිනි ෂීක් හසීනා මාර්තු 25 වන දින රූපවාහිනිය මගින් විකාශය වූ නිදහස් හා ජාතික දින කථාවේදී සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේ “නිවසේ රැඳී සිටින්න” සහ “සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස පිලිපදින්න” යනුවෙනි. කොරෝනා වයිරස් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අපනයන අරමුනු කරගත් කර්මාන්ත හෝ අත්‍යවශ්‍ය නොවන අංශවලට පෙල ගැසෙන ලෙස ඇය ඉල්ලා සිටියේ නැත.

හසීනා අපනයන අරමුනු කරගත් කර්මාන්ත සඳහා ටකා බිලියන 50 ක (ඇමරිකානු ඩොලර් මිලියන 595) “උත්තේජක පැකේජයක්” ප්‍රකාශයට පත් කල අතර කම්කරුවන්ගේ වැටුප් ගෙවන ලෙස ආචාරශීලීව යෝජනා කලාය. මහා ව්‍යාපාරිකයෝ ඇයගේ ඉල්ලීමට අවනත වූවාද යන්න පිලිබඳව මාධ්‍ය වාර්තා නොමැත. කම්කරු පන්තියේ විරෝධයට බිය වූ බීජීඑම්ඊඒ සභාපතිනි රුබානා හක් පසුව වැටුප් ගෙවීමට අපොහොසත් වුවහොත් එය “බරපතල සමාජ නොසන්සුන්තාවයක්” ඇති කරන බවට අනතුරු ඇඟවුවාය.

කෝවිඩ්-19 පැතිරීම නිසා පීඩිත තේ වතු කම්කරුවෝ දහස් ගනනක් අවදානමට ලක්ව ඇත. මෝල්විබසාර් දිස්ත්‍රික්කයේ තේ වතු 163 ක කම්කරුවන් 500,000 ක් පමන මාර්තු 27 සිට වැඩ කර නැත. මෙම කම්කරුවෝ ජනාකීර්න හා අපිරිසිදු වාසස්ථානවල ජීවත් වෙති.

වීදි වෙලෙන්දන්, වෙලෙන්දන්, රික්ෂෝරථ අදින්නන්, සහ දෛනික ආදායම අහිමි වූ ට්‍රයිෂෝ සහ වෑන් රියදුරන් වැනි නාගරික ප්‍රදේශවල පීඩිත ජනතාව, අසරනභාවයට සහ ආසාදනයකටද ගොදුරු වීමේ තර්ජනයට ලක්වී ඇත.

දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 කට වඩා වැඩි (2019 මුදල් වර්ෂයේදී ඩොලර් බිලියන 17 ක් පමන) පංගුවක් සැපයෙන විදේශ ආදායම පහත වැටීම ද ආර්ථිකයට බලපායි. මන්දයත් බංග්ලාදේශ සංක්‍රමනික කම්කරුවන් 630,000 ක් පමන කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භවීමත් සමග ආපසු සිය රට බලා ගොස් ඇති බැවිනි. මැදපෙරදිග හා වෙනත් කලාපවල බංග්ලාදේශ් කම්කරුවෝ මිලියන 10 ක් පමන වැඩ කරති.

බලධාරීන් විසින් මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පවත්වා නැති නිසා ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ජනතාව නිල සෞඛ්‍ය පූර්වාරක්ෂක අනතුරු ඇඟවීම් ගැන නොදනිති. නාගරික දුගීන්ට “සමාජ දුරස්ථභාවය” සැබවින් ම කල නොහැක්කකි.

පලමු ආසාදිතයා මාර්තු 8 වන දින අනාවරනය වූ දා සිට, පරීක්ෂන කට්ටල, දැඩි සත්කාර ඒකක පහසුකම් සහ වෙනත් ආරක්ෂක ඇඳුම් සඳහා ටකා බිලියන දෙකක් ආන්ඩුව පොරොන්දු වී තිබේ. නමුත් මෙම උපකරන තවමත් රෝහල් වෙත ලඟා වී නොමැත.

සෞඛ්‍ය හා වෛද්‍ය සේවකයින් නිසි ලෙස පුහුනු කර හෝ ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය උපකරන සේවයේ යොදවා නොමැත. වෛද්‍යවරුන් තිදෙනෙකු සහ හෙදියන් දෙදෙනෙකු ආසාදිතයින් බව තහවුරු වී ඇති අතර සර්වාංග වෛද්‍යවරුන් 10 දෙනෙකු සහ වෛද්‍ය සේවකයින් 12 දෙනෙකු ස්වයං නිරෝධායනය යටතේ සිටිති. තමන්ට කොරෝනා වෛරසය වැලඳෙනු ඇතැයි යන බියෙන් වෛද්‍යවරු සහ වෛද්‍ය සේවකයෝ ආසාදිත රෝගීන් පරීක්ෂා කිරීමට මැලිකමක් දක්වති. සිල්හෙට්, රාජ්ෂාහි සහ කුල්නා හි රෝහල්වල වෛද්‍යවරු සිය ගනනක් ආරක්ෂක උපකරන ඉල්ලා වැඩ වර්ජන පවත්වා තිබේ

ඒ අතරම, ආන්ඩුව විසින් “සමාජ දුරස්ථභාවය” බලාත්මක කිරීම සඳහා යැයි කියාපාමින් හමුදාව සහ පොලීසිය යොදවා හමුදාකරනය කිරීමේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යයි. මෝල් වැසීමට විරෝධය පල කරමින් සති තුනක හිඟ වැටුප් මුදල් ගෙවන ලෙස බල කරමින් මාර්තු 25 වන දින දීනාජ්පූර්හි පැවැති ජුට් මෝල් කම්කරුවන්ගේ විරෝධතාවයට පොලීසිය වෙඩි තැබුවේය. වෙඩි තැබීමෙන් කම්කරුවන් පස් දෙනෙකු තුවාල ලැබූ අතර අසල සිටි තේ වෙලෙන්දෙකු මිය ගියේය.

කොක්ස් බසාර් හි ජනාකීර්න හා අපිරිසිදු කඳවුරුවල වෙසෙන රෝහින්ගියා සරනාගතයින් මිලියනයක් පමන අවදානමට ගොදුරුවීම පිලිබඳව බිය වැඩිවෙමින් පවතී. පිරිසිදු ජලය සහ වෛද්‍ය පහසුකම් වැනි මූලික පහසුකම් ඔවුන්ට නොමැත. ඔවුන්ට එහා මෙහා යාමේ නිදහස සීමා කෙරී ඇති අතර දුරකථන හා අන්තර්ජාල සන්නිවේදනය සඳහා ප්‍රවේශය නතර කෙරී ඇත.

හියුමන් රයිට්ස් වොච් මාධ්‍යයට පැවසුවේ ස්වේච්ඡා සේවකයින්ට ඇතුලුවීම සීමා කිරීම මගින් කඳවුරුවල කොරෝනා වයිරස් ආසාදන ප්‍රමානය පිලිබඳ දැනුම අවහිර කෙරෙන බවයි. බරපතල ලෙස ජනාකීර්න බන්ධනාගාරවල 89,000 කට අධික පිරිසක් අවදානමට ලක්ව සිටිති.

ලොව පුරා සිටින තම පාලක සගයන්ගේ දැඩි උදාසීනත්වය පිලිබිඹු කරමින් බංග්ලාදේශ බලධාරියෝ කෝවිඩ්-19 වින්දිතයින් සමූහ භූමදානය සඳහා ඩකාහි කිල්ගෝන්-තල්ටෝලා සොහොන් බිම සූදානම් කරමින් සිටිති.

Loading