වසංගත ව්‍යසනයේ ආර්ථික කඩා වැටීම වැඩ කරන ජනයා මත පැටවීම සූදානම් කෙරේ

කොවිඩ් -19 වසංගතයෙන් එල්ලවී ඇති සුවිසල් අර්බුදය වැඩ කරන ජනයා මත පටවමින් ඉන්ධන හා බෙහෙත් හැරුනු කොට “අත්‍යවශ්‍ය නොවන“ ද්‍රව්‍ය ආනයනය නැවැත්වීමට ආන්ඩුව පියවර ගෙන ඇත. රට තුල හා ගෙවතු වල ආහාර වගා කිරීමේ අවශ්‍යතාව ආන්ඩුව අවධාරනය කරන්නේ ආහාර අහේනියක් පිලිබඳ රතු එලිය දල්වමිනි.

අනෙක් පසින් කොරෝනා වසංගතයේ බලපෑමෙන් සිදුව ඇති ලාබ ඛාදනය සමනය කර ගැනීම සඳහා සමාගම් වලට සපයන මූල්‍ය පහසුකම් සඳහා බැංකු වලට තව දුරටත් රුපියල් බිලියන 400ක් වෙන් කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කර ඇත.

කොවිඩ් 19 වසංගතයෙන් බැට කමින් ඇති ගෝලීය ආර්ථිකය මේ වනවිට අවපාතයක් කරා ගමන් කරමින් තිබේ. එම ගෝලීය ආර්ථික කඩා වැටීම ලංකාව වැනි නය බරින් මිරිකී ආර්ථික අවදානමට ගොදුරුවී පැවති රට වලට රුදුරු ලෙස බලපා ඇත.

රට තුල විදේශ විනිමය සඳහා පවතින දරුනු හිඟය විදහා  දක්වමින් ආයාචනයක් නිකුත් කරන මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් රට තුල හා පිටත වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ඉතුරුම් හා වෙනත් අරමුදල් ලංකාවේ බැංකු පද්ධතිය තුල තැන්පත් කරන ලෙසය.  එම අරමුදල් විනිමය නීති හා බදු වලින් නිදහස් කරන අතර බැංකු වලට අදාල රහස්‍යතාව රැකීමටද මහ බැංකු අධිපති පොරොන්දු වෙයි. මෙයින් අදහස් වන්නේ මුදල් විශුද්ධිකරනයන් එනම් කලු සල්ලි පිලිබඳව වුව ආන්ඩුව නොතකන බවයි.

මේ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නය වාරික ගෙවීම කල් දැමීමට ලංකාව වැනි නොදියුනු රට වලට ඉඩ ලබා දෙන ලෙස ජාත්‍යන්තර නය දෙන සංවිධානයන්ට හා රට වලට බලපෑම් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගෙන් අප්‍රේල් 1දා දෙවන වතාවටත් ඉල්ලා සිටියේය.

සංචාරක ව්‍යාපාරය, අපනයන, සංක්‍රමනික කම්කරුවන්ගේ ප්‍රේෂන හා විදෙස් ආයෝජන මත ආර්ථිකයන් යැපෙන ශ්‍රී ලංකාව වැනි අවදානම් සහිත රට වල නය හා පොලී ගෙවීම කල් දැමීමක් හෝ නය යලි සකස් කිරීමක් කරන ලෙසට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා නය දී ඇති රට වල නායකයන් එකග කර ගනිමින් කොවිඩ්-19 වසංගතයෙන් ගැලවීමට තත්වය සකසා දෙන ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

ආර්ථික කඩා වැටීමේ තීව්‍රතාවය උග්‍ර වූයේ මාර්තු  26 - 30 වනදා දක්වා නිකුත් කල ඇමරිකානු ඩොලර් මිලියන 220ක සංවර්ධන     බැඳුම්කර නිකුතුවෙන් අත් කර ගත හැකිවී ඇත්තේ මිලියන 12ක් පමනක් වන පසුබිමකය.

විශ්ලේෂකයන් පවසන්නේ කොවිඩ්-19 වසංගතයෙන් මතුවී ඇති අවිනිශ්චිත තත්වය මීට බලපා ඇති බවයි.  “විදේශීය හා දේශීය ආයෝජකයින් දිගු කාලීන අවදානම් දැරීමෙන් ඉවත් වී ඇති අතර,    ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා සමහර විට පලමු වතාවට ප්‍රකාශ වී ඇති  ඇති දුර්වල රුචිය පෙර නොවූ විරූයැ“යි ඔවුහු පවසති.

නය පොලී වාරික ගෙවීම හා ආනයන අවශ්‍යතා ආදිය සදහා අන්ඩුව විදේශ මුදල් උපයා ගන්නේ මෙලෙස නිකුත් කෙරෙන බැඳුම්කර මගින් ඩොලර් නයට ගැනීමෙනි. දැන් පැහැදිලි වන්නේ ආන්ඩුව නය ගෙවීම් පැහැර හැරීමක් වෙත ගමන් කරමින් සිටින බවයි. මෙමගින් තව දුරටත් නය ගැනීම දුෂ්කර කෙරෙන අතර ග්‍රීසියේ අත්දුටුවා වැනි දරුනුතම කොන්දේසි වැඩ කරන ජනයා මත පැටවීමට ආන්ඩුව ක්‍රියා කරනු ඇත.

රටේ ඇස්තමේන්තුගත විදේශ නය රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 64 ක් දක්වා ඉහල ගොස් ඇති අතර රාජ්‍ය නය සියයට 91 ඉක්මවයි. මෙම වසර තුල නය වාරික හා පොලී ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 4.8 ක් අවශ්‍යවේ.

මේ වනවිට රුපියල, ඇමරිකානු ඩොලරයට අනුව 193 දක්වා කඩා වැටීම නිසා නය ප්‍රමානයේ රුපියල් අගය තව තවත් ඉහල යයි. මාර්තු අග වෙද්දී මෙම වසර තුල පමනක් රුපියලේ අගය බාල්දු වීම සියයට 4.7ක් යැයි පවසන මහ බැංකුව ඇඩො බිලියන 7.5ක් වන විදේශ මුදල් සංචිතය යන්තම් මාස හතරක ආයාතයන්ට සෑහෙන බව පවසයි.

මෙම ආර්ථික බිඳ වැටීම තුල,  සාර්ව ආර්ථික කොන්දේසි කෙරෙහි කොරෝනා වසංගතයේ බලපෑම පිලිබඳව, අප්‍රේල් 1දා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකුවේ අධිපති හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කොට අවධාරනය කර ඇත්තේ  “ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර පිලිබදව ආයෝජකයින්ගේ උපරිම විශ්වාසය ගොඩනැගීමේ පියවර“ ගන්නා ලෙසය.

කොවිඩ් 19 වසංගතයෙන් පැන නැග ඇති කඩා වැටීමට ප්‍රතිචාර ලෙස ව්‍යාපාර වලට ලබා දෙන අරමුදල් සඳහා රුපියල් බිලියන 400 ක් බැංකු වලට වෙන් කරන බව මහ බැංකුව සඳහන් කලේ මෙම රැස්වීමෙන් අනතුරුවය. මෙම අරමුදල් කුඩා හා මධ්‍යම පරිමාන සමාගම් සඳහා ද පවත්නා බව සඳහන් කෙරුනද ඉන් දැවැන්තම පදාසය වෙන් වනු අත්තේ මහා සමාගම් වලට බව නොඅනුමානය.

බැංකු වලට ලබා දෙන මෙම අරමුදල් ප්‍රකාශයට පත් කරන්නේ කොවිඩ්-19 වසංගතයේ බලපෑම මූල්‍ය වෙලද පලට එල්ල වන විටම ආයෝජකයන් ඉලක්ක කර ගනිමින් මහ බැංකුව කල  මුදල් පොම්ප කිරීමේ පියවර ගනනාවකින් පසුවය. මාර්තු 16දා,  කොටස් වෙලඳපොල වෙලඳුන් මහා ව්‍යාපාරයන් හා මූල්‍ය සමපේක්ෂකයන් ඉලක්ක කරගනිමින් පොලී අනුපාත සියයට එකකින් ද ව්‍යවස්ථාපිත බැංකු අනුපාත සියයට එකකින්ද පහත හෙලීය.

 

එදිනම මහ බැංකු අධිපති විසින් මූල්‍ය වෙලඳපොලේ බැඳුම්කර මිලදී ගැනීමට අවශ්‍ය තරම් මුදල් සහතික කරන ලදී. අනතුරුව ප්‍රධාන කර්මාන්තකරුවන්ට නය වාරික හා පොලී ගෙවීම් කල් දැමීම් හා සියයට හතරක පොලියට කාරක   ප්‍රාග්ධනය ඇතුලු සහන ආන්ඩුව නිවේදනය කලේය. අප්‍රේල් 1 වනදා නය වාරික  හා පොලී ගෙවීම් කල් දැමීම කොටස් වෙලඳපල සමාගම් වලටද ලබා දුනි.

උග්‍ර වන ලෝක ආර්ථික කඩා වැටීම මධ්‍යයේ ජාමූඅ හා ලෝක බැංකුව මාර්තු 25දින ප්‍රකාශයක් නිකුත් කරමින් කොරෝනා වෛරසයෙන් ආර්ථිකයන් කඩා වැටී ඇති නොදියුනු රට වලට නයදී ඇති නය හිමි රට වලට නය වාරික අය කර ගැනීමට ඉක්මන් නොවී ඉවසිලි සහගත වන ලෙස ඉල්ලා ඇත.

ජාමූඅහි  කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියෝර්ජිවා මෙසේ පැවසුවාය: “විදේශ මුදල් හිඟයෙන් පෙලෙන බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල විදේශ විනිමය හිඟය සමනය කිරීම සඳහා, ජාමූඅ සාම්ප්‍රදායික නය පහසුකම් ඉක්මවා යන අමතර විකල්ප ගවේෂනය කරයි.“

මෙම ඊනියා විකල්පයන් කම්කරු පීඩිත ජනයා මත පෙර නොවූ විරූ අයුරින් බර පටවන්නා වූ විකල්පයන් වන බව කම්කරු පන්තිය වටහා ගත යුතුය.

මිනිස් බල සමාගම් වලින් සේවා ස්ථාන වල සේවයේ යොදවන තාවකාලික කම්කරුවන් හා කුඩා ව්‍යාපාරික ස්ථානවල සේවකයින්, ටැක්සි රියදුරන්, ගොඩනැගිලි කම්කරුවන්, සනීපාරක්ෂක කම්කරුවන් හා එදිනෙදා කුලී වැඩ කරන කම්කරුවන් ඇතුලු සියයට පනහකට අධික ලංකාවේ තාවකාලික කම්කරුවන් දැනටම කොවිඩ්-19 වසංගතයේ පලමු පෙල ආර්ථික ගොදුරු බවට පත්ව තිබේ.

රටේ අපනයන නිෂ්පාදන වන ඇඟලුම්, තේ සහ කුලුබඩු වැනි භාන්ඩ යවන යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය ගෝලීය වසංගතය නිසා දැඩි ලෙස බලපෑමකට ලක්ව ඇත. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් අපනයන ආදායම අතිශයින් මන්දගාමී වී ඇති අතර ප්‍රධානතම අපනයන භාන්ඩය වන ඇගලුම් ක්ෂේත්‍රයේ සේවක සංඛ්‍යා හා වැටුප් කපන බවට එම සමාගම් දැනටම නිවේදනය කර තිබේ.

සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමයද අති දැවැන්ත ලෙස පහත වැටීමට නියමිතය. සංචාරක අංශයේ; හෝටල්, ආපනශාලා, නිවාඩු නිකේතන  2,500 කට අධික සංඛ්‍යාවක 500,000 ක් පමන කම්කරුවන් මෙන්ම ඔවුන්ගෙන් යැපෙන මිලියන දෙකකට පමන මෙම තත්වය සෘජුව බලපා තිබේ. ශ්‍රී ලාංකික කම්කරුවන් වැඩිපුරම සේවය කරන මැදපෙරදිග, ඉතාලිය සහ දකුනු කොරියාව, කොවිඩ් -19 මගින් දැඩි ලෙස පීඩාවට පත්වීම නිසා විදේශගත ශ්‍රමිකයින්ගේ මූල්‍ය ප්‍රේෂන අඩු වෙමින් පවතින අතර එම රැකියාවල අනාගතයද අවිනිශ්චිතය.

රට තුල ඇඳිරි නීතිය පනවා සති දෙකකට ආසන්න වෙමින් පැවතියදී වැඩ කරන ජනයා අතරින් වඩාත්ම පීඩාවට ලක්වඇති කොටස් ආහාර ඉල්ලා මහපාරට පැමිනෙමින් සිය කෝපය ප්‍රකාශ කරති. එම තතු තුල,  මාර්තු 31වනදා, ආන්ඩුව ප්‍රකාශයක් නිකුත් කරමින් සමෘද්ධිලාභීන්, අබාධිතයින් හා වැඩිහිටි දීමනාලාභීන්ට හා එම පොරොත්තු ලේඛන වල සිටිනවුන්ට රුපියල් 5,000ක සොච්චම් දීමනාවක් ලබාදෙන බවටද ස්වයං රැකියා කරන්නන්ගේ වාහන කල්බදු සඳහා ආධාර කරන බවටද සේවක වැටුප් ගෙවා ගත නොහැකි ව්‍යාපාර වලට සහන දෙන බවටද පොරොන්දු විය. මීට පෙර සමෘද්ධිලාභීන්ට රුපියල් 10,000ක පොලී රහිත සහනදායි නයක් ආන්ඩුව පොරොන්දු විය. 

ආන්ඩුව සිය ආර්ථික අමාරුකම් ගැන අඟවමින්  මේස පල්ලෙන් වැටෙන ඉඳුල් මෙන්වූ මෙම සොච්චම් දීමනා දුගී වැඩ කරන ජනයා වෙත විසි කරන අතර මහා ව්‍යාපාර වල ලාබ රැක ගැනීම සදහාත් කම්කරු-පීඩිත ජනයා තැලීම සඳහා නඩත්තු කරන ධනපති පන්ති උපකරන වන ආරක්ෂක හමුදා සඳහාත් වෙන් කරන ධන ස්කන්ධයන් දැවැන්තය. පසුගියදා ජනාධිපති විසින් ඉදිරි මාස දෙක සඳහා ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කල මුදල රුපියල් බිලියන 104කි.

එමෙන්ම නිතිපතා අන්තර්ජාතික සමාගම් හරහා සිදුවන සම්පත් ඩැහැ ගැනීම් මෙන්ම ලංකාව තුල කඳු ගසාගෙන සිටින ධනවතුන් ඇතුලු බැංකු හා මහා සමාගම්වල අතිමහත්  ධනයේ අතිරික්තය සුවිසල්ය.

ගෝලීයව සසඳන විට ශ්‍රී ලංකාවේ ධනවත් ප්‍රභූව දුර්වල වුවත්, 2016 සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් මිලියන 30 කට වඩා ශුද්ධ වත්කම් ඇති පුද්ගලයන් 80 ක් ද, ඩොලර් මිලියන 100 ක් හෝ ඊට වඩා සම්පත් ඇති පුද්ගලයන් 10 ක් ද සිටිති. ලංකාවේ ධනවත්ම පුද්ගලයින් ගේ පුද්ගලික ධනය ඩොලර් බිලියන භාගය ඉක්මවයි.  2016 දී ශ්‍රී ලංකාවේ ඩොලර් දශ ලක්ෂපතියන් පන්දහසක් සිටියහ. (ස්ටැටිස්ටා)

මෙම ධනස්කන්ධය කම්කරු ගොවි ජනයාගේ සැබෑ අවශ්‍යතාවය    සඳහා යොදා ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලක් මත බලය අත්පත් කර ගන්නා කම්කරු -ගොවි ආන්ඩුවකට පමනි.

 

Loading