වසංගත අර්බුදය මධ්‍යයේ ධනපති පක්ෂ ආන්ඩුව සමග අප්‍රකාශිත සන්ධානයකට එලඹෙයි

කොරෝනා වෛරසයේ පැතිරයාම විසින් ලංකාව තුල බරපතල සමාජ පිපිරීමක කොන්දේසි නිර්මානය කෙරෙමින් පවතිද්දී ලංකාවේ ධනපති පක්ෂ ආන්ඩුව සමඟ වඩාත් එකමුතුව කටයුතු කිරීමට පටන්ගෙන ඇත. අප්‍රේල් 02 දා අගැමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් සර්ව පාක්ෂික හමුවක් පැවැත්වුනු අතර ආන්ඩුව සමග එකට වැඩකිරීමට ප්‍රතිඥා දෙමින් ඊට පලමුවර සහභාගී වූ සියලුම පක්ෂ මෙවර හමුවටද සහභාගි වූහ.

මෙම හමුවට පෙර දිනයේ විපක්ෂයේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂය (එජාප) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡාවක් පැවැත්වීය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු එජාපයේ සියලුම ප්‍රධාන නායකයින් සාකච්ඡාවට සහභාගි වූ අතර, තමන්ගේ ප්‍රාදේශීය නියෝජිතයන් “ජනතාවට සහන දීමේ ආන්ඩුවේ වැඩපිලිවෙලට” ඒකාබද්ධ කරමින් ඒ සඳහා පූර්න සහය ලබාදෙන බව එජාපය එහිදී පොරොන්දු විය.

ආන්ඩුව සහ එජාපය අතර පැවති සාකච්ඡාව පිලිබඳ ජනාධිපති මාධ්‍ය අංශය ඉදිරිපත් කල වාර්තාවේ සඳහන් වූයේ “ආන්ඩුවේ වැඩපිලිවෙල එජාපයේ ප්‍රශංසාවට ලක්වූ බවත් ඔවුන් සමග ඉතා ඵලදායී සාකච්ඡාවක් ඇතිවූ” බවත්ය.

ධනපති පක්ෂ සහ ආන්ඩුව අතර ගොඩනැගෙමින් පවතින මෙම  අප්‍රකාශිත සන්ධානය නිල වශයෙන්ම පිහිටුවා ගැනීමේ ඉදිරි පියවරක් ලෙස, ජනතාවට සහන සැලසීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ සභාපතිත්වය යටතේ පක්ෂ නායක කමිටුවක් පිහිටුවීමේ සූදානමක් පවතින බව ආන්ඩුවේ හොරනෑවක් වන අරුන පුවත්පත ඊයේ වාර්තා කලේය.  

විපක්ෂ ධනපති කන්ඩායම් සහ ආන්ඩුවට අතර, මෙම එකමුතුව ගොඩනැගෙන්නේ කොරෝනා මර්දනය සඳහා ආන්ඩුව ගෙන ඇති පියවරයන්ගේ අප්‍රමානවත්භාවය පිලිබඳව කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අතර බරපතල විරෝධයක් මතුවෙමින් පවතින තත්වයක් තුලදීය. වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩල ප්‍රමානවත් ආරක්ෂක පහසුකම් නැතිකමින් අන්තරායකාරීව රැකියාවේ යෙදී සිටිති. ඔවුන්ගෙන් කොටසක් වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, අවශ්‍යය පහසුකම් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිවලදී රාජකාරිවලින් ඉවත්වන බව ප්‍රකාශ කර ඇත.

එදිනෙදා අවශ්‍ය ආහාරපාන නොකඩවා ලබාදීමේ ක්‍රමවත් යාන්ත්‍රනයක් නොමැතිව වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති ඇඳිරිනීතිය හේතුවෙන් රටේ කම්කරු-පීඩිත ජනයා අතිශය පීඩාවට පත්ව  සිටිති. ඒ අතර යම් දෛනික ජිවනෝපායකින් මුදලක් උපයාගත් පිරිස් මුහුන දී සිටින තත්වය වඩාත් ඛේදනීයය. මහජන විරෝධය යටපත් කිරීමේ අරමුනින් රාජපක්ෂ ආන්ඩුව නාගරික දුප්පතුන් සහ ගම්බද දුගී ගොවීන් සඳහා සහන පැකේජයක් ප්‍රකාශයට පත්කර ඇතත් බොහොමයක් වාර්තා වලින් හෙලිදරව් කෙරෙන්නේ එම සොච්චම් සහන පවා බහුතරයක් අතට නොලැබෙන බවයි.

එමෙන්ම ඉන්ධන සහ ඖෂධ හැරෙන්නට අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම නතර කිරීමට ආන්ඩුව ගෙන ඇති තීරනය ආහාර හිඟයක් නිර්මානය වීමේ අනතුර බරපතල ලෙස මතුකර ඇත.

ආන්ඩුවේ සහන මහජනතාව වෙත නිසිපරිදි ලඟා නොවන බව වැඩපිලිවෙල මෙහෙයවන බැසිල් රාජපක්ෂමත් සර්ව පාක්ෂික හමුවේදී ප්‍රකාශ කලේ මෙසේය: “තම ප්‍රදේශය තුල මුදලට හෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිවීම පිලබඳ පැමිනිලි 1426ක් ලැබී තිබෙනවා”.

මෙවන් තත්වයක් යටතේදී ඇඳිරි නීතිය නොතකා තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට මහජනතාව පෙලඹීම බලාපොරොත්තු විය හැකි නමුත් ඇඳිරි නීතිය කඩකල බවට චෝදනා කරමින් පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පිරිස 12000 ඉක්මවා ඇත.

පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම ප්‍රමුඛ කාර්යයක් බව සර්ව පාක්ෂික හමුවේදී කතාකල සෑම නියෝජිතයෙකුම පාහේ ප්‍රකාශ කලත් හමුදාව සහ පොලීසිය දිගේලි කරගනිමින් ආන්ඩුව ගෙන යන මර්දනකාරී පිලිවෙතට කිසිවෙකුත් විරුද්ධ වූයේ නැත. කොරෝනා මර්දනයේදී අත්‍යවශ්‍ය වන, මහා පරිමාන රෝග පරීක්ෂන ක්‍රියාත්මක නොකිරීම ඇතුලු කොතෙකුත් නොතකා හැරීම් තිබියදී ඒ පිලිබඳ කවර හෝ විවේචනයක් අත්හැර දමා ඇති සියලු ධනපති පක්ෂ ආන්ඩුව ගොඩනගමින් පවතින ආඥාදායක රාජ්‍ය යන්ත්‍රයේ සෘජු හවුල්කරුවන් බවට පත්වෙමින් සිටිති.  

මාරුවෙන් මාරුවට ලංකාවේ ආන්ඩු බලය දරමින් සෞඛ්‍ය ඇතුලු මහජන සුබසාධන අනවරතව කප්පාදු කොට එම සේවාවන් විනාශ කල සහ එම කප්පාදු වලට එරෙහිව නැගී සිටි කම්කරුවන් සහ පීඩිතයන්ට එරෙහිව රුදුරු මර්දනයන් දියත් කල මෙම ධනපති පක්ෂ මහජනතාවගේ අවශ්‍යතාවයන් පිලිබඳ ව සාකච්ඡාවක් පවත්වන්නට ඇතැයි සිතීමමත් මිත්‍යාවකි.

ඊට ප්‍රතිකූලව වසංගතය මධ්‍යයේ කඩා වැටෙමින් පවතින මහධනපතියන්ගේ ලාභ සුරක්ෂිත කර දෙන්නේ කෙසේද යන්න එම සාකච්ඡාවේ න්‍යාය පත්‍රය තුල ප්‍රමුඛ කරුනක් වන්නට ඇතුවාට සැක නැත. මෙවැනි සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සමාගම් වල ලාභ කඩාවැටීම් සමනය කර ගැනීම සඳහා ඔවුනට සපයන මූල්‍ය පහසුකම් වැඩි කරනුවස් බැංකු වලට තව දුරටත් රුපියල් බිලියන 400ක් වෙන් කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කර ඇත.

ධනපතියන්ට එසේ මුල්‍ය සහන සලසද්දී, කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත රැක ගැනීමේදී ප්‍රමුඛත්වය දියයුතු කරුන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත නැවතත් අවධාරනය කරන, රෝග පරීක්ෂාවේ දැවැන්ත ඉහල නැංවීමක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට මේ සියලු ධනපති පක්ෂ විරුද්ධය. එජාප නායක රනිල් වික්‍රමසිංහ එම විරුද්ධත්වය ප්‍රකාශ කලේ මෙසේය: “අපිට දවසකට පරීක්ෂන 5000 ක්, 6000 ක් කරන්න ශක්තියක් නෑ. ඒත් පුද්ගලික රෝහල් සම්බන්ධ කරගෙන තත්වය වැඩිදියුනු කරගත්තොත් තත්වය පාලනය කරගත හැකියි.” ෙ

ලංකාවේ පරීක්ෂන සීඝ්‍රතාව දවසකට 60ක් වැනි අතිශය පහල අගයක තිබියදී පවා ලංකාවේ ධනපති පාලකයන් මෙවන් නරුම යෝජනා ගෙන එන්නේ පෞද්ගලික අංශයේ පරීක්ෂන සඳහා අය කෙරෙන ගාස්තුවල බර ද මහජනතාව මත පැටවීමටයි‍ෙ

ආන්ඩුවේ මෙම සාපරාධී නොතැකීමට එජාපය මෙන්ම ජනතා විමුක්ති පෙරමුනද (ජවිපෙ) එකඟය. වසංගතය පාලනය කිරීමේදී ප්‍රමුඛතම වන්නේ සමාජ දුරස්ථකරනය බවට ආන්ඩුව සහ මාධ්‍ය විසින් ගෙනයන ප්‍රෝඩාව තොරොම්බල් කරමින්, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම හමුවට පෙර දිනයේ මාධ්‍යයට මෙසේ පැවසුවේය:    “වර්තමානයේ ඇඳිරි නීතිය පනවා ගෙනයන ක්‍රියාමාර්ග නිසා යම් සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා.”

ඇඳිරි නීතිය තත්වය තුල ජනතාවගේ පැත්තෙන් මතුවී තිබෙන ගැටලු අවම කරගැනීම සඳහා ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ආන්ඩුවේ වගකීමක් බවත් “අපට (ජවිපෙ) තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් කරුනු පෙන්වා දීම” බවත් සිල්වා එහිදී පැවසීය.

ජනතාවගේ ගැටලු අවමකර ගැනීම සඳහා ආන්ඩුවට උපදෙස්දීම කෙසේ වෙතත්, ආන්ඩුවේ ගැටලු අවමකර ගැනීම සඳහා මහජනතාවට උපදෙස් දීම ජවිපෙ හි ප්‍රතිගාමී භූමිකාවේ ප්‍රධාන අංගයකි. අසීමිත දුෂ්කරතාවයන්ට මුහුනදෙන මහජනතාව ආන්ඩුවට එරෙහිව කැරලිකාරී ලෙස නැගී සිටීම වලකනුවස් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහජනතාවට මෙසේ උපදෙස් දෙයි: “මේ මොහොතේ එකිනෙකාට උදව් පදව් කරගනිමින් තමන් මුහුන දෙන දුෂ්කරතාවන් ජය ගැනීමේ මානුෂික ක්‍රියාදාමයකට ජනතාව අවතීර්න විය යුතුයි.” දිසානායක මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීය.

එජාපය සහ ජවිපෙ මෙන්ම මේ මොහොතේ ආන්ඩුවට සහයෝගය පලකර ඇති සෑම ධනපති පක්ෂයක්ම එකිනෙකා අතර ඇති උපායික මතභේද පසෙක ලා එක පෙරමුනකට ගොනුවීමෙන් ප්‍රකාශයට පත්වන්නේ ජරපත් ධනපති ක්‍රමය බේරාගනීම සඳහා ඔවුන් කැපවී සිටින ආකාරයයි.

ධනපති පන්තියේ මෙම සෑම නියෝජිතයෙක්ම කම්කරු-පීඩිත මහජනතාවන් අතරින් මතුවන විරෝධතා හුදෙක් ආන්ඩුවට එරෙහිව පමනක් මතුවන ඒවා නොවන බවත්, සමස්ත ධනපති ක්‍රමයටම එරෙහි විරෝධයක් එතුල අන්තර්ගත වන බවත් හොඳාකාරවම දනිති.  එවන් තත්වයක් තුල ආන්ඩුවට එරෙහිව එල්ල කරන කවර හෝ විවේචනයක් එම විරෝධය වඩාත් ඉහල නැංවීමට තුඩුදෙන බැවින්  එවන් විවේචනයන් නවතා දමා දේශපාලන සටන් විරාමයකට සියලු ධනපති පක්ෂ ඇතුලු වී සිටිති.

මෙය ජවිපෙ හරහා හොඳින්ම ප්‍රකාශයට පත්වෙයි. මාධ්‍ය අමතමින් ආන්ඩුවේ යාන්ත්‍රනය පැසසූ ජවිපෙ ලේකම් සිල්වා ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානියා හැටියට බැසිල් රාජපක්ෂ පත්කිරීම පිලබඳව තමන්ට ප්‍රශ්න ඇතත් “මේ වෙලාවේ දේශපාලන විවේචන ගැන අවධානය යොමු නොකර මේ ව්‍යසනයෙන් රට මුදාගැනීමට අපි මැදිහත් වෙනවා” යැයි ප්‍රකාශ කලේය. “රට බේරා ගැනීම” යන සූත්‍රය ජවිපෙ විසින් ඉතිහාසය පුරා යොදාගෙන ඇත්තේ ධනපති රාජ්‍යය බේරා ගැනීමේ කඩතුරාවක් ලෙසිනි.

ජාතික ආන්ඩුවක් සඳහා සාකච්ඡා කෙරීගෙන යන බවට පලවෙන වාර්තා අසත්‍ය බව එජාප නායකයින් මාධ්‍ය වෙත පවසා ඇති නමුත් මේ මොහොත වන විට ඔවුන්ද ඇතුලත් ධනපති පක්ෂ සහ ආන්ඩුව අතර ගොඩනැගී ඇති හවුල, ජාතික ආන්ඩුවකින් එතරම් වෙනස් වන්නේ නැත. වසංගත අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව පිටින් යැවීම සඳහා ආන්ඩුව ගෙනඑන ඕනෑම යෝජනාවක් බාධාවකින් තොරව සම්මත කරදීමෙන් නොනැවති ආන්ඩුව වෙත වඩ වඩා දක්ෂිනාංශික යෝජනා ඉදිරිපත් කිරීම සඳහාද මෙම සන්ධානය වටා ගොනුවී සිටින ධනපති පක්ෂ කැපවෙනු ඇත.

කියවන්න:

වසංගත අර්බුදය පිලිබඳ පක්ෂ නායකයින්ගේ රැස්වීම: වැඩෙන මහජන විරෝධයට මුහුන දීම සඳහා ධනපති පාලක පන්තියේ මංමුලාසහගත වෑයමක්

ජවිපෙ ”සර්වපාක්ෂික යාන්ත්‍රනයක් සකස්කරන” ලෙස ආන්ඩුවට උපදෙස් දෙයි

 

 

Loading