නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ 1619 ව්‍යාපෘතිය:

ඇමරිකානු හා ලෝක ඉතිහාසය පිලිබඳ වර්ගවාදී මුසාකරනයක්

මෙම ලිපිය 2019 සැප්තැම්බර් 6 දින ඉංග්‍රීසියෙන් පලවින.

2019 අගෝස්තු 19 දින නිව්යෝර්ක් ටයිම්ස් හි ඉරිදා සඟරාව සමඟ නිකුත් කල පිටු සියයක විශේෂ සංස්කරනයක් ලෙස පල කරනු ලැබූ "1619 ව්‍යාපෘතිය" විසින් ඇමරිකානු ඉතිහාසය මුලුමනින්ම ඉදිරිපත් කෙරෙන්නේ හා අර්ථකථනය කරනු ලබන්නේ, ජනවර්ගයේ හා වාර්ගික ඝට්ඨනයේ ප්‍රිස්මය හරහා බැලූ කල්හි එම ඉතිහාසය පෙනෙන ආකාරයෙනි. මෙම සංස්කරනය පල කිරීමේ නිමිත්ත වනුයේ ප්‍රථම අප්‍රිකානු වහලුන් 20 දෙනා, උතුරු ඇමරිකාවේ පිහිටි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ වර්ජිනියාවේ කොම්ෆෝර්ට් වරාය කරා සම්ප්‍රාප්ත වීමයි. ඊලඟ දිනයේ දී ම මෙම වහල්ලු ආහාර ලබා ගැනීම වෙනුවෙන් වෙලඳාම් කරනු ලැබූහ. 

ටයිම්ස් පුවත්පත දක්වා ඇති පරිදි, මෙම ව්‍යාපෘතියේ අභිප්‍රාය වන්නේ "1619 අපගේ සැබෑ ආරම්භය ලෙස වටහා ගනිමින් ද, වහල් ක්‍රමයේ ප්‍රතිවිපාක හා කලු ඇමරිකානුවන්ගේ ප්‍රතිපදානයන් අප කවුරුන්දැයි අපටම කියා සිටින කථාන්තරයේ හරි මැද පිහිටුවමින් ද රටේ ඉතිහාසය පිලිබඳ අපේ කියවීම යලි වෙනස් කර ගැනීමයි."      

එක්සත් ජනපදයේ "සැබෑ" පදනම තහවුරු කිරීමේ ව්‍යාජය තිබියදීම, 1619 ව්‍යාපෘතිය යනු දේශපාලනිකව අභිප්‍රේරනය ලබා සිදු කෙරුනු ඉතිහාසය අපරචනය කිරීමකි. එහි ඉලක්කය වන්නේ පෞද්ගලික "අනන්‍යතාවයන්" - එනම්, ස්ත්‍රී-පුරුෂභාවය, ලිංගික අභිරුචිය, වංශය හා අන් සියල්ලටමත් වඩා වාර්ගිකත්වයට ප්‍රමුඛත්වය දීම මත පදනම්ව මැතිවරන සන්ධානයක් ගොඩ නැඟීමට ඩිමොක්‍රටික් පක්ෂය දරන ප්‍රයත්නයට නීත්‍යානුකූල භාවයක් අත්පත් කර දෙන ඉතිහාසවිෂයක වෘතාන්තයක් නිර්මානය කිරීමයි.     

ටයිම්ස් පුවත්පත මෙම ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කරන්නේ පෙර නුවූ විරූ හා නිර්ලෝභී ලෙස මුදල් යෙදවූ ප්‍රචාරක ප්‍රහාරයක් සමගිනි. අර්බුද වාර්තාකරනය පිලිබඳ පුලිට්සර් මධ්‍යස්ථානය සමඟ ටයිම්ස් පුවත්පත එක්ව ක්‍රියා කරන අතර, ගුරුවරුන්ට ඔවුන්ගේ පන්තිවල දී භාවිතා කරනු පිනිස පාසල්වලට යැවීමට යෝජිත ඉගැන්නුම් විෂය මාලාවක් එකී මධ්‍යස්ථානය විසින් වර්ධනය කරනු ලැබ ඇත. රට පුරා පාසල්, පුස්තකාල හා කෞතුකාගාරවල නොමිලේ බෙදා දීම සඳහා මෙම සඟරාවේ අමතර පිටපත් ලක්ෂ ගනනක් හා විශේෂ අතිරේකයක් ද මුද්‍රනය කර ඇත. ව්‍යාපෘතිය පිලිබඳ අදහස මුලින් ඉදිරිපත් කල කාර්ය මන්ඩල ලේඛිකා හා නිව් ඇමරිකා ෆවුන්ඩේෂන්හි සභාධ්‍යායිකා (Fellow) නිකෝල් හැනා-ජෝන්ස් එහි නිෂ්පාදන කටයුතු බලා කියා ගත් අතර, ඇය රට පුරාම පාසල්වල දේශන පැවැත්වීමේ චාරිකාවක පිටත් කර යැවෙනු ඇත.    

සඟරාවේ පල වූ ලිපි සංවිධානය කෙරී තිබුනේ, සමස්ත ඇමරිකානු ඉතිහාසයම වාර්ගික ද්වේශය තුල - විශේෂයෙන්ම "කලු ජනයා" කෙරේ "සුදු ජනයා" විසින් දක්වනු ලබන පාලනය කල නොහෙන වෛරය තුල - මුල් බැස ගත් එකකැයි යන තර්කාංගය වටාය. ලිපි මාලාවේ හැඳින්වීම තුල හැනා-ජෝන්ස් මෙසේ ලියයි: "කලු ජනයාට එරෙහි වර්ගවාදය මේ රටේ ජාන සැකැස්ම (DNA) තුලම දිවෙන්නකි."   

මේ වූ කලී සාවද්‍ය වූත්, අනතුරුදායක වූත් සංකල්පයකි. ඩීඑන්ඒ යනු සජීවී ජීවීන්ගේ ජානමය කේත සංග්‍රහය අඩංගු කරගන්නා වූ හා ඒවායේ භෞතික ලක්ෂන සහ වර්ධනය නිර්නය කරන්නා වූ රසායනික අනුවකි. මෙම තීරනාත්මක ජීව විද්‍යාත්මක පාරිභාෂික පදය - හුදු රූපික අර්ථයකින් වේවා - රටක් පිලිබඳව කෙරෙන අධ්‍යයනයකට භාවිතා කිරීම සඳහා ඊට ස්ථාන මාරුවක් ලබා දීම විසින් මාවත සැකසෙන්නේ සදොස් ඉතිහාසය හා ප්‍රතිගාමී දේශපාලනය කරා ය. රටවල් වලට ඩීඑන්ඒ අනු නැත. ඒවාට ඇත්තේ ඓතිහාසිකව හැඩ ගැසුනු ආර්ථික ව්‍යුහයන්, එකිනෙකට පරසතුරු පන්ති, හා සංකීර්න දේශපාලන සම්බන්ධතාය. නිශ්චික මට්ටමක තාක්ෂනික වර්ධනයෙන් තොර ව හෝ, අඩු හෝ වැඩි වසයෙන් වර්ධනය වූ ගෝලීය ආර්ථික අන්තර්-සම්බන්ධතා ජාලයකින් ස්වාධීන ව හෝ මේවා නො පවතී.   

1619 ව්‍යාපෘතිය යටින් දිවෙන විධික්‍රමය විඥානවාදීය. (එනම්, එය චින්තනය සමාජ පැවැත්මෙන් ව්‍යුත්පන්න කර ගනු වෙනුවට එහි අනෙක් අතට, එනම්, සමාජ පැවැත්ම විඥානයෙන් ව්‍යුත්පන්න කර ගැනීමට ක්‍රියා කරයි.) එලෙස ම වචනයේ අතිමූලික අර්ථයෙන් එය අහේතුකවාදී වේ. සමස්ත ඉතිහාසය විග්‍රහ කෙරෙන්නේ අධි-ඓතිහාසික (ඉතිහාසයට ඉහලින් පිහිටි) චිත්තවේගී ආවේගයක පැවැත්මෙනි. වහල් ක්‍රමය දැකගනු ලබන්නේ හා විශ්ලේෂනය කරනු ලබන්නේ ශ්‍රමය සූරාකෑමේ සුවිශේෂී ආර්ථික ව මුල් බැසගත් රූපාකාරයක් ලෙස නො ව, සුදු වර්ගවාදයේ ප්‍රකාශයට පත්වීම ලෙස ය. එහෙත් මේ වර්ගවාදය එන්නේ කොහි සිට ද? එය, ඇමරිකානු “සුදු ජනතාවගේ” ඩීඑන්ඒ සැකැස්ම තුල කාවැදී ඇතැයි හැනා-ජෝන්ස් කියයි. ඒ අනුව, එය දේශපාලන හෝ ආර්ථික කොන්දේසිවල කිසිදු වෙනසකින් ස්වාධීන ව නො නැසී පැවතිය යුතු ය.

ඩීඑන්ඒ සම්බන්ධයෙන් හැනා-ජෝන්ස් පල කරන මෙම අදහස, වාර්ගික සතුරුකම් සහජ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ගෙන් ව්‍යුත්පන්න කරගැනීමේ වැඩෙමින් පවතින ප්‍රවනතාවයක කොටසක් වේ. මෑතක දී ෆොරින් අෆෙයාර්ස්හි පලකල රචනාවක දී, ඩිමොක්‍රටික පක්ෂ දේශපාලනඥ ස්ටේසි ඒබ්‍රම්ස් කියා සිටියේ, සුදු ජාතිකයන් හා අප්‍රිකානු-ඇමරිකානුවන් “නෛසර්ගික වෙනසකින්” වෙන් කරනු ලැබෙන බවයි.

මෙම අතාර්කික වූත්, විද්‍යාත්මක ව අභූතයක් වූත් කියාපෑම සේවය කරන්නේ කලු ජාතිකයන් හා සුදු ජාතිකයන් එකිනෙකාට හතුරු හා අන්‍යොන්‍ය වශයෙන් අනුකූල නොවන ජීවී විශේෂයන් වෙතැයි යන ප්‍රතිගාමී දෘෂ්ටිය යුක්තියුක්ත කිරීමට වන අතර, එය ෆැසිස්ට්වාදයේ දේශපාලන ඉදිරිදර්ශනය සමග මුලුමනින් ම ගැලපේ.

ෆොරින් අෆෙයාර්ස්හි වර්තමාන සංස්කරනයට ලියන තවත් ලිපියක, ස්නායුවේදී රොබට් සැපොල්ස්කි තර්ක කරන්නේ, මානව කන්ඩායම් අතර ප්‍රතිඝතිකතාව ජීව විද්‍යාව තුල මුල් බැස තිබෙන බවටයි. "තම ඩීඑන්ඒ සැකැස්මෙන් සියයට 98කට වඩා මානවයන් හා පොදුවේ පවතින” චිම්පන්සීන් එකිනෙකා අතර භූමිය සඳහා සිදුවන ලේ වැකි ගැටුම්වලින් පටන් ගනිමින් බහිර්නිවේශනය කරන සැපොල්ස්කි, “අන්තර් ගන පක්ෂපාතිත්වයේ වඩාත් ම විනාශකාරී රූපාකාරය වීමේ විභවයෙන් යුතු ජාතිකවාදයේ පුනර්ජීවනය ද ඇතුලත් වන මානව කන්ඩායමික අනන්‍යතාවේ ගාමකය" අවබෝධ කරගැනීමට නම්, "ඒවා හැඩගස්වන ජීව විද්‍යාත්මක හා ඥානනමය මුක්කු දීම් ග්‍රහනය කරගැනීම අවශ්‍ය වෙතැ"යි අවධාරනය කරයි.

සැපොල්ස්කි ඉතිහාසය ජීව විද්‍යාව තුලට අතිසරල ලෙස දිය කර හැරීම විසින් යලි මතකයට නැංවෙන්නේ, දහනව වන ශතර්ෂයේ අග හා විසිවන ශතවර්ෂයේ මුල අධිරාජ්‍යවාදීන් යටත් විජිත අත්පත් කර ගැනීම යුක්ති සහගත කිරීමට “සමාජ ඩාවින්වාදය” ප්‍රතිගාමී ලෙස කැඳවීම පමනක් නො වේ; නාසිවාදී යුදෙව්-විරෝධයට හා වර්ගවාදයට ව්‍යාජ-විද්‍යාත්මක සාධාරනීකරනයක් සම්පාදනය කිරීම සඳහා ජර්මානු ජානවිද්‍යාඥයන් දැරූ උත්සාහයන් ද එයින් සිහියට නැංවේ.

ධනේශ්වර ශාස්ත්‍රාලික හා දේශපාලන කව තුල අනතුරුදායක හා ප්‍රතිගාමී අදහස් ගලායමින් තිබේ. ෆැසිස්ට්වාදය යුක්ති සහගත කිරීම තිබියේවා, තමන් වාර්ගික යුද්ධයක් පුරෝකථනය කරමින් සිටින බව හෝ නිසැක ව ම 1619 ව්‍යාපෘතියේ රචනවල කතුවරුන් පිලිගනු නැත. එහෙත් අදහස්වලට තර්කයක් ඇත; කතුවරු ඔවුන්ගේ ව්‍යාජ හා නො මග ගිය තර්ක කිරීම්වල දේශපාලනික නිගමනයන් හා ප්‍රතිවිපාක පිලිබඳ වගකීම දරති.

ඇමරිකානු වහල් ක්‍රමය යනු දැවැන්ත හා චිරස්ථායී ඓතිහාසික සහ දේශපාලනික වැදගත්කමක් සහිත අනුස්මරනීය විෂයයකි. 1619 සිද්ධීන් යනු එම ඉතිහාසයේ කොටසකි. එහෙත්, පෝට් කොම්ෆෝට්හි දී සිදු වූ දෙය වූ කලී, පෞරානික ලෝකය හා ලෝක ධනේශ්වර පද්ධතියෙහි සම්භවය කරා ආපස්සට දිව යන, වහල් ක්‍රමය සම්බන්ධ ලෝක ඉතිහාසයේ එක් පරිච්ඡේදයකි. උතුරු හා දකුනු ඇමරිකාවෙන් පිටස්තර ව වහල් ක්‍රමයේ පුලුල් භාවිතය පිලිබඳ ව සාකච්ඡා කෙරෙන පොත්පත් සම්භාරයක් තිබේ. බර්ක්ලීහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අප්‍රිකානු-ඇමරිකානු අධ්‍යනාංශයේ මහාචාර්ය ජී. ඔගෝ න්වොකේජි පැහැදිලි කර ඇති පරිදි, අප්‍රිකානු සමාජයන් තුල වහල් ක්‍රමය භාවිතා කොට ඇත. “අත්ලන්තික් සාගරය හරහා යුරෝපීයයන් බටහිර අප්‍රිකාවට ලඟා වූ පහලොස්වන ශතවර්ෂයට බොහෝ පෙර” එහි වහල් ක්‍රමය පැවතුනි. [1]

මිචිගන් විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥ රුඩොල්ෆ් ටී. වෙයා III මෙසේ ලියයි: “පහලොස්වන ශතවර්ෂයේ ආරම්භය හා දහඅටවන ශතවර්ෂයේ අවසානය අතර, අප්‍රිකාවේ මුස්ලිම් සමාජයන්හි දශ ලක්ෂ ගනන් දෙනා වහලුන් ලෙස ජීවත් වී මිය ගිය හ.” [2] මෙම විෂයය පිලිබඳ වඩාත් ම වැදගත් අද්‍යතන ශාස්ත්‍රීය කෘති අතරට, කැනේඩියානු ඉතිහාසඥ පෝල් ඊ. ලව්ජෝයිගේ 1983 දී පලමු වරට පල කෙරුනු, Transformations in Slavery: A History of Slavery in Africa (වහල් ක්‍රමයේ පරිවර්තනයන්: අප්‍රිකානු වහල් ක්‍රමයේ ඉතිහාසයක්) යන කෘතිය අයත් වේ. ඔහු පැහැදිලි කල පරිදි:

වහල් ක්‍රමය ඉතිහාසය පුරා වැදගත් ප්‍රපංචයක් ලෙස පැවතී ඇත. සම්භාව්‍ය පුරානයේ සිට ඉතා මෑත අවධීන් දක්වා කාලය තුල බොහෝ ස්ථානවල එය සොයාගනු ලැබ තිබේ. පෞරානික ශිෂ්ටාචාර, ඉස්ලාමීය ලෝකය, ඉන්දියාව හා ඇමරිකා දෙක සඳහා වහලුන් සැපයූ ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස මෙන් ම, වහල් ක්‍රමය සුලබ වූ ප්‍රධාන ප්‍රදේශයන්ගෙන් එකක් ලෙසත් අප්‍රිකාව මෙම ඉතිහාසය සමග සමීප ව බැඳී තිබී ඇත. ඇත්තෙන්ම අප්‍රිකාව තුල වහල් ක්‍රමය විසිවන ශතවර්ෂය දක්වා ම - එනම්, උතුරු හා දකුනු ඇමරිකාවට වඩා සැලකිය යුතු ලෙස වැඩි කලක් - නො නැසී පැවතුනි. අප්‍රිකාවේ වහල් ක්‍රමයේ ඓතිහාසික වර්ධනය අවබෝධ කරගැනීමට මෙන්ම, මෙම වර්ධනය සඳහා වහල් වෙලඳාමෙහි ඇති සාපේක්ෂ වැදගත්කම ඇගයීමටත්, එම ක්‍රමයේ ඒ සා පෞරානිකත්වයක් හා චිරස්ථායී බවක් පැවතීම පිලිබඳව පැහැදිලි කිරීමක් සිදු කිරීම අවශ්‍ය වේ. පෘථුල ලෙස කතාකරන විට වහල් ක්‍රමය 1350 සිට 1600 දක්වා, 1600 සිට 1800 දක්වා හා 1800 සිට 1900 දක්වා වශයෙන් අදියර තුනක දී විස්තාරනය වූ අතර, ඒ වන විට එය අප්‍රිකානු දේශපාලන ආර්ථිකයේ මූලික ලක්ෂනයක් බවට පත් ව තිබුනි. [3]

දැන් සම්භාව්‍ය අධ්‍ය්‍යනයක් සේ සලකනු ලබන ඔහුගේ අධ්‍යයනයේ තුන්වන සංස්කරනයට ලියූ පෙරවදනේ මහාචාර්ය ලව්ජෝයි පවසන්නේ, තමන් එම පර්යේෂනයට උර දීමේ එක් අරමුනක් වූයේ, “ඇතැම් රොමාන්තික දෘෂ්ටිකයන්ට හා අපේක්ෂා සහගත ජාතිකවාදීන්ට පැහැදිලි කරුනු ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය වූ සමයක, අප්‍රිකාවේ ඉතිහාසය තුල වහල් ක්‍රමය පැවතියේ ය යන යථාර්ථයට මුහුන දීම” බවයි. [4]

නව ලෝකයට සම්බන්ධ ව සලකන ලද කල්හි, දහසයවන හා දහහත්වන ශතවර්ෂවල ධනවාදයේ ආර්ථික වර්ධනය තුල වහල් ක්‍රමය ඉටුකල භූමිකාවෙන් වියුක්ත ව නවීන ඉතිහාසය තුල වහල් ක්‍රමයේ ප්‍රපංචය අවබෝධ කරගත නො හැක. දාස් කැපිටාල්හි පලමු වෙලුමේ “කාර්මික ධනවාදියාගේ උත්පත්ති කථාව” නමැති පරිච්ඡේදය තුල කාල් මාක්ස් විස්තර කල පරිදි:

ඇමරිකාව තුලින් රත්තරන් හා රිදී සොයාගැනීම විසින් ද, ආදිවාසී ජනගහනය සමූලෝත්පාටනය කිරීම විසින් ද, වහල් භාවයට පත්කිරීම හා පතල් තුල මිහිදන් කිරීම විසින් ද, පෙරදිග ඉන්දියානු ප්‍රදේශ අල්ලා ගැනීම හා කොල්ලකෑම ඇරඹීම විසින් ද, කලු හම සහිත වූවන් වානිජමය ලෙස දඩයම් කරන තිප්පොලක් බවට අප්‍රිකාව හැරවීම විසින් ද ධනවාදී නිෂ්පාදන යුගයෙහි අරුනලු වැටෙන හිමිදිරිය සංඥා කෙරින. ප්‍රාග්තන සමුච්ඡයකරනයේ ප්‍රධාන ජවබලයන් වන්නේ මෙම ශාන්තදාන්ත ක්‍රියාකාරකම් ය. යුරෝපීය ජාතීන්ගේ වානිජ යුද්ධ පෘථිවි ගෝලය තම රඟබිම බවට පත් කර ගනිමින් සිය විලුඹ බිම තබා ඉදිරියට ඇදෙමින් සිටී. ස්පාඤ්ඤයෙන් නිදහස් වීම සඳහා වූ නෙදර්ලන්තයේ කැරැල්ල සමග ඇරඹුනු එය, එංගලන්තයේ ජැකොබින්-විරෝධී යුද්ධය තුල යෝධ පරිමානයක් අත්පත් කරගන්නා අතර, චීනය ඇතුලු රටවලට විරුද්ධ අබිං යුද්ධ ලෙස තවමත් පැවතීගෙන යයි.

මාක්ස්ගේ විශ්ලේෂනය දීප්තිමත් බටහිර ඉන්දීය ඉතිහාසඥ එරික් විලියම්ස්ගේ විවේචනාත්මක පරිඥානය ආවේශ ගැන්වූ අතර, 1944 දී පලකල Capitalism and Slavery (ධනවාදය හා වහල් ක්‍රමය) නමැති ඔහුගේ පුරෝගාමී අධ්‍යයනය තුල ඔහු මෙසේ ලිවී ය:

කැරීබියන් දූපත්වල වහල් ක්‍රමය ඉතා පටු ආකාරයෙන් නීග්‍රෝවරුන් සමග අනන්‍ය කරනු ලැබ තිබේ. මූලික වසයෙන් ආර්ථිකමය වූ ප්‍රපංචයක් ඒ මගින් වාර්ගික වෙලු කැවීමකට ලක් කර ඇත. වහල් ක්‍රමය උපත ලැබුවේ වර්ගවාදයෙන් නො වේ: ඊට විපරීත ව, වර්ගවාදය යනු වහල් ක්‍රමයේ විපාකය විය. නව ලෝකයේ නිදහස් නො වන ශ්‍රමය දුඹුරු, සුදු, කලු හා කහ පැහැති අයගෙන් ද කතෝලික, ප්‍රොතෙස්තන්ත හා මිත්‍යා දෘෂ්ඨිකයන්ගෙන් ද සමන්විත විය. 

ධනවාදයේ හා නව ලෝකයේ නැගීමට හේතු වූ ජාත්‍යන්තර ආර්ථික හා දේශපාලන ක්‍රියාවලීන්ගෙන් දුරස්ථ ව, එක්සත් ජනපදයේ තැනීම හා වර්ධනය තේරුම් ගත නො හැක. වහල් ක්‍රමය වනාහි, අප්‍රිකාවේ හදවතෙහි සිට බ්‍රිතාන්‍යයේ නැව් තටාක, ඇම්ස්ටර්ඩෑම්හි බැංකු මන්දිර සහ දකුනු කැරොලිනාවේ, බ්‍රසීලයේ හා කැරීබියානු දූපත්වල වතු දක්වා දිගහැරුනු ජාත්‍යන්තර ආර්ථික සංස්ථාවක් විය. බටහිර අප්‍රිකාවේ වහල් වෙලඳ මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය නෙදර්ලන්තයේ සිට බ්‍රසීලයට වහලුන් මිලියන ගනන් ආනයනය කල පෘතුගීසීන් දක්වා වූ සෑම විජිත බලවතෙකු ම මෙහි නිරත වී ඇත. තක්සේරු කරන පරිදි, අන්තර්-අත්ලාන්තික වහල් වෙලඳාමෙහි සමස්ත කාල පරිච්ඡේදය පුරා උතුරු හා දකුනු ඇමරිකාව වෙත අප්‍රිකානුවන් මිලියන 15ත් 20ත් අතර සංඛ්‍යාවක් බලහත්කාරයෙන් යවනු ලැබ ඇත. මොවුන් අතරින් 400,000ක් දෙනාගේ ගමනාන්තය වූයේ බ්‍රිතාන්‍ය විජිතයන් 13 හා එක්සත් ජනපදය යි.

එක්සත් ජනපදයෙහි ගෝලීය පදනමේ අපලායනීය හා දේශපාලනික ව ඛේදනීය උරුමය වූයේ වහල් ක්‍රමය යි. ඇමරිකානු විප්ලවයේ නායකයන් විසින් ප්‍රකාශයට පත් කල පරමාදර්ශයන් -මේවා නිදහස් ප්‍රකාශය තුල තෝමස් ජෙෆර්සන් විසින් අත්‍යාසාමාන්‍ය බලයකින් ප්‍රකාශයට පත්කරන ලදී- සහ අලුතින් තනන ලද එක්සත් ජනපදය තුල වහල් ක්‍රමයේ පැවැත්ම අතර පරස්පර-විරෝධය හඳුනාගැනීම අපහසු නැත.

එහෙත් ඉතිහාසය යනු සදාචාරය පිලිබඳ කථාන්තරයක් නො වේ. ජෙෆර්සන් හා විප්ලවයේ අනෙකුත් ප්‍රාරම්භකයන්ගේ කුහකවත පිලිබඳ චෝදනාවන් කෙරේ අවධානය යොමු කරවමින් විප්ලවය අපකීර්තියට පත්කිරීමේ උත්සාහයන් ඉතිහාසය වටහා ගැනීමකට කිසිදු ප්‍රතිපදානයක් කරන්නේ නැත. ඇමරිකානු විප්ලවය, එයට නායකත්වය දුන් අයගේ ආත්මීය අභිලාෂයන්ගේ හා සදාචාරමය සීමාවන්ගේ ඓක්‍යය ලෙස වටහා ගනු ලැබිය නො හැක. විප්ලවයේ ලෝක-ඓතිහාසික වැදගත් කම හොඳින් ම වටහා ගත හැක්කේ, එහි වෛෂයික හේතූන් හා ඵලවිපාක විභාග කිරීමක් හරහා ය.

විප්ලවය යනු වහල් ක්‍රමය පවත්වාගෙන යාමට දරන ලද දුෂ්ඨ උත්සාහයක් ලෙස නිරූපනය කිරීමට 1619 ව්‍යාපෘතිය විසින් දරන අශිෂ්ට ප්‍රයත්නය, විලියම් සම්පාදනය කරන විශ්ලේෂනයෙන් ප්‍රතික්ෂේප වේ. ජෙෆර්සන්ගේ ප්‍රකාශනය සහ ඊට තදනන්තරව සිදු වූ බ්‍රිතාන්‍ය පාලනය පෙරලා දැමීම විසින් ඇති කෙරුනු යෝධ දේශපාලනික බලපෑම පසෙක තිබියදීම, වහල් ක්‍රමයේ ආර්ථික ස්වශක්තතාව මත විප්ලවය විසින් ඇති කෙරුනු වෛෂයික බලපෑම පිලිබඳව විලියම්ස් අවධාරනය කලේ ය. ඔහු මෙසේ ලිවී ය:

“මානව සිද්ධීන්ගේ ගමන් මාවතේ දී එක් ජනතාවකට තමන් වෙනත් ජනතාවක් සමග සම්බන්ධ කර තිබෙන දේශපාලනික බැඳීම් විසුරුවා හැරීම අවශ්‍ය කෙරෙයි...” යි ලියූ ජෙෆර්සන් සඳහන් කලේ සත්‍යයෙන් කොටසක් පමනි. විසුරුවාලමින් තිබුනේ ආර්ථික බැඳීම් මිස දේශපාලනික බැඳීම් නො වේ. නව යුගයක් ඇරඹී තිබුනි. 1776 වසර නිදහස් ප්‍රකාශනය මෙන්ම Wealth of Nations (ජාතීන්ගේ සමෘද්ධිය) කෘතිය ප්‍රකාශයට පත්කිරීම ද සලකුනු කලේ ය. (කැරීබියානු දූපත්වල) සීනි දිවයින්හි වටිනාකම උද්දීපනය කරනු වෙනුවට ඇමරිකානු නිදහස ඒවායේ නිර්බාධිත පරිහානිය සලකුනු කල අතර, ඒ සමයේ පැවති කියමනක් වූයේ, බ්‍රිතාන්‍ය පාලනයට හුදු විජිත දහතුනක් පමනක් නො ව, දූපත් අටක් ද අහිමි වූ බව යි.

1783 දී විප්ලවවාදී යුද්ධය ජයග්‍රාහී ලෙස සමාප්ත වීමෙන් යන්තම් වසර හතරක් ගත වූ තන්හි, බ්‍රිතාන්‍ය වහල් වෙලඳාම අවසන් කරන ලෙස ඉල්ලා ඉංග්‍රීසි අහෝසිතාවාදී විලියම් විල්බර්ෆෝස් කල සුප්‍රකට කැඳවුම් කිරීම අහම්බයක් නො වී ය.

වහල් වෙලඳාමට බ්‍රිතාන්‍ය විරෝධය ඉස්මතු වීම විභාග කිරීමේ දී, 1619 ව්‍යාපෘතිය විසින් යොදාගන්නා ආත්මීය හා ඉතිහාස-විරෝධී විධික්‍රමයට එරෙහි චෝදනා පත්‍රයක් ලෙස සැලකිය හැකි,  ඉතිහාස අධ්‍යයනය පිලිබඳ මූලික තර්කයක් විලියම් ඉදිරිපත් කලේ ය. හෙතෙම මෙසේ ලිවී ය:

අප සාකච්ඡා කර ඇති ඓතිහාසික කාල පරිච්ඡේදයේ තීරනාත්මක බලවේගයන් වන්නේ වර්ධනය වෙමින් පවතින ආර්ථික බලවේගයන් ය. මෙම ආර්ථික වෙනස් කම් ක්‍රමික හා අදෘශ්‍යමාන වුවත් නොවැලැක්විය හැකි සමුච්චිත බලපෑමක් ඒවා සතුව තිබේ. තමන්ගේ උත්සුකයන් ලුහුබඳින මිනිසුන් සිය ක්‍රියාකාරීත්වයේ අවසාන ප්‍රතිඵල පිලිබඳ ව දැන සිටින්නේ කලාතුරකිනි. දහඅටවන ශතවර්ෂයේ වානිජ ධනවාදය, වහල් ක්‍රමයේ හා ඒකාධිකාරයේ උපකාරයෙන් යුරෝපයේ වත්කම් ඉහල නැංවී ය. එහෙත් එසේ කිරීම මගින් එය, වානිජ ධනවාදයේ, වහල් ක්‍රමයේ හා එහි සියලු කටයුතුවල බලය පෙරලා විනාශ කරමින් දහනවවන ශතවර්ෂයේ කාර්මික ධනවාදය නිර්මානය කිරීමට ආධාරකාරී විය. මෙම ආර්ථික වෙනස් කම් ග්‍රහනය කරගැනීමකින් තොර වූ කල එම කාල පරිච්ඡේදයෙහි ඉතිහාසය අර්ථ විරහිත වේ.

ඇමරිකානු විප්ලවයේ ජයග්‍රහනය හා එක්සත් ජනපදය ස්ථාපනය කිරීම වහල් ක්‍රමය පිලිබඳ ගැටලුව විසඳුවේ නැත. එය අහෝසි කිරීමට අවශ්‍ය ආර්ථික හා දේශපාලන කොන්දේසි ප්‍රමානවත් තරමින් වැඩි නො තිබුනි. එහෙත් එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය විසින් - එනම්, උතුර තුල සමගාමී කාර්මික වර්ධනය සහ (1793 දී කපු කටින යන්ත්‍රය සොයාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස) දකුනේ කපු වගාව මත පදනම් වූ වතු පද්ධතියේ අනිෂ්ඨකාරී වර්ධනය විසින්- වැටුප් ශ්‍රමය මත පදනම් වූ ආර්ථික පද්ධතිය හා වහල් ක්‍රමය මත පදනම් වූ අනෙක් ආර්ථික පද්ධතිය යන වඩ වඩා නො ගැලපෙන්නා වූ ආර්ථික පද්ධති දෙක අතර පරස්පර-විරෝධයන් තීව්‍ර කෙරින.

ව්‍යවස්ථාව සම්මත කොට ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් තේරී පත් වූ 1789 වසරත්, ඒබ්‍රහම් ලින්කන්ගේ පදවිප්‍රාප්තිය සිදු වූ හා සිවිල් යුද්ධය පුපුරා ගිය 1861 වසරත් අතර ගත වූ දශක හත තුල එක්සත් ජනපදය එක් අර්බුදයකින් තවත් අර්බුදයක් කරා ඇදී ගියේ ය. වහල් හා නිදහස් ප්‍රාන්ත අතර රට තුලනය කිරීමට ප්‍රයත්න දරමින් 1820 මිසෝරි එකඟතාවේ සිට 1854 කන්සාස්-නෙබ්‍රැස්කා පනත දක්වා යලි යලිත් ඇති කරගත් සමථයන් එකකුදු අවසානයේ ප්‍රශ්නය විසඳීමට කිසිදා සමත් වූයේ නැත.

1863 දී ලින්කන් ගෙටිස්බර්ග්හි කතා කරන විට ඔහු විසින් කැඳවා සිටිනු ලැබූ 87 වසරක ඉතිහාසය, 1932 දී ෆ්‍රැන්ක්ලින් ඩිලානෝ රූස්වෙල්ට් තේරී පත්වීම අපගේ වර්තමාන කාලයෙන් වෙන් කරන කාල පරාසයට ම සමාන බව මතකයේ තබාගැනීම වැදගත් ය. වහල් ක්‍රමයේ සමස්ත ආර්ථික පද්ධතිය පෙරලා දැමීමට නියමිත වූ පුපුරනසුලු සමාජ-ආර්ථික ප්‍රවනතා, මෙම සාපේක්ෂ ව සංකේන්ද්‍රිත කාල පරිච්ඡේදය තුල වර්ධනය වී පුපුරා ගියේ ය.

එක්සත් ජනපදය පිහිටුවා ගැනීම, අවසානයේ වහල් ක්‍රමය අහෝසි කිරීම පිනිස සුදු ජාතිකයන් ලක්ෂ ගනනක් ජීවිත දුන්නා වූ ද, දෙවන ඇමරිකානු විප්ලවය වන සිවිල් යුද්ධයට හේතුභූත වූවා වූ ද අර්බුදයක් මුදා හලේය. මෙය වනාහි සිවිල් යුද්ධයේ අවිඥානික තබා, අහම්බ ප්‍රතිඵලයක් හෝ නො වූ බව අවධාරනය කල යුතු ය. බොල්ශෙවික් පක්ෂය විසින් නායකත්වය දුන් කම්කරු පන්තිය ලෝක ඉතිහාසයේ රාජ්‍ය බලය ගත් පලමු අවස්ථාව ද මෙතුවක් කාලයකට එකම අවස්ථාව ද වූ 1917 රුසියානු විප්ලවය දක්වා ලෝක ඉතිහාසයේ සිදු වූ විශාලතම පෞද්ගලික දේපොල අස්වාමිකකරනය සිදු කිරීමට අවසානයේ දී එම යුද්ධය හේතුභූත විය.

හැනා-ජෝන්ස් ලින්කන් ව දැක ගන්නේ, 1860 ගනන්වල දී නිදහස ලත් වහලුන් ඔහු ව හැඳින්වූ “ශ්‍රේෂ්ඨ විමුක්තිදායකයා” පරිද්දෙන් නො ව, “කලු ජනයා ජාතික සමගියට බාධාවක් (ලෙස)” සැලකූ සාමාන්‍ය පන්නයේ වර්ගවාදියෙක් ලෙස ය. ලින්කන්ගේ ම වචන -උදාහරනයක් ලෙස ගෙටිස්බර්ග් කතාව හා බලගතු දෙවන පදවිප්‍රාප්ත කතාව- මෙන් ම, වහල් ක්‍රමය අහෝසි කිරීමට මුලුමනින් ම කැපවූ විප්ලවවාදී නායකයෙකු ලෙස ලින්කන්ගේ ඉස්මතු වීම පෙන්නුම් කෙරෙන එරික් ෆොනර්, ජේම්ස් මැක්ෆර්සන්, ඇලන් ගුඑල්සෝ, ඩේවිඩ් ඩොනල්ඩ්, රොනල්ඩ් සී. වයිට්, ස්ටීවන් ඕට්ස්, රිචඩ් කාවර්ඩයින් සහ අනෙකුත් බොහෝ අය විසින් ලියන ලද කෘති ද කතුවරියගේ හුදු නො තකා හැරීමට ලක් වේ.

එහෙත් ලින්කන් පිලිබඳව අවංකව කෙරෙන නිරූපනයක්, “ඇමරිකාව ප්‍රජාතන්ත්‍රයක් බවට පත්කිරීම” සඳහා “කලු ඇමරිකානුවෝ තනිව සටන් වැදුනෝ ය” යන හැනා-ජෝන්ස්ගේ කියාපෑම්වලට එරෙහිව පෙනී සිටිනු ඇත. ඉදින් වහල් ක්‍රමය අවසන් කිරීමට එක්සත් ජනපදය වෙනුවෙන් සටන් වැදුනු මිලියන 2.2ක් වූ උතුරු ඇමරිකානු සොල්දාදුවන් හා ඉන් දිවි පිදූ 365,000ක් දෙනා සම්බන්ධයෙන් සඟරාවේ කොතැනක හෝ එක් වතාවක්වත් සඳහන් වී නම් එම සඳහන් කිරීමම ද එපරිද්දෙන්ම ඇගේ කියාපෑම්වලට විරුද්ධව පෙනී සිටින්නට තිබින. 

එලෙසින් ම, අහෝසිතාවාදී ව්‍යාපාරයේ අන්තර්-වාර්ගික ස්වභාවය මකා දමා ඇත. විලියම් ලොයිඩ් ගැරිසන්, වෙන්ඩල් ෆිලිප්ස්, එලියා ලව්ජෝයි, ජෝන් බ්‍රවුන්, තදේවුස් ස්ටීවන්ස් හා හැරියට් බීචර් ස්ටෝව් ඇතුලු තවත් නම් හැනා-ජෝන්ස්ගේ රචනය තුල පෙනී නො සිටී. ව්‍යවස්ථාව විවේචනය කිරීම හේතුවෙන් අහෝසිතාවාදීන් දෙදෙනෙකුගෙන් තෝරාගෙන උපුටා දක්වතත්, හිටපු ඉතිහාසඥ ඩේවිඩ් බ්‍රයන් ඩේවිස්ගේ වචනවලින් කියතොත් වහල්-විරෝධී ව්‍යාපාරයේ “උරගල හා පූජනීය ලේඛනය” ලෙස ජෙෆර්සන්ගේ නිදහස් ප්‍රකාශය දැරූ තැන සඳහන් කිරීමට හැනා-ජෝන්ස් නිර්භීත වන්නේ නැත.

වහල් ක්‍රමය යනු එක්සත් ජනපදයේ සුවිශේෂී “ආදිමය පාපය” යි කියාපාමින් ඇමරිකානු විප්ලවය හා සිවිල් යුද්ධය සුදු වර්ගවාදය නො නසා පවත්වාගෙන යාම පිනිස වූ සූක්ෂම කුමන්ත්‍රන ලෙස අපකීර්තියට පත්කරන හැනා-ජෝන්ස් හා 1619 ව්‍යාපෘතියේ අනෙකුත් ලිපි සම්පාදකයන් සතුව ඇමරිකානු ඉතිහාසයේ ඉතිරි කොටසට එකතු කිරීමට කිසිවක් නැත. කිසිවක් කිසිදා වෙනස් වී නැත. වහල් ක්‍රමය ජිම් ක්‍රෝගේ වෙන් කර තැබීම මඟින් (ජිම් ක්‍රෝ යන නාමය, 20 වන සියවසේ දකුණු ඇමරිකාවේ වාර්ගික වෙනස්කම් මූර්තිමත් කරන සංකේතයකි) හුදු විස්තාපනය වූවා පමනෙකි. තවද, එය අනෙක් අතට “සුදු ඇමරිකානුවෙක්” වීම මඟින් හිමි කෙරෙන මිදී යා නොහෙන ඉරනම වන වර්ගවාදය, චිරස්ථායී ලෙස පැවතීමේ තතුවලට මග හෙලි කර ඇත. මේ සියල්ල, 1619 කරා ද, “මෙම ජාතියෙන් අපට තවමත් විරේක කල නො හැකි ආවේනික වර්ගවාදයේ මූලය” දක්වා ද ආපසු දිවේ. [5] (අවධාරනය ඈඳිනි)

මෙය හුදු ඉතිහාසය “යලි සකස් කිරීමක්” නො වේ. එය වනාහි අඩ සියවසකට වැඩි ප්‍රඥා සම්පත්තීන් නො තකා හරින්නා වූ ප්‍රහාරයක් හා මුසාකරනයකි. විලියම්ස්, ඩේවිස් හෝ පීටර් කොල්චින් විසින් වහල් ක්‍රමය පිලිබඳ ව ලියන ලද්දා වූ හෝ, බර්නාඩ් බේලින් හා ගෝඩන් වුඩ් විසින් ඇමරිකානු විප්ලවය පිලිබඳ ව ලියන ලද්දා වූ හෝ, ජේම්ස් මැක්ෆර්සන් විසින් ජනපද සොල්දාදුවන් අභිප්‍රේරනය කරන ලද දේශපාලනික සංකල්පයන් පිලිබඳ ව ලියැවුනු හෝ, එරික් ෆොනර් විසින් ප්‍රතිසංස්කරනය පිලිබඳ ව ලියැවුනු හෝ, සී. වෑන් වුඩ්වර්ඩ් විසින් ජිම් ක්‍රෝවාදී වෙන් කොට සැලකීම ගැන ලියන ලද හෝ, ජේම්ස් එන්. ග්‍රෙගරි හෝ ජෝ විලියම් ට්‍රොටර් විසින් මහා සංක්‍රමනය පිලිබඳ ව කෙරුනු හෝ කෘතීන් කියැවීම තිබියේවා; ඒවා සම්බන්ධයෙන් හැනා-ජෝන්ස් (හෝ ඇගේ සම-ලේඛකයන් කිසිවෙකු හෝ) අසාවත් තිබේ ද යන්න ගැන අල්ප හෝ ඉඟියක් වත් නැත. 

අප්‍රිකානු - ඇමරිකානු පාන්ඩිත්‍යයේ උස් බිමේ සිට බැලූවද, ටයිම්ස්හි වර්ගවාදී සදාචාර කතාවෙන් අත්හැර දමන දෙය ලොමු දැහැ ගන්වන සුලුය. රටෙහි ආර්ථික, දේශපාලනික හා සමාජීය ඉතිහාසය ගැන කරන කවර හෝ සංයුක්ත විභාග කිරීමක ස්ථානය අත්පත් කොට ගැනීමට සුදු වර්ගවාදය කැඳවා ඇත.

සිවිල් යුද්ධයෙන් පසුව ගතවූ ශතවර්ෂය තුල, පන්ති අරගලයේ වර්ධනය ප්‍රමුඛ කොට එ'තුල වර්ධනය වූ  අප්‍රිකානු-ඇමරිකානු ජනයාගේ අරගලය වර්ධනයවීමේ ඓතිහාසික සන්දර්භය ගැන විභාග කිරීමක් නැත. තවද, 1865 හා එක්සත් ජනපදය පලමුවන ලෝක යුද්ධයට ඇතුල් වූ 1917 අතරතුර එක්සත් ජනපදය වඩාත්ම බලගතු අධිරාජ්‍යවාදී රට බවට හා කාර්මික දැවැන්තයෙක් බවට පරිවර්තනය වීම ගැන සඳහනක් ද නැත.

1619 ව්‍යාපෘතිය හා එහි ධනවත් කතුවරුන් පට්ටිය, සමස්ත ඉතිහාසය විස්තර කරන දැහැනක් ලෙස වහල් ශ්‍රම සූරාකෑම සොයාගන්නා නමුත්, වැටුප් ශ්‍රමයට ආවේනික වන සූරාකෑම ඔවුන් නොතකා හරින්නේ කන් අගුලු දමන සුලු නිශ්ශබ්දතාවකින් යුතුවය.

 වහල් ශ්‍රමයට එරෙහි අරගලය ඉවත් වී ගියේ, වැටුප් වහල් ක්‍රමයට එරෙහිව ගනන් නැති කම්කරුවන් සංඛ්‍යාවක් ඝාතනය කෙරුනු ප්‍රචන්ඩ අරගලයට ඉඩ හරිමින් බව 1619 ව්‍යාපෘතිය කියවන්නෙකු දැන ගන්නේ නැත. බැල්ටිමෝර් සිට සාන්ත ලුවී දක්වා දුම්රිය මාර්ග ඔස්සේ ලැව්ගින්නක් මෙන් පැතිරුනු හා ෆෙඩරල් භට කන්ඩායම් යෙදවීමෙන් පමනක් මර්දනය කරන ලද 1877 මහා දුම්රිය මාර්ග වර්ජනය, නයිට්ස් ඔෆ් ලේබර් සංවිධානය පැන නැඟීම, පැය අටේ වැඩ දිනය සඳහා සටන සහ හේමාකට් සංහාරය, 1892 හෝම්ස්ටඩ් වානේ වර්ජනය, 1894 පුල්මන් වර්ජනය, ඒඑෆ්එල් බිහිවීම, සමාජවාදී පක්ෂය ආරම්භ කිරීම, අයිඩබ්ලිව්ඩබ්ලිව් පැන නැඟීම, ලුඩ්ලෝ සංහාරය, 1919 මහා වානේ වැඩ වර්ජනය, පලමුවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ ගැන නිම කල නො හැකි තරම් කම්කරු අරගල සහ අවසානයේ සීඅයිඕ ඉස්මතු වීම හා 1930 ගනන්වල යෝධ කාර්මික අරගල මතු වීම ගැන කිසිදු සඳහන් කිරීමක් නැත.

කෙටියෙන් කියතොත්, පන්ති අරගලය කියා දෙයක් නැත; එබැවින් අප්‍රිකානු-ඇමරිකානු ජනගහනයට ද, නිදහස ලත් වහලුන් කම්කරු පන්තියේ තීරනාත්මක කොටසක් බවට හැරවූ සිද්ධීන්වලට ද යථා ඉතිහාසයක් නැත. සැබෑ ඉතිහාසය මිථ්‍යාමය වාර්ගික ආඛ්‍යානයක් මගින් විතැන් කරන 1619 ව්‍යාපෘතිය, පසුගිය වසර 150 තිස්සේ අප්‍රිකානු-ඇමරිකානු ජනගහනයේ සැබෑ සාමාජීය වර්ධනය නො තකා හරී.

දකුනේ ග්‍රාමීය ප්‍රදේශවලින් ඉවත් ව විශේෂයෙන් ම කාර්මීකෘත උතුරේ ද එක්සත් ජනපද පුරාම නාගරික ප්‍රදේශවල ද රැකියා සඳහා දශ ලක්ෂ සංඛ්‍යාත කලු ජාතිකයන් හා සුදු ජාතිකයන් රොක් වුනු 1916 හා 1970 අතර මහා සංක්‍රමනය ගැන කිසිදු කතුවරයෙක් කිසි තැනක සාකච්ඡා කරන්නේ නැත. මෙම ක්‍රියාදාමයේ අප්‍රිකානු-ඇමරිකානු හා සුදු කම්කරුවන් යන දෙපිරිසම සම්බන්ධයෙන් ඇති විප්ලවීය ගම්‍යයන් වටහා ගත් ඇමරිකානු ට්‍රොට්ස්කිවාදයේ ආරම්භක ජේම්ස් පී. කැනන් සිය අද්විතීය ගද්‍ය රචනා ශෛලියෙන් මෙසේ ලිවී ය:

ඇමරිකානු ධනවාදය දකුනෙන් නීග්‍රෝවරුන් ලක්ෂ ගනනක් ගාල් කර ගනිමින්, ඔවුන්ගේ නූගත්කම, දරිද්‍රතාව හා බිය ද පෞද්ගලික අසරනභාවය ද ගසාකමින්, 1919 වානේ වැඩ වර්ජනයේ දී ඔවුන් ව හොරිකඩයන් ලෙස වානේ කර්මාන්තශාලාවලට රිංගවී ය. මෙම අහිංසක හා නූගත් නීග්‍රෝ හොරිකඩයන්ට වෙනස්කම් කිරීම, ඔවුන් අයථා භාවිත කිරීම හා සූරාකෑම හරහා, එක් පරම්පරාවක කෙටි අවකාශය තුල එකී ධනවාදය ම, ඔවුන් හා ඔවුන්ගේ පුතුන් 1946 ශ්‍රේෂ්ඨ විජයග්‍රාහී වානේ වැඩ වර්ජනයේ වඩාත් ම සටන්කාමී හා විශ්වාසවන්ත බලඇනියක් බවට පරිවර්තනය කිරීමට සමත් විය.

එකී ධනවාදයම දකුනෙන් - බොහෝ දෙනා ක්ලූ ක්ලක්ස් ක්ලෑන් (කේකේකේ) සාමාජිකයන් හෝ ආධාරකරුවන් වූ -  අගතිගාමී පිටිසරයන් දසදහස් ගනනින් හා ලක්ෂ ගනනින් ඇද ගනිමින්, ඔවුන්ගේ නූගත්කම හා අගතීන් හේතුවෙන් වෘත්තීය සමිතිවාදයට එරෙහි ව යොදාගැනීමේ අරමුනින් යුතුව ඔවුන් ඩිට්‍රොයිට්, ඇක්රන් හා අනෙකුත් කාර්මික මධ්‍යස්ථානයන්හි මෝටර් රථ හා රබර් කර්මාන්තශාලාවන්ට යෙදවීමට ක්‍රියා කලේය. එහි දී එය ඔවුන්ට ශ්‍රමය වැගිරීමට සලස්වා, අවමානයට පාත්‍ර කොට, දක්කනු ලැබීමට හා සූරාකෑමට ගොදුරු කොට, අවසානයේ ඔවුන් වෙනස් කොට ඔවුන් වෙතින් නව මිනිසුන් බිහි කලේය. එම කර්කශ පාසල තුල දී, කේකේකේහි කඩුකස්තාන සීඅයිඕහි වෘත්තීය සමිති බොත්තම වෙනුවෙන් හුවමාරු කිරීමටත්, ක්ලෑන් සාමාජිකයාගේ ඇවිලෙන කුරුසය කර්මාන්තශාලා ගේට්ටුව අසල පිකට් උද්ඝෝෂන උනුසුම් කරන ගින්නක් බවට හැරවීමටත්, මෙම ආනයනික දක්ෂින දේශවාසීහු උගෙන ගත්හ. [6]

1910 තරම් මෑතක දී, අප්‍රිකානු-ඇමරිකානුවන්ගෙන් සියයට 90ට ආසන්න සංඛ්‍යාවක් පැරනි වහල් ප්‍රාන්තවල ජීවත් වූයේ බහුල වශයෙන් ග්‍රාමීය හුදකලාවේ කොන්දේසි යටතේ ය. 1970 ගනන් වන විට ඔවුන් බොහෝ සෙයින් නාගරීකරනය හා නිර්ධනීකරනය වී තිබුනි. ඩිට්‍රොයිට්, පිට්ස්බර්ග් හා චිකාගෝ වැනි නගරවල දී කලු කම්කරුවන් සුදු කම්කරුවන් සමඟ උරෙනු'ර ගැටෙමින් මහා කාර්මික වැඩ වර්ජනවල නිරත වීමේ අත්දැකීම් හරහා ගමන් කොට තිබුනි. දකුනේ වානේ කර්මාන්ත මධ්‍යස්ථානයක් හා, කලු සහ සුදු කොමියුනිස්ට් කම්කරුවන්ගේ ක්‍රියාකාරකම් පැවැති ප්‍රදේශය ද වූ ඇලබාමාහි බර්මිංහැම් නගරයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ඉස්මතු වීම ඓතිහාසික අහම්බයක් නො වේ.

නිෂ්පාදනය සිදු කෙරෙන ස්ථානයේ දී ප්‍රාග්ධනයට එරෙහි වැටුප් ශ්‍රමයේ අරගලය, වාර්ගික මායිම් හරහා කම්කරුවන් එක්සත් කලේ ය. එම නිසා, ජිම් ක්‍රෝ (මාදිලියේ) දේශපාලනඥයන්ගේ කලබලකාරී සාටෝප කතා තුල දී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය යනු කොමියුනිස්ට්වාදයට හා “වර්ග මිශ්‍ර වීමේ” භීතියට; එනම්, කලු හා සුදු කම්කරුවන් ඔවුන්ගේ පොදු අවශ්‍යතා වටා එක්සත් කල හැකිය යන කරුනට; සම වූවක් සේ දක්වනු ලැබීය. 

කම්කරු පන්තියේ ඉතිහාසය අතහැර යන පරිද්දෙන්ම 1619 ව්‍යාපෘතිය, දේශපාලන ඉතිහාසයක් සම්පාදනය කිරීමට ද අසමත් වේ. වාර්ගික වෛරය ඇවිලවීම මගින් සුදු හා කලු කම්කරුවන් දැනුවත්ව ම එකිනෙකාට එරෙහි ව පිහිටුවීමේ දී, උතුරේ කර්මාන්තකරුවන්ගේ හා බඩගෝස්තරවාදී දේශපාලනඥයන්ගේ එකමුතුවක සන්ධානයක් වූ ඩිමොක්‍රටික් පක්ෂය එක් පසෙකින් ද, දකුනේ වහල් හිමි තන්ත්‍රය හා ජිම් ක්‍රෝ දේශපාලනඥයන් අනෙක් පසින් ද ඉටුකල ක්‍රියාකලාපය ගැන සඳහනක් නොකෙරේ. 

1619 ව්‍යාපෘතිය සමන්විත වන විශාල ලිපි සංඛ්‍යාවේ කනිෂ්ඨ මාටින් ලූතර් කිංගේ නම පලවන්නේ එක් වරක් පමනක් වන අතර, එ ද ඡායාරූප සිරස්තලයක පමනි. මෙයට හේතුව වන්නේ, කිංගේ දේශපාලන දෘෂ්ටිය ටයිම්ස් විසින් ඉදිරියට දමන වර්ගවාදී ආඛ්‍යානයට විරුද්ධ වීමයි. කිං ඇමරිකානු විප්ලවය හා සිවිල් යුද්ධය හෙලාදුටුවේ නැත. වර්ගවාදය “සුදුකමේ” ස්ථීර ලක්ෂනයක් යයි ඔහු විශ්වාස කලේ නැත. කලු ජාතිකයන් හා සුදු ජාතිකයන්ගේ ඒකීකරනය සඳහා කැඳවුම් කල ඔහු, තම ඉලක්කය ලෙස තබාගත්තේ අවසානයේදී ජන වර්ගයම විසුරුවා හැරීම යි. එෆ්බීඅයි විසින් “කොමියුනිස්ට්වාදියෙකු” ලෙස ඉලක්ක කල හා අඩන්තේට්ටමට ලක් කල කිං, අන්තර්-වාර්ගික දුගී ජන උද්ඝෝෂනය දියත් කිරීමෙන් හා වියට්නාම් යුද්ධය කෙරෙහි සිය විරෝධය නිවේදනය කිරීමෙන් පසු ඝාතනයට ලක් විය.

කිං සුදු සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයන්ගේ සහභාගිත්වය දිරිමත් කල අතර, ඩිට්‍රොයිට්හි ටීම්ස්ටර්ස් වෘත්තීය සමිති සංවිධායකයෙකුගේ බිරිඳ වූ වයෝලා ලියුසෝ ඇතුලු එම ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකුටම දකුනේ දී ජීවිතය අහිමි විය. මයිකල් ෂ්වර්නර්, ජේම්ස් චේනි හා ඇන්ඩෲ ගුඩ්මාන් යන තරුන සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයන් තිදෙනාගේ (මොවුන්ගෙන් දෙදෙනෙක් සුදු ජාතිකයෝ වූහ) ඝාතනවලින් පසු කිං නිකුත් කල නිවේදනය, වර්ගවාදය හා වෙන්කර තැබීම උද්වේගී ලෙස හෙලාදැකීමක් විය. පැහැදිලි ව ම හැනා-ජෝන්ස්ගේ ආඛ්‍යානයට කිං ගැලපෙන්නේ නැත.

1619 ව්‍යාපෘතියෙහි වඩාත් ම අර්ථභාරී හා කැපී පෙනෙන අතහැරීම වන්නේ, අප්‍රිකානු-ඇමරිකානුවන්ගේ සමාජ කොන්දේසි මත විශාලතම බලපෑම ඇති කල සිද්ධිය වන 1917 රුසියානු විප්ලවය පිලිබඳ ව එය කිසිවක් හෝ නො කීම යි. එය ඩබ්ලිව්.ඊ.බී. ඩු බෝයිස්, ක්ලෝඩ් මැකේ, ලැංස්ටන් හියුස්, රැල්ෆ් එලිසන්, රිචඩ් රයිට්, පෝල් රොබ්සන් හා ලොරේන් හැන්ස්බරි ඇතුලු කර නිම කල නොහෙන තරම් කලු ජාතික බුද්ධිමතුන්, ලේඛකයන් හා කලාකරුවන් යනාදී අප්‍රිකානු-ඇමරිකානු ජනගහනයේ පලල් කොටස් අවදි කර ආවේශ ගැන්වූවා පමනක් නොවේ. ඇමරිකානු වාර්ගික වර්න-භේදවාදයේ දේශපාලනික පදනම් ද එමඟින් බිඳ දැමින.

1619 ව්‍යාපෘතියේ කලු ජාතිකවාදී ආඛ්‍යානයේ තතු තුල, මැල්කම් එක්ස් හෝ බ්ලැක් පැන්තර්ස් යන නම් කිසි තැනක සඳහන් නොවීම පුදුමයක් ලෙස පෙනී යා හැකි ය. 1960 ගනන්වල කලු ජාතිකවාදීන් මෙන් හැනා-ජෝන්ස් ඇමරිකානු අධිරාජ්‍යවාදය හෙලාදකින්නේ නැත. “අපි (අප්‍රිකානු-ඇමරිකානුවන්) එක්සත් ජනපද මිලිටරියේ සේවය කරන සියලු වාර්ගික කන්ඩායම් අතරින් සේවය සඳහා යෝග්‍යතම වාර්ගික කන්ඩායම වන්නෙමුයැ"යි උදම් අනන ඇය, “මෙම ජාතිය විසින් දියත් කෙරුනු සෑම යුද්ධයක දී ම අප” සටන් වැද ඇතැයි යන කරුන වර්නනය කරයි. මෙම කරුන කිසිදු අයුරකින් තීරනාත්මක වන බවක්  හැනා-ජෝනස් සඳහන් නො කරයි. දුගී බවින් පීඩා විඳින සුලුතර ජන වර්ගයේ තරුනයන් ගොදුරු කර බඳවා ගන්නා “ස්වේච්ඡා” හමුදාවක් නිර්මානය කිරීම ඇයගේ හෙලාදැකීමට ලක් නො වේ. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” හා මිලියන 20කට වැඩි ජනයා මරා දමා සහ අවතැන් කර ඇති ඉරාකයේ, ලිබියාවේ, යේමනයේ, සෝමාලියාවේ හා සිරියාවේ රුදුරු ආක්‍රමනයන්ට -මේ සියල්ලට ටයිම්ස්හි සහයෝගය ලැබේ- හැනා-ජෝන්ස් විරුද්ධ වන බවට ඉඟියක් හෝ නැත. මෙම කරුනේ දී හැනා-ජෝන්ස් කැපී පෙනෙන ලෙසම “වර්න අන්ධ භාවයෙන්” පෙලෙයි. මැද පෙරදිග, මධ්‍යම ආසියාව හා අප්‍රිකාව තුල ඇමරිකානු යුද යාන්ත්‍රනය විසින් සංහාරයට ලක් කෙරුනු හා සරනාගතයන් බවට පත් කෙරුනු දශ ලක්ෂ ගනනක් වන “වර්නවත් ජනයා” ගැන එක්කෝ ඇය නො දනී, නැතහොත් ඇය ඔවුන් හුදෙක් නොතකා හරී.

එක්සත් ජනපදයේ හෝ වේවා, වෙනත් ඕනෑම තැනක හෝ වේවා මෙම උදාසීනත්වයට යටින් දිවෙන විෂකුරු අනන්‍යතා දේශපාලනය, වාර්ගික හා ජාතික සීමා කපාගෙන ඒකාබද්ධ වීම මත ස්වකීය පැවැත්ම නො නැසී පවත්වා ගැනීම රැදී ඇති කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට සේවය නො කරයි. එහෙත් එය, ඇමරිකානු ඉහල-මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල පන්ති අවශ්‍යතාවන්ට සේවය කරයි.

ඇයගේ රචනාවේ අවසානයේ එන හෙලිදරවුකාරී ඡේදයක් තුල, 1960 ගනන්වල සිට “කලු ඇමරිකානුවන් හුදෙක් අප සඳහා පමනක් නො ව, සියලු ඇමරිකානු ජාතිකයන් වෙනුවෙන් පුදුම එලවන සුලු වර්ධනයක් ලඟා කරගෙන ඇතැ”යි හැනා-ජෝන්ස් ප්‍රකාශ කරයි. ඇය කතා කරමින් සිටින්නේ ඇයගේ “වර්ගය” වෙනුවෙන් නො ව, එක්සත් ජනපදයේ පලමු කලු ජාතික ජනාධිපතිවරයා වූ බැරැක් ඔබාමාගේ පරිපාලනය දක්වා හා එය හරහා දේශපාලනික පරිනතභාවයට පැමිනියා වූ ද, වෙනස්කම්වලට ලක්වන්නන් වෙනුවෙන් සැකැසුනු පිලිවෙත්වල ප්‍රතිලාභ ලද්දා වූ ද, අප්‍රිකානු-ඇමරිකානු ප්‍රභූවේ තුනී ස්ථරයක් වෙනුවෙනි.

ආර්ථික දත්ත පිලිබඳ ව 2017 දී කල විශ්ලේෂනයක් මඟින්, වාර්ගික කන්ඩායම් ඇතුලත පවතින ධන අසමානතාවේ ආන්තික මට්ටම් අනාවරනය කෙරින. අප්‍රිකානු-ඇමරිකානුවන් ලෙස හඳුන්වාගන්නා අය අතර ධනවත් ම සියයට 10 සමස්ත ධනයෙන් සියයට 75ක් පාලනය කල අතර ඉන් ධනවත් ම සියයට 1, ඔබාමාගේ ධුර කාලයේ දී තමන් අත ඇති වත්කම් සමස්ත අප්‍රිකානු-ඇමරිකානුවන් අත ඇති වත්කම්වලින් සියයට 19.4 සිට 40.5 දක්වා වැඩි කරගත්තේ ය. මේ අතරම, අප්‍රිකානු-ඇමරිකානු නිවහන්වල පහල අර්ධය සතු වත්කම් ප්‍රමානය ශූන්‍ය හෝ ඍන බවට ද තක්සේරු කෙරින.

1960 ගනන් හා 1970 ගනන්වල මහජන කැලඹිල්ලට ප්‍රතිචාර ලෙස කලු මිලියනපතියන්ගේ හා බිලියනපතියන්ගේ ඉතා තුනී ස්ථරයක් හිතාමතා ම වර්ධනය කරනු ලැබ ඇති අතර ම, කම්කරු පන්තික අප්‍රිකානු-ඇමරිකානුවන්ගේ ජීවන කොන්දේසි වසර 40කට පෙර තිබුනාට වඩා අයහපත් ය. මේ වූ කලී, ඩිට්‍රොයිට්, මිලවුකී හා ඔහියෝහි යංග්ස්ටවුන් වැනි කම්කරු-පන්තික නගර විනාශ කරමින් එක්සත් ජනපදය පුරා මෝටර් රථ, වානේ හා අනෙකුත් කම්හල් ක්‍රමානුකූල ව වසා දැමීම සිදු වූ කාර්මිකහරනයේ කාල පරිච්ඡේදය යි.

20වන ශතවර්ෂයේ කටුක අරගල හරහා කම්කරුවන් විසින් දිනාගත් ප්‍රධාන සාමාජීය ජයග්‍රහන ආපසු හරවනු ලැබ ඇත්තේ, ජනගහනයේ පහල සියයට 90 සිට ඉහල කරා යෝධ වත්කම් සම්භාරයක් පොම්ප කර යැවෙන පරිද්දෙනි. දුගී බව, ඛාදනය වන ආයු අපේක්ෂාව, අපේක්ෂා භංගය හේතුවෙන් සිදුවන මරන සහ සාමාජයීය දුක්ඛිතභාවයේ අනෙකුත් රූපාකාරයන් විසින් සියලු වර්ගවල හා ජාතික පසුබිම්වල කම්කරුවන් එකට බැඳ තැබෙමින් පවතී.

ඩිමොක්‍රටික් පක්ෂයේ හා එම පක්ෂය විසින් නියෝජනය කෙරෙන වරප්‍රසාදිත ඉහල-මධ්‍යම-පන්තික ස්ථරවල හොරනෑව වන ටයිම්ස් පත්‍රය, ඇමරිකානු ඉතිහාසය පිලිබඳ මෙම වාර්ගික ආඛ්‍යානය ඉදිරියට දමන්නේ, එක්සත් ජනපදයේ හා ලොව පුරා පන්ති අරගලයේ වර්ධනය මධ්‍යයේ වීම අහම්බයක් නො වේ.

මේ වසර මුල දී, මෙක්සිකෝවේ මැටමොරොස්හි මෝටර් රථ කොටස් කම්කරුවෝ, ඔවුන්ගේ ක්ෂනික වැඩ වර්ජනයන් හා සම්බන්ධන වන ලෙස, සුදු හා කලු ඇමරිකානු සහෝදරයන්ට කැඳවුම් කලෝය. දකුන පුරා කලු, සුදු, හිස්පැනික් (ස්පාඤ්ඤ-ඇමරිකානු) කම්කරුවෝ විදුලි සංදේශ දැවැන්තයෙකු වන ඒටී ඇන්ඩ් ටීයට එරෙහි ව ඒකාබද්ධ ව වර්ජනය කල හ. ටෙනෙසිහි දී, කලු හා සුදු අසල්වැසියෝ සංක්‍රමනික කම්කරු පන්ති පවුලක් පිටුවහල් කරනු ලැබීමට එරෙහිව ආරක්ෂා කලෝය. දැන්, ඇමරිකානු මෝටර් රථ කර්මාන්තයේ බහුවිධ ජාතීන්ට හා බහුවිධ ජනවර්ගවලට අයත් ශ්‍රම බලකායට පෙනී යන්නේ, දැවැන්ත ගෝලීය මෝටර් රථ සමාගම් හා දූෂිත වෘත්තීය සමිතිවලට එරෙහි සැලසුම්සහගත සටනකට තමන් එලඹෙන බවයි.

ඒ අතරතුරම, ජන මත විමසුම්වලින් පෙන්නුම් කෙරෙන්නේ ජනගහනය තුල සමාජවාදය කෙරේ වැඩෙමින් පවතින සහයෝගයයි - එනම්, කම්කරු පන්තිය මත පටවා ඇති සියලු සීමා හා බෙදීම් කපාගෙන ගොඩ නැඟෙන කම්කරු පන්තියේ සවිඥානික දේශපාලනික ඒකාබද්ධතාවයයි. මෙම තත්වයන් යටතේ ඇමරිකානු ධනේශ්වර  ප්‍රභූව; ඩිමොක්‍රටික්වරුන් හා රිපබ්ලිකන්වරුන් යන දෙපාර්ශ්වයම එකසේම - සමාජ විප්ලවය පිලිබඳ ව බියපත් වේ. වර්ගය, ආගම, ජාතිකත්වය, ජනවාර්ගිකත්වය හෝ භාෂාව වේවා, ඒ කවරක් මත වුව පදනම් ව මෙම වර්ධනය වැලැක්වීමට ඇමරිකානු ධනේශ්වර ප්‍රභූව ලොව පුරා එහි පාලක පන්ති සගයන් සමග එක්වෙමින් සිටී.

1619 ව්‍යාපෘතිය යනු, 2020 මැතිවරනයේ හදවතටම වාර්ගික දේශපාලනය එන්නත් කිරීමේ හා කම්කරු පන්තිය අතර බෙදීම් ඇවිලවීමේ දැනුවත් උත්සාහයක එක් සංරචකයකි. අවස්ථානුකූලව, දැනට සිය අවධානය ප්‍රතිගාමී මිලිටරිවාදී රුසියානු-විරෝධී උද්ඝෝෂනයේ සිට ඒ හා සමානවම ප්‍රතිගාමී වාර්ගික දේශපාලනය කරා මාරු කිරීම වාසිදායක වනු ඇතැයි ඩිමොක්‍රටිකයෝ සිතති.

ටයිම්ස් පත්‍රයේ විධායක අධ්‍යක්ෂ ඩීන් බැකේ මේ සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් කරයි. අගෝස්තු මාසයේ පැවති තැටිගත කරන ලද රැස්වීමක දී තම කාර්ය මන්ඩලයට ඔහු කියා සිටියේ, පත්‍රය කේන්ද්‍රගත වන ආඛ්‍යානය “ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය රුසියාව සමග කුමන්ත්‍රනය කලේ ද හා නීතියට බාධා කලේ ද යන්නෙහි සිට ජනාධිපතිවරයාගේ චරිතය පිලිබඳව වඩා මුහුනට මුහුන ගැටෙන ආඛ්‍යානයක් දක්වා” වෙනස් කල යුතු බව යි. එහි ප්‍රතිඵලයක් ලෙස, “රට, ජන වර්ගය හා අනෙකුත් බෙදීම් පිලිබඳ ව වඩා ගැඹුරින් ලියන” ලෙස වාර්තාකරුවන් යොමු කරනු ඇත.

බැකේ මෙසේ ප්‍රකාශ කලේ ය:

ජන වර්ගය හා ජන වර්ගය වටහා ගැනීම, ඇමරිකානු කථා ප්‍රවෘත්තිය සම්බන්ධ අපේ වාර්තාකරනයේ කොටසක් විය යුතුය. ... අප සියලු දෙනා 1619 ව්‍යාපෘතියට අනුමැතිය දීමේත්, එය ඒ සා අපේක්ෂාසහගත හා විස්තීර්න එකක් බවට පත් කිරීමේත් එක් හේතුවක් නම්, අපගේ පාඨකයන්ට තරමක් වැඩියෙන් ඒ ආකාරයට සිතීමට ඉගැන්වීමටයි. ජන වර්ගය ඊලඟ වසර තුල - අවංක ව කියන්නේ නම් ඔබ මේ සාකච්ඡාවෙන් එලැඹෙනු ඇති එකඟතාව ලෙස මා අපේක්ෂා කරන්නේ මෙයයි - ජන වර්ගය ඊලඟ වසර තුල ඇමරිකානු කථා ප්‍රවෘත්තියේ විශාල කොටසකට හිමිකම් කියනු ඇත. 

ජන වර්ගය මත කෙරෙන මේ කේන්ද්‍රගත කිරීම වූ කලී ට්‍රම්ප්ගේ ම වාර්ගික දේශපාලනයේ දර්පන ප්‍රතිබිම්බයක් වන අතර, එය ජන වර්ගය මත පදනම් වූ නාසීන්ගේ ලෝක දෘෂ්ටිය සමග ද තිගැස්සෙන සුලු ආකාරයේ සමරූපික බවක් දක්වයි. ජර්මානු ෆැසිස්ට්වාදයේ දෘෂ්ටිවාදය පිලිබඳ සිය විශ්ලේෂනය තුල ට්‍රොට්ස්කි, ෆැසිස්ට්වාදයේ දේශපාලනය ඇතුලත ජන වර්ගයේ කේන්ද්‍රීය කාර්යභාරය ලුහුඬින් පැහැදිලි කරයි:

ඉතිහාසයෙන් ඉහලට නැංවීම සඳහා ජාතියට ජන වර්ගයේ සහයෝගය දෙනු ලැබේ. ඉතිහාසය දැකගනු ලබන්නේ වර්ගයේ අනුෂංගය සේ ය. වෙනස් වන සමාජ කොන්දේසිවලට අසම්බන්ධිතව වර්ගයේ ගුනාංග වටහා ගනු ලැබේ. “ආර්ථික චින්තනය” පදනම ලෙස ගැනීම ප්‍රතික්ෂේප කරන ජාතික සමාජවාදය අවධියක් පහලට බසී: එනම් ආර්ථික භෞතිකවාදයේ සිට එය සත්ත්ව විද්‍යාත්මක භෞතිකවාදයට ආයාචනා කරයි. [7]

1619 ව්‍යාපෘතිය ඉතිහාසය විකාරයක් බවට පත්කරන බව දන්නා බොහෝ ශාස්ත්‍රධරයෝ, ශිෂ්‍යයෝ හා කම්කරුවෝ සිටිති. ඇමරිකානු හා ලෝක ඉතිහාසය මඩ කිරීමට හා එකී ඉතිහාසයන් පිලිබඳ වර්ගය මත පදනම් වන ප්‍රතිගාමී මුසාකරනයක් පුනරුත්ථාපනය කිරීමට, ටයිම්ස්හි මූලිකත්වයෙන් ගෙන යන සම්බන්ධීකෘත උත්සාහය ප්‍රතික්ෂේප කොට ආස්ථානයක් ගැනීම ඔවුන්ගේ වගකීම යි.

සියල්ලටමත් වඩා, - පන්ති අරගලය වර්ධනය වෙද්දී වඩ වඩාත් රුදුරු හා අනර්ථකාරී වීමට නියමිතව ඇති - තමන් බෙදීමට දරන එවන් උත්සාහයන් කම්කරු පන්තිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ය. මෙම යුගයේ මහා ප්‍රයුක්තිය වන්නේ, සියලු ආකාරවල වර්ගවාදයන්, ජාතිකවාදයන් හා අනන්‍යතා දේශපාලනයේ සම්බන්ධිත රූපාකාරයන්ට එරෙහි ව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් වැදීමයි.

එලඹීමට නියමිත සති හා මාසවල දී, 1619 ව්‍යාපෘතිය විසින් ප්‍රවර්ධනය කෙරෙන ප්‍රතිගාමී කම්කරු පන්ති-විරෝධී දේශපාලනය හා ඓතිහාසික මුසාකරනයන් හෙලිදරවු කෙරෙමින් සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් සංවිධානය කරනු ලබන දේශන පිලිබඳ වාර්තා ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල පලකරනු ඇත.

සටහන්:

[1] The Cambridge World History of Slavery, වෙලුම 3, ක්‍රිව 1420-1804, ඩේවිඩ් එල්ටිස් හා ස්ටැන්ලි එල්. එංගමාන්ගේ සංස්කරනය (කේම්බ්‍රිජ්: 2011), 81 පිටුව

[2] එම, 47 පිටුව

[3] පෝල් ඊ. ලව්ජෝයි, Transformations in Slavery (කේම්බ්‍රිජ්: 2012), 1 පිටුව

[4] එම, 489 සටහන 

[5] නිව් යෝක් ටයිම්ස් සඟරාව, 2019 අගෝස්තු 18, 19 පිටුව.

[6] ජේම්ස් පී. කැනන්, “The Coming American Revolution,” සමාජවාදී කම්කරු පක්ෂයේ දොලොස්වන ජාතික සම්මේලනයේ දී කල කතාව, 1946.

[7] ලියොන් ට්‍රොට්ස්කි, “What Is National Socialism?” වෙතින් පිවිසිය හැක.

 

Loading