ආන්ඩුව මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය නව ඉහලකට නංවමින් මුස්ලිම් නීතීඥවරයෙකු අත්අඩංගුවට ගනී

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන වලට යැයි කියමින්, අප්‍රේල් 14 වනදා රාත්‍රියේ,  අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් මුස්ලිම් වාර්ගිකයෙකු වන නීතීඥ හිජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගන්නා ලදී. ඔහු මේ දක්වා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටී.

අප්‍රේල් 17 වනදා ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ පියාවන නයිනා හිස්බුල්ලා සහ ඔහුගේ සොහොයුරා විසින් හබයාස් කෝපුස්” පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී. කිසිදු හේතු දැක්වීමකින් තොරව නීතීඥවරයා අත් අඩංගුවට ගත් බව එහි සඳහන් විය.

නීතීඥ හිස්බුල්ලා වහාම අධිකරනයට ඉදිරිපත් කරන ලෙසද අත් අඩංගුවෙන් නිදහස් කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.  මුස්ලිම් ජාතිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මෙම බලහත්කාරී අත් අඩංගුවට ගැනීමට හේතුවක් විය හැකි බව ද එහි සඳහන් වෙයි.

හබයාස් කෝපුස් පෙත්සම මගින් හිස්බුල්ලා අත් අඩංගුවට ගැනීමේ සිද්ධි ජාලයෙහි ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී, මිලිටරිවාදී ස්වභාවය හෙලිදරව් විය.

පෙත්සමට අනුව අප්‍රේල් 14 වනදා සවස 4 ට පමන හිස්බුල්ලා හට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකු ලෙස හඳුන්වාගත් අයෙකු දුරකථනයෙන් අමතා, කොරෝනා වෛරසයට නිරාවරනය වූ බවට සැක සහිත බව පවසා ඇත. ඉන් පසුව නීතීඥයා ඔවුන් පැමිනෙන තෙක් නිවසේ රැඳී සිට ඇති අතර සවස පහට පමන අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුවේ පුද්ගලයින් පස් දෙනෙකු නිවසට පැමින නීතීඥයාට මාංචු දමා දුරකථන අංක කිහිපයක් පිලිබඳව විමසා ඇත. ඉන්පසුව පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව ප්‍රකාශ කිහිපයක් ගෙන ඇති අතර ඔහුට ඔවුන් සමග අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුව පැමිනෙන ලෙස නියෝග කර ඇත

එදින රාත්‍රියේදී ඔහු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැය භාගයකට ආසන්න කාලයක් කට උත්තර දුන් පසු අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු හේතුවක් ඔවුන් ඉදිරිපත් කර නොමැත.

අප්‍රේල් 15 වනදා නීතීඥ සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහුව අත් අඩංගුවට ගැනීමට හේතු විමසීය. එහිදී ඔහු අත් අඩංගුවට ගැනීමට හේතුව 

ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් කලේය. ලිපියෙහි තවදුරටත් සඳහන් වන්නේ දැනට ලැබී ඇති තොරතුරු අනුව ඊට හේතු වී ඇත්තේ “හිස්බුල්ලා මහතා නීතිඥයෙකු ලෙස ඔහුගේ වෘත්තීය වපසරිය තුළ ඉටු කල ඇතැම් කාර්යයන්” බවයි.

මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය වැඩෙන තතු තුල පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න ඊයේ දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ ප්‍රමානවත් සාක්ෂි සහිතව හිස්බුල්ලා අත් අඩංගුවට ගත් බවයි. පාස්කු ප්‍රහාරයෛන් පසු දෙවන ප්‍රහාරයක් සම්බන්ධව කල පරීක්ෂන වලදී නීතීඥයා බෝම්බකරුවන් සමග අන්තවාදී මත ප්‍රචාරය කල බවට හෙලි වූ බව පැවසීය. 

කෙසේ වෙතත් ලංකාවේ පොලීසිය මෙවන් බොරු නඩු ඇටවීම් සම්බන්ධව කුප්‍රකටය. සේනාරත්න ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ශන සිදුවන බව නිසා වැඩිදුර තොරතුරු පැවසීමට නොහැකි බව කියමින් සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් ලබා දීම මග හැරියේය.

මෙම සිදුවීම නැවත වතාවක් අඟවන්නේ තිස් වසරක වර්ගවාදී යුද්ධය සමයේ ක්‍රියාවට නැගූ ආකාරයේ, චෝදනා නොමැතිව අන්තනෝමතික අත් අඩංගුවට ගැනීම්, නඩු නොඅසා දිගුකල් රඳවා ගැනීම් වැනි ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර නැවත වටයකින් ක්‍රියාවට දමමින් සිටින බවය. මීට පෙර පාස්කු ප්‍රහාරයෙන් පසු සමය තුලදී ද මුස්ලිම් ජන වර්ගය ඉලක්ක කරගත් මෙවන් අත් අඩංගුවට ගැනීම් විශාල පරිමානයෙන් සිදු කෙරිනි. එම කාලය තුල අත් අඩංගුවට ගත් පිරිසෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් චෝදනා නොමැතිවීම හේතුවෙන් නිදහස් කෙරිනි.

නීතීඥවරයාගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම චෝදනා කල්තියාම ප්‍රතික්ෂේප කර තිබුනි. සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කලේ හිස්බුල්ලා ත්‍රස්තවාදී, අන්තවාදී ක්‍රියා මාර්ග පිලිබඳව විශ්වාස නොකල බවත් සියලු ආකාරයේ “වර්ගවාදය, අන්තවාදය ප්‍රතික්ෂේප කල ඔහු ආගමික සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි” බවයි.

හිස්බුල්ලා මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව වාර්ගික ප්‍රකෝපකරනයන්ට එරෙහිව ආන්දෝලනාත්මක නඩු කිහිපයකටම දායකත්වය සැපයූ අයෙකි. ඉන් වඩා ප්‍රකට නඩුවක් වනුයේ වෛද්‍ය ශියබ්දින් ෂාෆි අත් අඩංගුවට ගැනීමේ නඩුවයි. ෂාෆි අත්අඩංගුවට ගැනුනේ ඔහු විසින් කරන ප්‍රසූත සැත්කමි වලදී සිංහල කාන්තාවන් වඳභාවයට පත් කරන  බවට චෝදනා කරමිනි. හිස්බුල්ලා අත් අඩංගුවට ගැනීම එවන් ව්‍යාජ නඩු වලට විරුද්ධව පෙනී සිටිනන්නන් බිය වැද්දීම අරමුනු කරගත් බවට නොඅනුමානය.

88-89 වකවානුවේ ආරක්ෂක අංශ අත් අඩංගුවේ සිටියදී නීතීඥ විජේදාස ලියනාරච්චි ඝාතනය කිරීමෙන් අනතුරුව නීතීඥයෙකු අත් අඩංගුවට ගන්නේ නම් නීතීඥ සංගමයට දැනුම් දිය යුතු බවට ක්‍රමවේදයක් පසු ගිය කාලය තුල පැවතිනි. මෙම අත් අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ එවන් දැනුම් දීමක් හෝ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමකින් තොරවය.

හිස්බුල්ලා කොරෝනා වසංගතය මධ්‍යයේ ඉස්මත්තට ගෙන ඇති මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයේ තවත් එක් ගොදුරකි. මීට පෙර අප්‍රේල් 9 වනදා සමාජ මාධ්‍ය පරිශීලකයෙකු වන රම්සි රසීක් ජාතිවාදය ප්‍රචාරය කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගැනිනි. ඔහු සමාජ මාධ්‍ය තුල වර්ගවදීන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කල අයෙකු බවට ප්‍රකට ය.

මාධ්‍ය විසින් මුස්ලිම් ජාතිකයින් විසින් කොරෝනා වෛරසය වපුරවන බව ඇඟවෙන පරිදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරමින් සිටී. ඔවුන් ආසාදිතයා මුස්ලිම් ජාතිකයෙකු නම් ඔහුගේ ජනවර්ගයද ප්‍රකාශයට පත් කරන අතර මුස්ලිම් ජාතිකයින් නිරෝධායනයට ලක් කරන වීඩියෝ පට ප්‍රචාරය කරයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූයේ යැයි කියන මොහොමඩ් ඉබ්‍රාහීම් ගේ පවුලේ ව්‍යාපාර කටයුතු සඳහා හිස්බුල්ලා නීතිමය සේවා සපයා තිබිනි. පසුගිය වසරේද පාස්කු ප්‍රහාර විමර්ශකයින් විසින් හිස්බුල්ලා කැඳවා ප්‍රකාශ සටහන් කරගත්  නමුත් එහිදී ඔහු සචේතනිකව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිවක් සොයා නොගැනුනි. 

නැවත වතාවක් මෙම චෝදනාව ඉස්මත්තට ගැනීම පිටුපස පවතින හේතුව කුමක්ද? 

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය වසරේ නොවැම්බරයේදී බලයට පත් වූයේ මෙම පාස්කු ප්‍රහාරය බලගතු ලෙස ගසා කමිනි. පැවති ආන්ඩුව “බරපතල ලෙස අනතුරේ හෙලා ඇති ජාතික ආරක්ෂාව” තමා බලයට පැමිනි පසු “යලි” තහවුරු  කරන බවට රාජපක්ෂ එම උද්ඝෝෂනය පුරා යලියලිත් ශපථ විය. 

එයට සමගාමීව ඔහු විසින් ගෙනගිය දෙමල සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයට මෙම පාස්කු ප්‍රහාරය යහමින් යොදා ගත්තේය. පාස්කු ප්‍රහාරයෙන් ක්ෂනික ඉක්බිත්තේ මුදා හැරුනු මුස්ලිම්-විරෝධී        ප්‍රචන්ඩත්වයට රාජපක්ෂගේ පූර්න අනුග්‍රහය ලැබුනු බව ද නොරහසකි.

කල්දැමීමෙන් පසු ජූනි 20 වන දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරනයේදී ද තම පක්ෂයේ උද්ඝෝෂනය සිංහල වර්ගවාදය මත බලගතු ලෙස පදනම්කර ගැනීමට රාජපක්ෂ බලාපොරොත්තු වෙයි. එය ප්‍රකට කරමින්, අප්‍රේල් 16 වනදා, රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති ජී.එල්. පීරිස් අයිලන්ඩ් පුවත් පතට පැවසුවේ සුලු ජාතිකයින්ගේ ඡන්දයෙන් තොරව ජනාධිපති ධුරය ලබාගත හැකි බව රාජපක්ෂ ජනාධිපතිවරනයේදී ඔප්පු කල බවයි.

මෙහි අදහස වනුයේ රාජපක්ෂ නඩයේ නායකත්වයෙන් රුදුරු දෙමල සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයක් මුදා හැරීමට සූදානම්වන බවයි.

කොරෝනා වෛරසය පැතිරීම මධ්‍යයේ ආන්ඩුවට එල්ලවන මහජන විරෝධය අපසරනය කිරීම මුස්ලිම් විරෝධි උද්ඝෝෂනයේ තවත් අරමුනකි. පසුගිය සති කිහිපය තුල මාධ්‍ය හා ධනපති දේශපාලනඥයන් විසින් මුස්ලිම් විරෝධය ඉස්මත්තට ගෙන ආවේ මුස්ලිම් වාර්ගිකයන් සිතාමතාම සිංහල ජනයාට කොරෝනා පතුරුවන බවට නරුම චෝදනා ඉදිරිපත් කරමිනි.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් නීතීඥවරයා අත් අඩංගුවට ගත් ආකාරය සහ ඔහු සම්බන්ධයෙන් අනුගමනය කල ක්‍රියා පිලිවෙත, පොලිස් මිලිටරි රාජ්‍යයක් දෙසට වන ආන්ඩුවේ වේගවත් ගමන පිලිබඳව ඇඟවුම් ද ගෙන එයි. 

සිය අනන්‍යතාවය හෙලි නොකරමින් ආරක්ෂක අංශ විසින් සිදු කරන මෙවන් නීති-විරෝධී අත් අඩංගුවට ගැනීම් වර්ධනය වෙමින් පවතී. මීට පෙර පේරාදනිය විශ්ව විද්‍යාලයේ තරිඳු අවිශ්ක ශිෂ්‍යයා ද මෙලෙස අත්අඩංගුවට ගැනිනි. “සෞඛ්‍ය සේවා” යැයි සඳහන් කල වෑන් රථයකින් ඔහුගේ නිවසට පැමිනි පොලිස් නිලධාරියෙකු සහ සෞඛ්‍ය සේවකයින් කිහිපදෙනෙකු පවසා ඇත්තේ සිසුවා නිරෝධායනයට ලක් නොවී පැන ආවෙකු බවයි. නිවැසියන් ගේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ආන්ඩුව විවේචනය කරමින් ෆෙස්බුක් මාධ්‍යයෙන් අදහස් දක්වා ඇති නිසා අත් අඩංගුවට ගැනීමට පැමිනි බව පවසා ඇත.

මීට අමතරව බේරුවල ප්‍රදේශයේ පවුලක් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය බලධාරීන්ට හෝ ග්‍රාම නිලධාරියාට නොදන්වා මිලිටරිය විසින් බලහත්කාරයෙන් නිරෝධායන කඳවුරකට ගාල් කලේය. මේ සියල්ලම ඉදිරීයේදී කම්කරු පන්තියේ විරෝධය මැඩීමට මහා පරිමානයෙන් ක්‍රියාවට දැමීමට නියමිත ප්‍රජාතන්ත්‍ර විරෝධී, මිලිටරි ස්වරූපයේ අත් අඩංගුවට ගැනීම් පිලිබඳව අනතුරු ඇඟවීම් ය.

Loading