ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොලඹ ජනයා “විනයගත කිරීමට” මිලිටරිය යොදනබව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කරයි

කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීමේ පියවරක් ලෙස, මාසයකට පෙර පැනවූ වසා තැබීම ඉවත් කිරීමෙන් පසු, මහජනයා ”විනයගත කිරීම” සඳහා “යුද්ධය සමයේ” කලාක් මෙන් කොලඹ දිස්ත්‍රික්කය තුලට සන්නද්ධ හමුදාවලින් කොටසක් යොදවන බව, සඳුදා පැවති සම්මුඛ සාකච්ඡාවක දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කලේ ය.

සැලසුම විස්තර කරමින් ජනාධිපතිවරයා කීවේ, ඇඳිරි නීතිය පැනවූයේ “සමාජ දුරස්ථකරනය” ශක්තිමත් කිරීමට බව යි. ඔහු මෙසේ ද කීවේ ය: ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු, “පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ කොටසක් යොදවනවා විශේෂයෙන්ම කොලඹ දිස්ත්‍රික්කයේ මේ කාර්යය පාලනය කරගන්නට. පසුගිය කාලයේ ඒ අය සෑම තැනකම විසිරිලා හිටියා. නමුත් මම ආරක්ෂක ලේකම්තුමාට දැනුම් දුන්නා මේ ප්‍රදේශය යුද කාලයේ තිබුනා වගේ පාලනයක් ඇතිකරලා විනයක් ඇතුව හික්මීමක් ඇතුව අනවශ්‍ය ගමන් යන්නේ නැතුව මේ කාලය තුල මේ ප්‍රදේශය පාලනය කරන්නට.”

තමන්ගේ උපදේශකයෙක් විසින් මෙහෙයවන ලද, විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලද පැයක් පුරා පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කලේ ය. ජාත්‍යන්තර ව හා රට තුල කොවිඩ්-19 වසංගතය නැගෙමින් පැවතීම නො තකා, වෛරසය “පාලනය කිරීමට” ආන්ඩුව සෑම පියවරක් ම ගත් බවක් මවාපාමින් “ආර්ථිකය යලි විවෘත කිරීමේ” අනාගත සැලසුම්  ඉදිරිපත් කිරීම මේ සාකච්ඡාවේ අරමුන විය.

පසුගිය සඳුදා, කොලඹ දිස්ත්‍රික්කය ඇතුලු බස්නාහිර පලාතේ ඇඳිරි නීතිය ඉවත් කිරීමට ආන්ඩුව සැලසුම් කලේ ය. අතිශයින් ම සීමිත පරීක්ෂන මධ්‍යයේ පවා, වෛරසය ආසාදිත පුද්ගලයන් තව තවත් සොයාගැනීම නිසා එම තීරනය වෙනස් කිරීමට ආන්ඩුවට සිදු විය. නව සැලසුම වන්නේ ලබන සඳුදා ඇඳිරි නීතිය ඉවත් කිරීම යි.

රාජපක්ෂගේ තර්ජනාත්මක ප්‍රකාශය රටෙහි සමස්ත කම්කරු පන්තියට ම අනතුරු ඇඟවීමකි. මිලිටරිය දිගේලි කිරීම හා  “සමාජ දුරස්ථකරනය” සමග කිසිදු සම්බන්ධයක් නැත. මෙය වනාහි තම අයිතීන්ට එල්ලවන ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තිය තුලින් මතුවන ඕනෑම කැලඹිල්ලක් මැඬලීම සඳහා ගන්නා සූදානමකි.

තම සමාගම්වල අර්බුදයට මුහුන දීම පිනිස රැකියා අවම වසයෙන් සියයට 30කින් කපන බව ද විශ්‍රාම වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ කපාහරින බව ද මහ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ප්‍රකාශ කොට තිබේ. 

පසුගිය දින දෙක තුල බස්නාහිර පලාතේ හා රටෙහි අනෙකුත් ප්‍රදේශවල නිදහස් වෙලඳ කලාප යලි විවෘත කරනු ලැබුවේ ශ්‍රම බලකායෙන් සියයට 20ක් පමනක් කැඳවා ගෙනයි. බොහෝ කම්කරුවන්ට පසුගිය මාසයේ වැටුප් ද ලැබී නැත. අසංවිධිත අංශවල කම්කරුවන් දසදහස් ගනනකට රැකියා අහිමි වී ඇත.

ආරම්භයේ දී රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා එම අංශයේ  කම්කරුවන්ගෙන් කොටසක් පමනක් යලි සේවයට කැඳවීමට ආන්ඩුව සූදානම් වෙයි. ප්‍රකාශයට පත් නො කල ද අනෙකුත් බොහෝ අංශවල මෙන් රාජ්‍ය අංශයේ රැකියා කපා හැරීමේ තර්ජනය මින් ඇඟවෙයි. 

මේ වසරේ දකුනු ආසියාව සියයට 2.8 හා 1.8 අතර පහල ආර්ථික වර්ධන රේට්ටුවක් වාර්තා කරන අතර, ලංකාවේ ආර්ථික වර්ධන රේට්ටුව සියයට 3 කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. කඳු ගැසෙන නය බරට හා ආර්ථික ඛාදනයට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුව, කම්කරුවන්ට හා දුගීන්ට දරුනු ප්‍රහාර එල්ල කිරීම සූදානම් කරමින් සිටී.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව, සොල්දාදුවන් ලක්ෂ ගනනක් දිගේලි කරමින්, උතුරේ හා නැගෙනහිරේ 30 අවුරුද්දක් තිස්සේ ගෙන ගිය යුද්ධය ගැන යි. 2005 හා 2015 අතර පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන තන්ත්‍රයේ ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ  2009 මැයි මාසයේ අවසන් වූ යුද්ධයේ අවසන් වසරවල නායකත්වය ගත්තේය. ෙ

ලේවැකි මිලිටරි මෙහෙයුම්වල අවසන් සති කිහිපයේ දී, දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් ඝාතනය කරන ලදැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කලේ ය. වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, මෙම මෙහෙයුම්වල පෙරමුනේ ම සිටිය හ. රාජපක්ෂ එවැනි යුද අපරාධ සිදු වීය යන්න ප්‍රතික්ෂේප කරයි.

යුද්ධය සමයේ, විෂඝෝර හදිසි නීති රෙගුලාසි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් උසිගැන්වූ මර්දනය උතුරු හා නැගෙනහිර මෙන්ම රට පුරා ම මුදා හරිනු ලැබිනි. පැහැරගෙන යාම් සිය ගනනක් සිදු විය. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මරා දැමීම හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ඇතුලු ව ජනමාධ්‍යවේදීන් හා දේශපාලන විරුද්ධවාදීන්, ඝාතනය කිරීම් වලට හා ශාරීරික පහරදීම්වලට ලක් කෙරුනි.

යුද්ධයෙන් පසු, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල මැඩීමට මිලිටරිය හා පොලීසිය දිගේලි කරන ලදී. 2011 දී, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් 40,000ක්  විශ්‍රාම වැටුප් කප්පාදුවලට විරෝධය දැක්වූ විට, ඊට වෙඩි තැබූ පොලීසිය එක් කම්කරුවෙක් ඝාතනය කලේ ය. 2012 දී හලාවත පැවති උද්ඝෝෂනයක් මර්දනය කිරීම සඳහා පොලිස් කොමාන්ඩෝ භටයන් විසින් ධීවරයෙකු ඝාතනය කලේ ය. 2013 දී, පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරියේ විරෝධතාවේ යෙදුනු මහජනයාට එරෙහි මිලිටරි මෙහෙයුමක දී, තරුනයන් තිදෙනෙකුට වෙඩි තබා මරාදමන ලදී.

රාජපක්ෂ මතක් කරන්නේ මේ කාලයේ මිලිටරිය යෙදවූ ආකාරය ගැනයි.   

පසුගිය නොවැම්බරයේ රාජපක්ෂ බලයට පත්වූ වහා ම, ආන්ඩුවේ මූලික තනතුරු ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන්ගෙන් පුරවන ලදී. ඔහු, සිය පරිපාලනය මිලිටරිකරනය කිරීම තීව්‍ර කිරීම සඳහා, වසංගත අර්බුදය යොදාගත්තේ ය. කොවඩ්-19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධාන තනතුරට යුද හමුදාපතිවරයා පත්කරනු ලැබ ඇත්තේ, සෞඛ්‍ය හා අනෙකුත් අධිකාරීන් ඔහු යටතට ගෙන එමිනි. තව ද, බස්නාහිර පලාත් ආන්ඩුකාරවරයා ලෙස රාජපක්ෂ පසුගිය මාසයේ පත්කෙරුවේ විශ්‍රාමික එයාර් මාර්ෂල් රොෂාන් ගුනතිලක ය.  

සම්මුඛ සාකච්ඡාවේ දී, රාජ්‍ය බුද්ධි අංශවල භූමිකාව රාජපක්ෂ විසින් සුවිශේෂී ලෙස ඉස්මතු කලේ ය. කොරෝනා වෛරස සිද්ධිය පිලිබඳ දත්ත ලබාගැනීමේ දී, බුද්ධි අංශ ප්‍රධානියා “මා සමග විශාල වැඩ කොටසක් කරනවා,” යි ඔහු කීවේ ය. ආසාදිතයන්ගේ තොරතුරු රැස් කරගැනීමේ දී සහ පුද්ගලයන් හඳුනාගෙන, අන්වේශනය කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමේ දී බුද්ධි අංශ යොදා ගැනුනි. ඔහු  මෙම විස්තර හුවා දැක්වූයේ මිලිටරියේ ප්‍රතිරූපය පිම්බීම සඳහා ය.

මෙම සමස්ත සූදානමෙහි අරමුන වන්නේ, අනාරක්ෂිත කොන්දේසි යටතේ යලි වැඩකිරීම සඳහා කම්කරුවන් දැක්කීමට, ආන්ඩුව හා මහ ව්‍යාපාරිකයන් ගෙන ඇති තීන්දුව ක්‍රියාවට දැමීම යි. වෛද්‍ය විශේෂඥයන් ගනනාවක් සහ සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරුවන් ආන්ඩුවේ තීරනය විවේචනයට භාජනය කර ඇත.

සාකච්ඡාවේ දී රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙය (ආර්ථිකය විවෘත කිරීම) තවදුර ප්‍රමාද කල හොත්, ආර්ථිකය දැවැන්ත ගැටලුවකට මුහුන පානු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ අදහස යි. සමාජයේ දෛනික වැටුප් උපයන්නන් දරුනු බලපෑමකට මුහුන දී සිටිනවා.” මෙම විවෘත කිරීමේ දී කේන්ද්‍රීය වන්නේ, ආර්ථිකයට සියයට 50ට වඩා දායක වන බස්නාහිර පලාත විවෘත කිරීම බව ඔහු කීවේ ය. 

“දරුනු බලපෑමට ලක්ව” ඇති දෛනික වැටුප් උපයන්නන් කෙරෙහි ඔහු දක්වන්නේ ව්‍යාජ කනස්සල්ලකි. අඩු ආදායම් ලබන කම්කරුවන්ට හා දුගීන්ට සොච්චම් සහන වෙන්කරද්දී, මහ ව්‍යාපාරිකයන්ට හා බැංකුවලට රුපියල් බිලියන ගනන් සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා මහ බැංකුවට නියෝග කලේ ය. 

තම ආන්ඩුව “මෙම වසංගතයේ අන්තරාය කල්තබා අවබෝධ කරගෙන එය පාලනය කිරීම සඳහා තීරනාත්මක පියවරයන් ගත්” බව පෙන්වීමට ද රාජපක්ෂ උත්සාහ කලේ ය.

ලොව පුරා සෑම ආන්ඩුවක්ම ව්‍යාජ ලෙස කියාපාමින් සිටින්නේ මෙය යි. මූල්‍ය ප්‍රභූවේ හා මහා සංගතවල ලාබ පුම්බා තැබීමට ක්‍රියාකරන එක්සත් ජනපදය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල ආන්ඩු, එලඹීමට නියමිත වසංගත ව්‍යසනය පිලිබඳ ව විද්‍යාඥයන් දශක දෙකක් තිස්සේ කල අනතුරු ඇඟවීම්වලට ඇහුම් කන් දුන්නේ නැත. ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල පාලක තන්ත්‍රයන් ගැන ද කීමට ඇත්තේ එය ම ය.

කොරෝනා වෛරසය ආසාදනය වුනු චීනයෙන් පැමිනි සංචාරක කාන්තාවක සොයාගෙන සුව වීමෙන් සති ගනනාවකට පසුව පවා, පූර්න වසාතැබීමක් සඳහා වූ ඉල්ලීම් රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ මෙලෙස කියමිනි: “අනෙක් රටවලට හොඳම සෞඛ්‍ය පහසුකම් තිබිය හැකි වුවත්, අපේ ම උත්සාහයෙන් ආසාදිත පුද්ගලයන් සුව කිරීමට අපි සමත් වුනා.” 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කල හා ශ්‍රී ලංකාවේ වෛද්‍ය  විශේෂඥයන් ඉල්ලා සිටි අයුරු මහා පරිමානයෙන් පරීක්ෂන සිදු නො කරන ලදී. පසුගිය මාස දෙක තුල කර ඇති පරීක්ෂන සංඛ්‍යාව 6,000කට ආසන්න ගනනක් පමනි. අරමුදල්වල හා සෞඛ්‍ය කම්කරුවන්ගේ සීමිත භාවය නිසා, උපරිම ධාරිතාවෙන් පවා පරීක්ෂන සිදු නො කල බව ජනාධිපති යටතේ වැඩකරන සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත කීවේ ය. එම හේතුව නිසා මහජනයා ඉල්ලා සිටින තරමින් පරීක්ෂ සිදු කල නො හැකි බව ඔහු අවධාරනය කලේ ය.

රාජපක්ෂ පවත්වාගෙන යන්නේ දශක ගනනක් තිස්සේ ගරාවැටුනු සෞඛ්‍ය සේවය යි. පවත්නා රෝහල්වලටම අන්ඩ දමා සූදානම් කිරීම පිනිස සොච්චම් මුදල් වෙන් කිරීම හැරුනු විට, සෞඛ්‍ය පද්ධතිය නවීකරනය කිරීමට ප්‍රමානවත් නව අරමුදල් වෙන්කර නැත. ප්‍රමානවත් පුද්ගල ආරක්ෂන උපකරන (පීපීඊ) නොමැති බවත්, ඔවුන්ගේ පමනක් නො ව රෝගීන්ගේ ජීවිත ද පවතින්නේ අනතුරේ බවත්, සෞඛ්‍ය සේවයේ සියලු සේවකයෝ දිගටම චෝදනා කරති.

“සංචාරක කර්මාන්තය, කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත, ඇඟලුම් කර්මාන්තය හා විදේශ විනිමය ඉපැයූ අනෙකුත් කර්මාන්ත” ඇතුලු ආර්ථිකයේ අංශ කිහිපයක් “දරුනු පසුබෑමකට මුහුන දී ඇතැ” යි රාජපක්ෂ කියා සිටියේ ය. “ක්‍රමානුකූල පියවරයන් හරහා අපි අපේ ආර්ථිකය සතුටුදායක මට්ටමකට ගෙන ආව ද ගෝලීය ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත් නො වුව හොත් අපිට දිගට ම දුෂ්කරතාවන්ට මුහුන දීමට සිදු වෙනවා” යි ඔහු වැඩිදුරටත් කීවේ ය.

ඔහුගේ ප්‍රතිකර්මය කුමක් ද ? “මෙය ආර්ථික මූලෝපාය වෙනස් කොට එය දේශීය ආර්ථිකය වෙත යොමු කිරීමට අපට ලැබුනු මහඟු අවස්ථාවක්.” ඒ අතර ම, “කෘෂිකර්මාන්තයෙන් ස්වයං-පෝෂිත වීම පමනක් අපට කරන්න බැහැ, අපට අපගේ කෘෂිකාර්මික නිෂ්පාදන අනෙක් රටවලට අපනයනය කල හැකි යි.”

එවන් ජාතිකවාදී පූච්ඡානම් වනාහි, ආර්ථික ප්‍රකෘතිය සඳහා කැපකිරීම් කරන ලෙස ඉල්ලමින්, ධනපති අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීම ආවරනය කිරීමට යොදාගන්නා වාගාලාපයන් ය.

වසංගතය විසින් ජීවිත 40,000ක් පමන බිලිගෙන ඇති විනාශකාරී කොන්දේසි මධ්‍යයේ, ආපසු වැඩට යන ලෙස කැඳවුම් කරන හා ලෝක ආධිපත්‍යය සඳහා යුද්ධ සූදානම් කරන, අර්බුදයේ ගිලිසිටින ලෝක ධනවාදයේ මධ්‍යස්ථානය වන්නේ  එක්සත් ජනපදයයි. එරට අන්ත දක්ෂිනාංශික ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් විසින් ද ජාතිකවාදී පූච්ඡානම් දොඩවනු ලබයි.

රාජපක්ෂ ආන්ඩුව කම්කරු පන්තියට එරෙහි ව එහි පන්ති යුද්ධය සූදානම් කරමින් සිටී. කම්කරු පන්තිය මෙම අනතුරු ඇඟවීම ගැඹුරින් ගත යුතු ය. ලංකාවේ කම්කරු පන්තිය, පාලක පන්තියේ සෑම කන්ඩායමකින් ම බිඳෙමින් තමන්ගේ ස්වාධීන විප්ලවවාදී දේශපාලන ශක්තිය බලමුලුගන්වා ගෙන ගම්බද දුගීන් හා පීඩිත ජනයා රැලිකර ගනිමින් ජාත්‍යන්තර පන්ති සහෝදරයන් සමග එකමුතුව සමාජවාදී  ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වැදිය යුතුය.  

කතුවරයා මෙම ලිපි ද කියවන ලෙස ඉල්ලා සිටී:

ශ්‍රී ලංකාව: අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ ආපසු වැඩට යාමට විරුද්ධ වනු! රැකියා විනාශය එපා! ,

19 අප්‍රේල් 2020

කම්කරු පන්තිය, සමාජවාදය සහ වසංගතයට එරෙහි සටන,

4 අප්‍රේල් 2020 

Loading