කොවිඩ්-19 වසංගතය “බයිබල් කථාවල සඳහන් පරිමානයේ සාගත” ඇති කරයි යනුවෙන් ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 23 දින ඉංග්‍රීසි බසින් පලවින.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (ඩබ්ලිව්එෆ්පී) 21දා අනතුරු ඇඟවූයේ, හදිසි ක්‍රියාමාර්ගයක් හා අරමුදල් නොමැතිව මිලියන සිය ගනනක් ජනතාව සාගින්නෙන් පෙලෙනු ඇති බවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිලියන ගනනක් මිය යා හැකි බවත්ය.

ඩබ්ලිව්එෆ්පී හි විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බීස්ලි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලයට පැවසුවේ, වෛරසයේ සෞඛ්‍ය  තර්ජනයට අමතරව, ලෝකය “කෙටි මාස කිහිපයක් ඇතුලත බයිබල් කථාවල සඳහන් වන ආකාරයේ බහුවිධ සාගතයන්ට මුහුනපානු ඇති” බවත්, එමඟින් දිනකට 300,000 ක් බැගින් මිය යා හැකි බවත්ය. “සාගිනි වසංගතය. ”

බිස්ලි පැවසුවේ, වසංගතය ඇවිල  යාමට පෙර පවා ලෝකය, විවිධ හේතු නිසා මේ වසර තුල, “දෙවන ලෝක යුද්ධයෙන් පසු මුහුනදුන් දරුනුතම මානුෂීය අර්බුදයට මුහුනපෑමට නියමිතව සිටි” බවයි. සිරියාවේ සහ යේමනයේ යුද්ධ, දකුනු සුඩානයේ අර්බුදය සහ නැගෙනහිර අප්‍රිකාව පුරා පලඟැටි රංචුවල සැරිසැරීම ගැන ඔහු සඳහන් කලේය. කොරෝනා වෛරසය පැතිරීමත් සමග සාගතය දුසිම් තුනක් පමන රටවලට තර්ජනයක් වූ බව ඔහු පැවසීය.

20දා නිකුත් කල ඩබ්ලිව්එෆ්පීහි “2020 ආහාර අර්බුද පිලිබඳ ගෝලීය වාර්තාවට” අනුව ලොව පුරා මිලියන 135 ක ජනතාව දැනටමත් සාගිනනේ තර්ජනයට මුහුනපා ඇත. වෛරසය පැතිර යත්ම 2020 අවසන් වන විට තවත් මිලියන 130 ක ජනතාවක් සාගින්නට ගොදුරු වන බව බීස්ලි පැවසීය. එකතුව මිලියන 265 ක ජනතාවක්. ”

පිට්ස්බර්ග් දකුනේ සංචාරක බෙදාහැරීමේ රථයකින් මහ පිට්ස්බර්ග් මහජන ආහාර බැංකුවේ ආහාර පැකට් බෙදාහරින ආකාරය (අනුග්‍රහය: AP Photo/Gene J. Puskar)

2019 දී වැඩිපුරම පීඩා විඳි ප්‍රදේශ වන අප්‍රිකාව (මිලියන 73 ක ජනතාවක් “අර්බුදයක හෝ ඊටත් වඩා දරුනු ව්‍යසනයක”) සහ මැදපෙරදිග හා ආසියාවේ (මිලියන 43 ක ජනතාවක්) දරිද්‍රතාවයෙන් පමනක් නොව ගැටුම් හා ස්වාභාවික විපත් වල බලපෑමෙන් ද ආර්ථික අර්බුද සහ දේශගුනික විපර්යාස වලින් ද පීඩා විඳිති. නැගෙනහිර අප්‍රිකාවේ දශක ගනනාවකට පසුව ඇතිවූ දරුනුතම පලඟැටි උවදුරෙන් මිලියන 70 ක ජනතාවක් අවදානමට ලක්ව ඇත.

මේ වන විටත් ලොව පුරා ආහාර අනාරක්‍ෂිත පුද්ගලයින් මිලියන 821 ක් සිටින බව වාර්තාගතව ඇති බව බීස්ලි පෙන්වා දුන්නේය. “අරමුදල් හිඟයන් සහ වෙලඳාමට ඇති බාධා වලක්වා ගන්නට අපි දැන් සූදානම් නොවී, ක්‍රියා නොකරන්නේ නම්,” එහි ප්‍රතිපලය “මානුෂීය ව්‍යසනයක්” විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

වඩාත්ම පීඩාවට පත් රටවල් 10 වන්නේ යේමනය (මිලියන 15.9 ක ජනතාවක් “අර්බුදයක හෝ ඊට වඩා දරුනු ව්‍යසනයක”), කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (මිලියන 15.6), ඇෆ්ගනිස්ථානය (මිලියන 11.3), වෙනිසියුලාව (මිලියන 9.3), ඉතියෝපියාව (මිලියන 8), දකුනු සුඩානය ( මිලියන 7), සිරියාව (මිලියන 6.6), සුඩානය (මිලියන 5.9) ඊසානදිග නයිජීරියාව (මිලියන 5) සහ හයිටි (මිලියන 3.7) ය.

 මෙම රටවල් සියල්ලම වර්තමානය දක්වා අඛන්ඬව පවතින අධිරාජ්‍යවාදී හිංසනයේ හා සූරාකෑමේ ගොදුරු බවට පත්ව ඇත. බොහෝමයක්  නොවේ නම් සියල්ලම, එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි මැදිහත්වීම්, ආර්ථික සම්බාධක හෝ විනාශකාරී සමාජ ප්‍රතිවිපාක ගෙන දුන් දේශපාලන කුමන්ත්‍රන වලින් දිගටම පීඩා විඳිති.

වාර්තාවේ කේන්ද්‍රස්ථානය වී ඇති ආහාර අර්බුදයට මුහුනදෙන රටවල් 55 තුල, ලමුන් මිලියන 75 ක් අඟුටු මිටි තත්වයේ ද මිලියන 17 ක් ඉබාගාතේ යාමෙන් ද පීඩා විඳිති. බීස්ලි පැවසුවේ, “ගැටුම්වලින් පිරි රටවල වෙසෙන මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන්, බොහෝ කාන්තාවන් හා ලමයින් ද ඇතුළු ජනතාව, සැබෑ හා භයානක විභවයක් සහිත  සාගතයේ අවතාරය හමුවේ සාගින්න  අද්දරට තල්ලු කර ඇත.”

මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, නයිජීරියාව සහ දකුනු සුඩානය ඇතුලු ලෙබනනය සහ උගන්ඩාව වැනි සරනාගතයින් විශාල සංඛ්‍යාවක් සිටින රටවල් ද ගැටුම්වලින් පීඩාවට පත් අප්‍රිකානු රටවල් ද විශේෂයෙන් අවදානමට ලක්ව ඇත.

වසර ගනනාවක් තිස්සේ යුද්ධ වලින් හෙම්බත්ව  සිටින යේමනයේ සහ දකුන සුඩානයේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමානයක් වෛරසය කඩාවැදීමටත් පෙර සිටම උග්‍ර ආහාර හිඟයකට මුහුන පා සිටිති. අවම වශයෙන් යේමනයේ මිලියන 14 ක් සාගතයේ අද්දර සිටින අතර රටේ මිලියන 24 ක ජනගහනයෙන් සියයට 80 ක් ආහාර ආධාර මත යැපේ.

සෞදි නායකත්වයෙන් යුත් සහ එක්සත් ජනපදයේ පිටුබලය ලත් යුද්ධය ආරම්භයේ සිට අවම වශයෙන් වයස අවුරුදු පහට අඩු යේමනයේ ලමුන් 75,000 ක් කුසගින්නෙන් මිය ගොස් ඇති බව පසුගිය වසරේ ඇස්තමේන්තු කර ඇත. මිලියන 3.6 කට ආසන්න ජනතාවක් ගැටුමෙන් අවතැන් වී ඇතැයි සේව් ද චිල්ඩරන් සංවිධානය ගනන් බලා ඇත..

දකුනු සුඩානයේ මිලියන පහකට අධික ජනතාවක් සාගින්නට ගොදුරුවී ඇති අතර දිවි ගලවා ගැනීම සඳහා ආහාර ආධාර මත යැපේ. කාන්තාවන් සහ ලමුන් මිලියන 1.7 ක් දැඩි මන්දපෝෂනයෙන් පෙලෙති.

ලෝකයේ දුප්පත්ම රටවල් 30 කට වැඩි ගනනක් පුළුල් සාගතයකට මුහුනපා ඇති අතර මෙම රටවලින් 10 තුල දැනටමත් මිලියනයකට අධික ජනතාවක් සාගින්නෙන් පෙලෙති.

බිඳෙනසුලු සෞඛ්‍ය සේවා පද්ධති, ජනාකීර්න හා අපිරිසිදු සෞඛ්‍ය තත්වයන් සහිත දුප්පත්ම රටවල අගුලු දැමීමේ ක්‍රියාමාර්ග, කොරොනා වෛරසය පැතිරීම වැලැක්වීමට ප්‍රමානවත් නොවේ. සොච්චම් ජීවනෝපායක් ඇති මිලියන සංඛ්‍යාත කම්කරුවන් දැනටමත් ආර්ථික හා මානුෂීය ව්‍යසනයකට මුහුනපා සිටී. අත්‍යවශ්‍ය කටයුතු සහ ගමන් බිමන් හැර අන් සියල්ලටම පැනවී ඇති  දැඩි ගෝලීය සීමාවන්, ගොවිපල කම්කරුවන්ට තදින්ම බලපා ඇති අතර සැපයුම් දාම කඩාකප්පල්වී තිබේ.

දැනටමත් ඉහල මට්ටමේ ආහාර අනාරක්‍ෂිතභාවයකට මුහුන දී සිටින අප්‍රිකාවේ සහ අනෙකුත් අඩු ආදායම්ලාභී රටවල මිලියන සංඛ්‍යාත ගොවීන්ට, තම ඉඩම්වල වැඩ කිරීමට සහ ආහාර නිෂ්පාදනය කිරීමට නොහැකි වීමේ අවදානමක් ඇත. අප්‍රිකාවේ කුසගින්නෙන් පෙලෙන මිලියන 257 න් වැඩි දෙනෙක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ය.

පරදුවට තැබී ඇති දේ ගැන  බටහිර අප්‍රිකාවේ ඉබෝලා වසංගතය පැහැදිලි උදාහරනයකි. කුඩා ගොවීන්ට තම ඉඩම් වැඩ කිරීමට, නිෂ්පාදන විකිනීමට හෝ බීජ හා වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් මිලදී ගැනීමට නොහැකි වූ අතර කෘෂිකාර්මික ඉඩම්වලින් සියයට 40 කට වඩා වගා නොකර අතහැර දැමුනි.

සංචාරක අංශවල බිඳවැටීම හේතුවෙන්  දුප්පත්ම බොහෝ රටවල් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කරයි. නිදසුනක් වශයෙන් මොරොක්කෝවේ ඇට්ලස් කඳුකරයේ ගම්මාන දිවි ගලවා ගැනීම සඳහා  මුලුමනින්ම පාහේ රඳා පවතින්නේ සංචාරකයින් සහ කඳු නගින්නන් මත ය. ලෝක බැංකු ගනන් බැලීම් අනුව, රටේ අදායමෙන් සියයට 20ක් වන, දැනට රැකියා වලින් දොට්ට වැටී හෝ රැකියා අත්හිටුවීමට මුහුනපා සිටින සංක්‍රමනික කම්කරුවන්ගෙන් ලැබෙන විදේශ විනිමය අහිමි වීම නිසා බොහෝ රටවල් දුෂ්කර අඩියක ඇත.

මෙය සෝමාලියාව, හයිටි සහ දකුනු සුඩානය වැනි ගැටුම්වලින් පීඩා විඳින රාජ්‍යයන්ට සහ ටොංගා වැනි කුඩා දූපත් ජාතීන්ට බලපා ඇත. සමහර විට රටේ දෙල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 කට  වැඩි ප්‍රමානයක් ලබා දෙන්නේ මෙම කම්කරුවන්ය.  ඉන්දියාව, පකිස්ථානය, ඊජිප්තුව වැනි විශාල රටවලට ද මෙයින් දැඩි බලපෑම් එල්ලවී තිබේ. නයිජීරියාව සහ පිලිපීනය, වැනි රටවල විදේශ විනිමයේ තීරනාත්මක ප්‍රභවයක් බවට පත්ව ඇත්තේ මේවාය. උප සහරා අප්‍රිකාවට ගලායන විදේශ විනිමය අරමුදල් සියයට 23 කින් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.

නගරවල කඳවුරු හා ජනාවාසවල වෙසෙන සරනාගතයින් සහ අවතැන්වූවන් මෙන්ම වැඩිහිටියන්, කුඩා දරුවන්, ගැබිනි සහ කිරි දෙන කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත.

දැනටමත් නූල් පොටකින් ජීවිතය එල්ලී ඇති අය, වසංගතයේ ආර්ථික බලපෑම හමුවේ මිය යනු ඇත. උප සහරා අප්‍රිකානු රටවල් කිහිපයක ආහාර ගබඩා කිරීම සහ මිල ගනන් ඉහල යාම පිලිබඳ වාර්තා දැනටමත් ලැබෙමින් ඇති අතර, ආහාර හිඟවීම සහ මිල දැරිය නොහැකි මට්ටමක පවතී. ආහාර හිඟය පිලිබඳ කෝපය පසුගිය සති දෙක තුල දකුනු අප්‍රිකාව පුරා ප්‍රචන්ඩකාරී විරෝධතා අවුලුවා ඇති අතර ලෙබනනයේ ද විරෝධතා ආරම්භ වී තිබේ.

ඊසානදිග නයිජීරියාවේ මේ වන විට මිලියන තුනකට ආසන්න ජනතාවක් සාගින්නෙන් පෙලෙන අතර දැනට පවතින බොකෝ හරාම් කැරැල්ල හේතුවෙන් අවුරුදු 5 ට අඩු ලමුන් 440,000 ක් දැඩි මන්දපෝෂනයට මුහුන දී සිටියි. ඉන්දියාව, බංග්ලාදේශය සහ මියන්මාරය තුල සාගතයක් ඇතිවීමේ අවදානම දැනටමත් ඉහල මට්ටමක පවතින අතර පිලිපීනයේ පොලීසිය,  අගුලු දැමීම තුවක්කු මගින් බලාත්මක කරන අතර නොසන්සුන්තාව වැඩි වන විට ආන්ඩුව මිලිටරි පාලනයක් ඇතිකිරීමට සූදානම් වෙමින් සිටී.

මෙම ගෝලීය ව්‍යසනය හමුවේ බීස්ලි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලයෙන් ඉල්ලා සිටියේ, දැනටමත් පොරොන්දු වී ඇති නමුත් ලබා දී නොමැති ඩොලර් බිලියන 2 ක ආධාරය ලබාදෙන ලෙසයි. පුද්ගලික ආරක්ෂක උපකරන ඇතුළු ආහාර හා වෛද්‍ය සැපයුම් අවශ්‍ය තැන්වලට ලබා දීම පිනිස සැපයුම් ජාල සැකසීම සඳහා තවත් ඩොලර් මිලියන 350 ක් අවශ්‍ය බවට ඔහු අනතුරු ඇඟවීය.

මෙම ශෝචනීය ආයාචනය බිහිරි කන් ඇත්තන්ට නෑසෙනු ඇත. මෙම මුදල් ප්‍රමානය, එක්සත් ජනපදය, යුරෝපීය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් බදු මඟහරින සමාගම් හා මූල්‍ය ආයතන ඇදගෙන යාමට යොදවන ඩොලර් ට්‍රිලියන ගනනින් ඉතා සුලු කොටසකි. පීඩිත ජාතීන්ට සාපේක්ෂව ප්‍රධාන බලවතුන් විසින් දරනු ලබන එකම දැවැන්ත වියදම වනුයේ, මෙම රටවල් හා ඒවායේ ස්වාභාවික සම්පත් කොල්ලකෑම පිනිස යටත් විජිත ශෛලීයේ මැදිහත්වීම් සඳහා ඔවුන්ගේ හමුදා බලඇනි ශක්තිමත් කිරීම සහ කම්කරුවන් සහ දුප්පත් ගොවීන් අතර  වැඩෙන සමාජ අතෘප්තිය මැඬීම පිනිස පොලීස්කාරකම් කිරීමට යොදවන ධන සම්භාරයයි..

ලෝකයේ දුප්පත්ම රටවල මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීමට නම්, සෑම තැනකම කම්කරුවන්, ධනවාදය අවසන් කර, අවශ්‍යතාවය සඳහා සැලසුම්ගත නිෂ්පාදනය මත පදනම්වන ගෝලීය සමාජවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අරගලය සියතට ගත යුතුය. අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල පාලක පන්තියට සහ පීඩිත ජාතීන් මත වැජඹෙන ඔවුන්ගේ ප්‍රාදේශීය නියෝජිතයින්ට එරෙහිව යොමු වූ කම්කරු පන්තියේ සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක වර්ධනය, ලෝක වසංගතයේ දරුනු බලපෑමෙන් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කර ගත හැකි එකම ක්‍රමයයි.

Loading