කෝවිඩ්-19 ව්‍යසනයෙන්, නේපාල කම්කරුවන් දස දහස් ගනනක් විදේශයන්හි අතරමං වෙයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 24 දින ඉංග්‍රිසි බසින් පලවින.

මිලියන හතරකට අධික සංක්‍රමනික නේපාල ජාතිකයින් මේ වන විට ඉන්දියාව, ගල්ෆ් රටවල් සහ දකුනු කොරියාවේ සේවය කරයි. එම රටවල් පනවා ඇති අගුලු දැමීම් නිසා බොහෝ දෙනෙකුට රැකියා අහිමිව ඇති අතර, ආදායමක් ද නොමැත.

කත්මන්ඩු පෝස්ට් පුවත්පත අප්‍රේල් 17 දා වාර්තා කලේ, අවම වශයෙන් නේපාල ජාතිකයින් 20,000 කට පමන ආපසු සිය රට බලා යාමට අවශ්‍ය බවත්, ඉන්දියාවේ සේවයේ නියුතු සිය ගනනක් කම්කරුවන් දැනටමත් දෙරට අතර දේශසීමා කපොලුවල සිරවී සිටින අය සමඟ එක්ව එහි රැඳී ඇති බවත් ය.

දේශසීමා මුරපොල වල සිටින ඉන්දීය සහ නේපාල ආරක්ෂක අංශ සංක්‍රමනික කම්කරුවන් නේපාලයට ඇතුලුවීම වලක්වයි. මෙම කම්කරුවන්ට නැවත සිය රට බලා යාමට ඉඩ දෙනවා වෙනුවට කත්මන්ඩු ආන්ඩුව කියා සිටින්නේ ඔවුන්ගේ ඇතුලුවීමෙන්, වෛරසය තවදුරටත් ව්‍යාප්ත වන බවකි.

අප්‍රේල් 17 වන දින නේපාල ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කලේ, රටේ සංක්‍රමන සේවක පුරවැසියන් නැවත සිය රටට ගෙන ඒමට ආන්ඩුව වහාම පියවර ගත යුතු බවයි. අතරමං වූ කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය කෙරෙහි ආන්ඩුව දක්වන දැඩි උදාසීනත්වයට එරෙහි මහජන විරෝධය මධ්‍යයේ, මානව හිමිකම් කන්ඩායමක් විසින් ගොනු කරන ලද පෙත්සමකට ප්‍රතිචාරයක් ලෙස අධිකරන තීන්දුව ලබා දී තිබේ.

සංක්‍රමනික කම්කරුවන්ගේ කොන්දේසි ආන්ඩුව විසින් තක්සේරු කරමින් සිටින බවත් “ඔවුන්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා අපගේ වගකීම ඉටු කරන” බවත් විදේශ අමාත්‍ය ප්‍රදීප් කුමාර් ගයවාලි නරුම ලෙස අධිකරනයට පැවසීය. අතරමං වූ කම්කරුවන් මුහුන දෙන දුෂ්කරතා වේගයෙන් නරක අතට හැරෙන තත්වයක දී, නැවත අධිකරනයට වාර්තා කිරීමට දින 15 ක කාලයක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

පසුගිය මාසයේ අග භාගයේ ගයවාලි කාන්තිපූර් රූපවාහිනී වැඩ සටහනක දී සඳහන් කලේ, “දේශසීමා විවෘතව තිබේ නම් අගුලු දැමීමේ ප්‍රයෝජනය කුමක්ද?” කියාය. 

කත්මන්ඩු ආන්ඩුව, මාර්තු 24 වන දින හදිසියේම අගුලු දැමූ අතර එය තවමත් අඛන්ඩව පවතියි. රටේ අතිරික්ත දුප්පත් ජනගහනයට දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂන උපකරන ලබා දීමට නේපාල ආන්ඩුව කිසිදු බැරෑරුම් උත්සාහයක් ගත්තේ නැත. වසංගතයට මුහුන දීම සඳහා, අඩුපාඩුකම් සහ යටිතල පහසුකම් ප්‍රමානවත් නොවන නේපාලයේ සෞඛ්‍ය අංශයට ආන්ඩුව සැලකිය යුතු අරමුදල් සපයා නැත.

පැතිර පවතින දරිද්‍රතාවයෙන් මිදීමට උත්සාහ කරන නේපාල ජාතිකයින් මිලියනයකට අධික පිරිසක් ඉන්දියාවේ ජීවත් වන අතර, ඔවුන් වැඩ කරන්නේ, අඩු වැටුප් සහිත කම්කරුවන් ලෙස ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු 24 වන දින හදිසියේම ජාතික අගුලු දැමීම, මෙම අඩු වැටුප් ලබන කම්කරුවන්ට දැඩි ලෙස බලපා ඇත.

අප්‍රේල් 10 වන දින ද වයර්හි පල වූ වාර්තාවක සඳහන් වුනේ, දේශසීමා නගරයක් වන ධචුලහි දී සංක්‍රමනික කම්කරුවන් සිය ගනනක් නිවෙස්වලට යාමට අවසර දෙන ලෙස ඉල්ලා සිටින බවයි. නේපාලයේ බටහිර මායිමේ කොටසක් වන මහකාලි ගඟ හරහා පිහිනීමට තැත් කිරීමෙන් පසු කම්කරුවන් තිදෙනෙකු නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයකට යවා ඇති බව එම ලිපියෙන් අනාවරනය විය.

කොටලුවන් බලාගන්නකු ලෙස පසුගිය වසර 20 ක කාලය තුල සේවය කල හතලිස් පස් හැවිරිදි ඉන්ද්‍රා සිං ඛත්රී ද වයර් ට මෙසේ පැවසීය: “අපි අපේම ආන්ඩුව ගැන කලකිරී සිටිමු... අගුලු දැමීමෙන් පසු මගේ පවුලේ පස්දෙනා සමඟ සිටීමට මට අවශ්‍ය විය. [නමුත්] අපගේ ප්‍රාදේශීය නියෝජිතයන් හා රජයේ නියෝජිතයා සමඟ කතා කිරීමට පවා අපට නොහැකි විය

සංක්‍රමනිය කම්කරුවෙකු හා අවුරුදු අටක් තිස්සේ බස් රථ රියදුරෙකු ලෙස වැඩ කරන රමේශ් බිස්ටා මෙසේ පැවසීය:     “මගේ ආන්ඩුව මා වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් මට පුරවැසි කාඩ්පතක් ඇත්තේ ඇයි? [එය] ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමනක්ද? මම නේපාල පුරවැසියෙකු නොවේ යැයි මට හැඟේ. ”

අතරමං වූ සංක්‍රමනික කම්කරුවන් කොරොනා වෛරස් අන්තරායන් පිලිබඳව හොඳින් දන්නා අතර කොන්දේසි විරහිතව දේශසීමා විවෘත කිරීම ඉල්ලා නැත.

“මට ගෙදර බිරිඳක් හා දරුවන් ද සිටිනවා” යැයි තවත් කම්කරුවකු වන මහ මාධ්‍ය වෙත පැවසීය. "මට ඔවුන්ට රෝගය ලබා දීමට අවශ්‍ය නැත - මම නිරෝධායනය වෙන්නම් - නමුත් කරුනාකර අපට නැවත නේපාලයට පැමිනීමට ඉඩ දෙන්න."

අවම නිවාඩු කාලයක්,එකම කාමරයක පුද්ගලයින් පස් දෙනෙකු දක්වා වන ජනාකීර්න නවාතැන්, වැනි අතිශය නරක සමාජ කොන්දේසි වලට මුහුන දෙමින්, නේපාල සංක්‍රමනික කම්කරුවන්ට ඉන්දියාවේ දී දිගු වේලාවක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුව ඇත. ඒ සමඟම ඔවුනට එරට අඩුපාඩුකම් සහිත සෞඛ්‍ය පහසුකම් සඳහා පවා ඇත්තේ සීමිත ප්‍රවේශයක් පමනි.

හදිසි අවස්ථා වලදී, ඔවුන්ට පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ සේවය ලබා ගත යුතු අතර ඒ සඳහා ඔවුන්ගේ සේවායෝජකයින්ගෙන් නය ලබා ගැනීමෙන් හෝ පුන්‍ය සංවිධාන හරහා ගෙවිය යුතුය. මෝදි ආන්ඩුවේ හින්දු-ස්වෝත්තමවාදී සංක්‍රමන විරෝධී ව්‍යාපාරය යටතේ ඔවුන්ගේ තත්වය වඩාත් නරක අතට හැරී තිබේ.

ඉන්දීය ආන්ඩුව හදිසියේම කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට අගුලු දැමීමේ පියවර පැනවූ විට, බොහෝ නේපාල කම්කරුවෝ,  කිලෝමීටර් 1,700 ක ඉන්දියානු දේශ සීමාවේ පිවිසුම් ස්ථාන කරා ගමන් කිරීමට උත්සාහ කලහ.

අප්‍රේල් 10 වන දින නේපාල අගමැති ශර්මා ඔලි, අගමැති මෝදි සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව දේශසීමා ප්‍රදේශවල අතරමංව සිටින දෙරටේ පුරවැසියන් රැකබලා ගැනීමට දෙරට එකඟ වී ඇති බව පැවසීය. කෙසේ වෙතත් මෙම ඊනියා ගිවිසුම තත්වය වෙනස් කර නැත.

කටාර් ආන්ඩුව,නේපාල සංක්‍රමනික කම්කරුවන් වටලන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගිය මාසයේ දී චෝදනා කලේය. කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක් කර ඔවුන්ගේ සුපුරුදු නවාතැනට නැවත යවන බවට පොලිස් බලධාරීන් පොරොන්දු වූ නමුත් ප්‍රමානවත් ආහාර, ජලය, ඇඳන් හෝ ඇඳ ඇතිරිලි නොමැතිව ජනාකීර්න කුටි වල ඔවුන් රඳවා ගෙන ඇත. හිඟ වැටුප් නොලැබූ සංක්‍රමනික කම්කරුවන් අගුලු දැමීම ආරම්භ කිරීමට පෙර නේපාලයට පිටුවහල් කරනු ලැබීය.

රටේ කුඩා ධනේශ්වර ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් කතා කරන ඔලී ආන්ඩුව, නේපාලය තුල සිටින දුප්පත් ජනතාව ද අතහැර දමා ඇත. ඉන්දියානු උපමහාද්වීපය පුරා සිටින ඔවුන්ගේ සගයන් මෙන්, වැඩිපුරම පීඩාවට පත්වන්නේ දෛනික වැටුප් උපයන්නන් වන අතර ඔවුන්ට කිසිදු ඉතිරියක් හෝ ආර්ථික ආධාරකයක් හෝ නොමැත. 

අප්‍රේල් 17 වන දින කත්මන්ඩු පෝස්ට් පුවත්පත වාර්තා කලේ, දිනපතා වැටුප් ලබන කම්කරුවන් සිය ගනනක් සිය ගම්මානවලට ආපසු ගොස් ඇති බවයි.

“සිය නිවෙස් කරා ආපසු යාම සඳහා බොහෝ දෙනා කත්මන්ඩු නිම්නයෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වී තිබේ. “පොදු ප්‍රවාහ සේවයකින් තොරව තමන්ට අයිති දේ රැගෙන,බොහෝ දෙනෙක් කිලෝමීටර් සිය ගනනක් දුර පයින් ගමන් කරති. සෙරෙප්පු  පමනක් දමාගෙන, ලදරුවන් ද කරතියාගෙන යන අයගේ පින්තූර සමාජ මාධ්‍ය වල පල ව තිබේ. ඔවුන් සියල්ලන්ම  සිය ගම්දොරවල් බලා පයින් ගමන් කරමින් සිටියි.  

අප්‍රේල් 21 වන දින නේපාලයේ සෞඛ්‍ය හා ජනගහනය පිලිබඳ අමාත්‍යාංශය වාර්තා කලේ, කොවිඩ්-19 සඳහා පුද්ගලයින් 42 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බවයි. රට පුරා ක්‍රමානුකූලව හා පුලුල්ව පරීක්ෂන සිදු නොකිරීම නිසා මෙම සංඛ්‍යා අඩු මට්ටමක පවතියි. නේපාලයේ ජනගහනය මිලියන 28 ක් වන නමුත් මේ වන විට වෛරසය සඳහා පරීක්ෂාවට ලක් කර ඇත්තේ 8,763 දෙනෙකු පමනි. සෞඛ්‍ය සේවකයින් සඳහා ආන්ඩුව ප්‍රමානවත් තරම් පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) ලබාදී නැත.

කත්මන්ඩු වෛද්‍ය විද්‍යාලයේ එක් වෛද්‍යවරයෙක් මාධ්‍යයට පැවසූ පරිදි, “[රෝගීන්] ආසාදනය වී ඇත්දැයි අප සනාථ කරන විට, මා වැනි ඔවුනට ප්‍රතිකාර කරන රෝහලේ සිටින තවත් බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය විය හැකිය.” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ඔබ රැකියාවට නොගියහොත් වෛද්‍ය විද්‍යාලය ඔබට සහතිකයක් ලබා නොදේ.”

තව වාර්තාවක් මෙසේ පැවසීය: “පීපීඊ කබාය තුනී ප්ලාස්ටික් වලින් වැඩි දියුනු කර ඇති අතර, ඇස් කන්නාඩි විනිවිද පෙනෙන ද්‍රව්‍ය වලින් සාදා ඇති අතර හිස්වැස්ම ඇදෙන සුලු ඉලාස්ටික් ඇඟලුම් ද්‍රව්‍ය වලින් සාදා ඇත.”

කම්කරුවන්ට සහ දුප්පතුන්ට අත්‍යවශ්‍ය පරීක්ෂන උපකරන, පීපීඊ, අතිරේක රෝහල් සහ වැඩිදියුනු කල වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා, නේපාලය වැනි දරිද්‍රතාවයෙන් පෙලෙන රටවලට ජාත්‍යන්තර උදවු අවශ්‍ය වේ. මෙම සෞඛ්‍ය හා විද්‍යාත්මක ගෝලීය බලමුලු ගැන්වීමේ ව්‍යායාමය, ජාත්‍යන්තර සමාජවාදය සඳහා කම්කරු පන්ති අරගලයේ කොටසක් ලෙස ඉදිරියට යා යුතුය.

Loading