ලංකාවේ මාධ්‍යවේදීන් කන්ඩායමක් කොවිඩ් වසංගතය සඳහා චීනයට වරද පැටවීමට වොෂින්ටනය සමග පෙල ගැසේ

සිවිල් සංවිධාන ප්‍රධානීන් සහ ශාස්ත්‍රාලිකයන් ඇතුලු ව්‍යාජ වමේ කොටස් ඩේලි මිරර් පුවත් පත වේදිකාව කර ගනිමින්, කොවිඩ් 19 වසංගතය ලොව පැතිරීමේ වගකීම චීනය විසින් භාරගත යුතු බවට උද්ඝෝෂනයක් දියත් කර ඇත. මෙය, චීනයට එරෙහි ඉහත චෝදනාව මත, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මූලිකත්වයෙන් දියත් කර ඇති පුලුල් උද්ඝෝෂනය සමග පෙල ගැසීමකි.  

කොරොනා වෛරසය චීනයේ රසායනාගාරයක් තුල නිපදවා ඇතැයිද,  එබැවින් මෙම වසංගතය විදේශ ආක්‍රමනයක් යැයිද පැවසෙන පදනමක් නැති දුෂ්ඨ ප්‍රහාරය ලංකාවේ ජනමාධ්‍ය තුලට ගෙනැවිත් ඇත්තේ, මෙරට පාලකයන්ගේ සාපරාධීත්වය වසන් කර ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන කෝපය චීනය වෙතට හැරවීමටය.

ඇමරිකාව කේන්ද්‍ර කර ගනිමින් පැතිර යන වසංගතයට ගොදුරු වී ඇති සංඛ්‍යාව මිලියන තුනකට ආසන්න වන අතර මරන සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇත. ඉතා සීමිත පරීක්ෂන යටතේද ලංකාව තුල මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 500  ඉක්මවා  වේගයෙන් වැඩෙන අතර අතර මරන ගනන හතකි. වෛරසය පැතිරී යාමට ඉඩදුන් ධනපති ආන්ඩුව, වෛරසයට ගොදුරු වෙමින් පවත්නා කම්කරුවන් ධනපති ප්‍රභූවට ලාබ උපයා දීම සදහා වැඩට දැක්කීමට කැස කවයි. 

ඇමරිකාවේ රීගන් ආන්ඩුවේ සිටි නීතිපති වරයෙකු වන ලැරී ක්ලෙමන් නමැත්තෙකු සමග  මාධ්‍යවේදී ඊස්වරන් රත්නම් කල සුවිශේෂ සම්මුඛ සාකච්චාවක් සඳහා මාර්තු මස 27 දින ඩේලි මිරර් පුවත් පතේ සම්පූර්න පිටුවක් වෙන් කෙරිනි.

චීනයේ වුහාන්හි වෛරස විද්‍යාව පිලිබඳ ආයතනයේ ජීවවිද්‍යාත්මක අවි රසායනාගාරය තුල නිපදවන ලද මෙම වෛරසය සමහර විට යම් අහම්බයක් නිසා මුදා හැරුනු බැවින් වුහාන් නගරය වසා දමන්නට ඇති බවට, කිසිම සාක්ෂියකින් හෝ විද්‍යාත්මක පදනමකින් තොර හිතලුවක් මත, ඇමරිකාවේ ටෙක්සාස් හි දිස්ත්‍රික් උසාවියක,  ක්ලෙමන් මේ පිලිබඳ නඩුවක් පවරා තිබේ. 

මෙවන් ජීව විද්‍යාත්මක අවි ජාත්‍යන්තර සම්මුති මගින් තහනම් කර ඇති බැවින් චීනය වරදකරුවෙකු වන බවද, ඒ පිලිබඳ තොරතුරු හා ලියකියවිලි නඩු විභාගය තුලදී සොයා ගැනීමට ඇමරිකානු නීති වලට අනුව හැකි වන බවද ඔහු පවසා තිබේ. 

ඇමරිකාවේ, යුරෝපයේ, ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ආන්ඩු සිය ජනයා චීනයට විකුනා ඇති බැවින් මෙම තොරතුරු වසන් වී ඇති බවත්, මේ රටවල ජනතාව අනෙකුත් රටවල ජනයා සමග එක්ව චීනයට එරෙහිව ජාත්‍යන්තර පීඩනයක් යෙදීම සඳහා වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු පවසා තිබේ.     

කොවිඩ් 19 පැතිරවීම පිලිබඳව ඩොලර් බිලියන ගනනක් වන්දි ඉල්ලා,  චීනයට එරෙහි නඩුවක් ෆ්ලොරිඩාවේ දැනටමත් ගොනු වෙමින් පවතින අතර, එක්සත් ජනපද මිසූරි ප්‍රාන්තය ද චීනයට එරෙහිව නඩු පවරන බව නිවේදනය කර තිබේ. 

බ්‍රිතාන්‍යයේ දක්ෂිනාංශික සමාජයක් වන හෙන්රි ජැක්සන් සංගමය විසින් ඇමරිකානු හා යුරෝපීය බලවතුන්ට වන්දි වශයෙන් චීනයෙන් ඩොලර්  ට්‍රිලියන 6.3 ක් ඉල්ලා සිටී. මේ අතර, ජර්මානු පුවත්පතක් වන බිල්ඩ්, ජර්මානු ආර්ථිකයට වූ හානිය සඳහා ඩොලර් බිලියන 127 සිට 382 දක්වා වන්දියක් චීනයෙන්  ඉල්ලා ඇත.

වෛරසය පැතිරීම පිලිබඳව චීනය වගකීම් පැහැර හැරියා නම් ඊට විපාක විඳීමට චීනයට සිදුවනු ඇති බවට ට්‍රම්ප් තර්ජනය කරයි. පසුගිය සතිය තුලදී, ඉන්දියාව චීනය එල්ල කොට ප්‍රකාශ කලේ,  දේශ සීමාවේ පවතින රටවල් ඉන්දියාවේ ආයෝජනය කරන්නේ නම් මධ්‍යම ආන්ඩුවේ අවසරය ගත යුතු බවයි. 

කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට ලක්වන ඉන්දීය සමාගම්, අවස්ථාව බලා චීනය විසින් ඩැහැ ගැනීම වලක්වනුවස් මෙම ප්‍රකාශය කල බව ඉන්දීය වානිජ ඇමති නිතින් ගඩ්කාරී අප්‍රේල් 25 දින පැවසීය. ඔහු තව දුරටත් පැවසුවේ දැන් චීනය සමග ව්‍යාපාර වල නිරත වීමට ලෝකයට කැමැත්තක් නැති නිසා එය ඉන්දියාවට වෙස්වලා ගෙන පැමිනි ආශීර්වාදයක් බවයි. චීන ආයෝජන සඳහා තහංචි පැනවීමට එරෙහිව චීනය ඉන්දියාවට විරෝධය පල කර තිබේ. 

පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ ජාතික ව්‍යාපාරය නම් සංවිධානයක සභාපති රංජිත් විතානගේ අප්‍රේල් මුලදී ඩේලි මිරර් පුවත් පතට සඳහන් කර ඇත්තේ ප්‍රතිභා මහානාමහේවා මහාචාර්යවරයාගේ නීති උපදේශකත්වය ඇතිව චීනයට එරෙහිව නඩු පැවරීමට නීතිමය පදනමක් ඇති බව ඔවුන් සොයා ගත් බවයි. තම රට වලට වෛරසය ඒම වැලැක්වීමට චීනය ක්‍රියා නොකිරීම පිලිබඳව දකුනු ආසියානු රටවල් සාමූහිකව පීඩනය යෙදිය යුතු බව ඔහු පවසයි.

“චීනය බොරු කීවේය, මිනිසුන් මිය ගියේය: කොවිඩ්-19 වසන් කිරීමට එරෙහි කෝපයේ මාධ්‍ය වේදිකාව “ යන හිසින් සිවිල් සංවිධාන වලට අයත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ගේ කුතර්කයන් සහිත ලිපියක් අප්‍රේල් 18 දාතමින් ඩේලි මිරර් පුවත්පත පල කර තිබේ. ඉන් එක් පුද්ගලයෙකු වන්නේ, 2015 එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් පිටුබලයදී ශ්‍රී ලංකාවේ සිදුකල තන්ත්‍ර මාරුවට ප්‍රසිද්ධියේම සහාය දුන් ගාමිනී වියන්ගොඩයි.  

වෛරසය පිලිබඳ කරුනු ප්‍රසිද්ධ නොකිරීමේ හා වෛරසය පැතිරවීමේ සාපරාධී සැලසුමක් චීනයට තිබුනු බව කියන ගාමිනී වියන්ගොඩ ඩේලි මිරර් පුවත් පතට සිය අදහස් දැක්වීම අවසන් කරන්නේ, දැන් අපට කතා කරන්නට සිදුව ඇත්තේ න්‍යෂ්ටික ආයුධ පැතිරීම ගැන නොව ජීව විද්‍යාත්මක අවි පිලිබඳව යැයි කියමින් චීනයට පහර ගසමිනි.  

චීනය ජනවාරි 13 වන විට වෛරස ව්‍යාප්තිය පිලිබඳව නිගමනය කලත් පලමු නිවේදනය නිකුත් කිරීමට ජනවාරි 20 වනතෙක් කල් ගත්  බවට ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් කර ඇති සඳහන මත පදනම් වෙමින්, නාලක ගුනවර්ධන නමැත්තා චීනයට චෝදනා කරන්නේ මුලදීම දැනුම් දුන්නේනම් රෝග ව්‍යාප්තිය සියයට 95 කින් අඩු කර ගත හැකිව තිබූ බව පවසමිනි. ගුනවර්ධන ද සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට කර දුන් තැනැත්තෙකි.  ආධිපත්‍යධාරී ආන්ඩුවක් ලෙස සමාජ මාධ්‍යයන්ට වෛරසය පිලිබඳ වාර්තාකරනයට ඉඩ නොදීමෙන් චීනය තත්වය උග්‍ර කල බව ඔහු කියා සිටියි.

මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වන ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් පනිවිඩයේ මෙසේ සඳහන් කරයි; “කොරෝනා වෛරසය ප්‍රථම වරට වුහාන් හි වාර්තා වූ විට එය සම්පූර්නයෙන්ම නොදන්නා වෛරසයක් වූ අතර, ඒ අනුව තීරන ගැනීමට විද්‍යාඥයින්ට යම් කාලයක් ගත විය. ජනවාරි 12 වන දින චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝකය සමඟ වෛරසයේ ජෙනෝම අනුක්‍රමය බෙදා ගත්තේය.“

ජනවාරි 20 වන දින වන විට වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂනය විය හැකි බව සනාථ කල චීනය, ඉන් දින තුනකට පසුව වුහාන් නගරයට නිරෝධායනයක් පැනවීය. මේ අනුව ඉහත වාර්තාකරනයන් සිදු කර ඇත්තේ සාවද්‍ය දුෂ්ඨත්වයකිනි.

මෙම අගතිගාමී තර්කයන්ම ඉදිරිපත් කරන දෙමල ජාතිකවාදී දේශපාලන උපදේශකයකු හා ශාස්ත්‍රාලිකයකු වන කේ. ටී. ගනේෂලිංගම්, “කොරෝනා වෛරසය තෙවන ලෝක යුද්ධය ආරම්භ කලාද“ යන මාතෘකාව සහිත ලිපියක් තිනකුරල් පුවත්පතට ලියමින් අනතුරු අඟවන්නේ කොරෝනා වෛරසය ජීව විද්‍යාත්මක අවියක් වූවා නම් ලෝකයට කුමක් වේදැයි සිතා බැලිය යුතු බව කියමිනි.    

ප්‍රජාතන්ත්‍රවාදී රට වලට මෙවන් වසංගතයන් දුරු කිරීමට අපහසු බව පවසන ඔහු, “කොරෝනා දේශපාලන ස්වාමිවරුන්“ විසින්, ජාතික දේශ සීමා සහිත මිලිටරි හෝ ආධිපත්‍යධාරී පාලනයන් සහිත භයානක තැනක් ලෙස අනාගත ලෝකය නිර්මානය කර ඇති බව පවසමින් චීනයට පහර ගසයි.

චීනය මෙම වෛරසය නිෂ්පාදනය කලාය යන කියමන කිසිම විද්‍යානුකූල සාක්ෂියකින් තොරය. ලෝකයේ වසංගත රෝග හෝ ක්ෂුද්‍රජීව විද්‍යාව පිලිබඳ විශේෂඥයින් කිසිවෙකු මෙම මතයට පක්ෂවී නොමැති අතර මෙම වෛරසය වවුලෙකු වැනි සත්වයෙකුගෙන් මිනිසාගේ සිරුරට ඇතුලුවී ඇති බව අති බහුතර විද්‍යාර්ථීන්ගේ හා විද්‍යාත්මක ආයතන වල අවිවාදිත සත්‍යය ලෙස පිලි ගැනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා ෆඩෙලා චයිබ් අප්‍රේල් 22 පැවසුවේ  “වෛරසය සත්ව සම්භවයක් ඇති බවට  පෙනෙන්නට තිබෙන අතර විය හැක්කේද එය බවයි.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) අප්‍රේල් 24 දින පල කල  “එක්සත් ජනපද ප්‍රචාරක ව්‍යාපාරය කොවිඩ්-19 සඳහා චීනයට දොස් පවරයි“ යන ලිපියේ සඳහන් පරිදි එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ජීව විද්‍යාඥයින්ගේ කන්ඩායමක් “නේචර්“ නම් සඟරාවෙහි සඳහන් කරන්නේ “අපගේ විශ්ලේෂනයන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ සාර්ස් -කොව් -2 (කොරොනා වෛරසය) යනු රසායනාගාර ඉදිකිරීමක් හෝ හිතාමතාම තනනු ලැබූ වෛරසයක් නොවන බවයි,“ 

එම ලෝසවෙඅ ලිපිය තව දුරටත් මෙසේ පෙන්වා දෙයි;  “වෙනත් සත්ව වාහකයන්ගෙන් මිනිසුන් වෙතට පනින නව, මාරාන්තික වෛරස් හදිසියේ පැතිරීම චීන සංසිද්ධියක් නොව ප්‍රසිද්ධ ජාත්‍යන්තර සංසිද්ධියකි. සජීවී සත්ව වෙලඳපොලවල් තුල මිනිසුන්ට ආසාදනය වූ බැට් වෛරසයකින් කොවිඩ් 19  මතුවීම 2002 දී චීනයේ ප්‍රථම සාර්ස් නියුමෝනියා වෛරසය මතුවීම සිහිපත් කරයි. කෙසේ වෙතත්, 1981 දී ඒඩ්ස්  රෝගයට හේතුකාරක වන එච්අයිවී  වෛරසය අප්‍රිකාවෙන් මතුවීම, හෝ  “හියුමන්  මන්කිපොක්ස්“ 2003දී එක්සත් ජනපදයෙන් මතුවීම එකම ස්වාභාවික සංසිද්ධිය සඳහා උදාහරනවේ.“ 

එම පසුබිම තුල චීනය මෙම වෛරසය නිෂ්පාදනය කලාය යන දුර්මතය යොදා ගැනෙන්නේ හිට්ලර්ගේ ප්‍රධාන ඇමතියකු වූ ගොබෙල්ස් සඳහන් කල ආකාරයට බොරුව යලි යලිත් ප්‍රකාශ කලවිට ඇත්ත ලෙස පෙනී යන තත්වයක් ඇති කිරීමටය. දශක තුනකට පෙර ජන නාශක අවි පිලිබඳ ඉරාකයට එල්ල කල සාපරාධී බොරුකාර චෝදනාවෙන් පසු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගොතන දැවැන්තම සාපරාධී බොරුව බවට මෙය පත් වෙමින් තිබේ.

මෙම කුහක මාධ්‍යවේදීන් ඕනෑ කමින් වසං කරන කාරනය නම් ජනවාරියේ සිටම මෙම වෛරසයේ දරුනු බව පිලිබඳව ලැබුනු සියලු විද්‍යාත්මක දත්ත කුනු කූඩයට දමමින් මාස තුනකට ආසන්න කාලයක් ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් කම්කරු පන්තියට මෙයින් අත්වන දරුනු තර්ජනය දැන දැනම සිය ලාබ ගරන ආර්ථික පද්ධතියට ඉන් විය හැකි සන්තෑසිය ගැන කම්පා වෙමින් කිසිම පියවරක් නොගැනීමය.  

පසුගිය සමය තුල සෞඛ්‍ය සඳහා වියදම් කපා හැර එය ලාබ ගරන කර්මාන්තයක් බවට පත් කර තිබීම නිසා කම්කරුවන්ට අත්විය හැකි ඉරනම අතිශයින්ම රුදුරු බව හොඳින් දැන සිටි මෙම පාලක ප්‍රභූව ජනගහනයෙන් දැවැන්ත පදාසයකට රෝගය වැලඳී එය ඉබේ පහව යනු ඇතැයි යනාදී ප්‍රකාශ කරමින් ජනයා නොමග යැවූ ආකාරය පිලිබඳව මෙම වංචනිකයින්ට කීමට දෙයක් නැත. 

රටක් රටක් පාසා දැන් සිදු වන මරන වලට වග කිව යුතු මෙම ධනපති පාලකයන් දැන් වසංගතය වැලඳීමට ඇති ඉඩ ප්‍රස්තාව තුරන් නොකර ලාබ ගරනය තහවුරු කර ගැනීමට කම්කරුවන් වැඩට දක්කමින් සිටියි. මෙම රුදුරු තර්කනයන් උදව් වන්නේ කම්කරු දුගී ජනයා මත මරනය පැටවීමේ එම ක්‍රියාවලියටයි.

චීනයේ නය හා ආයෝජන හරහා ආර්ථික සහ-සම්බන්ධතාවක සිටින ආන්ඩුව කොරෝනා වසංගතයට චීනය දඩමීමා කර ගැනීමේ මෙම  ප්‍රයත්නයට සෘජුව සම්බන්ධ වී නැතත් තම ආන්ඩුවේ සාපරාධී නොතැකීමට එරෙහිව වැඩෙන මහජන මතය අපගමනය කිරීමේ ලා එය වෙස්වලාගත් ආශීර්වාදයක් ලෙසට සලකනු ලබනු බවට සැක නැත. 

  

Loading