75 වසරකට පෙර: හිට්ලර් දිවි නසාගනියි, මුසොලිනී ඝාතනය කෙරෙයි

30 අප්‍රේල් 2020

75 වසරකට පෙර: හිට්ලර් දිවි නසාගනියි, මුසොලිනී ඝාතනය කෙරෙයි 

හිට්ලර් හා මුසොලිිනි

මෙම ලිපිය 2020 අප්‍රේල් 27 ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

1945 වසරේ මේ  සතිය තුල ඇඩොල්ෆ් හිට්ලර් හා බෙනිටෝ මුසොලිනී යන ආඥාදායකයින් දෙදෙන මරුමුවට පත්වූහ. ඒ යුරෝපය පුරා හටගත් සමාජ නැඟිටීම් හා මිත්‍ර පාක්ෂික මිලිටරි ප්‍රතිප්‍රහාර වලින්, අන්තිමේදී නාසි ජර්මනිය බිඳවැටීම හමුවේය. 

නගරයේ අවසන් නාසි කඳවුරු වටලමින් සෝවියට් සංගමයෙහි රතු හමුදා භටයින් පෙරට ඇදී ඒමත් සමග බර්ලිනයේ මිලිටරි බංකරයක් තුල හිට්ලර් අප්‍රේල් 30 දින දිවි නසාගත්තේය. ඊට පෙර දිනවල රතු හමුදාව බර්ලින්හි උපනගර සිසාරා ඇදී ගියේය. හිට්ලර්ගේ දිවි නසාගැනීමට දිනකට පෙර නාසි මිලිටරි නායකත්වය, මිත්‍ර හමුදා වැටලීම් මධ්‍යයේ ජර්මානු හමුදාවට පැය 24ට වඩා කාලයක් අල්ලාගෙන සිටීමට නොහැකිවනු ඇතැයි ඔහුට දන්වා තිබුනි. රතු හමුදාව විසින් යටත් කරගත් බර්ලින් අවට නගර සමග පනිවිඩ හුවමාරුව මුලුමනින්ම පාහේ කපාහැර තිබුනි.

ජ්‍යෙෂ්ඨ මිලිටරි ප්‍රධානීන් සිය පන බේරාගැනීමට උත්සාහ කරද්දී, නාසි තන්ත්‍රය බිඳවැටෙමින් තිබුනි. දෙවන ලෝක යුද්ධය නිමාවෙමින් තිබියදී, බිහිසුනුම නාසි යුද අපරාධ සමහරකට වගකිව යුතු හෙන්රික් හිම්ලර් වැනි පුද්ගලයින්, මිත්‍ර පාක්ෂිකයින්ට ආයාචනා කරමින් සිටි බවට වාර්තා පලවිය.

දිවි නසාගැනීමට ගත් හිට්ලර්ගේ තීරනයත්, තම මල සිරුර විනාශ කරන ලෙස ඉල්ලා තිබීමත්, මුසෝලිනීගේ ඉරනම මඟින් දිරිගන්වනු ලැබින.

ඉතාලි සමාජ ජනරජය ලෙස නම්කර තිබුන, ජර්මනියේ පිටුබලය ලත් උතුරු ඉතාලි රාජ්‍යයේ නායකයාව සිටියේ එම ඉතාලි ෆැසිස්ට්වාදියාය. මුලු රටේම නායකත්වයෙන් මුසෝලිනී ඉවත් කරනු ලැබුවේ වසරකටත් වැඩි කාලයකට පෙරය. ඒ මිත්‍ර පාක්ෂිකයින්ගේ ආක්‍රමනය වේගයෙන් ඉදිරියට යාමත්, මහජන විරෝධය මතුපිටට පුපුරා එමින් තිබීමත් හමුවේ, පාලක පැලැන්තියේ ප්‍රබල කොටසක් ඔහුට විරුද්ධව හැරීමත් සමගය.

සිය ආන්ඩුව ඉදිරියට ඇදෙන මිත්‍ර හමුදා විසින් පෙරලා දමනු ඇති බව නිශ්චිතවීමෙන් පසුව මුසෝලිනී හා ඔහුගේ සහකාරිය අප්‍රේල් 25දා ස්විට්සර්ලන්තයට පලා යාමට වෑයම් කලහ. දෙදිනකට පසුව ඔවුන් පාටිසන් හා මිත්‍ර හමුදා විසින් අල්ලා ගනු ලැබින. අප්‍රේල් 28දා දෙදෙනාම වෙඩිතබා ඝාතනය කෙරුනි. මුසෝලිනී හා ඔහුගේ සහකාරිය සමග තවත් ෆැසිස්ට් අපරාධකරුවන් 14 දෙනෙකුගේ මෘත ශරීර මිලාන් ‍වෙත ගෙනඑනු ලැබිනි. එහිදී ඔවුන්ගේ සිරුරු දෙපයින් එල්ලා තැබුන අතර ලක්ෂ ගනන් කම්කරු සමූහයාගේ අගෞරවයට පාත්‍ර විය.

ඔවුන්ගේ පාලන කලයන් තුල ආඥාදායකයින් දෙදෙන, හොලොකෝස්ටය අවධියේදී ඝාතනය කරන ලද,  අඩුම තරමින් මිලියන 6ක් වන යුදෙව්වන්, ලෝක යුද්ධයේදී මරුමුවට පත් මිලියන ගනනාවක්, රෝමාවරුන්ගේ සිට ආබාධිත අය, සමාජවාදීන් හා කොමියුනිස්ට්වාදීන් ද ඇතුලු අනෙකුත් අය ලක්ෂ ගනනක් සමග නොගිනිය හැකි තරම් මිලියන ගනනාවකගේ මරන වලට වගකිව යුතුය.  

කුරිරු නායකයන් දෙදෙනා මරුමුවට පත්වීමෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන් උද්දාමයට පත් විය. ඔවුන් අවසන් ගමන් ගියේ, මැයි දින සතිය තුලය. එය ජාත්‍යන්තර කම්කරු පන්තියේ ගෝලීය විප්ලවවාදී නිදහස් දිනයයි. යුරෝපය හා ලොව පුරා මහජන පෙලපාලි පැවැත්වින.

බලයට පත්වුන කාලයේ හිට්ලර් හා මුසෝලිනී වැලඳගත් “ප්‍රජාතන්ත්‍ර” අධිරාජ්‍යවාදී බලවතුන්ට ද 1939දී හිට්ලර් සමඟ හුවමාරුවක් ලෙස අත්සන් කිරීමට උත්සාහ කල මොලටොව්-රිබන්ත්‍රෝප් ගිවිසුම තුලින් ප්‍රකටවූ මොස්කව් නිලධරයේ ද්‍රෝහිත්වයට ද එරෙහිව, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වූ හතරවන ජාත්‍යන්තරය පමනක් ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය නොසැලී ගෙන ගොස් තිබුන බව පැහැදිලිය. පෙර වසරවල පැවති ම්ලේච්ඡත්වයට වගකිව යුතු, ලාභ සූරාකෑමේ ක්‍රමයට එරෙහිව අභියෝගයක් වූ, කම්කරුවන්ගේ ෆැසිස්ට් විරෝධී සමාජවාදී අභිලාෂයන්ට පටහැනිව, ධනවාදය යලි පිහිටුවීමට උත්සාහ කල මිත්‍රපාක්ෂිකයින්ට හා ඔවුන්ගේ ස්ටැලින්වාදී සහචරයන්ට විරුද්ධව එය අනතුරු ඇඟවීය.

සියක් වසරකට පෙර: අසර්බයිජාන් සෝවියට් සමූහාන්ඩුව ප්‍රකාශයට පත් කරයි

නරීමාන් නරිමනොව්

1920 අප්‍රේල් 11දා රතු හමුදාව විසින් ධනපති අසර්බයිජාන ප්‍රජාතන්ත්‍ර සමූහාන්ඬුව මිලිටරිමය වශයෙන් පරාජය කිරීමත්, අගනුවර වූ බාකුහි කම්කරුවන්ගේ නැඟිටීමත් හමුවේ, බොල්ෂෙවික් නායක නරීමාන් නරිමනොව්ගේ නායකත්වයෙන් යුත් තාවකාලික විප්ලවකාරී කමිටුව, අසර්බයිජාන සෝවියට් සමූහාන්ඬුව පිහිටුවීම, අප්‍රේල් 28දා නිවේදනය කලේය.

බාකු වනාහි, අසේරි, ආර් මේනියානු, ඉරාන හා රුසියානු කම්කරුවන් බහුල, බහුජාතික නගරයක් හා තෙල් කර්මාන්තයේ මධ්‍යස්ථානය යි. 1918 මුල් භාගයේදී බාකු පාලනය කලේ, බොල්ෂෙවිකයන් හා ඔවුන්ගේ වාම මිතුරන් විසින් සංවිධානය කරන ලද බාකු කොමියුනය විසිනි. මෙන්ෂෙවික්, ජාතිකවාදී හා සමාජ විප්ලවවාදී බලවේග විසින් ජූලි මාසයේදී කුමන්ත්‍රනයකින් කොමියුනය පෙරලා දමනු ලැබූ අතර ඔවුන්ගේ අනුග්‍රහය යටතේ බ්‍රිතාන්‍ය හමුදාවන්ට නගරයේ රැඳී සිටීමට ඉඩහැර තිබුනි.

තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයේ හමුදා 1918 සැප්තැම්බරයේදී, දේශීය ඉස්ලාමීය බලවේගයන්ගේ ආධාරය ද ඇතුව බ්‍රිතාන්‍ය හමුදාව පලවා හැර, එම වසන්තයේදී බාකු නගරයෙන් පිටතදී පිහිටුවාගෙන තිබුන අසර්බයිජාන ප්‍රජාතන්ත්‍ර සමූහාන්ඩුවේ පාලනය යටතට එය ගෙන එන ලදී. එම පාලනය යටතේ බාකුහිදී ආර්මේනියානුන් 20,000ක් ඝාතනය විය.

විශේෂයෙන්ම තෙල් කර්මාන්තයේ බොල්ෂෙවික් කම්කරුවන්ගේ දිගු කාලීන මිතුරෙකු වූ ද සෝවියට් රුසියාව සමඟ තානාපති සබඳතා ඇතිකරගෙන සිටියා වූ ද කෙමාල් අටාටර්ක්ගේ නායකත්වයෙන් යුත් තුර්කිවාදී ජාතික ව්‍යාපාරයට එම පාලනය විසින් වලකපනු ලැබුනි.

සාර්ගේ අධිරාජ්‍යය යටතේ පීඩාවට පත්කරන ලද මුස්ලිම් ජනතාවගේ නිදහස සම්බන්ධයෙන් ගත් කල, අසර්බයිජානු සෝවියට් සමූහාන්ඬුව පිහිටුවීම සන්ධිස්ථානයක් විය. නව සමාජවාදී පාලනය,  මැද පෙරදිග, විශේෂයෙන්ම ඉරානයේ, පීඩිත ජනතාවට විශාල ශක්තියක් විය. 1920 සැප්තැම්බරයේදී බොල්ෂෙවිකයින් , නැඟෙනහිර ජනතාවගේ ප්‍රකට සමුලුවක් බාකුහිදී සංවිධානය කරන ලද අතර, එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව “ශුද්ධවූ යුද්ධයක්” ප්‍රකාශ කලේය.