අපනයන කම්කරුවන් මත දැවැන්ත රැකියා සහ වැටුප් කප්පාදුවක්

ඇමති ප්‍රසන්න රනතුංග උපුටා දක්වමින් පලකර ඇති මාධ්‍ය වාර්තාවලට අනුව නිදහස් වෙලඳ කලාප (නිවෙක) තුල පිහිටි ඇඟලුම් කම්හල් වලින් 217 ක් මේ වන විට විවෘත කර ඇති අතර සේවයට කැඳවා ඇත්තේ  එම කම්හල් වල ශ්‍රම බලකායෙන් සියයට 20 ක් පමන පිරිසක් හෙවත් 30,269 කි. ඉතිරි සියයට 80 හි රැකියාවන්හි ඉරනම පිලිබඳව ඇමතිවරයා නිශ්චිත ප්‍රකාශයක් කර නැත. 

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ගෙන් සියයට 30-50 අතර සංඛ්‍යාවකට  රැකියා අහිමි වනු ඇතැයි ඒකාබද්ධ ඇඟලුම්  සංවිධාන සංසදය සහ කම්හල් හිමියන්  අනතුරු අඟවා ඇත.  විවෘත කර ඇති  කම්හල් 217 ට අමතරව නිදහස් වෙලඳ කලාප තුල සහ ඉන් පිටත ඇඟලුම් කම්හල් දහසකට වඩා තිබෙන අතර ඒවායෙහි ඍජුව සේවයේ නියුක්තව සිටි  කම්කරුවන් සංඛ්‍යාව 400,000 ට වැඩි ය. වක්‍රව යැපුන සංඛ්‍යාව මිලියන දෙකක් පමන වෙයි. 

ඇඟලුම් කර්මාන්තය තුල සේවයේ නියුක්ත කම්කරුවන්ගෙන් සියයට 90 ක තරම් වූ බහුතරයක් ගම්බද සහ වතුකරයේ තරුන දුගී ජනයා ය.  ඔවුන්ගේ ලාබ ශ්‍රමය රුදුරු ලෙස සුරාකමින් පසුගිය දසක තුන තුල ඇඟලුම් කර්මාන්තකරුවෝ සුවිශාල ලාබ පොදි ගසා ගත්හ. 

කෙසේ නමුත් කොරෝනා වසංගතයත් සමග ඇනවුම් අවලංගු වීමේ සහ ලෝක වෙලඳපොල තුල ඉල්ලුම තියුනු ලෙස පහත වැටීමේ අර්බුදයකට ඇඟලුම් කර්මාන්ත කරුවෝ  මුහුන  දී සිටිති.  පසුගිය වසරේ ඩොලර් බිලියන 5.6 ක් වූ ඇඟලුම් අපනයන ආදායම  මෙම වසරේ ජුනි මාසයෙන් අවසන් වන මාස තුන තුල ක්ෂනිකව ඩොලර් බිලියන 1.5 කින් හැකිලීමට හා  ඊට අතිරේකව ජුනි මාසයෙන් පසු ඇඟලුම් අපනයනය සියයට 30-40 අතර ප්‍රමානයකින් පහත  වැටීමට ද ඉඩ ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදයේ සභාපති ඒ. සුකුමාරන් අප්‍රේල් 14 වෙනිදා නිකුත් කල ප්‍රකාශයක සඳහන් කර ඇත. 

ඇඟලුම් සමාගම් මෙම අලාභය පියවා ගැනීමට තීන්දු කර ඇත්තේ කම්කරුවන්ගේ  වියදමිනි. එනම් ඔවුන්ගේ රැකියා, වැටුප් සහ විශ්‍රාම අරමුදල් ඇතුලු සමාජ ප්‍රතිලාබ මත එල්ල කරන දැවැන්ත ප්‍රහාරයක් තුලිනි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය තීව්‍ර වීමත් සමග ආන්ඩුව විසින්  ක්‍රියාවට දැමුනු අගුලු  දැමීම යටතේ මාර්තු මාසයේ ඇඟලුම් කම්හල් වසා දැමීමෙන් පසු  බොහෝ කම්කරුවන්ට එම මාසයේ සහ   අප්‍රේල් මාසයේ වැටුප් පවා තවමත් ගෙවා නැත. වාර්ෂික ප්‍රසාද දීමනා අහිමි වී ඇත. ආන්ඩුවෙන් සහනදායි මුල්‍ය ප්‍රතිපදානයන් නොලැබෙන්නේ  නම්  ඉදිරි මාස වල වැටුප් ගෙවීමේ කිසිදු හැකියාවක් නැති බවද ඇඟලුම් කම්හල් හිමියන් පවසයි. “ආර්ථිකය යලි විවෘත කිරීමේ” සැලසුම් යටතේ රාජපක්ෂ ආන්ඩුව තම අභිමතය පරිදි කම්හල් පවත්වාගෙන යාමට කර්මාන්තකරුවන්ට ඉඩ දී ඇත.

නිවෙක තුල  වැඩ ආරම්භ කර ඇති කම්හල් විසින් සේවයට කැඳවා ඇති කම්කරුවන් රැකියා අහිමිවීම, වැටුප් කප්පාදුව හා දුෂ්කර සේවා කොන්දේසි පිලිබදව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට විස්තර කලහ.

අවිස්සාවේල්ල, සීතාවකපුර වෙලඳ කලාපයේ පිහිටා තිබෙන ලීනියා ඇකුවා ඇඟලුම් කම්හල මාස් හෝල්ඩින් සමාගමට අයත් එකකි. කාන්තා පිහිනුම් ඇඳුම් නිෂ්පාදනය කරන  එහි 3500 ක් කම්කරුවෝ සේවයේ නියුක්ත සිටියහ. යලි විවෘත  කිරීමෙන් පසු  සේවයේ යොදවා ඇත්තේ සියයට 30 ක් පමන  කම්කරු පිරිසක් බව එහි වැඩ පරීක්ෂකවරයෙකු පැවසීය. “කලාපය කිට්ටුව පදිංචි අය තමයි එස්එම්එස් යවල වැඩට ගෙන්න ගත්තේ.  එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් නතර වෙන්න කිව්වා. ෆැක්ටරියෙන් ට්‍රාන්ස්පෝර්ට්  දෙනවා. වැඩපටන් ගන්න  කලින් මැනේජ්මන්ට් එක රැස්වීමක් තියල  කිව්වා ඉන්න සුලු  සේවක සංඛ්‍යාවෙන් උපරිම වැඩ ගන්න කියල. ඒ කියන්නේ සියයට 90 ක ධාරිතාවයක්.  නිෂ්පාදන වැඩ වලදී පොඩි වැරැද්දක්  වුනත්  අවවාද කිරීම් මුකුත් නැතුව කෙලින්ම සේවයෙන්  අයින් කරලා දාන්න කිව්වා. වසංගත අවදානම  තිබෙද්දි සේවකයෝ වැඩට එන්නේ. ආවේ නැත්නම් රස්සාවෙන් දොට්ට දායි කියලා බයට”. 

“එහෙම වැඩ පටන් ගත්තත්  වසංගතය ආසාදනය වීමෙන් සේවකයන් ආරක්ෂා කරගන්න කිසිම සැලසුමක් පරිපාලනයට  නැහැ.  වැඩ කරනකොට මීටරයේ පරතරය තිබුනට වැඩවලට එහා මෙහා යනකොට ඒක නිකන්ම නැතිවෙනවා. වැසිකිලි වල දොරවල් වලට ඔටෝ ක්ලෝසර් හයි කරලා තියෙන්නේ.  අපිට කිව්වා ඒවා අතින් නැතුව කකුලෙන් තල්ලු කරලා අරින්න කියලා. ඒත් ඒක කරන්න පුලුවන්  ඇතුලට යනකොට විතරයි. දොර අරින්නේ ඇතුලට නිසා  ආපහු එනකොට කකුලින් අරින්න බැහැ.  අතින්ම අරින්න වෙනව. වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාදිතයන් සම්බන්ද ප්‍රශ්නේ මතු වුනාම තත්වය අවදානම් නිසා අපි කිව්වා වැඩ කරන්න බැහැ කියල. සාකාච්චා කරලා තීරනය දැනුම්  දෙන්නම් කියල පරිපාලනය කිව්වා. නමුත් කිසිම විසඳුමක් නැහැ” යැයි ඔහු පැවසීය. 

සීතාවක පුර ටීජේ ලංකා බ්‍රැන්ඩික්ස් සමාගම් සමූහයට අයත් ඇඟලුම් කම්හලකි. එහි සම්පුර්න සේවක සංඛ්‍යාව 1000 ක් පමන වේ. පසුගිය වසර වල සමාගමේ  ලාභය  අඛන්ඩව ඉහල ගොස් ඇත. 2019-2020 මුල්‍ය වසරේ මුල් හය මාසය තුල පමනක් එහි ශුද්ධ ලාබය රුපියල් බිලියන 1.237 කි. එය කලින් මුල්‍ය වර්ෂයේ මුල් හය මාසයේ ලැබූ ලාබයට වඩා සියයට 75 ක වැඩිවීමකි. 

යලි වැඩ ආරම්භ කිරීමෙන් පසු සේවයට කැඳවා ඇත්තේ  කම්කරුවන් 225  පමනක් බව එහි  සේවකයෙකු පැවසීය. උදේ 7.15 සිට රාත්‍රී 8.15 දක්වා සහ රාත්‍රී 8.15 සිට උදේ 7.15 දක්වා  පැය 12 බැගින් වූ  වැඩ මුර දෙකක් ක්‍රියාත්මක වන  බවද එක වැඩ මුරයකට  75 බැගින් දිනකට 150 ක් සේවයේ යොදවන බව ද ඔහු සඳහන් කලේ ය.  

“ඉන්න ටික දෙනාගෙන් උපරිම වැඩ ගන්න උත්සාහ කරනවා. කිහිප දෙනෙකු එකතුවෙලා කතා කිරීම තහනම් කරලා තියෙන්නේ..... එහෙම කතාකරනවා දැකල ප්‍රධාන පරිපාලන නිලධාරියා කිව්වා රෝගය ආසාදනය වීමේ අවදානම වැඩි නිසා කතා කරන්න එපා කියල. එහෙම කලොත් සේවකයෝ තවත් අඩු කරනවා කිව්වා. ඇත්තටම පරිපාලනය උනන්දු  වෙන්නේ  රෝගය පැතිරීම ගැන නෙමෙයි. පවතින තත්වයට විරුද්ධව සේවකයෝ එකතුවෙයි කියන එක ගැන” යැයි ඔහු පැවසීය. 

හයිඩ්‍රාමනි ඇඟලුම් සමාගමට අයත් කටුනායක හා මහරගම කම්හල් අප්‍රේල් මාසයේ 20 දා සිට විවෘත කර ඇත. දැනට එහි සේවකයන් සුලු සංඛ්‍යාවක්  සේවයේ යොදවා සිටින අතර  මැයි මාසයේ  04 දා සිට සියලුම කම්කරුවන් සේවයට කැඳවීමට  කලමනාකරනය අපේක්ෂා කරන බව එහි සේවකයෙක් පැවසීය. 

“මට වැඩට එන්න කියලා කිව්වත් වසංගතයට තියෙන බය නිසා මම ගියේ නැහැ.  නමුත් 04 දාට තීරනයක් ගන්න වෙනවා. වැඩට නොගියොත් රස්සාවෙන් දොට්ට දාන්න පුලුවන්..අප්‍රේල්  මාසේ  පඩියෙන් භාගයයි  ගෙවනවා කියලා කියන්නේ. මගේ  වැඩ කොන්දේසි අනුව අනෙක් කම්කරුවො සමග නිතර සමීපව වැඩ කිරීමට සිදු වෙනවා. ඒසී කාමර ඇතුලේ වෛරසය පැතිරෙන එක වැඩියි. මම කටුනායක බෝඩ් වෙලා ඉන්නේ. වැඩට එන අයට කොරෝනා වෛරසය ආසාදිත නොවෙයි කියල සහතිකයක් නැහැ. වත්තල, සීදුවේ හමුදා කඳවුරුවලටත් ලෙඩේ බෝ වුනානම් අපි ගැන මොන කතා ද“  ඔහු ප්‍රශ්න කලේ ය. 

ඇමරිකාවේ සහ ජාත්‍යන්තරව බලහත්කාරයෙන්  කම්කරුවන් නැවත වැඩට කැඳවීම ඔහු හෙලා දුටුවේය. “වැඩට නොඑන අය රැකියාවෙන් දොට්ට දැමීමත්, ඊට පස්සේ ආන්ඩුවෙන් දෙන විරැකියා සහනාධාර ඇමරිකාවේ කපනවා නම් හැම රටක පාලකයෝ කම්කරුවන්ට කරන්නේ ඒ දේම  තමයි. ලංකාවේ ධනපතියෝ බය වෙලා ඉන්නේ ලෝක වෙලඳපලේ එයාලාගේ පංගුව වෙනත් රටවල් අල්ල ගනී කියලා“. ඔහු පැවසීය.

කුරුනෑගල මාවතගම කර්මාන්ත පුරයේ හෙල ඉන්ටිමේට්ස්  ඇඟලුම් කම්හලේ මුලු සේවක සංඛ්‍යාව 1200 ක් පමන වේ. කාන්තා ඇඳුම් නිෂ්පාදනය කරන මෙම කම්හලේ  නැවත වැඩ ආරම්භ කිරීමේ දී සේවයට කැඳවා ඇත්තේ 800 ක් පමන කම්කරු සංඛ්‍යාවක් බවත්  වැඩ පේලි 65 න් ක්‍රියාත්මක වන්නේ පේලි 45 ක් බවත් එහි කම්කරුවෙක් පැවසීය. 

සේවකයන්  අඩු කිරීමේ සැලැස්මක් පවතිනව  “පාලානාධිකාරය රැස්වීමක් තියල කිව්වා මාස තුනට අඩු සේවා කාලයක් තියෙන අය අයින් කරනවා කියල.. අවුරුදු 50 ට වැඩි අයටත් මාසයක් වැඩ කරලා අස්වෙන්න කිව්වා. මාර්තු මාසේ පඩිය ගෙව්වා. අප්‍රේල් මාසේ පඩියත් ගෙවයි. නමුත් බෝනස් එක ගෙව්වේ අඩුවෙන්. කලින් බෝනස් එකට මාස භාගෙක වැටුප දුන්න. මේ වතාවේ දුන්නේ පඩියෙන් හැරෙන එකයි. අතිකාල වැඩ ඇත්තෙත් නැහැ. ඉස්සරහට හුඟක් අයගේ රස්සාව නැතිවෙයි. ” ඔහු සඳහන් කලේ ය. 

Loading