ශ්‍රී ලංකාව: ඇබොට්ස්ලී වත්තේ ගින්න කම්කරු පවුල් දහයකට විනාශය ගෙන එයි

හැටන් හි ඇබොට්ස්ලී වත්තේ ඇබොට්ස්ලී කොටසේ පවුල් දහයක් විසූ ලයින් කාමර විනාශ කරමින් මැයි 2දා ගින්නක් පැතිර ගියේය. ඇඳුම්, මුලුතැන්ගේ හා අනෙකුත් ගෘහ උපකරන, ජාතික හැඳුනුම්පත් හා ලමුන්ගේ පාසල් පොත් ඇතුලු කම්කරුවන්ට අයත් සියලුම දේවල් සමගින් ලයින් කාමර 14ක් ගින්නෙන් විනාශ විය.

රාත්‍රී 7.15ට පමන හටගත් මෙම ගින්නෙන් පසු, ලමුන් ඇතුලු පුද්ගලයන් 38 දෙනෙක් සරනාගතයන් ලෙස වත්තේ සංස්කෘතික ශාලාවේ නැවතී සිටිති.

හැටන් නගරයේ සිට කිලෝමීටර 5ක් දුරින් පිහිටි හැටන් වතු සමාගමට අයත් ඇබොට්ස්ලී වත්තේ කම්කරුවන් 700ක් පමන සේවය කරති. 

මැයි 2දා හටගත් ගින්නට හේතුව තවමත් අනාවරනය කරගෙන නැතත් ගරාවැටුනු විදුලි රැහැන් පද්ධතිය හේතුවෙන් බොහෝ ලයින් කාමරවල එවන් ගිනි ගැනීම් බොහොමයක් සිදුවේ. ගෘහස්ත විදුලි සැපයීමේ සම්මතයන්ට අනුව කම්කරුවන්ගේ නිවාසවලට යෝග්‍ය පරිදි රැහැන් ඇද නැත. එබැවින් තේ හා රබර් වතුවල කම්කරුවන්ගේ නිවාසවල ගිනිගැනීම් සුලබ සිද්ධීන් වේ.

ඇබොට්ස්ලී හා අනෙකුත් වතුවල බොහෝ කම්කරු පවුල් ජීවත් වන්නේ, වසර 100කට පමන පෙර බ්‍රිතාන්‍ය විජිත පාලන සමයේ ගොඩනගන ලද, කුඩා ආලින්දයක් හා කුස්සියක් සහිත, අඩි 12ක් දිග හා අඩි 10ක් පලල ලයින් කාමරවල ය. අවම අලුත්වැඩියා කිරීම් සමගින් යුග ගනන් පැරනි මෙම ගොඩනැගිලි පවත්වාගෙන යන වතු කලමනාකාරීහු, නිසැකවම මර උගුල් වන ලයින් කාමර තුල කම්කරුවන්ට ජීවත් වීමට සලසති. කලමනාකාරීත්වයට ඉහලින් ම සූරාකෑ හැකි වන පරිදි, වතු ඇතුලත පිහිටි ලයින් කාමරවල කම්කරුවන්ගේ නවාතැන් සම්පාදනය කර තිබේ.

පසුගිය වසරේ ජනවාරි 29දා, බොගවන්තලාවේ රොබ්හිල් වත්තේ ගින්නකින් නිවාස 12ක් විනාශ විය. 2018 දෙසැම්බර් 29දා දික්ඔය පිහිටි ෆෝඩයිස් වත්තේ හා ආගරපතනේ පිහිටි බැල්මෝරල් වත්තේ හටගත් ගිනි ගැනීම් වලින් නිවාස විස්සක් විනාශ විය. රොබ්හිල් හා බැල්මෝරල් වතුවල කම්කරුවෝ, මූලික පහසුකම් නොමැති ව, තවමත් එම වතුවල පිහිටි සංස්කෘතික ශාලා තුල සරනාගතයන් ලෙස ජීවත් වෙති.

ගින්නට හසුවූ කුස්සිය

ඇබොට්ස්ලී වත්තේ ගින්නෙන් සිය නිවස විනාශවීමට ලක්ව සිටින 39 හැවිරිදි පෙරුමාල් කමලසාමී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වෙත මෙසේ කීවේ ය: “අපේ පවුලට ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික, ලීබඩු හා රුපියල් තුන්දාහක් විතර වටින තවත් දේවල් නැති වුනා. අපේ පඩිය කෑම බීමට වත් ප්‍රමානවත් නැහැ, ඉතින් අපි කොහොමද නැති වෙච්ච දේවල් ආයෙ ගන්නෙ? මට ලමයි තුන්දෙනෙක් ඉන්නවා, ඒගොල්ලන්ගෙ අච්චු පොත් හා ලියන පොත් ගිනිගත්තා, ඒක ඒගොල්ලන්ගෙ ඉගන ගන්න වැඩවලට දරුනු ලෙස බලපානවා.”

“වත්තේ කලමනාකාරීත්වය ගෙවල් අලුත් වැඩියා කරල අලුත් වහලක් දාල දෙන්න පොරොන්දු වුනත්, අවුරුදු 100කට වඩා පරන මේ ගෙවල්වල ජීවත් වීමේ අන්තරාය දිගට ම පවතීවි. මේ වගේ ගිනිගැනීම්වලින් ආරක්ෂා වෙන්නත්, සෞඛ්‍ය අනතුරුවලින් ආරක්ෂා වෙන්නත් අපට වෙන් වෙන්ව ගොඩනගපු ශිෂ්ට සම්පන්න ගෙවල් ඕන. මේ දවස්වල කොරෝනා වෛරසය පැතිරී යනවා. සනීපාරක්ෂාවක් නැති ලයින් කාමරවල ජීවත් වන කම්කරුවන්ට ආරක්ෂාවක් නැහැ.”

ගින්නට හසුවූ වූ නිදන කාමරය

ගින්නේ බලපෑමට ලක්වූ විශ්‍රාමික කම්කරුවෙක් මෙසේ කීවේ ය: “රටේ තියෙන කොරෝනා වෛරසයේ තර්ජනය යටතෙ අපි ජීවත් වෙන්නේ හරි ම දුෂ්කර තත්ත්වෙක, දැන් අපිට ගේත්  නැති වුනා. ලයින් කාමර ක්‍රමය නිසා වතු කම්කරුවන් නිරන්තරයෙන් ගිනිගැනීම්වල බලපෑමට බඳුන් වෙනවා. අනෙක් සමහර වතුවල ආන්ඩුව නිවාස කිහිපයක් හැදුවත්, අපේ කොටසෙ බොහෝ කම්කරුවන් ජීවත් වෙන්නෙ ලයින් කාමරවල. වෘත්තීය සමිති අපේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නෙ නැහැ. ඔක්කොම වෘත්තීය සමිති, රුපියල් දාහක් ඉල්ලල අපි ගෙන ගිය වැටුප් අරගලය ගිය අවුරුද්දෙ පාවල දුන්න.”

ඔහු සඳහන් කලේ, වතු කම්කරුවන් ලක්ෂ ගනනක් විසින් 2018 වසර අවසානයේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා ඉහල දමන ලෙස ඉල්ලමින් දියත් කල අරගලය ගැන යි. වෘත්තීය සමිති මෙම අරගලය පාවා දුනි.

පසුගිය වසරේ බොගවන්තලාවේ රොබ්හිල් වත්තේ හටගත් ගින්නෙන් බලපෑමට ලක්වූ පී. ප්‍රභාකරන් මෙසේ කීවේ ය: “ගිය අවුරුද්දෙ අපේ ගෙවල් 16ක් ගින්නෙන් විනාශ වුනා, ඒත් තාමත් අපිට ගෙවල් ලැබිල නැහැ. වත්තෙ සංස්කෘතික ශාලාවෙ සරනාගතයො විදිහට ලමයිත් එක්ක 45 දෙනෙක් ජීවත් වෙනවා. දැනට මාස අටකට විතර කලින්, පැවති ආන්ඩුව කාලෙ, ජාතික කම්කරු සමිතියෙ (එන්යූඩබ්ලිව්) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජා ගෙවල් 16කට මුල් ගල තිබ්බත් ගෙවල් හැදුවෙ නැහැ.” 

“ආන්ඩුව, වතු කලමනාකරනය හා වෘත්තීය සමිති අප ව සම්පූර්නයෙන් නො තකා හැරිය. දැන් වෛරසය පැතිර යද්දිත්, අපි 45 දෙනා මූලික පහසුකම් හා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් නැතිව එක තැනක ජීවත් වෙනවා, ඒත් කවුරුවත් ඒ ගැන ගනන් ගන්නෙ නැහැ. මේ කාල සීමාවෙදි මගේ අම්ම නැති වුනා, ඇගේ මිනිය තියන්නයි අවමගුල කරන්නයි අපි සෑහෙන දුෂ්කරතාවන්ට මුහුන දුන්න.”

“අපිට වත්තෙ වැඩ හම්බ වෙන්නෙ දවස් තුනකට විතරයි, අපේ ආදායම කන්නවත් මදි යි. ඉතින් අපි කොහොමද ගෙයක් හදාගන්නෙ? අපිට දවසකට හම්බ වෙන්නෙ රුපියල් 700ක් විතරයි. ඔක්කොම වෘත්තීය සමිති, ගිය අවුරුද්දෙ දවසකට රුපියල් 1,000ක් ඉල්ලල අපි ගෙන ගිය අරගලය පාවල දුන්න.

ඔහු මෙසේ ද කීවේ ය: “මේ ආන්ඩුවෙ වතු යටිතල පහසුකම් ඇමති, ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක ආරුමුගම් තොන්ඩමන්, අප්‍රේල් 10 වෙනිද වතු කම්කරුවන්ට අනිවාර්යයෙන් රුපියල් 1,000ක් ලැබෙයි කියල පොරොන්දු වුනා. ඒත් අපිට ඒක තාම හම්බ වුනේ නැහැ. මුලු රට ම ඇඳිරි නීතිය යටතෙ තියෙද්දිත්, අපිට වැඩ කරන්න වුනා. ඒත් ආන්ඩුව පොරොන්දු වෙච්ච රුපියල් 5,000 දීමනාව අපිට දුන්නෙ නැහැ.”   

2018 දෙසැම්බරයේ රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලමින් වතු කම්කරුවන් අරගලයට පිවිසි විට, එම අරගලය තුල බලගතුව මැදිහත් වූ සමාජවාදී සමානතා පක්ෂය (සසප) වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව හෙලිදරවු කලේ ය. අරගලය තුල දී සසප සහයෝගය සහිත ව ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගූ ඇබොට්ස්ලී කම්කරුවෝ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා ඇබොට්ස්ලී වත්තේ වතු නිවාසවල තත්ත්වය හෙලිදරවු කල හ. 

මෙම හෙලිදරවුවෙන් පසු, වත්තේ කලමනාකාරුවෝ ක්‍රියාකාරී කමිටු සාමාජිකයන්ට තර්ජනය කලහ. මැයි 2දා හටගත් ගින්න, ඇබොට්ස්ලී වත්තේ කම්කරු නිවාසවල ගරාවැටුනු කොන්දේසි ගැන, අප කල හෙලිදරව් කිරීම සනාථ කර ඇත.

මෙම ගින්න හටගැනීමෙන් පසු, බලපෑමට ලක්වූ කම්කරුවන්ට කතාකිරීමෙන් ලෝසවෙඅ වාර්තාකරුවන් ව වැලැක්වීමට වතු කලමනාකාරීත්වය ක්‍රියා කලේ ය. ලෝසවෙඅ වාර්තාකරුවන්, සරනාගතයන් ලෙස සංස්කෘතික ශාලාවේ නැවතී සිටින අසරන කම්කරුවන්ට කතාකරමින් සිටින විට, කලමනාකාරීත්වය වාර්තාකරුවන් වැලැක්වීම සඳහා සුභ සාධක නිලධාරියා හා වත්තේ වෛද්‍යවරයා එවීය. වත්තේ කලමනාකාරීත්වයේ අවසරයකින් තොර ව කම්කරුවන්ට කතාකල නො හැකි බව ඔවුන් ප්‍රකාශ කලහ. කම්කරුවන්ට කතා කිරීමට තමන්ට අයිතියක් ඇති බව ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔවුන්ට දැන්වුහ.  

වතුවල සියලු වෘත්තීය සමිති, කම්කරුවන්ට එරෙහි ව වතු කලමනාකාරීත්වය සමග ඒකාබද්ධ වෙමින්, කම්කරුවන් මුහුන දෙන රුදුරු කොන්දේසි වහංගු කරති. මෙම තතු යටතේ, කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටුව හා ලෝසවෙඅහි වාර්තා කිරීම ගැන වතු කලමනාකාරීත්වය බිය වේ.

Loading