ඉදිරිදර්ශන

සමාජයට එරෙහි ට්‍රම්ප් පරිපාලනයේ යුද්ධය

මෙම ලිපිය 2020 මැයි 6 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපදය තුල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය මධ්‍යයේ, ට්‍රම්ප් පරිපාලනය නොසැලකිලිමත් හා සමාජීය වශයෙන් සාපරාධී “ආර්ථිකය විවෘත කිරීමේ” ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, එහි ප්‍රතිඵලය වනු ඇත්තේ, නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම් වැලක්විය  හැකි, ලක්ෂ ගනනකගේ මරනවලට මග පෑදීම යි.

ට්‍රම්ප් 5දා රාත්‍රියේ විකාශය වූ ඒබීසී ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, තම පරිපාලනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක ගැන ඔහුගේ නොතැකීම පෙන්නුම් කලේ ය.  ව්‍යාපාර නැවත විවෘත කිරීමත් සමඟ කෝවිඩ් -19 වේගයෙන් පැතිර යනු ඇතිදැ යි ඇසූවිට, ට්‍රම්ප් මෙසේ පිලිතුරු දුන්නේ ය: “සත්‍ය කාරනය, සෑම විද්‍යාත්මක හා වෛද්‍ය වාර්තාවක්ම පෙන්නුම් කරන්නේ,  නැවත විවෘත කරන සෑම අවස්ථාවකම…  ඇත්ත වශයෙන්ම පැතිරීම වැඩි  වනු ඇති බව යි. … අරමුන වන්නේ කිසි විටෙකත් කොවිඩ්19 ආසාදනය බිංදුවට ගෙන ඒම නො වේ. ”

ට්‍රම්ප්ගේ සමීප උපදේශකයෙකු වන හිටපු නිව් ජර්සි ආන්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටි සඳුදා සීඑන්එන් ප්‍රවෘත්ති සේවයට පැහැදිලිව ම කියා සිටියේ, ඇමරිකානු ජනතාව නැවත රැකියාවට යාමෙන් තම ජීවිත “පරිත්‍යාග” කිරීම අවශ්‍ය බව යි. “ඇමරිකානු ජනතාව මීට පෙර [පලමු හා දෙවන ලෝක යුද්ධවල දී] සැලකිය යුතු මරන අත්විඳ ඇත… අපි එයින් බේරී ඉන්නවා. අපි ඒ ජීවිත පූජා කලා. ” “ඇමරිකානු ජීවන රටාව වෙනුවෙන් නැගී සිටීමට, පරිත්‍යාගය” අවශ්‍ය වූ බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථානයේ  අභ්‍යන්තර වාර්තාවකින් පුරෝකථනය කර ඇති පරිදි, මෙම මාසය අවසන් වන විට දිනකට මරන 3,000 ක් දක්වා වැඩි වනු ඇති බව ඔහු සිතන්නේ දැ යි ඇසූ විට ක්‍රිස්ටි පිලිතුරු දුන්නේ “ඔවුන්ට එසේ කිරීමට සිදුවනු ඇත” කියා ය.

වෛරසය පැතිර යද්දී පවා, ට්‍රම්ප් පරිපාලනය ජීවිත බේරා ගැනීමට ප්‍රමුඛත්වය දෙන සියලු මවාපෑම් අවසන් කරමින් සිටී. මෙම කරුන අවධාරනය කිරීම සඳහා ධවල මන්දිරය 5දා නිවේදනය කලේ, රට “විවෘත” කිරීමට පියවර ගනිමින් සිටින විට සිය “කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය” වසා දැමීමට සැලසුම් කර ඇති බවයි. ට්‍රම්ප් මේ වන විටත් කාර්ය සාධක බලකායේ මාධ්‍ය සාකච්ඡා අවලංගු කර ඇති අතර,  පරිපාලනය පැහැදිලිව ම එහි ප්‍රධානී ආචාර්ය ඇන්තනි ෆෝසි ඉවත් කිරීමට සූදානම් වෙමින් සිටී.

ව්‍යාප්තිය වේගවත් වන තත්වයන් යටතේ ආර්ථිකය විවෘත කිරීම සඳහා වන ගමන වේගවත් වෙමින් ඇත. 5දා මධ්‍යම රාත්‍රිය වන විට එක්සත් ජනපදයේ නිල මරන සංඛ්‍යාව 2,350 ක් වූ අතර එය පෙර දින වාර්තා වූ 1,324 ට වඩා තියුනු ලෙස ඉහල යාමකි. මියගිය සංඛ්‍යාව මේ වන විට 70,000 ඉක්මවා ඇත. සතියකටත් අඩු කාලයකදී ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කලේ අගෝස්තු වන විට මරන සංඛ්‍යාව 75,000 දක්වා ඉහල යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. යථාර්ථය වන්නේ, මෙම සතිය අවසන් වීමටත් පෙරම එම සංඛ්‍යාවට ලඟා වීම යි.

වසංගතය ග්‍රාමීය ප්‍රදේශවල මෙන් ම මිඩ්වෙස්ට් භූගෝලීය කලාපය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ටෙක්සාස් හි මරන සංඛ්‍යාවේ ඉහල යාමක් දක්නට ලැබෙන අතර, එය අකාලයේ නැවත වැඩට යාමේ ව්‍යාපාරයේ විනාශකාරී ප්‍රතිවිපාක පිලිබඳ පලමු ඇඟවුම යි.

නිව් යෝක් ටයිම්ස් පුවත්පත 5දා ප්‍රකාශයට පත් කල ලිපියක මෙසේ සඳහන් කලේ ය. “මාසයකට පෙර අනතුර නො තිබූ ග්‍රාමීය නගර හදිසියේ ම වෛරසයේ  කේන්ද්‍රස්ථාන වී ඇත. වෛද්‍යමය වශයෙන් අවදානමට ලක් වූවන් හා දුප්පතුන් මරා දමමින් එය, සාත්තු නිවාස, මස් ඇසුරුම් කම්හල් හා සිරගෙවල් සිසාරා වියරුවෙන් හමා යමින් තිබෙන අතර, සිල්ලර වෙලඳසැල්, වෝල්මාට්ස් හෝ කර්මාන්තශාලා තුල මතු වෙමින් තිබෙන නව ආසාදන, ආර්ථිකයේ සම්පූර්න විවෘත කිරීමක් ගෙන එනු ඇත්තේ කුමක් ද යන්න පිලිබඳ අශුබ පූර්වනිමිත්තකි.“

මස් ඇසුරුම් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් වන නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ඩැකෝටා කෝරලය අප්‍රේල් 11 වන විට කිසිදු සිද්ධියක් වාර්තා නොකලත් දැන්, ඒක පුද්ගල පදනමින් තුන්වන ස්ථානයට පත්ව ඇත. පසුගිය මාසයේ කලාපයේ මස් ඇසුරුම් කම්කරුවන් 600 කට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු කෙරිනි. ඉලිනොයිස්, මේරිලන්ඩ්, වර්ජිනියා, විස්කොන්සින්, අයෝවා, කැන්සාස්, නිව් මෙක්සිකෝ හා තවත් බොහෝ ප්‍රාන්තවල රෝගීන් සංඛ්‍යාව තියුනු ලෙස ඉහල යමින් පවතී.

“කැපකිරීමේ අවශ්‍යතාවය” පිලිබඳ ක්‍රිස්ටිගේ ප්‍රකාශයට අමතරව, ට්‍රම්ප් 5දා පස්වරුවේ ප්‍රකාශ කලේ, ඇමරිකානු ජනතාව “රනශූරයන්” බවයි. එයින් ගම්‍ය වන්නේ වෛරසය වෙනුවෙන් ඔවුන් තම ජීවිතය කැප කිරීමට කැමැත්තෙන් සිටිය යුතු බව යි. “යුද්ධය” කුමක්ද එමෙන් ම “හේතුව” කුමක්ද?

පරිපාලනය ගෙන යමින් තිබෙන යුද්ධය වසංගතයට එරෙහි යුද්ධයක් නො වේ. එහි ප්‍රතිපත්තිය වන්නේ “රංචු ප්‍රතිශක්තිය” යන්නයි. එනම්, එය නැවැත්වීමට කිසිවක් නො කර කොරෝනා වෛරසයට වියරුවෙන් දිවීමට ඉඩ දිය යුතු බව යි.

ට්‍රම්ප් ගෙන යමින් සිටින යුද්ධය සමාජයට එරෙහි යුද්ධයකි. “කැපවීම්” යනු වෝල් වීදිය ඉල්ලා සිටින දේවල් ය. “හේතුව” සම්බන්ධයෙන් ගත් කල, එය සංගත-මූල්‍ය කතිපයාධිකාරය පොහොසත් කිරීමකි. ආරක්ෂා කල යුතු යැයි ට්‍රම්ප් හා ක්‍රිස්ටි විසින් ඉල්ලා සිටිනු ලබන “ඇමරිකානු ජීවන රටාවට” තමන්, තම පවුල් හා තම සගයන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය, ජනගහනයේ අති බහුතරයකගේ ජීවිත හා අවශ්‍යතා සමග කිසිදු සම්බන්ධයක් නැත. ඊට විපරීත ව එයින් අදහස් වන්නේ, නැවත රැකියාවට යාම හා ගොස් ලාභ සඳහා මිය යාම යි.

ට්‍රම්ප් පරිපාලනය පැහැදිලිව ම ෆැසිස්ට් ලක්ෂන සහිත ප්‍රතිපත්තියක් දොඩවමින් සිටින නමුත්, එය පන්ති උත්සුකතා පෙන්නුම් කරන ප්‍රතිපත්තියකි. වසංගතය මුලින් අවතක්සේරු කිරීමෙන් පසුව ට්‍රම්ප් පරිපාලනය හා කොන්ග්‍රසය, අර්බුදකාරී වාතාවරනය උපයෝගී කර ගත්තේ, වෝල් වීදියට ඩොලර් ට්‍රිලියන ගනනක ඇපයක් ප්‍රදානය කිරීමට යි. මහා අවපාතයෙන් පසුව දක්නට නො ලැබුනු ආර්ථික තතු හා මහා විරැකියාව සහ මරන සංඛ්‍යාව වැඩිවීමක් මධ්‍යයේ වුව ද කොටස් වටිනාකම් නිර්දය ලෙස අඛන්ඩව ඉහල යයි.

ට්‍රම්ප් පරිපාලනයේ මිනීමැරුම් ප්‍රතිපත්තිය හා වේගයෙන් ඉහල යන වෝල් වීදියේ කොටස් වෙලඳපොල, එකම ප්‍රපංචයක පැති දෙකකි. සංගත-මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා සමාජ උත්සුකයන්ගෙන් මලුමනින්ම වෙනස් අතර එයට විරුද්ධ ය. පාලක ප්‍රභූවේ පොහොසත්කම රඳා පවතින්නේ ජනතාවගේ දුක් වේදනා මත ය.

එක්සත් ජනපදයේ නය මට්ටම විශාල වශයෙන් පුලුල් කරනු ලදුව, පාලක පන්තියට තම සූරා කෑම හා හා කම්කරු පන්තියේ දරිද්‍රතාව තීව්‍ර කිරීමට බල කෙරී ඇත. නැවත රැකියාවට යාමේ පිස්සු තල්ලුව පිටුපස ඇති කේන්ද්‍රීය ගාමකය මෙය යි. මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට කිසිදු විරැකියා ප්‍රතිලාභයක් ලබා ගැනීමට නොහැකි වී ඇති අතර, ගෙවීම් ආරක්ෂන වැඩසටහනේ කොටසක් ලෙස කුඩා ව්‍යාපාරවලට නය සඳහා ඇති ප්‍රවේශය කපා හැර තිබේ. නැවත සේවයට පැමිනීම සඳහා ආර්ථික පෙලඹවීමක් ඇති කිරීම මෙහි අරමුන යි. 

පලමු වාසියට සමීප ව සම්බන්ධ, දෙවන වාසිය වන්නේ දේශපාලන සංස්ථාපිතය තුල සැලකිය යුතු විරුද්ධත්වයක් නොමැති වීමයි. කතිපයාධිකාරය දැවැන්ත ලෙස පොහොසත් කිරීමේ ප්‍රතිපත්තිය ද්වි පාක්ෂික ය. කෙයාස් පනත මගින් අනුමත කරන ලද වෝල් වීදියේ දීමනා සෙනෙට් සභාවේ දී ඒකමතිකව සම්මත කෙරුනු අතර වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් ද ඇතුලු සෑම ඩෙමොක්‍රැටිකයෙක් මෙන් ම රිපබ්ලිකානුවෙක් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කලහ.

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියේ සමාජ ඇඟවුම් සම්බන්ධයෙන් මාධ්‍ය තුල කුමන භීතියක් පැවතිය ද, ආපසු වැඩට යාමේ  ව්‍යාපාරය ද ද්විපාක්ෂික වේ. ප්‍රතිකාරය රෝගයට වඩා දරුනු නොවන” බව සහතික කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ, නිව් යෝක් ටයිම්ස් සහ “රංචු ප්‍රතිශක්තිය” මත පදනම් වූ උපාය මාර්ගයක් සඳහා දිගින් දිගටම උද්ඝෝෂනය කරන, එහි තීරු රචක තෝමස් ෆ්‍රීඩ්මන් විසිනි. ට්‍රම්ප් පරිපාලනය පලුල් මරනවලට තුඩු දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරද්දී, ඩෙමොක්‍රටික් පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් පිලිබඳ  ප්‍රකාශයක් නොමැත. 

වසංගතයට එරෙහි සටන ධනේශ්වර පද්ධතියට එරෙහි සටනකින් වෙන් කල නො හැකි බව වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ. සමාජයේ අවශ්‍යතා හා ලාභ පද්ධතිය අතර ගැටුම න්‍යායාත්මක ප්‍රශ්නයක් පමනක් නො වේ. එය සෑම දිනක ම ප්‍රායෝගිකව මතු කෙරෙන ප්‍රශ්නයකි.

සියලුම සමාජ සම්පත් යොමු කල යුත්තේ වෝල් වීදියට ඇප ලබා දීමට නො ව, වැඩකරන ජනතාවගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා ය. ජීවිතය ආරක්ෂා කිරීමට හා වෛරසය පාලනය කිරීමට සෑම පියවරක්ම ගන්නා තෙක් අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වසා තිබිය යුතු ය. ආරක්ෂිත කොන්දේසි යටතේ සිය රැකියාවට ආපසු යාමට හැකි වන තෙක් සියලුම කම්කරුවන්ට සම්පූර්න ආදායම හා සහන ලැබිය යුතු ය. උකස් , ශිෂ්‍ය නය සහ බැංකුවලට කරන වෙනත් ගෙවීම් අවලංගු කල යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය “නැවත වැඩට යාම” හා “සාමාන්‍ය තත්වයට පැමිනීම” යන උද්ඝෝෂනය නිසැකව ම හෙලා දකී.

වසංගතයට එරෙහි සටන පාලක පන්තියට එරෙහි අරගලය හා ආර්ථික හා දේශපාලන ජීවිතය මත එහි ඒකාධිපතිත්වයට එරෙහි අරගලයෙන් වෙන් කල නො හැකි ලෙස බැඳී තිබේ. එබැවින් එය නීති විරෝධී ආන්ඩුවකට හා එය ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට  එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ දේශපාලන අරගලයකි.

Loading