කොරෝනා වෛරසය සහ ඕස්ට්‍රේලියාව තුල සමාජවාදය සඳහා සටන

මෙම ලිපිය 2020 මැයි 5 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 2 වන දින පවත්වන ලද 2020 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියට ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් චෙරිල් ක්‍රිස්ප් විසින් කරන ලද කථාව පහත පලවේ. 

කොරෝනා වෛරස් වසංගතයේ එක් අංගයක් වන්නේ, ලෝක ජනගහනයේ පුලුල් කොටසක් මුහුන දෙන අත්දැකීම් ජාත්‍යන්තර ඒවා වීමයි. මෙම වෛරසය දේශසීමා මායිම් කිසිවකට යටත් නැත. වර්තමානයේදී අඩු ආසාදන හා මරන අනුපාතයන් ඇති බව පෙනෙන ඕස්ට්‍රේලියාව වැනි රටවල පවා තත්වය ඉතා වේගයෙන් වෙනස් විය හැකිය.

ආසාදන 6,800 කට ආසන්න වන අතර, මරන 93 කි. ආසාදන අනුපාතය පහත වැටී ඇති බව වාර්තා වන අතර, පරීක්ෂා කිරීම ද එසේමය. නමුත් මරන වැඩි වෙමින් පවතී. ආන්ඩුව ප්‍රකාශ කරන ප්‍රමානයට වඩා ආසාදන අනුපාතය හය ගුනයකින් වැඩි විය හැකි බව ඇක්චුඅරීස්  නීති ආයතනය ප්‍රකාශ කර තිබේ.

චෙරිල් ක්‍රිස්ප්ගේ කථාව වීඩියෝවේ 30:36 ට ආරම්භ වේ.

නමුත් මෙය නැවත වැඩට දැක්කීමේ ව්‍යායාමය වලක්වා නැත. කුමන අවදානමක් තිබුන ද ලාභ මට්ටම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආර්ථිකය නැවත පනගන්වන ලෙස ව්‍යාපාර හා සංගත ඉල්ලා සිටී.

ජීවිත බේරා ගැනීමේ වියදම සාධාරන ද යන්න තීරනය කිරීම සඳහා “මරන ගනන් කිරීම” පිලිබඳ විවෘත සාකච්ඡා පවත්වනු ලැබේ. ගනනය කිරීම නම්, සීමිත අගුලු දැමීම පවත්වා ගෙන ගියහොත්, එයින් අමතර ජීවිත 3000 ක් බේරාගත හැකි ය, නමුත් එක් අයෙකුට ඩොලර් මිලියන 9 ක් වියදම් කිරීමෙනි. එම වියදම අධිකය.

කොරෝනා වෛරසය හමුවේ ජීවිත ගලවා ගැනීමේ සීමාවන් ඉවත් කිරීමෙන්, ආසාදන හා මරන වැඩි වන බව ආන්ඩු පුලුල් ලෙස පිලිගෙන තිබේ. 

 විශේෂයෙන් ගුරුවරුන් ඉලක්ක කර ඇත්තේ, පාසල් විවෘත නොකර ආර්ථිකය නැවත ආරම්භ නොවන බැවිනි. තමන් දුක්ගන්නා රාලලා ලෙස යොදා ගැනීම පිලිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රය පුරා පැතිර ඇත්තේ දැඩි කෝපයකි. ආසාදන අවදානම නොතකා වෘත්තීය සමිති විසින් ගොඩනැගිලි පරිශ්‍රයන් සහ කර්මාන්තශාලා විවෘතව තබන බවට සහතික වීම සම්බන්ධයෙන් ද මෙවැනිම විරෝධයක් පවතී. පීපීඊ ආරක්ෂන මෙවලම් දැඩි හිඟයකට මුහුනපා සිටීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් සිය ගනනකට වෛරසය ආසාදනය වී ඇත. අධික ආසාදනය හේතුවෙන් ටස්මේනියාවේ රෝහල් දෙකක් වසා දමා,  කාර්ය මන්ඩලයේ සියල්ලන්ම හා  ඔවුන්ගේ පවුල් නිරෝධායනය කර, රෝහල හමුදාව භාරයට ගෙන ඇත.

ආර්ථිකය නැවත විවෘත කිරීම මගින් ජනගහනයෙන් අවම වශයෙන් සියයට 40 ක් වත් ඇතුලත් වන පරිදි, ඔවුන් සුපරීක්ෂනය කල හැකිය. ආසාදනය පැතිර යාම නොවැලක්විය හැකි අවස්ථාවක දී, හමුදාව යොදාගත හැකිවන පරිදි, ප්‍රදේශ මත සීමාවන් පනවා අගුලු දමා ඇත.

ඩොලර් බිලියන 320 ක් වන ආන්ඩුවේ ඇපදීමේ පැකේජය - ඉතිහාසයේ විශාලතම හා 2008-9 ගෝලීය මූල්‍ය අර්බුදය හමුවේ සිදු කල ඇපදීම මෙන් 10 ගුනයක් පමන - හරහා ධනය තවදුරටත් දුප්පතුන්ගෙන් පොහොසතුන් වෙත මාරු කර යවනු ඇත. ඇත්ත වශයෙන්ම, ෆෙඩරල් සන්ධාන ආන්ඩුවක සහ ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් තථ්‍ය ජාතික එක්සත් කැබිනට් මන්ඩලයක් මෙම දීමනා පිරිනැමීමට එකඟවී ඇත.

ජනගහනයෙන් සියයට 27.4 ක් රැකියා විරහිත හෝ ඌන සේවා නියුක්තිකයන් ය. රැකියා මිලියන ගනනක් ආරක්ෂා කර ගැනීම සඳහා ආරම්භ කරන ලද ජොබ්කීපර් වැඩසටහන වංචාවක් ලෙස හෙලි වී තිබේ. අවම වශයෙන් විදේශීය සිසුන් හා අනියම් සේවකයින් ඇතුලු මිලියන 2 ක ජනතාවකට ඒ සඳහා ඉල්ලුම් කිරීමට පවා නොහැකිය. ආහාර සැපයුම් මධ්‍යස්ථාන වලට ඉල්ලුම් කර ඇති ජනතාව සියයට 150 ට වඩා වැඩි වී තිබෙන අතර මිලියන 4 කට ආසන්න ජනතාවක් එක රැයකින් රැකියා වලින් දොට්ට වැටී, පැවැත්ම සඳහා අරගලයක නිරතව සිටිති.

අධ්‍යාපනය, සෞඛ්‍යය හා සමාජ වැඩසටහන් සඳහා වන ආන්ඩුවේ වියදම් කපා හැරීම තුලින් ඇපදීමේ පැකේජය පියවා ගත යුතු අතර, කම්කරු පන්තියේ ජීවන කොන්දේසි වලට එක දිගට පහර එල්ල කරනු ඇත.

 කම්කරුවන්ගේ වැටුප් මට්ටම් සහ සේවා කොන්දේසි විනාශ කිරීම සඳහා වසංගතය කඩතුරාවක් ලෙස භාවිතා කරනු ලැබේ. මෙය වසර 20 ක් තිස්සේ ආන්ඩු වලට කර ගත නොහැකි ව ඇති දෙයකි. ඉහල වෘත්තීය සමිති මන්ඩලයේ පූර්න අනුග්‍රහය ඇතිව,  ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය සහ කම්කරු පක්ෂය, කොන්ත්‍රාත් අයිතිවාසිකම් සහ කොන්දේසි අහෝසි කිරීමට අනුමැතිය දී ඇත. සමිති කවුන්සලයේ සභාපති සැලි මැක්මනස්, නීති සම්පාදනය කිරීමෙන් නොව වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, තමන්ට අවශ්‍ය සියල්ල ලබා ගත හැකි බව ආන්ඩුවට සහතික වී තිබේ.

කම්කරුවන් මිලියන 2.5 ක් ආවරනය කරමින් සතියක් වැනි කෙටි කාලයක් තුලදී “කිසිදු කරදරයක්” නැතිව එය ඉටුකරගත හැකි යයි පවසමින් ඇය, මේ සඳහා බොහෝ කාලයක් ගතවනු ඇතැයි යන ආන්ඩුවේ බිය දුරු කලාය. එක පෑන් පහරකින්  සාමාන්‍ය පැය ගානට වඩා වැඩ කිරීම සඳහා අමතර වැටුප් ගෙවීම ඉවත් කර අවම වැඩ පැයගනන අඩු කරනු ඇත.

ලිබරල්-ජාතික සන්ධානය, කම්කරු ආන්ඩු, හරිතයන් හෝ වෘත්තීය සමිති යනාදී ධනවාදයේ සියලු දේශපාලන නියෝජිතයින්ගේ ප්‍රතිචාරයෙන් හෙලි වී ඇත්තේ, ධනවාදය යටතේ කම්කරුවන්ට ඔවුන්ගේ ජීවන කොන්දේසි, අයිතිවාසිකම් සහ දැන් නම් ඔවුන්ගේ ජීවිත පවා ආරක්ෂා කර ගත නොහැකි බවයි.

පසුගිය මාසවල අත්දැකීම් මගින් මානව වර්ගයාට ඇති ලොකුම තර්ජනය වන ධනවාදයේ සැබෑ මුහුනුවර හෙලිදරව් වී තිබේ. සමාජයට ඉදිරියට යා හැකි එකම ක්‍රමය වන සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් සඳහා කම්කරුවන්, තරුනයින් සහ වෘත්තිකයන් සටන් කල යුතුය.

මේ සඳහා කම්කරු පන්තිය තුල, නව විප්ලවවාදී සමාජවාදී නායකත්වය ලෙස, සමාජවාදී සමානතා පක්ෂ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම අවශ්‍ය වේ.  අද අපේ පක්ෂයට බැඳෙන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි.

Loading