ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ වෙනිසියුලාවේ “බේ ඔෆ් පිග්ස්” මෙහෙයුම

මෙම ලිපිය 2020 මැයි 7 දා ඉංග්‍රීසි භාෂාවෙන් පල කෙරිනි.

මේ සතිය මුලදී වෙනිසියුලාවේ වෙරල තීරයට එක්සත් ජනපදයේ ප්‍රමුඛ කුලී හේවායන්ගේ අසාර්ථක වූ සන්නද්ධ ගොඩබැසීම් දෙක මගින් පැහැදිලි කෙරී ඇත්තේ ගෝලීය කොරෝනා වසංගතය සහ එය ඇමරිකානු ජනතාව කඩාපාත් කර ඇති මරනය හා විනාශය මගින් දකුනු ඇමරිකාවේ සහ ලොව පුරා ඇමරිකන් අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී හා සාපරාධී භූ මූලෝපායික අවශ්‍යතා ලුහුබැඳීම තුනී කිරීමට කිසිවක් සිදුවී නොමැති බවයි. 

ගොඩබැසීම් දෙකෙන් පලමුවැන්න වෙනිසියුලානු අගනුවර වන කැරකස් සිට පැය භාගයක දුරක පිහිටි ලා ගයිරා ප්‍රාන්තයේ මාපුටෝහි ඉරිදා අලුයම සිදුවිය. වෙනිසියුලානු හමුදා කපිතාන්වරයෙකු වන “පැන්ටෙරා” (පැන්තර්) නමින් හැඳින්වෙන කන්ඩායමේ නායකයා ඇතුලු වෙරලට පැමිනි සන්නද්ධ භටයන් අට දෙනෙකු ඝාතනය කරන ලද අතර සෙසු අය අල්ලා ගනු ලැබින. 

දෙවන ගොඩබෑසීම ද සිදු වූයේ සඳුදා කැරකස් නගරයට බටහිර දෙසින් වෙනිසියුලාවේ කැරිබියානු වෙරල තීරයේ අරගුවා ප්‍රාන්තයේ චුවාඕ අර්ධද්වීපයේ ය. මෙහිදී සන්නද්ධ ආක්‍රමනිකයන් දේශීය ධීවරයන්ට හසුව වෙනිසියුලානු ආරක්ෂක අංශ වෙත භාරදෙනු ලැබින.

වෙනිසියුලාවේදී අල්ලා ගැනීමෙන් පසු එජ කුලී හේවායන් වන ලූක් ඩෙන්මන් (ඉහලින් රවුම් කෙරුනු) සහ අයිරන් බෙරී (පහල).

අල්ලා ගැනුනු අය අතර සිටි දූෂන චෝදනා මත සිරගෙට යවන ලද වෙනිසියුලානු හිටපු ආරක්ෂක ඇමතිවරයෙකුගේ පුත් ජොස්නාර් ඇඩොල්ෆෝ බඩුවෙල් කුමන්ත්‍රන මාලාවක කේන්ද්‍රයේ සිට ඇත. අල්ලා ගැනුනු අනෙක් සිරකරුවන් දෙදෙනා ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු වන 34 හැවිරිදි ලූක් ඩෙන්මන් සහ 41 හැවිරිදි අයිරන් බෙරී වූ අතර ඔවුන් දෙදෙනාම එජයේ හිටපු විශේෂ මෙහෙයුම් භටයන් ලෙස හඳුනාගෙන තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක හමුදාව වෙනුවෙන් වැඩ කරන බව ඇමරිකානුවන් දෙදෙනා තමාට පැවසූ බව බඩුවෙල් වෙනිසියුලානු බලධාරීන්ට පැවසීය. 

වෙනිසියුලානු නිලධාරීන් විසින් අල්ලා ගන්නා ලද ඇමරිකානුවන් දෙදෙනාගේ ගමන් බලපත්‍ර සහ හමුදා හැඳුනුම්පත් සහ කුලී හේවායන් සමඟ අල්ලා ගනු ලැබූ ආයුධවල ඡායාරූප ද මාධ්‍යයට පෙන්වනු ලැබ ඇත. වෙනිසියුලාවේ ජනාධිපති මදුරෝව ඇමරිකාවට පැහරගෙන යාම සඳහා ගුවන් යානා ගෙන්වා ගැනීම සඳහා කැරකස් ගුවන්තොටුපලෙහි පාලනය අත්පත් කර ගැනීම ඔහුගේ මෙහෙයුම වූ බව ප්‍රශ්නකිරීමකදී ඩෙන්මන් විසින් පවසනු ලබන ප්‍රශ්න කිරීමේ වීඩියෝවක් ද ඔවුන් විසින් නිකුත් කරන ලදී. මෙහෙයුම මෙහෙයවන්නේ කවුදැයි ඇසූ විට ඔහු පිලිතුරු දුන්නේ “ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්” යනුවෙනි.

මෙහෙයුමේ කේන්ද්‍රයේ ඇමරිකා එජ යේ සිල්වර් කෝප් හි ෆ්ලොරිඩා ප්‍රාන්තය මත පදනම්වූ පෞද්ගලික ආරක්ෂක කොන්ත්‍රාත් සමාගමක් පවත්වාගෙන යන ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ [ඇමරිකානු විශේෂ කාර්ය බලකායක් වන]ග්‍රීන් බෙරෙට් හි ප්‍රවීනයෙකු වූ ජෝර්දාන් ගූඩ්රෝ විය. ඔහුගේම වාර්තාවලට අනුව, ගුඩ්‍රෝ වෙනිසියුලානු දක්ෂිනාංශය සහ කීත් ෂිලර් විසින් එතුල සංවිධානය කෙරෙන ඇමරිකාවේ පිටුබලය ලබන කුමන්ත්‍රන සමග කල්ලි ගැසී සිටියේය. කීත් ෂිලර් ඕවල් කාර්යාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස සේවය කල ට්‍රම්ප්ගේ දිගුකාලීන ආරක්ෂකයා විය. එතැන් සිට, ට්‍රම්ප්ගේ රැලිවලදී ආරක්ෂාව වෙනුවෙන් ගූඩ්රෝ වැඩ කරන ආකාරය පෙන්වන වීඩියෝ දර්ශන මතු වී තිබේ.

එජ බුද්ධි අංශ හා වෙනිසියුලානු දක්ෂිනාංශය සමඟ මිලිටරි කොන්ත්‍රාත්කරුගේ සබඳතාවන් පැහැදිලි වූයේ බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන රිචඩ් බ්‍රැන්සන් විසින් වියදම් කරන ලද වෙනිසියුලානු-කොලොම්බියානු දේශ සීමාවේ පැවැති ප්‍රසංගයකට ආරක්ෂාව සැපයීම සඳහා 2019 පෙබරවාරි මාසයේදී ඔහු කුලියට ගත් විට ය. මෙය වෙනිසියුලාවට ව්‍යාජ ආධාරක බලකායන් බලෙන් යැවීමට තැත් කල අසාර්ථක සීඅයිඒ ට්‍රෝජන් අශ්ව මෙහෙයුමක කොටසක් විය. 

නවතම මෙහෙයුමේ වගකීම ගූඩ්රෝ ප්‍රසිද්ධියේ භාරගෙන ඇති අතර, එය තවමත් සිදුවෙමින් පවතින බවත්, එහි අරමුන “මදුරෝ ආන්ඩුව පෙරලා දැමීම” බවත් කියා සිටී. සමුද්‍රීය ආක්‍රමනයේ අසාර්ථකත්වය නොතකා වෙනිසියුලාව තුල අනෙකුත් කන්ඩායම් ක්‍රියාකාරීව පවතින අතර “උපායශීලී ඉලක්ක වලට පහර දීමට පටන් ගනී” යැයි ඔහු පැවසීය, වෙනත් වචනවලින් කිවහොත් ත්‍රස්තවාදී රැල්ලක් දියත් කිරීමයි.

ඊට අමතරව, පසුගිය වසරේ ජනවාරි මාසයේදී වෙනිසියුලාවේ “අන්තර්වාර ජනාධිපති” ලෙස තමන්ම ප්‍රකාශයට පත් කල සහ ක්ෂනිකව වොෂිංටනය සහ එහි සහචරයින් වෙනිසියුලාවේ “නීත්‍යානුකූල ආන්ඩුව” ලෙස අභිෂේක කරන ලද දක්ෂිනාංශික දේශපාලනිකව නොවැදගත් අයෙකු වන ජුවාන් ගුයිදෝ සහ තමා අතර අත්සන් කරන ලද අන්තර්ජාලය හරහා පල කරන ලද කොන්ත්‍රාත්තුවේ වලංගුභාවය ගූඩ්රෝ විසින් සනාථ කරන ලදී.

එජ ආන්ඩුව විසින් වෙනිසියුලාවෙන් සොරකම් කල තෙල් සම්පත්වලින් සහතික වූ ගාස්තුව සමඟ සන්නද්ධ මැදිහත්වීම සඳහා ඇමරිකානු ආරක්ෂක කොන්ත්‍රාත්කරුට ඩොලර් මිලියන 213 ක් ගූඩ්රෝට ගෙවීමට එජ රූකඩයා වූ ගුයිදෝ එකඟ වූ ඉංග්‍රීසියෙන් පටිගත කරන ලද සංවාදයක් ද නිකුත් කරනු ලැබ ඇත.

පොරොන්දු වූ ගෙවීම් කිරීමට ගුයිදෝ අසමත් වූ බව ගූඩ්රෝ කියා සිටියේය. කෙසේ වෙතත්, නිශ්චිත විධිවිධානය කුමක් වුවත්, කුලී හේවා හමුදාවක් සංවිධානය කිරීම සහ එය වෙනිසියුලාවේ වෙරලට යෙදවීම සඳහා යමෙකු මුදල් ගෙවූ බව පැහැදිලිය. එය රූකඩය විසින්ද, රූකඩයේ ස්වාමියා විසින්ද යන කරුනෙහි එතරම් වෙනසක් නැත. 

මීට යාන්තම් වසරකට පෙර මිලිටරි කුමන්ත්‍රනයක් අවුලුවාලීමට තැත් කල ගුයිදෝ ඒ වනවිටත් හිරගෙයි නොලා සිටියේනම් එයට හේතුව වන්නේ,  පහලින් එන විප්ලවීය පිපිරීමක් වලක්වා ගනිමින් වෙනිසියුලානු ධනවාදය ගලවා ගැනීමට,  එජ අධිරාජ්‍යවාදය සහ සාම්ප්‍රදායික කතිපයාධිකාරය සමග කොන්ත්‍රාත්තුවක් ගසාගත හැකි මැදිහත්කරුවෙකු ලෙස මදුරෝගේ “බොලිවේරියානු සමාජවාදී” ධනේශ්වර ආන්ඩුව විසින් ගුයිදෝ සලකා ගන්නා බැවිනි.

වෙනිසියුලාව මුහුදු මාර්ග හරහා ආක්‍රමනය කිරීමට දැරුනු තැත් කිරීම ගැන විමසූ විට ට්‍රම්ප් කියා සිටියේ තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවත්  “අපේ ආන්ඩුව සමඟ කිසිදු සම්බන්ධයක් නැති” බවත් ය.

එජ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ බදාදා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තරමක් කොන්දේසි සහිත පිලිතුරක් ලබා දෙමින් ප්‍රකාශ කලේ, “මෙම මෙහෙයුම තුල එජ ආන්ඩුවට සෘජුවම සම්බන්ධයක් නොතිබූ” බවයි. “සිදුවූයේ කුමක්දැයි අප දන්නා දේ පිලිබඳ වැඩිදුර තොරතුරු බෙදා ගැනීමට මා සූදානම් නැත” යනුවෙන් ඔහු පැවසීය.

අල්ලා ගන්නා ලද එජ මිලිටරි සෙබලුන් දෙදෙනා සම්බන්ධයෙන් පොම්පියෝ ප්‍රකාශ කලේ වොෂින්ටනය “අපට ඇති සෑම මෙවලමක්ම භාවිතා කරමින් නැවත ඔවුන් ලබා ගැනීමට වෑයම් කරනු ඇති” බවයි.

ඔවුන් ආපසු එවන ලෙස එජ ට ඉල්ලා සිටිය හැක්කේ කුමන පදනම් මත ද යන්න ගැන රාජ්‍ය ලේකම්වරයා කීවේ නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැරගෙන යාමේ හෝ ඝාතනය කිරීමේ අරමුනින් එක්සත් ජනපදය ආක්‍රමනය කිරීමේ චෝදනා මත  සිරභාරයට ගත් විදේශීය ජාතිකයන් දෙදෙනෙකුට ත්‍රස්තවාදී චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හෝ ඊටත් වඩා දරුනු ලෙස ද දඬුවම් ලැබෙනු ඇති බවට යාන්තමින් හෝ සැකයක් තිබිය හැකි ද?

සන්නද්ධ ආක්‍රමනයන් දිග හැරී ඇත්තේ,  යුද ප්‍රකාශ කිරීමට සමාන වන එරට අඩපන කරන සම්බාධක වෙනිසියුලාවට එරෙහිව පනවන “උපරිම පීඩනය යෙදීමේ” උද්ඝෝෂනයක සන්දර්භය තුල ය. රටට එරෙහි ක්‍රියාවට දමා ඇති සම්බාධක පැනවීමක් මගින් එහි ඉන්ධන අපනයනය අත් හිටුවා ඇත. එමෙන්ම, කොරෝනා වෛරස් වසංගතය ආරම්භ වීමටත් පෙරාතුවම,  ලක්ෂ ගනනකගේ මරනවලට පාර කපමින්, අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආනයනය කිරීමෙන් එරට වලක්වා තිබේ. වෛරසයට පැතිරීමට පටන්ගත් තැන් පටන්, රෝගය සහ මරනය ආයුධයක් ලෙස යොදා ගැනීමට වෑයම් කරමින් එජ අධිරාජ්‍යවාදය වෙනිසියුලානු ජනතාවට යටත් කරවා ගැනීමට බල කිරීම සඳහා මෙන්ම  පාලන තන්ත්‍ර මාරුව සඳහා වන එහි තල්ලුව පරිසමාප්තියට ‍ගෙන එ්ම සඳහා සම්බාධක දැඩි කර ඇතිවා පමනි. 

එජ යේ මරන සංඛ්‍යාව ඉහල ගොස් ආර්ථිකය කඩා වැටෙද්දී පවා, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමේ ව්‍යාජය මත වෙනිසියුලාවේ කැරිබියානු වෙරලට ඔබ්බෙන් වූ සාගරයට නාවික කාර්ය සාධක බලකායක් යෙදවීමට ට්‍රම්ප් නියෝග කලේ ය. ඒ,  අති දැවැන්ත ප්‍රමානයක් මත්ද්‍රව්‍ය බොගෝටා, ටෙගුසිගල්පා සහ ග්වාතමාලා නගරයේ වොෂිංටනයේ දක්ෂිනාංශික සගයන්ගේ ආරක්ෂා යටතේ මධ්‍යම ඇමරිකාව හරහා කොලොම්බියාව සහ පැසිෆික් සාගරය හරහා එක්සත් ජනපදය තුලට  ගලාඑමින්  තිබියදීත් ය. මෙම මෙහෙයුමට යවන ලද අධිවේගී යුධ නෞකා සහ වෙරලබඩ සටන් නැව් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට ගැලපෙන අයුරින් නිර්මානය කෙරී නොමැත.

වෙනිසියුලාවේ වෙරල තීරයේ සිදු වූ නින්දිත සිදුවීම් සිහිපත් කරන්නේ, එජ අධිරාජ්‍යවාදයේ දීර්ඝකාලීන හමුදා ආක්‍රමන, අර්ධ යටත් විජිත සූරාකෑම සහ ලතින් ඇමරිකාවේ පොලිස් රාජ්‍ය මර්දනය පිලිබඳ අඳුරුතම පරිච්ඡේදයන් ය. 1961 දී ව්‍යසනකාරී බේ ඔෆ් පිග්ස් නමින් හැඳින්වූ  කියුබානු ආක්‍රමනය ඇතුළුව පෙර සිදු කෙරුනු එජ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් අප්‍රසාදයට පත්වූ  අතර, වොෂිංටන් නිලධාරීහු මුලදී එජ යේ මැදිහත්වීම පිලිබඳ කොන්දේසි විරහිත ප්‍රතික්ෂේප කිරීම් නිකුත් කලහ. ඒ හා සමානව, 1980 ගනන්වල නිකරගුවාවට එරෙහි “කොන්ට්‍රා” ත්‍රස්තවාදී යුද්ධයට අරමුදල් සැපයීමේ නීතිවිරෝධී මෙහෙයුමේදී, සීඅයිඒ කොන්ත්‍රාත්කරු ඉයුජින් හසන්ෆස් විසින් කුලී හේවායන්ට ආයුධ ගුවනින් ගෙනයාමේදී වෙඩි තබා හෙලන තෙක් වොෂිංටනය විසින්  දිගටම ප්‍රතික්ෂේප කෙරිනි.

බේ ඔෆ් පිග්ස් ආක්‍රමනය සහ ඊනියා ඉරාන-කොන්ට්‍රා සිදුවීම වොෂිංටනයේ විශාල දේශපාලන අර්බුද ඇති කරමින් ඇමරිකානු මාධ්‍ය විසින් සමීප විභාගකිරීමකට ලක් කෙරිනි. කෙසේවෙතත්, එජ විසින් වෙනිසියුලාව ආක්‍රමනය කිරීම පිලිබඳ වාර්තා සංගත මාධ්‍ය විසින් නිහඬව සම්මත කෙරුනු අතර බයිඩ්න්ගේ  සිට සැන්ඩර්ස් දක්වා ඩිමොක්‍රටික් පක්ෂය තුල ට්‍රම්ප්ගේ  දේශපාලන විරුද්ධත්වය යැයි කියන  පාර්ශවයෙන් මෙයට විරුද්ධ වචනයක්වත් ප්‍රකාශයට පත් නොකෙරිනි. වෙනිසියුලාවේ පාලන තන්ත්‍ර මාරුකිරීමේ මෙහෙයුම පිටුපස ඔවුහු සියල්ලෝම පෙල ගැසී සිටිති.

ඇමරිකාවේ පාලක කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්ට සේවය කරන මෙම මෙහෙයුමේ අරමුන වන්නේ, එරට සතු ග්‍රහලෝකයේ විශාලතම තෙල් සංචිත මත එජ බලශක්ති සමාගම්වල නිර්බාධිත පාලනය තරවුරු කිරීම සහ සමස්තයක් ලෙස ගත් කල, එජ අධිරාජ්‍යවාදය දිගු කලක් පුරා එහි “පිටුපස මිදුල” ලෙස සලකනු ලැබු වෙනිසියුලාව සහ ලතින් ඇමරිකාව තුල චීනයේ සහ රුසියාවේ වැඩෙන බලපෑම පෙරලා දැමීමයි.

මිලියන ගනනකගේ ජීවිතවලට තර්ජනය කරමින් ලෝක ව්‍යාප්ත කොරෝනා වයිරස් වසංගතය මධ්‍යයේ, එජ අධිරාජ්‍යවාදය සිය කොල්ලකාරී අවශ්‍යතා පසුපස හඹා යන්නේ මිලිටරි ආක්‍රමන මගින් බිලියන ගනනක් මරා දමන තවත් ලෝක යුද්ධයක් අවුලුවාලීමට තර්ජනය කරමිනි.

ධනවාදය හා අධිරාජ්‍යවාදය අවසානයකට ගෙන ඒම සඳහා වන පොදු අරගලයක් තුල ජාතික සීමාවන් ඉක්මවා එ්කාබද්ධ වෙමින්,  කම්කරු පන්තියටම පමනක් මානව වර්ගයාගේ පැවැත්මට එල්ල වන බිහිසුනු තර්ජනයන්ට විකල්පයක් සැපයිය හැකි ය.

Loading