වසංගතයෙන් අනාථ වූ ලංකාවේ කම්කරු පිරිසක් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටලා පිහිට ඉල්ලති

කොරෝනා වසංගතය හමුවේ රැකියා, වැටුප්, නේවාසික පහසුකම් අහිමිව කුවේටයේ අනාථව සිටින ශ්‍රී ලාංකික කම්කරුවෝ සිය ගනනක්, ඔවුන් වහාම ලංකාවට ගෙනයන ලෙස ඉල්ලමින්, අප්‍රේල් 21 දා, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැටලූහ.

වීසා නොමැති කම්කරුවන්ට අප්‍රේල් 25 දා තෙක් ලබා දී තිබූ පොදු සමා කාලය අවසන් වීමට පෙර වහාම තම කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබුන ද, එය දිගින් දිගටම වසා තිබුනු බැවින් අසහනයට පත් කම්කරුවෝ කාර්යාලය වටලා ඇත. 

තානාපති කාර්යාලයේ මෙම ප්‍රතිචාරය විදෙස්ගත කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් ලංකාවේ ආන්ඩුවේ නොතැකීම ප්‍රදර්ශනය කරන්නකි. කම්කරුවන් මුහුන දී ඇති අන්තරායකාරී තත්වය ඔවුන් විවිධ මාධ්‍යයන් ඔස්සේ පලකර ඇත.

කුවේටයේ පමනක් නොව, මැදපෙරදිගට අයත් විවිධ රටවල සේවයේ නියුතු විදේශීය කම්කරුවෝ මෙම තත්වයට මුහුන දී සිටිති.

කටාර්හි සේවය කරන කැලනියේ මුද්‍රන කම්කරුවෙකු වූ රුක්මාල් පැවසුවේ තමන් සමග එකම කාමරයේ සිටි කම්කරුවෙකුට කොරෝනා වැලඳී රෝහල් ගත කල නිසා සෙසු කම්කරුවන්ට රෝගය වැලඳී ඇත්දැයි පරික්ෂා කරන ලෙස කල ඉල්ලීම පවා බලධාරීන් ප්‍රතික්ෂේප කල බවයි.

ඩුබායි හි සිටින වසන්ත පැවසුවේ, එරට රජයෙන් අනුමත කල ගොඩනැගිලිවල පමනක් නවාතැන් සැපයිය යුතු බවට නීතියේ සඳහන් නමුත්, මිනිස්බල කොන්ත්‍රාත්කරුවන් විසින්, වර්ග අඩි 150 ක් පමන වන කාමරයක හය දෙනෙකු බැගින් රඳවා සිටින බව යි. වසංගතයෙන් යමෙකු ආසාදිත වුවහොත් අනෙක් සියලු දෙනාටම රෝගය වැලඳීමේ දැඩි අවදානමක් එහි පවතින බව වසන්ත කීවේය.

ලක්ෂ තුනක් පමන ශ්‍රී ලාංකිකයින් රැකියාවේ නියුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුලු කොරෝනා රෝගීන් ගනන 17,000 ඉක්මවා ඇත. ඉරානයේ රෝගීන් 106,000 වැනි ඉහල අගයක පවතින අතර මැද පෙරදිග සියලු රටවල් අලලා ගෙන රෝගය පැතිරෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකායෙන් සියයට 23 ක් වන මිලියන 1.9 ක  ප්‍රමානයක් ජීවනෝපාය සපයා ගන්නේ විදේශයන්හි රැකියාවේ නියුතු වීමෙනි. 2017 විදේශ සේවකයන් පිලිබඳ වාර්ෂික වාර්තාවට අනුව මෙයින් සියයට අනූවක් පමන මැදපෙරදිග රටවල සේවය කරති.

ලංකාවෙි විදේශ විනිමය උපයන ප්‍රධානතම මාර්ගය වන මෙය 2018 දී ඩොලර් බිලියන 7 ක් ජාතික ආදායම ට එකතු කර ඇත. එය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 7.9කි. අයිපීඑස් වාර්තාවක් උපුටා දක්වමින් ඬේලි නිව්ස් පුවත්පත වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ  කුටුම්භයන්ගෙන් සියයට 8.7 හෙවත් දොලහෙන් එකක් මොවුන්ගෙන් ලැබෙන ප්‍රේෂනවලින් යැපෙති.

වත්මන් ගෝලීය වසන්ගතය හමුවේ ඔවුන් මුහුන දී සිටින බොහොමයක් ගැටලුවලට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම අත්‍යවශ්‍ය වුවද ආන්ඩුව එම වගකීමෙන් අතපිසදාගෙන කම්කරුවන්ගේ ජීවිත අනතුරේ හෙලා තිබේ.

ඇතැම් පිරිසකගේ කොන්ත්‍රාත් අවසන් වී ඇති නමුත් ගුවන් ගමන් ඇනහිටීම නිසා තම රට බලා යාමට නොහැකිව සිටින අතර,  වීසා බලපත්‍රවල විවිධ ගැටලු නිසා තවත් දහස් ගනනක් උදව් බලාපොරොත්තුවෙන් සිටිති. 

විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය අප්‍රේල් 25 දා  නිකුත් කල මාධ්‍ය නිවේදනය ට අනුව කුවේටයේ පමනක් මේ තත්ත්වයේ පසු වන ශ්‍රමිකයන් ගනන 19,000 කි. මෙයින් තුන්දහසක් වීසා බලපත්‍ර අලුත් කිරීමට නො හැකි වූ අයයි. සංචාරක වීසා වලින් රැකියා සඳහා ගිය අයද වැටුප් ප්‍රශ්න, හිරිහැර හා විවිධ හේතු නිසා රැකියා ස්ථානය හැර ගොස් වෙනත් තැනක රැකියාවක නිරත වූ අය ද මේ අතර සිටිති.

සුපුරුදු පරිදි වැටුප් නොලැබීම නිසා ඔවුහු, ලංකාවේ වෙසෙන තම පවුල් වල සාමජිකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි වීම පිලිබඳව බලගතු ලෙස තැවෙති. 

”අපි අසරන තත්ත්වයට පත්වෙලා ඉන්නේ අපේ ගෙවල් වලට පුලුවන් උදව්වක් කරන්නැ” යි දැනට මාස හයක් වැටුප් නොලබා ලෙබනනයේ සේවයේ නිරතව සිටින ඉනෝකා ඉල්ලා සිටී. 

තවත් මැදපෙරදිග රටක කාමරයක කොටු වී සිටින මල්කාන්ති, දෙපා ශල්‍යකර්මයකට බඳුන් කර ඇති, බදුරලිය කන්දවත්තේ පදිංචි සිය දියනියට සහන සලසන මෙන් ප්‍රසිද්ධ ආයාචනයක් කර ඇත. 

සෞදි අරාබියේ දමාම් වල සේවය කරන ලාල් රන්ජන් වීරසිංහ තමන් රැකියාවක් නොමැතිව සිටින හෙයින් තම පවුලට සහයෝගය දෙන මෙන් ඉල්ලා සිටී.

දැනටමත් රැකියා අහිමි ව, අනාරක්ෂිත කොන්දේසි යටතේ ජීවත්වන ඔවුහු වසංගතයට ගොදුරු වීමේ අවස්ථා මග හැරීම සඳහා වහා මව් රටට පැමිනීමට යත්න දරති.

යූටියුබ් මගින් වීඩියෝවක් ප්‍රචාරය කල කුවේට් හි ලාංකික කම්කරු පිරිසක් මේ තත්ත්වයෙන් තමන් බේරා ගෙන මව් රටට ගෙන ඒමට ආධාර කරන මෙන් ආයාචනය කරති. වෙනත් රටවල කම්කරුවන් පිරිසක් ද සමග එකම ගොඩනැගිල්ලක ඉතා අනතුරු දායක ලෙස ජීවත් වන බව ඔවුහු පවසති. මෙවැනි වීඩියෝ ගනනාවක් ම මේ වන විට යූ ටියුබ් සහ මුහුනු පොත තුල පල වී ඇත.

සාජා හි මුද්‍රන කම්කරුවකු වන ආර්. වික්‍රමනායක පැවසුවේ ගිය මාසයේදී තම වටුප සියයට 50  කින් කප්පාදු කල බවය. මේ මාසයේ දී එය සියයට 40 දක්වා තවත් කපාදමා ඇත. ඒ අනුව ඩිරාම් 1600 ක් වූ ඔහුගේ වැටුපෙන් මෙවර ඔහුට හිමිවුනේ ඩිරාම් 640 කි. ආන්ඩුවේ රෝහල් රෝගීන්ගෙන් පිරීතිරී ඇති බවත් රෝගය වැලඳුනහොත් තමා සිටිනා ස්ථානයේ ම රැඳී සිටින ලෙස දැනුම් දී ඇති බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකා ආන්ඩුව ඉන්න තැනක ප්‍රවේසමෙන් ඉන්න හා ලියා පදිංචි වන්න යනාදී වශයෙන් උපදෙස් දෙනවා ට වඩා කිසිවක් කර නැති බව ඔහු පවසයි.

කම්කරුවන් දිගින් දිගටම කල ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස   අප්‍රේල් 8, උදෑසන ඩුබායි සිට මගීන් 197 දෙනෙකු රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොලට ලඟා විය. මෙය කම්කරුවන්ගෙන් හා ඔවුන්ගේ පවුල්වල අයගෙන් වසන් කරන ලද සම්පූර්නයෙන්ම රහසිගත මෙහෙයුමක් ලෙස සිදු කෙරුනි. එය ආරංචි වුවහොත් විදේශයන් හි සිරවී සිටින අනෙකුත් කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ඉල්ලීම් ද වැඩිදියුනු වෙතැයි ආන්ඩුව ගනන් බලා ඇත.

බහුතරයක් දෙනාට එම අවස්ථාව ලබාගැනීමට මූල්‍යමය හැකියාවක් නොවූ බවට කම්කරුවෝ චෝදනා කරති. ඩුබායි හි සේවය කරන රූපලාවන්‍ය, කොන්ඩා මෝස්තර සහ අංග රචන ශිල්පිනියක් වන ලිහිනි හංසනි, මේ සම්බන්ධයෙන් තබන මුහුනුපොත් සටහනක මෙසේ කියයි: ”මටත් ඊයේ හවස 4.30 ට විතර එම්බසි එකෙන් කෝල් එකක් දුන්නා, රෑ දහයට යන ෆ්ලයිට් එකක් ගෑන. ටිකට් එක රුපියල් 168,000යි. ඩිනාර් 2700ක් විතර. එච්චර සල්ලි තියෙනවා නම් මම රෙන්ට් එක ගෙවා ගෙන මෙහෙම ඉන්නවා”

එමෙන්ම ආන්ඩුව මෙම ගුවන් ගමන් වාරය යොදාගෙන ඇත්තේ බහුතර විදේශ කම්කරුවන්ගේ අවශ්‍යතා මත නොව තම හිතවතුන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතා අනුව යම් තෝරාගත් කන්ඩායමක් වෙනුවෙන් බව කම්කරුවන් අතරේ මතුවන විරෝධතා වලින් හෙලිදරව් වේ.

”ඩුබායි සිට ලංකාවට ගියේ කවුද? අන්ත අසරන අය ද? වහා ම සොයන්න. සත්‍ය වසන් කිරීමට ඉඩ නො දෙන්න” යනුවෙන් ඩුබායි හි සේවය කරන අනුර වසන්ත සමාජ මාධ්‍ය මගින් කැඳවීමක් කර තිබින. 

”එහෙම ආව ගමන් කට්ටිය අරන් ගියේ කොහොම ද? ලංකාවේ ඉඳන් ම සෙට් කරගෙන ඇවිල්ල ලොකු ලොකු ඇමතිලාගේ, සල්ලිකාරයන්ගේ අයයි අරන් ගිහින් තියෙන්නේ” මායා කාවින්දි සමාජ මාධ්‍යයක සටහන් කර තිබුනි. 

ආන්ඩුව තවමත් මෙම චෝදනා වලට නිශ්චිත පිලිතුරක් ලබාදී නැත. සිසුන් වැඩි ප්‍රමානයක් සහ ආසාදිතයන් කිහිප දෙනෙකු ද මේ කන්ඩායමට ඇතුලත් වී ඇතැයි නිල නො වන ප්‍රචාරයක් ඇත. 

කෙසේ වෙතත් ආන්ඩුවේ ක්‍රියාකලාපය ගැන කිපුනු කම්කරුවෝ 50 ක් පමන පසු දා ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වට කර තානාපති කාර්යාලය හොර රහසේ තමන්ට අවශ්‍ය අය පමනක් ලංකාවට යවා ඇතැයි චෝදනා කලහ. 

විදේශ කටයුතු අමාත්‍යාංශය මැයි 6 වන දා නිවේදනය කලේ, ”විදේශවල සිටින ලේඛන ගත නොකල ශ්‍රමිකයන් වෙත නිසි තහවුරු කිරීමේ ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රම වේදයක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව එකඟ වී ඇත” යනුවෙනි. 

ආන්ඩුව ගෙවී ගිය මාස කීපය පුරා මෙවැනි ප්‍රකාශ නිකුත්කර ඇති නමුත් කම්කරුවන් එම බොරු පොරොන්දු ගැන විශ්වාසය තබා නැත. ඒ වෙනුවට ඔවුන් අත්දැක ඇත්තේ ආන්ඩුව උග්‍රවෙමින් පවතින ආර්ථික අර්බුදය මුලුමනින් ම කම්කරුවන්ගේ කර මතින් යැවීමට සැරසෙන ආකාරයයි. 

”ඉදිරි වසර දෙක තුල විදේශ විනිමය විශාල ප්‍රමානයක් දේශයේ ආර්ථික හා සමාජ සංවර්ධනයට අත්‍යාවශ්‍ය වන බැවින්, සංක්‍රමනික ශ්‍රමිකයන්ගේ නොමසුරු දායකත්වය තම මව් බිම වෙනුවෙන් වැදගත් බව” විදේශ සේවා නියුක්ති කාර්යාංශය නරුම ලෙස ප්‍රකාශ කර ඇත.

Loading