ඉදිරිදර්ශන

විද්‍යාවට එරෙහිව ට්‍රම්ප් ආන්ඩුව

මෙම ලිපිය මැයි 15 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ජනාධිපති ට්‍රම්ප් තමාගේ ම ප්‍රධාන කොරෝනා වෛරස් විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆෝසි විවේචනය කිරීම විද්‍යාව ප්‍රතික්ෂේප කිරීම මෙන් ම ඇමරිකාවේ වඩාත් ම පසුගාමී හා ප්‍රතිගාමී සමාජ කොටස් වෙත ආයාචනා කිරීමේ පුළුල් ප්‍රතිපත්තියේ කොටසකි. ධවල මන්දිරය ෆැසිස්ට් ව්‍යාපාරයක් උසිගැන්වීමට උත්සාහ කරමින් සිටින්නේ, වැඩ කරන ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිතවල වියදම නො සලකා එක්සත් ජනපද ආර්ථිකය “නැවත විවෘත කිරීම” සඳහා වන මහා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් ඇවිස්සීමට ය.

අඟහරුවාදා සෙනෙට් කමිටු විමර්ශනයකට කෙරුනු, ප්‍රවේසමෙන් වචන ගැලපූ ෆෝසිගේ සඳහන ප්‍රකාශ කලේ, වසංගත රෝග විද්‍යාඥයින්ගේ හා අනෙකුත් මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ පොදු එකඟතාව යි. පසුගිය සති තුන තුල ව්‍යාපාරික මෙහෙයුම් සඳහා වූ සීමාවන් බොහෝ දුරට අතහැර දමා ඇති ප්‍රාන්ත ආන්ඩු කොවිඩ්-19 විනාශකාරී ලෙස නැවත මතුවීමට හා “අනවශ්‍ය දුක් වේදනා හා මරනයට” මග පාදමින් සිටින බව ඔහු අනතුරු ඇඟවී ය.

වසංගතය “පාලනය‍ට යටත්ව” නැති බව, කොවිඩ්-19න් මියගිය අයගේ සැබෑ සංඛ්‍යාව නිල වශයෙන් 80,000 ට වඩා වැඩි බව, රෙමිඩිසිවර් ප්‍රතිවෛරස් ප්‍රතිකාරයේ ඵලදායීතාවය “මධ්‍යස්ත” බව හා කොවිඩ් -19න්  යථා තත්ත්වයට පත්වීම ප්‍රතිශක්තිය සහතික නො කරන බව විමර්ශනයේ දී ෆෝසි පැහැදිලි කලේ ය.

මෙම විමර්ශනයට පසු ඊයේ, මහජන සෞඛ්‍ය නිලධාරි රික් බ්‍රයිට් කොංග්‍රස් මන්ඩල විමර්ශන කමිටුවක් ඉදිරියේ සිත් කලඹන සාක්ෂී දීමක් සිදුකලේ ය. ඔහු එලඹෙන කොවිඩ්-19 වසංගතය පිලිබඳ ව පරිපාලනයට අනතුරු ඇඟවීමට හා පරීක්ෂන, ආරක්ෂක උපකරන හා රෝග නාසක පිලියම් ප්‍රමානවත් තරම් ලබා ගැනීමට තමා නැවත නැවතත් කල අසාර්ථක උත්සාහයන් වාර්තා කලේ ය. පරිපාලනයේ තීරන ගනන් කල නො හැකි තරම් මරනවලට මග පෑදූ  බව බ්‍රයිට් පැහැදිලි කලේ ය

ඔහුගේ අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දෙනවා වෙනුවට, එක්සත් ජනපද සෞඛ්‍ය නිලධාරීහු, වසංගතය අවතක්සේරු කිරීමට ට්‍රම්ප් ගත් උත්සාහයන්ට අනුකූල ව ක්‍රියා කරමින්, “ජෛව වෛද්‍ය පර්යේෂන හා සංවර්ධන අධිකාරියේ” ප්‍රධානී තනතුරෙන් ඔහු ඉවත් කලෝ ය.

කොරෝනා වෛරස් ආශ්‍රිත බොහෝ සීමා ඉවත් කර ඇති ආන්ඩුකාරවරුන් දෙදෙනෙකු - එක් අයෙකු ඩෙමොක්‍රටික, අනෙකා  රිපබ්ලිකානු-  හමු වූ අවස්ථාවේ බදාදා මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කලේ, ෆෝසි ප්‍රාන්ත නැවත විවෘත කිරීම විවේචනය කිරීම “පිලිගත හැකි පිලිතුරක් නොවන” බව යි.

“ඔහු සමීකරනයේ හැම පැත්තක්ම සලකා බැලීම අවශ්‍යයි,” ට්‍රම්ප් කියා සිටියේ, පාසල් හා විද්‍යාල පොදුවේ නැවත ආරම්භ වන, අගෝස්තු වන විට කොවිඩ්-19  සඳහා කිසිදු එන්නතක් හෝ වෙනත් වෛද්‍ය ප්‍රතිකාරයක් සූදානම් නො වන බවට ෆෝසි කල ප්‍රකාශය සංඥා කරමිනි, “පාසල් වසා දමලා නම් අපේ රට ප්‍රකෘත වෙනවා කියලා මම සලකන්නේ නෑ” ට්‍රම්ප් පැවසී ය.

කොවිඩ්-19න් දිවි ගලවා ගත් ලමයින්ට බලපාන නව හා මාරාන්තික රෝග ලක්ෂනය පිලිබඳ වාර්තා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කලේ මෙසේ  කියමිනි, “දැන් ඔබට යම් සිද්ධියක් ඇති විට, මිලියනයකින් එකක්, මිලියන භාගයකින් එකක්, යමක් සිදුවනු ඇත්ද? සමහර විට… නමුත් ඔබ පාසැලට රිය පදවනවා වෙන්ට පුලුවන්, ඒ වගේම ඇතම් සමහර නරක දේවල් සිද්ධ වන්නත් පුලුවන් ” කොවිඩ්-19 අන්තරාය වයෝවෘද්ධ අයට හා කලින් පවතින සෞඛ්‍ය ගැටලු ඇති අයට පමනක් සීමා වී ඇති බව ප්‍රතික්ෂේප කෙරුනු ප්‍රකාශ ට්‍රම්ප් දිගට ම පුනරුච්චාරනය කලේ ය.

ට්‍රම්ප් බ්‍රහස්පතින්දා බ්‍රයිට් “දුර්මුඛ” යැයි පවසමින් හෙලා දුටු අතර, සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් ව්‍යාජ ලෙස කියා සිටියේ බ්‍රයිට් ඉල්ලා සිටි සියල්ල දැනටමත් ඉටු කර ඇති බව යි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා උදෑසන සිය ප්‍රහාරය දිගටම කරගෙන ගියේ, පාසල් පද්ධති නැවත විවෘත කිරීම පිලිබඳ ෆෝසිගේ සැකය පිලිබඳ ව තමා “කිසිසේත්ම” එකඟ නො වන බව “ෆොක්ස් බිස්නස් නෙට්වර්ක්” රූපවාහිනි චැනලය වෙත පවසමිනි. ඔහු මෙහෙයවු වෝල් වීදියේ හොරනෑවක් වන මාරියා බාර්ටිරෝමෝට මෙසේ පැවසී ය. “අපිට හැකි ඉක්මනින් අපේ රට විවෘත කරන්න ඕනෑ. අපිට මේ විධියට ඉදිරියට යන්න බෑ ”

වෛද්‍ය ෆෝසි මාස කිහිපයක් තිස්සේ අන්ත දක්ෂිනාංශික ප්‍රහාරයක ඉලක්කයක් බවට පත්ව ඇත්තේ,  #ෆෝසිහැෂ්ටැග් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය දක්ෂිනාංශික සමාජ මාධ්‍ය මත නැඹුරු වීම සමගිනි. බ්‍රෙට්බාර්ට්.කොම්, ෆොක්ස් නිව්ස් හා වෙනත් එවැනි මාධ්‍ය හොරනෑවල පන්ඩිතයන් ඔහු ට්‍රම්ප්ගේ දේශපාලන විරුද්ධවාදියෙකු ලෙස හෙලා දැක ඇත්තේ, ට්‍රම්ප් විසින් කොරෝනා වෛරස් සඳහා නිෂ්ඵල ප්‍රතිකර්ම අනුමත කිරීම ප්‍රතික්ෂේප කර, වසංගතයට එක්සත් ජනපද ආන්ඩුවේ වඩා ඉක්මන් ප්‍රතිචාරයකට ජීවත බේරා ගැනීමට ඉඩ තිබුන බව ඔහු පිලිගෙන ඇතුවාට පසු ය.

වෛද්‍ය සැපයුම් බෙදාහරින පෙනිසිල්වේනියා සමාගමක බ්‍රහස්පතින්දා පෙනී සිටි ට්‍රම්ප්, වසංගතය පිලිබඳ තොරතුරු හිතාමතාම අවතක්සේරු කිරීමේ ප්‍රතිපත්තියක් වැලඳ ගත්තේ ය. “පරීක්ෂා කරන විට, රොගින් මතු වෙනවා” ඔහු පැවසී ය. “පරීක්‍ෂා කරන කොට, මිනිසුන්ගේ යම්කිසි වැරැද්දක් ඇති බව ඔබට පේනවා. අපි කිසිම පරීක්‍ෂනයක් කරේ නැත් නම් අපිට හමුවෙන්නෙ රෝගීන් ටිකයි ” යැයි ඔහු පැවසී ය. ඔහු පසු ව තවදුරටත් මෙසේ පැවසීය, “එම පරීක්ෂනය අවංකවම, අධි තක්සේරු කිරීමක් විය හැකියි. ඇතැම් විට එය අධිතක්සේරුවක්. ” නැවත වතාවක් මුව ආවරනයක් පැලඳීම ප්‍රතික්ෂේප කරමින්, ට්‍රම්ප් පෙනිසිල්වේනියාවේ ලේහයි වැලී වෙත ගිය දිනයේ, ඊට ආසන්නයේම අති ෆිලඩෙල්ෆියාවෙ කොරෝනා  වෛරස්  මරන සංඛ්‍යාව 1,000 ඉක්මවා ගියේ ය.

විද්‍යාවට හා වෛද්‍ය දැනුමට පහර දෙන අතරම, ට්‍රම්ප් කොරෝනා වෛරස අගුලු දැමීමට එරෙහි  පෙනිසිල්වේනියා හා මිචිගන් ප්‍රාන්තවල විරෝධතා අනුමත කල අතර, එම ප්‍රාන්තයේ අගුලු දැමීමේ නියෝගය කනපිට පෙරලමින් බදාදා විස්කොන්සින් උසාවිය දුන්  තීන්දුව පැසසුමට ලක් කලේ ය.

ක්‍රිස්තියානි මූලධර්මවාදීන්, මිලීෂියා කන්ඩායම් හා එන්නත් වීරෝධී කන්ඩායම් (anti-vaxxers ) ඇතුලු වඩාත් පසුගාමී හා ව්‍යාකූල දක්ෂිනාංශික කොටස් වෙත ට්‍රම්ප් ආයාචනයක් ඉදිරිපත් කරමින් සිටී. මෙම කන්ඩායම්වලට එතරම් මහජන සහයෝගයක් නොමැත, නිදසුනක් වශයෙන්, මිචිගන් ප්‍රාන්තයේ ලැන්සිං හි බ්‍රහස්පතින්දා පැවති උද්ඝෝෂනයට පුද්ගලයන් 200 ක් පමනක් සහභාගී වූවත්, ඔවුන්ට සංගත මාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ලබා දී, එය මහජන සෞඛ්‍යයට ප්‍රමුඛත්වයක් ප්‍රවේශයකින් වසන්ගතයට ප්‍රතිචාර දැක්වීමට එරෙහිව නැගෙන මහජන විරෝධතාවක් ලෙස හුවා දැක්වූහ.

නිදසුනක් ලෙස, විස්කොන්සින් අධිකරන තීන්දුව පිලිබඳ මාධ්‍ය ආවරනය, බාර් සහ අවන්හල් නැවත විවෘත කිරීම හා ඒවායේ ප්‍රීතිමත් ගනුදෙනුකරුවන් වෙත අවධානරය යොමු කලේ, ප්‍රාන්ත ජනගහනයෙන් අතිමහත් බහුතරයක් අගුලු දැමීමට සහාය දක්වන අතර එය හෘද සාක්ෂියෙන් යුතු ව එවා පිලිපදිමින් සිටීම නො සලකා හරින අතර ය. විස්කොන්සින් හි කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 11,000 කට ආසන්න වන අතර මරන සංඛ්‍යාව 421 ක් වේ.

මෙම ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක මාරාන්තික වනු ඇත. එක්සත් ජනපදයේ කොවිඩ්-19  මුල් පිපිරීම් නාගරික ප්‍රදේශවල සංකේන්ද්‍රනය වී ඇති අතර, රෝගයෙන් වැඩිම මරන අනුපාතයක් ඇති ප්‍රාදෙශීය බල ප්‍රදේශ දහයෙන් හතරක්, දැන් ඇත්තේ ජෝර්ජියා හා ලුසියානා ප්‍රාන්තවල ග්‍රාමීය දකුනු ප්‍රදේශවල ය. 

විද්‍යා හා වෛද්‍ය විශේෂඥයින්ට එල්ල කෙරෙන දරුනු ප්‍රහාරයේ දී, ට්‍රම්ප් පරිපාලනය කතා කරමින් සිටින්නේ කතිපයාධිකාරය වෙනුවෙනි. අකාලයේ වැඩට යාම සම්බන්ධ  වඩාත්ම වාචික හා ස්ථාවර උපදේශකයා ට්‍රම්ප් වන අතර, මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඩෙමොක්‍රටික හා රිපබ්ලිකානු ආන්ඩුකාරවරුන් විසිනි.

ගනිතයේ මූලධර්ම පන්ති අවශ්‍යතාවන්ට පටහැනි නම්, ලෙනින් වරක් සඳහන් කල පරිදි, ඒවා දැඩි විරෝධයකට මුහන දෙනු ඇත. මෙහි දී එය ගනිතයේ පදනම් පිලිබඳ ප්‍රශ්නයක් නොව, කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ ජීවිත දහස් ගනනක් බේරා ගැනීමට අවශ්‍ය මූලික විද්‍යාත්මක හා මහජන සෞඛ්‍ය පියවර පිලබඳ ප්‍රශ්නයකි.

බිලයනපතියෝ හා ඔවුන්ගේ දේශපාලන නියෝජිතයෝ, ඩෙමොක්‍රටික මෙන් ම  රිපබ්ලිකානු,  ෆෙඩරල් මහබැංකුවෙන් තමන්ට දැවැන්ත මූල්‍ය ඇපදීමක් ලබා ගනු ලදුව, ඔවුන්ගේ ශ්‍රම ශක්තියෙන් අතිරේක වටිනාකම නිස්සාරනය කර ගනු පිනිස, කම්කරුවන්ගේ ඉරනම වෙනුවෙන් තැකීමක් නොමැතිව, ඔවුන්ට ආපසු වැඩට ඒමට බල කෙරෙමින් සිටිති. 

මෙම තල්ලුවට හුදෙක් විරැකියා වන්දි හා වෙනත් ප්‍රතිලාභ කපා හැරීමේ තර්ජනය පමනක් අතුලත් නොවනු ඇත. මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට ඔවුන්ගේ සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට බල කිරීම සඳහා එය ප්‍රමානවත් විය හැකි නමුත්, ආසාදන හා මරන සංඛ්‍යාව නැවත ඉහල නැගින විට ඔවුන් එහි තබා ගැනීමට එය ප්‍රමානවත් නො වේ.

මිචිගන් ප්‍රාන්තයේ ලැන්සිං අගනගරයේ හා අනෙකුත් අගුලු දැමීම් විරෝධතාවල දී ස්වයංක්‍රීය ආයුධ ලෙලවීම, නැවත සේවයට පැමිනීමට විරුද්ධ වන හා අනාරක්ෂිත, මාරාන්තික තත්වයන් යටතේ පවා වැඩ කිරීමට විරුද්ද වන කම්කරුවන් සඳහා සූදානම් කෙරෙන්නේ කුමක් ද යන්න පිලිබඳ අනතුරු ඇඟවීමකි.

මහා ව්‍යාපාරිකයන් හා දෙපක්ෂයේ ම එහි දේශපාලන නියෝජිතයන් විසින් ගෙන යනු ලබමින් තිබෙන නැවත වැඩට යාමේ උද්ඝෝෂනයට  සමාජවාදී සමානතා පක්ෂය විරුද්ධ වේ. මෙම උත්සාහයට සම්බන්ධ සියලු දෙනා, එනම් ජනාධිපති ට්‍රම්ප්ගේ සිට ඔහුගේ ඩෙමොක්‍රටික් “ප්‍රතිවාදියා” වන ජෝ බිඩෙන් දක්වාත් කොන්ග්‍රසයේ ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් දක්වාත් සංගත ඇපදීම සඳහා ඒකමතිකව ඡන්දය දුන්, අය ඉවත් කල යුතුය.

Loading