මරන සංඛ්‍යාව වැඩි වෙත්ම ධවල මන්දිරය, වසංගතය සඳහා චීනය බිල්ලට ගැනීමේ උත්සාහය වේගවත් කරයි

මෙම ලිපිය 2020 මැයි 18 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපද රූපවාහිනී කතා සංදර්ශන වටයකදී, ට්‍රම්ප්ගේ ඉහලම වෙලඳ උපදේශක සහ උග්‍ර චීන විරෝධියෙකු වන පීටර් නවරෝ, චීනය හිතාමතාම ගෝලීය කොවිඩ්-19 වසංගතය ආරම්භ කල බව කියා සිටිමින් බීජිනයට එරෙහි ධවල මන්දිර ප්‍රහාරය වේගවත් කලේ ය.

වසංගතය පැතිර යාම පිලිබඳ වගකීම පිලිබඳව චීනය බිල්ලට ගැනීම දායක වන්නේ, එක්සත් ජනපදයේ බිහිසුනු මරන සංඛ්‍යාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ සාපරාධී වගකීමෙන් අවධානය වෙනතකට යොමු කිරීමට පමනක් නොව, නවරෝ ආක්‍රමනකාරී ලෙස පෙනී සිටින චීන විරෝධී වෙලඳ යුද්ධයේ වැඩසටහන ද පෝෂනය කිරීමටයි.

ඒබීසී ප්‍රවෘත්ති සේවයේ “මේ සතිය” වැඩසටහනට සම්බන්ධ වෙමින් නවරෝ, විදේශික භීතිකාවක ස්වරූපයෙන් කොවිඩ්-19,    “චීන වෛරසයක්” ලෙස පුන පුනා සඳහන් කලේය .  වසංගතය පිලිබඳව බීජිනයට දොස් පැවරීම පමනක් අදහස් කරන මෙය විද්‍යාත්මක නොවන යෙදුමකි. චීනය හිතාමතාම ලෝකය මත වෛරසය මුදා හැර ඇති බව ඔහු ප්‍රකාශ නොකරන බව කියා සිටිය ද ඔහු වහාම ඇඟවුම් කලේ, තමා අදහස් කරන්නේ එයම බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 මැයි 15 වන සිකුරාදා වොෂිංටන්හි ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේදී කතා කරයි. (AP ඡායාරූපය / ඇලෙක්ස් බ්‍රැන්ඩන්)

“කරුනු” ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි නවරෝ මෙසේ පැවසීය: “වෛරසය පැතිර ගියේ වුහාන් පලාතේ ය. නොවැම්බර් මාසයේදී රෝගී තත්වයක් නොපැවතුනි. ලෝක සෞඛ්‍ය සංවිධානය පිටුපස වසංවී සිටින චීන්නු මාස දෙකක් තිස්සේ වෛරසය ලෝකයෙන් සැඟවූ අතර, පසුව වෛරසය වැපිරීම සඳහා ලක්ෂ ගනනක් චීන ජාතිකයන්  ගුවන් මඟින් මිලාන්, නිව්යෝර්ක් පමනක් නොව ලොව පුරා ද යවා ඇත. ”

සමස්ත එක්සත් ජනපද මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතයම චීන විරෝධී උද්ඝෝෂනයේ යෙදී සිටින බව පෙන්නුම් කරන  තවත් අවස්ථාවක් සටහන් කරමින්, ඒබීසීයේ වැඩසටහන් මෙහෙයවන්නා වන ජෝර්ජ් ස්ටෙෆනොපොලොස්, මෙම ඊනියා “කරුනු” කිසිවක් විවාදයට ලක් කලේ නැත. යථාර්ථය නම් චීනය, කලින් නොදැන සිටි රෝගයක් හදිසියේ මතුවීමත් සමඟ පොරබදමින් සිටින බවයි: එය පරීක්ෂා කර ප්‍රතිකාර කිරීම සඳහා වූ මාධ්‍යයන් පමනක් නොව, එය හඳුනාගෙන වෛරසය පැතිරීමට හේතු පැහැදිලි කල යුතුව තිබේ.

වාර්තාව පිලිබඳ ඕනෑම වෛෂයික පරීක්‍ෂනයකින් පෙනී යන්නේ, චීන බලධාරීන්, එක්සත් ජනපදයේ රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානයට (සීඩීසී) ද ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) ද  වෙනත් රටවලට ද තොරතුරු ලබා දුන් බවයි.

* හඳුනාගත් පලමු සිද්ධිය 2019 නොවැම්බර් 17 වන දින වුහාන් හිදී පරීක්ෂා කරන ලද අතර දෙවැන්න 2019 දෙසැම්බර් 1 වන දින හඳුනා ගන්නා ලදී.

* 2019 දෙසැම්බර් 21 වන දින චීන රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථානය “නොදන්නා හේතුවක් සහිත නියුමෝනියාව” වැලඳුන රෝගීන් සමූහයක් පිලිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කලේය.

* ජනවාරි 3දා වන විට චීන විද්‍යාඥයින් විසින් මෙම රෝගය ඇතිවූනේ නව කොරොනා වෛරසයක් නිසා බවට කල නිගමනය ජනවාරි 9 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කරන ලදී.

* සතියකටත් අඩු කාලයකට පසු ජනවාරි 13 වන දින, චීන වෛරස් විද්‍යාඥයින් වෛරසයෙ ජානමය අනුක්‍රමය ප්‍රකාශයට පත් කලේය.

* ජනවාරි 21 වන විට චීනයේ ප්‍රධාන නගර පුරා රෝගීන් 291 ක් වාර්තා වුන අතර, චීනයේ පලමු මරනය ද චීනයෙන් පිටත රෝගීන් හමුව ඇති බව ද වාර්තා විය.

* ජනවාරි 24 වන දින චීන නායකත්වය, වුහාන් පමනක් නොව මුලු හුබෙයි පලාතම අගුලු දමා වසා දැමීය.

මෙම පදනම මත නිගමනය කල හැක්කේ, චීන පාලන තන්ත්‍රය “මිලාන්, නිව් යෝර්ක් සහ ලොව පුරා (වෛරසය) වැපිරීම සඳහා චීන ජාතිකයන් ලක්ෂ ගනනක් යවා ඇත” යන්න ට්‍රම්ප් පරිපාලනය විසින් චීනයට එරෙහි එහි ප්‍රචාරක යුද්ධයේ කොටසක් ලෙස ප්‍රවර්ධනය කරන ලද තවත් විශාල බොරුවක් බවටය. බීජිනය හිතාමතාම විනාශකාරී ගෝලීය වසංගතය සිදුකල බව ඇඟවීමට තෝරාගෙන ඇති  “වැපිරීම” වැනි වචන ද එවැනිමය.

චීන ප්‍රතිචාරයේ අඩුපාඩු කුමක් වුවත්, අන්තරායන් නොතකා හැරීම, විද්‍යාත්මක උපදෙස් කඳු ගැසෙද්දී පවා සති ගනනාවක් තිස්සේ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම හා නොසූදානම ද සුව කිරීමේ ඖෂධයක් ලෙස සර්ප තෙල් ප්‍රවර්ධනය කිරීම ද සමඟ සසඳන විට ඒවා නොවැදගත්ය. 

කෙසේ වෙතත් සාධක නොසලකා හැර නවරෝ,  “ඔවුන්ට එය වුහාන් තුලම තබා ගත හැකිව තිබුනි… එබැවින් චීන ජාතිකයන් ඇමරිකානුවන්ට එසේ කල බවත් ඔවුන් වගකිව යුතු බවත්” යන ට්‍රම්ප්ගේ ප්‍රකාශම පුනරුච්චාරනය කලේය. යථාර්ථය නම්, ඇමරිකානු සෞඛ්‍ය පද්ධතියේ දිග්ගැස්සුනු පරිහානිය ද අනාරක්ෂිත තත්වයන් යටතේ නැවත සේවයට පැමිනීමට ධවල මන්දිරය විසින් බල කරනු ලබද්දී ද මේ වන විට 90,000 ක් කරා ලඟා වෙමින් ඇති එක්සත් ජනපදයේ බිහිසුනු මරන සංඛ්‍යාවට වගකිව යුත්තේ ට්‍රම්ප් ය.

ට්‍රම්ප් නැවත තේරී පත්වීමේ ප්‍රයත්නයේදී චීනයට පහර දීම අත්‍යවශ්‍ය බව නවරෝ පැහැදිලි කලේය. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන   ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩෙන් දිගුකාලීනව “චීනයේ මිතුරෙකු” ලෙස ඔහු විසින් හංවඩු ගසනු ලැබීය.  “ඔහුගේ පුතා  චීනයෙන් ඩොලර් බිලියන ගනනක්” ගැනීම පිලිබඳ ප්‍රකාශය නවරෝට ඉල්ලා අස්කර ගැනීමට බල කෙරුනි. සිය පාර්ශවයෙන් බිඩෙන් සහ ඩිමොක්‍රටිකයෝ චීනය සම්බන්ධයෙන් දැඩි ආස්ථානයක් නොගැනීම යනාදී වශයෙන් ට්‍රම්ප්ට පහර දෙන්නේ, ඔහු මෙන්ම විදේශික නොරුස්නාවේ පදනම මතය.

එක්සත් ජනපදයේ එන්නත් පර්යේෂන තොරතුරු අනවසරයෙන් සොරකම් කිරීමේ චෝදනාව මත, ජනවාරි 15 වන දින එක්සත් ජනපදය සමඟ අත්සන් කරන ලද වෙලඳ ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද නවරෝ චීනයට පහර ගැසීය. මෙම ප්‍රකාශ කල එෆ්බීඅයි සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව, චීන විද්‍යුත් ඔත්තු බැලීම් පිලිබඳ කිසිදු සාක්ෂියක් සපයා නැත. ඒවායින්, එන්නත් පර්යේෂන තොරතුරු “සොරකම්” කරන ලද බව හා “ලාභ ලැබීමට සහ ලෝකය ප්‍රාන ඇපයට ගැනීමට” කටයුතු කලේය යන චීන විරෝධී ප්‍රකාශ කිරීමෙන් නවරෝ  නතර කලේ නැත.

නවරෝ, කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් බීජිනය සෘජුවම වරදකරු කිරීම, චීනයට එරෙහි වෙලඳ යුද්ධය හා ඔහුගේ ආරක්ෂනවාදී න්‍යාය පත්‍රය සමඟ  කෙලින්ම සම්බන්ධ කලේය. ඔහු විකාර සහගත ලෙස මෙසේ ප්‍රකාශ කලේය: “ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් නම් මෙම ජනාධිපති වසර තුනහමාරක් තුල නූතන ඉතිහාසයේ සුන්දරම ආර්ථිකය ගොඩනඟා ඇති බව වාර්තා කිරීමට ලැබීම මගේ සතුටට කරුනකි. චීන ජාතිකයන් එය දින 30 කින් පමන අඩු කලා. ”

ඇත්ත වශයෙන්ම කොවිඩ්-19  වසංගතය, ට්‍රම්ප් පරිපාලනය යටතේ  වේගවත් වූවා පමනක් වන, ඇමරිකානු ධනවාදයේ අභ්‍යන්තර කුනුවීම හා ඓතිහාසික පරිහානිය අනාවරනය කලේය. ට්‍රම්ප් සරලවම නිරූපනය කරන්නේ, සැබෑ ආර්ථිකය හා සියල්ලටත් වඩා කම්කරු පන්තිය විනාශ කිරීමේ වියදමින් නැඟී ආ පරපෝෂිත මූල්‍ය කතිපයාධිකාරය යි.

නවරෝ විසින් අවුලුවනු ලබන වෙලඳ යුද්ධයේ පිලිවෙත, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය පවත්වාගෙන යාමේ මංමුලා සහගත උත්සාහයකි. එහි ප්‍රතිවාදීන්, සියල්ලටත් වඩා චීනය, ආර්ථික හා මිලිටරි ගැටුම් ඇතුලු සෑම මාධ්‍යයක්ම උපයෝගී කරගෙන යටපත් කිරීමයි. ඩොලර් බිලියන 500 ක ආනයන ඉතිරි කර ගත හැකි යැයි පවසමින් ට්‍රම්ප්, පසුගිය සතියේ චීනය සමඟ  සියලු ආර්ථික සබඳතා කපා හරින බවට පවා තර්ජනය කලේය.

කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් පරිපාලනය, චීනයට එරෙහිව දඬුවම්  පියවර ගැනීමට සූදානම් වන අතර ඒවායින් සමහරක් දැනටමත් බලගන්වා ඇත. චීන කොටස්වල රජයේ විශ්‍රාම අරමුදල් ආයෝජන අවහිර කිරීම සහ චීන ඉලෙක්ට්‍රොනික් දැවැන්තයා වන හුආවේ අර්ධ සන්නායක වලට ප්‍රවේශ වීම වැලැක්වීම සඳහා සැලසුම් කර ඇති දැඩි නව ක්‍රියාමාර්ග මෙයට ඇතුලත් ය.

මෙම පියවරයන් සමඟ අත්වැල් බැඳගෙන, චීනය සමඟ ගැටුමට සූදානම් වීම සඳහා ඉන්දු-පැසිෆික් කලාපයේ අඛන්ඩ එක්සත් ජනපද මිලිටරි ගොඩනැගීම් මෙන්ම  ප්‍රධාන චීන භූමියට යාබදව දකුනු චීන මුහුදේ නාවික ප්‍රකෝප කිරීම් ද සිදු වේ. 1930 ගනන්වල මෙන්, ගෝලීය ධනවාදයේ වර්තමාන දැවැන්ත අර්බුදය, වෙලඳ යුද්ධයට හා මිලිටරි යුද්ධයට තුඩු දෙයි. (ද කමිං චයිනා වෝර්ස්) එලඹෙන චීන යුද්ධ නම් පොතේ කතුවරයා වශයෙන් ද නවරෝ, ඔහුගේ ක්‍රියාවලින් සිදුවිය හැකි විනාශකාරී ප්‍රතිවිපාක ගැන හොඳින් දනී.

Loading