ඉදිරිදර්ශන

“පොකුරු ප්‍රතිශක්තිය” පිලිබඳ මිනීමරු ව්‍යාජ විද්‍යාව

මෙම ලිපිය මැයි 16 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතයේ ප්‍රමුඛ වාර සඟරාව වන ෆොරීන් අ’ෆෙයා(ර්)ස් , මැයි 12 වන දින එක්සත් ජනපදයේ සහ ලෝක ජනගහනයෙන් විශාල කොටසක් කෝවිඩ් -19 ආසාදනය විය යුතු බවට තර්ක කරමින් ලිපියක් පලකලේය.  “කොරෝනා වෛරසය පිලිබඳ ස්වීඩනය ගත් මග ඉක්මනින් ලෝකයේම මූලෝපාය විය යුතුය:පොකුරු ප්‍රතිශක්තිය එකම යථාර්ථවාදී විකල්පයයි - ප්‍රශ්නය වන්නේ ආරක්ෂිතව එතැනට යන්නේ කෙසේද” යනුවෙන් සිරස්තලයක් ලිපියට යොදා තිබුනි.

“වෛරසය මැඩපැවැත්වීමේ උත්සාහයන් බොහෝ රටවල අසාර්ථක වනු ඇති අතර, විශාල ප්‍රතිශතයක් අවසානයේ දී ආසාදනය වනු ඇත” යනුවෙන් නිගමනය කරන ලිපිය, “වසංගතය පරාජය කිරීම වෙනුවට කලමනාකරනය කිරීම එකම යථාර්ථවාදී විකල්පයයි” යනුවෙන් ඊට එකතු කරයි.

“පොකුරු ප්‍රතිශක්තිය” පිලිබඳ යෝජකයින්ගේ කේන්ද්‍රීය තර්කය වන්නේ, සෑහෙන තරම් මිනිසුන් කෝවිඩ්-19 ආසාදනය වූ විට, සමහර විට ජනගහනයෙන් සියයට 50-70 අතර ප්‍රමානයක ආසාදන අනුපාතය ස්වභාවිකව පහත වැටෙනු ඇති බවයි.

පොකුරු ප්‍රතිශක්තිය වෙනුවෙන් පෙනී සිටින අය අනුෂංගිකව කියා සිටින්නේ, වසංගතය පැතිරීම මැඩ පැවැත්වීම, එනම් පරීක්ෂන, සම්බන්ධතා සොයා ගැනීම සහ ආසාදිතයන් හුදකලා කිරීම මෙන්ම පාසල් හා ව්‍යාපාර වසා දැමීම වැනි උත්සාහයන් අතහැර හැකි තරම් පුලුල් ලෙස රෝගය පැතිරෙන්නට ඉඩ හල යුතු බවයි.

මේ සතියේ සිදු වූ වර්ධනයන් දෙකක් මෙම ව්‍යාජ විද්‍යාත්මක න්‍යාය බොරු හා භයානක බව හෙලි කර තිබේ. කෝවිඩ්-19 ආසාදනය වීමෙන් දිගු කාලීන ප්‍රතිශක්තියක් ඇති වන බවට කිසිදු නිශ්චිත සාක්ෂියක් නොමැති බව බදාදා පැවති කොංග්‍රස් වාචික සාක්‍ෂි වල දී වෛද්‍ය ඇන්තනි ෆවුසි පැහැදිලි කල අතර දෙවැන්න වන්නේ පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම් ය.

තවද, ලොව පුරා රටවල් දැන් කෝවිඩ්-19 ප්‍රතිදේහ පිලිබඳ ඔවුන්ගේ ජනගහනයන් අලලා සිදුකල මහා පරිමාන පරීක්ෂනවල ප්‍රතිඵල වාර්තා කිරීමට පටන් ගෙන තිබේ. විශ්වීය වශයෙන්, මෙම පරීක්ෂන මගින් පෙන්නුම් කර ඇත්තේ, දරුනු ලෙස පැතිර ගිය ප්‍රදේශවල පවා, ජනගහනයෙන් සුලු කොටසකට පමනක් ආසාදනය වී ඇති බවකි.

මේ සතියේ නිකුත් කරන ලද එක් අධ්‍යයනයකින් හෙලි වූයේ ස්පාඤ්ඤ ජනගහනයෙන් සියයට පහකට පමනක් කෝවිඩ්-19 ප්‍රතිදේහ ඇති බවයි. මෙම තත්වය වාර්තා වන්නේ ලෝකයේ ඕනෑම විශාල රටක ජනගහනයෙන් කොටසක් ලෙස වැඩිම කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් ස්පාඤ්ඤයේ වාර්තා වී තිබියදීය.

ආසාදනයෙන් සුවය ලැබීම ප්‍රතිශක්තිය සහතික කරනු ලැබූවත්, එය නැවත වැලඳේ ද යන්න පැහැදිලි නැති අතර ස්පාඤ්ඤ ජනගහනයෙන් සියයට පහක් සඳහා උපකල්පිත ප්‍රතිශක්තිය අත්පත් කර ගැනුනේ ජීවිත 27,459 ක වියදමෙනි. මෙයින් අදහස් කරන්නේ රෝගීන්ගේ අඩුවීමක් දැකීමට අවශ්‍ය සියයට 50 ක ආසාදන අනුපාතය සඳහා මිනිසුන් මිලියන හතරෙන් එකක බිලි දීමක් අවශ්‍ය බවයි.

මිලියන 330 ක ජනතාවක් සිටින එක්සත් ජනපදයෙන්ද මීට සමාන සංඛ්‍යා වාර්තාවේ නම්, මෙයින් අදහස් කරන්නේ මිලියන දෙකකට ආසන්න ජනතාවක් බිලි දෙමින් උපකල්පිත “පොකුරු ප්‍රතිශක්තියක්” අත්පත්කරගත් හැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මයික් රයන් මේ සතියේ “පොකුරු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තිය ගැන විමසූ විට පිලිකුලෙන් යුතුව ප්‍රතිචාර දැක්වූයේ මේ හේතුව නිසාය.

ප්‍රවීන අයර්ලන්ත වසංගත රෝග විද්‍යාඥයා පැවසුවේ “මිනිසුන් [ගව]පට්ටි නොවේ” යනුවෙනි. මෙම පදය අදාල වන්නේ සත්ව පාලන ක්‍ෂේත්‍රයට පමනක් යැයිද, “එම අර්ථයෙන් ගත් කල එම තීරනවල ම්ලේච්ඡ ආර්ථික විද්‍යා දෘෂ්ටි කෝනයෙන් තනි සතෙකු කිසි වැදගැම්මකට නැත” යි ද ඔහු කියා සිටියේ ය.

මෙම යෙදුම භාවිතා කිරීම, “මිනිසුන්, ජීවිත හා දුක් වේදනා නොතකමින් සමීකරන විසඳන ඉතා ම්ලේච්ඡ අංක ගනිතයකට තුඩු දිය හැකිය” යි ඔහු ප්‍රකාශ කලේ ය.

“මෙම අදහස අනුව ඇතැම් විට අඩුවෙන් ක්‍රියාමාර්ග ගෙන ඇති සහ කිසිවක් කර නොමැති රටවල් හදිසියේ ම අරුම පුදුම ලෙස කිසියම් පොකුරු ප්‍රතිශක්තියක් කරා ලඟා වනු ඇත, එසේ නම් ඒ ගමනේදී මහල්ලන් කිහිපදෙනෙකු අහිමිවූවාට කිම? මෙය ඇත්තෙන්ම භයානක ගනනය කිරීමකි.”

මෙම ඔවුන් භාවිතා කරන “භයානක ගනනය කිරීම” සාධාරනීකරනය සඳහා, ෆොරීන් අ’ෆෙයා(ර්)ස් ලිපියේ කතුවරුන් “ස්වීඩන් ආකෘතිය” උපුටා දක්වනු ලබයි. ඔවුහු මෙසේ ලියති:

ජනගහනයෙන් සියයට 60 කට වඩා වැඩි පිරිසකට වෛරසය වැලඳී ඇති අත්පත් කරගත හැකියැයි බොහෝ විද්‍යාඥයින් විශ්වාස කරන පොකුරු ප්‍රතිශක්ති ලඟාවීමේ ඉලක්කයක් තමන්ට ඇතැයි ස්වීඩන් බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත. එහෙත් ප්‍රතිශක්තිය වැඩි කිරීම රජයේ පුලුල් උපාය මාර්ගයේ කොටසක් බවට සැකයක් නැත - නැතහොත් අවම වශයෙන් පාසල්, ආපනශාලා සහ බොහෝ ව්‍යාපාර විවෘතව තබා ගැනීමේ ප්‍රතිඵලය එය විය හැකිය.

ඔවුහු දිගටම මෙසේ සඳහන් කරති:

අගුලු දැමීමක් හෝ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම වෙනුවට ස්වීඩනය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ  බොහෝ දුරට ස්වේච්ඡා පදනමක් මත සමාජ දුරස්ථභාවය ව්‍යවහාරයට ගන්නා ලෙසයි. ස්වීඩන් බලධාරීන්… දැඩි පාලනයන්, දඩ මුදල් සහ පොලිසිය යෙදවීම අත්හැරියේය. ස්වීඩන ජාතිකයන් ඔවුන්ගේ හැසිරීම වෙනස් කර ඇති නමුත් ඒ අනෙකුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුරවැසියන් තරම් ගැඹුරින් නොවේ. බොහෝ ආපනශාලා තරමක් තදබදව පැවතිය ද ඒවා විවෘතව පවතී, කුඩා දරුවෝ තවමත් පාසල් යති.

කෙසේ වෙතත්, කෝවිඩ්-19 වසංගතය සඳහා ස්වීඩනයේ ප්‍රවේශය, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් සහ ශාස්ත්‍රඥයින් විසින් දැඩි ලෙස විවේචනය කර ඇති අතර, වඩාත් ආක්‍රමනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස රජයට බල කරමින් ඔවුන් දහස් ගනනක් ලිපියකට අත්සන් තබා ඇත.

මෙම විවේචකයින් පෙන්වා දෙන්නේ ඩෙන්මාර්කය (මිලියනයකට 93), නෝර්වේ (43), ෆින්ලන්තය (53) සහ අයිස්ලන්තය (29) හා සසඳන විට සිය රට මිලියනයකට මරන 361 ක් සහිතව අසල්වැසි රටවලට වඩා සැලකිය යුතු තරම් විශාල ව්‍යාප්ත වීමක් සිදුව ඇති බවයි.

ස්වීඩනයේ අතිශය වගකීම් විරහිත ප්‍රතිපත්ති ජාත්‍යන්තරව අන්ත දක්ෂිනාංශයට වෙඩි බෙහෙත් ලබා දී ඇති අතර එය ව්‍යාපාර සහ පාසල් අකාලයේ යලි විවෘත කිරීම සඳහා තර්ක කිරීමට උදාහරනයක් ලෙස භාවිතා කර ඇත.

“පොකුරු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තියේ සියලු උපදේශකයින් මෙන් ම, දේශපාලන විද්‍යාඥයෙකු, සමාජ විද්‍යාඥයෙකු හා ආර්ථික විද්‍යාඥයෙකු ද ඇතුලත් යථෝක්ත ලිපියේ කතුවරුන්ගේ සිය කියාපෑම්, වසංගත රෝග විද්‍යාඥයින්, මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහ සම්මත මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තුලින් කෝවිඩ්-19 මැඩ පැවැත්විය හැකි හා මැඩ පැවැත්විය යුතු යයි කියා සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්වීය ප්‍රකාශන සමග සමාන කිරීමට උත්සාහ නොගනිති.

පවතින සියලු සාක්ෂි හමුවේ ඔවුන් සරලව ම කියා සිටින්නේ රෝගය පාලනය කිරීම සහ මිනිසුන්ට ආසාදනය වීම වැලැක්විය නොහැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුකූලව පරීක්ෂන, නිරෝධායන හා සම්බන්ධතා සොයා ගැනීම සඳහා ආයෝජනය කර ඇති රටවල්, දිනපතා නව රෝගීන් සංඛ්‍යාව තනි හෝ ද්විත්ව ඉලක්කම් වෙත ගෙන එනු ලැබේ. රෝගය පැතිර යාමේ මුල් මධ්‍යස්ථානයක් වූ දකුනු කොරියාවේ මිය ගොස් ඇත්තේ 260 ක් පමනි. මෙම රෝගය ඇති වූ චීනයේ මරන අනුපාතය එක්සත් ජනපදයට වඩා  ආසන්න වශයෙන් 100 ගුනයකින් අඩුය. මැලේසියාවේ ද ඒ හා සමාන අඩු සංඛ්‍යාවක් දැක ගත හැකිව තිබේ.

ඊට හාත්පසින්ම වෙනස්ව, නෙරපා හරින ලද සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය රික් බ්‍රයිට් බ්‍රහස්පතින්දා දුන් සාක්ෂියෙන් පෙන්නුම් කරන පරිදි වෙනත් කිසිදු රටකට වඩා පස් ගුනයකින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් සිටින එක්සත් ජනපදයේ කෝවිඩ්-19 වසංගතයේ විනාශකාරී සංඛ්‍යාව සෘජුව ම සම්බන්ධ වන්නේ එක්සත් ජනපදය මාස ගනනාවක් තිස්සේ සිය ජනගහනය පිලිබඳ පුලුල් පරීක්ෂනයක් කිරීමට අපොහොසත් වීමත් සමඟ ය. 

ෆොරීන් අෆෙයාර්ස්  හි ලිපියේ “පරීක්ෂා කිරීම” යන වචනය බැහැර කර ඇති බව සඳහන් කිරීම වටී. එයට හේතුව එය මුලුමනින් ම වංචනික වීමයි. වසංගතය පාලනය කිරීම සඳහා වන සියලු ක්‍රියාමාර්ගවලට එරෙහිව අගුලු දැමීමේ ක්‍රියාමාර්ගයට තඩිබාන ඔවුහු අගුලු දැමීමේ ආර්ථික හා සමාජ පිරිවැය හෙලාදකින්නේ අක්‍රියව සිටීමේ තර්කයක් ලෙසයි.

යථාර්ථය නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත්තේ, අගුලු දැමීම සෞඛ්‍ය පද්ධති යටපත් වීම වැලැක්වීම සඳහා වන තාවකාලික පියවරක් පමනක් වන අතර, වසංගතය නැවැත්වීම සඳහා මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් විශාල වශයෙන් පුලුල් කිරීමට අවශ්‍ය කාලය ලබා දිය යුතු බවයි.

ඔවුන් “පොකුරු ප්‍රතිශක්තිය” ප්‍රසිද්ධියේ වැලඳ ගත්තත් නැතත්, යථාර්ථය නම්, උතුරු ඇමරිකාවේ හෝ යුරෝපයේ කිසිදු රටකට කෝවිඩ්-19 පුලුල් ලෙස ජනගහනයට ආසාදනය වීම වැලැක්වීම සඳහා සැලසුමක් නොමැති බවයි. තාවකාලික අගුලු දැමීම් පවත්වාගෙන යන එක්සත් ජනපදය සහ යුරෝපය, පරීක්ෂා කිරීම, නිරෝධායනය සහ සම්බන්ධතා සොයා ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා එම කාලය භාවිතා කර නොමැත.

ඒ වෙනුවට, ප්‍රාන්ත සහ රටවල් ඔවුන්ගේ ආසාදන අනුපාතය, පරීක්ෂන හෝ වෛද්‍ය ධාරිතාව නොසලකා ආර්ථිකය නැවත විවෘත කරමින් සිටිති. බොහෝ දුරට සහතික විය හැක්කේ, ෆවුසි සහ බ්‍රයිට්ගේ අනතුරු ඇඟවීම්වලට අනුකූලව, නුදුරු කාලයේ දී වේවා, ඊළඟ උන සමයේ දී හෝ ඒ දෙකේම වේවා රෝගයේ සීඝ්‍ර යලි නැගී ඒමක් ඇතිවන බවයි.

ධනවාදයේ “ම්ලේච්ඡ ආර්ථික විද්‍යාව” තුල දී, කෝවිඩ්-19 වසංගතයෙන් අහිමි වූ ජීවිත හුදෙක් ව්‍යාපාර කිරීමේ පිරිවැයයි. මූල්‍ය වෙලඳපොලවල්වලට මුක්කු ගැසීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් වියදම් කර ඇති මුත් වසංගතය පාලනය කිරීම සඳහා කිසිදු බැරෑරුම් උත්සාහයක් ගෙන නොමැති අතර, ව්‍යාපාර වසා දැමීම ඇතුලුව රෝගය අවම කිරීමේ පියවරයන් කුමක් වුවද ඒවා වේගයෙන් අතහැර දමනු ලැබ තිබේ.

කම්කරුවන්ගේ ජීවිත ජීවනෝපායන්ට ප්‍රතිවිරුද්ධව තැබීමට පාලක පන්තිය දරන උත්සාහය මුලුමනින්ම ව්‍යාජ තේරීමකි. කෝවිඩ් සහ අනෙකුත් සියලුම බෝවන රෝග නැවැත්වීම සහ තුරන් කිරීම සඳහා අවශ්‍ය සමාජ සම්පත් වෙන් කිරීම මගින් මේ දෙක ම ආරක්ෂා කල හැකිය. මෙම පියවරයන් ක්‍රියාත්මක කරන තාක් කල් අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා තිබිය යුතුය.

නමුත් වසංගතය පාලනය කිරීම සඳහා ධනේශ්වර පන්තිය අකමැත්තක් දක්වන දෙයක් වන සමාජ යටිතල පහසුකම් සඳහා ආයෝජනයක් අවශ්‍ය වේ. කෝවිඩ්-19 වසංගතය මගින් වඩාත් මූලික සමාජ අයිතිය වන ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීමත් සමඟ ධනවාදී ක්‍රමයේ පවතින පූර්න නොගැලපීම පැහැදිලි කර තිබේ.

Loading