බලපිටිය මූලික රෝහලේ කම්කරුවෝ අප්‍රේල් අතිකාල වැටුප් ඉල්ලා උද්ඝෝෂනය කරති

ඊයේ උදේ වරුවේ බලපිටිය මූලික  රෝහලේ උපස්ථායක, රියදුරු, දුරකථන ක්‍රියාකරු, මැහුම් සේවක යන අංශ කිහිපයක කම්කරුවෝ පැය දෙකක පිකට් උද්ඝෝෂනයක යෙදී ගත්හ. 

බලපිටිය මූලික රෝහලේ පිකට් උද්ඝෝෂනය කල කම්කරුවන්

දකුනු පලාත් සභාව මගින් පාලනය වන රජයේ රෝහල් වල කම්කරුවන් ට, අප්‍රේල් මාසයේ අතිකාල වැඩ සඳහා,  නියමිත ගෙවීම් කිසිදු දැනුම් දීමකින් තොර ව ම අත්හිටුවනු ලැබ ඇත. අප්‍රේල් මාසයට අදාල අතිකාල ගෙවීම් මැයි මස වැටුපට එකතු කිරීම සාමාන්‍ය පිලිවෙත වේ. නමුත්, මෙවර මැයි වැටුපට එය එකතු කර නොමැති බව දැන ගත් වහා ම කම්කරුවන් අතර නොසන්සුන්තාවය සහ කෝපය වැඩුනි. 

සාත්තු සේවයේ කම්කරුවකුගේ මූලික වැටුප රුපියල් 24,500 කි. සියලු  දීමනා සහිත ව රුපියල් 45,000 ඉක්ම වූ වැටුපක් ලබා ගැනීම සඳහා අතිකාල සේවා මගින් රුපියල් දස දහසක්වත් ඔවුන් උපයා ගත යුතු ය. එයින් රුපියල් 3000-4000 කට ආසන්න මුදලක් අර්ථසාධක සහ එබඳු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් අඩු කෙරේ. 

බලපිටිය රෝහලේ උපස්ථායිකාවක වන නිශානි පැවසුවේ,  තම වැටුපෙන් රුපියල් තුන් දහසක් නය වෙනුවෙන් කැපී යන බව සහ නිවාස තැනීම වැනි අත්‍යවශ්‍ය දේ සඳහා නය ගැනීම නිසා බොහෝ කම්කරුවන් ගේ මාසික වැටුපෙන් රුපියල් 20,000ට වැඩි ප්‍රමානයක් කැපී යන බව යි.

අප්‍රේල් අතිකාල වැටුප නො ලැබීම නිසා කම්කරුවන් මුහුන දී සිටින ප්‍රශ්න පැහැදිලි කරමින්, කම්කරුවෙකු මෙසේ පැවසුවේය: “අපට ගෙදර යන්න විදියක් නෑ. අපි කඩවලින් නයට බඩු ගන්නෙ; ගිය මාස නය ගෙවන්නත් බැරි වුනා.” 

මෙම කම්කරුවන්ගෙන් එක් කොටසකට පැය 100 ක සහ අනෙක් කොටසට පැය 150 ක සීමාවන්ට යටත් ව අතිකාල දීමනා ලබා ගත හැකි ය. “යන්තම් ගැට ගහගන්නේ ඕටී එකෙන්. දැන් හිඟ ඕටී ලබන මාසේ 25 දෙන්නම් කියලා කියනවා. ඒත් සල්ලි ලැබුනොත් තමයිලු දෙන්නෙ. අපි නිකං සතයක් වත් ඉල්ලනවා නෙමෙයි. අපි වැඩ කරපු සල්ලි නැතුව අපට ගෙදර යන්න බැහැ” යැයි ලසන්ත කීවේය.

බුද්ධිකා

“භයානක වසංගත තත්වයක් යටතේ අපි වැඩ කලත් අපේ ආරක්ෂාව සඳහා කිසිම දෙයක් ලැබුනේ නෑ” යයි වැඩ අධීක්ෂකවරියක වන බුද්ධිකා කීවා ය. රෝහලට රෝගියෙක් පැමිනි විට මුලින් ම හමුවන්නේ සාත්තු සේවකයින් බව ඇය පැහැදිලි කලා ය. එහෙත් පරිපාලනය ඔවුන්ට දැනුම් දී ඇත්තේ ආරක්ෂක උපකරන පැලඳීම අනවශ්‍ය බව යි. 

සෑහෙන වෙහෙස දරා පරිත්‍යාගශීලීන් සොයා ගෙන මුඛ ආවරන ආදිය සපයා ගැනීමට කම්කරුවන්ට සිදු වූ බව ඇය කීවා ය.

“අපට රෙස්ට් රූම් එකක් නැහැ. අසනීපයක් වුනොත් විවේක ගන්න තැනක් නෑ. ඇඳුම් මාරු කර ගන්නෙ බාත්රූම් වල” යැයි සාත්තු සේවකයෙකු වන සුමිත් සඳහන් කලේ ය. “උද්ඝෝෂනය කරන්න තීරනය ගත්තේ අපි. ජන රජ සෞඛ්‍ය සේවා සංගමයට අපි දැනුම් දුන්නා එහෙම කරනවා කියා” යයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ය.

පොදු ප්‍රවාහන සේවා ඇනහිට ඇති තතු යටතේ තමන් සේවයට වාර්තා කලේ කෙතරම් අසීරුතා මධ්‍යයේ ද යන්න ගැන කම්කරුවෝ කතා කලහ. උදෑසන අටේ සිට සවස හතර දක්වා සේවා මුරය සඳහා ප්‍රවාහන පහසුකම් නොදීම නිසා ඇතැම් කම්කරුවන්ට නිවෙස් බලා යා නො හැකි වී ඇත. සේවයට වාර්තා කිරීමේ දී ප්‍රවාහනය සඳහා අමතර වියදම් දැරීමට සිදුව ඇතිබව ඔවුහු පැවසූහ.

රාජ්‍ය සේවකයන්ගේ මසක වැටුප ආන්ඩුවට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් කල ඉල්ලීමට සහ ඒ යටතේ සමහර ආයතනයන්හි දැනටමත් ආරම්භ කර ඇති වැටුප් කපා ගැනීම සම්බන්ධයෙන් රෝහල් කම්කරුවෝ බරපතල ලෙස විරුද්ධ වූහ.

මෙම ඉල්ලීම කර ඇත්තේ, මැයි 13 වැනි දා බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් අදාල බලධාරීන් වෙත නිකුත් කල චක්‍රලේඛයකින්, “මැයි මස වැටුප පිලියෙල කිරීමේ දී අතිකාල දීමනා, නිල ඇදුම් දීමනා සහ හිඟ වැටුප් ඇතුලත් නො කරන ලෙස පලාත් භාන්ඩාගාරය විසින් දන්වා ඇති බව” නිවේදනය කර ඇති තතු තුලය.

බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් ද මෙවැනිම චක්‍රලේඛයක් නිකුත් කොට ඇත. මෙම ප්‍රහාර වලට එරෙහිව දිවයින පුරා රෝහල් සේවකයන් අතර වැඩෙන විරෝධයේ තවත් ප්‍රකාශනයක් ලෙස ගම්පහ, වතුපිටිවල රෝහලේ සේවකයෝ, තමාට සපයා තිබූ        ප්‍රවාහන පහසුකම් ඉවත් කිරීමට එරෙහිව පසුගියදා විරෝධතාවයක නිරත වූහ.

එමෙන්ම, ඊයේ වලස්මුල්ල රෝහලේ කම්කරුවෝ ද මැයි මස වැටුපට අප්‍රේල් මස අතිකාල දීමනා එකතු නොකිරීමට එරෙහිව විරෝධතා දැක්වූහ. 

ආන්ඩුවේ මෙම ප්‍රහාරයන්ට එරෙහිව සටනක් සංවිධානය කිරීම කෙසේ වෙතත්, තම නායකත්වයට පිටතින් පැන නගින මෙම අරගල දියකර හැරීමට රෝහල් සේවය ආශ්‍රිත සෑම වෘත්තීය සමිතියක්ම වැඩට බැස ඇත. ආන්ඩුව සහ බලධාරීන් සමග සාකච්ඡා වටවංගුවල කම්කරුවන් සිරකොට එම අරගල දියකර හැරීම ඔවුනගේ පිලිවෙතයි.

දයානි කන්ඩම්බි

 ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ බලපිටිය රෝහල් ශාඛාවේ ලේකම් දයානි කන්ඩම්බි කම්කරුවන්ගේ ඉල්ලීම මව් සංගමයට දැනුම් දී ඇත. පැය දෙකක පිකට් කිරීමකට අරගලය සීමා කලේ එම සංගමය විසිනි. මව් සංගමය හිඟ අතිකාල වැටුප ලබා දෙන ලෙස ඉල්ලා දකුනු පලාත් සභාවට ලිපියක් යැවූ බව දයානි කන්ඩම්බි පැවසුවා ය. 

මෙය පාලකයන්ගේ අවශ්‍යතා සපුරාලීමකි. කම්කරුවන් ඉල්ලා සිටියේ අතිකාල ඇතුලු අනෙකුත් දීමනා තමන් අතට ලැබෙන තෙක් නොනවත්වන සටනකි. 

මෙම අත්දැකීම් මගින් ද පෙන්වා දෙන්නේ, තම අවශ්‍යතා සඳහා සටන් කිරීමට නව වැඩපිලිවෙලක් සහ නව සංවිධාන රූපයක් අවශ්‍ය බවයි. කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී තමාගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් තමාට එරෙහි ප්‍රහාරයන්ගේ මූලය වන ධනවාදයටත්, එම ප්‍රහාරයන් ක්‍රියාවට නංවන ධනපති ආන්ඩුවටත් එරෙහිව දේශපාලනික අරගලයක්  සඳහා පෙරට පැමිනිය යුතුය.

Loading