ඉදිරිදර්ශන

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂනය වීම වලකා ජීවිත රැක ගැනීමට සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල් හා වැඩපොල කමිටු පිහිටුවනු!

මෙම ලිපිය මැයි 21 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.                                                              PDF

කොරෝනා වෛරස් වසංගතය, දැනටමත් ලෝකයේ අන් කවර හෝ රටකට වඩා වැඩි ජීවිත හානි සිදු ව ඇති එක්සත් ජනපදයේ දී දිගින්දිගටම භයංකර වන්දියක් ලබා ගනිමින් සිටියි. එක්සත් ජනපදය තුල ලක්ෂ 15කට වඩා ජනයා කොවිඩ්-19 ආසාදිතයන් බවට රෝග නිශ්චය කරනු ලැබ ඇත්තාහ. මරන සංඛ්‍යාව 100,000 කරා ලඟා වෙමින් පවතී. දිනපතා අලුත් ආසාදිතයන් 20,000 කට වැඩියෙන් වාර්තා වන අතර දෛනික මරන සංඛ්‍යාව 1,500 කට ආසන්නව ඇත.    

ගෝලීයව කොරෝනා වෛරසය 330,000 කට ආසන්න ජනයා මරා දමා ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව මිලියන පහක් ඉක්මවා ඇත. මේ, තත්‍ය බලපෑම මහත් සේ අඩුවෙන් දක්වා ඇති නිල සංඛ්‍යා ලේඛනවලට අනුවය. නැගෙනහිර යුරෝපයේ, ආසියාවේ, දකුනු ආසියාවේ හා ලතින් ඇමරිකාවේ - විශේෂයෙන්ම ස්පාඤ්ඤය ඉක්මවමින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව සහිත රටවල් අතර තුන්වන ස්ථානයට පත් ව ඇති බ්‍රසීලයේ - ආසාදන වේගය ශීඝ්‍රයෙන් ඉහල යමින් පවතී.     

කොරෝනා වෛරසය ජාතික මායිම් නොහඳුනයි. ආසාදනය ලෝකයේ අනෙක් කොටස්වල වර්ධනය වීම නොවැලැක්විය හැකි ලෙස එක්සත් ජනපදය වෙත ද බලපානු නිසැකය. රෝග පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක රොබට් රෙඩ්ෆීල්ඩ් ෆයිනෑන්ෂියල් ටයිම්ස් අමතා ප්‍රකාශ කලේ, දක්ෂින අර්ධ ගෝලය තුල රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාමෙන් අදහස් වන්නේ මෙම වර්ෂයේ අග භාගයේ එක්සත් ජනපදය තුල යලිත් එය ඇවිල යාමට විශාල ඉඩක් පවතින බවයි.     

“එය දකුනු දෙසට යමින්, දක්ෂින අර්ධ ගෝලය තුල සෙම්ප්‍රතිශ්‍යා උන මෙන් පැතිරෙනු ඇතැයි පැවැති ශංකා [සැබෑ වීම] පිලිබඳ සාක්ෂි අපි දැක ඇත්තෙමු,” යැයි රෙඩ්ෆීල්ඩ් පැවසීය. “තව ද, බ්‍රසීලයේ දැන් සිදු වන දේ ඔබට පෙනෙන්නට තිබේ. දක්ෂින අර්ධ ගෝලය සිසාරා ගොස් අවසානයේ එය යලිත් උතුරට ගොඩ බසිනු ඇතැයි මම සැක කරමි.”     

වසංගතයේ නරකම අවධිය ඉක්ම ගොස් ඇතැයි ට්‍රම්ප් පාලනය විසින් කෙරෙන කියාපෑම් මුසාවන් බව මෙම අනතුරු හැඟවීම් මඟින් හෙලිදරව් කෙරේ. එක්සත් ජනපදය තුලමත් වසංගතය පාලනය වී නැත. 30,000 කට ආසන්න ජනකායකගේ ජීවිත අහිමි කල ආසාදනයේ උදම් රල පහරකින් නිව්යෝර්ක් ප්‍රාන්තය යන්තමින් සුවපත් වෙමින් පවතින අතරවාරයේ, කොවිඩ්-19 වසංගතය දැන් මිඩ්වෙස්ට් හා සවුත් ප්‍රාන්ත සිසාරා රල නඟමින් පැතිර යයි.    

වොෂින්ටන් සරසවියේ පර්යේෂකයන් විසින් හෙල්ත් අෆෙයාර්ස් නම් වෛද්‍ය සංග්‍රහයේ ප්‍රසිද්ධියට පත් කොට ඇති නව අධ්‍යයනයක් මඟින් තක්සේරු කෙරී ඇත්තේ මේ වසර අවසාන වන විට එක්සත් ජනපදය තුල පමනක් මරන සංඛ්‍යාව 350,000 හා මිලියන 1.2 අතර සංඛ්‍යාවක් කරා ඉහල නැගෙනු ඇති බවයි. මේ තක්සේරුව කෙරී ඇත්තේ, කායික දුරස්ථකරනයේ උපක්‍රම ලිහිල් කිරීම සඳහා දැන් ගැනෙමින් පවතින පියවර සැලකිල්ලට ගැනීමෙන් තොරව ය. 

“ආර්ථිකය යලි විවෘත කරනු” හා “ආපසු වැඩට යනු” වශයෙන් නොකල්හි හා නොසැලකිලිමත් ලෙස කෙරෙන උද්ඝෝෂනය මඟින් ආසාදනය පැතිරීමේ වේගය ශීඝ්‍රයෙන් ඉහල යාමේ අනතුර වැඩි කෙරෙමින් පවතී. ට්‍රම්ප් පාලනය සහ රට පුරා ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ආන්ඩුකාරවරු ව්‍යාපාර හා කම්හල් නැවත විවෘත කරමින් සිටිති. ප්‍රාන්ත 50 ම ආර්ථික හා විනෝදායන ක්‍රියාකාරකම් මත පනවා තිබූ සීමා ලිහිල් කිරීම හෝ, ඇතැම් අවස්ථාවල මුලුමනින් ඉවත් කිරීම හෝ ආරම්භ කොට ඇත. ධවල මන්දිරය ද, රාජ්‍ය නිලධාරීහු ද, මාධ්‍යවල සැලකිය යුතු කොටස් හා දක්ෂිනාංශික අන්තවාදී බලවේග ද මූලික සමාජ දුරස්ථභාවය රැකීමේ පියවර නොතකා හැරෙන වාතාවරනයක් නිර්මානය කරමින් සිටිති.        

මෙම උද්ඝෝෂනය යටින් පවතින්නේ “පට්ටි ප්‍රතිශක්තියේ” සංකල්පයයි. එහි අර්ථය වන්නේ, භාවිතයේ දී, වෛරසය පැතිර යාම වැලැක්වීමට යොදන සියලු ප්‍රයත්න අත හැර දැමීමයි. රෝගයට කිසිදු බාධාවකින් තොරව පැතිරීමට ඉඩ දීම මඟින් පාලක පන්තිය තවත් දස දහස් හෝ ලක්ෂ සංඛ්‍යාත ජනයා මිය යාමේ තතු තහවුරු කරති.   

මෙම උද්ඝෝෂනය සඳහා පෙලඹුම වන්නේ සංගතවල ලාභ ප්‍රවාහය ප්‍රතිස්ථාපනය කිරීමට දැරෙන පරිශ්‍රමයයි. විද්‍යාව මත පදනම්ව බරපතල ලෙස බලාත්මක කෙරෙන ප්‍රවේශම්කාරී සැලසුමක් ක්‍රියාවට නැංවීමෙන් තොරව, ආපසු වැඩට යාම සඳහා දැරෙන මෙම පරිශ්‍රමයේ ප්‍රතිඵලය වනු ඇත්තේ බරපතල රෝගාබාධවලට හා මරනයට හේතුකාරක වන පරිදි ආසාදන වේගය දැවැන්ත ලෙස ඉහල යාමයි.        

කොවිඩ් 19 වෛරසය කම්හල්, බඩු ගබඩා, කාර්යාල පරිශ්‍රයන්, සාප්පු සංකීර්න, හා මහජනයා විශාල වශයෙන් ඒකරාශී වන අනෙකුත් සියලු ස්ථාන ද හරහා වේගයෙන් ප්‍රචාරනය වනු ඇත. රැකියාවේ යෙදී සිටියදී සිය දැනීමකින් තොරව ආසාදනය වන, තවමත් රෝග ලක්ෂන නොපෙන්වන කම්කරුවන් තම නිවාස හා වටපිටාව කරා ආපසු පැමින, තම පවුල්වලට, ආදරනීයයන්ට හා හිත මිතුරන්ට රෝගය සම්ප්‍රේෂනය කිරීමේ බලගතු අනතුරක් පවතී. සිල්ලර වෙලඳසල් විවෘත කිරීමත් සමඟ සේවා සම්පාදන කම්කරුවෝ අන්තරායකාරී වාතාවරනයන් කරා තල්ලු කර දැමෙමින් පවතී. ඇමසන් ආයතනයේ සේවකයන් වසංගත කාලය පුරාම ප්‍රමානවත් ආරක්ෂක උපකරනවලින් තොරව සේවයේ යෙදී සිටි අතර ඔවුන්ගෙන් අවම වශයෙන් හත් දෙනෙකු මරනයට පත් වී ඇත. ට්‍රම්ප් පාලනයේ අන පරිදි දිගටම සේවයේ යෙදීමට බල කරනු ලැබ සිටින මස් ඇසුරුම් කම්කරුවන් අතර වසංගතය දිගටම ප්‍රසාරනය වෙමින් පවතී. ප්‍රවාහන පද්ධති සිය ක්‍රියාකාරීත්වයන් ප්‍රසාරනය කිරීමත් සමග ගුවන් සේවා හා මාර්ගස්ථ කම්කරුවෝ අතිශය උපද්‍රවකාරී තත්වයන්ට මුහුන පා සිටිති. නිව්යෝර්ක් පුරවරය තුල පමනක් මාර්ගස්ථ කම්කරුවන් 100 කට අධික සංඛ්‍යාවක් දැනටමත් මරනයට පත් වී ඇත.   

ඉදිරි සතිවල දී අලුත් රෝගීන්ගේ තියුනු වැඩි වීමකට මුහුන දෙනු ඇති සෞඛ්‍ය සේවා කම්කරුවන්ට භාවිතා කිරීමට ප්‍රමානවත් පුද්ගල ආරක්ෂන උපකරන නැත. මෑතක දී සිදු කල අධ්‍යයනයකින් හෙලි වූයේ, එජ හෙදියන්ගෙන් සියයට 87 කට ආරක්ෂන උපකරන නැවත නැවත භාවිතා කිරීමට බල කෙරී ඇති බවයි. සියයට හැත්තෑ දෙකක් වැඩ කරන්නේ සිය සම හෝ ඇඳුම් නිරාවරනය වී පවතින තතු යටතේය.      

තව ද, එලැඹීමට නියමිත දේ පිලිබඳ අසුබ පෙරනිමිත්තක් දක්වමින්, මෝටර් රථ කම්කරුවන් දස දහස් සංඛ්‍යාත සංඛ්‍යාවක් නැවත වැඩට කැඳවීමෙන් දින කිහිපයක් ඇතුලත ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත ශාලා හා කොටස් නිමවන කම්හල්වල කම්කරුවන් අතර කොවිඩ් 19 ආසාදිත වූවන් රැසක් වාර්තා විය.   

වසංගතය දිගටම පැතිර යාමේ තතු යටතේ ආපසු වැඩට යාමට සිදු කෙරෙන ඔලමොට්ටල උද්ඝෝෂනයට හා අත්‍යවශ්‍ය නොවන වැඩපොලවල් යලි විවෘත කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසපය) විරුද්ධ වෙයි. ආසාදනය, රෝ බිය හා මරනය වැලැක්වීමට නම්, ආරක්ෂාකාරී ලෙස වැඩ කිරීමේ කොන්දේසි අධීක්ෂනය කරමින් ඒවා ක්‍රියාවට නංවන නව ආකාරයක වැඩපොල සංවිධාන නිර්මානය කිරීම අත්‍යවශ්‍ය වේ.      

එබැවින්, සෑම කම්හලකම, කාර්යාලයකම හා වැඩපොලකම සාමාන්‍ය කම්කරුවන්ගේ ආරක්ෂන කමිටු පිහිටුවන ලෙස සසපය කම්කරුවන්ට දැනුම් දෙයි. කම්කරුවන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය කෙරෙනු ඇති මෙම කමිටු, කම්කරුවන්ගේ ද, ඔවුන්ගේ පවුල්වල ද, පුලුල් ජන සමාජයේ ද ජීවිත ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවර ක්‍රමවත්ව සකසා, එම පියවර ක්‍රියාවට නංවා, එකී ක්‍රියාවලිය අධීක්ෂනය කල යුතුය.      

“සාමාන්‍ය ලෙස කටයුතු කිරීමේ” හැකියාවක් නැත! වසංගතය විසින් හෙලිදරව් කරනු ලැබ ඇත්තේ, නිෂ්පාදනයේ, බෙදා හැරීමේ හා ආර්ථික ක්‍රියාකාරීත්වයේ සන්තතීන් හි පරිපූර්න ප්‍රතිව්‍යුහගත කිරීමක ඇති හදිසි අවශ්‍යතාවයයි. සංගතවල ලාභයේ හා ප්‍රකෝටිපති කතිපයාධිපතීන් සතු පෞද්ගලික ධන සම්භාරයේ උත්සුකයන් වෙනුවෙන් කම්කරු ජනයාගේ හා ඔවුන්ගේ දරු පවුල්වල ජීවිත බිලි දිය යුතු නැත.   

ට්‍රම්ප්ගේ, මහා ව්‍යාපාර නියෝජනය කරන පක්ෂ දෙකේ දේශපාලනඥයන්ගේ, හා “ආර්ථිකය යලි විවෘත කිරීම” වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යයන්හි, ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් “කාගේ ආර්ථිකයදැ”යි යන ප්‍රශ්නය නැඟිය යුතුය. ජෙෆ් බෙසෝස්ගේ, එලොන් මස්ක්ගේ, වෝල් වීදියේ පල් හොරුන්ගේ, හා ජනගහනයෙන් ධනවත්ම සියයට එකත් පහත් අතරට වැටෙන්නවුන්ගේ ආර්ථිකය ද? නැතහොත්, සමාජයේ සියලු ධන සම්පත් නිපදවන, එහෙත් එක් වැටුප් දිනයක සිට ඊලඟ වැටුප් දිනය දක්වා යන්තමින් දිවි ගැට ගසා ගන්නා - ඒ ද, රැකියාවක් ලදහොත් පමනෙකි - කම්කරු පන්තියේ ආර්ථිකය ද?  

වසංගතය කෙරේ ට්‍රම්ප් පාලනයේ ප්‍රතිචාරය 

කම්කරුවන් පොරබදමින් සිටින අන්තරායකර තත්වය දැනුවත්ව අනුගමනය කෙරෙන පන්ති පිලිවෙතක් විසින් නිර්මානය කරන ලද්දකි. හුදු වසංගතයක් එලැඹිය හැකි බවට පමනක් නොව එය නොවැලැක්විය හැකි බවට ද වසංගත පිලිබඳ විශේෂඥයෝ දශක ගනනක සිට අනතුරු හඟවා ඇත්තාහ. මෙම අනතුරු හැඟවීම් නොතකා හරින ලදී. වෛරස හා බැක්ටීරියා පිලිබඳ පර්යේෂන සඳහා ද රෝහල් ඉදි කිරීම සඳහා ද ආයෝජනය කරනු වෙනුවට වෝල් වීදියේ මූල්‍ය සම්පාදකයෝ සෞඛ්‍ය යටිතල ව්‍යුහයේ විශාල පදාසයන් කැබලි කර දමන ලෙස හා පෞද්ගලීකරනය කරන ලෙස ඉල්ලා සිටියෝය.    

සමාජ අවශ්‍යතා, නිර්බාධිත ආකාරයෙන් ලාභ හඹා යාමේ ක්‍රියාවලියට යටත් කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ වැඩපොලවල් තුල වාර්ෂිකව දසදහස් ගනනින් තුවාල ලැබීම හා මරනයට පත්වීමයි. මෙම වසංගතයට පූර්වයෙන් පවා, වැඩ හා බැඳුනු වලක්වා ගත හැකි තුවාල ලැබීම්වලින් හා රෝගාබාධවලින් දිනපතා මිය යන කම්කරුවන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 150 කි. ඇමරිකානු වැඩපොලවල් ආරක්ෂා විරහිතභාවය හා සනීපාරක්ෂා විරහිතභාවය සම්බන්ධයෙන් කුප්‍රකටය. වෘත්තීයමය ආරක්ෂාව හා සනීපාරක්ෂාව පිලිබඳ පාලක මන්ඩලය (ඕඑස්එච්ඒ) ක්‍රියාත්මක වන්නේ සංගතවල හස්තයකට වඩා වැඩි යමක් නොවන ලෙස ය. වසංගතයේ ප්‍රහාරය දියත් වූ තැන් පටන් ඕඑස්එච්ඒ වෙත කොවිඩ් 19ට සම්බන්ධ 14,000 කට ආසන්න පැමිනිලි සංඛ්‍යාවක් ලැබී ඇති අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් එකම කැඳවීමක් හෝ දන්ඩනයක් නිකුත් කර නැත.     

වසංගතය ජනවාරියේ හා පෙබරවාරියේ එහි ගෝලීය පැතිරීම ආරම්භ කරන විට ට්‍රම්ප් පාලනයේ හා ඇමරිකානු පාලක පන්තියේ අවධානය කේන්ද්‍රගතව පැවතියේ ජීවිත ආරක්ෂා කිරීම කෙරේ නොව ලාභ ආරක්ෂා කිරීම කෙරේ ය. එහි මුල් ප්‍රතිචාරය වූයේ, අනතුර අඩුවෙන් දක්වා, ව්‍යාපාර සුපුරුදු ලෙස ක්‍රියාත්මක කර ගෙන යාමට උත්සාහ කිරීම ය. වෛරසය හුදෙක් “සේදී ඉවත්වනු” ඇතැයි කියා පාමින් සිටි ට්‍රම්ප් පරිපාලනය, ප්‍රජාව පරීක්ෂා කිරීමේ, සබඳතා පැවැත්වූවන් හඳුනා ගැනීමේ හා හුදෙකලාකරනයේ පද්ධතියක් ස්ථාපනය කිරීමට අසමත් විය.     

යුරෝපය තුල වසංගතයේ පරිමානය ඉහල යත්ම ඇවිල ගිය මහජන කෝපය විසින් - මෝටර් රථ කර්මාන්තය තුල වෘත්තීය සමිතිවල අනුදැනුමකින් තොරව පැන නැඟුනු වර්ජන (‘වයිල්ඩ් කැට්‘ වර්ජන) ද මීට ඇතුලත්ය - වෛරසය සීමා කිරීමේ ආරම්භක පියවරයන් ක්‍රියාත්මක කිරීමට ෆෙඩරල් හා ප්‍රාන්ත ආන්ඩුවලට බල කෙරිනි. කෙසේවෙතත්, ඒ ක්ෂනයේ ම මෙන්, ට්‍රම්ප් පාලනය හා මාධ්‍ය, “ප්‍රතිකාරය රෝගයට වඩා නරක එකක් වීමට ඉඩ හැරිය නොහැකි” බවටත්, රට “වැඩ කිරීම කරා ආපසු ගෙන යාම” අත්‍යවශ්‍ය බවටත් වන අනතුරු හැඟවීමේ සීනු හඬවන්නට වූහ.  

පාලක පන්තියේ ආස්ථානයෙන් ගත් කල, මාර්තු මස අවසානය වන විට වඩාත්ම වැදගත් ක්‍රියා මාර්ග ගෙන අවසන්ය: එනම්, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් දෙපාර්ශවයේ ම ඒකමතික සහාය ලබා සම්මත කරන ලද, වෝල් වීදියට හා සංගත හිමි ප්‍රභූවට කිසිදු සීමා කිරීමකින් තොරව ඩොලර් ට්‍රිලියන ගනනින් මුදල් ඇප දීමට බලය දුන් කෙයාර්ස් පනතේ මාවත සැකසී හමාරය. දිනපතාම ඩොලර් බිලියන 80 ක් ඉක්මවූ මුදල් කන්දරාවක්; 2008-2009 මූල්‍ය අර්බුදයෙන් ඉක්බිතිව ගනු ලැබූ පියවර පවා අතිශයින් ඉක්මවා යන ප්‍රමානයේ මුදල්; එජ ෆෙඩරල් මහ බැංකුව විසින් වෝල් වීදියට පොම්ප කරනු ලැබේ. මෙමඟින්, උත්සන්න වන මරනයේ හා සමාජ ව්‍යසනයේ තතු තිබියදීම, දිගින් දිගටම වෙලඳපොලවල නැඟීම සඳහා ඉන්ධන සැපයේ. 

ධනවතුන්ට මුදල් ඇප සම්පාදනය කිරීම මඟින් කඳු ගැසුනු දැවැන්ත නය කන්දරාව කම්කරු පන්තිය සූරා කෑම හරහා ආපසු ගෙවිය යුතුව ඇත. තම අපරීක්ෂාකාරී හා අපරාධකාරී පිලිවෙත යුක්තියුක්ත කරනු වස් ට්‍රම්ප් පාලනය අන්ත-දක්ෂිනාංශයේ පෙලපාලි උසිගැන්වීමට යත්න දරා ඇත. එම ප්‍රයත්න මාධ්‍ය විසින් ද ප්‍රවර්ධනය කරනු ලැබ ඇත. තව ද, ඩිමොක්‍රටිකයෝ හා රිපබ්ලිකනයෝ යන දෙපාර්ශ්වයම, චීනය දඩමීමා කර ගැනීම මඟින්, ඇමරිකානු මූල්‍ය කතිපයාධිපත්‍යය වෙත එල්ල කෙරෙන චෝදනා වෙනතක හරවා යැවීමේ ප්‍රයත්නයක නිරත වෙති.      

දීර්ඝ කාලයක් පුරා ආසාත්මිකතා හා බෝවෙන රෝග පිලිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරමින් සිටි ඇන්තනි ෆවුසි ද ඇතුලත් ව, ආපසු වැඩට යැවීමේ පිලිවෙතෙහි ඇති අන්තරාය සම්බන්ධයෙන් අනතුරු හඟවා ඇති විද්‍යාඥයෝ ට්‍රම්ප් පාලනය විසින් මුල්ලකට තල්ලු කෙරෙමින් සිටිති. රෝග පාලන මධ්‍යස්ථාන කොන් කෙරෙමින් පවතින අතර, එම ආයතනයේ අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆෝර්ඩ් ධුරයෙන් පහ කිරීමට ට්‍රම්ප් තර්ජනය කරමින් සිටී.   

ඒ අතරම, කම්කරුවන් හාමතේ හෙලීම මඟින් ජනනය වී ඇති සමාජ අලාමුලාව ආපසු වැඩට ඒමක් සඳහා බල කිරීමට යොදා ගැනෙමින් පවතී. ධනවතුන්ට අසීමිත මුදල් ප්‍රමානයන් වෙන් කර තැබෙන අතරවාරයේ ම, දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට ලැබුනු දෙයක් නැත. ව්‍යාපාර යලිත් ක්‍රියාරම්භ කරන විට, තමන් හා තම පවුල්වල අය අනතුරට පාත්‍ර කර ගැනීම ප්‍රතික්ෂේප කරන කම්කරුවන් සියලු ආධාර වැඩ පිලිවෙලවල් වලින් කපා හැරෙනු ඇත.  

ට්‍රම්ප් පාලනය මෙම උද්ඝෝෂනයෙහි පෙරමුන ගන්නා අතර, එයට සමස්ත දේශපාලන සංස්ථාපිතයේ සහාය ලැබී ඇත. ඩිමොක්‍රටිකයන් ආපසු වැඩට යැවීමේ උද්ඝෝෂනය සමඟ අත්වැල් බැඳ සිටින අතර, නිෂ්පාදනය යලි ආරම්භ කිරීම ක්‍රියාත්මක කෙරෙන ප්‍රාන්ත ගනනාවක් ම ඩිමොක්‍රටික් පක්ෂය මඟින් පාලනය වන ඒවාය. ඩිමොක්‍රටික් ආන්ඩුකාර ග්‍රෙචන් විට්මර්ගේ නායකත්වය යටතේ මෝටර් රථ නිෂ්පාදනය යලි ආරම්භ කරන මිචිගන් ප්‍රාන්තය ද ඊට ඇතුලත් ය.     

මාධ්‍ය සම්බන්ධයෙන් කිවහොත්, වෛරසයේ අනතුර අවම කොට දැක්වීමට කල හැකි සියල්ල කිරීමට එය උත්සාහ දරයි. සෑම දිනයක්ම එන්නතක් හෝ ප්‍රතිකාරයක් පිලිබඳ“නව අපේක්ෂාවක” වාර්තා ගෙන එයි. කෙසේවෙතත්, සාර්ථක එන්නතක ශක්‍යතාවය - ලබන වසරේ ද යම් කාලයක් ගතවන තුරු එවැන්නක් භාවිතයට සූදානම් නොවනු ඇතැයි විද්‍යාඥයන් සඳහන් කරයි - යනු ආපසු වැඩට හරවා යැවීම සඳහා වලංගු විතර්කයක් නොවේ. එවන් එන්නතක් වර්ධනය කෙරේ නම්, ආපසු වැඩට යැවීමේ උද්ඝෝෂනය නිසා ලක්ෂ ගනනින් ජීවිත අහිමිවීම වඩාත් වැඩි ඛේදාන්තයක් වනු ඇත.  

කොරෝනා වෛරසයේ ස්වභාවය 

පන්ති දෙකක උත්සුකයෝ එකිනෙකට එරෙහිව මුහුනට මුහුන ලා සිටිති. වෝල් වීදියේ ආයෝජකයන්ගේ උත්සුකයන් මත ක්‍රියා කරන සංගතවල විධායකයන් හා කලමනාකරුවන්ගේ අරමුන වනුයේ ලාභය වැඩි කර ගැනීම හා, කෙටි ම කාල සීමාවක් තුල විශාලතම වැඩ ප්‍රමානයක් උකහා ගැනීමයි. කම්කරුවන් සම්බන්ධයෙන් ගත් කල, එය සිය සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කරන ආරක්ෂිත වටපිටාවක් පවත්වා ගෙන යාම පිලිබඳ ප්‍රශ්නයකි.  

කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීමට හා එකී පියවර ක්‍රියාත්මක කිරීමට සාමාන්‍ය කම්කරුවන්ගේ ආරක්ෂන කමිටු සංවිධානය කල යුතුය. මෙම පියවරයන් රෝගයේ ස්වභාවය පිලිබඳ විද්‍යාත්මක අවබෝධයක් මත පදනම් වූ ඒවා විය යුතුය. 

කොරෝනා වෛරසය ස්පර්ශයෙන් අධිකව බෝවන සුලු රෝගයක් වන අතර, යමෙකු කථා කිරීමේ දී, හුස්ම ගන්නා විට දී, කහින හා කිවිසුම් හරින විට දී එය ද්‍රව බිඳිති හරහා පැතිරේ. එම අංශු කෙලින්ම සම්ප්‍රේෂනය වීම මඟින් හෝ, ඒවා යම් පෘෂ්ඨයකට පතිත වී තිබු තැනක් ස්පර්ශ කිරීම හරහා හෝ වෛරස් අංශු යමෙකුගේ මුවෙන්, නැහැයෙන් හෝ ඇස් වලින් ඇතුලු වූ කල යමෙකු ආසාදනය වේ.  

මෙම රෝගකාරක බීජ එයරොසෝල ලෙස හඳුන්වනු ලබන වාතයේ සරනා (වා සර) කුඩා අංශු තුල ද පැවැතිය හැකි බැව් විද්‍යාඥයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. එම එයරොසෝල වාතය තුල වඩාත් වැඩි කාලයක් රැඳී පැවතිය හැකි අතර, නිර්දේශිත අඩි හයක සමාජ දුරස්ථතාවයට වඩා බෙහෙවින් ඈතට ගමන් කිරීමට ද ඊට හැකිය. වෛරසයට කෙතෙක් දුරක් ගමන් කල හැකි ද යන්න කෙරේ යමෙකු කෙතෙක් හඬ නඟා කතා කරන්නේද යන්න ද බලපායි.   

විශාල කම්හල්වල, එකලස් පේලිවල දහස් ගනනින් එකිනෙකාට ආසන්නව හිඳිමින් ශ්‍රමය වගුරන කම්කරුවෝ, මෙම රෝගයේ ශීඝ්‍ර පැතිර යාමේ රෝග වාහකයන් බවට පත්වීමේ අවදානමට විශේෂයෙන් මුහුන පා සිටිති. “කම්හලක් යනු ඉහල ශබ්ද සහිත වටපිටාවකි. එබැවින් මිනිසුන්ට තමා ඇසීමට සලස්වනු සඳහා එකිනෙකා වෙත කෑ ගසා ගැනීමට සිදු වේ. ඒ අනුව, වෛරස් රාශියක් වාතය හරහා සම්ප්‍රේෂනය වෙයි,” යනුවෙන්, වසංගත විශේෂඥවරියක වන, මහජන සෞඛ්‍යය පිලිබඳ යූසීඑල්ඒ ෆීල්ඩින් පාසලේ අනුබද්ධ සහකාර මහාචාර්ය ජුලියා හෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවාය.    

අධ්‍යයනයන් මඟින් පෙන්වා දී ඇති පරිදි, ආසාදිතයෙකු කිසියම් හෝ රෝග ලක්ෂනයක් පෙන්නුම් කිරීමට පෙර, දින දෙකක් හෝ ඊට වැඩි ප්‍රමානයක් ඔහුට රෝග වාහකයෙකු ලෙස ක්‍රියා කල හැකිය. එබැවින්, දෛනිකව ශරීර උෂ්නත්වය මැනීම හා නිසි ප්‍රමිතියකින් තොර මුහුනු ආවරන ලබා දීම වැනි බොහෝ වැඩපොලවල ක්‍රියාවට නංවන පියවරයන් අප්‍රමානවත්ය. යමෙකු ඉහල ශරීර උෂ්නත්වයක් පෙන්වන මොහොත වන විට ඔහු මුලු යන්ත්‍රාගාරය පුරාම රෝගය පතුරුවා හැර තිබෙනු විය හැකිය.  

මාර්තු මස මුල් දිනයක වොෂින්ටන් ප්‍රාන්තයේ සමූහ ගායනා පුහුනුවකට සහභාගී වූ 61 දෙනෙකු අතරින් 52 ක් කොවිඩ් 19 වෛරසයෙන් ආසාදිත බවට හඳුනා ගැනුනු අතර ඉන් අඩුම වශයෙන් දෙදෙනෙක් මිය ගියෝය. ඔවුන් එකිනෙකා සමඟ අතට අත දීමක් හෝ ආසන්නව සිටීමක් සිදු නොවීය. මස් ඇසුරුම් යන්ත්‍රාගාර තුල කම්කරුවන් 12,000 ක් ආසාදනය කරමින් 50 දෙනෙකුට වඩා මරනයට පත් කල වෛරසය, ආවෘත ප්‍රදේශයක අධි පීඩන වායු සමීකරන යන්ත්‍ර විසින් විදිනු ලබන වා සර අංශු මඟින් පැතිරෙන්නට ඇතැයි යන පුලුල් සැකයක් පවතී.      

යන්ත්‍රාගාරවලට ඇතුලු වීමේ දී හා ඒවායින් පිට වී යාමේ දී එකතු වන අවස්ථාවේ ද, ආහාර වේලාවේ දී ද, නාන කාමර භාවිතා කිරීමේ විවේකයන් හි දී ද කම්කරුවන් මුහුන දෙන අන්තරායට අමතරව තවත් අන්තරායයෝ වෙති. එකලස් පේලිවල, ගබඩා තුල හා සිල්ලර වෙලඳාමේ දී, කම්කරුවෝ එකම මෙවලම් හා චලනය වන නිෂ්පාදිතයන් හසුරුවති. විවිධ මතුපිටවල් මත වෛරසයට රැඳී සිටිය හැකි කාලය විවිධය: ලෝහ (දින පහක්), වීදුරු (දින පහක් දක්වා), මල නොබැඳෙන වානේ (දින 2-3 අතර) කාඩ්බෝඩ් (පැය 24), ඇලුමිනියම් (පැය 2-8)  

සාමාන්‍ය කම්කරුවන්ගේ ආරක්ෂන කමිටුවල කර්තව්‍යයන් 

සාමාන්‍ය කම්කරුවන්ගේ ආරක්ෂන කමිටුවල කාර්යය කුමක් වනු ඇත්ද?

කලමනාකාරීත්වයේ හා ලාභ ප්‍රතිපත්තියේ ඉල්ලීම්වලට එරෙහිව ඔවුන් කම්කරුවන් නියෝජනය කරමින් කම්කරුවන්ගේ ආරක්ෂනය වෙනුවෙන් සටන් කරනු ඇත. තමන් විසින් අධීක්ෂනය කරනු ලැබ ක්‍රියාවට නංවනු ලැබෙන විස්තීර්න රෙගුලාසි හා ප්‍රමිතීන් සකස් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. මෙම කොන්දේසි උල්ලංඝනය කෙරෙන අවස්ථාවන් හි දී වැඩ නැවැත්වීමක් සිදු විය යුතුය.   

මෙකි කමිටුවල ප්‍රධාන අරමුන විය යුත්තේ: 

1. වැඩ කරන පැය ගනන හා නිෂ්පාදන පේලියේ වේගය පාලනය කිරීම. සෑම කම්හලකම, ව්‍යාපාරයකම, කාර්යාලයකම හා වැඩ පොලකම, විශ්වාසය දිනා ගත් විද්‍යාඥයින්ගේ හා සෞඛ්‍ය විශේෂඥයන්ගේ මන්ඩලයක් සමඟ එක්ව ක්‍රියාත්මක වන සාමාන්‍ය කම්කරුවන්ගේ ආරක්ෂන කමිටු, රැකියාව තුල මුහුන දෙන කොන්දේසි, නිෂ්පාදන වේගයන් හා කාර්ය සටහන් නිර්නය කල යුතුය. ප්‍රමානවත් විවේකයක්, ස්වස්ථතා අධීක්ෂනය, හා විධිමත් අත්‍යන්ත පිරිසිදු කිරීම් සඳහා අවකාශ ලැබෙන පරිදි වැඩ කරන පැය ගනන හා එකලස් පේලිවල වේගය අඩු කල යුතුය. 

2. පුද්ගල ආරක්ෂන උපකරන ලැබෙන බවට සහතික වීම. සෑම කම්කරුවෙකු ම ඉහලම ප්‍රමිතියෙන් යුතු මුහුනු ආවරන (එන්-95, එන්-100 හෝ පී-100 ද ඇතුලුව, පවතින තතුවලට අනුව), අත්වැසුම්, මුහුනු ආවරන පලිහ, සහ අනෙකුත් අත්‍යවශ්‍ය පුද්ගල ආරක්ෂන උපකරන පැලඳ සිටිය යුතුය. ඒවායින් දිගටම උපරිම ආරක්ෂාව සැලසෙන බව සහතික කර ගැනීම් වස් මේවා විධිමත් ලෙස මාරු කල යුතුය. පුද්ගල ආරක්ෂන උපකරන පැලඳ ගැනීම හා ඒවා ඉවත් කිරීම සම්බන්ධයෙන් කම්කරුවන්ට පුහුනුවක් ලබා දිය යුතුය.

3. ආරක්ෂාකාරීව හා සුවපහසුවෙන් වැඩ කිරීමේ කොන්දේසි තහවුරු කිරීම. සැලකිල්ලට යොමු වී ඇත්තේ හුදු ආරක්ෂන උපකරනවල සංඛ්‍යාව පමනක් නොවේ. ආරක්ෂාකාරී වීමට නම්, කම්කරුවන්ට ආරක්ෂන උපකරන විස්තීර්න කාල පරිච්ඡේදයන් පුරා පැලඳ සිටීමට හැකි විය යුතුය. සියලු යන්ත්‍රාගාරවලට, විශේෂයෙන්ම ගිම්හානයේ ආරම්භයත් සමඟ, ප්‍රමානවත් වායු සමීකරන පහසුකම් හා වාතාශ්‍රය සැපයිය යුතු අතර, එසේ කිරීමේ දී එමඟින් වෛරසයේ පැතිරීමට ආධාරකාරී නොවන ආකාරයකින් එය සිදු කෙරෙන පරිදි කටයුතු සංවිධානය කර ගත යුතුය.

4. නිතිපතා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය බලාත්මක කිරීම. සියලු කම්කරුවන්ට කොරෝනා වෛරසය සඳහා නිතිපතා පරීක්ෂා කර ගැනීමේ අවකාශ සැලසිය යුතුය. පරීක්ෂා කිරීම් හා සම්බන්ධතා සොයා ගැනීම් සඳහා ඉඩ සැලසෙන පරිදි නිෂ්පාදන කාර්ය සටහන් සංවිධානය කර ගත යුතුය. යම් කම්කරුවෙකු ආසාදිතයෙකු ලෙස පරීක්ෂනවලින් පෙනී ගියහොත් එම වැඩ ස්ථානය අත්‍යන්ත පිරිසිදු කිරීම් සඳහා අවම වශයෙන් පැය 48 ක් වසා තැබිය යුතුය.

5. ලෝක පරිමාන සෞඛ්‍ය පහසුකම් හා සහතික කල ආදායමක් ඉල්ලා සිටීම. ආසාදිත ලෙස පරීක්ෂනවලින් පෙනී යන ඕනෑම කම්කරුවෙකුට තම මුලු ආදායම නොවෙනස්ව ලැබෙන බවට සහතික කෙරෙන තතු යටතේ ඔහු හෝ ඇය හුදෙකලා කොට, වහාම වෛද්‍ය ප්‍රතිකාර සම්පාදනය කල යුතුය. ආසාදිත කම්කරුවන් සමඟ සම්බන්ධ වූ සියලු කම්කරුවන් තම මුලු ආදායම ලබන තතු යටතේ නිරෝධායනයට භාජනය කොට විධිමත් පරීක්ෂන වලට පාත්‍ර කල යුතුය. ඊට අමතරව යම් කිසිවෙකුගේ පවුලේ සාමාජිකයෙකු රෝග ලක්ෂන පෙන්නුම් කලහොත්, ඔහු හෝ ඇය පරීක්ෂාවට භාජනය කොට වෛද්‍ය වෘත්තිකයෙකු විසින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරන තුරු, සම්පූර්න වැටුප සහිතව හුදෙකලා කොට තැබිය යුතුය.  

6. තොරතුරු බෙදාහැරීම සහතික කිරීම. තම ආරක්ෂාව රැක ගනු වස්, අවශ්‍ය වුවහොත් නිෂ්පාදනය අත් හිටුවීම ද ඇතුලුව සුදුසු පියවර ගත හැකි වන පරිදි කම්කරුවන්ට ආසාදිත කම්කරුවන් පිලිබඳ සියලු තොරතුරු කරා ප්‍රවිෂ්ට වීමේ හැකියාව පැවතිය යුතුය. ඇමසන් ආයතනයේ හා තවත් සමාගම්වල කලමනාකාරීත්වය පරීක්ෂන වලින් ආසාදිතයන් බවට තහවුරු වූ සහෝදර කම්කරුවන් පිලිබඳ තොරතුරු හිතාමතා ම සඟවා තබමින්, අනාරක්ෂිත තතු පිලිබඳව හෙලිදරව් කල කම්කරුවන් සේවයෙන් පහ කර දමා ඇත. 

7. රැකියා සුරක්ෂිතතාවය සහතික කිරීම. වැඩ කිරීමේ කොන්දේසිවල පවත්නා අනාරක්ෂිතභාවය කෙරේ අවධානය ඉල්ලා සිටීම හෝ, එම කොන්දේසි යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා කිසිදු කම්කරුවෙකු දඩයමට පාත්‍ර නොකල යුතුය. අනාරක්ෂිත තතු වලට එරෙහිව කථා කිරීම නිසා නෙරපා හරින ලද කිසියම් කම්කරුවෙකු වේ නම් ඔහු හෝ ඇය සම්පූර්න හිඟ වැටුප් සමඟ යලි සේවයේ පිහිටුවිය යුතුය.   

මෙම වැඩ පිලිවෙල ක්‍රියාවට නැංවීමේ පිරිවැය කෙතෙක් වේ ද? එය ගෙවන්නේ කවුරුන්ද?

තම ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් කම්කරු පන්තියට ගෙවීමට සැලැස්විය නොහැක. ආරක්ෂිත සේවා තත්වයන් සහතික කිරීම සඳහා අවශ්‍ය කෙරෙන පිරිවැය මෙන්ම, සියලු කම්කරුවන්ට සෞඛ්‍ය සේවා සම්පාදනය කිරීම හා ඔවුන්ගේ මුලු ඉපැයීම් ලබාදීම සඳහා වන වියදම්, සංගත හා ධනේශ්වර පාලක ප්‍රභූව දැරිය යුතුය. 

සුරක්ෂිත සේවා පරිසරයක් පවත්වා ගැනීම යනු අතිමහත් ලෙස සංකීර්න වූ කාර්යයකි. එය අත්පත් කර ගත හැක්කේ, සෞඛ්‍ය සේවා විශේෂඥයන්ගෙන් ක්‍රියාකාරී උපදෙස් ලබා ගැනෙමින් සෑම වැඩපොලකම සකස් කෙරෙන විද්‍යාත්මක හා තර්කාන්විත සැලසුමක් හරහා පමනෙකි.    

කම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් සමාගම් කලමනාකාරිත්වය මත විශ්වාස තැබිය හැකි නොවේ. එලෙසම, කම්කරුවන්ට වෘත්තීය සමිති මත ද, බලාපොරොත්තු තැබිය නොහැකිය. වෘත්තීය සමිතිවලට බැඳී සිටින්නේ කම්කරුවන් අතර ඉතා කුඩා සුලුතරයක් වන අතර, පවත්නා වෘත්තීය සමිති ද ක්‍රියාත්මක වන්නේ සමාගම් කලමනාකාරිත්වයේ හස්තයකට නොවැඩි යමක් සේ ය. ඔවුහු ආපසු වැඩට කැඳවීමට සහයෝගය දක්වන අතර, එය බලාත්මක කිරීමට සමාගම් සමඟ සහයෝගීව ක්‍රියා කරති.  

කම්කරුවන්ට තමාගේම සංවිධාන අවශ්‍ය වන්නේ මේ නිසාය. සෑම කම්හලකම, වැඩපොලකම හා කාර්යාලයකම කම්කරුවන් සංවිධානය වෙමින් තමන් නියෝජනය කිරීම සඳහා තම විශ්වාසය හා ගෞරවය දිනා ගත් කම්කරුවන් තෝරා ගත යුතුය. ඔවුන් තම ක්‍රියාකාරීත්වයන් සමායෝජනය කර ගැනීම හා තොරතුරු බෙදා ගැනීම සඳහා තම කර්මාන්තය පුරා ම ද, අනෙකුත් අංශ තුල ද, සිටින කම්කරුවන් ඇමතීමට සමාජ මාධ්‍ය ද ඇතුලුව, යොදා ගත හැකි  සියලු ආම්පන්න වැඩට යොදා ගත යුතුය.   

මෙම කමිටු වලට පැවරෙන තීරනාත්මක කර්තව්‍යයක් වන්නේ කම්කරුවන් ජාත්‍යන්තරව සංවිධානය කිරීමයි. හෙදියන්, මස් ඇසුරුම් කම්කරුවන්, මාර්ගස්ථ කම්කරුවන්, මෝටර් රථ කම්කරුවන් හා අනෙකුත් කම්කරුවන් විසින් ආරක්ෂිත සේවා කොන්දේසි ඉල්ලා සිදු කෙරෙන, සංඛ්‍යාත්මකව දිනෙන් දින වැඩි වෙමින් පවතින වර්ජන හා වෘත්තීය ක්‍රියාමාර්ග සෑම රටකම පවතී.   

සමාජවාදය සඳහා සටන 

වසංගතයට එරෙහිව සමාජ සම්පත් බලමුලු ගන්වා ගැනීම සඳහා විද්‍යාත්මක සැලසුම්කරනයක් අවශ්‍ය කෙරේ. එබඳු සැලසුම්කරනයක්, එහි සෑම පියවරක් පාසා ම, පෞද්ගලික ලාභ හඹා යාම හා පුද්ගල ධන සම්පත් සමග ඝට්ඨනයකට එලඹෙයි.  

වසංගතයට එරෙහි සටන පාලක පන්තියට - සංගත හා මූල්‍ය කතිපයාධිකාරයට - ද, ආර්ථික හා දේශපාලන ජීවිතය මත එය පවත්වන ආඥාදායකත්වයට ද එරෙහිව කම්කරු පන්තිය කරන අරගලය සමඟ වෙන් කල නොහැකි පරිද්දෙන් බැඳී ඇතැයි සසප ය අවධාරනය කරයි. එය, එබැවින්, ධනේශ්වර ක්‍රමයට එරෙහිව, සමාජවාදය වෙනුවෙන්, සමාජය පෞද්ගලික ලාභයේ පදනම මත නොව සමාජයීය අවශ්‍යතාවයේ පදනම මත ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් කෙරෙන අරගලයකි.  

මේ වූ කලී, එහි හුදු ස්වභාවයෙන්ම ගෝලීය අරගලයකි. වසංගතය ලෝක ප්‍රශ්නයක් වන අතර, එය සමග සටන් වැදිය හැක්කේ කම්කරුවන්ගේ හා මිනිස් ජීවිතය ආරක්ෂා කිරීමට කැප වූ සියල්ලන්ගේ ජාත්‍යන්තර සහයෝගීතාව හරහා පමනෙකි. වසංගතයට එරෙහි අරගලය තුල කම්කරුවන් වාර්ගික, ජනවාර්ගික හා ජාතික රේඛා ඔස්සේ තමන් බෙදීමට ගන්නා සියලු ප්‍රයත්නයන් ප්‍රතික්ෂේප කල යුතුය. විශේෂයෙන්ම, අර්බුදය සම්බන්ධයෙන් චීනයට වරද පටවමින්, තමන්ගේම අපරාධකාරී කාර්ය භාරය කෙරෙන් අවධානය ඉවතට හැරවීමට ඇමරිකානු පාලක පන්තිය විසින් ගෙන යනු ලබන උද්ඝෝෂනයට එරෙහි විය යුතුය.   

මානව ප්‍රගතියට හා මානව වර්ගයාගේ පැවැත්මටම ද එරෙහි සම්බාධකයක්ව පවතින ධනේශ්වර ක්‍රමයේ යථාර්ථය හා බංකොලොත්භාවය, වසංගතය විසින් හෙලිදරව් කරනු ලැබ ඇත. වසංගතයට පාලක පන්තිය විසින් දක්වනු ලබන ප්‍රතිචාරය, ඉමහත් සාමාජයීය විරුද්ධත්වයක් හා ප්‍රතිරෝධයක් නිර්මානය කරනු ඇත. 

කම්කරු පන්තිය තුල සමාජවාදී දේශපාලන නායකත්වයක් ගොඩ නැඟිය යුතුව ඇත! මෙම නායකත්වය සමාජවාදී සමානතා පක්ෂයයි. එක්සත් ජනපදයේ සසප ය ජාත්‍යන්තර සංවිධානයක - එනම්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ - කොටසකි. එමෙන්ම අපි, Autoworker Newsletter (මෝටර් රථ කම්කරුවන්ගේ පුවත් ලිපිය), International Amazon Workers Voice (ජාත්‍යන්තර ඇමසන් කම්කරුවන්ගේ හඬ), සහ Teachers Newsletter (ගුරුවරුන්ගේ පුවත් ලිපිය) ද ඇතුලත් ව ලොව පුරා පාඨකයන් දහස් ගනනක් සිටින කම්කරුවන්ගේ පුවත් ලිපි ප්‍රකාශයට පත් කරමු.     

සාමාන්‍ය කම්කරුවන්ගේ ආරක්ෂන කමිටු ගොඩනැඟීමට අවශ්‍ය කම්කරුවන්ට, සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනු ඇත. අපේ වැඩ පිලිවෙල හදාරමින් සසපයට බැඳීමේ තීරනයට එලැඹෙන මෙන් අපි සියලු කම්කරුවන්ගෙන් උදක් ම ඉල්ලා සිටිමු. 

සමාජවාදී සමානතා පක්ෂයේ (එජ) ප්‍රකාශය

Loading