ඉදිරිදර්ශන

කම්කරු පන්තියේ එක්සත්කම ශක්තිමත්ව විදහා දැක්වමින් දස දහස් සංඛ්‍යාත ජනයා පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව බහු වාර්ගික උද්ඝෝෂන පවත්වති

එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි ජෝර්ජ් ෆ්ලොයිඩ් [නැමති කලු ජාතිකයාගේ] පොලිස් ඝාතනයට ප්‍රතිචාර වශයෙන් රට පුරා පැතිර ගිය දහස් සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ හා තරුනයින්ගේ බහු ජාතීය, බහු වාර්ගික උද්ඝෝෂන සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සාදරයෙන් පිලිගන්නා අතර එයට සහය පලකර සිටී. වසංගතය මධ්‍යයේ බරපතල අවදානම් සහිත වුව ද සිදුවන මෙම උද්ඝෝෂන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ෆැසිස්ට් පොලිසියට හා ට්‍රම්ප් පරිපාලනයට ඇති වෛරය සහ ගැඹුරින් මුල් බැස ඇති කැපවීමක සහ කම්කරු පන්තියේ සියලු කොටස්වල එක්සත්කම සඳහා ප්‍රගාඪ  කැපවීමක ප්‍රබල හා ප්‍රබෝධමත් ප්‍රකාශනයක් වේ.

ප්‍රාන්ත රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය නොතකා සිකුරාදා රාත්‍රියේ දහස් ගනනක් මිනියාපොලිස්හි අඛන්ඩව ඔවුන්ගේ විරෝධතා පැවැත්වූහ. මිනියාපොලිස් නගරයෙන් පිටත ෆ්ලොයිඩ්ගේ උපන් ගම වන ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හි සිකුරාදා සැලකිය යුතු විරෝධතා පැවතුනි; ජෝර්ජියාවේ ඇට්ලන්ටා හි, විරෝධතාකරුවන් සීඑන්එන් මූලස්ථානයට ඇතුලු වීමට උත්සාහ කල අතර; නිව්යෝර්ක් නගරයෙහි පොලිසියට පහර දීමෙන් පසු දුසිම් ගනනක් අත්අඩංගුවට ගත් බව සහ විරෝධතාකරුවන් බෘක්ලින්හි ප්‍රධාන පොලිස් ස්ථාන වලට කඩා වැදී ඇති බව වාර්තා වේ; කෙන්ටකි ප්‍රාන්තයේ ලෙක්සිංටන් සහ ලුයිස්විල් නගරවල, මාර්තු මාසයේ දී පොලීසිය විසින් ඝාතනය කරන ලද බ්‍රෝනා ටේලර්ට සාධාරනය ඉටු කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියහ. ධවල මන්දිරය පිහිටි (තාවකාලිකව අගුලු දමා ඇති) වොෂිංටන් ඩී.සී. හි, හා ඉන්දියානා ප්‍රාන්තයේ  ෆෝට් වේන් හි, විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුලු  ගෑස් ප්‍රහාරයක් එල්ල කලහ; නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හි, විරෝධතාකරුවන් ලාස් වේගාස් මාර්ග තීරයේ ගමනාගමනය වසා දැමීය.

කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් හොසේ හි, මැසචුසෙට්ස් හි බොස්ටන්; ඉලිනොයිස් හි චිකාගෝ; මිචිගන් හි ඔමාහා, නෙබ්‍රස්කා; ඩෙට්‍රොයිට්, ටෙක්සාස් හි ඩලස්; ටෙක්සාස් හි ඩෙන්වර්, කොලරාඩෝ; මිසූරිහි කැන්සාස් නගරය සහ සෙන් ලුවී; සහ රට පුරා තවත් බොහෝ නගරවල සිය ගනනක් සහ බොහෝ විට දහස් ගනනක් ජනයා උද්ඝෝෂන පවත්වා තිබේ; 

මෙම ව්‍යාප්ත වන ව්‍යාපාරය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අමානුෂික ඝාතනය මගින් අවුලුවන ලද නමුත් එය සමාජ අසමානතාවය, දරිද්‍රතාවය, මහජන විරැකියාව, සමාජ ආරක්ෂන ජාලය විනාශ කිරීම සහ අවසානයක් නැති යුද්ධවලට එරෙහිව කඳුගැසෙන වෛරයට ප්‍රකාශනයක් දෙනු ලබයි. කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් කම්කරු පන්තිය මුහුන දී සිටින මංමුලා සහගත තත්වය තීව්‍ර වී තිබේ.

ප්‍රාන්ත සහ පලාත් පාලන ආයතන දැවැන්ත පොලිස් බලමුලු ගැන්වීමකින් ප්‍රතිචාර දක්වා තිබේ. මිනියාපොලිස් හි, මිනසෝටා ඩිමොක්‍රටික් පක්ෂ ආන්ඩුකාරවරයා විසින් පසුගිය මැයි 29 දින නගරය පුරා ස්ථානගත කිරීමට පටන් ගත් ජාතික ආරක්ෂක භට කන්ඩායම් සිය ගනනක් බලමුලු ගන්වා තිබේ. ආන්ඩුකාරවරයා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජෝර්ජියාවේ ජාතික ආරක්ෂක බලකාය මැයි 29 වන සිකුරාදා රාත්‍රියේ ඇට්ලන්ටා නගරය වෙත යවා තිබේ. වෙනත් නගරවල පොලීසිය කඳුලු ගෑස් සහ රබර් උන්ඩවලින් පෙලපාලි මැඩපැවැත්වීමට අසාර්ථක උත්සාහයක් ගෙන තිබේ.

විරෝධතා පාලනය කිරීමට ප්‍රයත්න දරමින් මිනසෝටා ප්‍රාන්ත නිලධාරීන් සිකුරාදා ප්‍රකාශ කර සිටියේ, හුස්ම හිර වී මැරෙන තුරු ෆ්ලොයිඩ්ගේ ගෙල මත දන ගසා සිටි පොලිස් නිලධාරියා වන ඩෙරෙක් ෂෝවින්, තුන්වන ඝනයේ මනුෂ්‍ය ඝාතනයක (එනම් පහල මට්ටමේ වරදක) චෝදනාව මත අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් ඊට සම්බන්ධ අනෙක් පොලිස් නිලධාරීන් තිදෙනා තවමත් අත් අඩංගුවට ගෙන නැත. ෆ්ලොයිඩ්ගේ මරනය ඔහුගේ කුරිරු අත් අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් නොව, “අභ්‍යන්තර සෞඛ්‍ය තත්වයන්” සහ “මත්ද්‍රව්‍ය ශරීරගතවීමේ හැකියාව” ආදිය ගෙනහැර දක්වමින්, ෂෝවින් ගේ ක්‍රියාවන් දුෂ්ට ලෙස යුක්ති සහගත කිරීමේ කරුනු දැනටමත් ඉදිරිපත් වෙමින් පවතී.

ට්‍රම්ප් බ්‍රහස්පතින්දා අවසන් භාගයේ ට්විටර් වෙබ් අඩවියට පිවිස විරෝධතාකරුවන් “මැරයන්” ලෙස හෙලා දැක ප්‍රචන්ඩ මිලිටරි මැදිහත්වීමක තර්ජනය කර තිබිනි. “ඕනෑම දුෂ්කරතාවයක් සහ පාලනය අපි භාර ගන්නෙමු, නමුත් කොල්ල කෑම ආරම්භ වූ විට, වෙඩි තැබීම ආරම්භ වේ.”

මෙම උපුටා දැක්වීම වර්ගවාදී පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව කලු  ජාතිකයින්ගේ මහජන විරෝධතා ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සංඥා කිරීම සඳහා වර්ගවාදී මියාමි පොලිස් ප්‍රධානී වෝල්ටර් හෙඩ්ලි විසින් 1967 දී භාවිතා කල කුප්‍රකට වාක්‍ය ඛන්ඩය පුනරුච්චාරනය කරනු ලැබේ. ට්‍රම්ප්ගේ තර්ජනය අක්‍රීය එකක් නොවේ. සිකුරාදා රාත්‍රි අවසාන භාගයේ දී ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේ මිනියාපොලිස් වෙත යැවීම සඳහා ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින මිලිටරි පොලිස් ඒකක කිහිපයක් සූදානම් කරන ලෙස පෙන්ටගනය හමුදාවට නියෝග කර ඇති බවයි.

ෂෝවින්ගේ ම්ලේච්ඡ අපරාධය මිනියාපොලිස්හි සිදුවීම අහම්බයක් නොවේ. පසුගිය ඔක්තෝබර් මාසයේ දී ට්‍රම්ප් මිනියාපොලිස් නගරයේ පිහිටි “ටාගට් සෙන්ටර්” හි දී පොලීසියට ප්‍රශංසා කිරීම හා සමාජවාදීන් සහ “රැඩිකල් වම” හෙලා දැකීම සඳහා දේශනයක් පැවැත්වීය. රැලියේ දී පොලිස් නිලධාරීන් “ට්‍රම්ප් වෙනුවෙන් පොලිස් නිලධාරීන්” යන සටන් පාඨය සහිත කමිස ඇඳ සිටි අතර “නීතිය හා සාමය සඳහා ට්‍රම්ප්ට ඡන්දය දෙනු” යනුවෙන් දැක්වෙන බැනර් ලෙල දෙමින් පැවතිනි.

“නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපට ඇති ගෞරවය අසීමිතයි,” ට්‍රම්ප් එකල ප්‍රකාශ කලේ ය. “අසීමිත” ගෞරවය යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලි කලේ මිනියාපොලිස් පොලිස් සම්මේලනයේ ප්‍රධානී බොබ් ක්‍රොල් විසිනි. ඔහු කියා සිටියේ, “ජනාධිපති ට්‍රම්ප් බලයට පත් වූ විගස කල පලමු දෙය නම්… ආරම්භ කිරීමට, පොලිසියට ඔවුන්ගේ රාජකාරිය කිරීමට ඉඩ දීමයි, අප වෙනුවට අපරාධකරුවන්ට මාංචු දැමීමයි.”

විරෝධතා මැඩපැවැත්වීම සඳහා මිනියාපොලිස් පොලිසියේ දැඩි උත්සාහයන් සංවිධානය කිරීමට ධවල මන්දිරය ක්‍රියාකාරීව සම්බන්ධ විය. සිකුරාදා හිමිදිරියේ, ට්‍රම්ප් විසින් නිරන්තරයෙන් හෙලා දකින, සීඑන්එන් සමඟ මාධ්‍ය කන්ඩායමක්, සජීව විකාශය අතර තුරදීම, පොලිස් භටයන් විසින් ප්‍රකෝපකාරී ලෙස අත්අඩංගුවට ගනු ලැබීය. මෙම ක්‍රියාව මගින් ගනන් බලන ලද්දේ සහ අදහස් කරන ලද්දේ මාධ්‍ය තුල ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන්ට සහ විශාල වශයෙන් ජනතාවට පනිවිඩයක් යැවීමයි.

ට්‍රම්ප්ගේ වාචාල පරිභවයන්ගේ අරමුන වන්නේ ෆැසිස්ට් හා කොමියුනිස්ට් විරෝධී ආයාචනා පදනම් කරගෙන පොලීසියේ සහ හමුදාවේ සහාය අයැද සිටීමයි. ඔහු විරෝධතාකරුවන් “මැරයන්” ලෙස හෙලා දැකීම, කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග අවසන් කරන ලෙස ඉල්ලා මෑත සතිවල ප්‍රාන්ත අගනගරවල දැඩි ලෙස සන්නද්ධ විරෝධතා පැවැත්වූ දක්ෂිනාංශික ෆැසිස්ට්වාදීන්ට ප්‍රශංසා කිරීමට වෙනස් ය. වෙනත් ප්‍රාන්ත අතර “මිනසෝටා නිදහස් කර ගැනීම” සඳහා ට්‍රම්ප් කල ඉල්ලීම්වලින් ඔවුන් ධෛර්යමත් විය.

සෑම විට ම මෙන්, ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය වන්නේ නවතම පොලිස් ඝාතනයේ “ඛේදවාචකය” පිලිබඳ කුහක වාක්‍ය නිකුත් කිරීම සහ යටින් පවතින ආර්ථික, දේශපාලන හා සමාජ ගැටලු ආවරනය කිරීම සහතික කර ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමයි. ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝසප් බියිඩෙන් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ෆ්ලොයිඩ් ඝාතනයේ “කුරිරු ක්‍රියාවට” ඇමරිකානු ජනතාව - සහ විශේෂයෙන් ම සුදු ජාතිකයන්, වගකිව යුතු බවයි.

“අපගේ උදාසීනත්වය, නිහඬතාවයත් සමඟ මෙම ප්‍රචන්ඩත්වයේ චක්‍රයන් පවත්වා ගෙන යාමට අපි හවුල් වෙමු,” යි බියිඩෙන් පැවසීය. “මේ පිලිබඳ කිසිවක් පහසු හෝ සුවපහසු නොවනු ඇත, නමුත් යටින් පවතින තුවාලයට ප්‍රතිකාර නොකර මෙම තුවාලය නැවත වරක් සීරීමට ඉඩ දුන්නොත්, අපි කිසි විටෙකත් සුව නොවනු ඇත. ඇමරිකාවේ ආත්මය ම අනතුරේ ය. ”

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සහ තවත් බොහෝ දුෂ්ටකම් සිදු කරනු ලැබුවේ ඇමරිකානු වැඩකරන ජනතාව වන “අපි” නොව, පොලීසිය විසිනි.

පොලිසිය ඇමරිකානු ජීවිතයේ හරස්කඩක් නොවේ. ඔවුන් පහල මධ්‍යම පන්තියේ හා දේශපාලනික වශයෙන් පසුගාමී කම්කරුවන්ගේ වඩාත් ප්‍රතිගාමී කොටස් වලින් බඳවා ගනු ලබන අතර දුප්පතුන්ට හා පීඩිතයින්ට වෛර කිරීමට හා හෙලා දැකීමට පුහුනු කරනු ලැබේ. ඔවුන් රටේ සෑම කම්කරු පන්ති නිවහන් ප්‍රදේශයකම වාඩිලා ගන්නා සතුරු බලවේගයකි. පොලිසියට බඳවා ගත් බොහෝ දෙනෙක් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ රාජකාරි චාරිකා සඳහා සේවයේ යොදවා ඇති අතර එහි දී ඔවුන් ප්‍රචන්ඩත්වය හා වධයට හුරුපුරුදු කරවීය.

සෑම වසරකම ඩොලර් බිලියන 100 ක අරමුදල් සපයනු ලබන පොලීසිය වැඩි වැඩියෙන් හමුදාව සමග ඒකාබද්ධ වෙමින්, වඩාත් ම දියුනු ආයුධ වලින් සන්නද්ධව, පැරාමිලිටරි සංවිධාන දක්වා වර්ධනය වී තිබේ. සෑම වසරක ම එක්සත් ජනපදයේ පුද්ගලයන් 1,000 ක් පොලීසිය විසින් මරා දමනු ලැබේ. ඝාතනයට ලක්වූවන්ගෙන් අසමාන සංඛ්‍යාවක් අප්‍රිකානු ඇමරිකානුවන් ය. එහෙත් පොලිස් ප්‍රචන්ඩත්වය සියලු ජාතීන් හා ජනවර්ගවල කම්කරුවන් සහ දුප්පතුන් ඉලක්ක කරන අතර එබඳු ඝාතනයට ලක්වූවන්ගේ බහුතරය සුදු ජාතිකයන්‍වේ.

ට්‍රම්ප් පරිපාලනය ක්‍රමානුකූලව පොලිස් ප්‍රචන්ඩත්වය ප්‍රවර්ධනය කරන අතර ඩිමොක්‍රටිකයෝ වැඩකරන ජනතාවට එරෙහි රාජ්‍ය ප්‍රචන්ඩත්වයට පැටලී සිටිති. ඔබාමා පාලනාධිකාරය යටතේ පොලිස් ඝාතන අඛන්ඩව පැවති අතර එය ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ නඩු පැවරෙන සෑම අවස්ථාවක ම පොලීසිය සමඟ එකට සිටියේය.

මිනියාපොලිස් සිද්ධිය සම්බන්ධයෙන් ගත් කල, නගරාධිපතිවරයා මෙන් ම ආන්ඩුකාරවරයා ඩිමොක්‍රටිකයෙකි. ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු ජනාධිපති අපේක්ෂක ඇමී ක්ලෝබාචාර්, මිනසෝටා ප්‍රාන්තයේ හෙනපින් කෝරලයේ අභිචෝදකයා වූ අතර ඔහු පොලිසිය ආරක්ෂා කල අතර ඩෙරෙක් ෂෝවින් ම මීට පෙර සම්බන්ධ වූ වෙනත් නඩුවක් ද ඇතුලුව, ඔවුන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන්ට නඩු පැවරීමට විරුද්ධ විය.

පසුගිය අවුරුදු 50 තුල ඩිමොක්‍රටිකයින් විශේෂඥයින් වූයේ වර්ගවාදී දේශපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා - එනම් ඇමරිකානු සමාජයේ මූලික බෙදීම “සුදු ඇමරිකාව” සහ “කලු ඇමරිකාව” අතර ඇති බව අවධාරනය කිරීමයි. වර්ගවාදය ඇතුළු සමාජ ගැටලුවලට විසඳුම සොයා ගත යුත්තේ තවත් කළු පොලිස් නිලධාරීන් බඳවා ගැනීම සහ තවත් කළු දේශපාලනඥයින් තෝරා පත් කර ගැනීම තුල යැයි තර්ක ගොතමින් වාර්ගික දේශපාලනය යොදාගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම වසර 50 තුළ කළු කම්කරුවන්ගේ තත්වය පිරිහී ඇති අතර සමාජ අසමානතාවය වාර්තාගත මට්ටම් කරා ලඟා වීම සහ පොලිස් ප්‍රචන්ඩත්වය තීව්‍ර වීම සිදුව තිබේ. මිනියාපොලිස් ඇතුළු බොහෝ නගරවල පොලිස් ප්‍රචන්ඩත්වය කළු පොලිස් ප්‍රධානීන් හෝ කළු නගරාධිපතිවරුන් විසින් අධීක්ෂනය කරනු ලැබේ.

ෆ්ලොයිඩ්ගේ අමානුෂික ඝාතනය මගින් අවුලුවන ලද සියලු ජාතීන්ට අයත් කම්කරුවන්ගේ හා තරුනයින්ගේ මහා උද්ඝෝෂන පුපුරා යාම, වාර්ගික ආඛ්‍යානය ප්‍රතික්ෂේප කරන දැවැන්ත සමාජ සහයෝගීතාවයකට ප්‍රකාශයක් ලබා දී තිබේ. එය සුදු ජාතිකයින්ට එරෙහිව කළු ජාතිකයින් පිලිබඳව නොව ධනවතුන්ට එරෙහිව කම්කරු පන්තිය පිලිබද ප්‍රශ්නය කි. මෙය දැවැන්ත ඉදිරි පියවරකි.

මෙම පෙලපාලි පන්ති අරගලයේ වර්ධනයේ නව අවධියක් සනිටුහන් කරයි.

මෙම ව්‍යාපාරයේ ඉතා වේගවත් වර්ධනය හා ව්‍යාප්තිය එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව පවතින පුළුල් සමාජ හා දේශපාලන අර්බුදය හා සම්බන්ධිත වේ. කොරොන වයිරස් වසංගතයට පාලක පන්තියේ සමස්ත ප්‍රතිචාරය - එහි ජනගහනය ආරක්ෂා කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රතික්ෂේප කිරීම, ධනවතුන්ට ඩොලර් ට්‍රිලියන ගනනක් ලබා දීම සහ වසංගතය පැතිරීමත් සමඟ ජනඝාතක යලා වැඩට යාමේ ව්‍යාපාරය - සමාජයේ කතිපයාධිකාරී ස්වභාවය අනාවරනය කර ඇත.

රැකියා වලින් නෙරපා හරින ලද, නිවාස අහිමි වන, මහා අවපාතයෙන් පසු ඇති වූ දරුනුතම ආර්ථික හා සමාජ අර්බුදයට අභිමුඛව සිටින මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට හා තරුනයින්ට පෙර නොවූ විරූ ව්‍යසනයකට මුහුන දීමට සිදු වේ. වසංගතය රට පුරා ව්‍යාප්තව තිබියදීත්, ට්‍රම්ප් පරිපාලනය මිනීමරු යලි වැඩට දැක්කීමේ වැඩකටයුතුවල පෙරමුන ගෙන සිටින අතර, ධනවතුන්ට දීමනා ගෙවීම සඳහා කම්කරුවන්ට ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ ආදරනීයයන්ගේ ජීවිත අනතුරේ හෙලීමට බල කිරීම සඳහා විශාල සමාජ පීඩාවන් භාවිතා කිරීමට බලාපොරොත්තුව  සිටිති.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරනයට දඩුවම් කරනු ලබන්නේ කෙසේද? ඉදිරි මාවත කුමක්ද?

අනාරක්ෂිත සේවා කොන්දේසි, මහජන විරැකියාව, සමාජ අසමානතාවය සහ මහජන දරිද්‍රතාවයට එරෙහිව කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය සමඟ පොලිස් ක්‍රෑරත්වයට එරෙහි සටන ඒකාබද්ධ විය යුතුය. එය ධනේශ්වර ක්‍රමයට එරෙහි හා සමාජවාදය සඳහා සටනකි.

මෙම අරගලයේ වර්ධනය සඳහා ඩිමොක්‍රටිකයන්ට හා රිපබ්ලිකානුවන්ට විරුද්ධව කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

කම්කරුවන් සහ තරුනයින් ඔවුන් ගෝලීය අවකාශයක සටනක යෙදී සිටින බව වටහා ගැනීම විශේෂයෙන් තීරනාත්මක ය. එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ එකමුතුකම ස්ථාපිත කිරීම සඳහා සියලු ජාතිකත්වයන් සහ ජනවර්ගවලට අයත් කම්කරුවන්ගේ අරගලයන්ට සහයෝගය දැක්විය යුතුය. මෙම මූලෝපායේ තීරනාත්මක අංගයක් වන්නේ එක්සත් ජනපදය තුළ සිටින සියලු ම සංක්‍රමනික කම්කරුවන්ට අමානුෂික ලෙස සැලකීමට එරෙහි සම්මුති විරහිත විරුද්ධත්වයයි.

මෙම සටන ඉදිරියට ගෙන යාමේදී දේශපාලන වැඩපිලිවෙල පිලිබඳ ප්‍රශ්නය තීරනාත්මක ය. මෙම ප්‍රකාශයේ ඉදිරිපත් කර ඇති විශ්ලේෂනයන් හා මූලෝපායන් සමඟ එකඟ වන්නන් - ධනේශ්වර ක්‍රමය අවසන් කිරීමට සමාජවාදය සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගන්නන් - අපගේ මැතිවරන ව්‍යාපාරයට සහාය වී සසපයට සම්බන්ධ විය යුතුය. අපගේ තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සමඟ එක්වන ලෙස අපි තරුන ජනතාවගෙන් ඉල්ලා සිටිමු

Loading