යුරෝපීය මාධ්‍ය ආයතන එක්සත් ජනපදයේ කටුක පන්ති අරගලවලට බිය වෙති

මෙම ලිපිය ජූනි 4 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

“බටහිර ශිෂ්ඨාචාරයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන එක්සත් ජනපදයේ ප්‍රතිරූපය අපගේ ඇස් ඉදිරිපිටම කඩා වැටෙමින් තිබේ. පැරනි ප්‍රතිරූපය නැවත ගොඩනඟා ගත හැකිද? ”යනුවෙන් පෝලන්ත දිනපතා පුවත්පතක් වන රෙක්ස්පෝස්පොලිටා අඟහරුවාදා ප්‍රකාශ කලේ, එක්සත් ජනපදයේ මෑත සිදුවීම් පිලිබඳව සැලකිලිමත් වෙමිනි. 

මෙය යුරෝපීය පාලක පන්තියේ සැලකිය යුතු කොටසකගේ භීතිය සාරාංශගත කරයි. ධනේශ්වර පෞද්ගලික දේපල හා වෙලඳපොල ආර්ථිකය, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පදනම සපයන්නේය යන මුලුමනින්ම “බටහිර ශිෂ්ඨාචාරයට” සමාන වූවක්, යුරෝපයේ ධනේශ්වර පාලනය සඳහා දෘෂ්ටිවාදාත්මක බදාමය ලෙස සේවය කර ඇත. එක්සත් ජනපදය මෙහිදී ඉටුකර ඇත්තේ සුලුපටු භූමිකාවක් නොවේ. 

‌දෙවන ලෝක යුද්ධය අවධියේ දී සිදු වූ අපරාධ හේතුවෙන් අපකීර්තියට පත්වී සිටි, විශේෂයෙන් බටහිර යුරෝපයේ හා ජර්මනියේ ධනේශ්වරය පුනර්ජීවනය කිරීමට උපකාරී වුනේ, සිය ආර්ථික බලය හා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් තුලින්, එක්සත් ජනපදයයි. 1990 දී, ඒ වන විටත් තරමක් අපකීර්තියට පත්ව තිබුන ද, ධනවාදය පුනරුත්ථාපනය කිරීම සහ එහි බිහිසුනු සමාජ ප්‍රතිවිපාක නැගෙනහිර යුරෝපයට විකිනීමේදී, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය දිශාවට තබන පියවරක් ලෙස ඇමරිකානු ආකෘතිය වැදගත් කාර්යභාරයක් ඉටු කලේය.

සඳුදා සිදුවීම් පිලිබඳ යුරෝපීය අදහස් කියවීමෙන් කෙනෙකුට හැඟෙන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ආඥාදායකත්වයක් පිහිටුවීමට දරන උත්සාහය නිසා ඔවුන් විශේෂයෙන් කරදරයට පත් නොවන බවයි. ඒ වෙනුවට, ජනාධිපතිවරයාගේ ප්‍රකෝපකාරී ක්‍රියා මගින් ධනේශ්වර පද්ධතියට අනතුරක් වන ප්‍රතිරෝධය සහ පන්ති අරගල අවුලුවනු ඇතැයි ද ඒවා යුරෝපයට ව්‍යාප්ත වනු ඇතැයි ද ඔවුහු බිය වෙති. කෙසේ වෙතත්, එහි සමාජ හා දේශපාලන තත්වයේ පුපුරන සුලු භාවය ඊට අඩු නොවේ.

ස්වල්පයක් හැරුනු විට මෙම ප්‍රකාශ වලින්, රට පුරා පැනනැඟී තිබෙන විරෝධතා හුදෙක් ජාතිවාදයට එරෙහිව පමනක් නොව, සමාජ පීඩනයෙන් හා සූරාකෑමෙන් උසිගන්වනු ලබන  බවට හා සියලු වාර්ගික හා ජාතීන්ට අයත් කොටස් ඊට එකතුවී සිටින බවටත් පලවන අදහස්  පිලිගත්තේය. ප්‍රතිසන්ධානය වෙනුවට ට්‍රම්ප් බෙදීම අනුයන  බවට ඔවුහු චෝදනා කරති. ඊට වෙනස්ව, හමුදාව බලමුලු ගැන්වීම හා බැඳුනු ආඥදායකත්වයට සූදානම් වීම ගැන ඔවුන් වචනයක්වත් කියන්නේ නැත. 

නෝර්වීජියානු ටැබ්ලොයිඩ් පුවත්පතක් වන වර්ඩන්ස් ගෑන්ග් මෙසේ ලිවීය. “එක්සත් ජනපද සමාජය කෙතරම් අසමානද යන්න නැවත වරක් පැහැදිලි වන්නේය. මෙම ගැටලු ට්‍රම්ප්ට වඩා ගැඹුරට දිව යයි, නමුත් එක්සත් ජනපදයට එක්සත් ජනාධිපතිවරයකු අද තරම් කිසිදිනෙක අවශ්‍ය වී නැත. ”

විප්ලවය ප්‍රතිවිප්ලවය

ජර්මනියේ ස්‍යුඩ්ඩොච සයිතුං අදහස් දක්වමින්, “රට ගිනිගෙන දැවෙන විට, ජනාධිපතිවරයා මැදිහත් වී එක්සත් කල යුතුය.” එහෙත් ට්‍රම්ප්ට එසේ කිරීමට අවශ්‍ය නැත. ඔහුට එසේ කිරීමට ද නොපුලුවන. ඔහු “තම සගයන් ආරක්ෂා කිරීමට හා සන්සුන් කිරීමට අසමත් ය.”

ස්විට්සර්ලන්තයේ නියු සූර්චර් සයිතුං (NZZ) අදාල බව විශ්වාස කරන ප්‍රධාන සාධක තුනක් පෙන්වා දුන්නේය, “කලු ජාතිකයින්ට එරෙහි වර්ගවාදී පොලිස් ප්‍රචන්ඩත්වය, කලු ජාතිකයින් කොවිඩ්-19ට වැඩිපුර ගොදුරුවීම සහ සුලුතරයන්ට වඩාත්ම පීඩාකාරී වී ඇති  ආර්ථික අර්බුදය.” මේ සියල්ල සම්බන්ධ වී ඇති අතර, “ආර්ථික අවාසි සෞඛ්‍ය ආරක්ෂනය ලැබීමට බාධාවක් නිසා සෞඛ්‍ය ගැටලු නිදන්ගත වීමට ඉඩ සලසයි. එමඟින් පෙනහලු රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩිවේ. (මේ තතු තුල) කලකිරීම පුලුල්ව පැවතීම පුදුමයක් නොවේ. ”

“එවැනි තත්වයක් තුල එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ රට සන්සුන් කිරීමට, එක්සත් කිරීමට හා වෙනත් දේශපාලන බලවේගයන්ගේ සහයෝගයෙන් ඉදිරියට යා හැකි එක්සත් පුද්ගලයෙකි.” එහෙත් ට්‍රම්ප්ට හොඳම දේ ලෙස ඔහු කරන්නේ “රට ධ්‍රැවීකරනය  සහ එකිනෙකාට එරෙහිව මිනිසුන් පොලඹවා ලීමයි” යනුවෙන් NZZහි තවත් තැනක පල විය.

ජර්මනියේ මහජන විකාශකයා වන ARD පිලිබඳව ටාගෙස්චාවු (ප්‍රවෘත්ති හා මහජන කටයුතු වැඩසටහනක්) මෙසේ අදහස් දැක්වීය. “නැගිටීමක් යනු ඇහුම්කන් නොදෙන අයගේ භාෂාවයි. ප්‍රතිසන්ධාන වචන වලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉක්මනින් දේවල් සන්සුන් කර ගත හැකිය. ඒ වෙනුවට ඔහු කුරිරු රැම්බෝ වාචාල කතා වලින් තත්වය උග්‍ර කරයි. ”

ට්‍රම්ප් පමනක් තම රැම්බෝ වාචාලකම අත්හැරියහොත් තත්වය පාලනය කර ගත හැකිය යන යෝජනාව විකාරයකි. ලෝසවෙඅ විසින් විවිධ විශ්ලේෂන හා අදහස් දැක්වීම් වලින් පැහැදිලි කර ඇති පරිදි, වර්තමාන සමාජ පිපිරීම සඳහා පූර්ව කොන්දේසි දිගු කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පවතී. ඩිමොක්‍රටිකයින් මෙම ක්‍රියාවලිය පිලිබඳව රිපබ්ලිකානුවන්ට හා ට්‍රම්ප්ට වඩා අඩුවෙන් වගකිවයුතු නොවේ.  කිසිදු පූර්වගාමියෙකුට වඩා ධනවතුන් හා දුප්පතුන් අතර පරතරය ඔබාමාගේ කාලය තුල වේගයෙන් වැඩි වූ අතර පොලිස් ප්‍රචන්ඩත්වය ද වේගයෙන් වැඩි දියුනු විය.

තවදුරටත් පාලනය කල නොහැකි විප්ලවවාදී නැගිටීමක් ට්‍රම්ප් විසින් අවුලුවනු ඇතැයි යුරෝපීය මාධ්‍ය මෙන්ම ඩිමොක්‍රටිකයෝ ද බිය වෙති. දේශීය, සමාජීය හා විදේශ ප්‍රතිපත්තියේ සෑම ප්‍රශ්නයකටම පාහේ එකඟ වන ඩිමොක්‍රටිකයින්, ට්‍රම්ප්ට එරෙහි විරෝධතා මැඩපැවැත්වීම සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම කරන්නේ මේ නිසා ය. 1933 ජර්මානු ධනේශ්වරය මෙන්ම ඔවුහු ද ෆැසිස්ට් ආඥාදායකත්වයකට වඩා කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයකට බිය වෙති.

යුරෝපයේ, අධිපතිවාදී පාලන ක්‍රම සහ ආඥාදායකත්වයන් සඳහා වන සූදානම දැනටමත් බෙහෙවින් දියුනු මට්ටමකට ලඟාවී ඇත. හංගේරියාවේ සහ පෝලන්තයේ බලයේ සිටින පක්ෂ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අත්හිටුවා තිබේ. වසර එකහමාරක් තිස්සේ ආන්ඩු බලය දරන ඉතාලියේ අන්ත දක්ෂිනාංශික ලෙගා, ඇන්ටිෆා සංවිධානය “ත්‍රස්තවාදී කන්ඩායමක්” ලෙස වර්ගීකරනය කරමින් ට්‍රම්ප් යෙදූ ට්විටර් සටහනට ප්‍රතිචාර දක්වමින් “කැමතියි” (“Like”) යන සටහන යෙදීය.

ප්‍රන්සයේදී ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් යෙලෝ වෙස්ට් විරෝධතා පොලීසිය යොදවා කුරිරු ලෙස මර්දනය කල අතර දැන් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට විරුද්ධව පැනනැඟී තිබෙන සහයෝගිතා  පෙලපාලි වලට පහර දෙයි. ජර්මනියේ දී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් ජර්මනියට අන්ත දක්ෂිනාංශික විකල්පයක් සඳහා වන සංවිධානය පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය බවට පත් කල අතර එහි ප්‍රතිපත්ති මහා සන්ධාන ආන්ඩුව තුල ක්‍රියාත්මක කර තිබේ. ධනවාදය විවේචනය කිරීමට හෝ මිලිටරිවාදයේ වර්ධනයට එරෙහි වීමට නිර්භීත වන ඕනෑම අයෙකු “වාමාංශික අන්තවාදියෙකු” ලෙස හංවඩු ගසා අපරාධකරනයට ලක් කෙරේ. ඒ අතරම, රාජ්‍ය යාන්ත්‍රනය තුල නව-නාසි ව්‍යුහයන් ගොඩනඟා ඒවා ආවරනය කර ඇත.

මිලිටරිය මත පදනම් වූ පෞද්ගලික ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ට්‍රම්ප් ගන්නා උත්සාහයට මූලික හේතුව වන ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය, පෙර නොවූ විරූ මට්ටමේ සමාජ අසමානතාවයේ හා නිමක් නැති යුද්ධවල ප්‍රතිපලයකි. එය ධනේශ්වර ක්‍රමය තුල ආපසු හැරවිය නොහැක. යුරෝපයේ ද එම ක්‍රියාවලියම සිදුවෙමින් පවතී. ෆැසිස්ට් අන්තරායට එරෙහි අරගලයට කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම අවශ්‍ය වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නායකත්වය භාර ගත යුතුය.

Loading