වසංගතය මැද යලි පාසැල් විවෘත කිරීමේ විනාශකාරීබව පැහැදිලි කෙරෙන විශේෂඥ වාර්තාවක්

පසුගිය සතියේ, ලමා සෞඛ්‍යය පිලිබඳ ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යන ආයතනයක් වන ශ්‍රී ලංකා ලමා රෝග විශේෂඥ විද්‍යායතනය, කොවිඩ්-19 තුරන් කිරීම සහ පාසල් ආරම්භය සම්බන්ධයෙන් තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කලේය. යලි පාසල් ආරම්භ කිරීම, ලමුන් අතර රෝගය ව්‍යාප්ත වීම කෙරෙහි බලපානු ඇත්තේ කෙසේද යන්න පිලිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් වලින් වාර්තාව සමන්විත විය.

මෙම වාර්තාව ඉදිරිපත් කෙරුනේ, වසංගතය පැවතියදීම, දහස් සංඛ්‍යාත දරුවන්ගේ ජීවිත නොතකා යලි පාසල් ඇරඹීමට ආන්ඩුව සැරසෙන තතු තුල ය. ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන්, කම්කරුවන් ගේ සහ ඔවුන්ගේ දරු පවුල් බිල්ලට දෙමින් යලි විවෘත කල ආර්ථික ක්‍රියාවලිය අඛන්ඩව පවත්වාගෙන යාම ආන්ඩුවේ එල්ලය යි. ඊට සරිලන පරිදි, වසංගත ව්‍යාප්තිය පාලනය වී රට යතා තත්වයට පත්ව ඇති බව මවාපෑමේ විවිධ වැඩකටයුතුවල ආන්ඩුව නිරතව සිටින අතර, හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීම එහි කොටසකි. 

සෞඛ්‍ය අංශවල කිසිදු නිර්දේශයක් නොමැතිව, මැයි මස 11 වනදා පාසල් ආරම්භ කරන බව අප්‍රේල් මාසය මැදදී ආන්ඩුව නිවේදනය කලේ එම තදියම නිසාය. පසුව වසංගත පැතිර යාම උත්සන්නවීම හේතුවෙන් වැඩුනු මහජන විරෝධය හමුවේ එම තීරනය හකුලා ගැනීමට ආන්ඩුවට සිදුවිය.    

කොවිඩ්-19, නව වසංගතයක් හෙයින්, ඒ පිලිබඳව කෙරෙන නිගමනයන් නිරන්තරව අලුත්වන බවද ඒ නිසාම රෝගය පිලිබඳ නිරන්තරව කෙරෙන සමීප අධ්‍යනයකින් තොරව පාසල් යලි ආරම්භ කිරීම නොකලයුතු බව ද විශේෂඥ වාර්තාව ආරම්භයේදීම පෙන්වා දෙයි. “මුලදී තහවුරු කරගත් බොහෝ දෑ වැරදි බව පසුව ඔප්පු විය. බොහෝ දේශීය සහ ජාත්‍යන්තර සංවිධාන ඒ අනුව තමන්ගේ ආස්ථානයන් සහ උපදෙස් මාලාවන් වෙනස් කරගත්තේය.”

ලමුන් ආසාදිත වුව ද රෝග ලක්ෂන ප්‍රකට කිරීම සාපේක්ෂ වසයෙන් අඩු බැවින් ලමුන් අතර රෝගය ව්‍යාප්තවීමේ අවදානම වැඩිබව එම විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රෝග ලක්ෂන ප්‍රකට නොකරන ආසාදිතයන් හඳුනා ගැනීමට මහා පරිමානයෙන් පීසීආර් පරීක්ෂන සිදුකල වුවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශද නොතකමින් ආන්ඩුව එය සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කර ඇත. 

පාසල් ආරම්භ කිරීම යනු මිලියන 4.5 ක සිසුන්, ඊට ආසන්න ප්‍රමානයක දෙමව්පියන් සහ දෙලක්ෂ පනස්දහසකට ආසන්න ගුරුවරුන් සමාජය තුල සක්‍රිය කිරීමකි. සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ජීවිත ආරක්ෂා කරමින්, එවැනි මට්ටමකට පරීක්ෂන පහසුකම් ඉහල නැංවීමට ආන්ඩුව කිසිසේත්ම ක්‍රියා නොකරන බව වසංගතය මැඩලීම සම්බන්ධයෙන් එහි වත්මන් ප්‍රතිචාරයෙන් පැහැදිලිය.

පාසල් ආරම්භ වීමත් සමග කොවිඩ්-19 වසංගතය සීඝ්‍රයෙන් සහ මරනීය ලෙස ව්‍යාප්තවීමේ කොන්දේසි නිර්මානය විය හැකි සුවිශේෂී ආකාර සම්බන්ධයෙන් වාර්තාව වැඩිදුරටත් අවධානය යොමු කරයි. 

පාසල් යන වයසේ කුඩා දරුවන් තමන්ගේ වයස්ගත මුතුන්-මිත්තනියන් හා සමීප සම්බන්ධයන් පවත්වාගෙන යාමේ පවුල් සංස්කෘතියක් ලංකාව තුල පවතින නිසා, දරුවන් අතර වෛරසය පැතිරයාම, රෝගයෙන් වඩා මරනීය බලපෑම් එල්ල විය හැකි,  වයස්ගත ප්‍රජාවන්ට අන්තරායකර විය හැකි බව ඉන් එක් කරුනකි.

එමෙන්ම කොවිඩ්-19 යනු බිඳිති මගින් බෝවන රෝගයක් වීම හේතුවෙන් පාසල් පද්ධතිය තුල නිර්මානය විය හැකි තවත් අනතුරුදායක තත්වයක් වාර්තාව පෙන්වාදෙයි. මාර්තු මාසයේ මුල වොෂින්ටනයේ පල්ලියක 61 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් පැය දෙකහමාරක ගීතිකා පුහුනුවකට සහභාගී වීමෙන් පසු ඉන් 53 දෙනෙකුටම රෝගය වැලඳීම පිලිබඳ සිද්ධියකට සහ ඇම්ස්ටර්ඩෑම් හි එවැනිම සැසියකට සහභාගී වූ 130 දෙනෙකුගේ කන්ඩායමකින් 102කට රෝගය වැලඳීමේ සිද්ධියකට අවධානය යොමුකරමින් වාර්තාවේ සම්පාදකයන් පවසන්නේ “පන්ති කාමරයක් තුල මෙවැනි තත්වයන් නිර්මානය වීමට හැකි බව කෙනෙකුට සරලවම අනුමාන කල හැකි” බවයි.

මේවන විට පාසල් ආරම්භ කිරීම සඳහා කායික දුරස්ථකරනය සහ සනීපාරක්ෂාව පවත්වා ගැනීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග ඇතුලත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇත. එහෙත් කුඩා පන්ති කාමර තුල සිසුන් පනහකට ආසන්න ප්‍රමානයක් ඉගෙනුම ලබන ලංකාවේ පාසල් වල, කායික දුරස්ථකරනය පවත්වාගැනීම කල නොහැක්කකි.

අධ්‍යාපනය සඳහා ආන්ඩුවේ වියදම් කපාහරිමින් පාසල් තුල මෙවන් දුෂ්කර කොන්දේසි නිර්මානය කිරීම සම්බන්ධයෙන්, වත්මන් ආන්ඩුවේ පාර්ශවයන්ද ඇතුලත් ලංකාවේ සමස්ත ධනපති පාලක පන්තියම වගකිවයුතු වෙයි. 

එහෙත් සිසුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට පවත්නා පහසුකම් වලින් පිරිමසා ගැනීමට නරුම යෝජනාවන් ගෙනෙන අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම සාකච්ඡා වට ගනනාවකදීම පැවසූයේ කායික දුරස්ථකරනය පවත්වා ගැනීමට හැකිවන පරිදි සිසුන් කන්ඩායම් වශයෙන් පාසලට කැඳවන බවයි. නිසි ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියක් සඳහා පන්ති කාමරයක සිටිය යුතු උපරිම ලමුන් සංඛ්‍යාව මෙන් දෙගුනයක ලමුන් එක් පන්තියක සිටින තතු තුල කන්ඩායම් වසයෙන් කැඳවීමෙන් වුවද මෙම දුරස්ථකරනය පවත්වාගත නොහැකි බව ඉතා පැහැදිලිය.

කන්ඩායම් වසයෙන් කැඳවීමෙන් ගුරුවරුන්ට දැරීමට සිදුවන අමතර වෙහෙස පූරනය කිරීම සඳහා කවර හෝ අමතර ප්‍රතිපාදනයක් වෙන්කිරීමට ද ආන්ඩුව සූදානම් නැත.     

පොදු ප්‍රවාහන සේවය තුල මගීන් රැගෙන යාම පිලිබඳව ආන්ඩුව නිර්දේශ ඉදිරිපත් කලත් මේ වන විට ආන්ඩුව එම සීමා ලිහිල් කර ඇත්තේ කම්කරුවන්ගේ ආරක්ෂාව නොව, පූර්න වසයෙන් ආර්ථිකය විවෘත කිරීම ආන්ඩුවේ ප්‍රමුඛතාවය වන බැවිනි. එම තතු යටතේ කායික දුරස්ථකරනයකින් තොරව පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමට කම්කරුවන්ට බල කෙරී ඇත්තේ ඔවුන් වසංගතයට ගොදුරු වීමේ අවදානමට ඇද දමමිනි. පාසල් ලමුන් සම්බන්ධයෙන් ආන්ඩුවේ පිලිවෙත්ද මීට වෙනස් නොවනු ඇත. 

සිසුන්ට දෑත් සෝදාගැනීමේ පහසුකම් සෑම පාසලකම ස්ථාපනය කලයුතු බව චක්‍රලේඛයේ සඳහන් වන නමුත් ලංකාවේ පාසල් විශාල ප්‍රමානයකට නල ජල පහසුකම් කෙසේ වෙතත් අන්‍ය ජල පහසුකම් හෝ නොමැත. පසුගිය දා අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අලහප්පෙරුම විසින්ම පැවසුවේ, “අත හෝදන්න තබා පාසල් 582 ක වතුර බිඳක් නැහැ, පාසල් 800ක වැසිකිලි පහසුකම් නැහැ” යනුවෙනි. 

අලහප්පෙරුම ඇතුලු ධනපති පාලකයන් දශක ගනනාවක් පුරා ගෙනගිය කප්පාදු පිලිවෙත් හේතුවෙන් රටෙහි පාසැල්වල පැවති සීමිත පහසුකම් පවා විනාශ කෙරී ඇති තතු තුල, ඒවයේ සැබෑ තත්වය ඔහු විසින් පෙන්නුම් කරන චිත්‍රයට වඩා බොහෝ සෙයින් බැරෑරුම් ය.

වසංගත තත්වය යටතේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව ද මෙම රුදුරු කප්පාදු නොනවත්වා ඉදිරියට ගෙන යනබව ආන්ඩුවේ ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලිය. ඉහත චක්‍රලේඛයේ සඳහන්ව ඇත්තේ, ආන්ඩුවේ ප්‍රතිපාදන සැපයෙන තෙක්, “මෙය නව ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගනිමින්, එතෙක් පාසලේ පවතින සංවර්ධන සමිති ගිනුමෙහි මෙතෙක් භාවිතා නොකරන ලද, අනුමත කරන ලද ව්‍යාපෘතිවල අරමුදල් භාවිත කරමින්” සෞඛ්‍යාරක්ෂන කටයුතු කල යුතු බවයි.

ආන්ඩුව සූදානම් වන්නේ තම වගකීමෙන් නරුම ලෙස තමන්ගේ අත්පිසදාගනිමින් දරුවන්ගේ ආරක්ෂාව දෙමව්පියන්ගේ, එනම් කම්කරු පන්තියේ කරමතම පැටවීමටයි.

සෞඛ්‍යාරක්ෂාව සඳහා අවශ්‍ය පූර්න ප්‍රතිපාදන සහ විධිමත් වැඩපිලිවෙලක් නොසපයා අනාරක්ෂිතව පාසල් විවෘත කිරීම සඳහා ආන්ඩුව දරන ප්‍රයත්නයට කම්කරු පන්තිය මුලුමුනින් විරුද්ධ විය යුතුය. 

සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කිරීමේ ලා ආන්ඩුවේ පරිපූර්න නොතැකීම, වසංගතය මධ්‍යයේ කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත ගැන නොතකා ධනපති ලාභ පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා ලොවපුරා ධනපති ආන්ඩු ගෙන යන ප්‍රතිගාමී ක්‍රියාකලාපයේ අත්‍යන්ත කොටසකි. 

කතුවරයා පහත ලිපිය නිර්දේශ කරයි.

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ රැකියා රැක ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි

Loading