ශ්‍රී ලංකාව: ආඥාදායකත්වය දෙසට තවත් පියවරක් ගනිමින් ජනාධිපති රාජපක්ෂ මිලිටරි “කාර්ය සාධක බලකායක්” පිහිටුවයි

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගිය සතියේ ඉතා පුලුල් බලතල සහිත, ඔහුට පමනක් වගකියන මිලිටරි කාර්යසාධක බලකායක්  පිහිටුවී ය. 

ජුනි 2දා නිකුත් කල අතිවිශේෂ ගැසට් පත්‍රයකින් සාමාජිකයන් දහතුන් දෙනෙකුගෙන් යුත් මෙම කාර්ය සාධක බලකාය රාජපක්ෂ විසින් නම් කල අතර, ඉන් දහ දෙනෙක් මිලිටරියෙන් ද ඉතිරි තිදෙනා පොලිසියෙන් ද පත්කර තිබේ. සංවිධානයේ සභාපති ලෙස ක්‍රියා කරන ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න; පිලිවෙලින් යුද, නාවික හා ගුවන් හමුදාපතිවරු වන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හා එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ඒ අතර වෙති. අනෙකුත් අය අතර ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානීන් සහ රාජපක්ෂ විසින් මෑතක දී ආන්ඩුවේ මූලික ආයතන කිහිපයක ප්‍රධානීන් ලෙස පත්කරන ලද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන් වේ. පත් කෙරුනු පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර වැඩබලන පොලිස්පති ද ඇතුලත් වේ.

මෙම කාර්යසාධක බලකාය පිහිටුවීම, මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් කරා රාජපක්ෂ තබන ප්‍රධාන පියවරක් බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි. එය කොවිඩ්-19 වසංගතය විසින් තීව්‍ර කරනු ලබන ආර්ථික හා දේශපාලන අර්බුදය සහ සමාජ ආතතීන් මධ්‍යයේ කම්කරු පන්තිය මත කඩාපැනීම සඳහා සූදානම්වීමේ  පියවරකි.

ගෝඨාභය රාජපක්ෂ [ඒපී ෆොටෝ/එරංග ජයවර්දන]

ආන්ඩුවේ ප්‍රමුඛතම වගකීම වන්නේ “ජාතික ආරක්ෂාවට මුල් තැන ලබාදීමත්, සාධාරනය සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ගුනගරුක, විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමත්” බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. අලුතින් පිහිටුවන ලද කමිටුවේ කාර්ය භාරය වන්නේ එය ඉටු කරගැනීම යි.  

මෙම අරමුනු ඉටු කරගැනීම සඳහා කමිටුව “නිදහස් හා සාමකාමී සමාජ පැවැත්මකට හානිකර අයුරින් මතුවෙමින්, පවතින නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන සමාජ කන්ඩායම්වල එකී නීති-විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට අවශ්‍ය කඩිනම් පියවර” ගනු ඇති බව රාජපක්ෂ ප්‍රකාශ කරයි. “වෙනත් රටවල ස්ථානගත වෙමින් ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන නීති-විරෝධී මෙන්ම සමාජ-විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සොයාබලා එම අපරාධවලට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව” ද එය නීතිමය පියවර ගනු ඇත.

මෙම පලල් ප්‍රකාශයන් තුල විසකුරු න්‍යාය පත්‍රයක් ගැබ්වේ. මෙය තම අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා අරගලවලට පිවිසෙන කම්කරු පන්තිය සහ ප්‍රධාන වසයෙන් දේශපාලන විරුද්ධවාදීන්, විශේෂයෙන් ම සසප ඇතුලු සමාජවාදී විපාර්ශවය  ඉලක්ක කරගන්නා කාර්ය සාධක බලකායක් බව අපි අනතුරු අඟවමු. ආන්ඩුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් “නීති-විරෝධී, සමාජ-විරෝධී සහ සමාජයේ සාමකාමී පැවැත්මට හානිකර” යි හංවඩු ගසනු ඇත.

“මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවන්නන් ඉන් වැලැක්වීම සඳහා” අවශ්‍ය  පියවර ගන්නා කාර්ය සාධක බලකාය, “බන්ධනාගාර ආශ්‍රිතව සිදු කරන නීති-විරෝධී හා සමාජ-විරෝධී ක්‍රියා පිලිබඳව සොයා බලා ඒවා වැලැක්වීමට” ද ක්‍රියා කරනු ඇත.

මෙය උලුප්පා දක්වන ධනේශ්වර මාධ්‍ය, කමිටුවේ සැබෑ ඉලක්කය “සමාජය මත්ද්‍රව්‍ය උවදුරෙන්” සහ බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන නීති-විරෝධී හා සමාජ-විරෝධී ක්‍රියාවන්ගෙන් විමුක්ත කරගැනීම බව පින්තාරු කිරීමට උත්සාහ දරයි. එය හුදෙක් ම සැබෑ අරමුනු වසං කිරීමකි. 

රාජපක්ෂගේ කාර්ය සාධක බලකාය, සමාන වන්නේ ඔහු මැදිකරගත් මිලිටරි කට්ටුවක් නිර්මානය කර ගැනීමකටයි. එයට ආඥාදායක ලෙස කටයුතුකිරීමට ඉඩ ලැබීමෙන්ම මෙය සනාථ වෙයි. ජනාධිපතිවරයාට පමනක් වගකියන එය, කලින් කලට ඔහු වෙත වාර්තා ඉදිරිපත් කල යුතු ය. 

ඕනෑම අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක හෝ ඒ හා සමාන ආයතනයක ආන්ඩුවේ නිලධාරියෙකුට කමිටුව මගින් “උපදෙස් නිකුත් කරනු ලැබිය” හැකි අතර, එම නිලධාරියා එබඳු “උපදෙස් වලට අනුකූලව ක්‍රියා කල යුතු” සහ “ලබාදිය හැකි සියලුම සහාය සැලසිය යුතු” යි. එම රාජ්‍ය නිලධාරීන් ඒ අනුව ක්‍රියාකිරීමට බැඳී සිටී. ඕනෑම නිලධාරියෙකු ප්‍රමාද වීම හෝ පැහැර හැරීම ජනාධිපතිවරයාට වාර්තා කල යුතු ය. මෙහි අර්ථය වන්නේ එම නිලධාරීන් අවනත නොවේ යයි හංවඩු ගසා දඬුවම් පැමිනවීම යි.   

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරින් සලකනු ලබන්නේ සිවිල් පරිපාලනයේ කොටසක් ලෙස ය. දැන් ඔවුන් මිලිටරි කාර්ය සාධක බලකායේ පාලනය යටතට මුලුමනින් ම පාහේ පත්කෙරෙයි.

මෙම කාර්ය සාධක බලකායේ තවත් ආඥාදායක අංශයක් වන්නේ එහි බලතල කැබිනට් මන්ඩලයේ හා පාර්ලිමේන්තුවේ බලතල ඉක්මවා යාමයි.  ඇමතිවරුන්ට ඉහලින් යා හැකි මෙම තුනී තට්ටුවට, පවත්නා ව්‍යුහයන් යටපත් කරමින් රාජ්‍ය නිලධාරීන්ට “උපදෙස්” දිය හැක.

මෙම ක්‍රියාවන් පවත්නා ව්‍යවස්ථාවට එරෙහි ව යයි. පසුගිය ආන්ඩුව සමයේ ගෙන ආ 19වන ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ධුරයේ සමහර බලතල කප්පාදු කලේ ය: එය විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දුන් පොරොන්දු කුනුකූඩයට දමා මෙම සීමිත පියවර පමනක් ගත්තේය. එම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජනාධිපතිවරයා අගමැතිගේ හා කැබිනට් මන්ඩලයේ උපදෙස් පරිදි ක්‍රියා කල යුතු අතර, අමාත්‍ය ධුරයක් දැරීමට නො හැක. තව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු යයි සලකනු ලැබේ.

එහෙත් මෙම ව්‍යවස්ථාමය සම්මතයන් හුදෙක්ම නො තකා හැර ඇත, නැතහොත් උල්ලංඝනය කර ඇත. ගැසට් පත්‍රය නිකුත් කල දින මිලිටරියේ හා ආන්ඩුවේ නිලධාරීන් අමතමින්, ඔහු නිකුත්කල ට්විටර් පනිවුඩයක මෙසේ සඳහන් වි ය: “ජනතාව මා කෙරෙහි විශ්වාස තබා ලබා දී ඇති බලය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවෙන අතර ඒ සඳහා ගත යුතු තීරන ගැනීමට මම ක්‍රියාකරමි ”

”ජනතාව මා කෙරෙහි විශ්වාස තබා ලබා දී ඇති බලය ක්‍රියාත්මක කිරීම” යන කියාපෑම, ව්‍යවස්ථාව නො තකා හැරීම සඳහා වන ව්‍යාජ සාධාරනීකරනයකි. 

ආඥාදායකත්වයක් කරා රාජපක්ෂ ගන්නා තදියම් පියවරයන්, වසංගතය විසින් තීව්‍ර කරන ලද ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ සෑම රටක ම පාලක පන්තීන්ගේ ක්‍රියාවන් ප්‍රතිරාවය කරයි. 

විශේෂයෙන්ම, එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මිලිටරිය බලමුලුගන්වමින් ද ෆැසිස්ට්වාදී බලයන් දිරිමත් කරමින් ද ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට එරෙහි ව අරගල පුපුරා යද්දී ආඥාදායකත්වයක් දෙසට පියවර ගනිමින් සිටී.

එක්සත් ජනපදයේ අපගේ සහෝදර පක්ෂය (කම්කරු පන්තියට කැඳවුමක්! ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය නවත්වනු! - 4 ජුනි 2020)  විස්තර කර ඇති පරිදි:

ධවල මන්දිර කුමන්ත්‍රනයේ ඉලක්කය කම්කරු පන්තිය යි. පොලිස්    ප්‍රචන්ඩත්වයට එරෙහි මහජන විරෝධතාවන් පුපුරා යාමත්, කොරෝනා වෛරස් වසංගතයට පාලක පන්තිය දක්වා ඇති ප්‍රතිචාරය සහ මිනීමරු යලි වැඩට දැක්කීමේ උද්ඝෝෂනය හේතුවෙන් ඉමහත් ලෙස තීව්‍ර කෙරී ඇති සමාජ අසමානතාව සම්බන්ධයෙන් කම්කරුවන් අතර පවත්නා යෝධ සමාජ කෝපයත්, අන්තර්-ඡේදනය වනු ඇතැයි සංගත-මූල්‍ය කතිපයාධිකාරය තැතිගැනී සිටී. 

ගෝලීය අර්බුදය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අවුල වේගවත් කර ඇත. සංචාරක කර්මාන්තය, අපනයන සහ සංක්‍රමනික කම්කරු ප්‍රේෂන හිඳී ගොස් තිබේ. රටෙහි රාජ්‍ය බැඳුම්කරවල ජාත්‍යන්තර ආයෝජනවලින් බොහොමයක් ඉවත් කරගැනෙමින් පවතී. ජාත්‍යන්තර සංචිත ඛාදනය වීම විදෙස් නය පැහැර හැරීමේ අද්දරට රට ඇදදමා ඇත. මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 1ට හෝ ඊට අඩු මට්ටමකට ඇද වැටිය හැක.

රාජපක්ෂ ආන්ඩුව මෙම අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සූදානම් වේ. එහෙත් ලක්ෂ ගනනින් රැකියා නැසීමටත්, වැටුප් හා විශ්‍රාම අයිතීන් කප්පාදු කිරීමටත් එරෙහි ව කම්කරු පන්තිය අතර කෝපය වැඩේ. ඇඟලුම් කර්මාන්ත, සෞඛ්‍යය, සමෘද්ධි සුභසාධන යන අංශවල කම්කරුවෝ දැනටමත් විරෝධතා ක්‍රියාවන්ට පිවිස තිබේ.

පන්ති අරගල විසින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බිඳ දැමුනු සන්දර්භය තුල, මහ ව්‍යාපාරිකයන් වෙත “ශක්තිමත් හා ස්ථාවර” පාලනයක් පොරොන්දු වෙමින් පසුගිය නොවැම්බරයේ රාජපක්ෂ බලයට පැමිනියේ ය. රාජපක්ෂ හා ඔහුගේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) තමන් වාඩි වී සිටින්නේ කාල බෝම්බයක් මත බව හොඳින් දනී.

මිලිටරිකරනය ඉහල දැමීමට ආන්ඩුව වසංගතය යොදාගත්තේ ය. කොව්ඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ව පත්කල රාජපක්ෂ, කොලඹට මිලිටරිය හා මිලිටරි බුද්ධි අංශය මෙහෙයවී ය. වරාය අධිකාරියට, රේගු දෙපාර්තමේන්තුවට, සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පලාත් කිහිපයක ආන්ඩුකාරවරුන් ලෙස කරන ලද පත්කිරීම් ද රාජපක්ෂ එලන මිලිටරි ජාලයට අයත් වේ. 

මෙම පියවර ගන්නා අතරම, ශ්‍රීලපොපෙ නායකත්වය දෙන සුලුතර ආන්ඩුව දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී වාර්ගික ආතතීන් තීව්‍ර කරන්නේ වැඩෙන සමාජ විරෝධය, බෙදා පීලිපැන්නවීමට ය.

ජනාධිපති රාජපක්ෂ විසින් මිලිටරි කාර්ය සාධක බලකාය පිහිටුවීමේ පියවර ගැනීමට හා එහි ආඥාදායක න්‍යාය පත්‍රයට එකදු විරුද්ධ පක්ෂයක් වත් විරෝධය පලකර නැත. එක්සත් ජාතික පක්ෂය (එජාප), සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජාතික සන්ධානය (දෙජාස) හා මුස්ලිම් පක්ෂ, පසුගිය මාස තුන තුල අගමැති මහින්ද රාජපක්ෂ කැඳවූ සර්ව-පාක්ෂික රැස්වීම් දෙකකට සහභාගි වී වසංගතයට එරෙහි ආන්ඩුවේ ඊනියා සටනට සහයෝගය දීමට පොරොන්දු වූ හ.

පසුගිය මාසයේ, එජාපය, සජබ, දෙජාස හා මුස්ලිම් පක්ෂ, විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස රාජපක්ෂට ආයාචනා කරන ලිපියකට අත්සන් තැබුවේ, ආන්ඩුව බිඳ වට්ටන්නේ නැති බවටත්, එයට අවශ්‍ය ඕනෑම නීතියක් සම්මත කිරීමට සූදානම් බවටත් පොරොන්දු වෙමිනි.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරන කිසිදු කන්ඩායමක් විරුද්ධ පක්ෂ අතර නැත. මෙම අධිරාජ්‍ය-ගැති පක්ෂ අතීතයේ දී ආන්ඩු බලය දරමින් මෙන්ම විපක්ෂයේ සිටිමින් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කරන කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමා වැඩකරන ජනයාගේ අයිතීන්ට පහර දුන් හ.

වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් මර්දනය කිරීමට ඔවුන් මිලිටරිය හා පොලිසිය යොදවා ඇත. උතුරේ හා නැගෙනහිරේ දෙමල වැසියන්ට එරෙහි තිස් අවුරුදු ලේවැකි වාර්ගික යුද්ධයට පිටුබලය දීම හා අනෙකුත් ගනන් නැති අපරාධ සිදුකිරීම හේතුවෙන් පාලක හා විරුද්ධ පක්ෂවල අත් ලෙයින් තෙත්ව තිබේ.

කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන පෙරලිකාරිත්වය කෙරෙහි භීතියෙන් ඔවුහු මිලිටරිය මත වාරුවී සිටිති.

කම්කරු පන්තියට ආඥාදායකත්වයක වැඩෙන තර්ජනය පරාජය කල හැක්කේ ජනවාර්ගික බෙදීම් කපාගෙන, දැනටමත්  අරගලවලට පැමිනෙමින් සිටින ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු වී තමන්ගේ ම ස්වාධීන විප්ලවවාදී ශක්තිය බලමුලුගැන්වීමෙන් පමනි.

වැඩපොල හා නිවහන් ප්‍රදේශවල තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගතයුතු කම්කරුවන් ගම්බද දුගීන් හා තරුනයන් රැලි කරගත යුතු ය. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදිමින් ඔවුන්, ධනේශ්වර දේපොල අත්පත්කර ගෙන සමාජවාදී පදනමක් මත තාර්කික ව සංවිධානය කිරීම සඳහා පියවර ගත යුතු ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප මෙම ඉදිරිදර්ශනයට සටන් වදී.  සසප සමග එක් වී මෙම අත්‍යාවශ්‍ය ඉදිරිදර්ශනය සඳහා සටන් වදින්න.

Loading